බියට පත් දරැවා කවු ද ?

‘X යනු කුමක් ද?’ යනු, පිටු 202 කින් සමන්විත න්‍යායික කෘතියකි. එහි අඩංගු වන්නේ, පසුගිය වසර 20 ක් තුළ වර්ධනය කළ න්‍යායික නිෂ්පාදනයකි. මෙම කෘතිය තුළ ඇති අඩංගුව පැරණි X කණ්ඩායමට හෝ එහි කිසිදු සාමාජිකයෙකුට අදාළ වන්නේ නැත. ඉතාම සරලව කිවහොත්, මෙම පොත ශුද්ධ න්‍යායික කරුණු අඩංගු දේශපාලනයට අදාළ පොතකි. ව්‍යුහවාදය යනු කුමක් ද? අපට එම න්‍යායෙන් ගතහැකි වැඩ මොනවාද යනු මෙහි අන්තර්ගතය යි. මෙහි අන්තර්ගතය පිළිබඳව මෙතරම් ලීවේ, එය කිසිදු ආකාරයකට අපගේ පැරණි උරුමයට සම්බන්ධයක් නැති බව පෙන්වීම සඳහා ය. අපගේ පැරණි උරුමය සහ එහි VOC ඉතිහාසය තවමත් සමකාලීන බූරුවන් වැලකට විකුණාගෙන කා හැකි ගෙරි මසක් බව අප නොදන්නවා නොවේ. 

 

ශ්‍රී ලංකාවේ දේශපාලන භාවිතාව තුළ, ඇකඩමික් භාවිතාව තුළ, සමාජ භාවිතාව තුළ රජ කරන්නේ අත්දැකීම (Experience) යි. ලංකාවේ පටන් ගන්නා ඕනෑම වැඩක් සහ අවසන් වන ඕනෑම වැඩක පදනම අත්දැකීම යි. එම නිසා, මෙහි ආගමේ සිට දේශපාලනය හරහා පවුල දක්වා සියල්ල ප්‍රපංච විද්‍යාත්මක (Phenomenological) ය. විජේවීරවාදයේ ඉස්පිල්ල පාපිල්ල පවා අත්දැකීම්වාදයක සිර වී ඇත. එම නිසා, ලංකාවේ චින්තනය අපෝහක තර්ක ක්‍රමයක් මත පදනම් වී නැත. එය, අනන්‍යතාවාදී ය. මෙම ප්‍රපංච විද්‍යාත්මක දර්ශනය සමතික්‍රමණය කරන ‘විධික්‍රමයක්’ මෙම නව කෘතියේ අඩංගු ය.

 

ලංකාවේ මිනිසුන්ට ‘ව්‍යුහවාදය’ ඉගැන්වීම දුෂ්කර ය. නමුත්, සමකාලීන සමාජ මාධ්‍ය භාවිතාව ක්‍රම ක්‍රමයෙන් අත්දැකීම ඉක්මවා භාෂාව ප්‍රාථමික කරවන නිසා ‘නව ලෝකයක්’ බිහි වී ඇත. අධිරාජ්‍යවාදය, ධනවාදය පෙරළීමට කතා කරන ධනවාදයට විරුද්ධ බහුතර වීරයන් තම ජීවිතය වැඩිපුර ගෙවා දමන්නේ, මාර්ක් සකර්බර්ග්ට මුදල් අය නොකර නොමිලයේ සේවය කරමින් ය. එම නිසා, ඔවුන් කාල් මාක්ස්ගේ නමට කදිම පශ්චාත්-නූතන ආදේශනයක් සොයා ගෙන ඇත: “මාක්ස් සකර්බර්ග්. හිරු එළිය මහ පොළොවට වැටෙන මොහොතෙන්  පටන් ගන්නා ‘සමාජ මාධ්‍ය’ ඇබ්බැහි අවසන් වන්නේ තුන්වැනි යාමය අවසන් වීමෙනි”. පශ්චාත්-නූතනවාදය ලංකාවට අදාළ නැත යනුවෙන් විකාර කතා කියන පුද්ගලයන් තමන්ගේ ඇබ්බැහිය හැර අන් සියලු අගතීන් විවේචනය කරමින් සිටිති.

 

පශ්චාත්-නූතනවාදයේ (මින් අදහස් වන්නේ, සංස්කෘතිය හුවමාරු-වටිනාකම් ලෝකයකට ඇතුල් වීමයි. වසර 20 කට පසුව සිදු වී ඇත්තේ මීට ප්‍රථමව පරිගණකකරණය වූ බටහිර සමාජ සබඳතා දැන් ලංකාව තුළත් තහවුරු වීමයි. අපගේ දෛනික ජීවිතය සහමුලින්ම- ලිංගිකත්වයේ සිට සන්ථවය දක්වා – ඩිජිටල්කරණය මගින් පාලනය වන තත්වය විසින් වයස පහේ නොදරුවාගේ සිට මහල්ලා දක්වා පරාසයක ජනගහනය ප්‍රාග්ධනයේ ආධිපත්‍යයට යටත් කර ඇත. මෙහි සිංහල තේරුම කුමක් ද? අපගේ දෛනික ජීවිතය පුළුල් අර්ථයෙන් සංස්කෘතිය ‘නිදහස් වෙළඳපොලක්’ බවට පරිවර්තනය වී ඇත. චිකාගෝ කොල්ලන් පිළිබඳව කතා කරන මෝඩයන් නො දන්නේ තමන්ගේ ඊනියා වයසට නොයන තාරුණ්‍යය පවා විකුණන භාණ්ඩයක් වී ඇති බවයි.

