ක්‍රිකට් පිළිබඳව අප විසින් මේ දක්වා කරන ලද ඓතිහාසික භෞතිකවාදී අධ්‍යයනයේ අවසාන නිගමන සටහන්කරා අප ළඟා වී ඇත. 80 දශකය තුළ සංස්කෘතිය යන ප‍්‍රපංචය වඩ වඩා පශ්චාත්නූතන (මෙතන දී පශ්චාත් – නූතන යනුවෙන් අදහස් කරන්නේ ‘දැනුම’ විකිණීම සඳහා ඇති පාරිභෝගික භාණ්ඩයක් යන අදහස නොවේ. නව සන්දර්භය තුළ පශ්චාත් – නූතන යනු කාලය ගලා යාම නතර වී අවකාශය කැබලි කිරීම සහ යළි සවි කිරීමයි. උදාහරණයක් ලෙස මේ මොහොතේ කොළඹ නගරයේ අවකාශය කැබලි කරමින් යළි සකස් කරමින් පවතියි. කොළඹ නගරය තුළ ජීවත් වන මිනිස් සම්පතේ කිසිදු ගුණාත්මක පරිවර්තනයක් සඳහා මෙම අවකාශයික ප‍්‍රතිව්‍යුහගත වීම අදාළ නැත. කාලය ගත වීම මිනිසාට දැනෙන්නේ මිනිසා සිතන විදිහ වෙනස් වූ විට පමණි) වෙමින් යද්දී 90 දශකය කරා අප ගමන් කරන විට අපට නව ප‍්‍රපංචයක් ලෙස ගෝලීයකරණය මුණගැසුණේය. ගෝලීයකරණය යනු හුදු ලාභ ශ‍්‍රමය සොයාගෙන ප‍්‍රාග්ධනය ගමන් කිරීමක් නොවේ. ‘ශ‍්‍රමය’ වඩාත්ම සමාජීයව සංවිධානය වූ තැනට ප‍්‍රාග්ධනය ආකර්ෂණය වීමයි. චීනයට ඇමරිකාවේ සහ යුරෝපයේ ප‍්‍රාග්ධනය ගමන් කරන්නේ චීන ශ‍්‍රමය ලාබ නිසා නොව චීන කොමියුනිස්ට් පක්ෂය විසින් චීන ශ‍්‍රමය සමාජීයව සංවිධානය කරන නිසාය. මා ඕ සේ තුං විසින් චීන සංස්කෘතිය හරහා චීන ශ‍්‍රමයේ කපාලය තුළ පැවැති අතීත වේදනාව සහ චීන සම්ප‍්‍රදාය හිස්කළේය. ඩෙන් ෂියා විසින් කරන ලද්දේ චීනයට ප‍්‍රාග්ධනයට ආනයනය වන්නට ඉඩ දීම පමණි.

ඉහත සූත‍්‍රය අපි දැන් ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවට අදාළ කොට වටහා ගමු. 1996 දී ලෝක කුසලානය දිනා ගැනීමට අවශ්‍ය වූ පසුතලය වූයේ සුදු මිනිසාගේ සාරය ඉවත් කිරීම බව මීට ඉහත අප පහදන ලදී. නමුත් ශාන්ත තෝමස් විදුහලට ගිය මයිකල් තිසේරා සහ ආනන්ද විදුහලට ගිය අර්ජුන රණතුංග අතර ගුණාත්මක වෙනසක් ඇත. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් මයිකල් තිසේරා යනු යටත්විජිත පුරවැසියෙකි. නමුත් අර්ජුන රණතුංග යනු පශ්චාත් යටත්විජිත පාරිභෝගිකයෙකි. කාටත් තේරෙන සරල භාෂාවෙන් තේරුම් කර දෙන්නේ නම් මයිකල්තිසේරාගේ කපාලය තුළ ඇත්තේ ඉංග‍්‍රීසි සුදු යටත්විජිත ස්වාමියාගේ නූතන අදහස්ය.

එසේ නම් අර්ජුන රණතුංගගේ කපාලය තුළ පවතින්නේ කුමන අන්තර්ගතයක්ද?

