ලාංකික ආකිටෙක්චර් සහ ජන සමාජය

අනුර දයාරත්න – වරලත් ගෘහනිර්මාණ ශිල්පී

වර්තමාන ලාංකික සමාජය තුළ නිතර කතාබහට ලක් නොවන මාතෘකාවක් වූ ආකිටෙක්චර් පිළිබඳ කතිකාවක් ආරම්භ කිරීමට බූපති ඉදිරිපත් වීම අගේ කළයුතු කාරණාවක්. එසේ වුවත් එහි සඳහන් බොහෝ කරුණු ආකිටෙක්චර් කියන පුළුල් විෂයට මෙන්ම ලාංකික ආකිටෙක්චර්වලටද අදාළ යථාර්ථය නොවෙයි.
සත්‍ය වශයෙන්ම ආකිටෙක්චර් විෂය ආරම්භ වන්නේ තමන්ට රැකවරණය, ආරක්‍ෂාව සොයා ගිය වානරයාගේ යුගයේ සිටයි. ගල්ගුහාවල ජීවත් වීමේ සිට 21 වන සියවසේ පෝස්ට් මොඩර්න් ආකිටෙක්චර් දක්වා පරිවර්තනය වූ ආකිටෙක්චර් විෂය සෞන්දර්යාත්මක විෂයක් ලෙස සමාජගත වීම ආරම්භ වන්නේ 18 වන සියවස ආරම්භයත් සමගයි.

සිංහල අර්ථකථනයෙන් ගත් කල ආකිටෙක්චර් යනු මිනිසා විසින් නිර්මාණය කරන ලද පරිසරයයි. ආකිටෙක්චර් පිළිබඳ මොරටු විශ්වවිද්‍යාලයේ පවතින පාඨමාලාව මුලින්ම හඳුන්වනු ලැබුවේද Built Environment (නිර්මිත පරිසරය) ලෙසයි. සිංහල ශබ්ද කෝෂයට අනුව ආකිටෙක්චර් යනු වාස්තු විද්‍යාවයි. බූපති සඳහන් කළ ආකාරයට ලංකාව තුළ ඇති මිථ්‍යාමය සහ ජ්‍යොතිෂ්‍යමය ඇදහිලි නිසා වාස්තුු විද්‍යාව කියන පිරිසිදු වචනයට වෙන අර්ථකථනයක් සමාජය තුළ ලබාදී තියෙනවා. ඒ නිසා නිර්මිත පරිසරය කියන වචනය වඩාත් උචිත ලෙසයි සලකන්නේ.

බූපති මෙසේ සඳහන් කරනවා. ‘ව්‍යාපාරමය අර්ථයකින් ලංකාව තුළ ආකිටෙක්චර් විෂය ක්ෂේත‍්‍රයට අදාළව නගර සැලසුම් ගෙවතු අලංකරණ හෝ භූමි සැලසුම් දක්වා වෙළඳපලක් පැවතුණද ඒ පිළිබඳ ශාස්ත‍්‍රීය හෝ සමාජ දේශපාලනික සිතිමේ විද්‍යාවක් නැතහොත් දාර්ශනික එළඹුමක් දක්නට නැහැ. අනෝමා පීරිස්, හරිත් ජලීල් හෝ ඬේවිඞ් රොබ්සන් සැලකූවත් ඔවුන්ට ලංකාවේ ආකිටෙක්චර් පිළිබඳ ඇත්තේ සෞන්දර්යය මූලික රසවාදයක්. එතනින් ඔබ්බට ගිය සමාජ දේශපාලනික කියවීමක විධිමත් වර්ධනයක් අද දක්වා සිදු වී නැහැ. කොටින්ම කීවොත් ලංකාවේ ගෘහ නිර්මාණ කරණයේ විකාශනය විධිමත්ව විශ්ලේෂණය කර නැහැ.’
ආකිටෙක්චර්වලට අදාළව මෙම ප‍්‍රකාශය එතරම් වලංගු නොවන බවයි මගේ අදහස. ආකිටෙක්චර් විෂය සත්‍ය වශයෙන්ම ශ‍්‍රී ලංකාව තුළ සමාජගතවූ විෂයක් ලෙස සලකන්නට බැහැ.

