1. බුද්දිමය සංස්කෘතියක් නොමැති සමාජයක අධෝවාත පිටකරන සමාජ මාධ්‍ය නළුබට්ටන්….

පශ්චාත්-නූතනවාදී සමාජයක මහජනයා හැසිරෙන ආකාරය මොන විදිහදැයි කවරෙකු හෝ තවදුරටත් විමසන්නේ නම් ,එය පැහැදිලි කර ගැනීමට මේ වකවානුව කදිම අවස්තාවකි.


මෙවැනි සමාජවල ‘මහජනයා’ යනුවෙන් කොටසක් නොපවතින අතර සියලු දෙනා උපදේශකයන් බවට පත් කර ඇත. කිසිවෙකු කිසිවක් විශ්වාස නොකරන අතර විශ්වාස කරන්නේ තමන්වම පමණි. සමාජයේ සියලු පරමාර්තයන්, පරමාදර්ශයන් (දේශපාලකයා,ගුරුවරයා, පූජකවරයා) කිසිවක් විශ්වාස නොකරන අතර විශ්වාස කරන්නේ තමන්ගේ අහම විසින් ගොඩනගන ලද පෞද්ගලික විශ්වාසයන් පමණි. කිසිදු න්‍යායික පදනමක්, සංකේත දැනුමක්, ආයතනයක් හෝ පුද්ගලයකු විශ්වාස කරන්නේ නැත.


මෙම පුද්ගල ආස්ථානය සම්පූර්නයෙන්ම පදනම් වී ඇත්තේ “මා නොවිදින එහෙත් අනෙකා විදින විනෝදය “ මා පැහැර ගන්නේ කෙසේද යන්න මතය.


රටේ ආර්ථිකයට කුමක් වුවද 76 වසරක් තිස්සේ බලයේ සිටි දේශපාලකයින් විසින් මහජන මුදල් කොල්ලකා අපව පීඩාවට පත්කර විනෝද වී ඇත. එබැවින් ඒ ගැන විමසා බලන්නට හෝ ඇත්තටම සිදුවී ඇත්තේ කුමක්දැයි විමසා බැලීමට මහන්සිවන්නේ හෝ නැතිව අනුර කුමාර හෝ කොට්ටහච්චි කියන ඕනෑම දෙයක් විශ්වාස කරමින්, උන් විඳින්නට ඇතැයි සිතන විනෝදය පැහැර ගන්නේ කෙලෙසදැයි මේ ජහමනයා සිතයි. රටේ ආර්ථිකයට හෝ අනාගතයට හෙන ගැහුනද උන් විඳි විනෝදය පැහැර ගත යුතුය යන්න එකම අධිෂ්ඨානය කර ගනියි. මෙම අනෙකා විසින් විඳිනු ලබන්නේ යැයි සිතන විනෝදය කිසිදා ලැබිය නොහැකි වන අතර එය කොතෙක් සෙව්වද සෑමවිටම ඉතිරි වන්නේ තෘප්තිය නොව අතෘප්තියම පමණි.


මේ සමාජයේ කිසිවෙකුත් කිසිවක් විශ්වාස නොකරන බව අවබෝධ කර ගැනීමට උදාහරණ කීපයක් විමසා බලමු .


දේශපාලන වේදිකාවල මාලිමාවේ කොට්ටහච්චි විසින් ‘අපි ආපු ගමන් උගන්ඩාවේ හංගාගෙන ඇති ඩොලර් ගෙනෙන බව’ ප්‍රකාශ කලාය. එවිට ජහමනයා හුරේ තැබුවෝය. ඒ වගේම ජනාධිපතිවරණය ජයගැනීමෙන් පසු එය බොරුවක් බවත්, දැනගෙනම කිව් දෙයක් බව කොට්ටහච්චිම ප්‍රකාශ කලාය. එලෙස ප්‍රකාශ කලද ඊට හුරේ දැමූ ජහමනයා කලබල වන්නේ නැත. මොකද මහජනයා ඔය දෙකටම අනන්‍ය නොවන අතර දෙකෙන් එකක් වත් විශ්වාස කරන්නේ නැත. කොට්ටහච්චි උගන්ඩාවේ සල්ලි හංගා ඇතැයි කියනවිට,දේශපාලකයාගේ විනෝදය පැහැර ගැනීමේ අරමුනෙන් එය යොදා ගත්තද එයට අනන්‍යවන්නේ නැත. එමෙන්ම මම එදා කිව්වේ බොරුවක් බව දැනගෙන බව කොට්ටහච්චි ප්‍රකාශ කලද එයින්ද ජහමනයා කලබල නොවන්නේ කොට්ටහච්චි සමග අනන්‍ය නොවන බැවිනි. මින් අදහස් වන්නේ නූතන ජහමනයා යනු කිසිවෙකුට අනන්‍යවන හෝ විශ්වාස නොකරන පිරිසක් බැවිනි. ඔවුන්ට අවශ්‍යවන්නේ දෘශ්ටිවාදයන් හරහා ගොඩ නැගුනු තමන්ගේ විනෝදය වෙනුවෙන් කටයුතු කිරීම පමණි. එබැවින් තමන් කර තබාගෙන කවරෙකු වුවද තමන්ගේ විනෝදයට තර්ජනයක් වන්නේ නම් ඕනෑම අයෙකු පොලොවේ ගැසීමට කිසිමට පසුබට වන්නේ නැත. (ගෝඨාභය එලවා දැමීම).


