අප පක්ෂයට ලැබන ආධාර (donation) සම්බන්ධයෙන්  පක්ෂ සාමාජිකයෙකු විසින් ප්‍රශ්නයක් මතු කරයි. එය මෙසේය. ‘සහෝදරයා ඇත්තටම වැඩ කරන්නේ ඔයාල උනාට පක්ෂයට ලැබෙන ආධාර යන්නේ වෙන කට්ටියකට නේද? ඇයි එහෙම වෙන්නේ ?’ . දේශපාලනය කිරීමේදී පක්ෂයේ ආර්ථිකය යනු ඉතා වැදගත් කාරණයකි. මුදල් තිබු පමණින් බලය අත්පත් කරගත හැකි බව ඉන් අදහස් නොකරයි. නමුත් මුදල් නැති විට සිදුවන්නේ ජනතාව අතරට දේශපාලන පණිවුඩය ගෙන යාමට හැකි අවස්ථාවන් සීමාකාරී වීමයි. සමස්ථයක් ලෙස අප පක්ෂය මේ දක්වා ගොඩනැගුනේ පක්ෂ ගිණුමේ මුදල් නොමැතිවය. කෙසේවෙතත් එය අපගේ න්‍යායික ගොඩනැංවීමට කිසිසේත් බාධාවක් නොවිණ. එවැනි සන්දර්භයක් තුල ඉහත පක්ෂ සාමාජිකයා අසන ප්‍රශ්නය කුමක්දැයි ගවේෂණය කිරීම ඉතා වැදගත් වේ.

පක්ෂ ගිණුම් වල වැඩිම මුදල් ප්‍රමාණයක් තැන්පත් කර ඇති පක්ෂය කුමක්දැයි කෙනෙකුගෙන් ඇසුවහොත් ඔහු /ඇය ලබා දෙන පිළිතුර වන්නේ ඒ යු.එන්.පී එක බවයි. නමුත් අප හොදින්ම  දන්නා පරිදි යු.එන්.පී පක්ෂ අරමුදලේ එතරම් විශාල මුදලක් නැත. ඊට සාපේක්ෂව ජ. වී.පෙ පක්ෂ ගිණුමේ වක්‍රව ඇති මුදල ලක්ෂ 3000 කට වඩා අධිකය. ජාතිකත්වය පිළිබද කතා කරන පක්ෂයේ ගිණුමේ ඇති මුදල ලක්ෂ 7000 ඉක්මවයි. ලංකාවේ ඉතාම ස්ථාවර ව්‍යාපාර ගණනාවක් ජ. වී.පෙ විසින් මෙහෙයවනු ලබයි. ජ. වී.පෙ ඛණ්ඩනය වන විට එම පක්ෂයට ඇතිවන විශාලම පාඩුව වන්නේ සාමාජිකයන් අඩු වීම හෝ මතවාදී පුපුරා යාම නොව මෙම ව්‍යාපාර (Business) බෙදී යාම නිසා සිදුවන ආර්ථික අලාභයයි. මීට අමතරව ජාත්‍යන්තර කම්කරු සංවිධාන සමග සම්බන්ධ වාමාංශික පක්ෂ වලට මසකට ලක්ෂ 4 ක පමණ අධාර මුදලක් එම කම්කරු සංවිධාන විසින්  ලබා දෙයි.

ව්‍යාපාර වලින් ලබන අදායමට අමතරව ලංකාවේ වාමාංශික පක්ෂ වලට විශාල වශයෙන් ආධාර මුදල් ලබා දෙන්නේ විදෙස් ගත සාමාජිකයන් විසිනි. ඔවුන් බොහෝ දෙනා ඔස්ට්‍රේලියාව , නවසීලන්තය , සිංගප්පුරුව , ඉතාලිය වැනි රටවල ශ්‍රමිකයන් සහ පුරවැසියන්ය. මේ දින වල තැන් තැන් වල හතු පිපෙන්නාක් මෙන් එළිදක්වන  සගරා සදහා වාමාංශික පක්ෂයක්  විසින් ආයෝජනය කරනු ලබන්නේ ද මෙම මුදල්ය. ඒ සියලු ආයෝජනයන්හි අරමුණ වන්නේ අප පක්ෂයට පහර දීමයි. අපගේ අදහස් කොපි කරන , අපට විරුද්ධ , පොත්වල පිටකවරයවත් හරියට කියවන්න දන්නේ නැති කාලකන්ණි කුලියට ගෙන  සගරා නොව ත්‍රිපිටකය , පන්සීය පනස් ජාතකය වැනි තඩි පොත් ගැහුවත් තමන්  වාමාංශික යැයි කියාගන්නා මෙම තක්කඩි රැළට හිමි අනාගාත ඉරණම වෙනස් කල නොහැක.