80 දශකයෙන් පසුව මොරටු විශ්වවිද්‍යාලය තුළින් බිහිවූ ග‍්‍රාමීය මෙන්ම මධ්‍යම පාංතික ශිල්පීන් මගින් පොදු සමාජය තුළ වාස්තු විද්‍යාව පිළිබඳ ඉතා අල්ප වූ උනන්දුවක් ඇතිවූවද ශ‍්‍රී ලංකාව තුළ ආකිටෙක්චර් යනු හුදකලාවූ විෂයක්. ඒ නිසාම තමයි බූපතිගේ මේ ලිපිය මෙරට ආකිටෙක්චර් සමාජය තුළ අවධානයට ලක්නොවන්නේ. රාවය පාඨකයන් වන ආකිටෙක්ට්ලා ඉන්නේත් සුළුතරයක්. ඒ වගේම ශ‍්‍රී ලංකාව තුළ ආකිටෙක්චර් සමාජය හඳුනාගෙන ඇත්තේ ඉතා මිල අධික සේවා සපයන්නන් කොටසක් ලෙස සහ ඔවුන් ඉහළ ධනපති පංතියට පමණක් සීමා වූ වෘත්තීයවේදීන් ලෙසයි.

තවමත් ග‍්‍රාමීය මෙන්ම මධ්‍යම පාංතික ජනතාව බහුතරයක් වෙසෙන ශ‍්‍රී ලාංකික සමාජය තුළ ආකිටෙක්චර්වලට ඇත්තේ ඉතාමත් අල්ප වූ ඉල්ලූමක්. සරලව ප‍්‍රකාශ කළහොත් මෙරට නිමවන සියලූ ගොඩ නැගිලිවලින් ආකි ටෙක්ට්ස්ලා විසින් නිර්මාණය කරනු ලබන්නේ 5%ක් පමණයි. එමෙන්ම ජනගහනය කෝටි දෙකකට වඩා මඳක් වැඩිවූ ශ‍්‍රී ලංකාව තුළ ආකිටෙක්චර් සේවය සැපයීමට මෙරට සිටින ශිල්පීන් ප‍්‍රමාණය 1000කටත් අඩු ප‍්‍රමාණයක්. ඒ නිසයි මා කීවේ මෙය තවමත් සමාජගතවූ විෂයක් නොවන බව.

ලාංකික ශිල්පීන් මෙම විෂය පිළිබඳ කරන කතිකාව සමාජ මැදිහත්වීම මෙන්ම විශ්ලේෂණයද ප‍්‍රමාණවත් නොවන බව බූපති සඳහන් කළද එය එසේ නොවෙයි. එමෙන්ම එහිදී බූපති සඳහන් කර ඇති නම් කීපයද මේ විෂය සම්බන්ධව ගැඹුරු විශ්ලේෂණයක යෙදී සිටින ශිල්පීන් නොවන බව ප‍්‍රකාශ කළ යුතුයි. ඒ සඳහා තම ශ‍්‍රමය මෙන්ම කාලයද වැයකරමින් ගැඹුරු විශ්ලේෂණයක යෙදෙන ශිල්පීන් කොටසක් මේ විෂය තුළ සිටිනවා.
සත්‍ය වශයෙන්ම මෙය ගැඹුරු විෂයක්. එය ක‍්‍රමානුකූලව හදාරන්නට වසර 8ක පමණ කාල පරාසයක් ගතවෙනවා.
බූපති සඳහන් කරන ආකාරයට ලාංකික ආකිටෙක්චර් ඉතිහාසය ආරම්භ වන්නේ අගනගර කේන්ද්‍ර කොට, බලකොටු,  ඕලන්ද ලන්දේසි වලව් හෝ වික්ටෝරියානු සම්ප‍්‍රදායේ ගොඩනැගිලි සම්ප‍්‍රදායකින් නොවෙයි.

