දැන් කෙනෙකු නැගිය යුතු ප‍්‍රශ්නය නම් අවිඥානය යනු කුමක්ද? යන්නයි. අපගේ මේ කතා බහ අවුලූවා ලූ චූල පඬිවරයා බඳු කෙනෙකුගෙන් මේ ප‍්‍රශ්නය නැගුවහොත් ඔබට කුමන විදියේ පිළිතුරක් ලැබෙනු ඇත්ද? කිසි විටෙක මුල් කෘති ගවේෂණය නොකර දැනුම ආරංචි මාත‍්‍රයෙන් ලබා ගන්නවුන්  මුහුණ දෙන ගැටලූව එවිට ඔබට සම්මුඛ වනු ඇත. බොහෝ විට දැනුම ලබා ගැනීම සඳහා ඔවුන්ට ඇති බාධාව අනෙකක් නොව එක්කෝ  ශාස්ත‍්‍රීය ශික්ෂණය නොමැතිකමය. නැතහොත් එය භාෂා ගැටලූවකි.

ඔවුන් අවිඥානය ලෙස හඳුන්වන්නේ කාගෙන් හෝ අසන්නට ලැබුණ කිසිවකට මිස ඒ පිළිබඳ අධ්‍යයනයකින් ලබා ගත් දැනුමකින් නොවේ. ඒ අනුව ඔවුනට අවිඥානය යනු මේ යයි ඔවුන් විශ්වාස කරන ප‍්‍රපංචයක් මිස ඒ පිළිබඳ දැනුම් ඉතිහාසය විසින් ගොඩන නගන ලද කිසිවක් නොවේ. එහි ප‍්‍රතිඵලය ලෙස අමරසේකරගේ අවිඥානය සහ සවිඥානය එකක්මය වැනි තකතීරු සොයා ගැනීම් පහළ වීම නොවැළැක්විය හැකිය.

lacan-object-a

අවිඥානය (Unconsciousness) පිළිබඳ පැහැදිලි වැටහීමක් කෙනකුට ලබා දෙන විදිහේ සොයා ගැනීමක්. ස්ලැවෝජ් ජිජැක්ගේ Less than Nothing වියමනෙහි 484 වන පිටුවෙහි කියවිය හැකිය. ඩොනල්ඞ් රම්ස්ෆෙල් (Donald Rumsfeld)  ඇමෙරිකාවේ ආරක්ෂක ලේකම්ව සිටිය දී (ඔහු දෙවරක් එම තනතුර දරා ඇත) පැවසූ අදහසක් විස්තෘත කරමින් ජිජැක් අවිඥානය යනු කුමක්දැයි  පැහැදිලි කරයි. පෙන්ටගනයට අදාළ මාධ්‍ය සාකච්ඡුාවක දී මාධ්‍යවේදියකු නැගූ ප‍්‍රශ්නයක් වූයේ  ඉරාක ආණ්ඩුව ත‍්‍රස්තවාදීන්ට මහා පරිමාණයේ විනාශකාරී අවි සැපයූ බවට සාක්කි නැහැ නොවේද? යන්නයි. එවිට රම්ෆෙල් දේවල් පිළිබඳ අපගේ දැනුම තුන් ආකාර බව ප‍්‍රකාශ කළේය. එනම්

  1. Known Knowns (අප දන්නා බව දන්නා දේ)
  2. Known Unknowns (අප දන්නා බව නොදන්නා දේ)
  3. Unknown Unknowns (අප නොදන්නා බව නොදන්නා දේ) යනුවෙනි.

මෙහි අප නොදන්නා බව නොදන්නා දේ යනු යම් දේවල් පිළිබඳ අපට දැනුමක් නොමැති  බව අප නොදන්නා බවය. රම්ස්ෆෙල්ට අනුව අප චූල පඬිවරයා ඇතුළු බොහෝ අය සිටින්නේ එතැනය. අවිඥානය යනු කිමෙකැයි ඔවුහු නොදනිති. එසේම තමන් එය නොදන්නා බව ද නොදනිති.

එහෙත් අපට මෙහි අවධාරණය කිරීමට අවශ්‍ය එය නොවේ. ජිජැක් පවසන්නේ මේ තුන් ඈදුතු දැනුම් කාණ්ඩයට හතර වන එකක් එකතු කිරීමට රම්ස්ෆෙල් අසමත් වී ඇති බවය. එනම්.