මනෝවිශ්ලේෂණයට අනුව එකී සගරා වල ලේඛකයන් යනු විපරීතයන් සහ සයිකෝසිකයන්ය. සයිකෝසිකයා සංකේත ලෝකයට ඇතුළු වීම මුල් අවස්ථාවේම අවුරාලනු ලබයි. මේ නිසා සයිකෝසික කතිකාවක් තුල දකින්නට ලැබෙන්නේ බාහිර යතාර්ථය පිළිබද පුද්ගලික අදහස් පමණි. උදාහරණයකට එක්තරා විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් දේශපාලන ප්‍රපංචයක් විග්‍රහ කිරීමේදී ඉදිරිපත් කරනු ලබන්නේ ඒ පිළිබද තමාගේ පුද්ගලික අදහසයි. මෙම ආචාර්යවරයා තමාට බාහිරින් සංකේත යථාර්ථයක් පවතින බව පිළිනොගනී. මේ  නිසා ඔහුත් , ඔහුගේ අනුගාමිකයන් සහ විවේචකයන් ඇතුළු සියලු දෙනා සයිකෝසික අවකාශයක දේශපාලන සංවාද කරමින් නිකරුනේ කාලය ගෙවා දමයි. මෙවැනි ආචාර්යවරුන් නඩත්තු කිරීම සදහාද මාසිකව  ලක්ෂ 1 ½ පමණ මහජන මුදලක් වියදම් වේ.

සයිකෝසියාව සහ  විපරීතභාවය යන රෝග ලක්ෂණ දෙක  සැලකු විට සම්ප්‍රදායික ලැකානියානු විග්‍රහයට  අනුව මෙම රෝග ලක්ෂණ දෙක  සදහා පිතෘ ක්‍රියාව නම් සාධකය ඉතා වැදගත් වේ. සයිකෝසියාවෙදී පිතෘ ක්‍රියාව සම්පුර්ණයෙන්ම සිදු නොවන අතර විපරීතභාවයේදී පිතෘ ක්‍රියාව සිදුවන්නේ අසම්පුර්ණවය. විපරීතභාවයේදී පියාගේ ‘එපා’ (No) යන අණ පැමිණෙන නමුත් පියාගේ නාමකරණය (Name-of-the-Father) සිදුවන්නේ නැත. මේ නිසා බාහිර යතාර්යයේ කොටසක් නොපෙනී යයි. දේශපාලන සන්දර්භයකදී  මෙම පිතෘ ක්‍රියාව බිහි වන්නේ පවුල තුල සිටින පියාගෙන් නොව සමාජ අවකාශයේදී මුණගැසෙන ස්වාමි හැගවුම්කාරකය  මගිනි. ඉහතදී  සගරා වල ලේඛකයන් විපරීතයන් ලෙස හදුන්වන්නේ ඔවුන් සියලු දෙනාට ලියන්න හැකිවන්නේ බාහිර යථාර්ථයේ කොටසක් නොපෙනී යන විට පමණක් නිසාය . එනම් අප පක්ෂය නොපවතින්නේ යැයි සියලු දෙනා උපකල්පනය කරයි. දීප්ති නැති, මනෝවිශ්ලේෂණය නැති, විනෝදය සහ දෘෂ්ටිවාදය පිළිබද විචාරය නැති අවකාශයක කරන දේශපාලනයක් ගැන ඔවුන් කතා කරයි.

