මාලිමාව හැම තිස්සෙම ආඩම්බරෙන් කියන දෙයක් තමයි අපි පාර්ලිමේන්තුවට යවන්නේ උගත්තු කියන එක. ඉතින් මේක පට්ට වැඩක්ද?

ජේවීපී කියන්නේ පසුගාමී පක්ශයක්, කලින් ඒ අය කිව්වා ඒ අය මාක්ස්වාදී පක්ශයක් කියලා, ඒ කාලෙත් එයාලා මාක්ස්වාදී ලේබල් එක බලෙන් එල්ලගෙන හිටියට කිසි මාක්ස්වාදයක් තිබුනේ නෑ. වම සැබෑ අර්ථයකින් නියෝජනය කලෙත් නෑ.  එයාලා සමාජය දිහා බලන්නේ යථාර්ථවාදීව නෙමෙයි, තමන්ගේ හෝ තම පක්ශයේ ඇහැකින් සමාජ ප්‍රශ්න දිහා බලන්න හැකියාවක් ජේවීපීයට  හෝ මාලිමාවන්ට නැහැ.
ඔවුන් සියල්ල දිහා බලන්නේ අනිත් අයගේ ඇහැකින්, අනිත් අය බලනවා කියලා හිතන ඇහැකින්. ඒ හින්දා ජේවීපීයට කවදාවත් ඇත්ත සමාජ ප්‍රශ්න හදුනා ගන්න හෝ යථාර්ථවාදී විසදුම් දෙන්න බැහැ.

~වෙන කෙනෙක්ගේ(අනෙකාගේ ) ඇහැකින්   බලලා යථාර්ථයට ලංවෙන්න බැරි ඇයි?


ජේවීපී කියන්නේ ඇතුලතින්  යාවත්කාලීන නොවුනු පිට පොත්ත විතරක් අලුත් කරගන්න පැරණි පක්ශයක්. මුල් යුගයේ, ඒ කියන්නේ 50, 60, 70 දශක ඇතුලත් වෙන්නේ යථාර්ථවාදී යුගයට, මිනිස්සු ගනු දෙනු කරේ යථාර්ථය එක්ක, බාහිර සමාජ යථාර්ථය, ඒ කියන්නේ එලියේ පෙනෙන දේවල්, එලියේ ජීවත් වෙච්ච මිනිස්සු කරන කියන දේවල්, යථාර්ථය සමග සමපාත වෙනවා. කොටින්ම කිව්වොත් මිනිස්සුන්ගේ ජීවිත ගෙවුනේ සරල අනුභූතික ලෝකයක. තමන්ට  තිබුනු අවශ්‍යතා, තමන්ට තිබුනු සමාජ ගැටලුම තමයි, තමන්ගේ  අසල් වැසියාටත් තිබුනේ.


මිනිස්සුන්ගේ ආත්මීයත්වය (අවිංඥානක ආශාවල් ) සමාජ යථාර්ථය ඇතුලේ මේ තරම් මතුවෙලා ආවේ නෑ, ඒ දේවල් තමන්ගේ ජීවිත ඇතුලේ විසද ගත්තා, නැතිනම් ඒවා තමන් ඇතුලතම විදවන්න ඉඩ දුන්නා. ආත්මීයත්වය සමාජයේ ගාමක බලය බවට පත් වෙලා  බාහිර සමාජ යථාර්ථය නියෝජනය කරේ නෑ. කෙටියෙන් කිව්වොත් අභ්‍යන්තර සවිංඥානක අවශ්‍යතා සහ බාහිර සමාජ යථාර්ථය එකිනෙකට බොහෝ දුරට සමපාත වුනා.