මෙය සමාජ දේශපාලනය ක්ෂේත්‍රයට පමණක් නොව සංස්කෘතික සහ ආගමික ක්ෂේත්‍රයන්ටද අදාලය, තමන්ගේ ආගමික නායකයන් ආගමික ශාස්තෘන්ගේ පරමාර්ථ කිසිවක් අනුගමනය නොකරන බව හොදින්ම දැනගත්තද එය ඔවුන්ට ගැටලුවක් නොවේ. තමන් ආගමික වත්පිලිවෙත් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යති. කිසිවක් කිසිවෙකු විශ්වාස නොකලද තමන්ගේ ඇබ්බැහිය පමනක් පවත්වාගෙන යති.


මෙවැනි කිසිවෙකු විශ්වාස නොකරන පරමාදර්ශ නොමැති ජහමනයා සිටින සමාජයකට විප්ලකාරී ලෙස සමාජය වෙනස් කම් කිරීමේ උවමනාවක් නැත. තමන් තුල ඇති වේදනාවෙන් සතුටු වීමේ ඇබ්බැහිය පමනක් පවත්වාගෙන යති (දේශපාලකයන්ට හොරුන් යැයි චෝදනා කරමින් රජයේ දේපල කොල්ලකන රාජ්‍ය නිලධාරීන් සහ සේවකයන් කිසිදා සිස්ටම් චේන්ජ් කරන්නේ නැත).

~න්‍යායක් නැති න්‍යායවේදියෝ..


නුතන සමාජය තුල ඕනෑම කෙනෙකුට ප්‍රකාශ වීමට අයිතිය ලැබී ඇත. එබැවින් සියලු දෙනා දැන් බුද්දිමතුන් වී ඇත. එය ඉතා හොදය. නමුත් කිසිදු න්‍යායක් හෝ න්‍යායික හැදෑරීමක් නොමැතිව බුද්දිමතුන් වීම මොනතරම් විකාරයක් ද? එවැන්නන් බුද්දිමතුන් ලෙස පිලිගන්න සමාජයක් මොනතරම් මුග්ධ සමාජයක් වනු ඇද්ද?
මෙයට හොදම උදාහරණයක් ලෙස සමාජ මාධ්‍ය බුද්දිමතෙකු ලෙස පෙනී සිටින රසික ජයකොඩිව පෙන්නන්න පුලුවන්. ඔහු තමන්ගේ හිතට දැනෙන සිතිවිලි කිසිදු හිරිකිතයකින් තොරව තලු මරමින් අසල් සිටින්නන් සිනා සාගරයක් ගිල් වමින් අදහස් දක්වයි.


ඔහු කතා කරන දේශපාලන විචාරයන් සම්බන්ධයෙන් කිසිදු න්‍යායික පදනමක් ඉදිරිපත කරන්නේ හෝ හගවන්නේ නැත.
ඔහු හිතන්නේ තමන්ගේ පංචේන්ද්‍රියන්ට හසුවන සියලු දේවල් පරම සත්‍ය වන බවයි. ඔහු පෙන්වන සමාජ යථාර්ථයහි කිසිදු අඩුවක් නොපවතින අතර ඔහුට අනුව කාට හෝ එසේ නොපෙනෙන්නේ නම් එසේ වන්නේ අදාල පුද්ගලයාගේ අඩුවක් හෝ පක්ශපාතීත්වයක් නිසා බවයි.


