රළ නඟන නිහඬ සමුදුර – ශෂි ප්‍රභාත් රණසිංහ

 

අනෙකාට මා කව්ද?” යන ප්‍රශ්නය මම මීට සති කීපයකට පෙර වෙනත් පුවත්පතක් ඔස්සේ (සිළුමිණ නොවේ.) සාකච්ඡා කළෙමි. සමකාලීන සමාජය තුළ යළි යළිත් වර නැ‍ඟෙන ප්‍රශ්නය එය වී තිබීම අපට එම සමාජ භාවිතාවන් කියවීමට අත්වැලක් සපයයි. ශෂී ප්‍රභාත් රණසිංහ රළ නඟන නිහඬ සමුදුර නම් කවි පොත ලියමින් අපගෙන් අසන ප්‍රශ්නය ද එයයි;” මා ඔබට කවරෙක් ද?”

මෙම කවිපොත දොරට වැඩීමේ උලෙළක් පසුගිය දිනෙක පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහි දේශකයකු ලෙස මගේ නමද සඳහන් විය. එහෙත් කිසියම් පෞද්ගලික හේතුවක් නිසා එයට සහභාගි වීමෙන් මම වැළකී සිටියෙමි, හේතුව කුමක්දැයි ශෂී ප්‍රභාත් හොඳින්ම දන්නේය.

ඉන් පසුව පොත පිළිබඳ සිරි තිලකසිරි මහතා විසින් ලියන ලද විචාරයක් රාවය පුවත්පතේ පළ විය. එයට සති දෙක තුනකට පසු එම ලිපියම වෙනත් පුවත්පතක “නැවත ප්‍රචාරය” විය. එය කුමන විදියේ පුවත්පත් කලාවක්දැයි මම නොදනිමි. පුවත්පතක පළවන ලිපියක් යනු කිසියම් නිවේදනයක්වත්, වෙළඳ දැන්වීමක්වත්, පණිවිඩයක්වත් නොවේ. එය තවත් මාධ්‍යයක පළ වෙනවා නම් සදාචාර සම්පන්න ලෙස මෙය සිදුවිය යුත්තේ අදාළ පුවත්පතින් උපුටාගත් බවට වූ සටහනක් සමඟ නොවේ ද?

ශෂී ප්‍රභාත්ගේ මෙම කවි පොත අරබයා අදහාගත නොහැකි පුවතක් බූන්දි වෙබ් අඩවියේ පළ විය. ඉන් කියවුණේ ශෂී වෙනත් කෙනෙකුගේ කවියක් සොරකම් කර තමාගේ පොතට ඇතුළත් කරගෙන තිබෙන බවයි. අනුන්ගේ අදහසක් හෝ නිර්මාණයක් තමාගේ සේ හුවා දැක්වීම (Plagiarism) සමකාලීන සමාජයට අලුත් දෙයක් නොවේ. ප්‍රශ්නය නම් ශෂී එවැනි නිර්මාණ සොරකමක් කළේ ද යන්න නොවේ. ප්‍රශ්නය නම් ඔහු එවැන්නක් කළේ නම් එසේ කළේ මක්නිසා ද යන්නයි.

වැස්සකටවත් විශ්ව විද්‍යාලයකට ගොඩ වී නැති කෙනෙකුටත් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ගැන පුරාජේරු දෙඩිය හැක. තමාගේ අතීතය අලුතින් නිර්මාණය කිරීම දැන් අලුත් දෙයක් නොවේ. එහෙත් ඔහු එහිදී අමතන්නෙ අනෙකාගේ ආශාවටය. ආශාව වස්තුවකට (object) සම්බන්ධ නැත. එය සම්බන්ධ වන්නේ අඩුවකටය (lack). මේ නිසා ලැකාන් නොයෙක් විට වර නැඟු සූත්‍රය නම් මිනිසාගේ ආශාව වූකලී අනෙකාගේ ආශාව බවයි. (Man’s desire is the desire of the Other) ඉන් අදහස් වන්නේ ආශා කිරීමේ වස්තුව අනෙකක් නොව අනෙකාගේ ආශාව නැතහොත් අනෙකා විසින් තමා පිළිගනු ලැබීම (recognition) බවය. ලැකාන් මෙය ණයට ගන්නේ කොජෙව් හරහා හේගල් ගෙනි.

