‘කුමරියක පා සළඹ සැලුනා’ ගීතයේ මානසික අත්දැකීම විදාරණය කළ විට එක පැත්තක ඇත්තේ ‘මාරාන්තික කාමුක ආශාවකි’. අනෙක් පැත්තට එතැනම ඇත්තේ කොමියුනිස්ට් නිමේෂයකි. පැරණි භාෂාවට අනුව ස්ත්‍රියක් තම උකුල ළැමහස මුවා කල ඇගෙ දුහුල් සළු තිර විවර කළ විට, පිරිමි මනස තුළ ‘කාමුක ආශාව’ නම් ආකෘතියක් (Form) බිහි වෙයි. මන්දයත්, එමෑනුවෙල් කාන්ට් නම් ජර්මානු විඥාණවාදී දාර්ශනිකයාට අනුව අත්දැකීමට පාත්‍ර වන දේ එනම්, ප්‍රපංචය (Phenomena) පමණක් දැන ගත හැකි අතර මෙම අත්දැකීමට පිටතින් ඇති දෙය එනම්, නිෂ්ප්‍රපංචය (Noumena- In metaphysics, a noumenon is a posited object or event that exists independently of human sense and/or perception. ) දැන ගත නො හැකිය. මෙම අත්දැකීම නූතන භාෂාව මඟින් විශ්ලේෂණය කළහොත් කපු සාරිය සහ හැට්ටය අතරමැද පවතින නාභිය එක් මොහොතකට පෙනී නොපෙනී යාම නිසා පුරුෂ මනස තුළ හැඟවුම්කාරකය නම් ආකෘතිය බිහි වෙයි.

                     සත්වාදය හෝ යථාර්ථවාදය පැත්තේ සිට නරඹන විට, අත්දැකීම රැගෙන එන ස්ත්‍රිය සහ අත්දැකීමට පාත්‍ර වන පිරිමියා නිසා ගීතය දෙකට බෙදී ඇත. ගීත අත්දැකීමේ බාහිරත්වය ‘ස්ත්‍රී ශරීරය’ වන විට, එහි අභ්‍යන්තරික තාපස විඥාණය වී ඇත්තේ පිරිමියා ය. අත්දැකීම නිසා ෆැන්ටසිය ස්ත්‍රිය වී ඇති අතර යථාර්ථය වී ඇත්තේ පිරිමි මනසයි.

                         ගීතයේ සාම්ප්‍රදායික බෙදුම්කඩනය පහත පරිදිය. පළමුව එන්නේ, කාන්ට්ගේ ආකෘතිය නොහොත් ෆැන්ටසිය යි. එය මෙසේ ය.

 

            “උකුල ළැමහස මලවි කරලිය

             මුවා කල ඇගෙ දුහුල් සළු තිර

             විවර කෙරුවා මනස් සලෙළුන්

             උමතු වූ දෙනුවන් දැහැන් ඇද

             මා අබියස මැවුණු තුසිතය

             සුරන් නැළ වූ සුයාමය”.

                    ඉහත අත්දැකීම පිරිමියෙකු මානසික  අත්දැකීමක් බවට පරිවර්තනය කරගන්නේ පහත පරිදිය. [ඩෙරීඩා විසින් මෙම භාෂාව හඳුනාගන්නේ ෆැලික වාගීශ්වරවාදීව- [phallocentric-focused on or concerned with the phallus or penis as a symbol of male dominance] ය. එනම්, උකුල, ලැම සහ පියයුරු කියන ලිංගික උත්තේජනයන් ලබා දෙන රහස්‍ය තැන් මේ තරුණිය සිනිඳු සළුවකින් වසාගෙන සිටියි. මෙය දකින රාගයෙන් පීඩිත වූ තරුණයා ඇයගේ ඒ රහස්‍ය තැන් හී ස්වරූපය සිතින් මවා ගනී. සිත නම් සල්ලාලයා, කාමයෙන් උමතු වූ ඇස් නම් රැහැනෙන් අදිමින් ඇගේ ඒ දුහුල් ඇඳුම ගලවා දමයි. එසේ කිරීමෙන් පිරිමියා ලබන්නේ දිව්‍යමය සැපයකි. මෙම කාමුක සිතිවිලි උද්දීපනය වීමට පෙර මෙම පිරිමියාගේ සිතෙහි පිරී තිබුණේ ලුවී අල්තූෂර්, අන්තෝනියෝ ග්‍රාම්ස්චි, මහජන විප්ලවකාරී රතු හමුදාව, කතිකා අධ්‍යයන විද්‍යාව වැනි බැරෑරුම් සිතුවිලි වලිනි. නමුත් කාමුක හැඟීම් නිසා මේ දාර්ශනික අදහස් වාෂ්ප විය. 

