දළ වශයෙන් දශක දෙකක් පමණ ඉතිහාසයක් සහිත X ව්‍යාපාරය සම්බන්ධයෙන් ඇති වී ඇති බාහිර අර්ථකථන විශ්වයක් සතු එක් මූලික පොදු ලක්ෂණයක් ඇත. බහුතර පිළිගැනීමට අනුව, X දේශපාලන ව්‍යාපාරය න්‍යායිකව කෙතරම් උසස් වුවත් එහි විනය රාමුව ඉතාම දුර්වල ය. ඒ නිසා ම, X ව්‍යාපාරයේ දේශපාලන වැඩසටහනට හොඳ ප්‍රායෝගික සැලැස්මක් ද නැත. අටුවන් බහින ලද වාමාංශිකයන්ට අනුව X යනු, දේශපාලන  ව්‍යාපාරයක්වත් නොවේ. එය සංස්කෘතික උද්ඝෝෂකයන්ගේ කල්ලියකි. ලිබරල්වාදීන්ට අනුව ගතහොත් ඔවුන්ට X ව්‍යාපාරය ගැන ඇති පිළිකුල වන්නේ, දේශපාලනයට කිසිදු සම්බන්ධයක් නැති පුද්ගලයන්ගේ පුද්ගලික කරුණු අවුස්සන සහ ඒ හරහා අවංක මිනිසුන්ගේ චිත්ත ධෛර්යය ඇද වැටීම සම්බන්ධයෙනි. දැනට පවතින වෙළඳපොල ආර්ථිකයට හොඳින් තෙම්පරාදු වූ අයට අනුව, X ව්‍යාපාරය කිසිදු තීරණාත්මක දේශපාලන බලවේගයක් බවට පත්විය නො හැකි, බොළඳ, යථාර්ථවාදී නොවන ව්‍යාපාරයකි.

                    ලංකාවේ පවතින අති බහුතර දේශපාලන සංවිධාන පරිණත මට්ටමින් දේශපාලනය හසුරුවන මුත් න්‍යායික තලයට එන විට බොළඳ මට්ටමට ඇද වැටෙන ඒවා ය. ඔවුන් පශ්චාත්-න්‍යායවාදීන් ය. සංවිධානයට අලුතින් එකතු වන අයට උදව්වක් ලෙස; අප ව්‍යාපාරය විසින් භාවිතා කරන ‘විනය රාමුව’ සකස් වන ආකාරයත්, මෙතෙක් ලෝකයේ දේශපාලනය සඳහා අනෙක් අය යොදාගත් ‘පොදු රාමුවත්’ අතර වෙනස අපි දැන්  සාකච්ඡා කරමු.

                     සියලු දෙනා අතර විවාදයකින් තොරව ‘විනය’ ගැන තිබෙන පොදු එකගතාවය කුමක්ද?

                      සංවිධානවල විනය රාමු සකස් කරන න්‍යායාචාර්යවරුන්ගේ සාධාරණ න්‍යාය වන්නේ, ‘විනය’ යනු, බාහිර තැනකින් උත්පාද විය යුත්තක් බව යි. මින් අදහස් වන්නේ, සංවිධානයක සිටින පුද්ගලයෙකු එක්කෝ ලිඛිතව ඇති විනය මූලධර්ම මඟින් පාලනය විය යුතු ය, නැතහොත් නායකත්වයේ බාහිර නියෝගවලට අනුව විනයගත විය යුතු ය යන්න යි. මේ කෙසේ ගත්තත්, කෙනෙකු ශික්ෂණය විය යුත්තේ, බාහිර බලපෑමක් (External Force) හරහා ය. 

                      X දේශපාලනය ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් අලුත් ‘විනය පිටකය’ යනු, මෙම බාහිර විනයකරණ රෙජීමය විසංයෝජනය කිරීමයි. X  දේශපාලනයට අනුව පුද්ගලයෙකු විනයගත විය යුත්තේ, ස්වයංව ය. විනය ස්වයං-තීරණයකි. කෙනෙකු පාලනය විය යුත්තේ, ස්වයං විනයෙන් –Self-Discipline Selfdiscipline is the ability to control yourself and to make yourself work hard or behave in a particular way without needing anyone else to tell you what to do – මිස ‘පර-නීතියකින්’ නොවේ. මෙය, විනය කෙනෙකුට ඒත්තු ගැන්වීමත් නොවේ. අපේ දේශපාලනයට අනුව, ඔබව පාලනය කිරීමට බාහිරින් අනෙකෙකු අවශ්‍ය නැත. එය, ඔබ විසින්ම ඉෂ්ට කරගත යුතු හුදෙකලා අරගලයකි; විනය ස්වයං-පරාරෝපණයකි. විනය නිසා ඔබ හුදෙකලා විය යුතු නැත. ස්ව-පරාරෝපණය යම්කිසි මට්ටමකට ඖෂධයකි.

                        ලංකාවේ දේශපාලන කතිකාව ඇතුළත ‘බාහිර විනය’ යන්න අධිනිශ්චය වී ඇත්තේ, විශේෂයෙන් වාමාංශික සංවිධාන තුළ, ඒවා උන්මුල වශයෙන් ගරිල්ලා දේශපාලන ව්‍යාපාර නිසා ය. ගරිල්ලා ව්‍යාපාරවලට බාහිරින් නිපදවන විනය පිටකයක් අවශ්‍ය ය. ලෝකයේ පැවති බොහෝ කම්කරු දේශපාලන වලට ද බාහිර විනය යනුවෙන් දෙයක් අවශ්‍ය වී නැත. මන්ද ෆැක්ටේරිය තුළ ප්‍රාග්ධනය විසින් ඔවුන්ව හසුරවන නිසා ය. මේ සන්දර්භය තුළ ශ්‍රී ලංකාවේ සිදු වී ඇත්තේ, සිවිල් දේශපාලන ව්‍යාපාර ඕපපාතිකව ගරිල්ලා ව්‍යාපාර බවට පොළා පැන ඒවාට මිලිටරි විනයක් බාහිරින් ආදේශ වීමකි. මේ තත්වය ජාතික විමුක්ති ව්‍යාපාරවලට ද අදාළ ය.

