වසර 20 ක් එකම ප්‍රශ්නය අසන්නේ මන්ද? මෙම ගැටලුවට සංවේදී අපගේම අතීත සාමාජිකයින් සහ බාහිර විවිධ පාර්ශ්වයන් විසින් ද අසන්නේ, ඉදිරි දර්ශනයක් සඳහා මෙතරම් කැප වන්නේ මන්ද කියා ය.
දෙවන ලෝක යුද්ධයේ අවසානය තීරණය වීමට අදාළව ගත් ඓතිහාසික තීන්දුවක් පිළිබඳව අදටත් ඇත්තේ අවිනිශ්චිත කතන්දර සමූහයකි. එම තීන්දුව හිට්ලර් සතු ය. ගැටලුව මෙසේ ඉදිරිපත් කළ හැකි ය.
“ඇත්තටම හිට්ලර් බ්‍රිතාන්‍යයට නොගොස් රුසියාව දෙසට හැරුණේ කුමන හේතුවක් නිසා ද? මේ ප්‍රශ්නයට යුධ ඉතිහාසඥයින් සහ විශ්ලේෂකයන් සතුව විවිධ අදහස්, මතවාද සහ අනුමාන කිහිපයක්ම ඇතිමුත් එසේ වූයේ ඇයි ද යන්න පිළිබඳව නිශ්චිත අදහසක් නැත. කොයි හැටි වෙතත්, එදා රුසියාවට පහර දීමේ අදහස අවසන් මොහොතේ හෝ වෙනස්කොට බ්‍රිතාන්‍යය දෙසට හැරුණේ නම්, දෙවන ලෝක යුද්ධයේ ප්‍රතිඵලය සහමුලින්ම කණපිට පෙරළෙන්නට ඉඩ තිබිණි.”
නිදහසින් පසුව ලංකාවේ ‘චින්තනය’ (Thinking) ගොඩනැගීම සඳහා කිසිදු දේශපාලන පක්ෂයක් සාමූහික අර්ථයකින් වෙර දරා නැත. මෙම හේතුව නිසා ලංකාවේ වාමාංශික පක්ෂ සියල්ලම චින්තනයෙන් ඉතා දරිද්‍ර ය. අනෙක් අතට, ප්‍රාග්ධනය පැත්තට පෙනී සිටින අයට නිශ්චිත ආර්ථික චින්තනයක් සංයුක්තව ගොඩනගා ගැනීමට නොහැකිව ඇත්තේ ද ඔවුන් ඡන්ද සඳහා ඉදිරිපත් වන දේශපාලන පක්ෂ පමණක් වීම නිසා ය. ඉහත කණ්ඩායම් දෙකටම පොදු ලක්ෂණය වන්නේ, Rational Thinking නොමැතිවීම ය. අදටත් මේ පක්ෂ වර්ග දෙකටම හිසක් නැත. මේ නිසා සිදුවී ඇත්තේ, පිටතින් හිස් ගෙඩි කුලියට ගැනීමට ය. නැතහොත් ඉන්ද්‍රියගෝචරවාදයක ගිලීමට ය.
සංවිධානයක් ලෙස අපගේ චින්තනය ‘ව්‍යුහවාදය’ මත පදනම් කරන්නේ මන්ද යන ප්‍රශ්නය රොහාන් පෙරේරාගෙන් පටන් ගනිමු. රොහාන්ගේ චින්තනය නැතහොත් ඔහුගේ හිස්ටෙරික ආත්ම මූලිකත්වය පදනම් වූ බටහිර චින්තකයන්ගේ නම් ලැයිස්තුව පහත පරිදි වගුගත කළ හැකි ය.
1. ලැකාන්, මිචල් ෆූකෝ, ජාක් ඩෙරීඩා, ගදමර්, බාක්තීන්
2. හෙලන් සිසු, ජූලියා ක්‍රිස්ටීවා, ලුසී ඉරිගරේ, බෙල් ෆුක්ස්, කැතරින් ක්ලෙමන්ට් (ස්ත්‍රීවාදී චින්තනය)
ඉහත නම් ලැයිස්තු දෙකටම පොදු සාධකය කුමක් ද? පිළිතුර වන්නේ, භාෂාවයි. ඉහත කිසිවෙකු විශ්ලේෂණය කරන්නේ යථාර්ථය නොව භාෂාව යි.