                   ගීතයේ දෙවන භාගය මගින් සංකේතවත් වන්නේ, අප සැමදා ජීවත් වන කටුක යථාර්ථය. මේ එහි හැටිය.

 

                 “නිසල ජීවන තපෝ වන මැද..

                  හැඟුම් ගජසෙන් යදම් බිඳ වැද

                  තලා සිත කම්පනය කරවයි.

                  ලපලු තුරුවැල් කැකුලු මල් පෙති..

                  මා හඬවයි බිඳුණු තුසිතය…

                  සුරන් නැළ වූ සුයාමය”

 

                      ඉහත පිරිමියාගේ ජීවිතය තුළ මෙතෙක් තාපසවරුන් මෙන් වැඩ සිටි පෙරදිග-බටහිර දාර්ශනිකයන් සියලු දෙනා ඔහුට නොකියාම චුත වී ඇත. ඒ වෙනුවට දැන් ඔහු සතු වී ඇත්තේ, බොළඳ සිතුවිලි ය. ෆ්‍රෙඩ්රික් ජෙම්සන්, ජාක් ඩෙරීඩා, ජාක් ලැකාන්, ජීන් ලියෝතා වැනි පිරිමි සිත තුළ වැවී ඇති නොමේරූ ගෙඩිවල කොටස් (ළපටි/ නොමේරූ, පඵ-ගෙඩිවල දෙකෙන් පංගුව)  ගස් සහ වැල්, සියුමැලි මල් පෙති කාමය නම් යක්ෂාවිය තලා පෙලා දමා ඇත. නමුත් මේ නම් වසර ගණනක් තමන් වැගිරූ ”වාම ශ්‍රමය” නොවේ. එය ඔහු පැතූ තුසිතය නොවේ. මෙය ඔහු පැතූ නියම මොහොත (සුයාමය) නොවේ. ඔහුගේ නිසල ජීවිතය අවුල් වූ තැන ඔහු වැලපෙයි.

                   ගීතයෙන් කියවෙන්නේ, පුරුෂයෙකුගේ සිතෙහි ස්ත්‍රියක කෙරෙහි ඇති වන ලෞකික, ලිංගික, කෙලෙස් සහිත වූ සිතුවිලි සහ එබඳු සිතුවිලි සන්සුන් වූ දිවිය අවුල් වූ ආකාරය යි. 

                   ගීතය පිළිබඳව අදහස් දක්වන විචාරකයන් සියලු දෙනාම පාහේ අවධාරණය කරන්නේ, ‘කුමරියගේ පා සළබ’ නිසා ඇති වන ශබ්ද මිහිර බාහිරින් කන තුළට එන බවයි. ගීතය අප යථාර්ථවාදයට අනුව ඥාණනය කරන්නේ නම්, ගෙජ්ජි හඬ එන්නේ මනසට ස්වාධීනව බාහිර පවතින ස්ථානයක සිටයි. අපි මෙම අත්දැකීම සතු දිශානතිය උඩු යටිකුරු කරමු.

