බූපති නලින් වික‍්‍රමගේ

අවකාශය කියනකොටම බොහෝ දෙනාට හිතට එන්නේ ‘හිස්කමක්’ ගැන හැඟීමක්. එය අවකාශය පිළිබඳ වැරදි කියවීමක්. අවකාශය කියන්නේ හිස්කමකට වඩා සංවිධානය කරන ලද්දක්. අවකාශය සැලැස්මක්. සකසන ලද්දක්. ගොඩනංවන ලද්දක්. ශිෂ්ටාචාරයේ ව්‍යුහ සැලසුම් කිරීමේ විද්‍යාව හා කලාවට තමා ආකිටෙක්චර් කියන්නේ. එය එකවර විද්‍යාවක් මෙන්ම කලාවක්. එකවර භාවිත වටිනාකමක් හා සංකේත වටිනාකමක් දරන්නක්. මිනිසුන්ගේ අදහස් හා භාවිතය අතර ප‍්‍රතිවිරෝධය භෞතිකව ජීවමාන වීමක්. රටක ගොඩනැගිලි හෝ සංවිධිත අවකාශ යනු එම සමාජයේ පසමිතුරුතා (antoganism)භෞතිකව අපට මුණගැසීමේ පරම සාක්ෂියයි.
දැන් ලංකාවට අදාළව මේ තත්ත්වය තේරුම් ගන්නේ කොහොමද? ලංකාවේ ආකිටෙක්චර් (Architecture)  යන යෙදුමට සිංහල භාවිත දෙකක් තියෙනවා. එකක් ගෘහනිර්මාණකරණයයි. මෙය ඌනිත පරිවර්තනයක්. මොකද ආකිටෙක්චර් කියන්නේ ගොඩනැගිලි හැදීමේ විද්‍යාවක් පමණක් බවයි මෙයින් හැෙඟන්නේ. දෙවැන්න වාස්තු විද්‍යාවයි. මෙමගින් අවකාශ පිළිබඳ යම් ඉඟියක් ඇති කළත් මේ යෙදුමට ලංකාව තුළ වන මිථ්‍යාමතික ජ්‍යොතිෂ්‍යමය අදහස් සම්ප‍්‍රදායක් එක්ක ඒකත් අයත් වන්නේ අවභාවිත කලාපයකට. ඒ අර්ථයෙන් සිංහලෙන් අපට ආකිටෙක්චර් යන්නට ප‍්‍රශස්ත යෙදුමක් නැති බවයි මගේ අදහස. ඒ වගේම ආකිටෙක්චර් කියන විෂය සංකල්ප ගතකිරීමේ සියලූ ලාංකික අසමත්භාවයන් මේ පරිවර්තනය තුළම ගැබ්වී තිබෙනවා. ව්‍යාපාරමය අර්ථයකින් ලංකාව තුළ ආකිටෙක්චර් විෂය ක්ෂේත‍්‍රයට අදාළව නගර සැලසුම්, ගෙවතු අලංකරණ හෝ භූමි සැලසුම් දක්වා වෙළෙඳපළක් පැවතුණද ඒ පිළිබඳ ශාස්ත‍්‍රාලයීය හෝ සමාජ දේශපාලනික සිතීමේ විද්‍යාවක්, නැතහොත් දාර්ශනික එළඹුමක් දක්නට නැහැ. අනෝමා පීරිස් හෝ තරික් ජලීල් හෝ ඬේවිඞ් රොබ්සන් සැලකුවත් ඔවුන්ට ලංකාවේ ආකිටෙක්චර් පිළිබඳ ඇත්තේ සෞන්දර්යය මූලික රසවාදයක්. එතැනින් ඔබ්බට ගිය සමාජ දේශපාලනික කියවීමක විධිමත් වර්ධනයක් අද දක්වා සිදුවී නැහැ. කොටින්ම කිව්වොත් ලංකාවේ ගෘහනිර්මාණකරණයේ විකාශනය විධිමත්ව විශ්ලේෂණය කර නැහැ. මේක නිකම්ම සිද්ධවෙන දෙයක්ද?

