ප්‍රථමයෙන්, අපි අපගේ ත්‍රිමාණ පාඨක පාඨකාවියන්ට සුභ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරන්නෙමු. අනෙක් පසින්, අප කියන්නේ මේ නව වසර අපටත් ඔබටත් ඉතාම අභියෝගාත්මක වසරක් වනු ඇත කියා ය. නිදහසේ සිට ගුවන් විදුලිය මගින් සන්නිවේදන කටයුතු කළ විවිධ ආණ්ඩු 90 දශකය මැද සිට පුද්ගලික මාධ්‍ය හරහා (විශේෂයෙන් සිරස) ක්‍රමිකව විපරිත වීම ආරම්භ විය. 21 වැනි සියවසේ දෙවන දශකය වන විට මෙම විපරිතභාවය ‘උමතුවක්’ (Madness) දක්වා සමාජ මාධ්‍ය තුළ පත් වී ඇත. බොහෝ දෙනෙක් 90 දශකය අග වන විට සිතුවේ, ‘සිරස’ හරහා මාධ්‍ය කලාව මුදලාලිකරණයකට ලක් වන බවයි. නමුත් ඒ වෙනුවට අද වනවිට සිදු වී ඇත්තේ, ‘දේශපාලන පක්ෂ’ ක්‍රමය වෙනුවට ‘සැටලයිට් මාධ්‍ය කක්ෂ ගණනාවක්’ බිහි වී පාලිතයාගේ කේන්ද්‍රය (Center) තමා තුළින් බාහිරට චලනය වීමයි.

                   මෙම විකේන්ද්‍රීයකරණය කෙතරම් බලවත් ද කිවහොත් සම්‍යක් දෘෂ්ටිය සහ මිථ්‍යා දෘෂ්ටිය අතර වෙනස මහාචාර්යවරුන්ට පවා කියවිය නොහැකිය. විකේන්ද්‍රීයභාවය (අපගේ පාලනය අප අතින් ගිලිහී යාම) කෙතරම් පුළුල් වී ඇත්ද කිවහොත් එම ක්‍රියාවලිය ‘නව -වහල්භාවයක්’ මිනිසාට ආදේශ කොට ඇත.

                     රාජපක්ෂවාදයේ සුපිරි සන්නායකතාවය ඇතැයි සිතූ ගෝඨාභය රාජපක්ෂ අනපේක්ෂිත කොවිඩ් වෛරසය නිසා අන්දමන්ද වී ඇත. නමුත් ජහමනයා ඊට වඩා අන්දමන්ද වී ඇත. රාජ්‍ය බලය ලබා ගැනීම, බැංකුවකින් ක්‍රෙඩිට් කාඩ් පතක් ලබා ගැනීමට තුල්‍ය කළ පාලකයන්ට අනාගතයක් විරහිතව ‘අනාගතය’ දෙස බැලීමට බල කෙරී ඇත.

                       කොවිඩ් වසංගතයට පෙර සිට පවා ඩොලර් බිලියන 89ක පමණ කුඩා ආර්ථිකයක් පැවති ශ්‍රී ලංකාවේ ආර්ථිකය කොවිඩ් නිසා සහමුලින් කඩා වැටීමට නියමිත නැත. ලංකාව තුළ සිදු වී ඇත්තේ, ‘ආර්ථිකය’ සමඟ ‘වෙළඳපොළ’ සම්පාත කිරීමේ ගැටලුවයි. පීඩනයට සහ සංකෝචනයට ලක්වී ඇත්තේ, වෙළඳපොළ මිස ආර්ථිකය නොවේ. හෙජ් අරමුදල් ලංකාවට නිල ආර්ථිකය පරදා පැමිණෙමින් පවතින නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකය තුළ විශාල ‘මූල්‍ය අංගනයක්’ (Parking) ඉදිවෙමින් පවතින අතර 2025ට පමණ පසුව ‘වරාය නගරය’ දකුණු ආසියානු මූල්‍ය මධ්‍යස්ථානයක් වනු ඇත. මේ සුභ පැත්තය. (සමසමාජ පක්ෂයේ නායකයන්ට එවකට පන්ති දේශපාලනයට පිටින් සිතීමට නොහැකි වූවා පමණක් නොව 59 වර්ෂයේ සිදු වූ බණ්ඩාරනායක ඝාතනයෙන් පසුව ‘දේශපාලනය මරණයක’ සංකේතීය බලය ද ගණනය කළ නොහැකි විය. මිථ්‍යා දෘෂ්ටිකයන් එය නම් කළේ ’56’ පෙරළිය කියා ය. එපරිදිම 2025 ගැන සිතන අය ඡන්දයට පෙර සිදුවිය හැකි ‘දේශපාලන මරණ’ පවා සමපේක්ෂණය කළ යුතු ය.)

