නියුරෝසික ආත්මයෙහි ප්‍රාථමික ස්වභාවය ධනවාදය පිළිබඳ විශ්ලේෂණයට වැදගත් වෙයි. ටොඩ් මැගෝවන් (Todd McGowan) ඔහුගේ ”ධනවාදය සහ ආශාව” කෘතියෙහි නියුරෝසික ආත්මීය ව්‍යුහය පාදක කරගනිමින් ධනවාදය මනෝවිශ්ලේෂණය කිරීම පිළිබඳ ප්‍රවාදයක් ඉදිරිපත් කරයි. එය ධනවාදය පිළිබඳ අර්ථකථනවේදයෙන් (Hermeneutics) ඉවත්ව එහි ලුබ්ධිමය පැත්ත (libidinal aspect) එනම් ධනවාදයේ අසම්පූර්ණභාවය එහිම වූ ව්‍යුහාත්මක කොන්දේසියක් ලෙස ගනී.
ලාංකීය දේශපාලනය තුළ ධනවාදය පිළිබඳ විචාරය එහි ආර්ථික ව්‍යුහය හා සමාජයේ බලපෑම මත පමණක් පරායත්ත වන බැවින් එම විචාරයන් අර්ථකථනවේදයෙන් ඔබ්බට ගමන් කරන්නේ නැත. මනෝවිශ්ලේෂණයේදී එම සියලු විචාරයන් ද්විතීයික වන අතර එහිදී අප පළමුව විමසා බැලිය යුත්තේ අර්ථකථනවේදයේදී සහ මනෝ විශ්ලේෂණයේදී (පසමිතුරුතාවයක් ලෙස) “අර්ථකථනයකිරීමක්” (Interpretation) යනුවෙන් අදහස් වන්නේ කුමක්ද යන්නයි.
මෙම ප්‍රවේශයන් දෙක එකිනෙකට පෑස්සිය නොහැකි පසමිතුරුතාවයන් බව අප මුලින්ම හඳුනාගත්තේ දීප්ති සහෝදරයාගේ ඉගැන්වීම් තුළිනි. දීප්ති විසින් ‘ව්‍යුහය මගින් ගොඩනැංවීම’ (Construction) යන්න අදහස් වන බව ආරම්භයේදී අපට ඉගැන්වීය. ජාක්ස් ලැකාන්ගේ මුල් කාලීන ඉගැන්වීම් තුළ ඔහු ව්‍යුහය හැඟවුම්කාරකයේ ප්‍රකාශමානවීමක් ලෙස ඉදිරිපත් කරයි. එනම් ආත්මය යනු හැඟවුම්කාරකයේ ප්‍රතිඵලයකි. වෙනත් ආකාරයකට ගතහොත් ලැකාන් පවසන්නේ ආත්මය එක් හැඟුම්කාරකයක් වෙනුවට වෙනත් හැඟුම්කාරකයකින් නියෝජනය වන්නක් බවයි බවයි (S1 – S2). ව්‍යුහය පිළිබඳ මෙම අදහසට පාදක වූයේ 1950 මැද භාගයේ දී ලැකාන් න්‍යාය ගත කළ There is an Other of the Other නම් ප්‍රවාදයයි. ඊට අනුව අනෙකාගේ ආශාව නම් කරන හැඟවුම්කාරකය; හැඟවුම්කාරක දාමයක් ලෙස එහි සංකේතිය ස්ථායිබව (Consistency) තහවුරු කරන අත්‍යන්ත හැඟවුම්කාරකයක පැවැත්ම එමගින් මූර්තිමත් කරයි. අප එය පියාගේ නාමකරණය ලෙස හඳුන්වමු. (Name-of-the-Father ; Signifier that would definitely pin-point the desire of the Other)
Image 1