ලංකාවේ ‘සමාජ යථාර්ථය’ රොහාන් තරම් උප-පරමාණුක මට්ටමකින් ප්‍රශ්න කරන වෙන චින්තකයන් කිසිවෙකු මට මුණගැසී නැත. මෙම සන්දර්භය තුළ ඔහුට මෙලෙස ගෞරව නාමයක් ලබා දිය හැකි ය: “The Most Sublime Hysteric.” සිංහලෙන්, “වඩාත්ම උත්කර්ෂවත් හිස්ටෙරිකයා.” රොහාන්ව හිස්ටෙරික ලෙස සංකල්පගත කිරීම දැනට ආචාර්ය උපාධියක් සහිත කෞශල්‍යා සමාවන්න ! කුමාරසිංහට දැන්වත් වැටහෙනවා ද කියා මම නොදනිමි. (එනම්, එය ගෞරව පදයක් ලෙස ගැනීම) ඉතාම සරලව, සායනික නොවන අර්ථයකින් හිස්ටෙරික යනු, සමාජ සබඳතා, පුද්ගල සබඳතා බඩවැල් රිදෙන තරමට, වමනය දාන තරමට ප්‍රශ්න කිරීමයි.
ලංකාවේ දේශපාලනය කරන- විප්ලවවාදී දේශපාලනයේ සිට NGO හරහා ආගමික දේශපාලනය දක්වා- ඕනෑම අයෙකුගේ ඥාණ-විභාගය සකස් වන්නේ, අනුභූතිවාදයෙනි. සමසමාජ නායකයන්ගේ චරිතාපදාන ඇතුළුව UNP චරිතාපදාන හරහා මංගල සමරවීරගේ චරිතාපදානය දක්වා මා කියවා ඇති චරිත කතාවල කතානායක තම පුද්ගලික අත්දැකීම්වලට එහා භාෂාවක් කතා කරන්නට දන්නේ නැත. කොටින්ම, ඔවුන් කල්පිත ජාතික රාජ්‍ය සීමාවකට කොටු වූ අත්දැකීම් පරාසයකට තම ජීවිතය කොටු කර ඇත. ජාතික රාජ්‍යයක් නොවන (බලන්න, හනා අරෙන්ඩ්) ඇමරිකාව තමන්ගේ රටේ පදනම ලෙස සලකා බලන්නේ, ජාතිය නොව ව්‍යවස්ථාවයි. එනම්, භාෂාවයි. භාෂාව යනු, අත්දැකීම අර්ථකතනය කිරීමේ සන්දර්භයෙන් ගත් විට එහි සීමාව වන්නේ අර්ථයක් නැති අත්දැකීම්- දෛනික පුරුදු, ඇබ්බැහියන්, චින්තන පුරුදු- දේශපාලන ලෝකයෙන් ඉවත තැබීමයි. නමුත්, මේ සෑම ඇබ්බැහියක්ම ව්‍යුහගත කරන්නේ භාෂාවයි.
දේශපාලනයෙන් ‘අත්දැකීම’ (Experience) අත්හිටවිය යුතු බව එඞ්මන්ඩ් හූසෙල්ට අනුව- ව්‍යුහවාදී චින්තකයන් ඇසුරින් මට පහදා දුන්නේ රොහාන් පෙරේරා ය. විජේවීරවාදයේ අත්දැකීම DNA අණුවක් වන විට ‘අත්දැකීම’ භාෂාවට පරිවර්තනය කිරීම අපගේ ව්‍යාපාරය සතු ඥාණ-විභාගය යි. ලංකාවේ මිනිස්සු ක්‍රම ක්‍රමයෙන් පොත් නොකියවීමේ ඇබ්බැහියකට යන විට දී ඊට එකම හේතුව වන්නේ, වෙළඳපොළ විසින් අපව අකුරු වලින් ඈත් කර දෘශ්‍ය රූප වෙතට යොමු කරන නිසාම නොවේ. ඊට ප්‍රධානතම හේතුව වන්නේ, භාෂාවෙන් ඉගෙන ගැනීමට වඩා අත්දැකීමෙන් ඉගෙන ගැනීමට මිනිසුන්ව තල්ලු කිරීමයි. 2005-2014 යුගය තුළ දී විජේවීරවාදය දෙවන වරටත් අප සංවිධානය තුළ තහවුරු වූ යුගයේ දී සංවිධානයේ පුද්ගලයන් න්‍යාය සහ පොත් කියවීමෙන් දැඩි ලෙස ඉවත් විය. වියට්නාම් සන්නද්ධ අරගලය ජයග්‍රහණය කරන ලද්දේ, එහි නායකයන් පොත් කියවූ නිසා බව එම අරගල ඉතිහාසය කියවන විට දී අපට තහවුරු විය.