මේ තත්වය නිසා දේශපාලකයන්ට , සමාජ ක්‍රියාකාරීන්ට වැඩ කරන්න හරි ලේසියි. තමන් හොදයි කියලා කරන දෙයක් අනිත් කෙනාටත් හොදක් යහපතක් වෙනවා, අනිත් කෙනාට හොදක් වෙයි කියලා තමන් හිතලා කරන දෙයින් අනිත් කෙනාට යහපතක් වෙනවා. මොකද සංකේත යථාර්ථය ප්‍රමුක වෙලා සංකේත යථාර්ථය පිලිගන්නා සමාජයක හැමෝටම තියෙන්නේ සාමූහික අවශ්‍යතා සමූහයක්. එවැනි සමාජයක සමාජ දේශපාලනය කරන එක ලේසියි .

~නව සමාජය මොන වගේද?.


80 ගනන් වලින් පස්සේ එන නව සමාජය කියන්නේ මේක උඩු යටිකුරු කරපු සමාජයක්.
කලින් බාහිර සංකේත සමාජ යථාර්ථය සම්බන්ධ වෙලා තිබුනේ නැත්නම් ගොඩ නැගිලා තිබුනේ මහජනයාගේ සවිංඥානකත්වය මත.(අවිංඥානකත්වය ප්‍රමුක උනේ නෑ).
නමුත් මේ නව සමාජය කියන්නේ ප්‍රධාන වශයෙන්ම මහජනයාගේ අවිංඥානක ආශාවන් මත ගොඩ නැගුනු සමාජයකට. මෙය සුවිශේෂී තත්වයක්, සවිංඥානක තර්ක බුද්දියකින් බාහිර සමාජය තේරුම් ගන්න බැහැ. මොකද සමාජය යහපත් කරන්න ඕන කියන තමනුත්, ජේවීපී සාමාජිකයත්,  වැඩ කරන්නේ මෙන්න මේ සබුද්ධික-යථාර්ථයට අදාල නොවන තමන්ගේ ආශාවන් එක්ක. එලියේ සමාජයේ ජීවත් වන මහජනයා ක්‍රියා කරන්නෙත් මේ ආශාවන් එක්ක. මේ ආශාවන් මොනවද කියන එක මම දන්නෙත් නෑ, මහජනයා දන්නෙත් නෑ. එතකොට අනෙකාගේ අවශ්‍යතාවය දෙස, අනෙකා ඉල්ලනවා යැයි මම හිතන දෙය දෙස සබුද්ධිකව බලනවා කියන්නෙම (යථාර්ථවාදීව තේරුම් ගැනීම කියන්නේ) මුලාවකට යාමක්.
එවැනි තත්ත්වයකදි කාටවත් අනෙකා වෙනුවෙන් යථාර්ථවාදීව හිතලා ක්‍රියා කරන්න බැහැ. ඒ හින්දා සමාජය වෙනස් කිරීම සහ දියුනු කිරීම සදහා යොදා ගන්න සියලු යථාර්ථවාදී න්‍යායන් අහෝසි වෙනවා.
(මාක්ස්වාදය මාක්ස් ගෙනාවේ යථාර්ථවාදී තර්කනයකට අනුව සමාජය ක්‍රියාත්මක වූ සම්භාව්‍ය ධනවාදය (classical capitalism ) තේරුම් අරගෙන යථාර්ථය තුල විසදුම් සොයා ගැනීම වෙනුවෙන්. මේ සුවිශේෂී තත්වයන්ට සම්භාව්‍ය  මාක්ස්වාදය යොදා ගන්න බැරි වෙන්නේ ඒ අර්ථයෙන්.ඒකයි මාක්ස්ට එහා ගිහිල්ලා පශ්චාත් ධනවාදය කියවා ගන්න පශ්චාත්-මාක්ස්වාදය ගොඩ නැගෙන්නේ.)


ජාජබ ය තාමත් වැඩ කරන්නේ මෙන්න මේ යථාර්ථවාදී ලෝකය තවදුරටත් පවතිනවා කියන විශ්වාසයේ ඉදගෙන. හැබැයි ඔවුන් දන්නවා ඔවුන් වැඩ කරන්නේ එම යථාර්ථයට අනුව නොව තමන්ගේ ආශාවේ තර්කනයට අනුව බව,එසේ උනත් ජහමනයා යනු සබුද්ධික, යථාර්ථයට අනුව වැඩ කරන, පිරිසක් කියලා ජාජබ ය විශ්වාස කරනවා.