පියාගේ නාමකරණය සංකේතීය භූමිකාවක් ලෙස; මවගේ ආශාව නම් කිරීම, එහි ක්‍රියාකාරීත්වය තවදුරටත් පැවතිය ද ලැකාන්ගේ පසු කාලීන ඉගැන්වීම්වලට අනුව පියාගේ නාමකරණය ව්‍යුහාත්මකව ද්විතීක හා ආපතික වෙයි. එනම් හැඟවුම්කාරක දාමයක පිළිවෙල සහතික කරන මාස්ටර් හැඟවුම්කාරකයේ නො පැවැත්ම මින් අදහස් කරයි. මේ අනුව ලැකාන්ගේ ඉගැන්වීම් There is an Other of the Other නම් ප්‍රවාදයේ සිට There is no Other of the Other නම් දක්වා මාරු වෙයි. මේ හේතුවෙන් සංකේතීය ව්‍යුහය තවදුරටත් ලෙවි ස්ට්‍රව්ස් පවසන ලෙස සියලු අංග එකිනෙකට මැහී ඇති සංවිධිත සමස්තයක් නොව, එය වටහාගත යුත්තේ අසම්පූර්ණභාවයක් සහිත එනම් ව්‍යුහය අභ්‍යන්තරික පැල්මක් (Real hole) සහිත යමක් බවයි. වෙනත් ආකාරයකට කිවහොත් හැඟවුම්කාරක දාමයක අතුරුදහන් වූ හැඟවුම්කාරකයක් පවතින බව ඉන් නිරූපණය වේ. ගොඩනැංවීම ලෙස අප වටහා ගත යුත්තේ හැඟුම්කාරක දාමයේ මෙම පරතරය (gap) මගින් ව්‍යුහය ගොඩනංවනවා යන හඳුනා ගැනීමයි. තවත් ලෙසකින් සංකේතනයේ අසම්පූර්ණ භාවය නැතිනම් එහි සීමාව (symbolic limit) මෙහිදී ලකුණු කළ හැකිය. ලැකාන් ආත්මීයත්වය සම්බන්ධ සිය ව්‍යුහාත්මක ප්‍රවේශය මේ හරහා නව තලයකට රැගෙන යයි.
Image 2
ලැකාන් අර්ථකථනවේදයේ සහ මනෝ විශ්ලේෂණයේ “අර්ථකථනයකිරීම” (Interpretation) එකිනෙකින් වෙන් කරනුයේ හැඟවුම්කරණ ව්‍යුහයක අභ්‍යන්තරික හිස්තැන (void) නැතිනම් හැඟුම්කාරකයක නොපැවැත්ම යන සන්දර්භය තුළයි. හැඟවුම්කරණ ව්‍යුහයේ අතුරුදහන් වූ හැඟවුම්කාරකය පිළිබඳ අර්ථකථනවේදයට ඇත්තේ අවබෝධනය (understanding) පිළිබඳ ගැටලුවකි. ලැකාන්ට අනුව අර්ථකථනවේදය, හැඟවුම්කරණ ව්‍යුහයේ හිස්තැනට නව අර්ථයක් ලබාදීමේ අනවරත උත්සාහයක යෙදෙයි. (sense-making) නමුත් මනෝවිශ්ලේෂණයට අනුව ව්‍යුහයට එහි ආකෘතිය (form) සපයන්නේ ඊට අභ්‍යන්තරික වූ හැඟුම්කාරකයක නොපැවැත්ම මගිනි. එය ව්‍යුහාත්මක කොන්දේසියක් ලෙස ගැනීම මනෝවිශ්ලේෂණයේදී අර්ථකථනය (interpretation) යන්නට පදනම් මූලධර්මය වේ. පැහැදිලි ලෙසම, “Hermeneutics” යනු අනවරත අර්ථකථනයක යෙදීම නම් “මනෝවිශ්ලේෂණය” යනු අර්ථකථනය කළ නොහැකි දේ (Real) ව්‍යුහාත්මක යැයි හඳුනා ගැනීමයි.