උදාහරණයක් ලෙස ඔහු දේශපාලන ඉතිහාසය ගමන් කර ඇති ආකාරය අතැඹුලක්සේ කිසිදු අඩුවක් නොමැතිව අනුක්‍රමිකව ඉදිරිපත් කරයි. ඔහු ඒ සියල්ල දෙස වෙනත් ලෝකයක සිට බලා සිටි ප්‍රඥාවන්තයකු ලෙස සියල්ල ඉදිරිපත් කරයි.
මොහු ඉතාම සරල ද්‍රව්‍යවාදී බාහිර ලෝකයකට අදාල දේවල් වලට පමනක් අයත් අනුභූතික අදහස් දක්වන්නෙකි.(විද්‍යාගාරයක් තුල කරනු ලබන පරීක්ෂණ වලට අදාල නිරීක්ෂණයන් කරන විට පවත්වාගත යුතු චින්තනය )


නමුත් දේශපාලනය යනු සමාජ විද්‍යාවකි, එය කියවන තමාද අදාල සමාජයේ කොටසකි, තමාගේ අනුභූතිවාදී විචාරය යනු තමාගේ ෆැන්ටසියක් මිස අදාල සමාජ දේශපාලන යථාර්ථය නොවේ. එය සමාජ දේශපාලන සත්‍ය ලෙස ගෙන සියලු දෙනාගේ පොදු අදහස බවට පත් කිරීම යනු විශාල මුලාවකි. “හිතනවා -thinking ” යන අදහසේ මූලිකම අවබෝධය පවා නොමැති තත්වයකි.


~හිතනවා යනු කුමක්ද?
එමානුවෙල් කාන්ට් පෙන්වා දුන්නේ බාහිර දැනුම ලෙස අප හදුනාගන්නේ එලියේ ඇති දෙය (Thing) නොව අපගේ අනුභූති උත්තර දැනුමකින් සහ මීට පෙර බාහිරින් ලබාගෙන අපගේ හිස ඇතුලේ ගොඩනගාගත් දැනුම බවයි.
ඉන් ප්‍රකාශ වන්නේ මගේ පූර්ව අන්තර්ගතයක් නැතහොත් පූර්ව අගතියක් නොමැතිව කිසිවක් ග්‍රහනය කර ගැනීම හෝ දැකීම කල නොහැකි බවයි.


ඒ අනුව සමාජ දේශපාලන සිදුවීම් සම්බන්ධයෙන් පවතින්නේ මගේ සහ විවිධ පුද්ගලයන්ගේ වෙනස් වූ අදහස් සහ වියහැකියාවන් පමණි.

2.පූර්ව අගතීන් ගෙන් කිසිවෙකුටත් මිදිය නොහැකි නම් සමාජ විද්‍යාවන් අවබෝධ කරගත් යුත්තේ කෙසේද ?
මිනිස් චින්තනය සම්බන්ධ මෙම ආත්මීය පුද්ගල අගතීන්ගෙන් කිසිවෙකුටත් මිදිය නොහැකි බැවින් ඕනෑම සමාජ සංසිද්ධියක් කියවා ගැනීමේදී පිලිගත් සංකේතීය සමාජ පිලිවෙල අනුගමනය කල යුතුය. ඒ සදහා අදාල සිදුවීමට අදාල න්‍යායන් සහ පිලිගත් සංකේත දැනුම විමර්ශකයන් (References) ලෙස යොදාගත යුතුය.


උදාහරණයක් ලෙස පාර්ලිමේන්තුවට අදාල ක්‍රියාකාරකමක් හෝ සිදුවීමක් නම් පාර්ලිමේන්තු සම්ප්‍රදාය පිලිබද පිලිගත් ක්‍රම වේදයන් පිලිබද දැනුම සහ පිලිගත් විද්වතුන්ගේ අදහස් විමසා බැලිය යුතුය. මෙය අනුභූතික සිදුවීම් වලට අදාල කරගත හැකි අතර පුද්ගලානු බද්ද සහ මහජනයා සම්බන්ධය සමාජ සංසිද්ධි විශ්ලේෂණය සදහා මනෝවිශ්ලේශනය අනුදත් සමාජ විද්‍යාව භාවිතා කල යුතුය.