 

අපි උදාහරණ කිහිපයකින් මෙය තේරුම් ගැනීමට බලමු.
ජාජබ ය හිතනවා “රට බංකොලොත් කලේ දූශිත දේශපාලකයන් කියලා” රටේ ජහමනයා ඉතාම සබුද්දිකව හිතනවා කියලා. ඒ අනුව රට බංකොලොත් කල දූශිත දේශපාලකයන් පන්නමු කියලා දෘෂ්ටිවාදයක් උඩට ගේනවා. නමුත් ලංකාවේ ජහමනයා දන්නවා උන් විතරක් නෙමෙයි තමනුත් දූශිතයි, අපි ඔක්කොම එකතුවෙලා තමයි රට මේ තත්ත්වයට බංකොලොත් වෙන්න වැඩ කරේ කියලා. නමුත් එම කටුක ඇත්ත යටපත් කරලා තමන්ගේ වරදකාරීත්වය බාහිර අනෙකෙකුට එනම් දූශිත දේශපාලකයන්ට පැටවීමෙන් ජහමනයාට විශාල සහනයක් ලැබෙනවා. මේ යුගයේ ජීවත් වන ජහමනයා ඉන්නේ සබුද්ධික තර්කනයක නෙමෙයි, ආශාවේ මර උගුලක. දූශිත දේශපාලකයා බිල්ලට දීමෙන් ජහමනයා විනෝදය වෙනවා.(වේදනාවෙන් සතුටු වීම).


මේ මොහෙතේ ජහමනයා දෘෂ්ටිවාදීයේ ගොදුරක් වෙලා ඉන්න නිසා මතුපිටින් හොරු නොවන පිරිසකට ජන්දය දීමට පෙලඹෙනවා, නමුත්  හොරුන් බිහිවීම නතර නොවන්නේ හොරුන් නැති කිරීමේ සැබෑ උවමනාවක් ජහමනයාට නැති නිසාත් හොරු නොවන බව කියමින් දේශපාලනයට එන කිසිවෙකුටත් හොරු නැති කිරීමේ සැබෑ උවමනාවක් නැති නිසාත් ය. ඔවුන්ද ජහමනයා මෙන් ආශාවේ තර්කනයට යටවූ හොරු වීමේ විභවතාවය හොදටම ඇති අයමය.


එබැවින් හොරු නොවන අය පාර්ලිමේන්තුවට ගෙන ඒම යනුම ජනප්‍රිය දෘෂ්ටිවාදයක් පමණක් මිස හොරු නැති සංස්කෘතියක් ඇති කිරීමේ සැබෑ අවශ්‍යතාවයකින් ඉදිරිපත් කරන ලද්දක් වන්නේ නැත.