                      ගීතය නිසා අප විඳින අත්දැකීම අප තුළින්ම ඇසෙන එකක් යැයි සමපේක්ෂණය කරන්නේ නම් එහි අධ්‍යයන ක්ෂේත්‍රය අයත් වන්නේ,  විඥාණවාදයටයි. ‘ගෙජ්ජි ශබ්දය’ පළමුව ඇතුළතින් ඇසී පසුව එය සංකල්පීයකරණය වෙයි. ඉන් අදහස් වන්නේ, ‘ශබ්දය’ ආත්මීයව ඇහෙන ශබ්දයක් බවයි. මන්ද, විඥාණවාදයට අනුව ‘බාහිර ශබ්දය ද’ ආත්මීයත්වයේ සංකල්පීයකරණයක් වන නිසා ය.

                         අපි සිග්මන් ෆ්‍රොයිඩ් විසින් සිහින විශ්ලේෂණයේ දී යොදා ගත් එක් උදාහරණයක් සලකා බලමු. එනම්, ෆ්‍රොයිඩ් වෙතට එන එක්තරා තරුණ සැමියෙකු තම බිරිඳ විසින් දිගින් දිගටම කරන පැමිණිල්ලක් ෆ්‍රොයිඩ් විශ්ලේෂණය කරන අයුරු අපි දැන් පරික්ෂා කරමු. සැමියාට අනුව තරුණ බිරිඳගේ පැමිණිල්ල මෙසේ ය. “මමයි ඔබයි ලිංගික සබඳතා පවත්වන විට මට කාමරයෙන් පිටත සිට ශබ්දයක් ඇසෙනවා. ඒ ඔයාගේ යාළුවෙක්.” ඇත්තටම සැමියාට අනුව, පරීක්ෂා කළ සෑම අවස්ථාවකදී ම එවන් කෙනෙක් බාහිරින් සොයා ගැනීමට නොහැකි විය. නමුත් ෆ්‍රොයිඩ් දිගින් දිගටම තරුණ බිරිඳ සමඟ කතා කරන විට ඇය විසින් පළ කරන ලද අදහස මෙසේය. ‘ලිංගික සිතුවිල්ලක් සිතට එන මොහොතේ දී මට මගේ ක්ලිටෝරසියේ ගැස්ම ඇහෙනවා. ඒකෙන් මිදෙන්න මට බාහිරින් ශබ්ද ඇහෙන්න ගන්නවා’.

                     තරුණ බිරිඳගේ සිත තුළ ‘විනෝදය’-enjoyment- උත්පාද වන මොහොත එය ඇගේ පැත්තෙන් ක්ෂතිමය අත්දැකීමකි. එම ක්ෂතියෙන් ගැලවීමට ඇය එය බාහිර ඒජන්තයෙකුට පවරයි. එමඟින් ඇය දරාගත නොහැකි ‘විනෝදයේ’ බියකරු බවින් ගැලවෙයි. මෙම නව සන්දර්භය ඇතුළත ප්‍රාථමික වන්නේ, ක්ලිටෝරසියේ -clitoris- ගැස්මයි. එම ශබ්දය බහිෂ්කරණය කළ විට බාහිරින් අඩි ශබ්ද, දොරවල් විවර කරන ශබ්ද ඇසෙයි. ඒවා ආත්මීයත්වයේ පැත්තෙන් ගත් විට ද්විතීකය. පළමුව ඇයට ඇසෙන්නේ, ක්ලිටෝරසියේ ගැස්මයි. දෙවනුව, ඇයට බාහිර ශබ්ද ඇසෙයි. ඒ අනුව, යථාර්ථවාදයේ ඥාණ විභාගයෙන් විඥාණවාදයේ ඥාණ විභාගය රැඩිකල් ලෙස වෙනස් වේ. මෙම ශබ්ද දෙකම හඬ නැංවෙන්නේ කේවල ආත්මයක් තුළ මිස අනෙකෙකු සම්බන්ධ වී නොවේ.

