සිහින ලෝකවල නො ඉඳ මහ පොළොවේ යථාර්ථයට අවදි වන ලෙස සිදු කරනු ලබන ඉල්ලීම් අපට වැඩි වැඩියෙන් වර්තමානයේ දී අසන්නට ලැබේ. ඒ සඳහා පිළිතුරක් ගොනු කිරීමට මහ පොළොවේ යථාර්ථය යනු කුමක් ද, සිහිනය යනු කුමක් ද හා අවදිවීම යනු කුමක් දැයි අප විමසා බැලිය යුතු ය. මුලින් ම අප වටහා ගත යුත්තේ අප මේ ගෙවමින් සිටින්නේ මාධ්‍ය මත පරායත්ත ‘පශ්චාත් – සත්‍ය’ අවධියක බව ය.[post-Modern Post-Media Society] බොහෝ දෙනෙකුට අමතක වන්නේ මෙම තත්ත්වය තුළ මුලින් ම ප්‍රහාරයට ලක් වන්නේ කවුරුත් සෝද සෝදා මඩේ දමන ‘යථාර්ථය’-reality- ම බව ය. අප මේ ගෙවමින් සිටින මොහොත බොරු ප්‍රවෘත්ති, කුමන්ත්‍රණ න්‍යාය, යම් කෙනෙකුගේ පෞද්ගලික ඡායාරූප, වීඩියෝ හා දුරකථන සංවාද වැනි දේ හිතාමතා හෙළිදරව් කිරීම් (leaks) වැනි දේ මත රඳා පවතියි. අද ප්‍රවෘත්ති කියන්නේ මේවාට ය. වෙනත් ආකාරයකට සඳහන් කරන්නේ නම් බොරු හා හෙළිදරව් කිරීම් මත වර්තමාන යථාර්ථය නිම වී ඇත. ඔබ යම් ආයතනයක් වෙත දුරකථන ඇමතුමක් ලබා දුන් විට මිනිසකු ඔබ සමඟ කතා කරනු වෙනුවට පටිගත කරන ලද මිනිස් කටහඬ සහිත පිළිතුරු දීමේ යන්ත්‍ර ඔබ සමඟ කතා කරනු ඇත. නො එසේ නම්, chat-bots ඔබ සමඟ සන්නිවේදනය කරනු ඇත. මෙහි දී ඔබට සිදු වන්නේ කතා කිරීමට නො ව පිළිතුරු දීමේ යන්ත්‍රය ලබා දෙන උපදෙස් අනුව දුරකථනයේ අංක එබීමට පමණි. තවදුරටත් ඔබ සමඟ කතා කිරීමට අනෙක් අන්තයේ සැබෑ මිනිසෙකු නැත. අන්තර්ජාලය මාධ්‍ය සමඟ සම්බන්ධවීම සමඟ අපි අපගේ ම මාර්ගගත සමරූප (online avatars), තථ්‍යසමාන යථාර්ථය, කෘත්‍රිම බුද්ධිය හා ක්‍රිප්ටො මුදල් ඇතුළු සුඛපරමවාදී ජීවිතයක් පිළිබඳ සිහින දකිමින් විනෝද වෙමින් සිටිමු. යථාර්ථවාදීන් කියන්නවුන් අපට අවදිවන්නට ආරාධනය කරන්නේ මෙවැනි යථාර්ථයකට ය. දවසින් වැඩි කාලයක් මුහුණු පොතේ තථ්‍යසමාන යථාර්ථය තුළ ගත කරමින් සිතට එන යමක් විතණ්ඩවාදී ලෙස පළ කිරීම ඔවුන්ගේ දෛනික ජීවිතය බවට පත් වී ඇත.

මේ සඳහා මනෝවිශ්ලේෂණය මඟින් ගොනු කළ හැකි පිළිතුර කුමක් ද? යථාර්ථය පසුපස හඹා යාම අනුවණ ක්‍රියාවක් බව සයිකොටික ආත්ම ඇසුරෙන් මනෝවිශ්ලේෂණය අපට පෙන්වා දී ඇත. යථාර්ථය යනු ෆැන්ටසියක් බව ද අපි අසා ඇත්තෙමු. අන් කිසිවෙකු හෝ කිසිවක් හෝ විශ්වාස නො කරන මිනිසුන් යථාර්ථය විශ්වාස කරන්න යැයි සඳහන් කරන විට අප පෙරළා විමසිය යුත්තේ අනෙකා පිළිබඳ විශ්වාසය බිඳ වැටී ඇති ඔබ ඔබවත් විශ්වාස නො කරන විට යථාර්ථය විශ්වාස කරමින් එයට ඇහැරෙන්න යැයි අපට බල කරන්නේ ඇයි ද කියා ය. නො එසේ නම් සිල්ලර ලෙස මෙසේ වහරන යථාර්ථය නැමැති බොරු මර උගුලෙන් ගැලවීමට අපට මාර්ගයක් සොයා ගත නො හැකි වනු ඇත.

අපට අවදි වන ලෙස ඉල්ලා සිටින අයවලුන් අවදි වී ඇතැයි පෙන්නුම් කළ ද හොඳින් නිරීක්‍ෂණය කරන විට පෙනී යන්නේ ඔවුන් තෝරා ගෙන ඇත්තේ පරිභෝජනය මත පරායත්ත ජීවිතය බව ය; සමාජයෙන් බැහැරව ඔවුන් පවුල තුළට කොටු වී ඇති බව ය. ඔවුන් ”සමාජය” යැයි කියන්නේ සමාජ මාධ්‍ය වේදිකාවලට (social media platforms) ය. තවත් පැහැදිලි කරන්නේ නම් ඔවුන් තෝරා ගෙන ඇත්තේ සුඛපරමවාදී ජීවිතය බව ය; අනාගත යහපත් ජීවිතයක් පිළිබඳ සිහිනය බව ය. නමුත් අවදිවීම යනු යහපත් ජීවිතයක් පිළිබඳ අනාගත සුබ සිහිනයක් ද? ලැකාන් සඳහන් කරන්නේ ජීවිතය යනු ඕනෑම අවදිවීමකින් ඔබ්බෙහි පවතින්නක් බව ය. එනම්, ජීවිතය යනු තද නින්දක් බව ය. එවිට ජීවත්වීම යනු අවදිවීමක් නො ව සදාකාලික නිද්‍රාගතවීමක් සහ සිහින දැකීමකි. කාලය නැතියාව (absence) සදාකාලිකත්වය ලෙස හැඳින්විය හැක. බොහෝ දෙනා අද වන විට සිහින දකින්නේ ඒ පිළිබඳව ය. නමුත් සදාකාලිකත්වය නමැති මෙම සිහිනය තුළ අවදිවීමක් පිළිබඳ සදාකාලික නො වන සිතිවිල්ල ද ගැබ්ව පවතියි. එවිට කෙනෙක් තමන්ගේ කාලය සිහින දකිමින් ගත කරයි. ඒ අනුව අපට වැටහෙන්නේ කෙනෙකු හුදු නින්දේ දී පමණක් සිහින නො දකින බව ය. අවිඥානය පිළිබඳ එක් ලැකානියානු අර්ථ දැක්වීමක් වන්නේ ද අවිඥානය යනු කෙනෙකු නිදා සිටින විට පමණක් සිහින නො දකී යන උපකල්පනය බව ය.