Possessed.
ලංකාවේ පවතින සංවෘත ඕනෑම දේශපාලන ගොනුවකට ගැළපෙන ආකෘතියක් පිළිබඳව සිතීමේ දී දොස්තයෙව්ස්කිගේ ‘ආවේශ වූවෝ’ (1872- Possessed) නවකතාව සළකා බැලිය හැකි ය. පූර්ව-විප්ලවීය යුගයක පළ වූ නවකතාවක් ලෙස ගත් විට, එහි ආකෘතිය තුළ ඇත්තේ පැරණි සමාජය සහ නූතන සමාජය අතර ගැටුමයි. ඒ තුළ අඩංගු වන්නේ, අනාගත යහපත් සමාජයක් තැනීමට පමණක් අප උත්සාහ කළහොත් ඉන් බිහිවන යක්‍ෂාවේශය යි. එය, රූප සටහනකට ගතහොත් මෙසේ ය.
Thinking and Hegel.
‘ආවේශ වූවෝ’ නවකතාව තුළ අන්තර්ගත ප්‍රධාන චරිත දෙක වන ස්ටැව්රෝජින් සහ කිරිලෝව් අතර ඇති ප්‍රධාන ප්‍රතිවිරෝධය වන්නේ, පැරණි සාම්ප්‍රදායික සමාජය සහ නූතන බටහිර සමාජය අතර ඇති හර පද්ධතියේ වෙනසයි. නවකතාව අවසානයේ මේ දෙදෙනාම සියදිවි නසා ගන්නා අතර ඒවාට ඇත්තේ ඉලක්ක දෙකකි. නවකතාවේ ඉලක්කය වන්නේ, රුසියාවේ අනාගතය විප්ලවවාදීන්ට භාර දීමයි. නමුත් එවැනි ක්‍රියාවක දී ආවේශ විය යුත්තේ, ක්‍රිස්තියානි ආගමට සහ ශුද්ධ ජාතිකවාදයට ය. ස්ටැව්රෝජින් ආගම් ලබ්ධිය තුළ රටේ යහපත වෙනුවෙන් ගිලී යන අතර එහි ප්‍රතිඵලයක් ලෙස, ඔහුගේ ආශාවේ කණපිට පැත්ත ලෙස වසර 14 ක දැරියක් දූෂණයට ලක් වෙයි. ඉන්, කැලතෙන ඔහු සියදිවි නසා ගනියි. ආගම හරහා ඕනෑවට වඩා යහපත පැත්තට ගමන් කරන අයට හමු වන්නේ යක්ෂයා ය. අනෙක් අතට, කිරිලෝව් නම් රැඩිකල් විප්ලවවාදියා උත්සාහ කරන්නේ, සම්මතය ඉක්මවා අසම්මතය රජ කරවීමට ය. එනම්, අදේවවාදියාගේ අන්තය යි. එහි දී ඔහු උත්සාහ කරන්නේ, රුසියාවේ අනාගත දවසක සිදුවන කල්පිත විප්ලවයේ පරමාදර්ශය වීමට ය. ඔහු දෙවියන්ගේ කැමැත්ත තැනට ආදේශ කරන්නේ, ස්වාත්මයේ – self- කැමැත්ත යි. ස්වාත්මය ලගින තැන ඇත්තේ, නිදහස (Freedom) යි. ඔහුගේ අනාගත සටන් පාඨය වන්නේ, අනාගත මිනිසා ඇහැරවීමට අවශ්‍ය නම් ඒ සඳහා තාර්කික බිහිසුණු සියදිවි නසා ගැනීමකට යා යුතු බවයි. මෙම නවකතාව සමාජ විචාරය පිළිබඳ උපමා කතාවකි. දැන් ලංකාවේ පවතින සමාජය මෙම කතාවෙන් කියවෙන යථාර්ථයට ඉතා සමීප එකකි. රටේ සියලුදෙනාව මෙහෙය වන්නේ, සාංදෘෂ්ටික අත්දැකීම් ජාලයකිනි. එනම්, පැරණි සමාජයේ සදාචාරය වෙළදපොල යථාර්ථය විසින් විනාශ කරන විට ස්වකීය නිදහස් සාක්ෂාත් කර ගැනීමට කළ යුත්තේ කුමක් ද?
