පසුගියදා ප්‍රදර්ශනය තහනම් කෙරැණු පියාඹන මාළුන් සිනමා පටය ප්‍රස්තූත කරගෙන සිනමාපට තහනම් කිරීම පිළිබඳව ප්‍රවීන සිනමාවේදී අශෝක හඳගම දක්වන අදහස පහත පළවේ.

පියාඹන මාළුන් චිත්‍රපටය ශ්‍රී ලංකා ප්‍රංශ තානාපති කාර්යාලය විසින් පවත්වන්නට යෙදුණු ප්‍රංශ වසන්ත සැණකෙළි චිත්‍රපට උළෙලේදී තිරගත වීම අරබයා පැනනැගුණු ගැටලුවලට අදාළව මගෙන් වොයිස්කට් ඉල්ලූ පත්තර ඇතුළු සියලු මාධ්‍ය මිතුරන්ගේ දැන ගැනීම පිණිස මෙම කෙටි සටහන ලියා තබන්නට සිතුණි. මේ පිළිබඳව මගේ අදහස් විමසන ඕනෑම කෙනෙකුට කියන්නට ඇත්තේද මෙපමණක් බැවින් එය උපුටා දැක්වීමට අවසර ද ඇතුළුව මම මෙය ප්‍රසිද්ධ කරමි.

පියාඔන මාළුන් චිත්‍රපටය මා රුචි කරන සිනමා කෘතියක් නොවෙයි. ඒ වු පමණින් අන් අයද එයට අකමැති විය යුතු යැයි කීමට මට සදාචාරත්මක අයිතියක් නැත. මගේ රුචි අරුචිකම් මට වටින්නේ යම් සේද ඒ අයට තම තම රුචිකම් වටනා බැවිනි.

බුදුන්ගේ බෝසත් චරිත කතාව පදනම් කර ගත්තේ වුවද ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයටද මා කැමති නැත. එහෙත් මිලියන ගණනක් දෙනා එකි චිත්‍රපටය නැරඹු බව අපි දනිමු. මගේ කැමැත්ත අකමැත්ත ඒ කිසිවෙකුට වැදගත් නොවුණි.

පියාඹන මාළුන් චිත්‍රපටය සවිස්තරත්මක (explicit) ලිංගික සහ ප්‍රචණ්ඩ (violence) දර්ශන සහිත චිත්‍රපටයකි. ඒවා නැරඹිම ළමයින්ට සහ දුර්වල මනස් ඇත්තෙකුට පිඩාකාරි විය හැක. එබැවින් ඒ අවවාදය සහිතව චිත්‍රපටය නැරඹීම නිර්දේශ කිරීම වැඩිහිටි සමාජයකට නොසුදුසු නොවෙයි. එය එක්තරා ආකාරයකට වැඩිහිටි විඥානයට ගරු කිරිමකි. වයස 18ට වැඩි අයට තමනට යුතු අයුතු දෑ තෝරා ගැනීමට තරම් පරිණත බවක් ඇතැයි අප සිතන හෙයිනි. ඔවුනට ඡන්ද බලයද හිමිය.

මේ චිත්‍රපටය ලංකාවේ හැර ජාත්‍යන්තර චිත්‍රපට උළෙල ගණනාවකම මේ වනවිට ප්‍රදර්ශණය කර තිබෙයි. මා මේ චිත්‍රපටය නැරඹුවේද එවැනි උළෙලක දීය. මා දන්නා තරමින් කිසිවෙකු චිත්‍රපටය නැරඹිමෙන් මනස අවුල් කරගත් බවක් අරංචි වී නැත.

පියාඹන මාළුන් බලා කිසිවෙකු පිස්සු හැදුණු හෝ කිසියම් මානසික ආබාධයකට ගොදුරු වුණු හෝ බවක් මෙතෙක් ආරංචි නොවුණා සේම, බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුතුව චිත්‍රපට බලන නොබලන බොහෝ දෙනෙකු ශ්‍රී සිද්ධාර්ථ ගෞතම නැරඹුවේ වුවද, ඒ අයගෙන් කිසිවෙකු හෝ සෝවාන් ආදි මාර්ග ඵලයකට පත් වු බවක් අසන්නටද නැත.