ලැකාන් පසුකාලීනව හැඟවුම්කාරකය මාක්සියානු දේශපාලන ආර්ථිකය සමඟ සම්බන්ධ කරන බැවින් අපට සිහිනය පිළිබඳ තවත් කියවීමකට යා හැකි ය. සිහිනය වෙත ගෙන යමින් අපව නිදි ගන්වන්නේ ”ලුබ්ධි ආර්ථිකය” යි. ලුබ්ධි ආර්ථිකය යහපත් හෙට දවස පිළිබඳ වෙළඳපළ දෘෂ්ටිවාදය සමඟ තුල්‍යවීම මඟින් ආත්මයේ නෛසර්ගික අඩුව සඟවා දමයි. එ මඟින් අපට අහිමි වී ඇති යමක් නැවත සපුරා ගත හැකි ය යන අදහස ලබා දෙයි. මෙහි දී නැවත සපුරා ගත හැකි ය යන්න වැදගත් වන්නේ එය අවදිවීම ඇතුළු බහුඅරුත් දනවන යමක් වන නිසා ය. එ මඟින් අතිරික්ත විනෝදය සඳහා මාර්ගය විවර වේ. මෙම දෘෂ්ටිවාදය අවදිවීමක් ලෙස පෙන්නුම් කළත් සැබැවින් ම මෙය පවත්නා ක්‍රමය තුළ නිදිගැන්වීමකි. එය එක්තරා ආකාරයකට නියුරෝසීය ව්‍යුහයක් ගනියි. එ නම්, තමන්ගේ ජීවන පැවැත්ම අවදිවීමක් ලෙස නම් කිරීම ඔවුන් සත්‍යයේ ස්වරූපයෙන් ප්‍රකාශ කරනු ලබන බොරුවකි. මන්ද යත් ලැකානියානු අර්ථයෙන් ඒ තුළ පවතින්නේ නිද්‍රාවක් වන නිසා ය.

අපගේ නින්ද ශරීරය ආරක්ෂා කරන විට සිහිනය නින්ද ආරක්ෂා කරයි. ලැකාන්ට අනුව ශරීරය සඳහා පූර්ණ අවදිවීම නම් මරණය යි. ජීවිතය ශරීරය මඟින් මූර්තිමත් වන නිසා මරණය ද සිහි ගන්වයි. සංකේතනය ශරීරය සම්බන්ධ කරන්නේ භාෂාව මඟිනි. පූර්ණ අවබෝධය ලබා ගැනීමට දරණ උත්සාහයේ දී අපි ශරීරයෙන් ඉවත් වී අවදීවීමට මෙන් ම මරණය ද අපේක්ෂා කරන්නෙමු. නමුත් මෙම මරණය යනු ද ජීවිතය චිරස්ථායී කරන සිහිනයක් නො වන්නේ ද?

ලැකාන්ගේ සිහින අර්ථ දැක්වීම ෆ්‍රොයිඩ්ගේ සිහින අර්ථ දැක්වීමෙන් යම් ආකාරයකට වෙනස් ය. ලැකාන් සඳහන් කරන්නේ ෆ්‍රොයිඩ්ගේ සිහින නිදා ගැනීම සඳහා පවතින ආශාවක් වුව ද තමන්ගේ සිහින ‘අවදිවීම සඳහා වන ආශාවක්’ බව ය. එ නම්, සිහින වෙත ප්‍රවේශ විය යුත්තේ අවදිවීමට පවතින උපකරණයක් ලෙස ය. ඒ හේතුවෙන් අවදිවීම පිළිබඳ අපට නැවත කියවීමකට යා හැකි ය. එම අවදිවීම උදෑසන නින්දෙන් අවදිවීමට වඩා වෙනස් ය. එසේත් නැතිනම් මුලාවකින් අත්මිදීමට වඩා වෙනස් ය. ලැකාන් මුල් කාලයේ දී අප අවදි වන්නේ සිහින දැකීමට යැයි සඳහන් කළ ද අවසන් කාලයේ දී සඳහන් කරන්නේ අපි සිහින දකිමින් කාලය ගත කරන අතර කිසි දා අවදි නො වන බව ය. මේවා බැලූ බැල්මට පරස්පර ප්‍රකාශ ලෙස පෙනුණ ද එහි පවතින්නේ එක ම අදහස ය. එ නම්, ජීවිතය යනු අවදිවීමකට වඩා සිහින දැකීමක් බව ය. එයට හේතුව අපගේ ආශාවන් සිහින පවත්වාගෙන යාම ය.