                        එසේ නම්, ගෙජ්ජි ශබ්දය පළමුව ඇසෙන්නේ පිරිමි මනස තුළ ය. ඉන් ඔහු තැති ගැන්වෙයි. එය දරාගත නොහැකි විනෝදයකි. ‘විනෝදය’ නම් අභ්‍යන්තරික අත්දැකීම ඔහු තමන් ළඟ තබාගෙන ‘සතුට’ අනෙකා වෙතට විස්ථාපනය කරයි. අත්දැකීම භාෂාවට පරිවර්තනය වන විට පිරිමියා තාපසයෙකු වන අතර ස්ත්‍රිය පාපකාරියෙකු වෙයි. සතුට පිළිබඳ මූලධර්මයට අනුව ‘වේදනාව’ පුරුෂයා සතු කර ගන්නා අතර ස්ත්‍රියට සතුට අපනයනය කරනු ලැබේ.

                        කාන්ට් වැනි දාර්ශනිකයෙකු විසින් අනුභූතිය සහ විචාරය දෙපසකට තල්ලු කළා යැයි කියන්නේ ඉහත සන්දර්භයට ය. නැතහොත් ‘සත්තාව’ සහ ‘සිතීම’ දෙකඩ කළා යැයි ද අපට කිව හැකිය. ‘පවතින දෙය’ සහ ‘අපට දැනගත හැකි දෙය’ අතර පවතින පරතරය ද අපට දැන් විදහා දැක්වීමට හැකිය.

                           ස්ත්‍රියකගේ පාද සෙලවීම නිසා හට ගන්නා ගෙජ්ජි ශබ්දය නිසා පිරිමි මනසට ඕපපාතිකව ආකෘතියක් (Form) සහ අන්තර්ගතයක් හමු වෙයි. ගෙජ්ජි ශබ්දය ‘විඳීම’ ෆැන්ටසිය යි. ඉන් මිඳීමට තාපස විඥාණයට ඇතුල් වීම යථාර්ථය යි. ‘ආත්මය’ හරහා යන කඩු පහරක් මෙන් වූ විනෝදය නිසා ආත්මය ‘හැඟවුම්කාරකය’ සහ ‘විනෝදය’ ලෙස භේද වෙයි. මෙම පැති මාන දෙක අතර ඇත්තේ, පසමිතුරුභාවයකි.[Antagonism] මෙම පසමිතුරුභාවය යථාර්ථවාදියෙකු අත්විඳින්නේ ඇතුළත (Inside) සහ පිටත (Outside) වශයෙනි. නමුත් මෙම පසමිතුරුභාවයම විඥාණවාදියෙකු (හරියට සරච්චන්ද්‍ර මෙන්) වටහා ගන්නේ, ඇතුළත සහ පිටත යනු සිතුවිල්ලේම බෙදීමක් ලෙසිනි. (සරච්චන්ද්‍ර මෙසේ කියයි- සාහිත්‍යය හා කලාව මනුෂ්‍යයා විසින් මවන ලද කල්පිතයක් නොවේ නම් එය කුමක් ද? එය මවා ඇත්තේ, ඉන්ද්‍රිය ගෝචර වූ භෞතික ලෝකය පාදක කොටගෙනය. එහෙත්, එය මනින්ද්‍රියට පමණක් ගොදුරු වන වෙනම ලොවකි. ඇතැම් බටහිර චින්තකයෙකු එය ‘අන්‍ය ලෝකයක්’ ලෙස හඳුනා ගනී.)

                        නිශ්චිත ලෙසම, මෙය කියවන පුද්ගලයා විශාල පටලැවිල්ලකට හසුවන බව මම දනිමි. කුමක්ද මේ පටලැවිල්ල?

                       අප මේ දක්වා සාකච්ඡා කරන ලද්දේ, පිරිමි මනසක් අත්විඳි සෞන්දර්ය අත්දැකීමකි. එනම්, සුන්දර වස්තුවක් පිළිබඳ අර්ථකථනයකි.[universal] නමුත් දර්ශනයේ භාෂාවෙන් ගත් විට, සෞන්දර්ය අත්දැකීමක් අර්ථකථනය කළ හැකි විධික්‍රම තුනකි.

