20 වැනි සියවසේ ලියැවී අප අතට පත්වූ ව්ලැදිමීර් නබකෝව්ගේ ‘ලොලීටා’ නම් කෙටි නවකතාව මිනිසාගේ ආශාවේ අක්ෂර වින්‍යාසය ගැන මෙතෙක් රචනා වූ හොඳම සාහිත්‍ය කෘතිය ලෙස සැලකෙයි.

 

90 දශකයේදී මෙම කෙටි නවකතාව සිංහලට පරිවර්තනය වූ අතර එහිදී අපූර්ව සාහිත්‍ය සිදුවීමක් සිදු විය. ඉංග්‍රීසියෙන් පළ වූ නවකතාව කෙටි වුවත් එහි සිංහල පරිවර්තනය විශාල එකකි. එක භාෂාවකින් තව භාෂාවකට කතාවක් පරිවර්තනය වන විට මුල් කෘතියට වඩා දෙවැන්න විශාල වීම ගැන කුතුහලයක් මට ඇති විය. මේ පිළිබඳව එහි ආධිපත්‍යය සහිත පරිවර්තකයා වන K.K. ගෙන් ඇසූ විට ඔහු චමත්කාරජනක පිළිතුරක් ගොනු කළේය. “මචං මම නබකෝව්ට වඩා ලොලීටාට ආදරෙයි. ලොලීටා සහ හම්බර්ට් අතර අව්‍යාජ ආදරය මැදට කඩාපාත් වූ ක්ලෙයාර් ක්විල්ටී නම් චරිතය මට නම් හරි ජුගුප්සාවක්. ක්විල්ටී නම් පසමිතුරා ගැන නබකෝව් ලියා තිබෙන දෙය මදියි. මට අවශ්‍ය වුණා ක්විල්ටීගෙන් ‘වඩා’ පලිගන්න. ඒ කර්තව්‍ය ඉෂ්ට කරගන්න මම අමතර පරිච්ඡේද කිහිපයක් එකතු කරා.’’

‘වැලිකතර’ චිත්‍රපටය පිළිබඳව අපගේ අර්ථකථනය නිවැරදි නම් එමගින් අප අවබෝධ කරගත් සත්‍යය අපට ‘ලොලීටා’ නවකතාව කරා ද රැගෙන ආ හැක. අපගේ විග්‍රහයට අනුව ගෝරිං යනු ASPවරයාගේ බාහිර සතුරෙක් නොව ඔහුගේම ආශාවේ අතිරික්ත දැනුමකි. ඔහුට යථාර්ථය ගැන සංවේදනයක් ඇති කර ගැනීමට නම් ආත්මීය වශයෙන් නැසිය නොහැකි ගෝරිං නම් අභ්‍යන්තර බාධාවක් අවශ්‍යය. ඔහු අතීතයේ යම් ස්ත්‍රියක් සමග ප්‍රේමයෙන් වෙලී සිට ඇත. පසුව ඔහු ඇයට විනාශ වන්නට ඉඩ දී ඇත. ඔහු එය කළේ ඇයි දැයි ඔහුටම හේතුවක් නැත. හේතුව අතුරුදන් වී ඇත. හේතුවක් නැතිව විඳවනවා වෙනුවට ඔහු පසුව ගෝරිං නම් හේතුවක් නිපදවා ගනියි. එවිට ඔහුගේ බාහිර යථාර්ථය සංගත වෙයි. ස්ත්‍රිය නම් අවිඥානක ආශාවේ තර්ජනාත්මක ක්ෂතිමය සාරයෙන් ගැලවෙන්නට (හේතුවක් නැතිව විඳවන නිසා එම තත්ත්වය රෝග ලක්ෂණයකි) ඔහු බාහිරින් ගෝරිං නම් සාපරාධී අපරාධකරුවකු සොයා ගනියි. ඒ අනුව ගෝරිං යනු නීතිය සහ පොලීසිය නම් ඥානය මත පදනම් වූ සංකේතීය ප්‍රබන්ධයකි. ඥාන – ගවේෂණය යනු ඒ අනුව ප්‍රබන්ධ තලයට අයිති එකකි. එය ධනාත්මකය. නමුත් එහි කණපිට පැත්ත සද්භාවවේදීය. (Ontology) එනම් ඔහුගේ ජීවිතයේ නියම ප්‍රශ්නය යනු ස්ත්‍රිය යනු කවුද යන්නය. නැතහොත් ස්ත්‍රිය යනුවෙන් සත්වයෙක් ඇත්තටම පවතීද? එවැන්නෙකුගේ ආකෘතිය කුමක්ද? මේ වනාහි සත්තාව නැතහොත් සැබැවින්ම පවතින්නේ කුමක්ද යන ප්‍රශ්නය අරබයා වර නැගෙන ආත්මීය ප්‍රශ්නයන්ය. ඒවා අපට සැබෑව සහ නිශේධනය සම්මුඛ කරවයි. අප සතුව තිබෙන සංකේතාත්මක උරුමය අපගෙන් පැහැර ගන්නේ මේ සැබෑව (Real) සහ නිශේධනයන්ය. (Negations) ASPවරයාගේ සංකේත තටු කපා දමන්නේ ගෝරිංගේ නැගණියයි. එම ක්ෂතිමය අත්දැකීමෙන් ගැලවීමට අප ගෝරිං නම් යථාර්ථයක් නිපදවයි.