විපරීතයන්ගේ මෙම සියලු ක්‍රියාකාරකම් හරහා ඔවුන් ඉල්ලා සිටින්නේ පියාගේ සංකේත නීතිය නැවත ස්ථාපිත කිරීමයි. වර්තමානයේ අප පක්ෂය අනෙකා කරගනිමින් ගොඩනැගෙන  සියලු විපරීත වාමාංශික බලවේග විසින් ඉල්ලා සිටිනු ලබන දෙය වන්නේද එයයි. නමුත් කිසිවිටෙකත් ඔවුන් ඒ බවක් තේරුම් ගන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් විටෙක ස්වපීඩාකාමීන් වෙමින් අනෙකාගේ  ප්‍රහාර වල වස්තුවක් බවට පත්වෙයි. තවත් විටෙක පරපීඩාකාමීන් වෙමින් අනෙකා දුකට ,නින්දාවට  පත් කරන වස්තුවක් බවට පත්වෙයි. මෙම විපරීත අවකාශය තුල අප පක්ෂයේ මැදිහත් වීම විපරීතයන්ට අහිමි වී ඇති සංකේත නීතියේ සහ ස්වාමි හැගවුම්කාරකයක අඩුපාඩුව සම්පුර්ණ කිරීමකි . බොහෝ විපරීතයන් අපි කරන වැඩ මොනවද ? දීප්ති මොනවද කරන්නේ ? යන ආදී ප්‍රශ්න නිතර නිතර අසන්නේ මෙම පරිපුර්ණත්වය ලබා ගැනීමටය.

ලංකාවේ වාමාංශික දේශපාලනයට ආකර්ෂණය වන බොහෝ දෙනාගේ අශාවද  විපරීත වේ. ඔවුන් බොහෝ දෙනා සිදුකරන දේශපාලන ක්‍රියාව ස්වපීඩාකාමීය. උදාහරණයකට පැරණි X කණ්ඩායමට දුරපළාත් වලින් පැමිණි බොහෝ සාමාජිකයන් සංවිධානය තුල රැදී සිටියේ  X නිවසේ බිම පොලිෂ් කිරීම , bookmark විකිණීම වැනි ශරීරයට වේදනා ගෙනදෙන ක්‍රියාකාරකම් වල නිරත වීමට ඇති  ස්වපීඩා-ආශාව නිසාය.  ඔවුන් විසින් හදාරනු ලැබූ දේශපාලන න්‍යායක් නොමැත.

සමකාලීන ධනවාදය සමග පුද්ගලයාට සම්බන්ධ විය හැකි මානසික ආකෘතිය වන්නේද විපරීතභාවයයි. මේ නිසා අද බොහෝ දෙනාගේ හැසිරීම විපරීතය. ෆ්‍රොයිඩ්ට අනුව වර්ගයා බෝ කිරීම හැරුණු කොට සිදුකරන ඕනෑම ලිංගික සම්බන්ධයක් විපරීත වේ. ඒ අනුව විපරීත ලිංගිකත්වය යනු සාමාන්‍ය ලිංගිකත්වයයි. මේ නිසා විපරීත යන පදය කෙනෙකුට අවනම්බු කිරීම සදහා  භාවිතා කල නොහැක. තනි ස්ත්‍රියක් සමග ලිංගික සම්බන්ධතා පැවැත්වීම වෙනුවට ස්ත්‍රීන් දෙදෙනෙකු සමග ලිංගික සම්බන්ධයක් පැවැත්වීම මගින් කලින්ට වඩා වැඩි විනෝදයක් ලැබිය හැකි බව විපරීත මතයයි. විපරීතයා සංකේත නීතියට නිසි පරිදි ඇතුළු කර නැති නිසා ඔහු සෑම විටම පවතින සංකේත නීතිය එළිපිටම කඩමින් විනෝද වීමට උත්සහ කරයි. පාර මාරු වන විට කහ ඉරෙන් පාර මාරු වීම සංකේත නීතියයි. නමුත් විපරීතයා  අසන්නේ ඇයි කහ ඉරෙන් යන්නේ නැතිව වෙන තැනකින් යන්න බැරිද?, කහ ඉර ආවේ කොහෙන්ද ? යන ආදී ප්‍රශ්නයි. වමේ දේශපාලනය තුල රැඩිකල් චරිත බිහි වී ඇත්තේද මෙවැනි විපරීත ප්‍රශ්න ඇසීමෙනි. පවතින සංකේත නීතිය වෙනස් කිරීමට එය ප්‍රශ්න කල යුතුය. නමුත් ඒ එක්තරා නැංගුරම් ලක්ෂයක සිට ඉදිරියට වර්ධනය වන අකාරයටය. ගැහැණු දෙදෙනෙකු සමග ලිංගික සම්බන්දතා පැවැත්වීමෙන් විපරීතයාට ලැබිය හැකි අතිරික්ත විනෝදයක් නැත. ඒ තුල රැඩිකල් බවක්ද නැත. ඉන් ඔහු කියා සිටින්නේ තනි ගැහැනියක සමග තමාට සම්බන්ධ වීමට නොහැකි වීමේ අඩුපාඩුව පුරවා දෙන ලෙසයි. 