ලාංකික ආකිටෙක්චර් කතිකාව

පූර්ව ධනේශ්වර රාජාණ්ඩු යුගයට පසු ලංකාවේ ආකිටෙක්චර් නූතනකරණයට ලක්වූයේ යටත්විජිත හිමියන්ගේ මූලබීජ මත ඉඳගෙන බව අප කවුරුත් දන්නා කාරණයක්. නූතන ලාංකික ආකිටෙක්චර් ලෙස අපට පෙන්වීමට ඇති ඉතිහාසය ආරම්භ වන්නේම අගනගර කේන්ද්‍ර බලකොටු, ඕලන්ද හා ලන්දේසි වලව් හෝ වික්ටෝරියානු සම්ප‍්‍රදායේ ගොඩනැගිලි සමුදායකින්. මීට ප‍්‍රතිපක්ෂව ජෙෆ්රි බාවා ප‍්‍රමුඛ ඊනියා අනන්‍යතා ගෘහනිර්මාණ ශෛලීන් සැලකුවද මීනෙට් ද සිල්වා, බාර්බරා සන්සෝනි හෝ අනුර රත්නවිභූෂණගේ සිට බොරැුල්ල පුංචි තියටර් සැලසුම් කළ මුදිත ජයකොඩි දක්වා අනේකත්වය බිහිවන්නේ යටත්විජිත ආකිටෙක්චර් යුගය අනෙකා කරගෙනයි. ඒ කියන්නේ ඊනියා දේශීයකරණයේ විකල්ප කතිකාව බිහිවන්නේ හුදු අනන්‍යතා දේශපාලනික ගැටලූවකට විකල්පයක් ලෙස මිස ලාංකික සමාජයේ සැබෑ ප‍්‍රතිවිරෝධතාවන්ගේ ව්‍යුහ ප‍්‍රතිසැලසුම්කරණයක් ලෙස නොවෙයි. ලාංකික වෘත්තිකයන්ද ඇතුළුව සිවිල් වැසියන්ද ව්‍යුහ සැලසුම් කිරීමේ විද්‍යාව වටහාගන්නේ කෙසේද? එක් වටහාගැනීමක් වන්නේ පෙර කී අනන්‍යතා අර්බුදය පමණක් ආභරණ කර ගත් දේශගුණික මූලිකව ජෙෆ්රි බාවා හඳුන්වා දුන් ‘නූතන නිවර්තනීය’(Tropical Modernism) වාදයකින් බිහිවූ ධාරාවයි. ගෝලීයව නූතන ආකිටෙක්චර් යනු පරිසරය අනෙකා කරගත් ව්‍යාපෘතියක් නොවේ. පරිසරවේදී ආකිටෙක්චර් (Eco Architecture) සැලකුවද ලාංකිකයා එය වටහාගන්නේ ගොඩනැගිලි තුළ ගස් සිටුවීමක් ලෙස මිස බලශක්ති අවමභාවයක ඇති ගොඩනැගිලි අභ්‍යාස කිරීමක් ලෙස නොවේ. ඇතැම්විට නුදුරු අනාගතයේ කොම්පඤ්ඤවීදියේ ඉදිකිරීමට නියමිත ‘ඇල්ටෙයාර්’ (Altair) සුපිරි නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය හරහා මොෂෙසෆ්ඩින්ගෙන් ලාංකිකයන් මෙය ඉගෙන ගනීවි. ව්‍යුහ සැලසුම් විද්‍යාව ලෙස ලාංකික දෙවැනි වටහාගැනීම වන්නේ ගෝලීයව ඉදිවූ පශ්චාත් නූතන ගොඩනැගිලි ශෛලීන් අමු අමුවේ ලංකාවේ හිටවීමයි. වීදුරු භාවිතයෙන් කරනා තත්ත්යසම (Virtual) සැලසුම්වල සිට බහාලූම් කුටි (Container Cabins)  දක්වා ඉතා රැුඩිකල් ශෛලීන් සමුදායක් විසිඑක්වන සියවසහි පළමු දශකයේ හා පශ්චාත් යුද සමාජයේ දෙවැනි දශකයේ ලංකාව තුළ ඉතා ශීඝ‍්‍ර ජනප‍්‍රියත්වයක් ලබා ඇති බව නිරීක්ෂණය කළ හැකියි. මේ තුළද අනන්‍යතා ගැටලූවද ඉතා තීව‍්‍ර ලෙස උඩු දුවනවා මිස ලාංකික මිනිස් සමාජය චලනය කරවන ගතික හා ප‍්‍රතිවිරෝධතා සංවිධානයට විකල්ප කතිකාවක් වත් අවම තරමින් බිහිවී නැහැ.