හොඳ වුවත් නරක වුවත් චිත්‍රපට නම් එසේය.

ජීවිතයට සම්බන්ධ කතා පුවත් රැගෙන එන්නේ වුවද චිත්‍රපටය යනු ජීවිතය නොවෙයි.

ස්පීල්බර්ග් වරක් පැවසුවාක් මෙන් චිත්‍රපටයක් හරහා අප පිවිසෙන්නේ සිහින ලොවකටය. චිත්‍රපට දර්ශනය ඇරඹීමට ප්‍රථම ශාලාව අඳුරු කරනු ලැබෙයි. ශාලාව තුළ සමුහයක් ලෙස අපි සිහිනයකට අතුළු වෙමු. ඉන් පසු අප දෙනෙත් ඇරගෙන නරඹන්නේ සිහිනයකි. ඒ සිහිනයට අප කැමති මෙන්ම අකමැතිද විය හැක. ඒ සිහිනයේ හොඳ මිනිසුන් මෙන්ම නරක මිනිසුන්ද සිටිය හැක.

ඇත්ත ජීවිතයේ මිනිස් ඝාතනය සපරාධී ක්‍රියාවක් වවුද චිත්‍රපටයේ (සිහිනයේ) චරිත මිනී මරනවා විය හැක. ඇත්ත ජීවිතයේ අනියම් සම්බන්ධ සදාචාර විරෝධී වුවද චිත්‍රපටය තුළ එය ප්‍රේමනීය සම්බන්ධයක් විය හැක. දිනපතා පුවත්පත් සහ තොරතුරු මාධ්‍යවල වාර්ථා වන භික්‍ෂුව මස්කඩවලට පැන ගිනිතියයි. මුස්ලිම් කඩවලට පහරදෙයි. කුඩුපට්ටම් කරයි. පල්ලිවලට ගල්ගසයි. ඉඩකඩම් බලහත්කාරයෙන් අත්පත් කරගනියි. බීමතින් රිය පදවා අසුවෙයි. කාන්තාවන් අපහරණය කරයි. රළු පරුෂ වදනින් දොඩයි. එහෙත් චිත්‍රපටයක හමුවන භික්‍ෂුව අතිශය ශාන්ත, දුටුවන් සිත් ශ්‍රද්ධාවෙන් වඩවන කෙනෙකු විය හැක.

චිත්‍රපට නම් එසේය.

ඒවා පළමුව අධ්‍යක්ෂවරයාගේ ඔලුවේ මැවෙයි. පසුව සිනමාවට නැගෙයි. සිනමා ශාලාවක තිරය මත හෝ (දැන් නම් වීඩියෝ තිරය හෝ ජංගම දුරකතනයක හෝ තිරය මත) ප්‍රක්ෂේපණය වූ පසු තව බොහෝ දෙනෙක් ඒ (සිහින) අත්දැකීම බෙදාගනිති. බොහෝ අවස්ථාවල ප්‍රේක්ෂකයා දකින්නේ අධ්‍යක්ෂවරයා දුටු සිහිනයම නොවිය හැකිය. ඒ වෙනුවට තිරයේ දිස් වෙන රූප රාමුවලට අනුව තමන් ගොඩනගා ගන්නා තමන්ගේම සිහිනයක්ද විය හැක. බොහෝ දෙනෙකු කලබල හෝ ත්‍රස්ත වන්නේ මේ තමන් ගොඩනගා ගන්නා සිහිනයටයි. ඒ අනුන්ගේ සිහිනයකට තමන්ට බියවන්නට හේතුවක් නැති බැවිනි.

චිත්‍රපට තහනම යෝජනා වන්නේ තමන්ගේම සිහිනයට ත්‍රස්තවු අයගෙනි. තමන් මෙන්ම අනුන්ද මේ සිහිනයෙන් ත්‍රස්ත වනු ඇතැයි ඒ අය විශ්වාස කරති. එබැවින් සිහිනය උපදවන චිත්‍රපටය තහනම් කරන්නට යෝජනා වෙයි.

කිසියම් චිත්‍රපටයක හමුවන චරිතයක් ගුරුවයකු, ගුරුවරියක, ග්‍රාම නිලධාරී කෙනකු, දොස්තර කෙනකු, නීතිවේදියකු, ක්‍රීඩයකු, මුදලාලි කෙනෙකු, සොල්දාදුවෙකු, පොලිස් නිලධාරියකු, බැංකුකරුවකු, චිත්‍රපට අධ්‍යක්ෂවරයකු, ඉංජිනේරුවකු, කම්කරුවකු, දේශපාලකයෙකු, නඩුකාරයකු, පූජකයකු ආදී වශයෙන් වූ කුමන හෝ වෘත්තිකයෙකු විය හැක. ඒ ජීවත්වීම සඳහා මොනයම්ම හෝ රැකියාවක් කරන බැවිනි. රැකියා විරහිත අයෙකුද විය හැක. මේ සියලු දෙනා මිනිසුන්ය. මිනිස්සු හොඳ මෙන්ම නරක වටිනාකම් වලින්ද යුතු වෙති. එබැවින් චිත්‍රපටය තුළ මේ චරිතවල හැසිරීම් විවිධාකාර විය හැක.

උදාහරණයක් ලෙස චිත්‍රපටයක එන ජවනිකාවක එක් දේශපාලකයෙකු ගුරුවරියක දණගස්වනවා විය හැක. නොඑසේනම් රජයේ සේවකයකු ගස් බඳිනවා විය හැක. එය නරක වැඩකි. එසේ වූ පමණින් සියලු දේශපාලකයන් එවැනි නරක වැඩ කරනවායැයි සිතිය යුතු නැත.

තවත් චිත‍්‍රපටයක විදුල්පතිවරියක වෙසක් කූඩු තරඟයක් ජයග්‍රහණය කරමින් තම පාසලට කීර්තියක් අත් කරදුන් සිසුවෙකු හා කිපී ඔහුට පහර දී ඔහු දණගස්වා දඬුවම් කරනවා විය හැක. චිත‍්‍රපටයක චරිතයක් එසේ කළ පමණින් සමස්ත ගුරු පරපුරම එවැනියැයි නිගමනය කළ යුතු නැත.

තවත් චිත්‍රපටයක ඉහළ පොලිස් නිලධාරී කෙනෙකු කුලියට මිනිසුන් මරනවා විය හැක. චිත්‍රපටයක චරිතයක් එසේ කළ පමණින් ඇත්ත පොලිස් නිලධාරීන් එසේ කරනවායැයි නිගමනය කිරීම සාධාරණ නොවේ.

චිත්‍රපටයකදී අධ්‍යක්ෂක වරයෙකු තම චිත්‍රපටයේ චරිතයක් ලබා දෙන පොරොන්දුවට රූමත් තරුණියක සමග යහන්ගත වෙනවා විය හැක. එසේ වූ පමණින් ඇත්ත චිත්‍රපට අධ්‍යක්ෂකලා එසේ කරනවා යැයි සිතීම යුක්ති සහගත නොවිය හැක.

චිත්‍රපටයක එන ජවනිකාව පිරිමියෙකු තමාගේ නීත්‍යානුකූල බිරිඳ නොවන අන් අයෙකුගේ බිරිඳක සමග ලිංගිකව හැසිරෙනවා විය හැක. නොඑසේ නම් ගැහැනියක තම ස්වාමියා නොවන වෙනත් කෙනෙකු සමග රහසේ ලිංගිකව හැසිරෙනවා විය හැක. එසේ වූ පමණින් තම බිරින්දෑ වරුන් හෝ ස්වාමීපුරුෂයන්ද එසේ වෙතැයි සැක පහල කරගත යුතු නැත. ඒ තමන් දකින්නේ චිත්‍රපටයක ජවනිකාවක් බැවිනි. සිහිනයක් බැවිනි.