උදාහරණයක් ලෙස මැතිවරණයකදී මිනිස් මනෝභාවයන් ක්‍රියාකරන ආකාරය අනුභූතිකව පමණක් කියවා ගත නොහැකිය. ඒ සදහා මිනිස් ආශාව කියවාගත හැකි සමාජ විද්‍යාවක් තිබිය යුතුය.


ලැකානියානු මනෝවිශ්ලේශනය වැදගත් වන්නේ මෙන්න මේ මිනිස් සත්තාව ක්‍රියාත්මක වන ආකාරය කියවා ගැනීම සදහාය.


සමාජ දේශපාලන වෙනසක් ඇති කිරීම වෙනුවෙන් ලංකාවේ කිසිදු දේශපාලන කණ්ඩායමක් න්‍යායිකව මනෝවිශ්ලේශනය යොදා ගන්නේ නැත. මනෝවිශ්ලේශනයේ දේශපාලන වැදගත්කම අවධාරනය කරන්නේ ‘සමබිම’ පක්ශයේ අප පමණි.
සියලු දෙනා වශීවන සහ සත්‍ය ලෙස පිලිගන්නා, මතුපිටින් පෙනෙන පුද්ගල සහ සමාජ යථාර්ථය යනු සත්‍ය නොව පුද්ගල ෆැන්ටසියකි. එම ෆැන්ටාස්මතික යථාර්ථය ගොඩනගන්නේ අවිංඥානක සහ සවිංඥානක මිනිස් ආශාවයි.
ඕනෑම සමාජ දේශපාලන අවකාශයක කිසියම් සන්දර්බයකට (Context) ආදාලව මිනිස් ආශාව කුලුගැන්විය හැකි නම් එම බලවේගය වටා සමාජය ගොනු කල හැකිය. මෙය ඉතාම හොදින් කලහැකි කණ්ඩායම ජයග්‍රහණය කිරීම ඉතාම නිශ්චිතය. දෘෂ්ටිවාදයකට සමාජය ගොනු කිරීමේ පදනම වැටෙන්නේද මෙම මූලදර්මය මතය.


ඕනෑම දෘෂ්ටිවාදයකට ජහමනයා ආශක්ත වීමේ පදනම වැටෙන්නේ එම දෘෂ්ටිවාදය මිනිස් ආශාව සහ විනෝදය (Enjoyment -jouissance) සමග කොතරම් දුරට සමපාත වනවාද යන්න සමගය. ආශාව හරහා පුද්ගල ෆැන්ටසිය ගොඩ නැගෙන අතර දෘෂ්ටිවාදය පදනම් වූ ක්‍රියාකාරීත්වය ෆැන්ටාස්මතික සමාජ යථාර්ථය ගොඩ නගයි. යථාර්ථය ෆැන්ටසියක් වන්නේ එබැවිනි.
උදාහරණයක් ලෙස 2022වසරේදී ලංකාවේ ආර්ථිකය බංකොලොත් විය. එය කාගේ හෝ ෆැන්ටාස්මතික යථාර්ථයක් නොව සමාජ සත්‍යයකි (real). එම සමාජ සත්‍ය මත ඇතිවූ අරගලය හරහා ගොඩ නැගුණු දෘෂ්ටිවාදය වූයේ රට පාලනය කල දේශපාලකයන්ගේ අකාර්යක්ෂමතාව,නාස්තිය සහ දූශනය නිසා මෙම බංකොලොත් බාවය ඇති වූ බවයි (අර්ධ සත්‍යය).


මෙම සමාජ කතිකාව මත ගොඩනැගුනු මිනිස් ආශාව වන්නේ, වංචාව දූශනය, හොරකම තුලින් පාලක දේශපාලකයා විදි, තමා නොවිදි ‘විනෝදය’ පැහැරගැනීමේ ආශාවයි.