 

  1. යථාර්ථවාදය[Realism]–  මනසට බාහිරින් ලෝකයේ සහ මනුෂ්‍යයාගේ සත්‍ය ස්වරූපය ඇත. ඥාණය යනු, මේ පිටත ඇති ස්වභාවය ඇතුළට ලබා ගැනීමයි.
  2. විඥාණවාදය[Idealism]– බාහිර ලෝකය යනු ද, සිතුවිලි ලෝකයේ ම දිගුවකි. ඉන් අදහස් වන්නේ, ‘යථාර්ථය’ ලෙස යථාර්ථවාදියා ගන්නා දෙය ද මානසික යැයි වටහා ගැනීමයි. ඒ අනුව, විඥාණවාදයට යථ, යථාර්ථය යනු ද මානසික අත්දැකීම් ය. ලංකාව වැනි රටක දැනුම පිළිබඳ ගැටලුව යනු යථාර්ථවාදය සහ විඥාණවාදය අතර ගැටුමයි. එය කිසිසේත් ‘භෞතිකවාදයට’ සම්බන්ධ නැත. ලංකාවේ සියලුම පන්නයේ වාමාංශිකයන් යථාර්ථවාදීන් ය. ඕනෑම විෂයක් ඔවුන් විසින් ඇතුළත සහ පිටත යනුවෙන් දෙකට බෙදා ගනියි. මෙය විද්‍යාවේ ද දැනුම ලබා ගන්නා ක්‍රමය යි. ලංකාවේ ජාතිවාදීන් සහ ජාතිකවාදී අයත් වන්නේ, විඥාණවාදයට යි. ඔවුන්ට අනුව මානසික නොවූ දෙයක් නැත. 

                  

                 සිතීමෙන් බාහිරව ‘වාස්තවික ලෝකයක්’ පවතිනවා ද හෝ නැත්ද යන ගැටලුව පැටලී ඇත්තේ, විඥාණවාදය සහ භෞතිකවාදය අතර නොව විඥාණවාදය සහ යථාර්ථවාදය අතර ය. උදාහරණයක් ලෙස, ඇරිස්ටෝටල් වැනි පැරණි ග්‍රීක දාර්ශනිකයෙකුගේ දර්ශනය යථාර්ථවාදී ය. ප්ලේටෝ වැනි දාර්ශනිකයෙකු පවා ‘අදහස්’ පරික්ෂා කරන ලද්දේ, බාහිර දෙයක් ලෙසිනි. මේ අර්ථයෙන්, පැරණි දර්ශනවාදයම යථාර්ථවාදී වන්නේ එය පවතිනවා යැයි සිතූ බාහිර ලෝකය ප්‍රශ්න නොකළ හෙයිනි.

                         එසේ නම්, ‘භෞතිකවාදය’ යනු කුමක්ද? භෞතිකවාදයට අනුව මනසට බාහිරින් යථාර්ථය යනුවෙන් දෙයක් ඇත. නමුත් එය පරිසමාප්ත ලෙස සංකල්පීය ලෝකයකට උණනය කළ නොහැකිය. බාහිරත්වය තුළ මනසට උරාගත නොහැකි ශේෂයක් පවතියි.  මේ ‘ශේෂය’ නැතහොත් ‘ඉතුරුව’ ද සංකල්පීයකරණය කළ හැකි යැයි විශ්වාස කරන අය ගැඹුරු අර්ථයෙන් විඥානවාදීන් ය. එම ‘ශේෂය’ සංකල්පීයකරණය කළ නොහැකි බව පිළිගන්නා අය භෞතිකවාදීන් ය. මේ කියන අර්ථයෙන් ‘භෞතිකත්වය’ වටහා ගන්නා අය ලංකාවේ නැත. මීට අනුව භෞතික යනු, ‘ආකෘතිය’ [Form] මිස ‘ද්‍රව්‍යය’ (Matter) නොවේ. ආකෘතියට ගත නොහැකි දෙය ‘විනෝදය’ හෝ අවිනිශ්චිත බවයි. නැතහොත් ආපතිකභාවයයි.