දැන් අපි උගතුන් පාර්ලිමේන්තුවට යැවීම ගමු. ජාජබ කියනේ ලංකාවේ මීලග පාර්ලිමේන්තුව උගතුන් ගෙන් පිරවිය යුතු බවය, උපාධියක් නැති කිසිවෙකු හෝ පාර්ලිමේන්තුවේ නොසිටිය යුතු බවය. එසේ උගතුන්ගෙන් පාර්ලිමේන්තුව පිරවූ විට ලංකාව සුරපුරයක් කල හැකි බවය. ජාජබ සහ එය සෘජුව ම නියෝජනය කරන ග්‍රාමීය සහ ග්‍රාම්‍ය නාගරිකයන් වනාහී  ‘උගතා’ යන්න සාරාත්මකව වටහා ගන්නා කණ්ඩායමක් නොවේ. මේ කාලයේ ලංකාවේ ජීවත් වන “උගතා” යනු පීඩිත අවවරප්‍රසාදිත කොටස් වලට සමාජ ඉනිමගේ හිනිපෙත්තට ගොස් ඉහල පැලැන්තියේ පරිබෝජනය තුල ගිලී යාමට ඇති  අවස්තාව ලබා ගත් වාසනාවන්තයෙක් පමණි. මෙම ආශාව තුල ගොඩ නැගෙන උගතා යනු හිස් පුද්ගලයෙක් මිස කිසිදු සැබෑ සමාජ සාරදර්ම කැටිකර ගත් දියුණු සමාජ පරමාර්ථ වෙනුවෙන් කැප වූ පැසුණු පුදගලයෙකු නොවේ. ඔහුට උගත් කම යනු උන්නතිකාමය වෙනුවෙන් සැකසුනු ප්‍රදර්ශනාත්මක ආභරණයක් පමණි.
මෙවැනි සන්දර්බයක ජාජබ විසින් “උගතුන්ගෙන් පාර්ලිමේන්තුව පිරවූ විට රට සුරපුරයක් කල හැකිය” යන දෘෂ්ටිවාදය සමාජගත කල විට, ඉහත කී ජහමනයා හුරේ දමන්නේ ඇයි?  සබුද්ධික තලයක “උගතා “(Educated person ) යනුවෙන් හදුනා ගන්නා පුද්ගලයා සහ තමන් අවිංඥානකව ආශා කරන “අප සමාජයේ ජීවත් වන උගතා” ( going behind prosperity ) යනු කවරෙක්දැයි හොදටම දන්නා ජහමනයා, කලින් සදහන් කල රට යහපත් කල හැකිය යන දෘෂ්ටිවාදයට අනන්‍යවන්නේ සවිංඥානකව නොව අවිංඥානික ආශාව ඒ හරහා කුලු ගැන්වෙන නිසාය. එම ආශාව වන්නේ වෙනකක් නොව දූශිත දේශපාලකයා විදි විනෝදය නැති කිරීමය. එසේ නැතිව සැබෑ උගතුන් සහ බුද්දිමතුන් පාර්ලිමේන්තු යවා රට දියුණු කිරීම නොවේ.


එබැවින් එවැනි හිස් උගතුන් ගෙන් පාර්ලිමේන්තුව පිරෙව්වද රට දියුණු වන්නේ නැත, ඒ බව මාලිමා නායකයෝ මෙන්ම ජහමනයාද හොදටම දනී. බලය ලබා ගැනීම වෙනුවෙන් ජහමනයාගේ ආශාවට ආමන්ත්‍රණය කරන දෘෂ්ටිවාදයක් ලෙස පමනක් එය බාවිතා කරමින් සිටියි.


අදූශිත පිරිසිදු පිරිස් පාර්ලිමේන්තු යැවීම මෙන්ම උගතුන් පාර්ලිමේන්තුවට යැවීමද ලාභ දෘෂ්ටිවාදයක් මිස සමාජය වෙනස් කිරීම වෙනුවෙන් කිසිම ආකාරයකට දායක වීමට හේතුවක් නැත. ලංකාවේ ආර්ථික අර්බුදය, නව සමාජ දේශපාලන ගැටලු සහ මෙම කිසිවෙකුත් කිසිවිට නොදන්නා ජහමනයාගේ ආශාව වෙනුවෙන් යොදා ගන්නා සරල දෘෂ්ටිවාදයන් අතර කිසිදු සම්බන්ධයක් නැත. එබැවින් ලංකාවේ ජහමනයා මුහුන දෙන සැබෑ සමාජ ආර්ථික අර්බුදය මෙවැනි පටු දෘෂ්ටිවාදයන් මත පදනම් වූ දේශපාලන සටන්පාට හරහා  කිසිසේත්ම විසදාගැනීමට නොහැකි වනු ඇත.


-චන්දන රණසිංහ –

ඔබේ අදහස කියන්න...