ඉහතින් මා ඉදිරිපත් කර, සංක්ෂිප්ත කරුණු සාරාංශය පදනම් කරගෙන අපි අපෙන්ම ප‍්‍රශ්නයක් අහගනිමු. ලංකාවේ ආකිටෙක්චර් හෝ ව්‍යුහ සැලසුම් විද්‍යාවේ දෘෂ්ටිවාදී පැවැත්ම කෙවැනිද? මෙහෙම දෙයක් ඇසූ ගමන් ලංකාවේ ආකිටෙක්චර්වලට සම්බන්ධ වෘත්තිකයන් හා ශාස්ත‍්‍රාලයීය චරිත හිතන එක තමා මේ ප‍්‍රශ්නෙ අපිට අදාළ නෑ කියලා. ඒත් එක අතකට යහපත්. මොකද මාසික දීමනාවකට සැලසුම් අඳින අයට මේ ප‍්‍රශ්නය තාමත් අදාළ නෑ තමා. ඉතින් මේ සාකච්ඡුාව ආරම්භ කරන්න ඕනෑ මම හිතන්නේ වෘත්තිකයන් අඳින අවකාශවල ජීවත් වන සිවිල් වැසියන් එක්ක. ඒ අයගෙන් අප අහන්න ඕනෑ කවුරු හෝ ඇන්ද අවකාශයක් ඇතුළේ තමා ඔබ ජීවත්වෙන්නේ කියලා කවදාවත් හිතලා තියෙනවාද? දෘෂ්ටිවාදය අධ්‍යයනයේ ප‍්‍රමුඛ කාර්යය වන්නේ මේක හිතන එක නෙමේ. දෘෂ්ටිවාදය ක‍්‍රියාත්මක වන්නේ ඔබ ඒ ව්‍යුහය තුළ ජීවත් වන කොට. ඒක හුදු බල අභ්‍යාස ගැටලූවක්ම නෙමේ. ආණ්ඩුවක් මාරුවෙලා ව්‍යාපෘති මාරුවීම වගේ සරල තැනකට නෙමේ දෘෂ්ටිවාදය සලකුණු කළයුත්තේ. මම හිතන්නේ ඊට වඩා විධිමත්ව බෙයාර්ෆුට් එකේ ඩොමිනික් සන්සෝනි එක කේන්ද්‍රයක් ලෙසත් සුනේත‍්‍රා බණ්ඩාරනායක හා චන්න දාස්වත්ත මූලික බාවා පදනමෙන් තවත් කේන්ද්‍රයක් ලෙසත් ලංකාවේ ආකිටෙක්චර්වල දෘෂ්ටිවාදය හසුරුවමින් ඉන්නවා. මොරටුව විශ්වවිද්‍යාලය හෝ ශ‍්‍රී ලංකා ගෘහනිර්මාණ ශිල්පීන්ගේ ආයතනය (SLIA)  හෝ වෙනත් ආයතනයකින් පිටවන ආකිටෙක්ට් ශිෂ්‍යයන් ඇතුළුවන්නේ ඉහත කී කතිකා දෙකෙන් එකකට. මීට අතිරේකව අතුරු කතිකා පවතින නමුත් ඉන් සමාජයේ තීරණාත්මක ලෙස සංවිධානය වීමක් පෙනෙන්නට නැහැ. මෑතකාලීන ඉතිහාසයේ මීට අතිරේකව වූ එකම ව්‍යාපෘතිය වූයේ ගෝඨාභය රාජපක්ෂ විසින් යටත්විජිත ගොඩනැගිලි පුනර්ජීවනය කර ඒවා පසු නූතන වෙළෙඳ අවකාශ බවට පත්කිරීම හා නාගරික සංවර්ධන අධිකාරිය විසින් පොදු අවකාශ සංස්කෘතියක් ලංකාවට හඳුන්වාදීමයි.

