සෝමලතා සුබසිංහ නම් ලංකාව බිහිකළ එකම නාට්‍යවේදිනිය සමුගනී..

 

ශ්‍රී ලංකාව බිහිකළ එකම නාට්‍යවේදිනිය යැයි කට පුරා කිව හැකි සෝමලතා සුබසිංහ මහා නාට්‍යවේදිනිය අද උදෑසන දිවි රඟ මඩලින් සමුගෙන ගියා ය. ඒ වන විට ඇයගේ වයස අවුරුදු 79 ක් වූවාය. අප ඇය ලංකාව බිහිකළ එකම නාට්‍යවේදිනිය යැයි කියන්නේ නිදහසට පෙර ටීටර් යුගයේදී හෝ ජෝන්ද සිල්වා යුගයේදී හෝ නාට්‍ය ලියා නිෂ්පාදනය කළ කාන්තාවක් ලංකාවේ නොවූ අතර නිදහසින් පසුව පවා වෘත්තීය වශයෙන් නාට්‍ය පෙළ රචනා කරමින් නිෂ්පාදනය කළ වෙනත් කාන්තාවක්ද ලංකාවේ නොවූ නිසාය. වර්තමානයේ යම් යම් පෙළ රචිකාවියන්ද නිෂ්පාදිකාවන්ද සිටින නමුත් ඔවුන් නාට්‍ය එකක් දෙකක් පමණක් නිර්මාණය කරමින් රැකියාව වශයෙන් වෙනත් වෘත්තීන් හි යෙදුනු කාන්තාවන් වූවා මිස නාට්‍යය සිය ජීවිතය කර ගත්තියන් නොවූ නමුත් සෝමලතා සුබසිංහ මහත්මිය එසේ නොවූ ලංකාවේ එකම වෘත්තීය නාට්‍යවේදිනිය වූවා ය. 

1936 දී දෙමාපියන් ගුරුවරුන් වූ ගම්පහ පළාතේ සාමාන්‍ය පවුලක උපන් සෝමලතා අධ්‍යාපනය ලද්දේ කොළඹ මියුසියස් විද්‍යාලයෙනි. 1961 දී පේරාදෙනිය සරසවියට ඇතුළු වූ ඇය එහි මූලික උපාධිය ලබා ඉන්පසු 1983 දී පේරාදෙණිය සරසවියෙන්ම නාට්‍ය හා රංග කලාව සම්බන්ධයෙන් සිය ශ්‍රාස්ත්‍රපති උපාධියද ලබා ගත්තීය. 

පේරදෙණියේ මූලික උපාධිය හැදෑරූ සමයේදීම ඇදුරිඳු එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ රත්තරන්, එළොව ගිහින් මෙළොව ආවා නාට්‍ය වලට රංගනයෙන් දායක වෙමින් ඇය වේදිකාවේ අත් පොත් තැබුවා ය. ඉන්පසු ගුණසේන ගලප්පතිගේ මූදුපුත්තු, දිරිය මව සහ ඇගේ දරුවෝ හි රඟපෑ අතර මූදු පුත්තු හි සුප්‍රකට ගීතයක් වූ ‘මූදු පතුල යට ඉඳලා‘ ගීතය ගායනා කරමින් රඟපෑමෙන් ඇය ප්‍රේක්ෂක විචාරකයන්ගේ අතිශය සම්භාවනාවට පාත්‍රවූවා ය.

ඉන්පසුව ලංකාවේ විශාලතම අඩු පාඩුවක් වූ ළමා හා යොවුන් නාට්‍ය හිඟය වෙනුවෙන් තම අවධානය යොමුකළ සෝමලතා ‘පුංචි අපිට දැන් තේරෙයි‘ සහ ‘තොප්පි වෙළෙන්දා‘ ලමා හා යොවුන් කෙටි නාට්‍ය ද්විත්වය රචනා කරමින් නිෂ්පාදනය කෙළේ 1979 වසරේදී ය. එය ශ්‍රී ලංකාවේ අතිශය ජනාදරයට පත් වූ අතර අද දිනය දක්වාම වේදිකා ගත වන අතර විදේශ රටවලද සම්භාවනාවට පාත්‍ර වූ ළමා හා යොවුන් කෙටි නාට්‍ය ද්විත්වයක් විය. 

එම කෙටි නාට්‍ය ද්විත්වයෙන් දිරිය ලත් සෝමලතා ඊළඟට 1981 දී ඇයගේ ජීවිතයේ අග්‍රඵලය යැයි කිවහැකි ‘විකෘති‘ නාට්‍යය රචනා කරමින් නිෂ්පාදනය කළාය. එය වසර 34 ක් තිස්සේ ලංකාවේ වේදිකා ගත වන අතර එය නොබැලූ මොළයක් ඇති තරුණයෙක් තරුණියක් සොයා ගැනීම අසීරු තරමට ජන හදවත් දිනාගත්තේය. යම් නිර්මාණයක් පරම්පරා දෙකක ජනතාවක් එක සීරුවට රසවින්දනය කරන්නේ නම් එය අපූරුය. 

