1+1 = 3

 

තරුණ හේගල් ආදරයට ආශක්ත වූ හේතුව පැහැදිලි කරන ටොඩ මැක්ගොවන් සඳහන් කරන්නේ එය මිනිසුන් දෙදෙනෙක් අතර ඇති පරස්පරතා සහ ප්‍රතිරෝධයන් ධනාත්මක බලවේගයන්  (positive forces) ලෙස ක්‍රියාත්මක වන නිසා බවත් එම අනෙකාගේ ප්‍රතිවිරෝධයන් සහ අනන්‍යවීම හරහා තමා සහ අනෙකා අතර ඒකාග්‍රතාවයක් ගොඩනැගිය හැකිය යැයිද පෙන්වා දෙයි. ආදරයේ දේශපාලනය ගැන  කතා කළ බොහෝ දෙනෙකු කළේ දීප්ති සහ තමා අතර ඇති ප්‍රතිවිරෝධයන් ( ඇතැම්විට ඒවා ගැඹුරු පරස්පරාත්මක කරුණු නොවීය.) සළකුණු කර එය ඔහුව (සහ දේශපාලනය) හැර යාමේ හේතුවක් ලෙස පාදක කර ගැනීමය. ආදරය කරන්නා සහ ආදරය ලබන්නා (Subject and the love other) අතර ‘වෙනසක් ‘ සළකුනු නොවේ නම් එය තව දුරටත් ආදරය වන්නේ නැති බව මැක්ගොවන් සඳහන් කර සිටී. බලන්න ( Can Philosophy love? හි 4 වැනි පිටුව.)  ආදරය නම් ක්‍රියාව විසින් වෙනස මකාදැමීමට උත්සහ කළත් ආදරය බිහිවන්නෙම වෙනස සමඟ අනන්‍යවීම තුළමය.  මෙම සොයාගැනීම හරහා හේගල් මේ දක්වා පැවැති කාන්ට්ගේ තනි- පාර්ශවීය ආදරය අභියෝගයට ලක්කරයි. අනෙකා තමාට ආදරය කළද  නොකළද තමා ඔහුට හෝ ඇයට ඒකපාර්ශවීයව ආදරය කිරීම වෙනුවට හේගල් විසින් ක්‍රිස්තියානි අනේකත්වය මෙහිදී වඩාත් හොදින් ප්‍රති-ජීවනය කරයි.

                               තමා ආදරය කරන වස්තුවෙහි වෙනස නැත්නම් ‘පරස්පරබව’ මෙම හේගලියානු ආදර ක්‍රියාවේදී ප්‍රමුඛ වන අතර ආදරය කරන්නා ද්වීතියික තැනට පත්වේ. (සාමාන්‍යෙයෙන් වන්නේ ආදරය කරන කෙනා රෝමියෝ – ප්‍රමුඛ වීමය.) නමුත් ආදරයේදී සත්‍ය ලෙස සිදු වන්නේ ‘වෙනස’ විසින් ආදරය  කරනු ලබන්නාට සිය ආදරය පරිවර්තනය කර ගැනීමට උපකාර කිරීමයි. නැතිනම් වෙනස සමඟ අනන්‍යවීමට ඉඩකඩ ලබාදීමයි. X දේශපාලනය තුළ සිදු නොවුනේ මෙම සත්භාවී පරිවර්තන ක්‍රියාවලියයි. අනෙකාගේ (විෂ අන්තර්ගතය) තමා සමඟ එකඟ නොවන දෙය සමඟ තම ආදරය පරිවර්තනය කර ගැනීමට අවකාශය ලබා ගැනීම (දෙමළා, මුසල්මානුවා, යුදෙව්වා) අනාගත කොමියුනිස්ට් රූපකයක මූලික න්‍යායික  පදනම ලෙස මෙහිදී අපට තේරුම් ගැනීමට සිදුවේ. අවශ්‍ය වන්නේ නොතේරීම මත හැරයාම නම් ලාභ දෙය නොව (දීප්ති පොත්වල ඉරි ගසා ඇති ආකාරය නොතේරීම මත ඔහු හැර යෑම හෝ ඔහු කාර් එකකින් පැමිණීම නොතේරීම මත ඔහුට එරෙහි වීම) තමාට අනෙකා තුළ ‘නොතේරෙන දෙය’ ම තම අදරයේ පදනම ලෙස තෝරා ගැනීමය.