ලැකානියානු අර්ථයෙන් අවදිවීම සම්බන්ධ වන්නේ වියනොහැකියාව – impossibility – සමඟ ය. එ නම්, එය යථට සමීප ය. හැඟවුම්කාරක සමඟ ගැටෙන විට කිසිවෙකු අවදි නො වෙයි. එය තවදුරටත් සිහින තුළ ම නිමග්න වීමකි. ලැකාන් සඳහන් කරන්නේ කෙනෙකු සිටින කතිකාව නො තේරෙන විට හැර සෑම විට ම එය අපව නිදිගන්වන බව ය. එය අපව ඇහැරවන්නේ නො තේරෙන විට ය. ලැකානියානු අවදිවීම එක් අතකින් ආපතික ය. එය අකුණු සැරයක් වැදීම හා සමාන ය. එ නම්, එය අප සුව සේ නිදිගැන් වී සිටින හැඟවුම්කරණ යථාර්ථය ඉක්මවා යාමකි. තමන් සිටින යථාර්ථය නැමැති සිහිනය හෙවත් තමන් සම්බන්ධ වී සිටින කතිකාව තුළින් ම ලැකානියානු අවදිවීම හෙවත් විශ්ලේෂණයට යා හැකි මාර්ගය විවරවීම මෙහි දී විශේෂිත ය. නමුත් ඒ ආකාරයට සිහින දකිමින් නිදිගැන් වී සිටින සමහරු විශ්ලේෂී අත්දැකීමක් ලබා ගැනීමට විකර්ශනයක් දක්වති. විශ්ලේෂණය යනු ආයාසකාරී සුවිශේෂ අවදිවීමකි. ඒ අනුව අවදිවීම යනු යථ ම ය හෝ වියනොහැකියාවට අභිමුඛවීම සඳහා කියනු ලබන තවත් නමක් ලෙස අපට සඳහන් කළ හැකි ය. එ නම්, වියනොහැකියාව පැත්තේ සිට සිතන විට අවදිවීම යනු යථකි.

තවත් ආකාරයකින් සඳහන් කරන්නේ නම් මෙම සිහින දැකීම යනු රෝග ලක්ෂණයේ සුවිශේෂත්වයට සම්බන්ධ වී සිටීමයි. අපගේ සිහිනයේ පවතින ලලොංග් ම ය (lalangue) ස්වභාවය නිසා තමන් දකින සිහිනයේ තමන් චරිතයක් නො වන අතර තමන් ම සිහිනය බවට පත් වේ. විශ්ලේෂිතයා සිහින දකින තරමට විශ්ලේෂකයා මැදිහත් වේ. අර්ථ අපව නිදිගන්වන විට විශ්ලේෂකයාගේ ආශාව අපව අර්ථයෙන් මුදවා ගනියි. විශ්ලේෂණයේ දී අප දන්නා අර්ථකථනයට ඉඩක් නො ලැබෙන හා හැඟවුම්කාරක දාමයෙන් ගැලවුණු අර්ථයෙන් පිටත සලකුණක් බවට සිහිනය පත් වන්නේ විශ්ලේෂකයාගේ මැදිහත් වීමෙනි. එ නම්, ලැකානියානු විශ්ලේෂී කතිකාවේ දී අර්ථය අත්හිටුවා විනෝදය වෙත යොමුවීම සිදු වේ. වෙනත් ආකාරයකට සඳහන් කරන්නේ නම් ලැකාන් සඳහන් කරන්නේ යථ සිහිනයෙන් ඔබ්බෙහි සොයා ගත යුතු බව ය. සිහිනයට අණ දෙන්නේ එම යථ මඟිනි. ලැකාන්ට අනුව සිහිනය දවටා තිබෙන, අපෙන් සැඟවී ඇති හා නිරූපණය කිරීමට අසමත් දේ යථ යි. එය වචන බවට පත් කිරීමට අසීරු අවරෝධනය වී ඇති යමකි.‍

මෙම අවදිවීම සඳහා සිහින ‘අවදිවීමේ උපකරණයක්’ ලෙස සැලකිය හැකි බව මීට පෙර දී පෙන්වා දුන්නෙමු. එ මඟින් ආශාව හා විනෝදය නව ආකාරයකට සම්බන්ධ වන අයුරු ද පෙන්වා දිය හැකි ය. එහි දී ආශාව හා විනෝදය අතර පවතින අසංගත බවක් දැකිය හැක. මෙම අවදිවීමේ දී විනෝදය යනු ආශාව සාක්ෂාත් කරවන්නක් නො ව ආශාව සමඟ නො ඈ‍දෙන යමක් බවට පත් වේ. කතා කරන සත්තාවට අදාළ ප්‍රහර්ෂ මූලධර්මය භාෂාවට සම්බන්ධ ය. එබැවින් එය අවිඥානයට සම්බන්ධ ය. අවදිවීම යනු මෙම ප්‍රහර්ෂ මූලධර්මය ජීවිතයට සපයන සංග‍තභාවය බිඳ දමන යමක් බවට පත් වේ. එවිට අර්ථ බිඳ වැටේ. අර්ථ බිඳ දැමීමට නම්, අප මුලින් අර්ථය හඳුනා ගෙන එහි උපරිම දුරක් යා යුතු ය. එ නම්, මුලින් ම අප දකින සිහින විශ්ලේෂණය හා තේරුම්වලට අර්ථකථනය ලබාදීම මඟින් විසඳා ගත යුතු ය. මීට පෙර පෙන්වා දුන් ආකාරයට විශ්ලේෂණයේ දී සිහින අර්ථයෙන් පිට තැනකට ගෙන යාමට හැකි වන්නේ එවිට ය. ඉන් පසු සිහිනය තවදුරටත් ප්‍රකාශ කිරීමට නො හැකි ස්ථානයකට හෙවත් විනෝදයේ මානයට ගෙන යා හැකි අතර එය අවදිවීමේ ස්ථානය යි. වචනවල තේරුම අත්හිට වූ විට සහ කියන ලද යමක් ලිවීමට අපොහොසත් නම් අවදිවීමේ මානය මතු වේ. එම මානය නම් විනෝදයේ මානය යි. වෙනත් ආකාරයකට සඳහන් කරන්නේ නම් සංකේතනය තුළින් යථ හඳුනා ගැනීමට ඉඩ ලැබෙන්නේ එලෙස ය. එ නම්, සංකේතනයේ අභ්‍යන්තරික ගැටලුව යථ බව හඳුනාගැනීමට ඉඩ ලැබේ. අප මෙහි දී වටහා ගත යුත් වන්නේ මෙම යථ හෙවත් විනෝදය මඟින් කරනු ලබන දිශානතිය යොමු වන්නේ අප සාකච්ඡා කරන අවදිවීම කෙරෙහි බව ය. ඒ අනුව ලැකාන්ට අනුව සාමූහික අවදිවීමක් වෙනුවට පවතින්නේ ඒකවාචික අවදිවීමකි.