                     කොවිඩ් වෛරසය පැත්තෙන් ගත් කළ, ‘සාමූහික ප්‍රතිශක්තිය’ (Herd Immunity) වෙනුවෙන් ක්‍රමිකව සමාජය මුදා හරිනවා හැර ආණ්ඩුවට වෙනත් විකල්පයක් නැත. ඉන් අදහස් වන්නේ, රෝගය බහුතර දෙනාට බෝවීමට ඉඩ දීම හැර ආණ්ඩුවට වෙනත් විකල්පයක් නොමැත යන්නය. දැන් ආණ්ඩුව උත්සාහ කරන්නේ, හමුදා නිලධාරීන් ලවා ඉහත ක්‍රියාවලිය කළමනාකරණය කරන්නට ය. මිලියනයක පමණ ජනගහණයකට රෝගය බෝවන්නට හැර හාරදහසක පමණ මරණ ඉවසීම හැර වෙනත් විකල්පයක් නැත. රටේ මුළු ජනගහණය සඳහා එන්නත ලබා දීම වෙනුවට නිශ්චිත පිරිසකට පමණක් එන්නත ලබා දීමට ආණ්ඩුවට සිදු වනු ඇත. එමඟින්, එන්නත පිළිබඳ පන්ති භේදය හට ගනු ඇති අතර මාර්තු අග වන විට පුද්ගලික අංශය එන්නත ආනයනය කරනු ඇත. එවිට, ලක්ෂ පහේ පඩිකාරයන් පළමු පඩියෙන්ම තම පවුල් සුරක්ෂිත කර ගනු ඇත. මුළු ජනගහණය සඳහා එන්නත ගෙන්වීමට ගියහොත් ආණ්ඩුවට වැය වීමට නියමිත මුළු මුදල (ගබඩා පහසුකම් සහ ප්‍රවාහනය ද ඇතුළත්ව) ඩොලර් බිලියන 9.6ක් පමණ වෙයි. එය කළ නොහැක්කකි. ඒ නිසා, ‘සාමූහික ප්‍රතිශක්තිය’ දුප්පත් ජනයාට ඇති එකම විකල්පය යි. මින් අප අදහස් කරන්නේ, ‘ස්වභාවික ප්‍රතිශක්තිය’ හොඳම විකල්පය බවයි. මෙම ‘ස්වභාවික ප්‍රතිශක්තිය’ මිනිසාට එන්නේ ආහාර වලින් නොව ජාන වලින් බව මහාචාර්යවරුන් සහ සිංහල වෙදමහතුන් නොදැන සිටීම ගැන පුදුම විය යුතු නැත. අ.පො.ස උසස් පෙළ ජීව විද්‍යා දැනුම මේ ගැන අපට උගන්වා ඇත. [කොත්තමල්ලි මඟින් ප්‍රතිශක්තිය වැඩි වන බව අපට උගන්වන FRCP කාරයන් ද ලංකාවේ ඇත.]

                     ‘වසංගත රෝගයක්’ පැතිරෙන යුගයක දී අප නිවැරදි පිළිතුරු වෙනුවට නිවැරදි ප්‍රශ්න වර නැඟීමට පුරුදු විය යුතු ය. ‘බටහිර විද්‍යාවට’ වඩා දේශීය වෙදකම මේ වෛරසයට උත්තරයක් ද යන ගැටලූවම වැරදි එකකි.[The medium is the message statement by Marshall McLuhan, meaning that the form of a message (print, visual, musical, scientific etc.) determines the ways in which that message will be perceived.] ලංකාව පොහොසත් රටක් නම් බහුතර මහජනයා සහ බුද්ධිමතුන් මෙවැනි සහසම්බන්ධ ප්‍රතිපක්ෂවල[Binaries] පැටලෙන්නේ නැත. අනෙක් පසින්, මේ වෛරසය නම් ‘යථ’- Real- ඉදිරියේ පන්ති අරගලය තීව්‍ර වීමට ඉඩ දීම සහ එය මාධ්‍ය ආඛ්‍යාන මගින් පිරවීම හැර ආණ්ඩුවට වෙන විකල්ප නැත. ඉතිහාසය මේ මොහොතේ දිලිත් ජයවීරට දෘෂ්ටිවාදී මෙහෙයුමක් පැවරීමද අහම්බයක් නොවේ. එය ලංකාවේ ‘වමේ අසමත්’ කමකි. ‘දෘෂ්‍යමාණය’ මත මාධ්‍ය සාකච්ඡා පවත්වන අයව ‘මෙහෙයවන අය’ සන්නද්ධ අරගල ගැන සිතීම ද අහම්බයක් නොවේ. විසදිය නොහැකි ගැටලු චක්‍රයක හිර වී සිටින ශ්‍රී ලංකාවේ ‘සමාජයට’ සන්නද්ධ ගැටුම දීර්ඝකාලීන උත්තරයක් ද වීමට හැකි ය. 80 දශකයේ සිට මහජන නොවන ගරිල්ලා යුද්ධයක් කළ LTTEය ලංකාවේ සමාජය ධ්‍රැවීයකරණය කළේ සන්නද්ධ ගැටුම හරහා ය. තුවාලය සඳහා හොඳම උත්තරය පැතිරී ගිය විශාල තුවාලයක් විය හැකි ය.