                           නමුත් ‘X  ව්‍යාපාරය’ සිවිල් මිනිසුන් සමග කරන මතවාදී අරගලයකි. එයට යම් මොහොතක දී ‘සිවිල් යුද්ධයකට’ මිස මිලිටරි සටනකට මුහුණ දීමට සිදු නොවනු ඇත. (විශේෂ තත්වයක් බිහි නොවුණහොත්) බොල්ෂෙවික් ව්‍යාපාරය තුළ ලෙනින්ගේ අයෝමය විනය යනු, බාහිරින් පටවන පර-විනයක් නොව ස්වයං-විනයකි. ලෙනින්ට ‘ෆැනී කප්ලාන්’ නම් තරුණියක් (S R නියෝජිතවරියක්) වෙඩි තබන්නේ, මෙම බාහිර විනය රාමුව නොමැති නිසා ය. වෙඩි තුනක් තැබූ විට, කම්කරුවන් ඇතුළුව බොල්ෂෙවිකයන් ‘ලෙනින්ව’ අතහැර පළා යන අතර ඔහුව ප්‍රතිකාර සඳහා ගෙන යන්නේ, වෙනත් කණ්ඩායමකි. ලංකාවේ මෙවන් තත්වයක් විය නොහැක්කේ, ඔහු වැනි නායකයෙකුට සපයන අංගාරක්ෂකයන් ඉතා විශාල ගණනක් විය හැකි නිසා ය. අනෙක් පැත්තෙන්, විප්ලවයට පසුව ලෙනින්ගේ අංගාරක්ෂකයන් වූයේ, චීන ජාතිකයන් ය. එසේ වූයේ, බොල්ෂෙවික් සංවිධානය තුළ ලෙනින්ට තම සාමාජිකයන්ව ෂුවර් නැති නිසා ය.

Vladimir Lenin, the leader of the Russian Revolution loved big, fancy, expensive, foreign cars!

                     ‘X දේශපාලනය’ තුළ ද නායකත්වයට ගරු නොකිරීම, හාස්‍යයට ලක් කිරීම, නින්දා කිරීම් ඇති පදම් සිදු වී ඇත. එය එසේ වන්නේ, පක්ෂ සාමාජික-සාමාජිකාවන්ට බාහිරින් දරදඬු නීති නොදා ස්වයං-විනයකට යටත් වීමට ඉඩ දීම නිසා ය. මේ හේතුව නිසා, පක්ෂ සාමාජික-සාමාජිකාවන්ට තමන්ගේ සුපිරි-අහම (Super ego) සහ හෘද සාක්ෂිය අතර වෙනස සලකුණු කර ගැනීමට සිදු වෙයි. ඔබ දෙස කිසිවෙකු බලා නොසිටියත් ඔබ විනයගත විය යුතු ය. මෙය ස්වයං විනයකි. දීප්ති නම් මහ-අනෙකෙකු නිසා ඔබ විනයගත විය යුතු යැයි ඔබ සිතන මොහොතේ දී ඔබ යටත් වන්නේ, ඔබගේ ම සුපිරි-අහම නම් විනිශ්චයකරුවාට ය. එබැවින්, අපට චර්යා රටාවක් මිස ලිඛිත විනය පිටකයත් නොමැත. සාමූහික වැඩවල දී හැර අන් අවස්ථාවල ඔබ පාලනය විය යුත්තේ, ස්වයං නීතියකිනි. ඔබේ මෙම ස්වයං විනය ‘ආත්මීය’ එකක් මිස වාස්තවික නීතියක් නොවේ. මෙවැනි ස්වයං-විනයකට යටත් වීම, ජවිපෙ වැනි සංවිධානවල බාහිර නීතීන්ගෙන් පාලනය වීමට වඩා දුෂ්කර ය. එම දුෂ්කරතාවය කෙතෙක්ද යත්, අපගේ සංවිධානයෙන් ඉවත් වූ අය ජවිපෙ දේශපාලනය සමඟ යළි අනුරාගිකව බැඳෙන්නේ ද ‘බාහිර නීතිය’ අභ්‍යන්තර නීතියට වඩා සුවදායක නිසා ය.

                     විනය සම්බන්ධ මෙම බාහිර නීතිය හෝ රූපකය පරිසමාප්ත එකක් ලෙස සැලකීම කුමන දේශපාලනික ප්‍රවේශයකින් පැමිණි දෙයක් ද? කොන්සර්වේටිව් නැතහොත් සංරක්ෂණවාදීන්ගේ සහ ජාතිවාදී දේශපාලනයේත් මුඛ්‍ය ලක්ෂණය වන්නේ, මිනිසා ‘මිනිසෙක්’ (Human) බවට පරිවර්තනය වන්නේ ‘සමාජ පිළිගැනීම’ (Recognition) හරහා බව යි. ඔබට වඩාත්ම තෘප්තිදායක ජීවිතයක් ගත කිරීමේ දී වඩා වැදගත් වන්නේ, අනන්‍යතාවයක් නැතිව නිර්-අනන්‍යවීමක් තුළ ජීවත් වීම නොව කිසියම් සමාජ පිළිගැනීමක් සහිතව සහ අනන්‍යතාවයක් සහිතව ජීවත් වීමයි. ලංකාවේ සිංහලෙන් ලියැවෙන නවකතාවල බොහෝ කතා නායකයන් යනු, මේ අනන්‍යතාවය (Identity) පසුපස හඹා යන්නන් ය. උදා:- අටවක පුත්තු, දේශපාලන ක්ෂේත්‍රයේ දී විමල් වීරවංශ, චම්පික රණවක වැනි දේශපාලකයන් ද සොයන්නේ ‘සමාජ පිළිගැනීම යි’.