කෙනෙකු දකින සිහින යනු තමන්ගේ ම බහිආත්මික -extimate -සාරයයි. මේ අර්ථයෙන් ගත් විට ජනප්‍රිය ධාරාවේ කතාබහට ලක් වන දූෂණය, අක්‍රමිකතාවය, අපිළිවෙල හා ග්‍රාමීය දරිද්‍රතාවය වැනි දේ යනු මැද පංතියේ හා පහළ මැද පන්තියේ නින්ද තහවුරු කරන සිහින යි. ඔවුන්ගේ කතිකාවෙන් බැහැර කරන ලද දුප්පතුන් හා වංචනිකයින් අවශ්‍ය වන්නේ සුවපහසු ජීවිතයක් හා යහපත් අනාගතයක් අපේක්ෂා කරන්නට ය. මෙය ජාත්‍යන්තරයට අදාළ කළ විට කලක් අප්‍රිකාව හා මැද පෙරදිග සේ ම වර්තමාන දකුණු ආසියාව යනු ඇමෙරිකාව හා යුරෝපය නිදිගන්වන සිහිනය බවට පත් වී ඇත. ජාත්‍යන්තර රූපවාහිනි නාලිකා මඟින් පෙන්වනු ලබන තුන් වන ලෝකයේ නරකාදිය යනු ඇමෙරිකානු සහ යුරෝපීය බහිආත්මික පාරාදීසයන් ය. ඔවුන්ගේ නින්දට අවශ්‍ය සිහින මේ ආකාරයට බැහැරින් ලබා ගනියි. මෙම අර්ථයෙන් ගත් විට සංජීව පුෂ්පකුමාර යනු යුරෝපීය චිත්‍රපට සමාගම් වෙත මෙවැනි සිහින සපයන්නෙක් නො වන්නේ ද?

අප ලිපිය ආරම්භයේ දී පෙන්වා දුන් නිතර සිල්ලර ලෙස වහරන යථාර්ථයට අවදිවීම සහ යහපත් සිහින වැනි වචන කිසිදු අර්ථයක් ජනනය නො කරන ලලොංග්මය ආකාරයකි. මේ නිසා භාෂාව යනු සංවිධිත සමස්තයක් යන අදහස වෙනුවට භාෂාව යනු සංවිධිත අසමතුලිතතාවයක් ලෙස නම් කළ හැකි ය. එ මඟින් භාෂාව තුළ සිටින ශරීරය ප්‍රක්ෂේපණය වීමක් පමණක් දැකිය හැකි ය. ලැකාන් අවිඥානක ආත්මය යනු කථා කිරීමේ ක්‍රියාව තුළ ශාරීරික කැළඹීමක් ලෙස නම් කරයි. ඔහු අදහස් යනු ආවේදන (affect) ලෙස නම් කිරීමේ පසුබිම ද එය යි. එ නම්, ආත්මයට ශාරීරික මානයක් පවතියි යන්න ය. එය ප්‍රකාශ වන්නේ අප සාකච්ඡා කරන ආකාරයේ අවදිවීම සහ යහපත් සිහින වැනි හුදු හැඟවුම්කාරක මඟිනි. මෙහි දී කතා කරන සත්තාව (parletre) හෙවත් ශරීරයක් විසින් නො දන්නා විනෝදයක් කතා කෙරෙයි. දරා ගත නො හැකි යථට අපි අභිමුඛ වන්නේ එ මඟිනි. එයට පාදක වන්නේ විශ්ලේෂණය යි. අපට මනෝවිශ්ලේෂණය අවශ්‍ය වන්නේ අපගේ ජීවිතය පිළිබඳව අපට ම අවුලක්, ලැජ්ජාවක් දැනෙන විට ය. තමන් තුළ ගැටලුවක් නො මැති යැයි සිතන, තමන් අවදි වී ඇතැයි සිතන, ගැටලුව පවතින්නේ තමන් තුළ නො ව අවදි වී නො සිටින අනෙකා තුළ යැයි සිතන හා යහපත් හෙට දවස පිළිබඳ අදහස් සහිත සුඛපරමවාදී ජීවිතයකට මනෝවිශ්ලේෂණය අවශ්‍ය නැත. මනෝවිශ්ලේෂණය හඳුන්වා දී වසර ගණනක් ගත වී ඇතත් එය විලාසිතාවක් හා විනෝද මාදිලියක් බවට පත් වනු හැර එය මෙරට සායනික හෝ දේශපාලනික හෝ භාවිතාවක් බවට පත් වී නො මැති වීමට මෙය ද හේතුවකි.

මනෝවිශ්ලේෂණය ‍පැරිස් විශ්වවිද්‍යාලයේ ඉගැන්වීම පිළිබඳ සිදු කරන ලද සාකච්ඡාවේ දී ලැකාන් මනෝවිශ්ලේෂණය ඉගැන්වීමට නම් විෂයයන් හතරක් ඉගැන්විය යුතු බව සඳහන් කර ඇත. ඒවා නම්,

 

  1. වාග් විද්‍යාව (Linguistics)

  2. ගණිත ම ය තර්කනය (Mathematical Logics)

  3. ස්ථල විද්‍යාව (Topology)

  4. ප්‍රති-දර්ශනය (Anti-Philosophy)

 

