ජිජැක් පිළිබඳ දේශපාලන අධ්‍යනය 07

ජිජැක් පිළිබද විවිධ මතවාද පැතිර යමින් ඇති නිමේෂයක සැබෑ ලෙසම ජිජැක් යනු කවුද සහ ඔහුගේ දර්ශනය කුමක්ද යන්න පිළිබද මහේෂ් හපුගොඩ සමග කළ සාකච්ඡාවේ හත්වන කොටස අද අපි ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

ඔබ කලින් සදහන් කළා මගේ දෙවන ප්‍රශ්නයට අදාළ තවත් පිළිතුරක් තිබෙන බව?

ඔව්… අපි ඉහත සාකච්ඡා කළ හැම කරුණක් ම සම්බන්ධයෙන් ලක්නාහ්ව් මෙබඳු තර්කයක් ගේනවා. මේ තර්කය ඔබගේ දෙවන ප්‍රශ්නය වූණ ‘මේ මොහොතේ අපගේ කාර්ය භාරය කුමක් ද?’  යන්නට සම්බන්ධයි.

සැබෑ ලෙස ම මේ මොහොතේ පක්ෂයේ කාර්ය භාරය බවට පරිවර්තනය  වන්නේ මානවීයත්වය පරිනත කිරීම යි. වඩාත් පැහැදිලිව කියනවා නම් අප කළ යුත්තේ මිනිසා සංයුක්ත ආකාරයකින් පරිනත කිරීම යි. සත්‍යය වශයෙන් ම ලෙනින්ලා ට්‍රොට්ස්කිලා අදාළ අවස්ථාවේ මොනවද කළේ? ඔවුන් විප්ලවය කරන්න කලින් මිනිස්සුන්ට පංති විඥානය දෙන්න උත්සාහ කළා; දැනුම දෙන්න උත්සාහ කළා; කොහොමද දයලෙක්තිකය තේරුම් ගන්නෙ කියන කාරණය වටහා දුන්නා. ඔවුන්ට විශාල කාලයක් තිස්සේ ප්‍රමුඛ කාරණයක් බවට පත්වෙලා තිබුණෙ මේ කරුණු ජනතාවට අවබෝධ කර දීම යි. නමුත් වර්තමාන පක්ෂ මේ දේ කරනවද? මම මේ චෝදනාව ප්‍රධාන වශයෙන් ම ඉදිරිපත් කරන්නෙ ජනතා විමුක්ති පෙරමුණට; ඔවුන් ඇතුළු සියලු වාමාංහික පක්ෂවලට.

ඔවුන් මොනවද වර්තමානයේ කරමින් සිටින්නේ? පුරවැසියා: එහෙමත් නැත්නම් සාමාන්‍යය ජනයා යන කාරණය පසෙක තබමු. අවම වශයෙන් පක්ෂ සාමාජිකයන්ට හෝ; ආර්ථික විද්‍යාව පදනම් කරගත්, පංති විඥානය පදනම් කරගත් දේශපාලන විචාරයක් හරහා මේ මොහොත තේරුම් ගැනීමට සහ තේරුම් කිරීමට ඔවුන් නොයන්නේ ඇයි?  වත්මන් වාමාංශික දේශපාලන පක්ෂවලට ඉතිරි වී තිබෙන ප්‍රධාන ම ගැටලුව මෙය යි. පැරණි වාමාංශික ශබ්දකෝෂයේ වචන යළි සමාජ ගතකරන්න කියන දේ නොවෙයි මම මෙතනදි අදහස් කරන්නෙ. එය වෙනම ම සාකච්ඡා කළ යුතු දෙයක්. මේ කුමන කාරණය යටතේ වුනත් මා කලින් සඳහන් කළ ආකාරයේ අවබෝධයක් අවම වශයෙන් පක්ෂ සාමාජික සාමාජිකාවන්ට හෝ ලබා දිය යුතුයි. මගේ දැනුවත් භාවයට අනුව මෑත කාලයේ ඉහත කී කාරණාවලට යටත්ව දේශපාලනය කරපු එකම පුද්ගලයා දීප්ති කුමාර ගුණරත්න පමණයි. තමන්ගෙ ජීවිත කාලයේ වැඩි කාලයක් වැය කරමින් ඔහු හැකි තරම් උත්සාහ කළා මේ දැනුම ලබා දෙන්න. දැනුම කියද්දිත් ගැටලුවක් එනවා ඇකඩමික් දැනුම ද කියලා. නමුත් එහෙම නොවෙයි විශේෂයෙන් ම මේ මොහොතේ පවතින දෘෂ්ටිවාදයට එරෙහි මතවාදය රැගෙන එන්නෙ දීප්ති. මෙන්න මේ කාරණය නිසයි මම ඔබට කලින් සඳහන් කළේ පක්ෂ නායකයා විවේචනයට ලක් කරනවා නම් එය ඉතා පරිස්සමෙන් කළ යුතු බව.

