what is his desire ?

 

දැන් අපි දන්නව අවිඥානය කියන්නෙ දැනුමක් කියල. ඒ විතරක් නෙවි එම ‘දැනුම’ විශේෂ දැනුමක්. එම දැනුම අනෙකාගේ ආශාවේ ප‍්‍රහේලිකාව විසඳන්න තමන්ගෙ පැත්තෙන් ගොඩනඟන ප‍්‍රබන්ධයක්. මේ ප‍්‍රබන්ධය අනෙකාගේ ආශාව නෙවි අපගේම ආශාව බව අප අපටම හංගනව. මේ හේතුව නිසා ආත්මය පැත්තෙන් ගත් කල අවිඥානය කියන්නෙ මර්දනය (Repression) කළ දැනුමක්. ආශාව කියන්නෙ සිහිකටයුතු ලෝකය තුළ බොරුවට අප තුළ ඇති අනුරාගය.

අවිඥානය කියන්නෙ හුදු දැනුමක් නෙවි. එය ආශාවක්. ආශාවකින් තොර දැනුමක් නැහැ. ගැටලූව වෙන්නෙ දෘශ්‍යමානය නම් අවකාශය ඇතුළේ මෙම ආශාවට පැවැත්මක් නැති වීම.

ලංකාවේ හුඟක් වෙලාවට ‘සාංදෘෂ්ටිකවාදය’ නම් වචනය පාවිච්චි වන බව සැබෑවක් වුවත් එහි අර්ථය නොපැහැදිලිය. කෙනෙක් තමාගේ ජීවිතය පවත්වාගෙන යාම සඳහා නිදහසත් වගකීමත් පුද්ගලයකු සතුව ඇතැයි අදහන මතවාදයට දෙන අර්ථය තමයි සාංදෘෂ්ටිකවාදය කියන්නෙ. මේ අර්ථයෙන් ගත් විට ආශාවේ මූලික අක්ෂරය සාංදෘෂ්ටිකයි.

‘ආශාව’ නම් අක්ෂරය හඳුනා ගන්නා මිනිසකුට මුහුණ දීමට සිදු වන අකරතැබ්බක් ඇත. සාමාන්‍ය දැනුමට සහ දර්ශනය නම් ගැඹුරු විෂයට එරෙහිව ආශාව අපට උගන්වන්නේ අපගේ අවසාන ඉලක්කය වන්නේ ප‍්‍රීතිය හෝ අපගේ ජීවිතය සංරක්ෂණය කිරීම නොවන බවයි. මාක්ස්වාදයත් ඇතුළු බොහෝ දේශපාලන දර්ශනයන් විසින් මිනිසාගේ නිෂ්ටාව ප‍්‍රීතිය සහ අර්ථය බවට වූ පූර්ව අගතියක පැටලී සිටිනව. අවසාන අර්ථයෙන් ආශාව අපගේම යහපතට එරෙහිය.