ලැකාන් මනෝවිශ්ලේෂණය සඳහා සෝෂියරානු වාග් විද්‍යාව පාදක කර ගත්ත ද හැඟවුම්කාරකය පිළිබඳ අදහස ඉන් ලබා ගෙන Linguisterie නමින් භාෂාවට ආත්මය සම්බන්ධ කරමින් වාග් විද්‍යාව භෞතික අධ්‍යයනයක් බවට පත් කරයි. එ නම්, ලැකාන් Linguisterie මඟින් වාග් විද්‍යාව භෞතික මානයකට ගෙන එන්නේ වාග් විද්‍යාව විපර්යාසයකට ලක් කරමිනි. අර්ථ වෙනුවට නො-අර්ථයත් භාෂාවේ කාර්ය සාධන ගුණය වෙනුවට සංකේතීයභාවය ප්‍රශ්න කිරීමත් ඉන් සිදු වේ. එ නම්, භාෂාව පිළිබඳ දාර්ශනික කියවීමක් වෙනුවට භෞතික කියවීමක් ඔහු මෙහි දී යෝජනා කරයි. සෝෂියරානු වාග් විද්‍යාවේ සීමාව වන්නේ එය ආත්මය සමඟ සම්බන්ධ නො වීම යි. ලැකාන් සඳහන් කරන්නේ මනෝවිශ්ලේෂකයෙකුට වාග් විද්‍යාව ප්‍රමාණවත් නො වන බව ය. නමුත් හැඟවුම්කාරකය වටහා ගැනීම සඳහා වාග් විද්‍යාව ඉගෙන ගත යුතු ව ඇත. ලැකාන්ගේ මෙම නව කියවීම නිසා අර්ථ නිෂ්පාදනය හා භාෂාවේ ඉදිරිපත් කිරීම් මානයට අමතරව භාෂාව තුළ වෙනත් නිෂ්පාදනයක් ද හඳුනා ගනියි. එ නම්, විනෝදය යි.

එහි දී මූලික වශයෙන් පාදක වන්නේ ලලොංග් ය. අවිඥානය භාෂාවක් ලෙස ව්‍යුහගත වී ඇතැයි (The unconscious is structured like a language) යන අදහස වාග් විද්‍යාව ඇසුරින් ඌනනය කළ යමක් නො වන බව ලැකාන් සඳහන් කරයි. එය ලලොංග් ඇසුරෙන් ඌනනය කළ ආප්තයකි. ව්‍යුහවාදය භාෂාව සංඥාවේදයට සම්බන්ධ කරන තාක් තමන් ව්‍යුහවාදයෙන් වෙනස් වන ආකාරය ලලොංග් ඉදිරිපත් කිරීම මඟින් පෙන්වා දුන් බව ලැකාන් සඳහන් කරයි.

‘සාම්ප්‍රදායික ව්‍යුහවාදීන්’ හා ලැකාන් හඳුන්වා දුන් ව්‍යුහය අතර වෙනස අවිඥානය භාෂාවක් මෙන් ව්‍යුහගත වී ඇත යන ප්‍රකාශයේ ද අන්තර්ගත ය. මෙහි භාෂාව යන වචනය වෙනුවට “භාෂාවක්” යන්න යෙදීම මඟින් අවිඥානය සංකේතනය සමඟ පූර්ණ ලෙස අනන්‍යකරණය වීම වළක්වාලයි. අවිඥානය යනු පෞද්ගලික භාෂාවකි. එ මඟින් එය විනිවිද යා නො හැකි යමක් යන සාම්ප්‍රදායික අදහස ප්‍රතික්ෂේප කරයි. මෙම ව්‍යුහාත්මක අදහස මඟින් අවිඥානය යනු අඳුරු කලාපයක් යන අදහස බැහැර කර එය තාර්කික අදහසක් බවට පත් කරයි. අවිඥානක අදහසක් වාග් විද්‍යාත්මක ව්‍යුහය මඟින් ම හඳුනා ගත හැකි බව ලැකාන්ගේ මැදිහත්වීම මඟින් පෙන්වා දෙයි. මෙය තව දුරටත් පැහැදිලි කරන්නේ නම් භාෂාව මඟින් හෙළිදරවු වන රෝග ලක්ෂණයක් යනු අවිඥානය වෙත පිවිසිය හැකි මාර්ගය මිස අවිඥානය හඳුනා ගැනීමක් නො වේ. රෝග ලක්ෂණය යනු යථෙහි මතු වන සංකේතනයෙහි බලපෑම යි. විශ්ලේෂණයේ දී සිදු වන්නේ රෝග ලක්ෂණය මඟින් අවිඥානක දැනුම වෙත ප්‍රවේශ වීමකි. රෝග ලක්ෂණය හා අවිඥානක දැනුම අතර පවතින්නේ පූර්ණ අවහිරයකි. එ නම්, වියනොහැකියාව හෙවත් යථට අභිමුඛ වීමකි. මනෝවිශ්ලේෂණ කාර්යය ඉතා අසීරු කටයුත්තක් වන්නේ මේ නිසා ය. තව ද වෛද්‍යවරයෙකු හා රෝගියකු අතර සම්බන්ධය දෘශ්‍ය ම ය වන විට මනෝවිශ්ලේෂකයා හා විශ්ලේෂිතයා අතර සම්බන්ධය වියමනක ස්වරූපය ගනියි. අවිඥානය වියමනක් ලෙස සකස් වී ඇත. එය කියවා තේරුම් ගත යුතු යමකි. වාග් විද්‍යාව හැදෑරීම වැදගත් වන තවත් සාධකයකි, එය.

