90 දශකය සාරාංශ ගත කළ හැකි නවකතාවක් ලෙසින් මිලාන් කුන්දේරාගේ ‘පියාපතක් වන් සැහැල්ලු පැවැත්මක්’ සලකන්නේ නම් එහි උප-ප‍්‍රධාන චරිතයක් වන ෆ්රාන්ස්ගේ සුවිශේෂ ආත්මමූලිකත්වය හැමදෙනාම අමතක කර ඇත. නවකතාවේ සාංදෘෂ්ටික දර්ශනයට වහ වැටීම නිසා 90 දශකයේ දී මධ්‍යස්ථ වාමාංශයට (එනම් චන්ද්‍රිකාගේ ආණ්ඩුව – 94-2004) සිදු වූ දෙය සියලුදෙනාට අමතක විය. චන්ද්‍රිකාගේ ආණ්ඩුව යනු 20 වැනි සියවසේ අවසාන දශකයේ දී යමක් කිරීමට උත්සාහ කළ ආණ්ඩුවයි. ඇය උත්සාහ කරන ලද්දේ උතුරේ ගැටලුවට දේශපාලන විසඳුමක් ලබා දීම සහ අලුත් ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමටයි.

‘පියපතක් වන්’ නවකතාවේ ෆ්රාන්ස් නම් අතුරු චරිතය මඟින් නිරූපණය වන්නේ  ඕනෑම න්‍යායවේදියකුගේ ගැටලුකාරී හෘද සාක්ෂියයි. 60 දශකයේ ශිෂ්‍ය අරගලයේ උද්ඝෝෂණ සහ රැලිවලට  සහභාගි නොවීම ගැන ඔහු මහත් සේ වික්ෂෝපයට පත් විය. බාහිර ලෝකය වෙනස් කිරීම වෙනුවට බාහිර ලෝකය සමපේක්ෂණය කිරීම යන මහත් වරදකාරී හැඟීමක් ඔහු වෙත විය. X කණ්ඩායමේ ඛණ්ඩනයට පසු මෙම උභයාවේගයට මමත් හසු වීමි. X කණ්ඩායම තුළට ජවිපෙන් සහ සාම්ප්‍රදායික පැරණි වමෙන් ඇතුල් වූ සාමාජික – සාමාජිකාවන් මාධ්‍ය මඟින් සහ රැස්වීම්වල දී මගේ දේශපාලන ජීවිතය විවේචනය කරමින් පවසා සිටියේ දීප්ති යනු න්‍යාය සමපේක්ෂණය කරන්නකු මිස ලෝකය වෙනස් කරන්නකු නොවේ යන්නය. මෙම අපගමනයට මා අසු වූ අතර මා ද ක‍්‍රියාකාරී මිනිසකු බව පෙන්වීමට ශිවරාම්ගේ ඝාතනයට එරෙහිව කොටුවේ දී සංවිධානය වූ උද්ඝෝෂණ පෙළපාලියට සහභාගි වුණෙමි. මෙම අපගමනයේ වැරදි දිශානතිය නිසා 2004 ට පසු සංවිධානය කළ නැවතත් ‘න්‍යායට’ වඩා ‘ක්‍රියාව’ වැදගත් යන ආප්තය තහවුරු විය. එම විනාශකාරී මාවතේ අවසානය 2014 වර්ෂයේ දී චැප්ලින්ගේ ප්‍රහසනයක් ලෙසින් ලකුණු විය.

ලංකාවේ සමස්ත වාමාංශික අර්බුදය පිළිබඳ දේශපාලන සාකච්ඡාවක් 2013 වර්ෂයේ දී අවධාරණය කරන ලද්දේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයයි. එම පක්ෂය විසින් දාර්ශනික ගැටලු ඇතුළත් පත‍්‍රිකාවක් සාකච්ඡාව ආරම්භයේදීම බෙදාහරින ලද අතර දේශපාලනය තුළ මතු වන දාර්ශනික ගැටලු පිළිබඳ පරිණත සාකච්ඡාවක් අදාළ මෙහෙයුම් කමිටුවට මෙහෙය වීමට හැකියාවක් තිබුණෙ නැත. මෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් එම සාකච්ඡාවට තුඩු දුන් මුඛ්‍ය හේතුව සියලුදෙනාට අමතක විය. සාකච්ඡාවක් හට ගැනීමට තුඩු දුන්නේම වමේ දේශපාලනය තුළ අධිනිශ්චය වූ කාලකණ්ණි භාවිතාව විසංයෝජනය කරන්නේ කෙසේද යන්නය. නමුත් සාකච්ඡාවට සහභාගි වන සියලු දෙනා තමන්ගේ පුරුද්දට අනුව ඉක්මනින් අරගලයක් සංවිධානය කිරීමේ ගැටලු මතු කළේය. මාස හයක් පමණ දිගට ඇදී ගිය සාකච්ඡාව අවසන් වූයේ සාකච්ඡාව මෙහෙය වූ කණ්ඩායම අතරද භේද උත්සන්න වීමෙනි. ඉන් අනතුරුව පෙරටුගාමී සමාජවාදී පක්ෂයත් එයට සහභාගි වූ අනෙක් අයත් න්‍යාය පසෙකලා අලූත් වටයකින් අරගලය පටන් ගැනීමට ‘සාකච්ඡාව’ ඉවර කළේය. සියලු දෙනාගේ වටිනා කාලය මාස 6කින් පමණ විනාශ වී ගිය අතර පසුකාලීනව ශිෂ්‍යයන් කේන්ද්‍ර කරගත් අරගලකාරී මාවතට සියලුදෙනා තල්ලු වූහ. ලංකාවේ වමේ දේශපාලනය අතාර්කික වූයේ ඊට ප්‍රායෝගික වැඩපිළිවෙළක් නොමැති නිසා නොව ඊට නූතන ධනවාදය සංකල්පීයකරණය කර ගැනීමට නොහැකි නිසා බව පිළිගන්නා ප‍්‍රථම වාමාංශිකයා (සමහර විට අවසන්) මම වෙමි. මෙම හේතුව නිසා මධ්‍යස්ථ වම පමණක් නොව රැඩිකල් වම පවා අතාර්කික වෙමින් පවතියි. මේ පිළිබඳව එකිනෙකා ඇණකොටා ගන්නා තත්ත්වයක් මිස අභ්‍යන්තර වාම සංවාදයක් ලංකාවේ නැත.