පක්ෂ නායකයා සංකේතීයව විනාශ නොකළ යුතුයි කියන කාරණය අපි කළින් සාකච්ඡා කළා. එයට ම තවත් කරුණක් ඉදිරිපත් කළ යුතුයි. එනම්, අපි ඔහු නියෝජනය කිරිමට සූදානම් වන දේශපාලන සාරය විනාශ නොකළ යුතුයි යන්න. මෙතනදි ‘දීප්ති’ නමැති පුද්ගලයා ප්‍රමුඛ කරගන්න එපා. එය ඔහුටත් මටත් දෙනොට ම අදාළයි. මම මතු කරන්නේ ඔහු නියෝජනය කරන දේශපාලන සාරය අපි ආරක්ෂා කළ යුතු ය යන්න යි. අදාළ දේශපාලන සාරය ආරක්ෂා කිරීම මේ මොහොතේ අපිට පැවරී තිබෙන බරපතල සමාජයීය වගකීමක්. මේ සමාජ වගකීම් නැවත සලකා බැදුවොත්: දෘෂ්ටිවාදය විවේචනය කිරීම, මේ මොහොතේ පවතින ධනවාදය අර්ථකථනය කර ගැනීම සහ නරුම වාදය.

මොකක්ද? මේ නරුමවාදය කියන්නෙ?

මේ කාරණය වටහා ගැනීම සදහා ජිජැක් සෑහෙන කාලයක් වැය කරනවා. ඔහු ඒ සඳහා ඒ වන විට පැවති දාර්ශනික සහ මනෝ විශ්ලේෂණ ධාරා දෙකක් උපකාර කර ගන්නවා. එකක් ලුවී අල්තූෂර්. දෘෂ්ටි වාදය දේශපාලන කථිකාවක් ලෙස සමාජ ගත කරන්නේ ඔහු යි. අනෙක් පුද්ගලයා ලකාන්. මේ දෙදෙනාම දෘෂ්ටිවාදය අර්ථකථනය කරගැනීම සඳහා විශාල වෙහෙසක් දරනවා. ඒ මොහොතෙ ඔවුන්ට මෙබඳු දෙයක් හමු වෙනවා. මෙය ඉදිරිපත් කරන්නේ පැරණි යුගෝස්ලාවියාව සම්බන්ධයෙන්. ‘මිනිස්සු ඒ මොහොත වන විටත් යමක් නොදැන සිටියා නොවෙයි. යමක් හොඳට ම දැනගෙන හිටියා. නමුත් හිටියෙ නොදන්නවා වගේ.’ වෙනස මෙය යි. අපිට බලපාල තිබුණෙ සහ දැනට බලපාල තිබෙන්නෙත් මේ දෙය ම නොවෙයි ද? අපි හොඳටම දැනගෙන හිටියා සහ දන්නවා වෙන්නෙ මොනවද කියල. පවතින්නෙ ධනවාදය කියල අපි හොඳට ම දන්නවා; පවතින්නෙ සූරාකෑම කියල අපි හොඳට ම දන්නවා; පවතින්නේ අසමානත්වය කියල අපි හොඳට ම දන්නවා. දීප්ති ගෙ ප්‍රකාශය වගේ ම අපි මේ කිසිවක් නොදැන සිටින්න තරම් බබ්බු නෙවෙයිනෙ. මේ පවතින අශ්ලීල දේශපාලනය විශේෂයෙන් වටහා දිය යුතු තත්ත්වයක් නොවෙයි. අපි මේ දියබුං ගහන්නෙ ගෝලීය ධනේශ්වරය ඇතුළෙ කියල හොඳට ම දන්නවා. නමුත් ඒ කිසිවක් නොදන්නවා වගේ ඉන්නවා. නරුම වාදය යනුවෙන් ජිජැක් හැඳින්වූයේ මෙය යි. ජිජැක් මෙය පැහැදිලි කරන්නෙ ‘‘They know not what they do’’ (කියලා. ඔවුන් කරන දෙය ඔවුන් නොදන්වා නොවෙයි. ඔවුන් දන්නවා. නමුත් එය කරමින් සිටිනවා.) අපිට මේ මොහොතේ තිබෙන ප්‍රධාන අභියෝගය වෙන්නේ දෘෂ්ටිවාදය විවේචනය කරමින් ම මේ නරුම භාවය විචාරය කිරීම සහ ඒ හරහා මිනිසුන් දැනුවත් කිරීම.

ජිජැක් Pre programme නමින් යම් සංකල්පයක් ඉදිරිපත් කරනවා. මේ සංකල්පය කුමක් ද?

ඔව්… අපි මෙතෙක් කළ සාකච්ඡාවේ ම තවත් දිගුවක්. ඒ වගේ ම පක්ෂයක් ලෙස ගත් විට වටහා ගත යුතු ප්‍රධාන කාරණයක්. මම විශ්වාස කරනවා ජනතා විමුක්ති පෙරමුණ නම් මෙය වටහා නොගනීවි කියලා. ජිජැක් එය මේ විදියට පැහැදිලි කරනවා. මේ ධනේශ්වර මොහොතෙ මිනිස්සු ජිවත් වෙන්නෙ කලින් සැලසුම් කළ (Pre programme) ආකාරයකට. ඒක තවත් පැහැදිලි කරනවා නම් කාටුන් වැඩසටහන් සහ විකට වැඩසටහන්වලදි අපි වෙනුවෙන් වෙනත් පිරිසක් හිනා වෙනවා හා සමානයි. පසුගිය වකවානුවේ මිනිස්සු වෙනස් වුණ ආකාරය දෙස ආපසු හැරිල බැලුවම මෙය හොඳට ම ඔප්පු වෙනවා.

