එකිනෙකට හාත්පසින් වෙනස් ඉතිහාස පසුබිමක් සහිත පුද්ගලයන් දෙදෙනෙකු ලෙස දයාන් ජයතිලක සහ ගෝඨාභය රාජපක්ෂ සැලකිය හැක. නමුත් ඔවුන් දෙදෙනා මේ මෑතදී සමාන අදහසක් ප‍්‍රකාශ කළේය. ඔවුන්ට අනුව යළිත් ශ‍්‍රී ලංකාව නම් රට 80 දශකය කරා ළගා වී ඇත. විරුද්ධ පක්ෂ නායකයා බවට දෙමළ ජාතිකයකු පත්වීම අමිර්තලිංගම්ගේ අවතාරය යළි පැමිණීමක් ලෙස සමහරු සලකා බලා ඇත.

ඉතිහාසය ගැන අවබෝධයක් නැති මිනිසුන් අතින් ඉතිහාසය පුනාරාවර්තනය වේ යැයි මතයක් ඉතිහාසවේදීන් තුළ ඇත. මින් අදහස් වන්නේ ඉතිහාසය ගැන අවබෝධයක් ඇති මිනිසුන්ට එහි ‘පුනරාවර්තනය’ (Repetition) වැළැක්විය හැකි බවක්ද? නැතහොත් ඉතිහාසයේ් සාරය යනු ඉතිහාසයක් යළි යළිත් පුනරාවර්තනය වීමද? මෙවැනි ප‍්‍රශ්න ගැන නිවැරදි ප‍්‍රශ්න කිරීම් බොහෝදෙනා කරන්නෙ නැත. ඉතිහාසය ගැන විද්‍යාත්මක දැනුමක් තමන්ට ඇතැයි සිතන මිනිසුන් පවා මෙවැනි ගැටලූවලට බුද්ධිමය ප‍්‍රතිචාර දක්වනවා අඩුය. ඇත්තටම ඉතිහාසයට ‘පුනරාවර්තනය’ නම් ගුණය ආදේශ වී ඇත. එබැවින් පුනරාවර්තනය නම් කි‍්‍රයාවලියට ආකෘතික ලක්ෂණ (Formal Logics) ඇත. එම හේතුව නිසාම ඉතිහාසය ගැන ක‍්‍රමවත්ව අධ්‍යයනය කළ හැකි අතර එහි පුනරාවර්තන විභවයක් ද වටහා ගත හැක.

ඉතිහාසය පුනරාවර්තනය වන විට එය සිදු වන්නේ ‘සිදුවීම්’ (Events)  හරහා නොව ව්‍යුහය (structure)  හරහාය. පුනරාවර්තනය වන්නේ ව්‍යුහය මිස සිදුවීම් නොවේ. ඇත්ත වශයෙන්ම සිදු වන්නේ ව්‍යුහය පුනරාවර්තනය වීමයි. එවිට ඊට සමගාමීව සිදුවීම් ද පුනරාවර්තනය වෙයි.

18 වන බෲවරය රචනාවේදී මාක්ස් විසින් පහදා දෙන්නේ ‘ව්‍යුහය’ පුනරාවර්තනය වන අයුරුය. එම ලිපිය පටන් ගන්නේ හේගල්ගේ උදෘතයකිනි. ඊට අනුව ලෝක ඉතිහාසයේ පෞර්ෂයන් සහ සිදුවීම් පුනරාවර්තනය වෙයි. මාක්ස් මේ අදහසට යම් එකතු කිරීමක් කරයි. එනම් ඒවා පළමුවරට ඛේදවාචකයක් ලෙසත් දෙවනවරට විගඩමක් ලෙසත් සිදු වන බවයි. වෙනත් වචනවලින් කිවහොත් ඉහත අදහස යළිත් මෙසේ ප‍්‍රකාශ කළ හැක. ඉතිහාසයේ පළමුවරට අහම්බයකින් වන සිදුවීමක් දෙවනවරට සිදු වන විට සැබෑ සහ අනුමත කරන ලද ආකාරයකට සිදුවෙයි. පළමුවර අහම්බයකින් ඔළුවට වැටුණු තොප්පිය දෙවනවරට සිදුවන විට වේදිකාවට එන්නේම තොප්පිය හිසට දමා ගෙනය. සීසර්ගේ ඝාතනය අහම්බයකින් සිදු වුවත් රෝම ජනයා රෝමය අධිරාජ්‍යක් වීම සැලකුවේ යථාර්ථයක් ලෙසනි. සීසර්ට අධිරාජයකු වීමට හැකි වූයේ නැත. නමුත් අධිරාජ්‍යයාගේ තනතුරට ඔහුගේ නාමය ආදේශ විය. ඉදිරියට සිංහල ජනයාට තනි රටක් තුළ ජාතීන් දෙකක පැවැත්ම පිළිගැනීමට සිදුවනු ඇත. ගැටලූව වන්නේ මේ කි‍්‍රයාවලිය සිදුවන විට 80 දශකයේ භූමිකාවන් යළි ර`ග දක්වන්නේ කවුද යන්නය. ඉතිහාසය මේ දිනවල ඇත්තටම තම කපටි හේතුව රග දැක්වීමට ඇබෑර්තු නිකුත් කර ඇත.

දිප්ති කුමාර ගුණරත්න 

උපුටා ගැනිම : සමබිම පුවත්පත

ඔබේ අදහස කියන්න...

1 COMMENT

Comments are closed.