යන්න ය. එනම්, නූතන සදාචාරය වැළඳ ගැනීමට “ මා කුමක් කළ යුතු ද? ” එය අයත් වන්නේ, ආචාර ධර්ම ක්‍රියාවට (Ethical Act) ය. සොරෙන් කියකිගාඩ් කියන්නා සේ මෙවන් විරුද්ධාභාසි සමාජයක් තුළ ‘ඔබට සත්‍ය වන්නේ ඔබව ශ්‍රේෂ්ඨ කරවන සත්‍ය’ වේ. මෙම ආචාරධර්ම පැළ වන්නේ, පාරභෞතික ක්ෂේත්‍රයක බව අමුතුවෙන් කිවයුතු නැත.
වීඩියෝවක් නිකුත් කරමින් නිර්මාල් රංජිත් දේවසිරි විසින් X කණ්ඩායම පිළිබඳව ප්‍රවාදයක් නිර්මාණය කරයි.
“ මට අනුව, X කණ්ඩායම යනු අත්හදා බැලීමකි. (පර්යේෂණයක්,
Experiment එකක්)”
ලංකාවේ මිනිස්සු තම අත්දැකීම අදහසකට – idea- ගෙන එන ක්‍රම තුනක් තිබේ.
1.ප්‍රපංචය – Phenomena.
2. සංඥාව – Sign .
3. විමර්ශකය – Referent .
පුද්ගලයෙකු විසින් අත්දැකීමකට කතුවරයෙක් පත් කරන්නේ පසුව (Retroactively) ය. ඒ අනුව, නිර්මාල් 90 දශකය තුළ නො කියන අත්දැකීමක් වසර 20 කට පසුව කිය යි. උදාහරණයක් ලෙස, තමන් 90 දශකය අගදීම X කණ්ඩායම යනු, ‘පර්යේෂණයක්’ යැයි දැන සිටියේ නම්, ඊට ඇතුල්වනවා ද නැද්ද යන තීරණය අද තරම් අඩමාණ වන්නේ නැත. නිර්මාල් ව්‍යාපාරය සාර්ථක කර ගැනීමට මුදල්වලින් සහ ශ්‍රමයෙන් දායක විය. නමුත්, තවත් පුද්ගලයෙකු මෙසේ පැවසිය හැකි ය: ”X කණ්ඩායම කියන්නේ, කක්කා ගොඩක්”. මෙම අදහස මගින් නිරූපණය වන්නේ, කලින් නොදැන සිටි කරුණක් නොව, දැන් දන්නා කරුණක් අතීතයට යොදා තේරුම් ගැනීමකි. තවත් කෙනෙක් මෙසේ පැවසිය හැකි ය: ”මට නම් කවදාවත් X කණ්ඩායම කියන්නේ මොකක් ද කියලා තේරිලා නෑ”.
ඉහත ස්ථාවර 3 ම යනු, X පිළිබඳ ප්‍රපංචවේදී අත්දැකීම් ය. යමක් පිළිබඳව දන්නේ නැහැ යනුවෙන් පැවසීම පවා ඒ දෙය පිළිබඳව ප්‍රමාද වී ලබා දෙන අනන්‍යතාවයකි. නිර්මාල් නො කියන දෙය කුමක් ද?