එම විනෝදය පැහැර ගෙන තමාගේ ආශාව පරිපූර්ණ කර දෙන ඕනෑම කේන්ද්‍රයක් වටා මහජනයා ඒක රාශි කරගත හැකිය. සමාජ ආර්ථික අර්බුදයට බලපෑ සැබෑ හේතු ජහමනයාට අදාල නොවන අතර ජහමනයාට වැදගත් වන්නේ තමා සැබෑවටම විනෝද වන කාරනය පමණි.
මිනිස් ආශාව කුලුගන්වන මෙම දෘෂ්ටිවාදය ඉතා හොදින්ම සමාජගත කල එකම විපක්ශය වූ ජාතික ජන බලවේගය ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේය. ඇත්තෙන්ම ජයග්‍රහණය කලේ ජාජබ ය නොව දූශිත දේශපාලකයා විදි අශ්ලීල විනෝදය පැහැර ගැනීමට තිබූ ජහමනයාගේ ආශාවයි. මෙම යටි ආශාව මත ගොඩ නැගුනු හොරු එලවීම, දූශන නැති කිරීම, සිස්ටම් චේන්ජ් කිරීම වැනි බාහිරින් යථාර්ථය ලෙස ගොඩනගන ලද හැමෝම දැකපු සමාජ යථාර්ථය යනු සැබෑ සමාජ යථාර්ථයක් නොව ජහමනයාගේ ෆැන්ටසියක් පමණයි (බාහිර යථාර්ථය යනු ෆැන්ටසියක් යැයි කියන්නේ එබැවිනි). ජහමනයා සැබෑ ලෙස මැදිහත් නොවන මෙවැනි ෆැන්ටසි තුලින් සමාජ විප්ලවයක් සිදු නොවන්නේ එබැවිනි.

~රසික ජයකොඩි දයලෙක්තිකය අධෝවාතයක් ලෙස පිට කිරීම…


රසික ජයකොඩි නැමැති සමාජ මාධ්‍ය න්‍යාචාර්ය වරයා මාලිමාව බලයට පැමිනි ආකාරයත් ඉදිරියේදී මාලිමාව ශක්තිමත් වන ආකාරයත්, විපක්ශය දුර්වල වන ආකාරයත්, එම දුර්වල විපක්ශය නිසාම මාලිමාව අර්බුදයට යන බවත් ඉතා ව්‍යක්තව ඉතිහාසයේ නිර්මාණ කරුවෙකු ලෙසින් ඉදිරිපත් කරයි.
මෙහිදී කිසිදු න්‍යායික පදනමක් ඔහු යොදා නොගන්නා අතර ඒ සම්බන්ධයෙන් කිසිදු මූලාශ්‍රයක් හෝ ඉදිරිපත් නොකර තමාගේ ප්‍රඥාවන්තබාවය තුලින් ලබාගත් බුද්දියේ මහිමයෙන් මෙම විශ්ලේෂණයන් ඉදිරිපත් කරන බව හගවයි.
ඇත්තටම ශාස්ත්‍රිය දැනුමට අනුව කටයුතු කරන ඕනෑම සමාජයක දේශපාලන හෝ ඕනෑම ශාස්ත්‍රිය වැදගත්කමකින් යුතු ක්ෂේත්‍රයකට ආදාලා කාරනා ප්‍රසිද්දියේ කතා කිරීමේදී කිසියම් පිලිගත් න්‍යායික දැනුමක් මත පදනම්ව කතා කිරීම බුද්දිමය සංස්කෘතියයි. නමුත් ලංකාවේ එවැනි කිසිදු විනයක් සහ ශික්ෂණයක් නොමැති බැවින් ඕනෑම සංකීර්ණ අදහසක් ගැලරිය චූන් කිරීමේ අරමුණෙන් වාචාල ආකාරයට තමන්ට අවශ්‍ය පරිදි ඉදිරිපත් කිරීම විලාසිතාවක් බවට පත්ව ඇත.

3.හේගලියානු චින්තනයට අනුව සමාජ චලනය සිදුවන්නේ කෙසේද?


සමාජ චලනය සිදුවන්නේ පූර්ව සැලසුමකට අනුව නොවුනද එහි ප්‍රතිපලය (ගමනාන්තය-Destination) එහි මූලික අවස්තාව තුලම අන්තර් ගතව ඇත. එය තීරනය වනුයේ සමාජ මැදිහත්වීම වෙනුවෙන් අප විසින් කරනු ලබන මැදිහත්වීම හරහා ආපතිකවය (contingency). එනම් අපගේ අනාගත නැවතුම් පොල තීරනය කරනුයේ අප මිස වෙන යම් අනුභූති උත්තර බලවේගයක් (eg. The God) විසින් නොවේ.
සමාජය චලනය වන ආකාරය හොදින්ම තේරුම් ගත හැක්කේ මෙම හේගලියානු දයලෙක්තික චින්තනය අනුවය.


දයලෙක්තිකය යනු කුමක්ද?