දැන් අප නැවතත් ලිපියේ මුල් කාරණය වන පක්ෂ අරමුදල් පිළිබද සාකච්ජාව යොමු වෙමු. අපට අනුව ලංකාවේ වැඩිම දේශපාලන ප්‍රාග්ධනය ඇත්තේ ජ.වී.පෙ ටය(අවශ්‍ය නම් මෙය සනාථ කිරීම සදහා ගිණුම් වාර්තා ඉදිරිපත් කල හැක). ඉතාම සරළ ඇදුම් වලින් සැරසී ජ.වී.පෙ නායකයා විදේශගත පක්ෂ සාමාජිකයන් හමුවීමට යන්නේ මෙම ප්‍රාග්ධනය වැඩි කර ගැනීමටය. සරලව කිවහොත් හිගා කෑමටය. ඔස්ට්‍රේලියාව වැනි රටක තුන්වෙනි පුරවැසියන් ලෙස වෙසෙන පැරණි ලාංකියක් වූ අය අනුර කුමාර දුටු විට ‘ අනේ මේ මම ඉපදුනු රටේ දුප්පත් මිනිස්සු වෙනුවෙන් කතා කරන නායකයා නේද? අනුර සහෝදරයා මෙන්න මගෙනුත් පොඩි  අධාරයක්’ යැයි කියමින් මේ හිගන්නාගේ පාත්‍රය  පුරවයි. මේ ආකාරයට එකතු කර ගන්නා මුදල් වලින් ලංකාවේදී ජ.වී.පෙ සාමාජිකයන් හොර රහසේ විනෝද වෙයි. මේ සදහා ඔවුන් තෝරා ගන්නේ බෙන්ස් , අවුඩි, පර්ජෝ මෝටර් රථ නොව ටොයෝටා හයිලක්ස් කැබ් රථයි. හිටපු සංස්කෘතික කටයුතු ඇමති විජිත හේරත්ගේ ඇග දිහා බලන ඕනෑම කෙනෙකුට ඔහු රහසින් විනෝද වී ඇති අකාරය කොයිතරම් දැයි සිතාගත හැක.

අතීතයේදී X කණ්ඩායමටත් ,  වර්තමානයේ ගල්කිස්ස නිවසේ පදිංචි වී ඇති භූතයන්ටත්   තවමත් ආධාර මුදල් ලබා දෙන්නේ ඔස්ට්‍රේලියාව , සිංගප්පුරුව වැනි රටවල වෙසෙන රට හැරගිය අය සහ ශ්‍රමිකයන් විසිනි.  මේ සදහා වර්තමානයේදී  ආධාර ලබා දෙන අයගේ සිත සැනසීම සදහා සතියකට වතාවක් ධර්මදේශනයක් පැවැත්වීම සිදුකෙරෙයි. මේ ආකාරයට මුදල් ලබා දෙන අය ලංකාවට පැමිණි විට මෙකී දේශපාලන ක්‍රියාධරයන්ව හමු වීමට පැමිණෙයි. එවිට මෙම නිවසේ ගෘහ මුලිකයා වන ඊනියා නායකයා තම හෙන්චයියන්ට දින තුනක් ස්නානය තහනම් කරයි. නිවස අතුගෑම , පිළිවෙලකට තබා ගැනීම තහනම් කරයි.ඔවුන්ව දකින නිවසට පැමිණෙන කළුසුද්දාට මෙසේ සිතෙයි. ‘අනේ සහෝදරවරු අරගලය වෙනුවෙන් කැපවෙන තරමක්, හරියට නාන්න කන්නවත් වෙලාවක් නැහැ, නිර්ධන පන්තියේ දුප්පත් මිනිස්සු වෙනුවෙන් වෙන මහන්සිය’. මෙසේ සිතමින් නැවත විදේශගත වන ඔහු ලක්ෂ 20ක් නායකයාගේ ගිණුමට බැර කරයි. ඉන් පසු ගල්කිස්සේ නිවස ඔස්ට්‍රේලියාව බවට පත් වෙයි. තවත් විදේශ ගත ආධාර කරුවෙක් පැමිණෙන තෙක් නිවස තුල වෙසෙන භූතාත්ම සුඛෝපබෝගී ජීවිත ගත කරයි. ලක්ෂ 20 ලබා දුන් පුද්ගලයා නැවත නායකයා හමුවට පැමිණි විට ඔහුගේ අණට අනුව යමින් ලබා දුන් මුදලට කෘතගුණ සැලකීමක් වශයෙන් සමජිකයෙකු විසින් පක්ෂය විසින් ඉතා මහන්සියෙන් මුද්‍රණය කරන ලද පොත් අඩංගු අටපිරිකරයක් අධාරකරුවාට පුජා කිරීමටද කටයුතු සම්පාදනය වේ.

