ශ්‍රී ලංකාවේ ‘සමාජ විද්‍යාව’ පිළිබඳ අවධානය යොමු වූයේ, 80 දශකයේ උතුරේ ජාතික ගැටලුව සමඟ ඇති වූ සමාජ අර්බුදය අධිනිශ්චය වීම නිසා ය. ඒ සඳහා මැදිහත් වූ කීර්තිමත් සමාජ විද්‍යාඥයා වූයේ, ආචාර්ය නිව්ටන් ගුණසිංහ ආචාර්යවරයා ය. ඔහුගෙන් පසුව ශ්‍රී ලංකාව ”සමාජ විද්‍යාව” අරභයා කාන්තාරයක් බවට පත් විය. ඉන්පසුව බිහි වූයේ, ජනමාධ්‍යවල දෘෂ්‍යබද්ධයට -gaze- යටත් වූ විවිධ විපරිත විශ්ව විද්‍යාල ගුරුවරුන්ය.
තතු මෙසේ පවතින විට, යමක් අලුතින් පටන් ගන්නවා නම් එය පටන් ගත යුතු තැනින් මිලින්ද මායාදුන්න පටන්ගෙන ඇත. ඒ, එමිල් ඩුර්කයිම් පිළිබඳ කෘතියක් සමාජගත කිරීමයි.
ලංකා විශ්ව විද්‍යාලයේ දැනට සිටින සමාජ විද්‍යා ආචාර්යවරුන් යනු, චිත්‍රපට නළු නිළියන් ය. ඒ අයට අවශ්‍ය සමාජ විද්‍යාව නොව ‘අවධාන විද්‍යාවයි’. එවන් අවදානමකට සමාජ විද්‍යාව පත් වී ඇති යුගයක ඩුර්කයිම් පිළිබඳව ලිපි සරණියක් පළ කිරීම සමකාලීන බුද්ධි ප්‍රබෝධයට වැදගත්ය.
සංස්කාරකවරයෙක් ලෙස මිලින්ද ඩුර්කයිම්ගේ ජීවිතය සහ ඇකඩමික වැඩ පිළිබඳව සවිස්තර පෙරවදනක් ලියා ඇත. ඊට අමතරව, අපරාධ පිළිබඳව සමකාලීන අදහසක් ජනිත වන අයුරින් කුමාරි තෝරදෙණිය ලිපියක් ලියා ඇත. අධ්‍යාපන සමාජ විද්‍යාව පිළිබඳව ප්‍රණීත් අභයසුන්දර ලිපියක් ලියා ඇත. අනෝමීයත්වය හෙවත් ධර්මතා විරහිත වීම පිළිබඳව උපුල් ප්‍රියංකර ලේකම්ගේ ලිපියක් ලියා ඇත. මේ සෑම ලිපියක්ම ඇකඩමික් පරිචයක් සහිතව සමකාලීනත්වය මතුවන අයුරින් ලියා ඇත.
විශේෂයෙන්ම, අනෝමීයත්වය නැතහොත් සමාජීය බව අතහැර පුද්ගලාබද්ධව ජනතාව (People) යන ප්‍රපංචය පසුපස ඇකඩමිකයන් දුවන යුගයක ‘අනෝමීය’ යනු, නිශේධනාත්මක අරුතක් බව කෘතිය විග්‍රහ කරයි. විශේෂයෙන්ම, සමකාලීන නූතනත්වය විසින් බිහි කරන ව්‍යාජ රැඩිකලුන් පිළිබඳව විග්‍රහයකට යාමේදී අනෝමීයත්වය වැදගත් සංකල්පයකි. සදාචාරය වෙනුවට සමකාලීන සමාජය තුළ තහවුරු වී ඇති ප්‍රතිරූප පිළිබඳව අවබෝධයක් මෙසේ ඇති කරගත හැකිය.
“ආත්මාර්ථකාමී පුද්ගලයෙකු යනු, ඔහු/ ඇයගේ හැසිරීම සහ ජීවිතය පිළිබඳ නීති රීති බාහිර සදාචාරාත්මක අධිකාරියකින් නොව ඔහු හෝ ඇය විසින්ම ගොඩනගා ගන්නා අයෙකි.”- පිටුව 15 –

ඉහත සමාජ විද්‍යාත්මක විපර්යාසයේ දාර්ශනික හැඟවුම වන්නේ, අප ජීවත් වන යුගයේ ක්‍රියාවට බසින පුද්ගලයාට සදාචාර අදහසක් නැති බවයි. තම පුද්ගල නිදහස වෙනුවෙන් සමකාලීන යුගයේ දී මිනිසුන් ඕනෑම සමාජ විරෝධී වැඩක් සිදු කරන්නේ තම භක්තිය තමන්ටම සුජාත කරවීම සඳහා ය.
එම නිසා, සමකාලීන යුගයේ දී ඔබට සමාජ විද්‍යාඥයන් හමු වන්නේ පුස්තකාල, පර්යේෂණ වැඩබිම් අතර නොව පොප්කෝන් මල්ලක් අතැතිව අංගොඩ මානසික රෝහලට සමීපව ඇති සිනමා ශාලාවක දිගු පෝලිමක් අතර ය. ඔවුහු සරලමතික චිත්‍රපටකරුවන්ට තම ආත්මය විකුණා ඉන් නිරාමිස ජනප්‍රිය සතුටක් විඳියි.
පිස්සන් ‘සමාජ විද්‍යාව’ ඉගැන්වීම පටන්ගෙන ඇති යුගයක මිලින්දට වැඩ ගොඩක් කිරීමට ඇත. විශේෂයෙන්ම, මැක්ස් වේබර්ගේ සිට අද්‍යතනය දක්වා ඇති දිගු පෝලිම ලංකාවට හඳුන්වාදීමේ වගකීම ඇත්තේ, මිලින්ද වැනි විද්‍යාර්ථීන්ට ය. ඇන්තනී ගිඩ්න්ස්, පියරේ බෝදියු, මිචෙල් ෆූකෝ පිළිබඳව බොරු උගන්වන යුගයක වේදිකාවට අවතීර්ණ විය යුත්තේ, මිලින්ද මායාදුන්න වැනි විශ්ව විද්‍යාල ගුරුවරුන්ය.
ඔබේ අදහස කියන්න...