නමුත් ලාංකීය විචාරය පිළිබඳ ඉහත අදහස අර්ථකථනවේදයකට පමණක් සීමා කළ හැකිද? ඊට මනෝවිශ්ලේෂණය මගින් ලබා දිය හැකි පිළිතුරු කුමක්ද? දීප්ති විසින් පශ්චාත් නූතනත්වය පිළිබඳ අනූව දශකයේ සිදුකළ න්‍යාය ගත කිරීමට එරෙහි විවේචනයක් පශ්චාත් “නූතනත්වය මොකාටද එන්නේ” මැයෙන් අර්ජුන පරාක්‍රම විසින් ඉදිරිපත් කළේය. මෙම ලිපියෙහි අරමුණ එම විචාරයන් පිළිබඳ විමසා බැලීමක් නොවන බැවින් එහි අන්තර්ගතයට නොගොස් ආකෘතියට අවධානය යොමු කරයි. මෙහිදී පශ්චාත් නූතනත්වය සම්බන්ධව දීප්ති විසින් ඉදිරිපත් කළ දැනුම යනු එහි අන්තර්ගතය (content) සහ එහි ක්ෂතිමය මානය (traumatic) ලෙස විභේදනය වූ දැනුමකි. දෙවනියට සඳහන් කළ අතිරික්ත දැනුම මගින් එතෙක් ධනවාදය පිළිබඳව වූ විචාරයන් විසංයෝජනයට ලක් කළ අතර එහි ප්‍රතිඵලය වූයේ ඒ මගින් ධනවාදයේ ලුබ්ධිමය ආර්ථිකය (libidinal economy) හෙළිදරව් වීමයි. එනම් ධනවාදය පිළිබඳ විචාරය එහි දෘෂ්‍යමානය (appearance) පිළිබඳ විචාරයෙන් ගලවා ආත්මීය තලයේ දී ධනවාදයේ ක්‍රියාකාරිත්වය කෙබඳුද යන්න විචාරයට ලක් කිරීමයි. එය දෘෂ්ටිවාදී විචාරයේ (ධනවාදී ආත්මයේ විනෝදය) පළමු පියවරයි.
නමුත් ‘ඇලෙන්කා සුපැන්චිත්ට’ අනුව ඉහත ක්ෂතිමය දැනුම ලංකාව තුළ රැඩිකල් වෙනසක් නැතහොත් ඛණ්ඩනයක් ඇතිකිරීමට පළමුව ප්‍රතිවිපාක (Consequences) දෙකක් නිර්මාණය කර තිබේ. එහි එක් අන්තයක දීප්ති කියූ ලෙස ක්ෂතිමය දැනුම සමඟ නොකියවීම යුගයක් බවට පත්වීම හෙවත් “Disavowed belief” එකක් ගොඩනැගී ඇත. (This formulation is the template for the notion of disavowal (Verleugnung), which Freud develops in a later essay on fetishism, and for with Octave Mannoni has provided the most concise forrmula: “I know well, but all the same…”)
එහි අනෙක් අන්තය දීප්තිව ප්‍රතික්ෂේප කිරීමක් (denial) දක්වා විතැන් වී තිබේ. මෙම අර්චනකාමී ප්‍රතික්ෂේප කිරීම අර්ජුන පරාක්‍රමගේ වචනයෙන්ම අපට පහත පරිදි සංකල්ප ගත කළ හැක. “ධනවාදය තුළ පරිවර්තනයක් වෙමින් තිබෙන බව මම දන්නවා, නමුත් පශ්චාත් නූතනවාදය (දීප්ති) මොකාටද එන්නේ? ඒ අනුව අර්ජුන පරාක්‍රමගේ සිට අද වන විට බටහිර ඉවුරේ දර්ශනය දක්වා විවිධ අයුරින් අප දකින්නේ ඉහත අර්චනකාමයේ පුනරාවර්තනයයි.