කොජෙව් පැහැදිලිව ප්‍රකාශ කළේ ආශාව මානුෂීය වන්නේ ශරීරයකට නොව අනෙකාගේ ආශාවට ආශා කරන්නේ නම් බවයි. එනම් ඔහුට අවශ්‍ය අනෙකා ලවා තමා ආශා කරනු ලැබීමට සහ ආදරය කරනු ලැබීමටය. එවිට අවසාන විශ්ලේෂණයේ දි මිනිසාගේ ආශාව යනු තමා අනෙකා විසින් පිළිගනු ලැබීමට (recognition) ගන්නා ප්‍රයත්නය ලෙස කොජෙව් පැහැදිලි කරයි.

ශෂී සොරකම් කරනා ලදැයි චෝදනා නැ‍ඟෙන කවි පෙළ නරුමයකුගේ හෘද සාක්ෂ්‍යය මැයෙන් මෙසේ ලියැවී ඇත.

මම
එක පෙළට උන්නෙමි
හෝඩි පොත් ගෙන
උන් සමඟ
මම
පොත් වන පොත් කළෙමි
උන් බැඳිවල
රිංගන කල
මම
සරසවි ගියෙමි
උන් වෙල්වල

ජීවිතය වපුරන කල
මම
උගතෙක් වීමි
උන් කුලියට
මෝඩ ගල් කපන කල

මම
දෑවැද්දක් බැන්දෙමි
උන් ආදරය
ගෙට ගෙනා කල
මම
රෝද මතින් පියෑඹුවෙමි
මම
ජාතිවාදියෙක් වීමි
උන් විජාතිකයන්
වැලඳගත් කල
මම
ප්‍රඥා ප්‍රාසාදයෙන් වැටුණෙමි
උන් ඉණිමගේ ඉහළට යන කල
අද
මම
හිතට බර කර කවි ලියමි
උන්ගේ දිවියම කවිය වූ කල
රළ නඟන නිහඬ සමුදුර

පිටුව 21

ඇත්තටම නම් මෙය අපූරු කවියකි. මෙය කියවන පාඨකයා ශෂීට ආදරය කරන්නට පටන් ගනී. පාඨකයා මේ කවි පදවැල් අතර තම අසාර වූ ජීවිතය පිළිබඳ කලකිරුන පඬිවරයකු දකින්නට වේ. කවියා වූ කලී මහත් වැර වෑයමෙන් ඉගෙන ගෙන සරසවියට ගොස් ඉහළ අධ්‍යාපනයක් ලද කෙනෙකි. ඒ අනෙකකු නොව ශෂී යයි අපි අදහන්නට පටන් ගන්නෙමු. මේ කවිය වෙන කෙනෙකුගේ කවියක් නම් එය මෙහි පළ කර ගැනීමට ආශාවක් ශෂී තුළ පහළ වන්නේ ඇයි? ඇත්තටම නම් එයට පිළිතුරු ඇත්තේ ඔහු විසින්ම ලියන ලදැයි අප විශ්වාස කරන අනෙක් කවි තුළය.

ශෂී ප්‍රභාත් මෙම කවි පොත පිළිගන්වන්නේ මහාචාර්ය සුචරිත ගම්ලත්ටය. එම පිදුම තුළ ඔහු ගම්ලත් පිළිබඳ කරන ප්‍රසංශාව මඟින් පෙන්වා සිටින්නේ තමා තුළ වන කිසියම් අඩුවකි (lack). ආශාව සම්බන්ධ වන්නේ වස්තුවකට නොව අඩුවකට බව ලැකාන් කියා ඇතැයි මම නොකීවෙම් ද? කවියා මෙහි එන බොහෝ කවි මඟින් හැම විටම තොරොම්බල් කරන්නේ ඥාන ගවේෂණයයි.

රළ නඟන නිහඬ සමුදුර නම් වූ (36 පිටුව) කවි පෙළ කියවා බලන්න. එය වූකලී නැණ නැව් එනතුරු බලා සිටින මහ මුහුදක් පිළිබඳ කියවෙන කවියකි. ඊළඟට ඔහු මහ කවියකු අමතයි. එහිදී ඔහු එම කවියා දකින්නේ විශ්වයම මිටින් ගෙන විස්මිතම පද ගොතන මහා වියතකු ලෙසය.

ඥාන ගවේෂණය සහ ප්‍රඥාව පිළිබඳ මේ සියලු තොරොම්බල් කිරීම තුළ තමාගේ කිසියම් අඩුවක් පිළිබඳ තැවෙන හුදෙකලා මිනිසකුගේ හඬ අපව ඇසේ. ඔහුට අවශ්‍ය තමා පිළිබඳ පිළිගැනීමක් සමාජයට තිබේදැයි විමසීමටය. මේ නිසා ඔහු මේ කවි ලියමින් දිගින් දිගටම මෙසේ අසයි. “මා ඔබට කවරෙක් ද?

සමන් වික්‍රමාරච්චි

silumina

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

Comments are closed.