ලැකාන් ගණිත ම ය තර්කනය ඉගැන්වීමට යෝජනා කරන්නේ ඔහු තම ඉගැන්වීම්වල දී බොහෝ විට මැතීම (Matheme) සඳහා යොදා ගන්නේ ගණිත ම ය තර්කන බැවිනි. ආත්මය අනුරූප වන්නේ ගණිත ම ය භාෂාවකට ය. ලැකාන් ගණිතය යනු සවිඥානය රහිත විද්‍යාවක් බව සඳහන් කරන්නේ එබැවිනි. ලැකානියානු මැතීම යනු ගණිත ම ය මෙන් ම තාර්කික රූපීකරණයක් ලෙස ද හැඳින්විය හැකි ය. එය එක්තරා ආකාරයකට ගණිත ම ය භාෂාව මඟින් හැඟවුම්කරණය නිරූපණය කිරීමක් ලෙස ද හැඳින්විය හැක. ලැකානියානු මැතීම අර්ථකථනයට සම්බන්ධ නො වී හා දැනුමට ආදරය නො කරමින් දැනුම සම්ප්‍රේෂණය කිරීමේ මාර්ගයකි. එ නම්, එය දාර්ශනික දැනුම හා දැනුමට පවතින ආදරය අත්හිටුවීමකි. මෙම රූපීකරණය මඟින් දැනුම සම්ප්‍රේෂණයවීම, සාම්ප්‍රදායික දැනුම සම්ප්‍රේෂණය ඉක්මවා යාමකි. එය න්‍යාය හා ක්‍රියාව අතර සම්බන්ධය සඳහා යොදා ගන්නා විට පෙර සඳහන් කළ පරිදි මනෝවිශ්ලේෂණය දැනුමක් බවට ඌනනයවීම වලකාලයි. එ මඟින් මනෝවිශ්ලේෂණය විශ්වවිද්‍යාලයීය කතිකාවට යටත් නො කර සම්ප්‍රේෂණය කිරීමට හැකි බව ලැකාන් පෙන්වා දෙයි. තව ද දැනුම මඟින් විනෝදවීම වෙනුවට දැනුම, ක්‍රියාව සඳහා යොදා ගැනීමට එය ඉවහල් වේ. සංකේතීය පිළිවෙලෙහි පවතින විරුද්ධාභාසයන් හෙළිදරව් කිරීමට ඒවා උපයෝගී කර ගත හැකි වන්නා සේ ම ව්‍යුහයක් නිරූපණය කිරීම සඳහා ද මෙය වැදගත් ය. ලැකානියානු කතිකා න්‍යාය මේ සඳහා උදාහරණයකි. එ මඟින් එක් එක් කතිකාවෙහි පවතින සමාජ බන්ධනය හා ගැටළුව නිරූපණය වේ. ලිංගිකත්වය ජීව විද්‍යාවෙන් වෙනස්ව භාෂාව, කප්පාදුව, අවිඥානය හා විනෝදය සම්බන්ධ දෙයක් බවට Formulas of Sexuation මඟින් ලැකාන් පෙන්වා දෙයි. එ මඟින් ලිංගික සබඳතා නො මැත යන අදහස ද උත්පාද කරයි.

මනෝවිශ්ලේෂණය ඉගැන්වීමේ දී ඉගැන්විය යුතු තවත් විෂයයක් වන ස්ථල විද්‍යාව මඟින් සිතීම යන්නෙහි අවකාශ ම ය ව්‍යුහය හා එය සකස් වී ඇති ආකාරය පෙන්වා දෙයි. එ නම්, මනසේ අවකාශ ම ය ස්වරූපය නිරූපණය කිරීම සඳහා මෙය යොදා ගනියි. වෙනත් ආකාරයකට සඳහන් කරන්නේ නම් සිතීම යන්නෙහි භෞතික හැඩගැස්ම ඉන් නිරූපණය වේ. විශ්ලේෂණයේ දී ප්‍රකාශ කිරීමට නො හැකි දේ සම්බන්ධ වී පවතින වියනොහැකියාව නිරූපණය කළ හැකි වන්නේ ස්ථල විද්‍යාව මඟිනි. එ නම්, ප්‍රකාශ කිරීමට නො හැකි දේ එ මඟින් නිරූපණය කරයි. එය එක්තරා ආකාරයකට වියනොහැකියාව, ප්‍රකාශය, යථ හා සංකේතනය අතර සම්බන්ධය පෙන්වා දෙයි. විශ්ලේෂණය තුළ භාෂාව මඟින් හෙළිදරව් වන යථෙහි ව්‍යුහය පෙන්වාදීමට මෙය වැදගත් ය. ලැකානියානු ස්ථල විද්‍යාත්මක නිරූපණය සඳහා එක් නිදසුනක් වන්නේ ලැකානියානු බොරෝමියානු බැඳීම් ය. එය භෞතික හා යථාර්ථවාදී ආකාරයේ ලැකානියානු යථ ම ය ඉදිරිපත් කිරීමකි. එමෙන් ම මෙම ස්ථල විද්‍යාව පෙර සඳහන් කළ ගණිතමය තර්කන හෙවත් මැතීම්හි දිගුවක් ලෙස ද නම් කළ හැකි ය.

ලැකාන් ඉගැන්විය යුතු තවත් එක් විෂයයක් ලෙස නම් කරන ප්‍රති-දර්ශනය යනුවෙන් අදහස් කරන්නේ දර්ශනයට එරෙහි වීමක් නො වේ. ඔහු යෝජනා කරන්නේ දර්ශනය විපරිවර්තනයකට ලක් කරමින් තරණය කිරීමක් මඟින් එහි භෞතික ක්‍රියාකාරිත්වයක් ඇති කළ යුතු බව ය. ඒ අනුව ලැකානියානු ප්‍රති-දාර්ශනික ක්‍රියාවලිය සිතීමක් නොව ක්‍රියාවකි. ලැකානියානු මනෝවිශ්ලේෂණයට අනුව දර්ශනය උද්යෝගිමත් දවල් හීන දැකීමක් වන අතර ෆැන්ටසිය තුළ දැනුම මුල් බැස ගැනීමක් වැනි ය. දැනුම පිළිබඳ ෆැන්ටසිය මෙහි දී තිරයක් ලෙස ක්‍රියා කරන බැවින් සත්තාවේ පවතින අඩුව වැසී යයි. එ නම්, සත්තාව හා දෙය අතර අවිඥානක ආත්මය පවතින බව මෙහි දී මග හැරෙයි. එය තව දුරටත් පැහැදිලි කරන්නේ නම් මනෝවිශ්ලේෂණයට අදාළ හිදැස, කප්පාදුව, අනෙකාගේ අඩුව, අනෙකා නො පවතියි, බෙදුණු ආත්මය හා විනෝදය වැනි දේ දර්ශනය තුළ දී මග හැරී යයි.