දැන් අප නැවතත් අපගේ පක්ෂ සාමාජිකයා විසින් අසන ලද මුඛ්‍ය ගැටලුව වෙත යොමු වෙමු. මෙම ආධාර මුදල් නියම තැනට නොපැමිණෙන්නේ ඇයි?. ඒ සදහා ඇත්තේ සරළ පිළිතුරකි. ආධාර ලබා දෙන බොහෝ දෙනෙකු අප දේශපාලන බලය ලබා ගන්නවාට කැමති නැත. මන්ද එවිට ඔවුන් බලාපොරොත්තු වන දුප්පත් ශ්‍රී ලංකාව තවදුරටත් පවතින්නේ නැත. ඕස්ට්‍රේලියාවේ වෙසෙන ලාංකිකයා ලංකාව දෙස බලන්නේ ගොදුරක් –Victim-දෙස බලන අකාරයටය. ඔහුට ධනවතෙකු, සල්ලිකරයෙකු නැතිනම් සරලව කිවහොත් ලොකු පොරක් විය හැක්කේ මෙවැනි දුප්පත් රටක් සදාකාලිකව පවතිනවානම් පමණි. ලංකාවට පැමිණෙන විට කාලකන්නි ගුවන්තොටුපල දැකීමට මෙම විදෙස්ගත ලාංකිකයන්  කැමතිය. මේ නිසා ඔවුන් ක්‍රමය පවත්වාගෙන යාමට උදවු කරන පක්ෂ වලට ආධාර කරයි.අපට බලය හිමිවූ විට මෙම ලාංකිකයාගේ ආත්මයම විනාශ වී යයි. එදාට  ලංකාව යනු දියුණු රටකි. ඕස්ට්‍රේලියාවේ සිට පැමිණෙන අයට ‘සිත සනසා ගන්නට නේද ආවේ’ කියා කනට ගසා එලවා දැමීමට එදාට මෙරට වැසියන් ක්‍රියාකරනු ඇත.

මේ දක්වා පැහැදිලි කරනු ලැබුවේ අපට යු. එන්. පී යැයි චෝදනා කරන  බොහෝ පිරිසකගේ දේශපාලන වටපිටාවයි. අප වාමාංශික පක්ෂයක් වුවද පහල පන්තියේ හෝ නිර්ධන පන්තියේ විඥානය වෙනුවෙන් පෙනී සිටින්නේ නැත. මේ දක්වා වමේ ව්‍යාපාර ගොඩනැගුනේ නිර්ධන පන්තියේ විඥානය මත පදනම් වෙමින්ය. ලංකාවේ නිර්ධන පන්තිය යනු හරියට අයිස් ක්‍රීම්  එකක් නොකෑ, හරියට පරිප්පු හොද්දක් ,පොල් සම්බෝලයක් නොකෑ , කලාවක් සංස්කෘතියක් නැති තක්කඩිය. එවැනි අයට දේශපාලන විමුක්තිය ලබා දිය හැකි වන්නේ  අපට නොව මහින්ද රාජපක්ෂ වැන්නන්ටය.   

PBM

 

 

 

 

ඔබේ අදහස කියන්න...