                        ඉහත න්‍යායික පසුබිමට ‘ගෙජ්ජි සෙලවෙන නාදය’ සවි කරන්නේ නම් යථාර්ථවාදයට අනුව එය එළියෙන් ඇසෙන ශබ්දයකි. ශබ්දය නිසා ආත්මය සහ ස්ත්‍රිය යනුවෙන් කොටස් දෙකක් යථාර්ථය තුළ හට ගනියි. විඥාණවාදයට අනුව ‘ගෙජ්ජි නාදය’ ඇසෙන්නේ ආත්මය නම් අවකාශය ‘විඥාණය සහ මුඩු බව (ස්ත්‍රිය)’ ලෙස අභ්‍යන්තරයම බෙදී යාමෙන් ය. භෞතිකවාදයට අනුව ‘ගෙජ්ජි ශබ්දය’ අවිඥාණකය. එය මා විසින් පළමුව විඳි අත්දැකීමක් පසුව බාහිරට තල්ලු කළ වගක් මටවත් වටහාගත නොහැකිය. ලැකාන් ඊර්ෂ්‍යා සහගත සැමියා ගැන ගොඩ නැඟූ ප්‍රවාදය මෙහිදී සිහිපත් කිරීම වැදගත්ය. එක්තරා සැමියෙක් තම බිරිඳට වෙනත් සම්බන්ධයක් තිබේ යැයි කල්පිතයක් ගොඩනඟා ඉන් චිත්ත පීඩාවට පත් වෙයි. ලැකාන් මෙම පැමිණිල්ල රැඩිකල් මානයකට ගෙන යයි. ඔහුට අනුව මෙම සැමියාගේ බිරිඳට ඇත්තටම විකල්ප සම්බන්ධයක් පැවැතිය ද සැමියාගේ ගැටලුව ආත්මීය සහ රෝග ලක්ෂණාත්මක ය.  මන්දයත්, සැමියා තමන්ගේ ආත්ම මූලිකත්වය සකස් කරගෙන සිටින්නේ තම බිරිඳට වෙනත් සම්බන්ධයක් ඇතැයි සිතා විනෝද වීමෙන් වන නිසා ය. සැමියෙකු තම බිරිඳට වෙනත් සම්බන්ධයක් (මෙය පෙම්වතාට ද අදාළ ය) ඇතැයි පරිකල්පනය කිරීම වේදනාවකි. මේ වේදනාවෙන් සතුටු වීමට සැමියාට බාහිරින් හේතුවක් (සොර සැමියා) අත්‍යවශ්‍ය නැත. එය සැමියාගේම ෆැන්ටසියකි. ආත්මය වේදනාවෙන් සතුටු වන විට ඊට පළා යාමක් අවශ්‍ය ය.  ක්ෂතිමය අත්දැකීමක් වන වේදනාත්මක සතුට දමනය කිරීමට බාහිරින් තම බිරිඳට විකල්ප පෙම්වතෙකු අවශ්‍ය ය. වරක් X කණ්ඩායමේ පැරණි සාමාජිකයෙකු මෙසේ කීවේය. “මම X එකෙන් ඉවත් වූනේ දේශපාලනයට කිසි සම්බන්ධයක් නැති මනෝවිශ්ලේෂණය සංවිධානය තුළ උගන්නන්න ගත්ත හින්දා”. නමුත් ඔහුට අවිඥාණක වූ සිදුවීම කුමක් ද? සංවිධානයට උදව් කළ මල්ලිකා නම් ස්ත්‍රියක් මේ පුද්ගලයාට ‘ආදරය’ ප්‍රකාශ කිරීම නිසා ඔහු ඉන් මහත් භීතියට ලක් විය. ‘ආදරය’ සමඟ දුරකථනයක් හරහා කලක් පොර බැඳු ඔහු අවසානයේ ටෙලිෆෝනය පොළවේ ගසා එම ආදරයෙන් සමුගත්තේය. ‘මල්ලිකා’ නම් අභ්‍යන්තරික විනෝදයෙන් පළා යාමට බාහිරින් ඔහු සොයාගත් මුවහම මනෝවිශ්ලේෂණය යි. “මචං මම X එකෙන් ඉවත් වුණේ මනෝවිශ්ලේෂණය නිසා”. කොමියුනිස්ට් භෞතිකවාදියෙකු වීමට නම් ඉහත X සාමාජිකයා තව එක පියවරක් ඉදිරියට තැබිය යුතුය. ඔහුගේ ජීවිතය තුළ සදාතනික ‘ආදර පැල්ලමක්’ ඇති කළ මල්ලිකා නම් අවිඥාණික සිතුවිල්ල සිහිකටයුතු ලෙස තම සංකල්පීයතාවයට උරාගත යුතුය. එසේ නොමැතිව 80 දශකයට පළා ගොස් ‘මහජන විප්ලවකාරී හමුදාවේ’ වැඩකිඩ ගැන කතා කිරීම අභ්‍යන්තරික මල පුඩුවෙන් පළා යාමට සාදාගත් වාස්තවික වංකගිරියක් පමණි. 