 

ධනවාදයේ අසමාන වර්ධනයන් විසින් ලංකාවේ සියලු යථාර්ථයන් අවුල් සහගත කර ඇත. විශ්ව-විද්‍යාලවල මානුෂික විද්‍යා අංශවල- භාෂා අධ්‍යයනයේ සිට ඉතිහාසකරණය දක්වා- සිට සමාජ විද්‍යා අංශ දක්වා පුළුල් පරාසයක අධ්‍යයන අංශ වලට පවා තවම ව්‍යුහවාදය පැමිණ නැත. එවැනි තත්වයක් විශ්ව විද්‍යාලවල පවතින නිසාම භූපති නලීන් වැනි මිනිසුන් ඔබේ ගමට (මෙල්බර්න් යනු ද සිංහල ගමකි) සර්කස් පැසිපියා රැගෙන ඒම පිළිබඳව අප පුදුම විය යුතු නැත. සමකාලීන පශ්චාත්-නූතන ධනවාදී සමාජ රාමුව තුළ අධිපති දෘෂ්ටිවාදය වන්නේ, නරුමවාදය (Cynicism) යි. භූපති, විදර්ශන, දේවසිරි කියන්නේ කවුද කියලා සියලුදෙනාම දන්නවා… එහෙත්, ඒ තත්වය නොදන්නා සේ ක්‍රියා කරයි. දෘෂ්ටිවාදය ක්‍රියා කරන්නේ, සබුද්ධික සිතන්නා වෙතට නොව අවිඥාණක ක්‍රියා කරන්නා දෙසට ය. එම නිසා, මේ තත්වයෙන්  එහාට ගොස් 90 ට පසුව එක පරම්පරාවක්ම නරුමයෝ බවට පත් වී තිබේ.

 

දාර්ශනිකව ගතහොත්, ‘X යනු කුමක් ද?’ කුඩා කෘතිය මගින්  සමාජයට යෝජනාවන් දෙකක් ඉදිරිපත් කරයි.

 

1.සුවිශේෂව අපි ‘විජේවීරවාදය’ දේශපාලන සංවිධානය වීම් තුළ පරාජය කරන්නේ සහ සාර්වත්‍රික ලෙස ලංකාවේ අත්දැකීම්වාදය විවේචනය කිරීම දෛනික පුරුද්දක් කරගන්නේ කෙසේ ද? යන සාධකය. (විශ්ලේෂී දර්ශනයේ සිට ප්‍රපංච විද්‍යාව දක්වා)

 

2.‘ධනවාදය’ කතිකාවක් වී ඇති යුගයක දී ‘බාහිර බාධාව’ (External Obstacle) කියන දේශපාලන ස්ථාවරයෙන් මිදී- වෘත්තීය සමිතිවල සිට ධනවාදයට එරෙහි බාහිර යාතුකර්ම – තමන්ගේ අභ්‍යන්තර සීමාව (Limit of Ontological Reason) කරා නෛෂ්ක්‍රමණය කරන්නේ කෙසේ ද කියන ස්ථාවරත්වයට එළඹෙන්නේ කෙසේ ද? යන්න. මෙමගින්, ඉදිරි පරම්පරාවන්ට ඓතිහාසික පරිවර්තනයක් හමු වීමට නියමිත ය. සරලව කිවහොත්, මුදල් මාධ්‍ය කොටගත් සමාජයක් භාෂාව මාධ්‍ය කොටගත් කොමියුනිස්ට් සමාජයක් කරා පරිවර්තනය කිරීම මුඛ්‍ය ගැටලුව වී ඇත. සමාජ සබඳතා පරිගණකය තුළ දත්ත හැටියට ගබඩා වන නිසා මේ අවබෝධය වටහා ගැනීම සමකාලීනව පහසු ය. මිනිසුන් සංවිධානය කිරීම වෙනුවට කතිකා විශ්ලේෂණය කිරීම ආදේශ වන්නේ, නිකන් නොවේ.

 

අපගේ කෘතිය තුළ අඩංගු වන බුද්ධිමය අන්තර්ගතය ඉහත උපන්‍යාස දෙක මත පදනම් වෙයි. හදාරන්නේ නැතිව අපට ගැළවුමක් අපේක්ෂා කිරීමට නොහැකි ය. එම නිසා, අපේ ආරාධනාව වන්නේ ඔබ තරුණ වූවත්, පවුලක ප්‍රධානියෙකු වූවත්, මෙම පොත කියවන්න කියා ය. ජීවිතය සංකීර්ණ වෙන්න වෙන්න එය අර්ථකතනය කර ගැනීමටත් උසස් න්‍යායන් අවශ්‍යය වේ. මාරාන්තික රෝග වලට අදාළ ඖෂධවල මිල අධික ය. ජීවිතයේ සංකීර්ණ ගැටලු විසඳා ගැනීමත් මිල අධික සංචාරක වියදමකි. ‘හිස්ටිරියාව’ නම් ප්‍රශ්න කිරීම ‘යථාර්ථය අසම්පූර්ණයි’ කියන ආශාවේ ප්‍රහේලිකාවට මෙම අලුත් කෘතිය ගැට ගසා තිබේ. 

ඔබේ අදහස කියන්න...