අපගේ අනාගත දේශපාලනයම සකස් වන්නේ ඉතාම ගැඹුරු ව්‍යුහාත්මක සහ මනෝ විශ්ලේෂි මූලයන් මතය. එවිට ආදරයේ දේශපාලනය යනු මිනිස් පැවැත්මේ ම කොටසක් ලෙස අපට තේරුම් ගැනීමට සිදුවේ. එනම් මැක්ගොවන්ට අනුව ක්‍රිස්තියානි ආදරය යනු ‘අනෙකාගේ වෙනස’ සඳහා ‘වරප්‍රසාදිත සත්භාවී ස්ථානයක්’ (a privileged ontological position) මේ අනුව අපට න්‍යායිකව ප්‍රායෝගික තලයේ ගොඩනැඟිය හැකිය. මෙම නව නිර්-බුර්ෂුවා ස්ථානය පවත්නා අධිපති අනෙකා මර්දනය කරන (වෙනස මර්දනය කරන) දේශපාලනයට එරෙහි විකල්ප ස්ථානයකි. නමුත් මෙය අනන්‍යතාවය පදනම් කරගත් පශ්චාත් නූතන අවකාශයක් ද නොවේ. ආදරය යන්න තම ලේඛනයෙන් කිසිදා ඉවත් නොකළ හේගල්ගෙන් අප ඉගන ගතයුතු පාඩම නම් ආදරය හරහා ගොඩනැඟෙන සදාචාරාත්මක මනුෂ්‍ය නිමේෂයයි. (ඉහත පිටුව 4) පසුගිය කාලය පුරාවටම අප ලිංගිකත්වය න්‍යායගත කිරීමට උත්සහ කළේ දේශපාලනය තුළ ඉස්මතුවන මානුෂික නිමේෂයන් වඩාත් ආචාරධර්මක කරනු පිණිසය. සාදාචාර යාන්ත්‍රණයක් ගොඩනගා ගැනීමට අත්‍යවශ්‍ය සාධකයක් ලෙස ආදරය හදුනා ගන්නා හේගල්  ( සහ මැක්ගොවන්) උදාහරණ ලෙස දක්වන්නේ පවුල සමාජිකයින් අතර ගොඩනැඟෙන සදාචචාර ආදරයයි.

 

                                මිනිස් සංකල්පයකට අනෙකාගේ ගුප්තබව මඟහැරිය නොහැකි මුත් ආදරයට එය මඟහැරිය හැක. වෙනත් වචනයකින් කිවහොත් සංකල්පය අසමත්වන අවස්ථාව වනාහි ආදරයේ නිමේෂයයි. එහෙයින් ආදරය ගණිත සංකල්පයකින් වෙනස් වේ. ගණිත මහචාර්යය වරයෙකුට ද්‍රවිඩ අනේකත්වයට අදරය කිරීමට නොතේරීම මේ අනුව අපට න්‍යායිකව තේරුම්ගත හැකිය. අනේකත්වයේ ගුප්ත (නොතේරෙන) ෆැන්ටාස්මතිකයට ඔහුට ආදරය කළ  නොහැක. නමුත් ක්‍රිස්තියානි ආදරයට (බටහිර රාජ්‍ය නොවන සංවිධාන වලට) එයට සමීප විය හැකියි. වෙනස එයයි. ආදරයට ඇද වැටීම මේ අනුව ක්ෂතියකි. යථකි. එය මඟහරින්නා හට ආදරය කිසි දිනෙක හමු නොවේ. විෂයේ තෘප්තිය අනෙකාගේ දෑත මත තැබීමේ අවධානම් සහගත මොහොත උදාකරන්නේ ආදරයේ නිමේෂයයි. එවිට අපට අවධානම් ලෙස අනෙකාව විශ්වාස කිරීමට සිදුවේ. ආදරයේ සාර්ථක බව ඇත්තේ මෙම අනියත බව තුළය. නමුත් මේ ගැඹුරු විශ්වාසයේ මොහොත X අනියත සංඥාව තුළ බිහි නොවූ බව අපගේ අද දවසේ විශ්වාසයයි. ශුද්ධ වූ අදහසක සංකල්පය අදර සම්බන්ධයකට අනුයුක්තව තිබීම සෑම විටම අතෘප්තිකර බව පවසන මැක්ගොවන් එසේ වුවද එම අතෘප්තිය තුළම තම ආදරයේ වස්තුව පිළිගැනීමටද ධෛර්යය තිබිය යුතු බව දක්වා සිටී.

                                  අප අනෙකාගේ ආදරය සැක කරන විටම අපට මුණ ගැසෙන්නේ අපගේම අහමට අනෙකා හරහා අපට ලංවීමට හැකි ආදර අවස්ථාව නම් ස්වරූප රාගයයි. මෙම ස්වරූපරාගය කොතරම් ආදරය සහ සම්බන්ධවී ඇත්දැයි කිවහොත් ස්වරූපරාගය නැතිවී යන මොහොතේ ආදරයද නැතිවී යා හැකිය. නමුත් අපට ස්වරූපරාගයේ සීමා අතික්‍රමණය කිරීමට මනෝ විශ්ලේෂණය උදව් කරයි. අප අනාගත කොමියුනිස්ට් රූපකය මනෝ විශ්ලේෂණය මත පදනම් කරනවා යයි කියන්නේ එබැවිණි. අනෙකාට කරන ආදරය තුළින්ම තමා තම ආත්මයට කරන ස්වරූපරාගී ආදරය අන් මගකට හරවන බව  (detour) ලැකාන් පවසන්නේ එබැවිනි. ක්‍රිස්තියානි මනෝ විශ්ලේෂී අයුරකින් ප්‍රකාශකළහොත් එයට ඔහු කියන්නේ ‘අනෙකා’ හරහා ආදරය කිරීම යනුවෙනි.

Mahesh Hapugoda

ඔබේ අදහස කියන්න...