දෘෂ්ටිවාදී අවකාශ

ගොඩනැගිලි හෝ අවකාශ ආශ‍්‍රිතව දෘෂ්ටිවාදය ක‍්‍රියාත්මක වන්නේ අයෙකුගේ නොදැනුමේ භාවිතයක නොවෙයි. පශ්චාත් දෘෂ්ටිවාදී ජනසමාජයක විලාසිතාමය උපුටනයක හෝ බලකේන්ද්‍රීය ව්‍යාපෘතියක වුවද ක‍්‍රමය පිළිබඳ දැනුවත්ව ව්‍යුහ පවත්වා ගෙන යෑමයි. ඔවුන් දැනුවත් කුමක් ගැනද? අද දවසේ අපගේ ගොඩනැංවීම් හරහා අපගේ යථාර්ථවත් ජීවිත පසමිතුරුභාවයන් ප‍්‍රතිව්‍යුහගත කිරීමක් හෝ අභියෝගයට ලක්වීමක් සිදු නොවන බව ඔවුන් හොඳාකාරවම දන්නවා. සරලව කියතොත් ආකිටෙක්ට්ස්ලා අතින් අපගේ ජීවිත දැනුවත් සමාජමය වෙනසකට ලක්කිරීමකට ලාංකික සමාජයේ ඉඩක් නැහැ.

ආකිටෙක්චර්වලට අදාළ බොහෝ මූලධාර්මික සීමාකම් අයකුට මෙහිදී මීට ප‍්‍රතිපක්ෂව ඉදිරිපත් කළ හැකියි. ‘ආකිටෙක්ට් කෙනෙක් වැඩ කරන්නේ පාරිභෝගිකයකුට: ඔහුට හිතුමතේ කලා කෘතියක වගේ නිදහසක් අත්පත් කරගන්න බැහැ. ඒ වගේම පරිපාලනමය හා දැනටමත් ගොඩනැගී තිබෙන සංස්කෘතික සීමාකම් තනි පුද්ගලයන් ලෙස අකිටෙක්ට්ස්ලාට ජයගන්න බෑ. ආකිටෙක්ට් නිමවන අවකාශය තුළ ප‍්‍රායෝගිකව ජීවත්විය හැකිද?’ යන්නත් ඇතුළු ආදී මෙකී නොකී සාම්ප‍්‍රදායික සීමාකම් රාශියක් අයකුට පෙන්නන්න පුළුවන්. දැන් ගැටලූව මොකක්ද?

ඕනෑම කලාවක් යනු සංකීර්ණ අරුතකින් මිනිස් නිදහස පිළිබඳ ආමන්ත‍්‍රණයක්. එය ආත්මීය හෝ වාස්තවික විය හැකියි. මා දන්නා තරමින් ප‍්‍රයුක්ත නොහොත් භාවිත තලයේ ජන සමාජයක් හා වඩාත්ම බද්ධ, බලපෑම්සහගතම කලාව වන්නේ ආකිටෙක්චර්. ආකිටෙක්චර් කියන්නේ කලාවක්ද නැද්ද යන්නවත් සලකුණු කිරීමට අපහසු සංකීර්ණයක්. එහෙත් සෙසු කලාවන්වල වගේම ආකිටෙක්චර්වලත් භාවිතයට යෙදැවෙන්නේ මිනිස් පරිකල්පනය හා ප‍්‍රතිනිර්මාණයයි. එතකොට ඇයි අපේ රටේ ආකිටෙක්චර්වල ජනසමාජයක් ලෙස මිනිස් නිදහස පිළිබඳ අරගලය සංකීර්ණව දකින්න නැත්තේ? එක් අතකින් ඊනියා වෘත්තීයමය විෂය ක්ෂේත‍්‍රයක් ලෙස නම් කිරීමෙන්ම ආකිටෙක්චර් පිළිබඳ කතිකාවේ විවේචනාත්මක හා විශ්ලේෂණ අක්ෂය මගහැරී තිබෙනවා. මෙය පෞද්ගලික හෝ පොදු අවකාශයක් සැලකුවත් ආකිටෙක්චර්වලට අදාළ ඇතුළත හා පිටත නිර්මාණය කිරීමේ අවකාශීය භාවිතාවන්ටත් නිදහස සාධකය අදාළයි. අපි උදාහරණයක් ගනිමු. දෙදාහ දශකයෙන් පසු බිහිවූ නිවාස ශොනොරයක් ඔබ නිරීක්ෂණය කළොත් හම්බවෙනවා අපි ගෙදරකට ඇතුළු වනවිට මුලින්ම ඇතුළුවන්නේ පෞද්ගලික අවකාශයකට. ඒ කියන්නේ කාමර හෝ කොරිඩෝ පහුකරන් ගිහින් කෙළවරේම තමා ආලින්දය හම්බවෙන්නේ. මනෝලිංගිකව සලකතොත් විපරීත තත්ත්වයන් වන මෙම ව්‍යුහය ඔබට අනෙකාගේ ආශාව පිළිබඳ ඇති ප‍්‍රහේළිකාව ප‍්‍රතිව්‍යුහගත කරවනවා. අභ්‍යන්තර අලංකරණ (Interior Design)  සැලකුවද හෝටල් ආකෘති සාමාන්‍ය ගෙවල්වලට පැමිණ තිබෙනවා. මෙහි ප‍්‍රතිපක්ෂය ලෙස පශ්චාත් බාවා ශෛලියක් වන පොදු අවකාශය පෞද්ගලිකකරණය දෘෂ්ටිවාදයක් ලෙස හඳුනාගන්නේ කෙසේද? හෝටල් හෝ කාර්යාල වැනි පොදු අවකාශ හැකිතාක් පෞද්ගලික හැඟීමක් ඇතිකරවීමේ සැලසුම්කරණයකට නිර්මාණ ශිල්පීන් දැන් දැන් විශාල පරිශ‍්‍රමයක් දරනවා. ඇතුළත/පිටත ගැන අපගේ හැඟීම මේ නව සැලසුම් මගින් විපරීත හෝ විකේන්ද්‍රීය කරවනවා.