ශ‍්‍රී ලාංකික ආකිටෙක්චර් ඉතිහාසය පටන් ගැනෙන්නේ අනුරාධපුර පොළොන්නරු යුගවලින්. එහි ඇති ගෘහනිර්මාණ සම්ප‍්‍රදාය මොනතරම් සංකීර්ණ ලෙස ගොඩනගා තිබේද යත් මුළු අනුරාධපුර පූජාභූමියම ගොඩනැගිලි සංකීර්ණයකින් සැදුම්ලත් නගර නිර්මාණයක්. පොළොන්නරුවද එවැනි විශ්වකර්ම ආකිටෙක්චර් පිළිබිඹු කරන තවත් නගර නිර්මාණයක්. එය අපට බටහිරින් ලැබුණු ගොඩනැගිලි සම්ප‍්‍රදායට වඩා සංකීර්ණ මෙන්ම ඉතා උසස් තාක්‍ෂණය යොදා ගනිමින් ගලින් නිර්මාණය කරන ලද ගොඩනැගිලි සම්ප‍්‍රදායක්. ජෙෆ්රි බාවා විසින් ශ‍්‍රී ලංකාවට ආවේණික වූ ගොඩනැගිලි ශිල්පය (Sri Lankan Architecture) ලෙස 20 වන සියවස වන විට මෙරට තුළ මෙන්ම ජාත්‍යන්තරවද අනන්‍යතාවක් ගොඩ නගනවා.

බූපති කියන්නේ Eco Architecture (පරිසර හිතකාමී ගොඩනැගිලි) ලංකාව තුළ හඳුනාගෙන ඇත්තේ ගොඩනැගිල්ල තුළ ගස් සිටුවීමක් ලෙස යනුවෙන්. මෙය ලාංකික ශිල්පීන් ගැන කරන ලද අවතක්සේරුවක්. ශ‍්‍රී ලාංකික ආකිටෙක්චර් සමාජය තුළ Eco Architecture ගැන කතිකාව ආරම්භ වන්නේ 20 වන සියවසේ මුල් භාගයේ සිට සාකච්ඡුා සම්මන්ත‍්‍රණ විශාල සංඛ්‍යාවකට පසුව. මෑත යුගයේ පරිසර හිතකාමී ගොඩනැගිලි කීපයක් අපගේ ශිල්පීන් විසින් නිර්මාණය කර තිබෙනවා.
එම ගොඩනැගිලි බූපති සඳහන් කරන ලෙස ගස් සිටුවන ලද ගොඩනැගිලි නොවෙයි. එය Eco Friendly Architecture ලෙස හැඳින්විය හැකි ගොඩනැගිලි සම්ප‍්‍රදායක්. ගොඩනැගිල්ලත් පරිසරයත් එකට බද්ධවූ නිර්මාණයක් හඳුනා ගැනෙන්නේ වෙනස් මානයකින්. කොන්ක‍්‍රීට් ගොඩනැගිල්ලක් කෙසේද පරිසරය සමග බද්ධ වී තිබෙන්නේ යන්නට කන්දලම හෝටලය හොඳ උදාහරණයක්. ලංකාව තුළ ස්වාභාවික පාරිසරික සුන්දරත්වයක් තිබෙන නිසා එම පරිසරයේ ඇති සුන්දරත්වය ගොඩනැගිල්ල තුළට ගෙන තම නිර්මාණය පරිසරයත් සමග බද්ධ කිරීම ආකිටෙක්ට් කෙනෙකු තුළ තිබෙන නිර්මාණාත්මක කුසලතාවක්.
මෙය හැඳින්විය හැක්කේ ගස් අතරින් ගොඩනැගිල්ලක් නිර්මාණය කිරීම ලෙසයි.  උදාහරණ දෙකක් ලෙස සුනිල් ගුණවර්ධන නිර්මාණය කළ ඇල්ල ඇඞ්වෙන්චර් පාක් හොටෙල් සංකීර්ණයත්, මින්නේරිය පාක් ගොඩනැගිල්ලත් නම් කරන්න පුළුවන්.