90 දශකය අවසානය සහ 9/11 ප‍්‍රහාරය සමඟ ලෝක මට්ටමින් පැවති පන්ති සංහිඳියාව අවසන් විය. තවදුරටත් ජාතික රාජ්‍යයන් ඇතුළත අනාගත විකල්ප යුතෝපියාවක් නැති බව සියලුදෙනාට පසක් විය. 70 දශකයේ දී සුපිරි සුබසාධන රාජ්‍යයක් වීමේ අනාගත සැලැස්මක් ඉදිරිපත් කළ යුරෝපා සංගමය මේ වන විට ලිබරල්කරණයේ විවෘතභාවය වෙනුවෙන් පෙනී සිටින එංජිමකි. නිෂ්පාදනයේ භූගෝලීයකරණය පරදා ලෝක මූල්‍යකරණය බලවත් වී ඇත. නූතනත්වය ගැන කතා කරන මිනිසුන් ටික වේලාවකට පසු කතා කරන්නේ ධනවාදය පිළිබඳව බව අවිවාදිතය. එපරිදිම පරිවාරයේ නොදියුණු සමාජ ව්‍යුහයන් සහිත රටවල් විකල්ප නූතනත්වයන් ගැන කතා කරන විට ඒ කතා කරන්නේ ද ධනවාදය ගැනය. එනිසා මිනිසුන් ධනවාදය බාහිර බාධාවක් ලෙස නොගන්නා අතර ධනවාදය යනු ඔවුන්ගේ ආත්මමූලිකත්වය තුළම ඇති ප‍්‍රතිවිරෝධයකි. තවදුරටත් වර්තමානයට අනන්‍ය නොවීම යනු අනාගතයකින් එන්නට නියමිත විකල්පයක් නොවේ. X කණ්ඩායමට ඉන් පිටත පවතින අනාගතයකින් විකල්පයක් ආවේ නැත. විකල්පය ආවේ X කණ්ඩායම පුපුරා ගොස් එහි අභ්‍යන්තරයෙන්මය. අප නොසිතන දෙය එන්නේ පිටතින් නොව ඒ තුළින්මය. මේ හේතුව නිසා ජනප‍්‍රිය ජාතිවාදයන්ට සහ සුළුජන අයිතිවාසිකම් පිළිබඳ අරගලවලට දේශපාලනය සීමා වී ඇත.

අලූතින් මේ ඇති වී තිබෙන තත්ත්වය සූත‍්‍රගත කරගන්නට අලූත් න්‍යායික සංකල්ප අවශ්‍ය බවට විවාදයක් නැත. ඊළඟ අභියෝගය වන්නේ දේශපාලනය තුළ අලුතින් බිහි වී ඇති අහම්භය සඳහා වූ අවකාශයයි. ට‍්‍රම්ප්ගේ බෑණා බවට යුදෙව් ජාතික ජෙරඞ් කූෂ්නර් පත් වූ නිසා ඊශ‍්‍රාලයේ අගනුවර ලෙස ජෙරුසලම එක්සත් ජනපදය විසින් පිළිගෙන ඇත. තත්ත්වය එතරම් අහම්භයට බරය.