චිත්‍රපට නම් මෙසේය. ඇත්තම නොවේ.

මේ නිසා බොහෝ දියුණු රටවල් චිත්‍රපට කිරීම මෙන්ම නැරඹීමද තම තම රිසි පරිදි කරගැනීම සඳහා නිදහස දී තිබෙයි. එසේ නිදහස් රටවල සිනමාව කර්මාන්තයක් මෙන්ම කලාවක් ලෙසද දියුණුවී තිබෙයි. ආණ්ඩු චිත්‍රපට දැක කලබල වන්නේ නැත.

ඒ රටවල සියලු අකටයුතු කම් සිදුවන්නේ චිත්‍රපට තුළය. ඇත්ත ජීවිතය කිසියම් පිළිගත් සාමූහික විනයකට අනුව චලනය වෙයි. පාරේ කෙල්ලකට කොට ගවුමක් ඇඳගෙන තනිවම ඇවිද යාමට බියක් නැත. ඇය පෙරලාගෙන දුෂනයකරන්නට මානසික ලෙඩෙකු නොවන කිසිවෙකු කුලප්පු වන්නේ නැත. කිසියම් පිරිමියෙකු එසේ කිරීමට පෙලඹුනහොත් එංගලන්තයේ නම් මහ රැජිනගේ මුනුපුරු විලියම් කුමරුවුවද ඔහුට නිසි දඬුවම් ලැබෙනු ඇත. එහෙත් චිත්‍රපටයක නම් ඊට වඩා දෙයක්ද සිදුවිය හැක. එය රඟපෑ අය හෝ අධ්‍යක්ෂක හෝ චිත්‍රපට කිරීම වෙනුවෙන් දංගෙඩියට යවන්නේ නැත.

පියාඹන මාළුන් අරබයා ඇති වූ අධිරංගනය පිළිබඳ තොරතුර වොෂින්ටන් පෝස්ට්, නිව්යෝර්ක් ටයිම්ස්, දක්වා පැතිරගොස් තිබෙයි. එතෙක් කිසිවෙකු මේ චිත්‍රපටය ගැන අසා තිබුනේවත් නැත. ලොවපුරා සිටින චිත්‍රපට බලන නොබලන එහෙත් පත්තර හා තොරතුරු අසන බොහෝ දෙනෙක් දැන් ලංකාවේ චිත්‍රපට ගැන  කතා කරති.

අශෝක හඳගම

ඔබේ අදහස කියන්න...