බූපති සඳහන් කරන ගොඩනැගිලි අප හඳුන්වන්නේ බලශක්ති කාර්යක්‍ෂම ගොඩනැගිලි ලෙස (Energy Efficiency Building). එවැනි ගොඩනැගිලි නිර්මාණය කරමින් ලෝක අවධානයට මෙන්ම සම්මානයට පාත‍්‍රවුණු ශිල්පීන් ලංකාව තුළ ඉන්න බවත් බූපති සිය ලිපියෙහි නම් ස`දහන් කරන කිසිදු අයෙකු එවැනි ශිල්පීන් නොවන බවත් සඳහන් කරන්න කැමතියි. බලශක්තිය ජලය, හිරුඑළිය, (ස්වාභාවික ආලෝකය, ස්වාභාවික වාතාශ‍්‍රය. (වායුසමනය නොකළ) ලබාගැනීම තමයි බලශක්ති කාර්යක්‍ෂම ගොඩනැගිලි ම`ගින් සිදුවන්නේ.

ලිපියේ තවත් තැනෙක බූපති ලංකාවේ ආකිටෙක්චර් හෝ ව්‍යුහ සැලසුම් විද්‍යාවේ දෘෂ්ටිවාදී පැවැත්ම කෙබඳුද යන ප‍්‍රශ්නය අසන ගමන්ම ලාංකික ශිල්පීන් මාසික දීමනාවකට සැලසුම් අඳින බවත් ඔවුන්ට මේ ප‍්‍රශ්නය අදාළ නොවන බවත් සඳහන් කරනවා. ලංකාව තුළ සිටින බොහෝ ශිල්පීන් මාසික පඩියට වැඩකරන අය නොවෙයි. මෙය සෞන්දර්යාත්මක කලාවක්. මා කලින් සඳහන් කලා සේම කලාකරුවකු තම නිර්මාණයට කොතරම් වෙහෙසක් දරනවාද, එවැනිම කැපකිරීමක් ආකිටෙක්ට් කෙනෙක් තම නිර්මාණය ගොඩනගන්න කරනවා. මෙහි තිබෙන සංකීර්ණභාවය ගැඹුරු හැදෑරීමක් මගින් අවබෝධ කරගත යුතු සත්‍යයක්. ලාංකික ආකිටෙක්චර්වල දෘෂ්ටිවාදී පැවැත්ම  මෙවැනි ලිපියක් තුළින් විග‍්‍රහ කරන්නට නොහැකි වන අතර එය වසර කීපයක් තුළ හැදැරීම මගින්ම ලබාගත යුත්තක් බව සඳහන් කළ යුතුමයි.