තව ද භාෂාව යනු වැරදි වැටහීම්වල එකතුවක් ය යන කරුණ දර්ශනය අමතක කරයි. මෙම වැරදි වැටහීම්, දෝෂසහගතභාවයන් ආදිය වැදගත් කොට සලකන්නේ මනෝවිශ්ලේෂණයේ දී ය. දර්ශනයේ දී යමක් ගොඩනැගීම මූලික වන විට මනෝවිශ්ලේෂණයේදී යමක් ගොඩනගා ඉන් පසු හැඟවුම්කාරකවලට ඌනනය කරයි. එවිට මනෝවිශ්ලේෂණයට අනුව දාර්ශනික ලියවිල්ලක් එහි පවතින ගොඩනැගීම තුළින් ම එහි ව්‍යුහාත්මක අසමත් වීම හඳුනා ගනියි. මෙයට හේතුව දර්ශනය තුළ හැඟවුම්කාරකය යමක භෞතික හේතුවක් ලෙස නො සැලකීම ය. හැඟවුම්කාරකයේ ස්වාධිකාරය (autonomy) භාෂා ම ය නිෂ්පාදනය සමඟ සම්බන්ධ කළ විට පමණක් හැඟවුම්කාරකය හේතුවක් ලෙස හඳුනා ගත හැකි ය. එ මඟින් ලැකාන් විචාරාත්මක හා භෞතික මානයක් වාග් විද්‍යාවට හා දර්ශනයට සපයයි. බෙදුණු ආත්මය හා විනෝදය නමැති අදහස භාෂාව තුළට එන්නත් වන්නේ ද එ මඟිනි. කාටීසියානු කොගිටෝවේ මෙන් ශරීරය හා සිතීම යනුවෙන් හරියටම වෙන් කිරීමක් මනොවිශ්ලේෂණයට සම්බන්ධ අවිඥානයට අදාළ නැත. න්‍යාය තහවුරු කර ගැනීමට හෝ සාවද්‍යදැයි හඳුනාගැනීමට මනෝවිශ්ලේෂණ රූපීකරණය තුළ දී දර්ශනයේ දී මෙන් සිතන දෙයක් අවශ්‍ය නො වේ.

මනෝවිශ්ලේෂණයට අනුව අවරෝධනය වී ඇති ගැටුම්කාරී අදහස් විකේන්ද්‍රීය ලෙස ශාරීරිකව නිරූපනය වීමක් සිදු වේ. එවිට හැඟවුම්කාරකය යනු ජීවත් වන ශරීරය තුළින් කැපුමක් ලෙස සංකේතීය ශරීරය මතු වීමක් ලෙස නම් කළ හැකි ය. එය එක්තරා ආකාරයකට ශරීරය ද්විගුණ වීම තුළින් මතු වන්නක් ලෙස වුව ද නම් කළ හැකි ය. ලැකාන් අදහස් කරන කතා කරන සත්තාව (parletre) යනු සංකේතනය තුළ කතා කිරීම හා ශරීරය එක්ව ඉදිරිපත් කිරීමකි. ඒ අනුව අදහස්වලට අදාළව දර්ශනයේ පවතින සංගතභාවය මෙමඟින් ප්‍රතික්ෂේප කෙරේ.

ලැකාන් ප්‍රති-දර්ශනය මඟින් වඩා ඉලක්ක ගත කරන්නේ අධ්‍යාපනය සම්ප්‍රේෂණය කළ හැකි විශ්වවිද්‍යාලයීය කතිකාව යි. එයට හේතුව කුමක් ද? එය අධ්‍යාපනය සම්ප්‍රේෂණය කරනු වෙනුවට ධනවාදය, විද්‍යාත්මක දැනුම, නිලධාරිවාදී බලය හා විශේෂඥභාවය සමඟ සම්බන්ධ වී පැවතීම ය. එම කරුණු බැලූ බැල්මට මධ්‍යස්ථ ලෙස අපට පෙනුණ ද නව ආකාරයේ ආධිපත්‍යයක් සමාජය තුළ පතුරුවයි. වර්තමානයේ මෙම තත්ත්වය වඩාත් දැකිය හැක. එ මඟින් දැනුම අර්චනයක් ලෙස ක්‍රියා කරන බව ලැකාන් පෙන්වා දෙයි. එය එක්තරා ආකාරයකට භාණ්ඩීකරණය මඟින් අර්චනීකරණය වීමක් ය. ඒ අනුව වර්තමානයේ විශ්වවිද්‍යාලයීය කතිකාව සේවය කරන්නේ ධනවාදය වෙනුවෙනි.

ලැකාන් සඳහන් කරන්නේ විශ්වවිද්‍යාලයීය කතිකාව තුළ අධ්‍යාපනය පිළිබඳ පවතින අදහසට වන ණයගැතිභාවය පරීක්ෂා කළ යුතු බව ය. මෙම කතිකාව තුළ පවතින මුග්ධභාවයන්ගේ එකතුව එහි පවතින විනාශ කළ නො හැකි මුල් හෙවත් සදාකාලික සිහිනය පරීක්ෂා කිරීමට ඉඩ ලබා දෙනු ඇති බව ලැකාන් පෙන්වා දෙයි. එය මෙරටට අදාළ කළ විට ඉතිහාසය පිළිබඳ උගන්වන නිර්මාල් රංජිත් දේවසිරි බිහි කර ඇති එක් ශාස්ත්‍රඥයෙක් කාට හෝ නම් කළ හැකි ද? අන්තෝනියෝ ග්‍රාම්ස්චි පිළිබඳ ඉතා ගිජු ලෙස කතා කරන සුමිත් චාමින්ද බිහි කර ඇති ශාස්ත්‍රඥයා කවුද? දර්ශනය උගන්වන සමන් පුෂ්පකුමාර බිහි කර ඇති දර්ශනය සම්බන්ධ ශාස්ත්‍රඥයෙක් සිටියි ද? අප සැබැවින් ම බිය විය යුත්තේ මෙවැනි කාරණා සමඟ ය. කිසිඳු ශාස්ත්‍රාලයීය කටයුත්තක් සිදු නො කරන විශ්ව විද්‍යාලයීය කතිකාව අරභයා ලැකාන් ඉතා තියුණු විවේචනයක් ගෙන එන්නේ මේ නිසා ය. එය වර්තමානයේ සම්බන්ධ වී ඇත්තේ ධනවාදය, දැනුම අර්චනයක් බවට පත්වීම සහ වචන මඟින් විනෝද වීම සමඟ ය.