Unknown Knowns (අප දන්නා බව නොදන්නා දේ)

අවිඥානය ලෙස ජිජැක් හඳුන්වා දෙන්නේ එයයි. එනම් දැනුම පිළිබඳ දැනුමටම දැනුමක් නැතිකමය. අමරසේකර මහතා සිටින්නේ එතැනය. කියනු මැන දිවි අරුත කෙටිකතා පොත ඇසුරින් මතු කර ගැනීමට මා ප‍්‍රයත්න දැරුවේ අමරසේකර ද නොදන්නා ඔහුගේ අවිඥානික දැනුමයි. (Unconscious Knowledge) මෙහි දී අවධාරණය කළ යුතු දේ නම් අමරසේකර බොහෝ අය සිතනවාට වඩා වෙනස් ආකාරයේ චින්තකයකු බවය. ඇත්ත නම් අමරසේකර රොලන්ඞ් බාත් ගැන සඳහන් කරන්නේ බාත් පිළිබඳ අප හදාරන්නටත් පෙර අවස්ථාවකය. අමරසේකරගේ පේ‍්‍රමයේ සත්‍ය කතාව හි එන ප‍්‍රකාශය අප මේ කතා කරමින් සිටින දෙයට ද අදාළ බැවින් එය පහත උපුටා දක්වමි.

”සාහිත්‍යකරුවන් අතින් සිදු වන ‘ලේඛන කාර්යය’ කිසියම් ඓතිහාසික සමාජ සත්තාවක නියෝජනය අනුව සිදු වන කාර්යයක් වශයෙන් රොලන්ඞ් බාත් ආදී නූතන විචාරකයන් අඳුන්වාදී ඇති බව මම ළඟදී කියවූයෙමි. මෙහි ප‍්‍රතිවිරුද්ධ සංකල්පය ද ලේඛන කාර්යය තුළ අන්තර්ගත වී නැතැයි අපට කිවහැකිද? කිසියම් නොපවතින බොරු ඓතිහාසික සමාජ සත්තාවක් අප මනස තුළ මවා පෑම සඳහා ‘ලේඛන කාර්යය’ උපයෝගී කර ගත නොහැකිද?”

-ගුණදාස අමරසේකර – පේ‍්‍රමයේ සත්‍ය කතාව

අපට මෙහි දී පෙනී යන්නේ ඔහුගේ ජාතිවාදී ස්ථාවරයන් කෙසේ වෙතත් අමරසේකර වූ කලී සමකාලීන සමාජය ඉතා තියුණු ලෙස කියවන්නකු බවය.  ඇත්ත වශයෙන්ම පිළිතුරක් නොදී අමරසේකර නගන සිනාවේ ඉලක්කය වන්නේ ඒ මොහොතේ ඔහුගෙන් ප‍්‍රශ්න අසමින් සිටි තැනැත්තා පමණක් නොවේ. ඔහුගේ සිනාව විමල් වීරවංශ වැන්නන් පවා විනිවිදව යන හී තලයක් බඳුය.

la-synthome

අප දන්නා බව නොදැනීම (Unknown Known) යන ප‍්‍රවාදය ජිජැක් විල්බැරෝව පිළිබඳ පැරැුණි විහිළුවක් මඟින් විවරණය කරයි. එක්තරා කම්කරුවකු තම කම්හලින් යමක් සොරා ගෙන යන බව කම්හල් හිමියා දැන සිටියේය. එහෙත් ඔහු පිටත්ව යන විට දොරටුවේ දී ඔහුගේ විල්බැරෝව පරීක්ෂා කළත් කිසිවක් සොයා ගත නොහැකි විය. පසුව එළිදරව් වූයේ කම්කරුවා සොරා ගන්නේ අන් කිසිවක් නොව විල්බැරෝම බවය. ෆ්‍රොයිඞ්ට අනුව කම්කරුවා ආරක්ෂකයන්ගේ ඇස් පනා පිටම විල්බැරෝවක් සොරාගෙන යන පරිදි සවිඥානයේ (Conscious) මුරකාවල් යටතේ අවිඥානය කි‍්‍රයාත්මක වන්නේ එය විෂයයාට නැතහොත් ආත්මයට (Subject)  නොදැනෙන පරිදිය. ෆ්‍රොයිඞ් විස්තර කරන පරිදි එය ක‍්‍රියාකාරී වන්නේ

තමාගේම කොන්දේසි අනුව රෝග ලක්ෂණ මඟින් ( Symptomally )  කට වැරදීම් මඟින්, අවුල් සහගත කි‍්‍රයාවන් මඟින්, සිහින මඟින් ආදි වශයෙනි.