එසේ නම් ‘ලොලීටා’ නවකතාව තුළ ඇති අසංගතභාවය කුමක්ද? K.K. ගේ ඥානයට අනුව ක්විල්ටී යනු හම්බර්ට්ගේ බාහිර සතුරාය. මීට දශක දෙකකට පෙර, එනම් මීට වසර 20 කට පෙර ලොලීටා නම් ෆැන්ටසිය සාක්ෂාත් කර ගැනීමට යාමේදී අපට හමුවන බාහිර කෘෘර බාධාව වන්නේ මෙම ක්විල්ටී නම් මතිභ්‍රමවාවදී (Paranoiac) චරිතයයි. ඒ යුගයේදී අපට ඒ දේවල් එසේ පෙනී යාම අප කාටත් යහපතක් විය. ‘වැලිකතර’ අර්ථකථනය හරහා මිනිස් ආශාවට අප රැගෙන ආ නිගමනයන් අප ‘ලොලීටා’ කියවීම සඳහා ද අදාළ කර ගන්නේ නම් තත්ත්වය උඩුයටිකුරු වෙයි. සර්පයා ලෙනින් නම් ශ්‍රේෂ්ඨ චින්තකයා ප්‍රකාශ කළ අදහස් දෙකක් ‘ලොලීටා’ කියවීමේදී සහ පරිවර්තනය කිරීමේදී අමතක කර ඇත.

(A) එකිනෙකට විරුද්ධ සේ පෙනෙන දේවල් එකිනෙක ඌන-පූරණය ද කරන්නේය. – මෙය චීන කියමනකි. මම හිතුවක්කාර ලෙස එය ලෙනින්ගේ උධෘතයක් ලෙස සලකමි. ඉහත අදහසේ හරය මෙසේය. බැලු බැල්මට එකිනෙකට පරස්පර යයි පෙනී යන දේවල් එකිනෙකෙහි අඩු පාඩු පූරණය කරන්නේය. ඒවා ඒකාත්මික කරන්නේය. තවත් සරලව කිවහොත් නිශ්චිත තත්ත්වයන් තුළ ප්‍රතිවිරෝධී පැති දෙක (හම්බර්ට් සහ ක්විල්ටී නම් පසමිතුරන්) වෙනත් තත්ත්වයක් තුළ එක්සත් වී ඒකීයභාවය ඇති කරගන්නා බවය.

(B) අපට ගැලපෙන අර්ථයෙන් ගත් විට දයලෙක්තිකවාදය යනු වස්තූන්ගේ හරය තුළම තිබෙන ප්‍රතිවිරෝධය අධ්‍යයනය කිරීම වේ. අපගේ උදාහරණයට අදාළ කරන්නේ නම් ‘ලොලීටා’ නම් ෆැන්ටාස්මැතික වස්තුවේ හරය තුළ ඇති ප්‍රතිවිරෝධය හම්බර්ට් සහ ක්විල්ටීය.