                       හේගල් විසින් චින්තනයේ සර්පිලාකාර වර්ධනය පහදමින්, එහි එක තැනක ඇති ගල් ගැස්සවීමක් ‘ස්වාමි-සේවක’ (Master-Slave) අනන්‍යකරණය ලෙසින් හඳුන්වයි. මෙය, 2004 වර්ෂයේ දී අප සංවිධානයේ එවකට බිහි වූ න්‍යායාචාර්යවරුන් කිහිපදෙනා කියවන ලද්දේ, පිළිගැනීමේ දෘෂ්ටිකෝණයෙනි. මම සහ සංවිධානයේ සාමාජික-සාමාජිකාවන් අතර ඇත්තේ, ‘ස්වාමි-සේවක’ සම්බන්ධයක් යැයි එක් සාමාජිකාවක් තරයේ අදහන ලදී. ඇත්තටම හෙගල් කීවේ, මෙහි අනෙක් පැත්ත නිවැරදි බවයි. හේගල්ට අනුව, ideal පිළිගැනීම යන්න සිදු විය නොහැක්කකි. පිළිගැනීම පිළිබඳ ගැටලුවේ දී වඩාත්ම අසාර්ථකත්වයකින් කෙළවර වන්නේ, ස්වාමි-සේවක සම්බන්ධය යි. බොහෝ වාමාංශිකයන් අල්පේච්ඡවාදීන් වී ඇත්තේ, අහම්බයකින් නොව ස්වාමි-සේවක සම්බන්ධයෙන් අසමත් වීමේ භීතියෙන් ගැලවීමට ය. ඒ නිසා වාම දේශපාලනය යනු, පිළිගැනීමක් අපේක්ෂාවෙන් කරන දේශපාලනයක් නොවේ. එය ඉල්ලා සිටින්නේ, ජාතිවාදීන් ය. වාම දේශපාලනය යනු, පිළිගැනීමක් විරහිතව සහ කොන්දේසි රහිතව වැඩ කිරීමකි. වාම දේශපාලනයේ දී, අපගේ පිළිගැනීම තහවුරු කරන මහා අනෙකෙක් නැත. වම්මුන් අතර wsws වෙබ් අඩවිය ජනප්‍රිය වී ඇත්තේ, නිෂ්ක්‍රීය අනෙකෙකු බාහිරින් අවශ්‍ය නිසා ය.

                  මමත් දන්නා හඳුනන එක්තරා වාමාංශිකයෙකු තම සංවාද තලය තුළ තමන් මහනුවර ‘ත්‍රිත්ව විද්‍යාලයට’ ගිය ශිෂ්‍යයෙකු බව හඟවයි. නමුත් ඊට පරස්පර ලෙස, ඔහු මුහුණු පොත තුළ පහළ පන්තියේ සාමාජික සාමාජිකාවන්ගෙන් පිළිගැනීම අපේක්ෂා කරයි. ත්‍රිත්ව විද්‍යාලයට ගිය ‘ලක්ෂ්මන් කදිරගාමර්’ වැනි පුද්ගලයෙකු පහළ පන්ති වලින් තමන්ට හිමි ගෞරවය අපේක්ෂා කරන්නේ නැත. සිග්මන් ෆ්‍රොයිඩ් මර්ධනය සහ පන්තිය අතර සබඳතාවය විදාරණය කිරීමේ දී, කෙනෙකුගේ පන්තිය ඉහළට යන්නට යන්නට මර්දනය මුවහත් වන බව හඟවන්නේ මේ නිසා ය. පහළ පන්තියේ සාමාජිකයෙකුට ආහාර ගැනීමෙන් පසුව නිදහසේ ඇඟිලිවල ඉඳුල් ලෙව කෑමට හැකි ය. නමුත් හැඳි, ගෑරුප්පු වලින් ආහාර ගන්නා ඉහළ පන්තියේ සාමාජිකයෙකුට ඉඳුල් ලෙව කෑමට නොහැකි ය.