මට X එක පර්යේෂණයක් කියන විට ඔහු තම අවබෝධයට කතෘකාරකයෙකු (Author) සවි කරයි. එය කරන්නේ, ඔහුට X පිළිබඳව යමක් වැටහුණු පසුව ය. නිර්මාල් සිතන්නේ, යමක් පිළිබඳව වැටහීම – sense – සහ එම දෙයට කතුවරයෙකු උත්පාද කරවීම දෙකක් නොව තනි ක්‍රියාවක් බවයි. අපි කටහඬ සහ කණ අතර සම්බන්ධයක් ගොඩනගමු. කෙනෙකු කතා කරගෙන යන විට දී කටහඬ (Voice) ඒ කෙනාගේ කණටම ඇසෙයි. එය, ඉන්ද්‍රිය සංවේදනයකි. කතා කරන කෙනාගෙන් එළියට යන වචන මාලාවක් සේ පිටතට මුඛයෙන් ගමන් කරයි. මෙම වචනවලට මූලයක් නැත. ඒවා, ස්වරාලය තුළින් හටගෙන අසන්තතිකව බාහිරට නිකුත් වෙයි. මෙම කටහඬ ඉන් පිටත සිටින කෙනෙකුගේ කණට ද ඇසිය හැකි ය. නමුත්, මේ කටහඬ අපටම නැවත ඇසෙනවා කියන එක අත්දැකීමක් බවට පරිවර්තනය වන ආකාරය ව්‍යුහාත්මකව අවිඥාණක ය. ස්වරාලයෙන් එළියට මුක්ත වන කටහඬට මූලයක් හෝ සම්භවයක් නැත. එම නිසා, මේ කටහඬට අයිතිකරුවෙක් නො මැත. ‘නිශේධනය’ නම් සංකල්පයට පැහැදිලි තේරුමක් දිය හැකි සන්දර්භයක් අපට මෙතැන දී මුණ ගැසෙයි. ප්‍රපංචය යනු, දේවල් වලට අත්දැකීම හරහා විමර්ශකයක් ලබා දීමයි. ‘සැබෑ දෙය’ (Real Thing) සහ ‘පසුව නම් කරන දෙය’ අතර පරතරයක් (Gap) සහ ප්‍රමාදයක් (Delay) ඇත. ඒ අනුව, අයිතිකරුවෙක් හෝ කතුවරයෙක් නැති ‘කටහඬකට’ ඒ මම කියා කියන්නේ කවු ද? අයිතිකරුවෙක් නැති කටහඬක් අපව යොමු කරවන්නේ අවිනිශ්චිතතාවයකට ය. නමුත්, ‘අත්තා’ නැතහොත් ආත්මය – subject – යනු, අවිනිශ්චිතභාවයක් නොව රැවටීමකි. රැවටීමක් ඔබ කැමති පරාසයකට නිශ්චිත විය හැකි ය.
ඩෙරීඩා වැනි දාර්ශනිකයෙකු පවසන්නේ, මෙම කටහඬට ‘මම’ කියා ආලය කර එහි ඇලීම ‘ශබ්ද ආලය’ (Phonocentrism) බවයි. මෙය, ‘ආත්ම ආලයට’ (Narcissism) පූර්වගාමී ය. එම නිසා, ආත්මය පිළිබඳව බුදුන් වහන්සේ සහ ඩෙරීඩා පවසන්නේ එකක් නොව දෙකකි. මා විසින් නලීන් සුවාරිස් ඩෙරීඩා ව විකෘති කරනවා යැයි කියන්නේ, මේ දාර්ශනික අපගමනය නිසා ය. බුදුන්ට ‘ආත්මය’ අත්දැකීමකි. ඩෙරීඩාට එය නැති දෙයක් ප්‍රාදුර්භූත කිරීමකි.[Late Naming] එය, ප්‍රමාදය සහ වෙනස නො කියවීමකි. එනම්, ‘ආත්මය’ යනු, කියවීම පිළිබඳ ගැටලුවකි. භාවනා කිරීමෙන් මෙම ගැටලුව විසඳාගත නො හැකි ය. වසර 20 ක් ගත වූයේ, මෙම වෙනස අධ්‍යයනය කිරීම දුෂ්කර ක්‍රියාවක් නිසා ය.
