21 වැනි සියවසේ ජීවත් වන පරිභෝජනය ආගමක් කරගත් සිංහල මැද පන්තික ස්වර්ණා මල්ලවාරච්චි නම් සංස්කෘතික පාරිභෝගික භාණ්ඩය ගැන උපයෝගීතාවාදයක් තිබේද ? UNILEVER වැනි නූතන බහුජාතික සමාගමක Facebook ලෝලියෙක් සහ පස්චාත්-නූතන සකර්බර්ගියානු මාර්කටින් මැනේජර්වරයෙකු Brand Name එකක් ලෙස ස්වර්ණාව මේ මොහොතේ වටහා ගන්නවාද? නැත. නමුත් යුනිලීවර් සමාගමේ කොළඹ කාර්යාලයේ වැඩ කරන පශ්චාත්-නූතන වෙළඳ දැන්වීමක් බවට පරිවර්තනය වූ මිරැන්ඩා කෙනෙකු නිසා වසඟයට පත් වූ පිරිමින් සමකාලීන නැතිද?

Last 1
සිංහල සංස්කෘතියට ආවේණික නිල කලා කෘති මල්ලක් තුළ ඇත්තේ අම්මා මෙන් පිරිමින් රැක බලාගන්නා ගැහැණුන්ය. මෙහි පච්ච ලකුණ වන්නේ මාලනී ෆොන්සේකාය. ආදරය සහ රාගය ඉදිරිපිටදී පූර්ණ විකසිත ලෙස කඩා වැටී එම සංස්කෘතික වතාවත්වල රසය උකහාගන්නට යාමේදී මව වැනි ස්ත්‍රීන් අපට කිසිවක් උගන්වන්නේ නැත. අම්මාට ආදේශ කළ හැකි ස්ත්‍රීන් විසින් පිරිමින් තම වැඩිහිටි දිවිය පුරාම සොයන බවට විවාදයක් නැත. පිරිමින්ට සංස්කෘතිය තුළින් අවශ්‍ය කරන්නේ රැකවරණය පමණක්ද? නැත. පිරිමියෙකුට තම ශිෂ්ටාචාර භූමිය තුළ හමුවන නිස්සාරත්වයෙන් සහ ගතානුගතිකත්වයෙන් ඉරී වෙන්වීමට මවට සපුරා වෙනස්, පිරිමින්ගේ සමාජ තත්ත්වය පුපුරා දමන රැඩිකල් දෛව ස්ත්‍රියක් අවශ්‍යය. සිංහල සිනමා ඉතිහාසය තුළ ඉතා දුර්ලභ වස්තුව වන්නේ මෙම දෛව ස්ත්‍රියයි.
දඩයම (1984), හංස විලක් (1980), සිංහබාහු, සාගර ජලය (1988), සුද්දිලාගේ කතාව (1984) වැනි චිත්‍රපටවල භූමිකා හරහා අප ඉදිරියට එන ස්වර්ණාගේ චිත්‍රපට රූපය අපගේ මනසේ රැව් දෙන අම්මාගේ පරිකල්පන රූපය බිඳ දමයි. මගේ අදහසට අනුව පිරිමියෙකු ආදරය සහ රාගය ඉදිරිපිට ඇද වැටිය යුතුය. බටහිර සමාජයේ ඇති Fallen in love යන්නෙන් අදහස් වන්නේ ආදරය ඉදිරිපිට  බඩගෑම ( නැවත උරග වංශය කරා යෑම ) ලැජ්ජාවට කරුණක් නොවන බවය. ස්වර්ණා නම් නිළිය සංස්කෘතික තෝටමයක් වන්නේ මෙම ලක්ෂයේදීය. ඇගේ දෑස්, ඇගේ කොක් හඬ තලන සිනහව, වක්‍ර වූ පාද, ගැස්මක් සහිත ගමන, විටින් විට මුහුණ වැසී යන බොකුටු කොන්ඩය ඉදිරියේ පිරිමියෙකුට සිදුවන්නේ බඩගෑම පමණි. ස්වර්ණා නම් චිත්‍රපට නිළිය නිසා ලංකාවේ සිනමා කතිකාවක් ගොඩනැඟුණේ මේ නිසාය. සංස්කෘතික ප්‍රතිවිරෝධයන් බහුල නාගරික කාල-අවකාශයකදී ස්වර්ණාගේ ප්‍රතිරූපය විශ්වවිද්‍යාලයකි.
80 දශකයේ තරුණ ජීවිතය ආරම්භ කළ මගේ මුළු මහත් ජීවිතයම විනාශ කරන ලද්දේ ‘මිරැන්ඩාගේ’ චරිතයයි. ඇය මහ හඩින් සිනාසෙන හැම විටම මම පතුලටම කඩා වැටී ඇත්තෙමි. ගැහැණුන් තුළ අම්මාව සහ දෛව ස්ත්‍රියව එකවර සොයන මා වැනි පිරිමින්ට ස්වර්ණාව එකවර ඖෂදයක් සහ විසක් (poison) විය. අම්මාට පසු ස්ත්‍රිය තුළ අම්මා මෙන් රැකවරණය පැතීමත්, රාගික වශයෙන් වචනයට එහා යන සුරතාන්තයට ලක් කරන (තෙත සිහින තුළ නරඹන ) දෛව-ස්ත්‍රියත් එකවර පැතීමට මා උගත්තේ මිරැන්ඩා නම් චරිතය හරහාය. ඇය කුඩ මිටෙන් කුඩය කරකවන විට පිරිමින් සතු සමාජ බලයද කුඩය මෙන් ඇය වටා භ්‍රමණය වෙයි. සිංහල සිනමාව වැඩිහිටි මාතෘකාවකට එළඹුනේ මිරැන්ඩා නිසාය.