මෙම ලැකානියානු අදහස් වර්තමානයට අදාළ කළ විට දර්ශනයට වඩා වෙනස් මානයකින් වර්තමානය අපට කියවා ගත හැකි ය. සන්නිවේදනය වෙනුවට වචනවලින් යමක් මවන්නේ නම්, ඒ විතණ්ඩවාදියෙකි. විතණ්ඩවාදය තුළ පවතින්නේ මුලාව සහ වසඟය යි. එ නම්, ඒ තුළ සමාජීය භාවිතාවක් නො මැත. එහි දී හැඟවුම්කාරක මඟින් සත්තාව කිලිටි කරයි. දර්ශනයට එය හසු නො වන නමුත් මනෝවිශ්ලේෂණය ඇසුරින් එය වටහා ගත හැක. භාෂාව විනෝදයේ උපකරණයක් බවට ඔවුන් පත් කර ගෙන ඇත. මෙම විතණ්ඩවාදී භාවිතාව නිසා එයට ඇහුම් කන් දෙන බොහෝ දෙනෙක් සමාජීයභාවයෙන් ඉවත් කරයි. ඒ හේතුවෙන් සමාජ සාධනය උඩු යටිකුරු කරවයි. එ මඟින් මිනිස් සම්බන්ධතා බිඳ දමා වසඟකාරීත්වයට හා මුලාවට යොමු කරවයි. මේ ආකාරයට හැඟවුම්කාරකය යනු සන්නිවේදන උපකරණයක් පමණක් නො ව විනෝදයට ද සම්බන්ධ යමක් බව දර්ශනයට හඳුනා ගත නො හැක. වෙනත් ආකාරයකට සඳහන් කරන්නේ නම් සත්තාවේ පවතින අතිරික්තමයභාවය දර්ශනයට හසු නො වේ. වර්තමානයේ පවතින සංවාදවල ආකෘතිය මෙවැනි ස්වරූපයක් නො ගන්නේ ද?

මේ ආකාරයට ම අප වටහා ගත යුත්තේ වර්තමානයේ ඉදිරිපත් වන ඇතැම් විවේචනාත්මක අදහස් නරුමවාදී ස්වරූපයක් ගන්නා බව ය. එය නවලිබරල්වාදී ගතිලක්ෂණවලට හෙවත් අධිපති දෘෂ්ටිවාදයට අනුගත වීමකි. එසේ සඳහන් කළ හැකි වන්නේ ඇයි? ඔවුන්ගේ මෙම විවේචනාත්මක බව යථ ම ය රෙජිස්ටරය පාදක කර නො ගන්නේ නම් එය හැඟවුම්කාරක දාමය තුළ විනෝදය නිරූපණය කරන යමක් බවට පත් වන අතර අධිපති දෘෂ්ටිවාදය සඳහා වන නරුමවාදී එළඹුමක් පමණක් බවට පත් වේ. සැබැවින් ම සංකේතනය විනෝදය සීමා කරනවාට වඩා එය විනෝදයට හේතුව යැයි සඳහන් කළ හැකි වන්නේ මේ නිසා ය.

තමන් අවදි වී ඇතැයි පරසක්වල ගසා ප්‍රකාශ කරන පුද්ගලයින්ගේ සංඥාව දැන් අප වටහා ගන්නේ කෙසේ ද? එ මෙන් ම යථාර්ථයට අවදිවන්න යැයි අපට හඩ ගා ප්‍රකාශ කරන පුද්ගලයින්ගේ සංඥාව අප හඳුනා ගන්නේ කෙසේ ද? අප මෙතෙක් සාකච්ඡා කළ කරුණු අනුව මෙය එක්තරා ආකාරයකට නිදා ගැනීමට පවතින ආශාව හා අවදිවීමට පවතින ආශාව අතර ගැටලුවක් ලෙස මනෝවිශ්ලේෂණය ඇසුරින් නම් කළ හැකි ය. ඔබ තවදුරටත් නිදා ගන්නේ ද එසේත් නැතිනම් අවදිවන්නේ ද යන්න තීරණය වන සාධකය වන්නේ දැන ගැනීමට ඇති නො කැමැත්ත යි. එ නම්, නො දැනුවත්ව සිටීමට තදින් ගැලී සිටීමයි. මෙම දැනුවත්වීම යනු නො දැන සිටි යම් කරුණක් පෙන්වා දුන් පසු අවබෝධයක් ලැබීම වැනි අදහසක් නො වේ. එය වෙනත් ආකාරයකට සඳහන් කරන්නේ නම් දෘෂ්ටිවාදය සකස් වී ඇත්තේ ම තමන්ගේ අවිඥානක සත්‍යය හඳුනා ගැනීමට පවතින විරෝධයත් (නො දැනුවත්ව සිටීම) සමඟ ම ය. මනෝවිශ්ලේෂණය අප වැනි රටක ඉතා දුෂ්කර අභ්‍යාසයක් වී ඇත්තේ මේ නිසා ය. අප බොහෝ දෙනෙක් රෝගී වී සිටින අතර අපගේ රෝග ලක්ෂණ හඳුනා ගැනීමට අප තුළ පවතින්නේ බලවත් නො කැමැත්තකි. එවිට යථාර්ථයට අවදිවීම යනු ප්‍රබුද්ධ ප්‍රකාශයක් නො ව රෝග ලක්ෂණයකි. එසේ කියන්නවුන්ට අප යෝජනා කළ යුතු වන්නේ යථාර්ථයට ඇහැරීම නමැති ඔබගේ සිහිනය විශ්ලේෂණය කර ගන්න කියා ය. සිහිනය විශ්ලේෂණය මඟින් මනෝවිශ්ලේෂණය හඳුන්වා දෙන අවදිවීම යනු සාමූහික අවදිවීමක් නො ව ඒකවාචී අවදිවීමක් වන අතර එම ක්‍රියාවලිය විනෝදය විවේචනය කර ගන්නා ආයාසකර හා වේදනාත්මක එකකි. සැබෑ වෙනසක් සිදු වන්නේ එවැනි අවදිවීමකින් පමණි.

 

පුෂ්පජිත් නිරෝෂණ ජයසිංහ

ඔබේ අදහස කියන්න...