නිර්මාල්ගේ ස්ථාවරය තරමක් වෙනස් ය. ඔහු ප්‍රපංචවේදය සහ ව්‍යුහවාදය අතර දෝලනය වෙයි. X කණ්ඩායම ‘කක්කා ගොඩක්’ කියන්නා එලෙස කියන්නේ, තමන් ද කක්කා ගොඩක් බව නො දැන ය. ඒ, ව්‍යුහවාදයේ ඥාණ-විභාගයට අනුව ය. නමුත්, නිර්මාල්ට තම ආස්ථානය අවිනිශ්චිත ය. ඔහු X යනු, පර්යේෂණයක් යැයි කියන විට දී කතුවරයෙකු අවිඥාණකව මවන මුත් එය අඩමාණ බවත් පවසයි. සමහරවිට, එය එසේ නොවන්නත් පුළුවනි. නිර්මාල් සහ අනෙකුත් පූර්වගාමී X සාමාජිකයන් අතර වෙනස එය යි. ඔවුන් බහුතරයකට X යනු, ගූ ගොඩකි. මේ කිසිවෙකු නො කියන්නේ, ඒ කාලයේ X යනු, ගූ ගොඩක් නම් එය ලෙව කෑමට පැමිණියේ මන්ද යන්න ය. එසේනම්, මේ ‘ගූ ගොඩ’ යන රූපකය තමා පිළිබඳවම උපමා කතාවකි. තමන්ගේ කටහඬ අත්දැකීමක් බවට පසුආවර්තිතව යොදා ‘මාව’ ඒ යුගයට ඇදගෙන ගොස් ඒ කාලයේ සිටි මෝඩයාට ඇඳීම මකා දමා බුද්ධිමතෙක් බවට පරිවර්තනය කිරීමයි. නිර්මාල් මෙතැනදී උභයාවේගී ය. එක පැත්තකින්, ඔහු ද අතීත X පිළිබඳව ”බුද්ධිමත් ප්‍රවාදයක්”[Thesis] අත්දැකීමක් පාදක කොටගෙන ගොඩ නගයි. අනෙක් පසින්, එම ප්‍රවාදය පිළිබඳව යම් අවිනිශ්චිතතාවයක් ද මතු කරයි.[Antithesis] සැබවින්ම, ඔහු X හී තැන X ම කරයි. ‘කටහඬ’ අත්දැකීමක් බවට පත් කිරීම ඊළඟට අපගේ විනෝදයට ද සම්බන්ධ ය. එය විග්‍රහ කිරීම අපගේ මේ මාතෘකාවට අදාළ නැත.
මින් අදහස් වන්නේ, සෝෂියර් අධ්‍යයනය කරන්නේ අක්ෂර වින්‍යාසය හෝ භාෂාව පිළිබඳ නීති රීති, ව්‍යාකරණ, ශබ්දකෝෂය නොවන බවයි. ඔහුගේ භාෂාව පිළිබඳ අදහස සියලු භාෂාවන්ට පොදු ශබ්දය, කටහඬ මූලාශ්‍ර කොටගෙන නිර්මාණය වී ඇත.
අපි ඊළඟ ලිපියකින් ව්‍යුහවාදය සහ ප්‍රපංච විද්‍යාව අතර තිබෙන වෙනස්කම් පිළිබඳව තවදුරටත් විභාග කරමු. විශේෂයෙන්, ව්‍යුහවාදී මාක්ස්වාදය, ව්‍යුහවාදී මානව විද්‍යාව සහ ව්‍යුහවාදී සමාජ විද්‍යාව.
– Deepthi Kumara Gunarathne.
ඔබේ අදහස කියන්න...
do you mean phenomenology and structuralism both are considered in same philosophical branch ? please explain me if you have time thax
No. Read Our Enjoyment Book.
Comments are closed.