මේ වකවානුවේදී ලංකාවේ ළමා හා යොවුනන් වෙනුවෙන් ළමා හා යොවුන් රංග පීඨය නමැති ආයතනය ඇයගේ මූලිකත්වයෙන් පිහිටුවා ගන්නා ලද අතර එය නිකම්ම නිකම් නාට්‍යය නිෂ්පාදනය කරන, නළු නිලියන් නිෂ්පාදනය කරන ආයතනයක් නොව පිරිපුන් මිනිසුන් නිර්මාණය කරන ආයතනයක් බවට පත් කළාය. මේ වන විට ලංකාවේ කොතැනක හෝ කලාකරුවන් පමණක් නොව හොඳ රසිකයෙක් හෝ හොඳ මනුෂ්‍යයෙක් වේ නම් ඔහු හෝ ඇය ‘සෝමලතා මිස්ගේ‘ ළමා හා යොවුන් රංග පීඨයේ දින කිහිපයක් හෝ වැඩ සටහන් වලට සම්බන්ධ වූ අයෙක් වීම සත්‍යයකි. 

ගුරුවරුන් වූ සෝමලතාගේ දෙමාපියන් ද ගම්පහ පළාතේ අසරණ දරුවන් ගෙදර නතර කර ගනිමින් උගන්වා සමාජයට වැඩ දායක පුද්ලයන් බවට පත් කළා සේ ඇයද ඊටත් වඩා විධිමත්ව ළමා හා යොවුන් රංග පීඨය මගින් ඒ සද්ක්‍රියාව ඉටු කළේ කාගෙන්වත් ගරු නම්බු ලැබීමේ හෝ තනතුරු ලැබීමේ හෝ කාටවත් කඩේ යෑමේ හෝ අදහසින් නොවූවාය. අද වන විට මෙම ආයතනය ප්ලේ හවුස් කෝට්ටේ නමින් හැඳින්වෙන අතර එමගින් නිෂ්පාදනය කර ඇති ළමා හා යොවුන් නාටක ප්‍රමාණය 17 කි. ඉන් බොහොමයක්ම ලියා නිෂ්පාදනය කළේ සෝමලතා සුබසිංහම ය. 

පුංචි අපට දැන් තේරෙයි, තොප්පි වෙළෙන්දා, විකෘති, මූදු පුත්තු, සඳ කිඳුරු, පවර නුවරක්, රත්මලී, ගමරාල දිවිය ලෝකෙට, යදම්, ඇන්ටිගනී, හිමකුමරිය, මවකගේ සංග්‍රාමය, ඇය විසින්ම රචනා කර නිෂ්පාදනය කරන ලද විශිෂ්ඨ නිර්මාණයන්ය. ‘වලස් පවුල‘ නම් අතිශය සුන්දර සම්මානනීය ළමා නාටකය ඇයගේ රචනයක් වූ අතර එය නිෂ්පාදනය කෙළේ ඇයගේ බෑණා වූ ආචාර්ය චන්දන අලුත්ගේ ය. The Hut, Opera Wonyosi, The Trial of dedan Kimathi සෝමලතා විසින් නිෂ්පාදනය කළ ඉංගිරිසි වේදිකා නිර්මාණයන් ය. සෝමලතා සුබසිංහගේ නිර්මාණ සිංහල වේදිකාවේ පමණක් නොව නෙදර්ලන්තය, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව, කොරියාව, ඉන්දියාව, බංගලාදේශය ආදී රටවල වේදිකාවන්හි පවා රංග ගත කර තිබේ. 

ඇය සිනමා නිර්මාණයන්ටද රංගනයෙන් දායක වූ අතර සිනමා රංගනයෙන් සම්මානද ලැබුවාය. ඇය රංගනයෙන් දායක වූ සිනමා නිර්මාණ අතර මහගෙදර, දාහකින් එකෙක්, මඩොල් දූව, සිරිබෝ අයියා, වසන්තේ දවසක්, ගුරු ගෙදර, අරුණට පෙර, විරාගය, මේ මගේ සඳයි ආදී විශිෂ්ඨ ඝනයේ නිර්මාණ විය.