ජිජැක් ඉහත කී කරුණ පැහැදිලි කරමින්

”ආත්මය (Subject) තමාගේම නිවහනේ ස්වාමියා නොවේ” යයි පවසයි. එහෙත් අවිඥානය කරන්නේ ආත්මයේ නිවස අවුල් කර දැමීමය. එය නිරූපණය වන්නේ රෝග (හිස්ටරික සහ ග‍්‍රස්තික නියුරෝසියානු ආදී) මඟින් සහ එදිනෙදා ජීවිතයේ කි‍්‍රයා තුළිනි.

අවිඥානය පිළිබඳ මෙකී ප‍්‍රවාද ඒඩි‍්‍රයන් ජොන්සන් තමාගේ ආචාර්ය උපාධිය සඳහා ලියූ Time Driven Meta – Psychology and the Splitting of the Drive නමැති වියමනේ ලා මනාව පැහැදිලි කරයි. ජොන්සන්ට අනුව ආත්මය  මනෝ විශ්ලේෂණීය විකේන්ද්‍රණයට බඳුන් වීම සිදු වන්නේ සුවිශේෂ ආකාරයකිනි. වර්තමාන සවිඥානික ක්ෂේත‍්‍රය වූ කලී අවිඥානක අතීතය මඟින් අධි නිශ්චය වන්නකි. ඒ අනුව ඩෙරිඩා පසු කලෙක විද්‍යමානයේ පාර භෞතිකය Metaphysics) වෙත කළ පහරදීමක් ලෙස හඳුනාගත් දේ සමඟ ෆ්‍රොයිඞ් ගනුදෙනු කරයි.

අවරෝධිතයේ යළි පැමිණීම (Return Of the Repressed) මඟින් මනාව නිරූපණය වන්නේ අතීතය විසින් වර්තමානය ආක‍්‍රමණය කරනු ලැබීමය. ඒ අනුව අවිඥානය පිළිබඳ ෆ්‍රොයිඞ්ගේ සොයා ගැනීම කාලයට ආත්මයාගේ ඇති සබඳතාව යළි සංකල්ප ගත කිරීමකි. ලැකාන් මේ මානසික සබඳතා පැහැදිලි කිරීමේ දී අවධාරණය කළේ

”අවිඥානය භාෂාවක්  මෙන් ගොඩනැගී ඇති” බවය. The unconscious is Structured like Language) ලැකාන්ට අනුව අවිඥානය එහි වියරණයට සහ තර්කණයට කීකරුය. ඒ අනුව අවිඥානය සිතයි, කතා කරයි. මේ නිසා ලැකානියානු අවිඥානයේ ව්‍යාකරණමය ව්‍යුහය (Grammatical Structure)

විෂයයාගේ නැතහොත් ආත්මයේ කතා බහ සහ හැසිරීම් අවිඥානික උදීරණයන් (Articulations)  තුළින් සොයා ගත හැකි වන්නේ ආත්මය දිගටම මෙකී උදීරණයන් ගැන හාංකවිසියක් නොදැනමය.

 

යට කී න්‍යායික පිළිවිසීම් සාරාංශ කොට දක්වන්නේ නම් අවිඥානය යනු දැනුමේ සීමාවකි. අපව මෙහෙය වන්නේ බාහිර බලවේගයකින් නොව අපේම අවිඥානය විසින් බව අපට ඉන් පසක් වේ. අප බොහෝ විට සිතන්නේ අපට සම්පූර්ණව නැගී සිටීමට නොහැකි වී ඇත්තේ බාහිර බාධා නිසා බවය. එහෙත් අවිඥානය පිළිබඳ වැටහීමක් තුළ පැහැදිලි විය යුත්තේ බාධාව නිර්මාණය කරන්නේ අප විසින්ම බවය.