                     ‘වෛරසය’ වෙනුවෙන් දාර්ශනික උත්තර නැත. ‘වෛරසය’ නිසා මිනිසුන් බුද්ධිමත් විකල්ප සොයා යනු ඇත යන තිසීසය ද ව්‍යාජයකි. මිනිසුන් වෛරසය නිසා වඩ වඩා මිථ්‍යාදෘෂ්ටිකයන් වනු ඇත. ‘අවුල’ අවුල් ජාලාවක් වූ විට දෘෂ්ටිවාදීව එය සහනයකි. ‘සමාජ යථාර්ථය’ යනුම පලායෑම්වාදයකි. මහාචාර්යවරුන් සර්ප වෙදුන් වීම හෝ සර්ප වෙදුන් මහාචාර්යවරුන් වීම මිනිසුන්ට සහනයකි. එය ඔවුන්ව වේදනාවකට පොළඹවයි.

                    ‘දේශපාලන සංවිධානයක්’ ලෙස 2021 අවුරුද්ද යනු, අපගේ පැත්තෙන් සාධනීය වර්ෂයකි. 83 කලු ජූලිය සහ 87 ඉන්දු-ලංකා ගිවිසුම ශ්‍රී ලංකාවේ වාම දේශපාලනයේ විශාල ඛණ්ඩනයන් බිහි කළ වර්ෂ දෙකකි. එය LTTEයට සහ ජවිපෙට කාන්දම් බලයෙන් මෙන් තරුණයන් ආකර්ෂණය වූ වසර 2 කි.

                      ‘වෛරසය’  වඩ වඩා සමාජය තල්ලු කරන්නේ, මිථ්‍යා දෘෂ්ටිය දෙසට ය. මෙහි පන්ති සාධකය මෙහෙයවන්නේ, පහළ මැදපන්තිකයන් ය. ඒ සඳහා සමාජ ජාලා මාධ්‍ය ඔවුන් තම ආත්මීය මාධ්‍ය කොට සලකයි. ඒ අර්ථයෙන්, මුළු මහත් දේශපාලනයම ‘ආත්මගත මාධ්‍ය දේශපාලනයක්’ බවට ඌණනය වී ඇත.

                       ඉතා පැහැදිලිව, අපි සන්නද්ධ දේශපාලනය විශ්වාස නොකරන තරම්ම මේ ඉහත ව්‍යාජ මාධ්‍ය දේශපාලනය ද ප්‍රතික්ෂේප කරන්නේමු. ලෙනින් නම් ගුරුවරයා පරිදි අප විශ්වාස කරන්නේ, පාර්ලිමේන්තු දේශපාලනය හරහා සිදු කරන කුමන්ත්‍රණයකි. මේ සඳහා ලංකාවේ උදාහරණ ඕනෑ තරම් ඇත. අපගේ ‘මෙහෙයුම් අක්ෂය’ අධිපති වනවා නම් අපි ඒ ගැන සලකා බලන්නෙමු.

                      අරගලය පැත්තෙන් අපට වැඩසටහනක් ඇත. සංවිධානයේ අලුත් ප්‍රතිව්‍යුහගත වීම් ගැන කියන්නට තවම මේ කාලය නොවේ. නමුත් තත්වය සුභදායක ය. නමුත් අහස අපැහැදිලි ය. අපගේ යෝජනාව වන්නේ, අපගේ ව්‍යාපාරය අලුත් තරුණ පරම්පරාවට අයිති අතර එහි උරුමය ඔවුන්ට භාර දීමට අපි සූදානම් බවයි. 

DKG

++++++++++++++++++++++++++++++++++++++++++++

අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය.

ඔබේ අදහස කියන්න...