ලෝක මට්ටමින් සලකා බැලූ විට දෙවැනි ලෝක යුද්ධයට පසු බිහි වූ ලෝක පර්යාය (සීතල යුද්ධය) සහමුලින් අද විනාශ වී ගොස් ඇත. ලංකාවේ නම් 2009 වර්ෂයේ අහවර වූ සිවිල් යුද්ධයට පසුව අපගේ සමාජ සංස්ථිතිය සහමුලින් විනාශ වී ගොස් ඇත. එක පැත්තකින් රැඩිකල් දේශපාලනයේ මූලික තේමාවන් සුවිශේෂ ප‍්‍රශ්න (පරිසර, සංහිඳියාව, සුළු ජාතික) කෙරෙහි ඌනනය වී ඇත. අනෙක් අතට අප පරිකල්පනය කරන පරිමාවට වඩා පුළුල් ආකාරයක අභියෝගයක් අප ඉදිරිපිට ඇත. මෙම නව-අභියෝගය අද දවසේ තරම් පැහැදිලි ලෙස නොවුණත් 1998 වැනි යුගයක දී නික් බීම්ස් තමන්ගේ අගනා න්‍යායික ග‍්‍රන්ථය වූ ‘භූගෝලීයකරණය’ කෘතියේ මෙලෙස පැහැදිලි කරයි.

”අද දවසේ අපට දක්නට ලැබෙන්නේ ධනවාදී නිෂ්පාදන මාදිලියේ සුවිශේෂ බිඳවැටීමකි. එය හුදෙක්ම කිසියම් ආකාරයකින් සමස්ත පද්ධතිය ඇනහිටවන වාණිජ හෝ ව්‍යාපාරික අර්බුදයක් නොවේ. ප‍්‍රාග්ධනය අද දවසේ ගෝලීය තලයේ කෙතරම් වියරුසහගත ලෙස ක‍්‍රියාකාරී වන්නේ ද යත් එමඟින් අප මෙතෙක් අත්විඳි ‘ධනවාදය’ නම් සමස්ත උපරි-ව්‍යුහයම (සංස්කෘතියේ සිට දේශපාලනය දක්වා) බිඳ වැටී ඇත. මෙහි අතුරුඵලයක් ලෙස මධ්‍යම-පන්තිය පවා නිර්ධනකරණය වෙමින් පවතින අතර ඔවුන්ගේ ශ‍්‍රමය ද දොට්ට දමන කාණ්ඩයට ඇතුල් වී ඇත. මෙම තත්ත්වය 20 වැනි සියවසේ අප අත්දුටුවාට වඩා මහා පරිමාණයෙන් අවමානුෂිකකරණය සහ සමාජ අනෝමීයතාවය හරහා ප‍්‍රසාරණය කර ඇත.”

ඉහත තත්වාරෝපිතය තුළ අප වටහා ගත යුත්තේ ‘ධනවාදය’ නම් සමස්තය බිඳී විසිරී ගිය කැබලි සමූහයක් ලෙසින් මිස පවතින්නේ නැත යන්නය. මේ හේතුව නිසා වාමාංශිකයන් මෙතෙක් අත්දුටු ධනපති-විරෝධී දේශපාලනය අරගලකාරී භූමියෙන් වියැකෙමින් පවතියි. ඉතිහාසය නම් කටුගෙය තුළ තමන්ටත් ස්ථානයක් වෙන් වී ඇති බව ඔවුහු තවම අවබෝධ කරගෙන නැත. ‘ධනවාදය’ නම් තවදුරටත් නැති සමාජ ව්‍යුහයක් පෙරළා දැමීමට ඔවුහු අධිෂ්ඨාන කරගෙන සිටිති. ක‍්‍රම විරෝධීන්ට හැර ඉතුරු අයට අනාගතයේ දී පැවැත්මක් නැත. නූතන ප‍්‍රාග්ධනය ක‍්‍රියාකාරී වන ආකෘතිය අනුව අපට ඉතිරි වී ඇති එකම වපසරිය වන්නේ දෘෂ්ටිවාදය විචාරය කිරීම පමණි. මින් අදහස් වන්නේ ‘නිකං ඉන්න’ යන සටන් පාඨය නොවේ. අප ක‍්‍රියාකාරී විය යුත්තේ චින්තනය තුළය. බාහිරින් අපට එල්ල වී ඇති CCTV කැමරා දැක්මට වශී නොවී චින්තනයේ ප‍්‍රබලතාව නැවත සහතික කළ යුතුය. 21 වැනි සියවසට නව ප‍්‍රබුද්ධත්වක් අවශ්‍යය. ඒ තුළ මනෝවිශ්ලේෂණයට න්‍යායිකව කළ හැකි දෙය පුළුල්ය. මේ දක්වා Id අතිරේකය කළේ එම කාර්යයයි. ප‍්‍රචණ්ඩ ලෙස වියරු වැටුණු මුහුදක අපගේ ඔරුවේ සමබරතාව රැකගනිමින් ඔබට යමක් තේරුම් කිරීමට උත්සාහ කළෙමු. නරුමයකු නොවී ප‍්‍රබුද්ධයකු වන්න!

Deepthi Kumara Gunarathne

ඔබේ අදහස කියන්න...