මෙමගින් ජනසමාජයකට සිදුවන දෑ දෛනික ඥානයකට හෝ සෞන්දර්ය මූලික විවේචනයකට එහා ගිය සමාජීය තලයක සාකච්ඡාවක් අපට ඇති කළ හැකිද? උදාහරණයකට ඉහත කී ආකාරයේ පසු නූතන නිවසක තිබෙන සිමෙන්තියෙන්ම සාදන ලද කොන්ක‍්‍රීට් පුටු මේස ආදිය නැවත සකස් කළ නොහැකියි. පොදු අවකාශයකට එවැනි ස්ථාවර අංගෝපාංග එක්කිරීමේ අර්ථයක් පැවතුණද පෞද්ගලික අවකාශයකට මේ තත්ත්වය අත්වීම අප වටහාගන්නේ කෙසේද? ලංකාවේදී නම් මේ තත්ත්වය නිරන්තරයෙන් අර්ථ ලෝකයෙන් එපිටට මිනිස් විඥානය රැුගෙන යාමක්. නිදහස පිළිබඳ අරගලයක් සලකුණු වන්නේ අතාර්කික මානයන්ට අර්ථයක් සලකුණු කරන්නට හැකි සමාජයකිින්. ඉහත සලකුණු කල සරල නිරීක්ෂණ සැලකුවද ලංකාව තුළ ආකිටෙක්චර් අයත් වන්නේ ස්වයංපාලිත විපරීත කලාපයකට මිස සමාජයේ මහා පොදු සාධකයට නොවෙයි. විධිමත්ව කියතොත් ආකිටෙක්චර් තුළින් අවකාශ සංවිධානය කිරීම වෙනුවට අවකාශයට ඊනියා එහිම වූ තර්කයක ගිලීයෑමට ඉඩහැර තිබෙනවා. උදාහරණයකට ඉහත කී නිවසකට ඇතුළු වන අයකු කාමර දෙස බැලිය යුතුද නැද්ද යන්න ඒ ඇතුළු වන්නාගේම තීරණයක් ලෙස සැලසුම විසින් සංවිධානය කරන ලද්දක් නොවෙයි. ආලින්දය තෙක් ගමන් කරන අවකාශය පෞද්ගලිකද පොදුද යන්න අවකාශය විසින් නම් කෙරී නැහැ. දෘෂ්ටිවාදීව සලකන කල මේ ආකිටෙක්චර්වල ගැටලූවක් නොව සමාජ තත්්ත්වයක් ගොඩනැගිලිවලට රෝග ලක්ෂණාත්මකව, කාන්දුවීමක්. ගැටලූව වන්නේ සමාජ තත්ත්වයට වෙනසක් අත්පත් කරදිය හැකි ආකිටෙක්චර් වැනි භාවිතාවක් සවිඥානිකව ඊට ප‍්‍රතිචාර නොදැක්වීමයි. එක් අතකින් මෙය ධනේශ්වර වෙළෙඳපොළ ප‍්‍රසාරණයට අවශ්‍ය සාධකයක්. එනම් පොදු අවකාශ පෞද්ගලිකකරණයත් පෞද්ගලිකත්වය පොදු කිරීමත් වෙළෙඳපොළ ප‍්‍රසාරණයට මූලධාර්මික පදනමක්. පසුනූතන දැන්වීම් කලාව මීට කොතෙකුත් සාක්ෂි සපයනවා. ලංකාවේද මධ්‍යම පන්තිය නව ආකෘතිවලින් ප‍්‍රසාරණය වන තත්ත්ව යටතේ පුද්ගලයකුගේ ජීවිත සැලකුවද එහි ඇතුළතත් හා පිටතත් සලකුණු කළ හැකි සමාජ ඛණ්ඩාංක මැකීයමින් පවතිනවා.