                    ලිබරල්වාදය පැත්තෙන් ගත් විට, ‘සමාජ පිළිගැනීම’ නම් සාධකය වඩා සංකීර්ණ තත්ත්වයක් ආරෝපණය කර ගනියි. පොදුවේ ගත් විට, ලිබරල්වාදීන් ජාතිකවාදයට පරස්පරව සියලු දෙනා ඇතුලත් කර ගන්නා දේශපාලනයක් පිළිබඳ මතියක පැටලී සිටිති. ඔවුන් අවධාරණය කරන්නේ, ජාතිය හෝ පන්තිය වෙනුවට සංස්කෘතිය යි. බහු සංස්කෘතිකවාදය ඔවුන්ගේ මුඛ්‍ය සටන් පාඨය යි. නමුත් මෙම බහු සංස්කෘතිකවාදය තුළ සැඟවී ඇත්තේ ද අවසන් වශයෙන් නිහඬ වර්ගවාදයක් බව ඔවුහු නොදනිති. උදාහරණයක් වශයෙන්, පසුගිය වර්ෂයේ ජනාධිපතිවරණයට පෙර සමයක පාක්‍යසෝතිට සහ නිමල්කා ප්‍රනාන්දුට අවශ්‍ය වූයේ, ශිරන්ති රාජපක්ෂ විසින් නාමල් රාජපක්ෂගේ ප්‍රකාශකයෙකු ලෙස පුහුණු කරන දොලුවත්තගේ ‘මනස’ කියවීමට ය. කෙනෙක් ලිබරල් චින්තනය ඉදිරියේ හැසිරිය යුත්තේ, ‘ගොදුරක’ (Victim) මුහුණුවරකිනි. ලිබරල් මනසක් සොයන්නේ, සමාජයේ කුමන හෝ වර්ගයක අසාධාරණයකට ලක් වී, ගොදුරක් වී ඉන් අනතුරුව කියන කතාවක් හරහා දේශපාලනය කිරීමට ය. කෙනෙක්ට ‘තමාව’ ගොදුරක ස්ථානයේ පිහිට වූ විට, ඒ තැනැත්තා නූතන බල සබඳතාවල යථාර්ථවාදී ස්ථානයක ශේෂගත වෙයි. වාරියපොළ බස්නැවතුම තුළ දී පිරිමියෙකුට පහරදුන් තරුණිය Rights Now නම් මානව හිමිකම් සංවිධානයට හොඳ ආයෝජනයක් විය.[Feminist Investment] එවකට, එම ආයතනය තුළ වැඩ කළ මානව හිමිකම් හරහා හම්බ කළ එක්තරා ස්ත්‍රියක් ‘ඇයව’ බටහිර ව්‍යාපෘතියකට විකුණා Alto මෝටර් රථයකට අත්තිකාරම් මුදලක්  තැන්පත් කරන ලදී. එක පැත්තකින්, ගොදුරක් තමාගේ කතාව කියද්දි තව පැත්තකින් එම සංස්කෘතික අනන්‍යතාවය මුදල් බවට පරිවර්තනය කරනු ලැබේ. බහු සංස්කෘතික ඉවසීම යට ඇත්තේ, වර්ගවාදයේ (දුප්පතුන්ට ඇති පිළිකුල) සැඟවුණු ස්වරූපයකි; න්‍යාය පත්‍රයකි.

Jetwing Lagoon

                          උවිඳු කුරුකුලසූරිය වැනි හද්දා ගොඩයෙකු පාක්‍යසෝති සරවණමුත්තු වැනි ලිබරල් දේශපාලකයෙකු ගැන හිතන විට වරද්දා ගන්නා තැනක් ඇත. තරු පන්තියේ හෝටල් වලින් කුඩා කාලයේ සිට හැඳි ගෑරුප්පු වලින් ‘හතර ආකාරයක’ ආහාර පිළිගැන්වීම් වලින් සංග්‍රහ ලබා නැති (ආහාර ගැනීමෙන් පසු ඉඳුල් ලෙවින වර්ගය) උවිඳු වර්ගයේ ඊනියා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් සිතන්නේ, පාක්‍යසෝති යනු හෝටල්වලින් ගසා කන්නන් කියා ය. මේ කතාව සුනන්ද දේශප්‍රිය වර්ගය සඳහා අදාළ කරගත හැකි චෝදනාවකි. පාක්‍යසෝති යනු, ඊට වඩා සංකීර්ණ චර්යාවක් සහිත පුද්ගලයෙකි. දොළුවත්තගේ මනස කියවීම සඳහා පාක්‍යසෝති සහ නිමල්කා තෝරා ගන්නේ, මීගමුවේ Jetwing Lagoon නම් හෝටලයකි. මේ තෝරා ගැනීම ලංකාවේ පහළ පන්තිය පරික්ෂා කිරීමට කදිම ස්ථානයකි. පාකිට සහ නිමල්කාට අවශ්‍ය වූයේ, දොළුවත්ත හරහා රාජපක්ෂලාගේ මනස කියවීමට ය. ලිබරල්වාදය සතු ආවේණික දුර්වලතාවයක් වන්නේ, මිනිසුන්ව ‘පුස්තකාල’ ලෙස වැරදියට කියවීමයි. පහළ පන්තිවල ජනයා තරු පහේ හෝටල්වල දී නිශ්ශබ්ද වන්නේ, හැසිරීමට නොදන්නා නිසා ඇති වන බිය නිසා මිස අධිපති සංස්කෘතියට ඇති ඊනියා විරෝධයක් නිසා නොවේ.

‘Talented Mr. Ripley ‘චිත්‍රපටියේ ප්‍රධාන චරිතය වූ රිප්ලි මෙන් දොළුවත්තේ ද රාජපක්ෂවාදියෙකු වන්නේ, චින්තකයෙකු හෝ දේශපාලකයෙකු වීමට නොව ලෙහෙසියෙන් ඉහළ භෞතික සංස්කෘතියකට ඇතුල් වීමට ය. ඒ තුළ ‘සාරයන්’ ගවේෂණය කරන අයට අත් වන්නේ, චරිත හේරත්ට අත්වූ ඉරණම යි. විශ්වවිද්‍යාල ‘මහාචාර්ය’ පදවිය සංකේතීය උද්ධමනය ඉදිරියේ බාල්දු වී ඇති නිසා ‘චරිත හේරත්’ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වී ඇත. අනතුරුව, Cope සභාපති වී ඇත. චරිත්ගේ මේ ආශාව සමාජ පිළිගැනීම නම් මුලාව මිස ‘නිදහස’ පිළිබඳ වරණයක් නොවේ. ‘නොනිදහස’ නිදහසක් ලෙස ඔහු සිතයි.