ආශාවේ දෘෂ්ටිකෝණයෙන් ගත් විට  ඕනෑම දේශපාලනයක් අසන්තතිකය. අස්ථාවරය. අපරිපූර්ණය. මිනිසෙකුගේ සත්‍යය පවතින ස්ථානය වන්නේ හදවත මිස මොළය හෝ බුද්ධිය නොවේ යැයි අපට ප‍්‍රකාශ කරන්නේ රොමෑන්තිකවාදීන්ය. හැඟීම් සහ සංවේදනයන් විසින් කෙනෙකුගේ සත්‍යය පෙන්නුම් කරනවා යැයි ප‍්‍රකාශ කරන විට රොමෑන්තිකවාදීන් නිවැරැුදිය. නමුත් හදවත ගැඹුරු ස්ථානයක් කියන විට ඔවුන් වැරැුදිය. ෆ්‍රොයිඞ්ට අනුව කෙනෙකු තමන්ගේ අවිඥානය ගැන නොදනියි. එය දැනගත හැකි වන්නේ වෙන කෙනෙකුටය. කට වැරැුදීම්, වචන ලිස්සා යාම්, අහඹු සිදුවීම් සහ මා කියන විහිළුවලින් වෙන කෙනෙකුට මගේ අවිඥානය කරා ප‍්‍රවේශ විය හැකිය. ලංකාවේ දේශපාලනය කරන අයට අදාළව මුඛ්‍ය දෝෂය වන්නේ ඔවුන් ක‍්‍රියා කරන විට ක‍්‍රියා කරන්නේ තමන්ට අවිඥානය කියා දෙයක් නොමැතිය යන හැඟීමෙන් යුතුවය. රොමෑන්තිකයන් සිතන්නේ අන්තරාවලෝකනය, පරාවර්තනය වැනි ආත්ම ගවේෂණ හරහා කෙනෙකුට තම අවිඥානය වටහාගත හැකි බවය. නමුත් අවිඥානය ඇත්තේ ඉහත අපේක්ෂිත තැන් දෙකම තුළ නොවේ. අවිඥානිකත්වය ඇත්තේ අප කතා කරන විට බිහි වන මතුපිට පෘෂ්ඨයේය. දෛනික ජීවිතය තුළ මේ නිසා අවිඥානය පවතින්නේ පිටසක්වළ ජීවියෙක් ලෙසය. අපව කෙනෙකුට හෙළිදරව් වන්නේ අපගේ කතාව පිටට යාමෙන්ය. මේ හේතුව නිසා අනෙක් මිනිසෙකුගේ සහායකින් තොරව අවිඥානය වටහාගත නොහැකිය. වෛද්‍ය ශිෂ්‍යයෙකු මිනිස් ශරීරය ගැන තම බැල්ම මිනියක් කැපීමෙන් අවසන් කරන අතර මනෝ විශ්ලේෂකයෙක් කවිච්චිය මත හෝ කරන දේශපාලනයට ඇහුම්කන් දීමෙන් අවිඥානික ආශාව ක‍්‍රියාත්මක වන ආකාරය වටහා ගනියි. අපගේ අවිඥානය එළියට එන්නේ කතා කරන විටය. ‘ලිවීම’ නොකරන අය ඒ ගැන බිය වී ඇත්තේ ලිවීම හරහා අවිඥානය පිටතට යාවී යැයි බිය වීමෙන්ය. නමුත් ලිවීම හරහා කෙනෙකුගේ අවිඥානය පිටතට විසරණය වන්නේ නැත. මේ අදහස හරි නම් සමාජ පිළිවෙළ සමඟ කෙනෙකුගේ අවිඥානික ආශාව සම්පාත වන්නේ නැත. එය අසම්පාතය. යම් මිනිසෙකුගේ නියම හැඩය ඇත්තේ ඔහුගේ ආශාව තුළ මිස ඔහුගේ ස්වභාවය හෝ සංස්කෘතිය තුළ නොවේ. අවසන් වශයෙන් ආශාවේ නිෂ්ටාව තෘප්තිය හෝ සමාජ පිළිගැනීම නොවේ. Facebook සඳහා අධික ඉල්ලූමක් ඇති වී ඇත්තේ ආශාවේ නියම හැඩය ගැන මිනිසුන්ට වැටහීමක් නැති නිසාය. කෙතරම් විකේන්ද්‍රීය වීමට විභවතාවක් තිබුණත් ආශාව හිස්ය. එය කිසිදු හැඟවුම්කාරකයකට, වචනයකට නිරූපණය කළ නොහැකිය.

ආශාවේ ඉහත විදාරණය කරන ලද අසම්පාත ස්වරූපය මැනවින් නිරූපණය කළ හැකි ඉතාම සරල චිත‍්‍රපටයක් ලෙස ගොළු හදවත’ [1968] සැලකිය හැකිය. මෙම චිත‍්‍රපටය කරුණාසේන ජයලත්ගේ නවකතාවක් මත පදනම් වී ඇත. මෙම නවකතාවේ සුවිශේෂත්වය කුමක්ද? එය චිත‍්‍රපට මාධ්‍යයට පරිවර්තනය කිරීමේ දී ලෙස්ටර් අනුගමනය කළ සුවිශේෂ විධික‍්‍රමය කුමක්ද?