බූපති සිවිල් වැසියන්ගෙනුත් ප‍්‍රශ්නයක් නගනවා. කවුරු හෝ ඇන්ද අවකාශයක් ඇතුළේ තමා ඔබ ජීවත් වන්නේ කියලා කවදාකවත් හිතලා තියනවාද කියා. මෙයට දීමට තිබෙන පිළිතුරත්  සරල නැහැ. ආකිටෙක්ට් කෙනෙක් අඳින හැම ඉරකටම තේරුමක් තියනවා. ඔහු වසර ගණනාවක වෘත්තීය මෙන්ම අධ්‍යාපනික පුහුණුව මගින් තමන්ගේ සේවාදායකයාගේ සිතුම්පැතුම් හඳුනාගැනීමේ ඉවකින් සමන්විත විය යුතුයි. වෙනත් විදියකින් කියනවා නම් ඔහු නිර්මාණය කරන නිවස තුළ වෙසෙන නිවැසියන්ට ජීවිත කාලයම ගත කරන්නට සුවදායී පරිසරයක් ඔහු ලබා දිය යුතුයි.  කලා ශිල්පියකුට ගෙයක් නිර්මාණය කළහොත් ඔහුගේ නිර්මාණ ගොඩනගන්නට ඇවැසි පරිසරයක් ආකිටෙක්ට් විසින් නිර්මාණය කළ යුතු වෙනවා. එය තමයි ඔහුගේ වෘත්තීයමය සේවාව. ඒ විතරක් නෙවෙයි නිවැසියාගේ සනීප ආරක්‍ෂාව, කාලගුණය, දේශගුණය, ස්වාභාවික වාතාශ‍්‍රය, හිරුඑළිය, අවකාශයෙන් ගොඩ නැගීමේදී අවශ්‍ය වන න්‍යායාත්මක කුසලතාව වැනි තවත් බොහෝ කරුණු මෙයට ඇතුළත් වෙනවා. මේ සියල්ල සංකලනය වූ පසු තමයි සාර්ථක නිර්මාණයක් ගොඩ නැගෙන්නේ.

මේ නිසාම තමයි ලූවී කාන් කියන්නේ ආකිටෙක්චර් යනු, ගොඩනංවන ලද අවකාශවල ජීවත්වන මිනිසුන් තේරුම් ගැනීමේ විද්‍යාවය කියලා. ආකිටෙක්ට් කෙනෙකුට තම හැදෑරීම තුළින් මෙන්ම පළපුරුද්ද තුළින් මිනිසුන් කියවීමේ හැකියාවක් තිබෙනවා. ඒ නිසාම ඔහු ලබා දෙන්නේ එහි ජීවත්වන කෙනාට අවශ්‍ය අවකාශයන්ගෙන් සමන්විත පරිසරයක්.

තවත් තැනෙක ඩොමිනික් සන්සෝනි, සුනේත‍්‍රා බණ්ඩාරනායක සහ චන්න දාස්වත්ත ලංකාවේ ආකිටෙක්චර්වල දෘෂ්ඨිවාදය හසුරුවමින් ඉන්න බව බූපති සඳහන් කරනවා. මා දන්නා තරමින් ඩොමිනික් සන්සෝනි හෝ සුනේත‍්‍රා බණ්ඩාරනායක හෝ ආකිටෙක්චර්වලට කිසිදු සම්බන්ධතාවක් නැහැ. ඩොමිනික් සන්සෝනි කියන්නේ වෙළෙඳ ව්‍යාපාරයක් පවත්වාගෙන යන කෙනෙක්. බණ්ඩාරනායක වෙනම පදනමක් හදාගෙන එයාගේ වැඩකටයුතු කරගෙන ගියාට එහි ආකිටෙක්චර්වලට කිසිදු සම්බන්ධතාවක් නැහැ. චන්න දාස්වත්ත ජෙෆ්රි බාවා ළඟ වැඩකළ ආකිටෙක්ට් කෙනෙකු වූ පමණින් ලංකාවේ ආකිටෙක්චර්වල දෘෂ්ටිවාදය හසුරුවන්නට ශක්තියක් හෝ දැක්මක් ඇති බව පෙනෙන්නට නැහැ. ඒ කෙරෙහි ප‍්‍රබල මැදිහත්වීමක් කරන වෘත්තීයවේදීන් කීපපලක්ම ලංකාව තුළ සිටිනවා. ඒ අතරින් ඈෂ්ලි ඩිවෝස්, අනුර රත්නවිභූෂණ, මධුර පේ‍්‍රමතිලක, සුනිල් ගුණවර්ධන, විනෝද් ජයසිංහ වැනි අය පෙරමුණේ සිටිනවා. ජෙෆ්රි බාවා ආශ‍්‍රයෙන් පෝෂණයවී ඔහුගේ සම්ප‍්‍රදාය ඉදිරියට ගෙනයන්නට විනෝද් ජයසිංහ නිහඬ මෙහෙවරක් කරනවා. සුනිල් ගුණවර්ධන පරිසර හිතකාමී නිර්මාණයන් කීපයක් දායාද කළ නිර්මාණශීලී කෙනෙක්. ඈෂ්ලි ඩිවෝස් ඉතිහාසයේ සිට වර්තමානය දක්වා වූ ලාංකික ආකිටෙක්චර් පිළිබඳ පර්යේෂණාත්මක හැදෑරීමක යෙදෙන විෂය පිළිබඳ හසල දැනුමක් ඇති අයෙක්.