මීට වසර 20 කට පමණ පෙර මමත් තවත් බොහෝ දෙනෙක් ද හම්බර්ට් සමග සතුරු වන ක්විල්ටීව සලකා බැලුවේ බාහිර සතුරු ප්‍රතිරූපයක් ලෙසිනි. නමුත් ලෙනින්ගේ සත්‍යයට අනුව ක්විල්ටී යනු ලොලීටා නම් අපට විනෝදය සපයන වස්තුව තුළම ඇති පරස්පරයකි. ක්විල්ටී නම් සතුරෙක් නැති වුවහොත් අප කෙලින්ම ආශාවේ වස්තුව වන ලොලීටා වෙතට නිරාවරණය වෙයි. එවිට ‘ලොලීටා’ යනුද යථාර්ථයේ අපට පෙනෙන අන්‍ය ස්ත්‍රීන් මෙන් සාමාන්‍ය කෙනෙකු වනු ඇත. ‘ලොලීටා’ කෘතිය මෙතරම් ආශ්වාදයක් ජනනය කරන්නේ ඒ තුළ මහා අනෙකා විසින් සංගත කරන ලද ෆැන්ටසියක් නිසාය. මහා අනෙකා අපට යෝජනා කරන සංගත ෆැන්ටසිය කුමක්ද? “හිතන්න ඔබ මැදිවියේ පිරිමියෙක් කියලා. ඔබට හමු වෙනව වයස 14 ක පමණ ගැටවර කෙල්ලක්. පේර ගැට වැනි තන් සහිත පැදුරක් මෙන් පැතලි බඩක් සහිත, උණ බට මෙන් ඍජු දිගු කලවා ඇති මෙම ගැටවර කෙල්ලට හේතුවකින් තොරව ඔබ ආකර්ෂණය වෙයි.’’ නවකතාවේ කතා සාරාංශය එයයි. මෙවැනි ආශාවක් ඔබට පහල වූ වහාම මිනිසාට අවිඥානයක් ඇති බව අමතක වෙයි. (K.K. ට මෙන්) දැන් ඔබ ක්‍රම ක්‍රමයෙන් මෙම ආශා කරන වස්තුවට සමීප වෙයි. චිත්‍රපටය නරඹන විට මෙම හැඟීම ඔබට ඇති වෙයි. ඔබ ගැන ඔබට වඩා දෙයක් දන්නා අවිඥානය ඔබගේ මිතුරෙක් ලෙස මෙතැනදී මැදිහත් වෙයි. ඔබට වඩා හොඳින් අවිඥානය ඔබගේ ආශාවේ අක්ෂර වින්‍යාසය දනියි. එසේ දන්නා නිසා ඔබට වඩා හොඳ දැනුමක් ඇති අවිඥානය දන්නව ඔබ ‍මේ ආශා කරන වස්තුව ඔබ සතු වුවහොත් ඔබගේ ආශාව මිය යන බව. එනිසා අවිඥානය කරන්නේ ඔබගේ ආශාවට සතුරකු හඳුන්වා දීමයි. ක්විල්ටී යනු ඔහුයි. පසමිතුරා යන සිංහල වචනයේ අර්ථ දෙකක් ඇත. එකක් මිතුරාය. අනෙක සතුරාය. ක්විල්ටී යථාර්ථය නම් ප්‍රබන්ධය තුළ සතුරෙකි. නැතිනම් ඔබගේ ආශාව කුළුගැන්වෙන්නේ නැත. අනෙක් පසින් යථාර්ථය තුළ නැති සැබෑව තුළ, එනම් අවිඥානයට අනුව ඔහු මිතුරෙකි. මේ මිතුරා නොමැතිනම් ඔබගේ ‘ලොලීටා’ උත්කර්ෂවත් වස්තුවක් වන්නේ නැත.

අපි දැන් මාඕ නම් දේශපාලකයා හරහා ‘ලොලීටා’ කියවමු.