                      දොළුවත්තගේගේ ගැටලුවට අප එන්නේ නම් ඔහුගේ ආශාවේ සැබෑව ඇත්තේ, හෝටල් කාමරය තුළ භෞතික භාණ්ඩ සමඟ කරන සෙල්ලම තුළ මිස සමුළු ශාලාවේ වචන තුළ නොවේ. ඔහුගේ ප්‍රහේලිකාව වන්නේ, Jetwing Lagoon මිස රාජපක්ෂවාදය නොවේ. වර්ගවාදය යනු, ඔහු රාජපක්ෂලාගේ ආවතේවකාරයෙකු යැයි සිතීමය. ලිබරල් චින්තනයට වරදින්නේ, මේ සැඟවුණු වර්ගවාදය අනෙකා මත පැටවීම නිසා ය.

                       ‘පිළිගැනීම’ යන සාධකය හේගල් පහදන්නේ, අසාර්ථකත්වයකින් කෙළවර වන වංකගිරියක් ලෙසිනි. පුද්ගලයෙකුට ‘අනෙකාව’ පරිපූර්ණ ලෙස වටහාගත නොහැක්කේ මේ අනෙකා ද ඔහුගේ/ ඇයගේ ආශාව කුමක්දැයි හරියටම නොදන්නා නිසා ය. ඊජිප්තුවාසීන්ගේ ‘රහස’ ඔවුන් ද නොදනී යන හේගලියානු ආප්තය මෙතැන දී තීරණාත්මක ය. ලිබරල්වාදියා අමාරුවේ වැටෙන්නේ, අනෙකාගේ ආශාව ඔහු හෝ ඇය දනී ය යන මුලාවේ පැටලීම නිසා ය. පරස්පර ලෙස දොළුවත්ත වැනි නව උපයෝගීතාවාදීන් – Neo-pragmatist- අනෙකාගේ ආශාවේ පැටලීමට යන්නේ නැත. ඔවුන් පැටලෙන්නේ, BMW, Volvo, කැවියා, Puma වැනි භෞතික භාණ්ඩ සමඟ මිස ‘අනෙකා’ සමඟ නොවේ. ලිබරල්වාදීයා අනෙකාගේ ආශාවේ සැබෑව (Real) වෙතට ගමන් නො කරන නිසා ජාතිකවාදියාගේ නිදහස ඇත්තේ, ඔහුගේ ආත්මමූලිකත්වය (Subjectivity) තුළ මිස ඔහුගේ සංකේතිය පිළිගැනීම හෝ අනන්‍යතාවය (Symbolic Identity) තුළ නොවන බව වටහා නො ගනියි. අප කලින් කී මානව හිමිකම් මැනේජර්වරියට අවශ්‍ය වන්නේ, නුගේගොඩට කිට්ටුවෙන් පර්චස් 6ක ඉඩමක් මිස වෙනත් කෙනෙකුගේ මානව හිමිකම් උල්ලංඝනය වීමක් පිළිබඳව ගැටලුවක් නොවේ. මේ තත්වය තවම යුරෝපයේ ආධාර දෙන සංවිධාන වටහාගෙන නැත.

                         ලෝක මට්ටමින් ගත් විට, ‘අනන්‍යතාවයට’ ඇති කෑදරකමට යටින් දිවෙන ගසාකෑමට එරෙහි විරෝධයන් දැන් පටන්ගෙන ඇත. ඇමරිකාවේ දී ‘ජෝර්ජ් ෆ්‍්ලොයිඩ්ගේ’ මරණයට එරෙහි උද්ඝෝෂණ තුළ දී හඬ නැගුණේ, අපිට ‘පොලිස්කාරයෙකු’ වීමට අවශ්‍ය නැත යන සටන් පාඨය යි. ලංකාව ද දිනෙක වෙනස් වනු ඇත්තේ, අපට රණවිරුවෙකු වීමට අවශ්‍ය නැහැ යන සටන් පාඨය ඉදිරියේ ය. සමාජය අපට දෙන ‘අනන්‍යතාවය’ නිදහසක් නොව නොනිදහසකි. ‘මම’ මේ සමාජයේ කිසිවෙකු නොවේ යන අදහස අපට එන විට එය විමුක්තියකි.

                         අපට දොළුවත්ත හෝ චරිත හේරත් වීමට අවශ්‍ය නැත යන සටන් පාඨය වැටහෙන විට, ඔවුන්ව හෝටල්වලට කැඳවීමට අවශ්‍ය නැත. ඔවුන්ගේ කතාවලට සවන් දීමේ අවශ්‍යතාවයක් ද නැත. හිට්ලර්ගේ කතාව ඇසීමට මිත්‍ර හමුදාවට අවශ්‍ය නොවූ පරිදිම ලිබරල් දෙබිඩිකම පරදා ජාතිවාදී ගොඩේ සිටින්නන් පුස්තකාල නොව පුස්සන් වටහා ගත යුතු ය. එය විමුක්තියේ ප්‍රථම පියවරයි.

                           අනෙක් පැත්තෙන්, කාල් ශ්මීට් කී දේශපාලන සතුරා පිළිබඳ ප්‍රවාදය ද අප විසංයෝජනය කළ යුතු ය. ඔහුට අනුව, දේශපාලනය තුළ දී සතුරෙකු නැති වූ විට දේශපාලනයට හිමි මානුෂික මාණය ඊට අහිමි වෙයි. සමාජ ප්‍රතිවිරෝධයන් හී සැබෑ මානය ඇත්තේ, අප තුළම මිස බාහිර යථාර්ථයේ නොවේ. දක්ෂිණාංශික දේශපාලනය තුළ ‘සතුරා’ හඳුනා ගන්නේ, බාහිරිනි. ඊට පරස්පරව, වාමාංශිකයන් තමන්ගේ සතුරාව වටහාගත යුත්තේ, තම පිළ තුළදීම ය. වම බෙදී යාම, ඇමීබාකරණය වීම, දීර්ඝ කාලීනව ඉතාම යහපත්ය. අපට බාහිරින් දෙමළ, මුස්ලිම්, කොමියුනිස්ට්, බාහිර සතුරන් නැත. සතුරන් ඉන්නේ, අප තුළම ගිලී ගොස් ය. ඔබ වෙන කෙනෙකුට එරෙහිව වෛරය ප්‍රකාශ කරන විට ඉන් අදහස් වන්නේ, ඔබ ඔබට කෙතරම් වෛර කරනවා ද යන්න ය. ඔබ බාහිරින් සිටින සතුරෙකු කෙතරම් පිළිකුල් කරනවා ද යන්න තීරණය වන්නේ, ඔබ කෙතරම් ඔබව පිළිකුල් කරන්නේ ද යන්න මත ය.