දයලෙක්තිකය යනු යමක පරස්පරය එය තුලම පවතින බව හෙවත් යම් සංකල්පයක් තේරුම් ගත හැක්කේ එහි පරස්පරතාවයෙන් බව වටහා ගැනීමය. එසේ නැතිව යමක් හෝ සංකල්පයක් එහිම වූ සාරයකින් වටහා ගත නොහැකි බවයි. ඕනෑම යමක පරිනාමය හෝ විකාශනය සිදුවනුයේ මෙම දයලෙක්තික චලනය තුලින් සිදුවන අනිවාර්‍යතාවයට අනුවය.


දැන් අපි මෙම දයලෙක්තිකය යන්න තවත් උදාහරණයක් තුලින් සරලව වටහා ගැනීමට බලමු.
රට ආර්ථික වශයෙන් බංකොලොත් බාවයට පත් වීමේ ප්‍රතිපලයක් ලෙස අරගලය පැන නැගුණි. අරගලය යනු සංකල්පයකි, මෙම සංකල්පය ස්වයංව වෙනත් ආධාරකයක් නොමැතිව අපට පැහැදිලි කරගත නොහැකිය.මෙය තේරුම් ගත හැකි වන්නේ මෙම අරගලය නැමැති විශ්වීය සංකල්පය (universal concept) තුල පවතින විවිධ අනන්‍යතාවයන් හරහා පමණි ( දමිතා නැමති ලක් අම්මා නියෝජනය කරන කණ්ඩායම, පැතුම් කර්නර්, අන්තර් ශිෂ්‍ය බල මණ්ඩලය ආදී විවිධ අනන්‍යතාවයන් හරහා ).


අරගලය ගමන් කරන දිශානතිය සහ එහි ගමනාන්තය තීරනය වනුයේ මෙම අනන්‍යතාවයන් අතර සිදුවන අන්තර් ක්‍රියා කාරීත්වයන් අතරින් ආපතිකව වඩා ප්‍රමුක වන අනන්‍යතාවය මතය. ඒ අනුව දයලෙක්තිකය යනු කිසියම් විශ්වීය සංකල්පයක් තුල (අරගලය) පවතින එම සංකල්පය නිශේදනය කරන, විවිධ අනන්‍යතාවයන්ගේ මතු වීමයි(දමිතා, රැට්ටා, පැතුම් කර්නර් වැනි සුවිශේෂී අනන්‍යතාවයන් – particulars ). අරගලයේ දිශානතිය තීරනය වනුයේ මෙම දයලෙක්තික තර්කනයට අනුවය.


රනිල් වික්‍රමසිංහ බලයට එන්නේද ඉන් පසු අනුර කුමාර බලයට පත් වන්නේද එම දයලෙක්තිකයට අනුවය.

ජාතික ජන බලවේගය යනු ආර්ථික බංකොලොත් බාවය සහ ඒ මත ඇතිවූ අරගලය මූලික වූ සන්දර්බයන් තුල ගොඩ නැගුණු ප්‍රපංචයකි.එය ගොඩ නැගන්නේ ඉහත කී සන්දර්බය තුල ඇතිවූ හිස් අවකාශය, දෘෂ්ටිවාද කීපයක් පදනම් කර ගැනීමෙනි (හොරු, වංචා දූශන අක්‍රමිකතා, දූශිත ප්‍රභූ පන්තිය ආදී ලෙස).


මෙම ජාතික ජනබලවේගය නැමති සංකල්පය මුලින්ම අප හදුනා ගන්නේ මෙම දෘෂ්ටිවාදාත්මක ෆැන්ටසිය තුලය. මෙම සංකල්පය ගත් විට එහි කිසිදු සාරාත්මක යමක් අපට අහුවන්නේ නැත. මන්දයත් එය සංකල්පයක් ලෙස පවතින්නේ අපගේ චින්තනය තුල මිස යථාර්ථය (symbolic society) තුල නොවන නිසාය. එහෙත් මෙම මාලිමාව නැමති සංකල්පය නියෝජනය කරන දෘශ්ටිවාදාත්මක ෆැන්ටසීන් හරහා ආර්ථික අර්බුදය සහ අරගලය විසින් නිර්මාණය කරන ලද සමාජ කතිකාවේ කේන්ද්‍රයට ආදේශ වීමට මාලිමාවට හෙවත් ජාජබ යට පහසුවෙන් පිලිවන. මාලිමාව දැන හෝ නොදැන කරන ලද්දේ මෙයයි. මෙම දෘශ්ටිවාදයන් ජහමනයා විනෝදවන කලාපයට ඇතුලු වූ විට එය ස්වයංක්‍රියාකාරීත්වයකට (automation) පත් වේ. මාලිමාව ජයග්‍රහනය කරන්නේ එම න්‍යායට අනුවය.