බූපති මෙසේ ප‍්‍රශ්නකරනවා, ‘සෙසු කලාවන්වල වගේම ආකිටෙක්චර්වලත් භාවිතයට යොදවන්නේ මිනිස් පරිකල්පනය හා ප‍්‍රතිනිර්මාණයයි. එතකොට ඇයි අපේ ආකිටෙක්චර්වල ජන සමාජයක් ලෙස මිනිස් නිදහස පිළිබඳ අරගලය සංකීර්ණව දකින්නේ නැත්තේ.’
ආකිටෙක්ට් කෙනෙ කුගේ දෘෂ්ටිවාදය ගොඩ නැගෙන්නේ න්‍යායාත්මක හැදෑරීමක් තුළින්. එය තමයි ඔහු තම නිර්මාණකරණය තුළින් සමාජගත කරන්නේ. ඔහු කරන හැම නිර්මාණයකටම තේමාවක් අන්තර්ගත වෙනවා. එය තම සේවාදායකයාගේ  ඕනෑ එපාකම් මෙන්ම ජීවන රටාව ආශ‍්‍රය කරගෙන ගොඩනැගෙන්නක්. එහිදී වර්තමාන සංකීර්ණ සමාජයේ මිනිස් පරිකල්පනාවන් එකකට එකක් වෙනස් වෙන්න පුළුවන්. ඇතුළත මෙන්ම පිටත අවකාශයන් ගොඩනැගීමේදී ඒ ඒ පුද්ගලයාගේ පරිකල්පනයට සාපේක්‍ෂවයි නිර්මාණයේ තේමාවද වෙනස් වෙන්නේ. එහෙම නැතුව සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින අයුරින් ඇමරිකන් ස්ටයිල් එසේ නැතහොත් බටහිර පන්නයේ නිවාස වැනි සරල ආකෘති මගින් ආකිටෙක්චර් වර්ග කරන්නට බැහැ. එමෙන්ම දෙදාහ දශකයෙන් පසු නිර්මාණය කරන ගෙවල්වල ආලින්දය හමුවන්නේ වෙනත් අවකාශයන් පසුකර ගොස් පිටුපස කෙළවරේ යනුවෙන් බූපති සඳහන් කිරීමත් ඉහත සඳහන් කළ සාමාන්‍ය ජනයා අතර පවතින ඇමරිකන් ස්ටයිල් ගෙවල් වගේ අදහසක්.