 

”ගොළු හදවත චිත‍්‍රපටයේ විශේෂතාව වන්නේ එකම කතාව දෙවරක් කීමයි. මුලින් කිව් කතාව වෙන දෘෂ්ටිකෝණයකින් යළිත් කියා පායි. අවසානයේ දී පේ‍්‍රක්ෂකයා මේ කතා දෙක මැද තනි වෙයි.” 

 

‘ගොළු හදවත’ චිත‍්‍රපටයේ කතා තේමාව අති සරලය. එනිසාම එම චිත‍්‍රපටය වාමාංශිකයන් සහ සිංහල-බෞද්ධ මාක්ස්වාදීන් සලකන්නේ ඉතාම බොළඳ කතාවක් ලෙසිනි. කතාවේ පදනම වන්නේ හටගත් සැණින් බිඳී විසිර යන පේ‍්‍රමයකි. සිංහල මිනිසුන් මේ කතාව හඳුනන්නේ දම්මි-සුගත් ආදර අන්දරය ලෙසය.

ලෙස්ටර් ඉහත තත්ත්වය නැවත මෙසේ පහදයි.

”මේ කතා වස්තුව මුලින්ම මගේ සිත් ගත්තේ එහි ඇති ද්විත්ව වින්‍යාසය නිසාය. එකම සිදුවීම දෙවරක් කියන මේ කතාව සඳහා සිනමා ආකෘතියක් නිපදවන්නේ කෙසේද?”

 

ඉවාන් තුර්ගනිව්ගේ ‘ප‍්‍රථම ආලය’, ඇලෙක්ස්සැන්ඩර් කුප්රින්ගේ ‘රන්මිණි වළල්ල’, චෙකොව්ගේ ‘බල්ලා සරණලිය’ වැනි කතා අපූර්වය. ඒවා රචනා කර ඇත්තේ ඉතා සුළු සිදුවීමක් වටාය.

ලෙස්ටර් ප‍්‍රථම පේ‍්‍රමය ගැන මෙසේ කියයි.

”දැනට සැට වියේ සිටින කාන්තාවක් සහ ඇගේ මිතුරන් කිහිප දෙනෙක් කතාබහ කරන තැන මා ද සිටියා. යොවුන් වියේ දී ඇගේ සොහොයුරාගේ කිට්ටු මිතුරෙක් වූ පසුව ප‍්‍රකට වෛද්‍ය විශේෂඥයකු වූ මහතෙක් අර කාන්තාව අමතමින්, ”ඔබ දන්නේ නැහැ නේද, ඒ දවස්වල මා ඔබේ නිවසට යන එන විට මා ඔබට මහත් සේ ආදරය කළ වග, දිනක් මා හොරෙන් අරගත්තු ඔබේ කුඩා ලේන්සුව තාමත් මා ළඟ සුරක්ෂිතව තිබෙනවා” යැයි පැවසුවේය.

”බලන්න මොන තරම් වැඩිමහලූ වියේදීත් තමාට පමණක් සීමා වූ ඒ සුන්දර හැඟීම මංජුසාවක බහා ඔහු යළිත් සතුටින් සිහි කළ හැටි.”

එක සිදුවීමක් දෙවරක් කියන්නට අවශ්‍ය වන්නේ ‘ආශාව’ සිනමාව විසින් කුළුගන්වන නිසාය. කෙනෙකු සිනමාව හරහා කියවිය යුත්තේ ‘යථාර්ථය’ නොව එහි අසන්තතික බව නිෂ්පාදනය කරන ආශාව හඳුනා ගන්නටය. දම්මිගේ ආශාව කුමක්ද?

ඔබේ අදහස කියන්න...