1996 ලෝක කුසලාන ජයග‍්‍රහණයට පසුව ශ‍්‍රී ලංකා කණ්ඩායමට සිදු වූයේ කුමක්ද? වෙළෙඳ දැන්වීම් හරහා ඔවුන් කලින් බලාපොරොත්තු නොවූ මුදලක් අතට පැමිණි අතර මේ මහා අතිරික්තය හරහා ඔවුන් සියලුදෙනාගේ ජීවිත විශාල ගංවතුරකට හසුව ගසාගෙන ගියේය. අරවින්ද සිල්වා, සනත් ජයසූරිය වැනි ජනප‍්‍රිය ක‍්‍රීඩකයෝ සහමුලින්ම ධනවාදයට ඇදවැටුණාහ. ඉන්පසු ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට අදාළ අශ්ලීල ලුබ්ධි ආර්ථික ගොසිප් වෙබ් අඩවි හරහා සමාජයට විසිර ගියේය. 96 ක‍්‍රිකට් කණ්ඩායමට ස්ත‍්‍රී ශරීරය පිළිබඳ නොදැනුම කෙතරම් ද හෙළිදරව් වූයේ ශ‍්‍රී ලංකන් ගුවන් සේවිකාවන්ගේ ඔලොක්කු සිනහවන්ගෙනි. කොටින්ම 96 ට පෙර ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට සමාජයේ පැවැති දිස්නය වාණිජ ප‍්‍රාග්ධනය සහ කොළඹ ස්ත‍්‍රී ශරීරය හරහා ඔපයහරණය විය. අලුත් සියවස ආරම්භ වන විට ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් ලී කෙලි ක‍්‍රීඩාවක් බවට පරිවර්තනය විය.

අර්ජුන රණතුංග ඉහත සමාජ පරිවර්තනය සිදු වන විට ඉන්ද්‍රඛීලයක් සේ ඍජුව නොවැටී සිටියේය. සොසේජස් වෙළෙඳ දැන්වීම් මඟහැර අර්ජුන සමාජ සත්කාරක වෙළෙඳ දැන්වීම්වලට පෙනී සිටියේය. රටේ ඊළඟ පරම්පරාවට ක‍්‍රිකට් ක‍්‍රීඩාව හුරුපුරුදු කිරීම ගැන ඔහු ජනමාධ්‍ය මඟින් සාකච්ඡා කළේය.

අපේ කතානායකයා වන චාලි ඔස්ටින් ශූරීන් ලංකාවට පැමිණෙන්නේ ඉහත සමාජආර්ථික-සංස්කෘතික පසුබිම පැවතියදීය. ඔහු ලංකාවට පැමිණෙන්නේ එංගලන්තයේ ටෙලිග‍්‍රාෆ් පුවත්පතේ මාධ්‍යවේදියකුගේ සහායකයකු ලෙසය. ඔහු එංගලන්ත වංශාධිපති පවුලකින් පැවතෙන්නෙකු නොවේ. සමහර විට ඔහු එක්සත් රාජධානියේ නියම මැද පාන්තිකයකු නොවීමට හැකිය. සුරක්ෂිත අනාගතයක් නැති අනාථයකු ලෙස 2000 වසර වන විට ඔහු ලංකාව පදිංචිය සඳහා තෝරා ගන්නා ලදී. අර්ජුනට අනුව නම් ඔහු සුද්දෙකි. චාලි ඔස්ටින් 2001 පමණ වන විට Crickinfor නම් අන්තර්ජාල වෙබ් අඩවියක් පටන් ගන්නා අතර ඔහු එය ඉතා විධිමත්ව පවත්වාගෙන යයි. බෝලයෙන් බෝලයට විස්තර කථනයක් සහ විස්තරයක් සහිත මෙම වෙබ් අඩවිය කෙටි කලකින් ජාත්‍යන්තර අවධානයට ලක් වෙයි. ඒ හරහා ඔහුට ක‍්‍රිකට් ආශ‍්‍රිත වෙළෙඳ දැන්වීම් සබඳතා හමුවන අතර ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගේ සියලු විස්තර දත්ත හමුවෙයි. බැංකු කළමනාකරුවකුට තම බල ප‍්‍රදේශය තුළ ජීවත් වන, ක‍්‍රියා කරන ව්‍යාපාරිකයන්ගේ විස්තර එකතු වන්නේ කෙසේද එලෙසම චාලි ඔස්ටින් ඉදිරියේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ තොරතුරු එකතු වෙයි. මෙම තොරතුරු එක අතකින් වෙළෙඳ දැන්වීම් ඒජන්තයන්ට වැදගත් වන අතර අනෙක් අතට ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගේ පෞද්ගලික සහ වෘත්තීය ජීවිතයට අදාළ තොරතුරු විවිධ ජනමාධ්‍යවලට වැදගත් වෙයි.