ආලින්දය පිටුපසට ගෙන නිර්මාණය කරන්නේ නිර්මාණ ශිල්පියාගේ සංකල්පයට අදාළව ඔහුට ලැබී ඇති ඉඩමේ පිහිටීම සහ හැඩය අනුව අවකාශයන් ගොඩනැගිය යුත්තේ කුමන දිශාවේද යනුවෙන් සලකා බැලීමෙන්. ඒ සඳහා මා ඉහත සඳහන් කළ ස්වාභාවික වාතාශ‍්‍රය, හිරු එළිය, මනරම් ලෙස දර්ශනය වන පරිසරය වැනි දේ මෙන්ම නිර්මාණ සංකල්පයට අදාළ වන නිීතිරීති මෙන්ම රෙගුලාසිද අදාළ වෙනවා. එහි ප‍්‍රතිඵලයක් ලෙස ආලින්ද ගොඩනැගිය යුත්තේ කුමන දිසාවෙන්ද යන්න තීරණය වන දෙයක්. එය දෙදාහ දශකයෙන් පසු ඇතිවූ දෙයක් නොව නිර්මාණ ශිල්පියාගේ කුසලතාව අනුව ගොඩනැගෙන්නක්.
හෝටල් හෝ කාර්යාල පමණක් නොව නිවාසවලද පොදු සහ පෞද්ගලික ලෙස අවකාශය වෙන්කර හඳුනාගන්න පුළුවන්. ආලින්දය, කෑම කන කාමරය සහ රූපවාහිනිය නරඹන ස්ථානය පොදු අවකාශ ගණයට අයත්. ඒ නිසායි ඉඩමේ පිහිටීම අනුව වඩාත් උචිත ස්ථානයේ එවැනි අවකාශයන් ගොඩනැගෙන්නේ. එය පිවිසුම් කොටසේ සිට පිටුපස මායිම දක්වා ස්ථානගත විය හැකියි.

පුද්ගලික අවකාශ ගොඩනැගීමේදී හැමවිටම නිර්මාණ ශිල්පියා පුද්ගලිකත්වයට මූලික අවධානය යොමුකරනවා. කිසිවිටෙකත් එය පොදු අවකාශයන්ට විවෘතවන්නට ඉඩ තබන්නේ නැහැ. ඒ අනුව බලන කල බූපති නගන ඉහත චෝදනාව ආකිටෙක්චර් විෂයට අදාළව එතරම්ම යථාර්ථවාදී ලෙස සලකන්නට බැහැ.
තවත් තැනෙක බූපති නගන චෝදනාවක් තමයි ලංකාවේ මිනිසුන් ගෙවන ජීවිත හා ඔවුන් ජීවත්වන ගොඩනංවන අවකාශ අතර අන්තර්සම්බන්ධයක් නැති බව. ශ‍්‍රී ලංකාව තුළ අනන්‍යතාවක් ගොඩ නගාගත් ආකිටෙක්ට් කෙනෙකු විසින් නිර්මාණය කරන ලද නිවසක් හෝ වෙනත් මාදිලියක ගොඩනැගිල්ලක නිර්මාණ සංකල්පයක් ගැන න්‍යායාත්මක හැදෑරීමක් කරන්නට අවකාශ තිබෙනවා නම් මේ චෝදනාවද පදනම් විරහිත බව වැටහෙනු ඇති.

කෙසේ නමුත් මෙම සංකීර්ණ විෂය පිළිබඳ ශ‍්‍රී ලාංකික සමාජය තුළ සංවාදයක් ගොඩනගන්නට බූපති දරන උත්සාහය අගය කළයුතු වන්නේ වෘත්තීයවේදීන් වන අප අතර පවතින සංවාද, සාකච්ඡුා, විචාර, කිසිවක් බාහිර සමාජය තුළට කාන්දු නොවන යථාර්ථයක ශ‍්‍රී ලාංකික ආකිටෙක්චර් හුදෙකලාවූ විෂයක් ලෙස බූපති මෙන්ම බාහිර සමාජයද උපකල්පනය කරන නිසාවෙන්. එනිසා, බූපති අපි මෙම සංවාදය ඉදිරියට ගෙනයමු.

මේ සම්බන්ධව ලංකාව තුළ සිටින ප‍්‍රවීණ මෙන්ම පළපුරුදු ශිල්පීන් විසින් පවත්වනු ලබන සංවාදාත්මක සම්මන් ත‍්‍රණයක් පෙබරවාරි මස 20 වන දින කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී දිනය පුරාවට පැවැත්වෙනවා.  ඒ ස`දහා සහභාගිවන්නට බූපතිටත් මේ ලිපිය කියවන රාවය පාඨකයන්ටත් ආරාධනා කරන්නට කැමතියි.

Ravaya

ඔබේ අදහස කියන්න...