                    ‘කුමරියක පා සළඹ සැලුනා’ වැනි සරල ගීතයක ගැබ්ව ඇති කොමියුනිස්ට් දෝංකාරය වන්නේ, ‘ස්ත්‍රී විනෝදය’ පුරුෂ මූලික හැඟවුම්කාරකවලට ඌණනය කළ නොහැකි යන යථාර්ථය යි. අප වැනි කඩවසම් නැති පිරිමින් සුන්දර ස්ත්‍රී අත්දැකීමක් අභ්‍යන්තරීයකරණය කරනවා හැර එය යථාර්ථයක් (සම්භෝගය) කර ගැනීමට උත්සුක වන්නේ නැත. කොමියුනිස්ට්වාදියෙකු වනවා යනු, ස්ත්‍රියක නිසා ජ්වලනය වූ ස්ත්‍රී විනෝදය සමඟ නර්තනයේ යෙදීම මිස ඇයට විවාහ ජීවිතයකට හෝ සංසර්ගයකට ආයාචනය කිරීම නොවේ. ‘කොමියුනිස්ට් ගින්න’ යනු, අඩුම වශයෙන් තමා විඳින විනෝදය වෙන කාටවත් කීම හෝ නොවේ. එය හුදු විඳීමක් පමණි. ඉන් පළා ගොස් යථාර්ථයේ පහසු ස්ථානයක පැවතීම බියගුළු ක්‍රියාවකි. X කණ්ඩායම යනු, ස්ත්‍රීන්ට තමන්ගේම වූ නර්තනය ඉදිරිපත් කිරීමට තනන ලද වේදිකාවකි. මේ ස්ත්‍රී නර්තනයට පිරිමින් අත්වාරු සපයන්නට ඉදිරිපත් නොවිය යුතුය. එසේ කළ විට, මේ ”ඇය” සුන්දර නැටුම නවත්වා ඔබගේ සහකාරිය ලෙස ඇයව ඔබගේ පුද්ගලික නිවසට කැන්දාගෙන යා හැකිය. ඉන්පසුව ඔබ ‘ඇගේ’ මෙහෙකරුවා මිස ආදරවන්තයා නොවේ. 

                එසේ නම්, ලෙනින්වාදී ආදරය යනු කුමක් ද?

Deepthi

|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||

ඉගෙන ගැනීමට අවශ්‍ය නම්, අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය.

 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. Although Immanuel Kant was not an Idealist Thinker his phylosophycal work influenced on Idealistic thinking that emerged in German, as well known first philosopher in German Idealism is Johann Gottlieb Fichte.
    Kant was last illuminist in the history of western philosophy.

Comments are closed.