ස්වයං විවේචනාත්මකව කෙනෙකුට තමා තුළටම එබී බැලිය හැකි නම් අවිඥානයෙන් ගැලවිය නොහැකි බව වටහා ගත හැකි විය යුතුය. සැබැවින්ම සමකාලීන සමාජ ජීවියා මෙහෙය වන්නේ  අවිඥානික ආශාව (Unconscious Desire) විසින් නොව හඹායාම් (Drives) මඟිනි. එබැවින් පසුගිය කාලයේ මා විඳි අපහාසවලට වග කිව යුත්තේ මම් ම මිස අන් කෙනෙකු නොවේ කෙටියෙන් කිවහොත් ඉන් පළ වූයේ අපහාස විඳීමෙන් විනෝදය (jouissance) ලැබීමට මා තුළ වූ අවිඥානික ආශාවය.

after-war

අමරසේකර ඔහුගේ කෙටිකතා සංග‍්‍රහය තුළ තමා අවිඥානිකව ජාතිවාදී දේශපාලනය ප‍්‍රතික්ෂේප කරන්නෙකැයි යන නිගමනයට මා එළඹියේ යට කී මනෝවිශ්ලේෂණීය ප‍්‍රවාද අනුව යමින් බව මේ අනුව කවරකුට වුව පැහැදිලි විය යුතුය. මගේ එම කියවීමේ නිවැරැුදි බව අමරසේකරම තම සම්මුඛ සාකච්ඡුාවේදී මෙසේ තහවුරු කර තිබිණි.

”ඔව්. විචාරකයාට නවකතාවේත්, නවකතාකරුවාගේත් සම්පූර්ණ භාව ලෝකය, අරමුණු විග‍්‍රහ කළ හැකියි. උදාහරණයකට අපි ලෙනින් උසස් විචාරකයෙක් කියලා දකින්නේ නැති වුණත් ඔහු රුසියානු විප්ලවයේ කැඩපත තෝල්ස්තෝයි බව දුටුවා. මං හිතන්නේ නෑ තෝල්ස්තෝයි නවකතා ලියද්දී ඔහු විප්ලවය අරමුණු කරලා ලිව්වා කියලා. ඒත් තෝල්ස්තෝයිගෙ කෘති තුළින් ලෙනින්ට තෝල්ස්තෝයි කළ සමාජ දේශපාලන බලපෑම දකින්න පුළුවන් වුණා.”

– රිවිර 2016 ඔක්තෝබර් 18

අමරසේකර ඒ පැහැදිලි කරන්නේ විචාරකයකු තම ලිවීම තුළ වියමන නැවත ලියනවාය යන්නෙහි අර්ථයයි. බොහෝ විට එම නැවත ලිවීම තුළ විචාරකයා කියවන්නේ ලේඛකයාගේ අවිඥානය තමයි. දැන් ඉතින් මෙය තවදුරටත් ලිවීම අවශ්‍ය වේ යැයි මම කල්පනා නොකරමි.

සමන් වික‍්‍රමාරච්චි

 

 

 

 

 

 

 

ඔබේ අදහස කියන්න...

3 COMMENTS

  1. හොඳ ලිපියක්. අමරසේකර මහතා සහ ඔහුගේ ග්‍රන්ථ ගැන මටත් තිබෙන්නේ එවැනි හබ්ගිමක්. අමරසේකර ඒ කාලයේදී කොමියුනිස්ට් පක්ෂය වැනි වාමාංශික පක්ෂවල බංකලොත් භාවය මෙන්ම ඒ දවස් වල මොස්කව් වලට හොරනෑ පිඹී අය ගැන උපහාසයෙන් කථා කළ අයෙක්. (නිවැරදිව) ඒ නිසාම පසු කලෙක සිංහල ජාතිකවාදය දෙසට යොමු වුණා.

  2. the subconscious is not something irrational or instinctive (according to fraud) but rather rational logic of the subjectivity, in this sense amaraseka is anti rasist in his unconscious but also Mahinda Rajapaksha fact often Weerawansa, everyone is rasist in those appearence thus not to be encounterd own trauma, but in the subconscious they are not rasist but rather are much more rational at logic of capitalism. therefore in ordet to function the art, culture, political,global market need this obscenity suppliment,it means “දෙමලා”

Comments are closed.