1917

 

එක පැත්තකින් විවිධ පක්ෂ තම තමන්ගේ අභ්‍යන්තර අර්බුදවල එරී ඇත. අනෙක් පැත්තෙන් ආණ්ඩුවට සංගත මතයක් නැතිකමින් එක තැන පල් වීම ඇරඹී ඇත. මේ හේතුව තවදුරටත් ප‍්‍රසාරණය කළහොත් රනිල් වික‍්‍රමසිංහ මහතාට තම පක්ෂය වූ යූඑන්පීය තමන්ට අවශ්‍ය අයුරින් ප‍්‍රතිසංවිධානය කළ නොහැකිය. පසුගිය දිනෙක තම පක්ෂ සම්මේලනය හරහා පක්ෂයේ නිලතල සංශෝධනය කිරීම සඳහා ඔහු දැරූ තැත අසාර්ථක විය. එපරිදිම ජනාධිපතිවරයාට ද චෝදනා ලැබූ අංශවලට අදාළව ඇමැති සංශෝධනයක් කිරීමට අවශ්‍ය විය. නමුත් එම සංශෝධනය ද තවම කි‍්‍රයාවක් බවට පත් වූයේ නැත. මෙම සමස්ත කි‍්‍රයාවලිය තුළ එක දෙයක් පැහැදිලිව පෙනෙන්නට තිබේ. කිසිවකුට ඉදිරියට යා නොහැකිව ‘පවතින තත්ත්වය’ තුළ හිර වී ඇත. සියලූ දෙනා එකතැන පල් වෙයි. 
අප දැන් විරුද්ධ පක්ෂ වෙතට හැරෙමු. ආණ්ඩුවට ‘හොරුන්’ සම්බන්ධයෙන් කළ හැකි විශේෂ යමක් නැතිවා සේම TNA එකට දෙමළ ජනයා සම්බන්ධයෙන් කළ හැකි විශේෂ යමක් නැති වී ඇත. ‘ජිනීවා’ නගරයේ දී වසරකට වරක් හමු වන අද්භූත මිනිසුන් කණ්ඩායමක් ‘ප‍්‍රශ්නය’ වසරක් පාසා ඊළඟ වසරට කල් තබයි. යුද්ධයෙන් පසු උතුරු ප‍්‍රදේශය වෙනම ආර්ථික ඒකකයක් ලෙස සංවිධානය කිරීමේ වැඩපිළිවෙළක් ආණ්ඩුවට නැත. මේ නිසා උතුරු ප‍්‍රදේශයේ තරුණ – තරුණියන් අතර විරැුකියාව සාමාන්‍ය තත්ත්වයක් බවට පත් වී ඇත. ඊළඟට දකුණු ප‍්‍රදේශවලින් උතුරට ගොස් දරිද්‍රතාවට පත් වූ පවුල් ඒකකවලට ක්ෂුද්‍ර ණය සපයන ආයතන රොත්තක් බිහි වී ඇති අතර ඔවුන් නිසා අලූත් පවුල් – ආර්ථික ගැටලූ බිහි වී ඇත. ඒවායේ අනාගත පුපුරායාම් කෙබඳු ආකාරයක් වේද යන්න අපට පුරෝකථනය කළ නොහැකිය. ඊට අමතරව ජාතිකත්වයට විශේෂ ළබැදියාවක් සහිත අගමැති ලේකම්වරයා සහ එන්ජී ඕ නායකයෙක් වන මනෝ තිත්තවැල්ල මහතා අතර ‘අරමුදල්’ පාලනය සම්බන්ධයෙන් අලූත් ගැටලූවක් බිහි වී ඇත. ලංකාවේ දරිද්‍රතා විශ්ලේෂණ කරන ආයතනය බාන්ස් පෙදෙසේ  පවතින අතර ජාතික සංහිඳියාව ගොඩනඟන කාර්යාලය කොළඹ ටවර් ගොඩනැගඟිල්ලක පවතියි. යථාර්ථය සහ ඒ ගැන සිතන විදිහ [පුද්ගලයන් ද ඇතුළත්ව] අතර පරතරය එතරම් විශාලය. 
ජනතා විමුක්ති පෙරමුණ ද ඉතිහාසයේ ප‍්‍රථම වරට විශාල අභියෝගයකට මුහුණ දී ඇත. සාම්ප‍්‍රදායික ලෙස ඔවුන් මුල් තැනක් ලබා දුන්නේ ඍජු විප්ලවයට සහ රහසිගත දේශපාලනයටය. උතුරේ අරගලයට පසු සහ 2011 වර්ෂයේ – පක්ෂයේ සිදු වූ ඛණ්ඩනයට පසුව පක්ෂය තුළ එතෙක් සංස්කෘතික මතවාදය හසුරවමින් සිටි පිරිස ඉන් පිටතට විසරණය විය. මේ නිසා මෙතෙක් කල් පක්ෂය තුළ රහසිගතව කි‍්‍රයාත්මක වූ කාඩර්වරුන් විවෘත ප‍්‍රජාතාන්ත‍්‍රික දේශපාලනයට අවතීර්ණ වී ඇත. මෙම තත්ත්වය දශක 5ක ගරිල්ලා අරගලයක් කොලොම්බියාවේ සිදු කළ Farc-ගරිල්ලන්ට මුහුණ දීමට සිදු වූ අත්දැකීමට සමානය. රහසිගත කාඩර්වරයෙක් සහ සංස්කෘතික කි‍්‍රයාකාරකම්වල යෙදෙන උද්ඝෝෂකයන් අතර වෙනසක් ඇත. පළමු වැන්නා දේශපාලනය කිරීම හරහා ලබන ‘විනෝදය’ සහ දෙවැන්නා දේශපාලනය කිරීම හරහා ලබන විනෝදය අතර අතිමහත් පරතරයක් ඇත. පක්ෂයක දීර්ඝකාලීන පැවැත්ම තීන්දු කරන්නේ පළමු පිරිස මිස දෙවැනි පිරිස නොවේ. 
පෙරටුගාමී සමාජවාදී පක්ෂයට ද සිදු වී ඇත්තේ අප කලින් අත්නොදුටු තත්ත්වයකි. දැන් ඔවුන්ගේ පක්ෂයේ මතවාදී ආධිපත්‍යය දරන්නේ සංස්කෘතික උද්ඝෝෂකයන්ය. මෙම උද්ඝෝෂණ ශෛලිය ‘අධ්‍යාපනයේ’දී හැර අනෙක් සෑම අංශයකදීම සමීප වන්නේ බටහිර දී [විශේෂයෙන් ඇමරිකාවේ දී ] සෝවියට් ස්ටැලින්වාදයට ප‍්‍රතිකි‍්‍රයාවක් ලෙස බිහි වූ දේශපාලන නිරවද්‍යතා මතවාදීන්ටය. මේ අය බටහිර දී හඳුන්වන්නේ Politically Correct මිනිසුන් ලෙසය. ඔවුන්ගේ ප‍්‍රධාන තේමාව වන්නේ කිසියම් සිදුවීමක දී දේශපාලනිකව වඩාත් නිවැරැුදිව කි‍්‍රයා කරන්නේ කෙසේද යන්න මිස ප‍්‍රතිවිරෝධතා මෙහෙයවීම නොවේ. සයිටම් ප‍්‍රශ්නයට පසුව කළ යුත්තේ කුමක්ද? යන්න ගැන විග‍්‍රහයක් ඔවුන්ට නැත. මේ හේතුව නිසා ඔවුන් දේශපාලන අවස්ථාවාදය තුළ වඩ වඩාත් ගිලී යාමට ඇති ඉඩ විශාලය. 
April Thesis
April Thesis
දෘශ්‍යමාන තලයේ ඉහත සියල්ල හෙමින් හෙමින් සිදු වී යන විට අගමැතිතුමා තම ගෙදර වැඩ හොඳින් කරගෙන යන බවක් ද පැහැදිලිය. ඔහු මේ වන විට සංවර්ධන විශේෂ විධිවිධාන පනතක් සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. 2020 වර්ෂයේ ඔහු බලයට පැමිණියහොත් රාජපක්ෂලාට පැරණි නීතිය යටතේ සිදු වූ දෙය ඔහුට සිදු වන්නේ නැත. බය නැතිව තමන්ගේ කණ්ඩායමට වැඩ කිරීමට අවශ්‍ය පිටුබලය එම පනතින් හිමි වනු ඇත. මීට අමතරව මානව හිමිකම් සහ දේශපාලන අයිතිවාසිකම්වලට අදාළව පනත් කෙටුම්පත් 6ක් සකස් කර ඇත. ජිනීවාවලින් යෝජනා කරන ලද දේශපාලන ප‍්‍රතිසංස්කරණ මේ වන විට කෙටුම්පතක් දක්වා වර්ධනය කර ඇත. විකල්ප ත‍්‍රස්ත විරෝධී පනතක් ද ඔහු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. මතවාදී තලයේ තම ඉදිරි වැඩකටයුතු ජනප‍්‍රිය කරවීමට අදාළව ඔහු මාධ්‍ය ජාලයක් ද සංවර්ධනය කරමින් සිටියි. මේ කරන සියලූ වැඩ පාර්ලිමේන්තුවේ දී පරාජය වන බව සැබෑය. නමුත් 2020 වර්ෂයේ ඔහු ජයග‍්‍රහණය කළහොත් JR  මෙන් ඔහු තමන්ගේ  ගෙදර වැඩ හොඳින් කර ඇත. ඔහුට තව කාලය මරන්නට ඇත්තේ වෙසක් පෝය දෙකක් පමණි. ඉතුරු අය ජීවත් වන්නේ සුරංගනා ලෝකවලය. 

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. සිරියස්ලි එහෙම වෙයිද? නැත්නම් කලින් වගේ අගමැති විසි වෙයිද?

Comments are closed.