මහින්ද රාජපක්ෂගෙ කාලෙ ඔහු සමග හිටපු සමහරු ජනාධිපතිවරණය අවසන් වෙලා පැය 48ක් ගෙවෙන්නට කලින් අනෙක් පාර්ශවය සමග සහසම්බන්ධ වෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් ඔවුන් ඉස්සර ප්‍රදර්ශනය කරමින් ගියේ මහින්ද රාජපක්ෂ කුරහන් සාටකය දාගෙන ඉන්න ‘සුබ අනාගතයක්’ සහිත පෝස්ටර්, ස්ටිකර් ආදිය. ත්‍රී වීල්වල විශේෂ යි. ජනාධිපතිවරණය ඉවර වෙලා පැය 48ක් යන්නට මත්තෙන් මිනිස්සු ඒ වෙනුවට මොනවද ප්‍රදර්ශනය කළේ? මොනවද තමන්ගෙ ත්‍රී වීල්වල අලවගෙන ගියේ? ඔවුන් අලවගෙන ගියේ සහ ප්‍රදර්ශනය කළේ ‘මෛත්‍රී පාලනයක්’ යනුවෙන් සටහන් කරපු ස්ටිකර්; පෝස්ටර්. එය පුදුම හිතෙන සුලු යි. මේක පාලකයොත් දන්නවා. ජනතාවත් දන්නවා. මේ විදියට කලින් සැලසුම් කළ (Pre programme) චර්යාව දැන් පවතින දේශපාලන නිමේශයක්. යම් විප්ලවවාදි පක්ෂයක් විසින් මේ තත්ත්වයත් තේරුම් ගත යුතුව තිබෙනවා.

අපි බලමු මේ තත්ත්වය ජනතා විමුක්ති පෙරමුණ වටහාගෙන තිබෙනවද කියලා. ඇත්තට ම ජනතා විමුක්ති පෙරමුණට වෙන්නෙ විසුළු සහගත වැඩ. ජනතා විමුක්ති පෙරමුණේ කතා අහන්න මිනිස්සු එනවා. මේකත් අර කලින් සැලසුම් කළ විදියට Pre programme. ජනතාව දන්නවා දේශපාලනයේ සැඟවී පවතින අශ්ලී තත්ත්ව දැනගන්න නම් යන්න වුවමනා ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීම්වලට බව. එහෙමනම් එය කුමක් ද? පැහැදිලිව ම එය ප්‍රහසනයක්. ජනතා විමුක්ති පෙරමුණ මේ වන විට ඔබේ ආශාව බවට පත්වෙලා ඉවරයි. ධනවාදයේ තිබෙන දූෂණය, භීෂණය, ප්‍රචණ්ඩත්වය, හොරකම යනාදි සියල්ල සිදු වුණේ කොහොමද? සිදුවෙන්නෙ කොහොමද කියන කාරණය හරි ලස්සන වචනවලින් කියල දෙන්න ජනතා විමුක්ති පෙරමුණ සමත්. මෙන්න මේ Pre programme එක තේරුම් ගන්න මිනිස්සු ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීම්වලට සහභාගි වෙනවා. රනිල් වික්‍රමසිංහ කියන කතා අහන්න ඒ විදියට සෙනඟ යන්නෙ නැහැ. මේ හැම කාරණයකින් ම අපිට වටහා ගන්න පුළුවන් ප්‍රධානම කාරණය කුමක් ද? ඒතමයි ජනතා විමුක්ති පෙරමුණ ධනේශ්වරයට කෙතරම් ගැළපෙනව ද කියන කාරණය.

|මතු සම්බන්ධයි
සාකච්ඡා සටහන – ජයසිරි අලවත්ත

සත්හඬ ලිපිය මෙතනින් බලන්න

ජිජැක් පිළිබඳ දේශපාලන අධ්‍යනය 01 මෙතනින් කියවන්න

ජිජැක් පිළිබඳ දේශපාලන අධ්‍යනය 02  මෙතනින් කියවන්න

ජිජැක් පිළිබඳ දේශපාලන අධ්‍යනය 03 මෙතනින් කියවන්න

ජිජැක් පිළිබඳ දේශපාලන අධ්‍යනය 04 මෙතනින් කියවන්න

ජිජැක් පිළිබඳ දේශපාලන අධ්‍යනය 05 මෙතනින් කියවන්න

ජිජැක් පිළිබඳ දේශපාලන අධ්‍යනය 06 මෙතනින් කියවන්න

 

 

ඔබේ අදහස කියන්න...