ගැටලූව වන්නේ සාකච්ඡුාවක් ඇරඹීමටවත් ලංකාවේ ආකිටෙක්චර් ගැන සංවාදයක් සමාජයීය අර්ථයකින් නොපැවතීමයි. විශේෂයෙන් පහළ පන්තිකයන්ට අවශ්‍ය නොවන මෙවැනි සංවාදයක් අවම තරමින් ලාංකික මධ්‍යම පන්තිය තුළවත් ආකිටෙක්චර් සම්බන්ධයෙන් ප‍්‍රමාණවත් සංජනන ශක්තියක් ගොඩනංවා නැහැ. මේ නිසා ලංකාවේ මිනිසුන් ගෙවන ජීවිත හා ඔවුන් ජීවත් වන ගොඩනංවන ලද අවකාශ අතර අන්තර් සම්බන්ධතාවක් නැහැ. එහි ඓතිහාසික අලංකාරිකය යුගයෙන් යුගයට පශ්චාත් යටත්විජිත ආකෘතිය හෝ නූතන නිවර්තනීය කතිකාව හෝ පසු නූතන සිමියුලේක‍්‍රිත ප‍්‍රතිනිෂ්පාදන ලෙස ලාංකික සමාජ දේශපාලනයේ පසමිතුරුතාවලට අමතන අවකාශ නිර්මාණය විය නොහැක්කක් තරමට අර්බුදයක් වී තිබෙනවා. ලූවී කාන් කියූ පරිදි ආකිටෙක්චර් යනු ගොඩනංවන ලද අවකාශවල ජීවත් වන මිනිසුන් තේරුම් ගැනීමේ විද්‍යාවක් නම් අප ගතයුතු ප‍්‍රවේශය කුමක්ද? මිනිස් නිදහස පිළිබඳ සාධකයේදී ආකිටෙක්චර් මගින් පවතින ප‍්‍රතිවිරෝධතා අතික‍්‍රමණයට ආමන්ත‍්‍රණය කරන්නේද? නැත්නම් පවතින දෘෂ්ටිවාදයේ යාන්ත‍්‍රණයම පවත්වා ගන්නේද? ව්‍යුහයකට එහිම වූ පැවැත්මක් විශ්වාස කරන දෘෂ්ටිවාදී එළැඹුම වෙනුවට ව්‍යුහ ගොඩනගනා මැදිහත්වීමේ භාවිතය අධිනිශ්චය කිරීමක් ඉල්ලා සිටිය යුතුයි. ආකිටෙක්චර් යනු ලංකාවේදී බොහෝවිට වර නැගෙනා පරිදි ස්වභාවිකත්වය කරා යළි ගමන් කිරීමක් නොව ඊට එරෙහිව ගොඩනංවන ලද අවකාශයයි. තිබෙන අවකාශ පවත්වා ගැනීම නොව නව අවකාශ ගොඩනැංවීමේ විද්‍යාවයි.

 

Ravaya.

– See more at: http://ravaya.lk/?p=5457#sthash.IWNN312h.dpuf

ඔබේ අදහස කියන්න...