රසික ජයකොඩි නැමැත්තා කරනු ලබන දේශපාලන විචාර සදහා කිසිදු න්‍යායික දැනුමක් බාවිතා කරන්නේ හෝ එසේ කිසියම් ක්‍රම වේදයක් බාවිතා කරන බවක් හෝ ප්‍රකාශ කරන්නේ නැත. එමෙන්ම තමන්ගේ විචාරයන් තුල එවැනි බුද්දිමය සංස්කෘතියක් පෙන්වන්නේද නැත. තමන් සියල්ල දන්නා ඕපපාතිකව පහල වූ දේශපාලන බුද්දිමතෙක් බව පෙන්වීම මෙම විචාරයන් යට පවතින ඔහුගේ ආශාවයි.


රසික ජයකොඩි පවසන්නේ මාලිමාව විනාශ වන්නේ වෙන කිසිවක් නිසා නොව දුර්වල විපක්ශයක් ඇති වන නිසා බවයි. ශක්තිමත් විපක්ශයක් ඇති වන්නේ නම් මාලිමාව අර්බුදයට නොයන බවය.
මෙයද න්‍යායිකව ඉතාම වැරදි සහගත පුද්ගල වාදී අගතිමය තමන් ආසා කරන හිතලුය.
අප ඉහතදී මෙය යම් මට්ටමකට දයලෙක්තිකය ක්‍රියාත්මක වන ආකාරය සාකච්ඡා කල අතර එයට අනුව යමක චලනය , විකාශනය සිදුවන්නේ දයලෙක්තිකවය එනම් එහි නිශේදනය (Negation) පවතින්නේ එය තුලමය. මාලිමාව අර්බුදයට යාමට නියමිත වන්නේ එහිම පවතින (Thing in it self) අභ්‍යන්තර පසමිතුරුතා (antagonism) මතය. මාලිමාව බිදවැටෙන්නේ දුර්වල විපක්ශය නිසා යැයි පැවසීම න්‍යාය විරෝදීය.
එහෙත් සමාජ දේශපාලනය ඇතුලත් සමාජ සමස්තය ගතහොත් එහි මාලිමාව, විපක්ශය,ජහමනයා ඇතුලු විවිද අනන්‍යතා පවතී. මෙම සමාජ සමස්තය තුල මාලිමාවේ අනාගතයත් රටේ අනාගතයත් රදා පවතින්නේ මාලිමාවේ ක්‍රියා කාරීත්වයත්, එය නොවන අනිකුත් සියලු අනන්‍යතාවයන්ගේ ආපතිකව සිදුවන ක්‍රියාකාරීත්වයන් තුලිනි.


ආර්ථික අර්බුදය නැමති සමාජමය ‘යථ’ (real ) තුලින් නිර්මානය වූ සමාජ කතිකාවේ කේන්ද්‍රයට මේ වන විට ආදේශ වී ඇත්තේ ජාජබ යයි. සමාජය යනු සාරාත්මක ප්‍රපංචයක් නොවනවා මෙන්ම අචල වස්තුවක්ද නොවේ, මෙය සෑම විටම යම් කේන්ද්‍රයක් වටා චලනය වේ. එම කේන්ද්‍රය ස්ථිර (fixed ) නොවන අතර ඕනෑම මොහොතක වෙනත් කේන්ද්‍රයකින් ආදේශ (Replace) වීමට හැකිය.
මෙය සිදුවන්නේ දෘශ්ටිවාදයන් හරහාය. ( මානුශික ධනවාදය, ජාතිය බේරාගැනීම, යහපාලනය, හොරු සහ වංචා දූශන නැති රටක් ආදී දෘශ්ටිවාදයන් ).
ජාජබ යේ සහ රටේ අනාගතය වෙනස් වන්නේ මෙම හෙගලියානු දයලෙක්තික චින්තනයට අනුව මිස රසික ජයකොඩිගේ තමාට හිතෙන තමා ආශා කරන හිතලු වලට අනුව නොවන බව අවබෝධ කරගත යුතුය.

  • චන්දන රණසිංහ

ඔබේ අදහස කියන්න...