                           නමුත් අද අප ජීවත්වන යුගයේ දී වැඩ කරන පන්තිය අනන්‍ය වී ඇත්තේ, ඉහළ පන්තියේ හර පද්ධතිය සමඟ ය. මාකදුරේ මදුෂ් අනන්‍ය වී සිටියේ, කප්පාදුවට ලක් නොවූ මාස්ටර්වරයෙක් ලෙස මිස තමා ‘හිස්’ පුද්ගලයෙකු ලෙස සලකා නොවේ. විනෝදය පමණක් දන්නා ලෙස හැසිරුණු ඔහු තමන්ගේ අනන්‍යතාවය ලෙස පිළිගත්තේ, මාධ්‍ය මගින් ප්‍රක්ෂේපිත අනන්‍යතාවය යි.

                            මධූෂ් තමන් ආවේ ගාල්ලෙන් යන්න අමතක කර තමන් කොළඹ සහ ඩුබායි සංස්කෘතියේ නියෝජිතයෙක් යන තොප්පිය දමා ගත්තේය. ‘නිදහස’ කියන්නේ, ඔබ කොළඹ ආවම ඔබේ මුල් සහමුලින්ම ඉදිරී ගොස් නිර්ධනයෙක් වී ඇත යනුවෙන් වටහා ගැනීම මිස කොළඹින් දමන තොප්පි (පශ්චාත්-යටත්විජිතවාදියා, ලිබරල්වාදියා, ග්‍රාම්ස්චිවාදියා) තම අනන්‍යතාවය ලෙස බාරගෙන ‘මම දැන් මේ කරන වැඩ කොහොමද මගේ ගම වූ අම්පාරට සම්බන්ධ වෙන්නේ’ යැයි ඇසීම නොවේ. ගමනායක සහෝදරයා තමන්ගේ ගම කන්තලේ කීවා මිස බණ්ඩාරගම යයි කීවේ නැත. ඔහුට ඒ ගැන ලැජ්ජාවක් තිබුණේ ද නැත. වාමාංශික දේශපාලනය යනු, අනන්‍යතා දේශපාලනයක් නොවේ. අප ජීවිතයට හොඳ යැයි සිතන තැන ඇත්තේ, ‘බොරුවකි’. මාකදුරේ මදුෂ් වටහාගත යුතුව තිබුණේ, තමන් ‘මත්ද්‍රව්‍ය වෙළෙන්දෙකු’ වීම නිසා නිර්ධනයෙකුගේ හිස් බව  මිස තමන්ට මාධ්‍ය විසින් ඇල වූ අනන්‍යතාවය තමන්ට කදිමට ගැලපෙන්නක් ලෙසින් සලකා හැසිරීම නොවේ. එහි දී සිදු වන්නේ, මධූෂ් තම ආත්ම මූලිකත්වය අතහැර බාහිරින් ඇති සංකේත අනන්‍යතාවය මාරාන්තිකව බදා ගැනීමයි. මරණය ඔහු කරා එන්නේ එතැනිනි. Godfather  චිත්‍රපටයේ ආරම්භක දර්ශනය සිහි කරන්න! මිනිහෙක් තම දුක්ගැනවිල්ලක් හඬමින් ගෝඩ්ෆාදර්ට පාපොච්චාරණය කරයි. තමන්ට පිහිට වෙන්න යැයි කියයි. නමුත් එම ඉල්ලීම ගෝඩ්ෆාදර් විනීතව ප්‍රතික්ෂේප කරයි. අප සිතන පැත්තට ප්‍රතිවිරුද්ධව ගෝඩ්ෆාදර් ක්‍රියා කරයි. ඔහු පෙන්වන්නේ, තමන් කුලියට මිනීමරණ කෙනෙකු නොවන බවයි. බාහිර අනෙකාගේ ඉල්ලීමට ඔහු වශී නොවෙයි. ඔහු ගොදුරේ රෝග ලක්ෂණය වීම ප්‍රතික්ෂේප කරයි. Godfather චිත්‍රපටය ශ්‍රේෂ්ඨ චිත්‍රපටියක් වන්නේ ඒ නිසා ය. 