ඉහත සඳහන් ආකාරයට ධනවාදය පිළිබඳ විචාරයේදී අප ස්ථානගත වන්නේ කොතැනදැයි පැහැදිලිය. මර්දනීය සහ අසාධාරණ බවේ මෙවලමක් ලෙස ධනවාදයේ දෘශ්‍යමානය ප්‍රශ්න කිරීම තවදුරටත් ධනවාදී විරෝධයක් (anti-capitalist) ලෙස සැලකිය නොහැක. නමුත් ව්‍යූහාත්මකව රහස ඇත්තේ ඊට බාහිරින්ද නොවේ. ධනවාදී විරෝධය යනු ධනවාදී ව්‍යුහයේ ප්‍රකාශමානයට සම්බන්ධ ආත්මීය ආයෝජනය පිළිබඳ විශ්ලේෂණයකි. එනම් ආත්මය විනෝද වන්නේ ධනවාදයේ වසඟය මගින් අපට පොරොන්දු වන ලුබ්ධිමය වස්තුව (libidinal object) හිමකර ගැනීමෙන් නොව එහි නැතියාව තුළින් අඩුව නැතිනම් අහිමිවීම කරා අපව නැවත නැවතත් සම්මුඛ කිරීමෙන් බව හඳුනාගැනීමෙනි. මනෝවිශ්ලේෂණ අර්ථයෙන් ආත්මීයත්වයේ තර්කනය යනු මෙම අසමත් භාවයේ පුනරාවර්තනයයි.
මෑතකදී එක්තරා සංචාරක ක්ෂේත්‍රයේ ආයතනයක් පළ කර තිබූ වෙළඳ දැන්වීමක තේ දළු නෙලන ස්ත්‍රියකගේ අත්දැකීම පාරිභෝගිකකරණයට (commodification) ලක් කොට තිබුණි. එමඟින් කිසියම් පාරිභෝගිකයෙකුට (මෙහිදී නම් විදේශිකයකුට) වෙළඳපළ තුළින් මෙතෙක් අත් නොවිඳි තෘප්තියක් තේ දළු කඩන ස්ත්‍රීන් සමග ඔවුන්ගේ ජීවන රටාවට අනුගත වෙමින් ලබාගත හැකිය යන ඉඟිය ලබාදී තිබුණි. නමුත් කල්ප රාජපක්ෂට අනුව මෙවැනි පාරිභෝගිකකරණයක් මගින් මූර්තිමත් කරනුයේ ධනවාදයේ විකාරරූපී බවයි. (absurdity) එක් අතකින් ඔහුට අනුව ධනවාදය නිර්මාණය කළ අර්බුදයක් අනෙක් අතට ලාභ උපඊමට තරම් අධම වී ඇත්තේ කෙසේද? නමුත් අප මෙහිදී ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ ඉහත පාරිභෝගීකරණ ක්‍රියාවලිය පිළිබඳ නොව ලැයින් කාමරයක පීඩා විඳින ස්ත්‍රියකගේ ජීවිතය විනෝද ආකෘතියක් බවට රූපාන්තරණය වූයේ ඇයි ද යන්නයි.
ලැකාන් විසින් ධනවාදී කතිකාව (capitalist discourse) විදහා දක්වනුයේ සංකේතීය කප්පාදුව ප්‍රතික්ෂේප කිරීමක් ලෙසයි (rejection of castration). එක් අතකින් එය විපරීතභාවයට (perversion) අනුරූප වන අතර නියුරෝසික ආත්මීය ව්‍යුහයෙහි ප්‍රාථමික ස්වභාවයද නිරූපණය කරයි. එනම් ආත්මය සහ ආශාවේ වස්තු හේතුව අතර වූ සම්බන්ධයයි. මෙම කලාපය තුළ ධනවාදී කතිකාව ක්‍රියා කරනුයේ අනාගතය පිළිබඳ සුඛ පරමවාදී පොරොන්දුවක් ලෙසයි. ධනවාදී කතිකාව වසඟකාරී ලෙස එහි පාරිභෝගිකයාට ශුද්ධ විනෝදය සාක්ෂාත් කර ගත හැකි ලෙස ලුබ්ධිමය වස්තුවට (object a) පිවිසිය හැකි මඟක් පාරිභෝගික භාණ්ඩ ආකෘතිය හරහා පොරොන්දු වෙයි. මනෝවිශ්ලේෂණ න්‍යාය තුළ, ලුබ්ධි වස්තුව නැතිනම් ආශාවේ වස්තු හේතුව (object cause of desire) යනු එක් අතකින් වඩා ආත්මීය ලෙස අපගේ ආශාව කුළුගන්වන හා තවත් අතකින් ගත්විට ආත්මයට අතිශය පරිබාහිර ලෙස කිසිදු වස්තුවකට හෝ පුද්ගලයකුට සෘජු ලෙස නියෝජනය කළ නොහැකි දෙයකි. තවත් ආකාරයකට කිවහොත් “object a” හැඟවුම්කරණය කළ නොහැකි අතර එය පිහිටන්නේ සංකේතනයේ සීමාව තුළයි. ලැකාන් පෙන්වා දෙන්නේ එමගින් විනෝදයේ අහිමිවීමක් (loss of jouissance) අඟවන බවයි. ලුබ්ධි වස්තුව මගින් එය අහිමි විනෝදය (පරිපූර්ණත්වය) සොයා යාමේ අනවරත උත්සාහයකට ආත්මය අවතීර්ණ කරන අතර මනෝවිශ්ලේෂණ අර්ථයෙන් අප එයට කියන්නේ ආශාව කියාය. ආශාව හැමවිටම වෙනත් දෙයක් සඳහා වූ ආශාවක් වන බැවින් ආත්මය එය අත්විඳින්නේ අතෘප්තිකර ආයාසයක් ලෙසයි. ධනවාදී දෘෂ්ටිවාදය ප්‍රයෝජනයට ගන්නේ මෙම දුර්වල ලක්ෂයයි. ධනවාදය විසින් එම අතෘප්තියට (dissatisfaction) හෝ ලුබ්ධි වස්තුව සාක්ෂාත් කර ගැනීමට ඇති බාධාව ජයගත හැකි බව ආත්මයට ඒත්තු ගන්වයි. ධනවාදී ආත්මය යනු එම මුලාවට අනන්‍ය වූ ආත්මයයි.
තවදුරටත් ධනවාදය විසින් ආත්මයත්වයේ අඩුව (lack) යනු ව්‍යුහාත්මක නොවන වෙළඳපළ තුළ ජයගත හැකි ආපතිකබවක් යන මුලාවට අමතරව ආත්මයේ අතෘප්තියට විසඳුමක් ලෙස මානසික සෞඛ්‍ය (mental health) නැමැති දෘෂ්ටිවාදයද නිපදවා තිබේ. ඒ අනුව ආත්මයේ ප්‍රෙහෙළිකාමය විනෝදයට enigmatic jouissance) අර්ථයක් සපයන ඕනෑම දෙයක් කිරීමට වෙළඳපළ මගින් ඉඩ සලසයි. අවශ්‍ය නම් අපට යෝගා කළ හැකිය, භාවනා කළ හැකිය, නැතිනම් CBT (Cognitive Behavior Therapy) වැනි ප්‍රතිකාර ක්‍රම සඳහාද යොමු විය හැකිය. එසේත් නැති නම් ආත්මීය ආස්ථානයට අනන්‍යතාවයක් (identity) ලැබෙන සේ මානසික ගැටලුවක් ඇතැයි සිතිය හැකිය. මෑතකදී මගේ මිතුරියක් ඇයට ADHD තත්ත්වයක් ඇතැයි පැවසීය. මරී එලේනා (Marie-Hèlène) නැමැති මනෝවිශ්ලේෂිකාවට අනුව මේ යුගයේ බොහෝ දෙනෙකු සිය ආත්මීය අස්ථානයට ඉහත ආකාරයේ ස්වයං නිර්ණයක් (self-determination) ලබාදීම මගින් සිදු කරනුයේ අහම (ego) නිර්මාණය කර ගැනීමයි. ඒ මගින් ආත්මය විනෝදයේ සිට ආශාවේ කලාපයට යොමු වන අතර ධනවාදී සමාජයක සුරා කෑමට ලක් වනුයේ ඉහත පරිසමාප්ත අහම පිළිබඳ මායාවයි.
මේ ආකාරයට නියුරෝසික ආත්මීය ව්‍යුහයට උපක්‍රමිකව ධනවාදය ෆැන්ටෑස්මැතික විසඳුක්නම් සයිකෝසිකයාට ධනවාදය යනු රෝගලක්ෂණයක්ද?
Ramesh.
ඔබේ අදහස කියන්න...