ප්‍රතිවිරෝධී පැතිවලින් එක් එක් පැත්ත අනෙක් පැත්තේ පැවැත්ම සඳහා ‘තත්ත්වය’ නිපදවයි. හම්බර්ට් සහ ක්විල්ටී නම් ප්‍රතිවිරෝධී චරිත දෙක එකිනෙකා මත පරායත්තය. එක් අයෙකු නැති තැන අනෙකා අතුරුදන් වෙයි. සරලව කිවහොත් ‘ලොලීටා’ නම් ස්වයං-මෛථුන ෆැන්ටසිය හුදෙකලාව පැවතීමට ඉඩක් නැත. එහි ස්වායක්ත බව ආරක්ෂා කිරීමට පරායත්ත තවත් අගතිගාමී ෆැන්ටසියක් ද අවශ්‍යය. එය ක්විල්ටී ෆැන්ටසියයි. ‘ලොලීටා’ ව ලබා ගත හැකි සහ ලබා ගත නොහැකි යනුවෙන් චින්තන ප්‍රවර්ග දෙකක් නිෂ්පාදනය වන්නේ මෙම ෆැන්ටසි දෙක අතර පරතරයක් පවතින නිසාය. මෙම ෆැන්ටසි දෙක ස්වකීය පැවැත්ම සඳහා එකිනෙක මත පරායත්ත වීමෙන් කාරණය අවසන් නොවේ. ඒ කියන්නේ, නිශ්චිත තත්ත්වය තුළ, එක් දෙයක් තුළ ඇති ප්‍රතිවිරෝධී පැතිවලින් එක් එක් පැත්ත ස්වකීය ප්‍රතිපත්තිය බවට පරිවර්තනය වෙයි. එනම් එක් මොහොතකට පසු හම්බර්ට් ක්විල්ටී වන බවය. නැතහොත් ක්විල්ටී හම්බර්ට් වන බවය. ඕනෑම ප්‍රතිවිරෝධයක් එකතැන පල් නොවී චලනය වෙයි. ඒ අනුව අපට වැටහෙන්නේ හම්බර්ට් සහ ක්විල්ටී අතර අනවරත අරගලය යනු ලිංගික සබඳතා යනුවෙන් සැබෑවට දෙයක් නැති බවය. හම්බර්ට්ගේ ලොලීටා යනු ඔහු ‘ඔහු’ සමගම සම්බන්ධ වීමක් පමණි. ‘ලොලීටා’ යනුවෙන් කෙනෙක් සැබෑ ලෝකයේ නොපවතියි. ‘ලොලීටා’ යනු පුරුෂ රෝග ලක්ෂණයක සමාජමය අගතියක් පමණි. මහා අනෙකා පිරිමින්ට කුඩා කල සිට කියන්නේ ගැටවර ස්ත්‍රියකගෙන් ලැබිය හැකි ලිංගික තෘප්තිය වඩා වැඩි එකක් බවයි. එවැනි වස්තුවකට කිට්ටු වීමේදී එවැන්නක් සැබැවින් නැති නිසා වාස්තවික ලෝකය හම්බර්ට් සහ ක්විල්ටී ලෙස උභයාවේගී වෙයි. ලොලීටාලා පතන ලෝකයක හම්බර්ට්-ක්විල්ටී ලෙස ද්වෛතයක් බිහි වීම අනිවාර්යයකි. අනෙක් පැත්තෙන් මෙම අනිවාර්යය පසු ආවර්තනයකි. එම නිසා අපට මේ හමුවන අනිවාර්යය සහ අහම්බය යනු අතීතය විවෘත බව වටහා ගැනීමකි. 90 දශකයේදී Titanic චිත්‍රපටය අප දුටුවේ ආදර කතාවක් ලෙසිනි. නමුත් වසර 20 කට පසු අප එය දකින්නේ කෙසේද? අනන්‍යතා අර්බුදයකින් පෙලෙන ‘රෝස්’ විසින් තමන්ගේ අනන්‍යතාවය යළි පිහිටුවා ගැනීමට ජැක්ව පාවිච්චි කර ඉවතට විසිකරන ලදී. අද එය පාවා දීමේ කතාවකි.

Deepthi Kuamara Gunarathne

Courtesy by LANKANEWSWEB

ඔබේ අදහස කියන්න...