                      ‘රාජපක්ෂවාදය’ සම්බන්ධයෙන් පොදුවේ වාමාංශික සහ ලිබරල් යන අන්ත දෙකේම ඇත්තේ, එකම ගැටලුවකි. ඔවුන් නිවැරදි ප්‍රශ්න අසන්නේ නැත. රාජපක්ෂලාට මිනිසුන් කැමති වී ඇත්තේ, ඔවුන්ගේ අතිරික්තය හෝ විනෝදය නිසා ය. නමුත් ලිබරල්වාදීන් සහ වාමාංශිකයන් සිතන්නේ, මේ අතිරික්තයන් නැති කිරීම හෝ විවේචනය කිරීම (මුන් හොරු, මුන් ප්‍රජාතන්ත්‍රවාදීන් නොවේ, මුන් ඒකාධිපතියෝ) විසඳුම බවයි. නමුත් අවාසනාවකට මෙන්, සිංහල මිනිසුන් රාජපක්ෂලාට කැමති වී ඇත්තේ ද මේ ලක්ෂණ නිසාම ය. මිනිසුන් රාජපක්ෂලා ගැන හිතන්නේ, මධූෂ් ලංකාවේ ජනමාධ්‍ය ගැන සිතූ ආකාරයටම ය. ‘නරක වැඩ’ කිරීමෙන් අපට ගොඩ යන්න පුළුවන් යන මතය ජහමනයා තුළ තහවුරු වී ඇත. මිනිසුන් රාජපක්ෂලාට අනන්‍ය වී ඇත්තේ, ඔවුන් ජනයාට ‘වේදනාව’ (Pain) සපයන නිසා මිස (සිරකරුවන්ට වෙඩි තැබීම) අර්ථයක් සපයන නිසා නොවේ. රාජපක්ෂවාදය නම් දෘෂ්ටිවාදයේ ග්‍රහණය මිනිසුන් සුජාත කරන්නේ, මේ වේදනාවට ඇති බැඳීම නිසා මිස ඉන් ජනනය වන ජාතිකවාදී අර්ථය නිසා නොවේ. ඔවුන් සහ රාජපක්ෂලා සිටින්නේ, ජාතිකවාදය සමග යම් නරුමවාදී පරතරයක් තබාගෙන ය. මේ නරුමවාදී පරතරයට ලිබරල්වාදීන් සහ වාමවාදීන් සංවේදී නැත. (ෆොයර්බාක් තිසීස  මේ යුගයේ දී අලුත් ලෝකයක් සඳහා විගැලපෙන්නේ මිනිසුන් තම යථාර්ථය සමඟ නරුමවාදී පරතරයක් නඩත්තු කරන නිසා ය. මේ යුගයේ ෆොයර්බාක් තිසීස අර්ථකථනය කරන්නේ ද ‘නරුමයන්’ වීම අහම්බයක් නොවේ.)

2.

                         අප ජීවත් වන ධනවාදයේ අවසන් යුගයේ දී, පුත්තලම්-අනුරාධපුර පාරේ තනි මිනිසෙකු සිය ගණනක් හරක් ඉදිරියට දක්වන්නාක් මෙන් මිනිසුන් දැක්කිය නොහැකිය. එසේ දක්කන විට, ඔවුන් නරුම නිසා ඔවුන් යන්නේ අයාලයේ ය. 21 වැනි සියවසේ නූතනවාදී වාම ව්‍යාපාරයක් තමන්ගේ විනය රාමුව සකස්කර ගැනීමේ දී අදාළ කරගත හැකි සිද්ධාන්ත කිහිපයක් මා විසින් ඉහත කෙටියෙන් විකාශය කළෙමි.

                             විනය සඳහා මා යෝජනා කරන්නේ, දයලෙක්තික ප්‍රවේශයකි. කෙනෙකුට යහමඟ පෙන්වීම (අනන්‍යතා චින්තනය) සහ වාමවාදී දේශපාලනය අතර පැහැදිලි වෙනසක් ඇත. මා සමඟම වැඩ කළ අය මා හට කරන විවේචනයකින් අපි ගැටලුවට ප්‍රවේශ වෙමු. සමාජ ගැටලුවක් හැකිතාක් නිවැරදිව සූත්‍රගත කිරීමට අවශ්‍ය න්‍යායික ආධාරය මම සපයමි. එම න්‍යායික අදහස ක්‍රියාවට නැංවීම ඔබ සතු ය. මා න්‍යායිකව කියන දෙයට හොඳින් සවන් නොදී එය ඔබට අවශ්‍ය අයුරින් සංස්කරණය කළ විට, මම මුකුත් නොකියමි. ඒ ඔබේ හැටි ය. එතනදි, ඔබ පණ්ඩිතයෙකි. ඉන්පසු, ඔබ මගේ හොඳම විචාරකයෙකු වනවා මිස මා කිවූ න්‍යාය භාවිතාවක් බවට පරිවර්තනය කරන්නෙකු වන්නේ නැත. යම්කිසි න්‍යායක් විරුද්ධවාදියාට උපුටා ගැනීමට නොහැකි තරමට ‘එය’ විප්ලවවාදී යැයි ග්‍රාම්ස්චි කොතනක හෝ කියා ඇත. මා පිළිබඳ ප්‍රධාන චෝදනාව වන්නේ, මට මිනිසුන් නිවැරදිව ඉදිරියට දැක්කිය නොහැකි බවයි. මිනිසුන් හරක් නොවේ. මගේ විචාරකයා හරකෙක් නොවුණත් ඔහු පතන්නේ, හරක් දක්කන මිනිසෙකි. ඔබ සිතිය යුත්තේ, මාක්ස්වාදයේ උන්මුල ගැටලුව ඇත්තේ, චින්තනය තුළ මිස ට්‍රොට්ස්කිවාදීන් සිතන පරිදි වාස්තවිකත්වය තුළ ගිලී ගොස් නොවේ යන්න ය. පසුගිය දශකයක කාලය තුළ හරක් දක්කන ලද අයට සිදු වී ඇත්තේ කුමක්ද? ඔවුන් දක්කන ලද හරක් කොමියුනිස්ට්වාදය දෙසට නොගොස් අයාලයේ ඇවිද කලින් ඉවත් වූ පවුලට යළි ඇතුල් වී ඇත. හරක් ආපසු ගමන් කරන්නේ, හරක් පට්ටිය මිස දේශපාලනයට නොවේ. 

                        අනාගත කොමියුනිස්ට් භාවිතාවකට අප යොමු වන්නේ නම්, ට්‍රොට්ස්කිවාදීන්ට එරෙහිව ලෙනින්ව කියවිය යුතු ය. ලෙනින්ගේ මධ්‍යම කාරක සභාවේ පොලිස් නිලධාරියෙකු සිටියේ කොහොමද? ඔහු ඉන් කලබල වූවා ද? ලෙනින්ට වෙඩි තැබූ ‘Fanny කප්ලාන්’ ගැන අධ්‍යනය කරන්න යැයි පක්ෂ සහෝදරවරුන්ට ඔහු අණ කරද්දී, ඔවුන් කළේ ඇයගේ නම ‘ඩෝරා කප්ලාන්’ කර ඇය හිස්ටරිකයෙකු ලෙස හම ගසා මරා දැමීමයි. මේවා අත්වැරදීම් ය. මේ දේවල් මහා පරිමාණයෙන් මට ද සිදු වී ඇත. මනෝවිශ්ලේෂණය සමාජ විචාරයට අදාල කිරීමේ දී බරපතල වැරදීම් මට ද සිදුවිය. ගැටලුව වන්නේ, ලෙනින් මෙන් එම වැරදීම් වලින් මා පමණක් පාඩම් උගත්තේ කෙසේ ද කියා ය. එවිට, මට සිතෙන්නේ විප්ලවය යනු, ‘ලෙනින්’ මිස ලෙනින්වාදය නොවන බවයි. විප්ලවය සිදුවන්නේ, පුද්ගල අභ්‍යන්තරයෙහි ය. ඒ අර්ථයෙන් ගත් විට, බොල්ෂෙවික් විප්ලවය X දේශපාලනය තරම්ම බොළඳ ය. එය වැටි වැටී නැගිටින්නට උත්සාහ කරන දරුවෙකි. ඔබට අවශ්‍ය නම්, මාව ද කිරි බොන දරුවෙක් ලෙස සැලකීමට හැකි ය.

                          ‘ඉන්දි අකුරුගොඩ’ X  කණ්ඩායමට එකතු වූයේ, 2003 වැනි වර්ෂයක ය. මම ඇයව දැක්කේ, X  නිවසේ විශාල උද්‍යානය අතු ගාන්නියක් ලෙස ය. එවකට සිටි, X න්‍යායාචාර්යවරයෙක් ඇයට එය නොගැලපෙන බව පවසා ඊට වඩා වැදගත් රාජකාරියක් පවරන ලදී. 2004 සිද්ධියට පසු, ඇය X සංවිධානයෙන් ඉවත් විය. පසුව, ඇය දේශපාලන විද්‍යාඥවරියක් විය. ඇය X කියා දන්නේ කුමක්ද? ඇය මා කවුද හෝ X  කුමක්ද කියා නොදනී. ඇය දන්නේ, X කතිකාව ගැන ය. ඇයට X යනු, සිමියුලේම ක්‍රමයකි. මුල් පිටපත නැති වූ අනුපිටපතක් ඇය X ලෙස ගත්තා ය. X  යථාර්ථය වෙනුවට වේශ නිරූපණය වූ යථාර්ථයකට ඇය වශී විය. ඇය අනුරාගික වූයේ, දැනුම පිළිබඳ පුලන්නාගේ භූමිකාවට ද?

20 වැනි සියවස ආරම්භ වූයේ, පොටෙම්කින් නෞකාවේ -Battleship Potemkin – සන්නද්ධ ගැටුමෙනි. 20 වැනි සියවස අවසන් වූයේ, Titanic නැව අයිස් පරයක හැපී විනාශ වූ ප්‍රේම කතාවකිනි. ප්‍රේමයෙන් පරාජිතව රෝස් මෙන් අනන්‍යතා අර්බුදයක කරවටක් ඇය – ඉන්දි – ගිලී ගිය යුගයක, X කණ්ඩායමේ ‘මූලස්ථාන පාලකයා’ ඇයට උද්‍යානය අතුගාන්නට යැයි අණ කළේය. X කණ්ඩායම හරහා යාම නිසා රෝස් මෙන්ම ඉන්දි ද ඇමරිකන් ලෝකයට ගමන් කළා ය. ඒ අනුව, ඇයගේ ජීවිතය තුළ X යනු, වියැකී ගිය පරමාදර්ශයකි. ඇය X කියා හදුනා ගත්තේ කුමක්ද? X  යනු, ඇයට X ය. නමුත් X යනු, X ද  නොවේ. ඇය පවා අමතක කරන ලද්දේ, ඇගේ ප්‍රේම ක්ෂතිය යි. ඉන් ගැලවෙන්නට X අතහැර ඇය දේශපාලන විද්‍යාඥවරියක් වී ඇත. මධූෂ් සහ ඇය උපන්නේ, ගාල්ල දිස්ත්‍රික්කයේ ය. එක් අයෙක් වෙඩි කා මියගිය අතර අනෙකා අනන්‍යතා මිථ්‍යාවක පැටලී ඇත. වාමාංශිකයා  යනු , බාහිරින් විනයගත වන්නෙකු නොව අභ්‍යන්තරයෙන් තමන්ට සීමාවක් තමාම නිෂ්පාදනය කරගන්නා ය. එය, ස්වයං-පීඩාවකි. එය, අනෙකා වෙතට යොමු වූ පීඩාවක් නොවේ. අප වචනවලින් අනෙකාව ත්‍රස්ත කරවන්නේ, මේ උපායික වැඩසටහන නිසා ය. ඉන්දි! ඔබට ද සාරයක් නැත. ඔබ කරණම් ගැසුවේ, සාර  ගවේෂණයකට ය. අද ඔබ හිස් ය. මා ද හිස් ය. පතුළටම හිස් ය. එවැනි අය කොමියුනිස්ට් දේශපාලනයේ සැබෑ සාමාජිකයන් ය. 

DKG

++++++++++++++++++++++++++++++++++++++++++++

අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය.

ඔබේ අදහස කියන්න...