9 COMMENTS

  1. අශෝක හදගම කියන පරිදි ,චිතරපටය නම් සිහිනයකි එමනිසා දියුණු රටවල මේ චිතරපට සිහින වලින් බියවන්නන් ගෙන් එම සමාජයන්ට අනතුරක් නැත.එමනිසා එම රාජ්‍යයන් සිනමාවට පුරමිතිගත නිදහසක් දී ඇත.ලංකාවේ මේ තත්වයෙන් සපුරා වෙනස්ය.ලංකාවේ ජනතාවගෙන් කීයෙන් කී දෙනෙක් මේ චිත්රපටිය නැරඹුවාදයි මම නොදනෙමි.බැලුවා කියලත් මහ ලොකු දෙයක් වෙන්නේත් නැති බව නම් ෂුවර් ය.ලාංකීය මිනිසුන් තමන් ගේ පුරථමික ජීවන අවශ්‍යයතාවයන් සදහා වත් සංවේදී නැති තත්වයන් යටතේ සිනමා කෘති සම්බන්ධයෙන් සංවේදී වෙයිද? දියුණු රටවල් වලට වඩා ලංකාවේ වර්තමාන පරිපාලන ව්‍යහයන් චිත්රපට සිහිනයන්ට හේතුවක් නොමැතිව ඉතාමත්ම බියපත් සවරෑපයක් පෙන්වයි.මෙය වර්තමාන ලාංකීය යථාර්තයයි.මේ අර්ථයෙන් මෙම චිත්රපට තහනමට මාත් විරුද්ධය.නමුත් ගැටලුව ඇත්තේ මේ ඇත්ත යථාර්තය අමතක කර සිහනයකින් අවධිවුවන් සේ කලා කරුවන්,මාධ්‍යයවේදීන්,වි.වි බුද්ධිමතුන් මාධ්‍යය සංදර්ශන පැවත්වීමය.සමහරවිට මෙහි අරමුන වඩා උසස් ගණයේ ලාංකීය චිත්රපටි සහ කලා නිර්මාණ නිෂ්පාදනය වෙන්නැති තත්වයක් තුල ඔවුන්ගේ අනන්න්‍යයතාවයන් නැවත නැවතත් මතුකරගැනීමට විය හැක.
    ගාමිනී වියන්ගොඩ සහෝදරයා සිතන්නේ ඔහු තවමත් ජිවත්වෙන්නේ පැරිස් වල කියලාය.එහෙනම් චිත්රපට සිහිනවලට බිය වෙන පරිපාලන ව්‍යහයන් නැතිබව නම් ෂුවර්ය ඓතිහාසික අරගලවල පුරථිඵලයන් ලෙස මේ තත්වය උදාවුන බව වියන්ගොඩ සහෝදරයා හොදටම දනී.නමුත් අවුරුදු කිහිපයකින් පමණක් නෙදර්ලන්තයෙන් අචාර්ය උපාධියක් ලබාගත් නිර්මාල් අපූරු කථාවක් කියයි,ඔහුව නරක් කරන්න හදන්නේ සමාජ කිරියාධරයන්ය.ඔහුට අනුව, මේ සිහිනවලට බිය දුර්දාන්ත පාලනය තව අවුරුදු 15 වත් පාලනයේ තිබෙන බවය. ඔහුගෙ මේ අදහසට අනුව මේ වර්තමාන පාලනයෙ වෙනස් වීමකින් තොරව ඔය කිසිම දෙයකට ඉඩක් නැත.මෙය වේදිකාවේ පහල සිටින සාමන්‍යය ජනතාවට තේරුණත්,වේදිකාවේ සිටින අනික් බුද්ධිමතුන්ට තේරෙන්නේ නැත.එබැවින් මෙවැනි මාධ්‍යය සාකච්චා,උද්ගෝෂණ ඉදිරිකාලයේ තවදුරටත් දකින්න ලැබේවි.අද කළයුත්තේ සිහිනවලට බිය දෘෂඨිවාදයට වෙනස්ව,සිහිනවලට බිය නොවන දෘෂ්ඨිවාදයක් සමාජගතකිරීමයි.එය සංකීර්ණ දේශපාලන කිරියාවලියක් වන බව නොවනු මානයි.මාධ්‍යය සංදර්ශන හරහා මල්වෙඩි සංදර්ශන පවත්වනවාට වඩා එය භෟතිකය.