ලංකාවේ සාමාන්‍යයක් වී තිබෙන දෙයක් නම් රටට මහා සේවයක් කළ පුද්ගලයන්ට යලි රට විසින් ප්‍රතිචාර දක්වා නැති කමත්, රට විසින් ඔවුන්ගෙන් නියම සේවයක් ලබාගෙන නොතිබීමත් ය. සෝමලතා සුබසිංහ නමැති ලංකාවේ බිහිවූ එකම මහා නාට්‍යවේදිනිය සම්බන්ධයෙන් ද එසේම ය. ඇය තම කාර්යයන් ස්වාධීනව තනියම කරගෙන ගියා මිස ඇයගෙන් මීට වඩා වැඩි සේවයක් ලංකාව ලබා ගත්තේ නැත. ඇයගේ එක් ඉල්ලීමක් වූයේ ළමා නාට්‍යය නැරඹීමට එන්නේ දරුවන් බැවින් ළමා නාට්‍ය සඳහා ශාලා සහ අනෙක් පහසුකම් සපයද්දී සහනදායී මිලකට සපයන ලෙසයි. ඒවා කනකට ඇසුණු බලධාරියෙක් නොවීය. ‘සියල්ල දරුවන්ටය‘ යන්න ශිෂ්ඨාචාරගත රටවල ප්‍රධාන කියමනක් වුවද ලංකාවේදී එය ‘සියල්ල සොරුන්ටය‘ ලෙස වෙනස් වී ඇති සේය.  සෞන්දර්යය විශ්ව විද්‍යාලය මගින් ගිය වසරේදී ඇයට ආචාර්ය උපාධියක් පිරිනැමුවාය. ඒ වන විටත් බොහෝ සේ ඔත්පලව හුන් ඇයට එය ලබා ගැනීම සඳහා වේදිකාවට යෑමට පමණක් නොව ඇයට එවන් උපාධියක් දුන්නාද කියා නිශ්චිත හැඟීමක් හෝ නොවන තත්ත්වයක ඇය පසුවූවා ය. මීට වසර දෙකකට පමණ පෙර ‘හෂිමොටෝ එන්සෙෆෙලොපති‘ නමැති දුර්ලභ රෝගයට ගොදුරුව සිටි ඇය ඉන් යාන්තම් දිවි බේරා ගත්තද ප්‍රතිශක්තිය හීන වීමෙන් ඉන්ද්‍රියයන් දුර්වල වීමෙන් විවිධ රෝගබාධ නිසා ඇය ඉතාමත් දුර්වලව සිටියා ය. සෝමලතා වැනි උදාර දිරිය කාන්තාවකට යමක් කමක් කර කියා ගත හැකි වයසකදී එකී ආචාර්ය උපාධිය දුන්නානම් කෙතරම් අගේද? ඉන් ඇය යලි රටට ප්‍රයෝජනයක් අත් කර දෙනවා නොවේද? අනෙක් අතට මේ තරම් ළමා හා යොවුන් නාට්‍යකරනය ගැන අත්දැකීම් ඇති ඇයගෙන් ලංකාවේ කිසිදු සරසවියක් ප්‍රයෝජනයක් ගත්තේ නැතැයි කීවොත් ඔබ පිළිගන්නවාද? නමුත් සත්‍යය එයයි.

නිස්සන් වෙනුවට කූනිස්සන් තනතුරුවලට පත්වන ලංකාවට හෙණ වැදී ඇත්තේ වෙන කාරණයක් නිසා නොවන බව සෝමලතා සුබසිංහට සැලකූ ආකාරයෙන් සහ ඇයගෙන් නිසි ප්‍රයෝජනයක් නොගැනීමෙන්ම තේරුම් ගත යුතුය. නමුත් ඇය තනිවම ඇයගේ කාරිය මිය යනතුරුම ඉටු කළා පමණක් නොව ඇයගේ මරණින් මත්තටද එය ගෙන යන්නට සුදුසු සත්පුරුෂයන්ද නිමවා තිබීම විශේෂය. 

කෙසේ වෙතත් හෙට(31) සවස 5 ට කොළඹ කනත්තේදී පැවැත්වෙන අවමංගල උළෙලින් පසු ඇය සදහටම අපෙන් සමුගෙන යන්නීය.

සෝමලතා සුබසිංහ මැතිණියගේ වියෝවින් සෝක වන ලයනල් ප්‍රනාන්දු මහතාගේත්, දියණියන් දෙදෙනාගේත්, බෑණා වරුන් දෙදෙනාගේත්, මුනුපුරු මිණිපිරියන්ගේත් සෝකයන් සමග ලංකා ඊ නිව්ස් කාර්ය මණ්ඩලය සහ පාඨක පිරිසද එක් වන බව අවසාන වශයෙන් සඳහන් කරමු..

සෝමලතා සුබසිංහ මැතිණියට ඇය පැතූ නිවනක් නිමාවක් සාමයක් ලැබේවා..! 

 

-සඳරුවන්-

ඔබේ අදහස කියන්න...