My God....
My God….

 
ආසියාතික පිරිමියා සතු විරුද්ධාභාසය වන්නේ එක අතකින් ස්ත්‍රිය හරහා අම්මා කෙනෙකුත් අනෙක් අතට ස්ත්‍රිය හරහා වෛශ්‍යාවකුත් බලාපොරොත්තු වීමය. මෙම තත්ත්වය යුරෝපීය පිරිමියා ධනවාදය හරහා හෝ ජයගෙන ඇත. සමාජ සම්බන්ධතා විශ්වය තුළ අපට අවශ්‍ය වන්නේ තහවුරු වූ සංස්කෘතික අගතීන් බිඳ දැමීමය. සමාජ-දේශපාලනික වැඩකටයුතු  වලදී නිවැරදිව ක්‍රියා කිරීමට අවශ්‍ය ස්ත්‍රිය අම්මා නොවේ. ඒ සඳහා අවශ්‍ය වන්නේ අපගේ ෆැන්ටසිය අවසානයක් දක්වා ක්‍රියාකාරී කරවන ස්ත්‍රියකි. ඒ අර්ථයෙන් ගත් විට මිරැන්ඩා හමුවීමෙන් පසු එළඹෙන නිශ්ශංකගේ යුගය යනු ලිංගිකත්වයෙන් දේශපාලනයට මාරු වීමකි. 80 දශකයේ මා තුළ පැවති කලාව කෙරෙහි වූ අනුරාගය අවසන් කළේ මිරැන්ඩාය.
කොළඹ රීගල්,එම්පයර්,රියෝ වැනි සිනමා ශාලා තුළ මම මිරැන්ඩලා සමඟ ‘චිත්‍රපට’ නැරඹුවෙමි. චිත්‍රපට ශාලාවේ අඳුරු කුටිය තුළ හිමින් සැරේ පියා විදා, සුමුදු ඇතිරිල්ලේ සයනය කළෙමි. තහංචිය රැඩිකල් ලෙස බිඳ දැමිය හැක්කේ චිත්‍රපට ශාලා තුළය. ස්ත්‍රියගේ දෙතොල වඩාත්ම අනුරාගික ලෙස සිප ගත හැක්කේ රිදී තිරය පසුබිමෙහි තබා ගෙනය. 90 දශකය මැද වන විට රාගය ඉදිරියේ හොඳටම බඩ ගෑ, කුර ගෑ මම ‘මිරැන්ඩාව’ රීගල් සිනමාශාලාවේ තනිකොට දේශපාලනය කරන්නට 138 බස් රථයකට නැග්ගෙමි. මිරැන්ඩා ඔබට ස්තූතියි ! ! !

Milkyway
Milky way

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. අසූව දශකයේ උපන් නිසා ස්වර්ණාගේ චිත්‍රපට මා නරඹන්නේ චිත්‍රපට ශාලා වල නොවේ …පඳුරකට පයින් ගැහුවත් නිලියන් විසිපහක් තිහක් විසි වන ,,,ටෙලි නාට්‍ය ,චිත්‍රපට නා නා තරු තරඟ හරහා නිලියන් දවසින් දවස පිටවන කාලයක ජිවත් වුවත් ,,,ඒ සියලු නිලි පංචස්කන්ද පරදා ස්වර්ණා මගේ ප්‍රියතම නිළිය වේ යයි සිහිනෙකින් වත් මා සිතුවේ නැත ..මා ස්වර්ණා නැරඹුවේ අපැහැදිලි කළු සුදු සිනමා පටයකින් කුඩා පරිඝනක තිරයක් හරහාය ,,නිළියකගේ සිනාවකට පෙම් බැඳිය හැකි බව මට තේරුනේ ස්වර්ණා නිසාවෙන්ය …අහස් ගව්ව චිත්‍රපටයේ තැපැල් කන්තෝරුවේ කවුළුව අතරින් කිංකිණි හඬ නංවන ඇයගේ සිනහව කිසිදා අමතක නොවේ …ඇගේ ඇස අග බලන්නට මට නොහැකි විය අදටත් බලා නැත …මගේ හදවතේ ඉන්නේ අහස ගව්වේ ස්වර්ණාය ,,,ඇගේ ඇස අගේ ස්වර්ණා මගේ ස්වර්ණා නොවේ ..ස්වර්ණා වයසට ගිහින් සිටිනවා බලා හිඳින්නට මට දහයිරියක් නැත

Comments are closed.