  2. අදහස් දැක්විමට පෙර තමන්ගේ නම සටහන් කිරිම වෙනත් අයට කරන ගරැ කිරිමකි.අශෝක හදගම ගේ ලිපියට මා ගරැ කරමි. මා මෙම සටහන තබන්නේ අනුන් හැදිමට නොව.පන්දම අල්ලාගෙන ඉන්න ඇති අමාරැවටය. මට මගේ දේවල් හදා ගැනිමට තවම ඇත. කලාකරැවන්ද අංග සමිපුර්ණ වු අය නොවෙ. සමහර විට ඔවුන් ගෙන් අගනා සිනමාකරන බිහිවන්නේ ඒ නිසා විය හැක.Lars von Trier නැමති සිනමාකරැ කවදාවත් ගුවන් යානයකින් යන්නේ නැත. ඒ ඔහු බය නිසාය.
    අද මෙම සිනමා පටය කල සංජිව පුෂ්‍පකුමාර ට වඩා කතා කරන්නේ ගාමිනි වේයන්ගොඩ ගැනය. ඔහු මෙම සිනමා කර්මාන්තයට කිසිම සමිබන්ධතාවයක් නැත.ගොනා හැරැනේ පොල් පැලේ කන්න බව නුගත්. මෝඩ අපටත් දැන් වැටහෙන්නේය.
    ලෝකය දැක්මට ලෝකයට යායුතුය. ලිදේ ඉන්න ගෙමිබෝ ලෙස සිතිම වැලක්විය යුතුය.
    විදෙස් ගතවු කෙනෙක්ට පැහැදිලි මනසකින් නිදහස්ව තම රට ගැන සොයා බලන්න ඉඩ ඇත. එය වලකන්න හෝ යතාඅර්තය සගවන්න කවිරැවත් නැත.ගොඩාක් විට ඉංගිරිසියෙන් කතා කර ;මම උගත් කියා පෙන්විමට අවශ්‍ය නැත.
    හද පායනකොට පිස්සුව වැඩිවි ලියවෙන මෙ දේවල ගනන් නොගෙන පබා වගේ අගන ජන සමිමානයට ලක් වු ටෙලියක් කරා නමි සජිවයට දේශපාලනයට යවන්න ලංාවට හිමිකර දෙන්න තිබුනා නේද?

    කට කට කට…මමත් මේ නිකං ඉන්න බැරිව කෙලව ගන්න හදන්නෙ. මෙපමන සමිමන ගත්ත අපේ කලාකරැවො වචනයකින් වත් සද්දයක් නැත්තේ වෙන රටකට නිවාඩු ගිහිල්ලද?????

  3. එෂර්මා කාරියකරවන මහතා හෝ මහතා හෝ මහත්මිය වෙත ලියමි ,මට pshycologicl counseller ?කියන වෘත්තිය සොයාගැනීමට බැරිවිය.කෙසේ නමුත් ,සංකේත ලෝකයේ පිලවල අනුගමනය නොකරන්නන් පිස්සන් හැටියට සාමන්‍යය ජන සමාජය තුල පිලගනියි.ලාංකීය සමාජය තුල මෙවැනි කඩාවැටීම් බොහෝය.උදා:ගුරුවරුන් දණගැස්සවීමි,කුඩාදරුවන් දුෂණය කිරීම්,බස්වල ජැක් ගැසීම, ඔය ආදීවශයෙන් කරුනු කාරනා පෙන්වා දිය හැක.ඔඹ ලංකාවේ කාට සේවය කරනවාදැයි මම දන්නේ නැත .මම දන්නා තරමින් සුදුසුකම් සම්පුර්ණ නොකරගත් ගැහණුන් සහ පිරිමින් ඔඹ වැනි උපදේශක වරුන් සහ වරියන් හැටියට ලංකාවේ සමහර ආයතනවල කාලය මිඩංගු කරයි.මෙය මගේ පෟද්ගලික අත්දැකීම් වලට අනුව උපදේශකවරියන් සම්බන්ධයෙන් ඉතාම බරපතලය.යකාට අනුව විමානය කියන්නා සේ මේ ලංකාවය.අනෝමා ජිනාදරී යනු නිලියකි,ඇයගේ නිරුවත දැක ඔබ කම්පාවට පත්වන්නේ ඇයි?ඔඹ හැම නිලියකගේ ම නිරුත දැකීමෙන් කම්පාවට පත්වෙන්නේද?ඔබ ගැහණියක් නම් අනෝමාගේ නිරුවත හරහා ඇය මාර විනොදයක් ලබනවා යයි සිතා මානසික ගැටලුවකට ඇතුලු වෙයි.ඔඹ පිරිමියෙක් නම් අශෝක හදගමට ඊර්ෂ්‍යා කරයි.කොහොමනමුත් ඔබගේ සීනියර් වෛද්‍යයවරයා ඉක්මනින්ම හමු වී සායනික පුරතිකාර ගන්න මක්නිසාදයත් නැත්නම් ඔඹ ගෙන් උපදෙස් ගන්න එන අයට දෙවියන්ගේම පිහිටය

  4. මෙය කියවනවිට මෙම ලිපියට ත්‍රස්ථ විය හැකි අය බොහෝය. මෙම ලිපියත් තහනමට ලක් වෙයිද?

  5. Sanajewa’s feed back about handagama’s statement
    මට දැන් ඇති වේදනාව අන් කිසිවක් නොව මගේ සිනමාපටයේ නමවත් හරියට නොදැන කරනා ලිපි රචනා ගැනයි. මම පියාඹන මාළුවන් නමින් සිනමාපටයක් හදා නැත. අශෝක හදගමගේ සිට මගේ සිනමාපටයේ නම පියාඹන මාළුවන් යැයි කියනවිට ITN එකේ අය ගැන මට ඇතිවන්නේ ගෞරවයකි.මන්ද ඔවුන් චිත්රපටය නොබලා වුවද අඩුම තරම්න් මගේ චිත්රපටියේ නම ඉගිල්ලෙන මාළුවෝ (Flying Fish) යැයි හරියට කියයි. ඉගිල්ලෙන මාළුවන්(Flying Fish) උළෙලකදී බැළුවා යැයි කියා ලියන අශෝක හදගමගේ ලිපියට වඞා මට මගේ සිනමාපටයේ නම හරියට කියන එක වටීන්නනේය. මගේ මිතුරන් මෙ අදහසට උරන නොවත්වා.ඔබත් සිනමාපටයක් හැදු කළ කිසිවෙකු එහි නම වැරදියට කියන කළ පමණක් ඔබට මේ වේදනාව දැනෙු ඇත
    Please see on boondi under the artcle
    http://www.boondi.lk/CTRLPannel/BoondiArticles.php?ArtID=3558

  6. Esharma Kariyakarawana -> එක් මානසික රෝගියකු ස්ත්‍රියක් දූෂණය කළ පමණින් සියලු මානසික රෝගීන් එසේ කරනවායැයි නිගමනය කිරීම සාධාරණ නොවේ. ලිපියේ සඳහන් වන්නේ ස්ත්‍රියක් දූෂණය කරනුයේ මානසික රොගියකු බවයි. එහි විලෝමය නොවේ.

  7. හඳගම මානසික ලෙඩුන් ස්‍ත්‍රීන් දූෂණය කරනවා කියා – කියා නැත . ඔහු කියා ඇත්තේ කොට ගවුමක් ඇඳන් ගිය පලියට තරුණියක දුෂණය කිරීම මානසික රෝගයක් බවයි එය එසේ නොවන්නේ යයි මේ කොමෙන්ටු කරුවන්ට කිව හැකිද ? කොට ගවුම් තහනම් කරන්නට කිවූ මානසික රෝගියෙකු ආණ්ඩුවේද ඇමති වරයෙකි . හන්ගමගේ මේ ලිපියේ වැරැද්දක් මට නොපෙනේ. මේ ලිපියේ වැරැද්ද හොයන්නේ – උසස් පොලිස් නිලධාරීන් කුලියට මිනි මැරීම , ආයුධ පෙන්නීමට ගොස් මර දැමීම , ගුරුවරු තම පෞද්ගලික පන්තියට එන්නේ නැති සිසුන් fail කිරීම ආදී දේ දකිත්දිත් ඉවසන අයට පමණි

Comments are closed.