චාලි ඔස්ටින්ගේ ඊළඟ නිමැවුම වන්නේ ඔහු අත රැුස් වූ විශාල දත්ත සමූහය විශ්ලේෂණය කළ හැකි මෘදුකාංගයක් නිර්මාණය කිරීමයි. ඒ සඳහා ඔහු විසින් Statguru නමින් මෘදුකාංගයක් නිපදවන ලදී. සාදි තවුෆික් වැනි පරිණත මාධ්‍යවේදියකු දින ගණනක් වැය කරන තොරතුරක් නැවත සොයා දීමට ඔස්ටින්ට ගත වන්නේ අසුර සැනකි. අරවින්ද වැඩිපුරම දැවී ගිය  ඕවරය කුමක්ද? සනත් අඩුම  ඕවර් ගණනික් වැඩිම ලකුණු ලබා ගත් තරග ගණන කීයද? මේ තොරතුරු ටික කලකින් ඔස්ටින්ට කජු කනවා වැනි ලෙහෙසි වැඩකි.

ලංකාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවට අදාළ සියලූ තොරතුරු සහ ක‍්‍රීඩකයන්ගේ පෞද්ගලික තොරතුරු එක මොහොතකට පසුව චාලි ඔස්ටින්ගේ දත්ත ගබඩාවේ හුදු තොරතුරක් වෙයි. මෙම තොරතුරු විශ්ලේෂණය කිරීම හරහා ඔස්ටින්ට ඒත්තු ගිය කාරණයක් වූයේ දැනට පාරිභෝගික භාණ්ඩයක් වී ඇති ක‍්‍රිකට් ක‍්‍රීඩකයාව ප‍්‍රාග්ධනය (Capital) බවට පෙරළිය හැකි බවයි. ගනුදෙනුකරුවන් දෙදෙනෙකු අතරට බැංකුවක් අතරමැදියකු ලෙස නිශ්ක‍්‍රීයව මැදිහත් වන පරිදි තමන්ට ද ක‍්‍රීඩකයා සහ ඔහුව විකුණන සමාගම මැදට මැදිහත් විය හැකි බව චාලි ඔස්ටින් වටහා ගත්තේය. ඉන්පසු ක‍්‍රිකට් ක‍්‍රීඩාව එතෙක් පාලනය කළ ‘වාණිජ ප‍්‍රාග්ධනය’ සතු ආධිපත්‍යය බිඳ වැටීමකට ලක් විය.

චාලි ඔස්ටින් තමන්ගේ වැඩ පටන් ගන්නේ අතරමැදියකුගේ භූමිකාවෙනි. ඔහු මුලින්ම තම සේවාව සැපයූයේ මහේල ජයවර්ධන ක‍්‍රීඩකයාටයි. නමුත් මෙම අතරමැදි භූමිකාව කලක් ගත වන විට සහ ස්ථාපිත සම්ප‍්‍රදායක් වන විට, එනම් ඔස්ටින් මෙම ක‍්‍රියාව හරහා විශාල ප‍්‍රාග්ධනයක් එකතු කර ගත් විට (ක‍්‍රීඩකයා සහ ඔහුගේ සංඥා නාමය අලෙවි කරන සමාගම අතර සම්බන්ධීකරණය හරහා ගාස්තුවක් (10%) අය කරන විට) තම අනුග‍්‍රාහකයාගේ ජීවිතය පාලනය කිරීමේ යතුර චාලි ඔස්ටින්ට හිමි වෙයි. එහි ඊළඟ පියවර වන්නේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයා චාලි ඔස්ටින්ට යටත් වීමයි. මෙය කාර්මික ධනපතියා බැංකු ප‍්‍රාග්ධනය මත පරායත්ත වීම වැනිය. චාලි ඔස්ටින්ට පෙර සිටි ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් තම ජයග‍්‍රහණවලට පසුව ලාංකික සමාජයේ අතීත අගතීන්ට ආපසු ගමන් කළේ නම් (ජාතිය, ආගම, ස්ත‍්‍රිය) ඔස්ටින්ගේ සේවය ලබා ගත් ක‍්‍රීඩකයන්ගේ ඔළු ගෙඩි අතීත වේදනාවෙන් පිරවීමට ඇති හැකියාව අහෝසි කළේය. සනත් ජයසූරියගේ සිට 96 කණ්ඩායමට ක‍්‍රීඩා කළ බොහෝ ක‍්‍රීඩකයන් දිගට හරහට පිස්සු කෙලියත් මහේල සහ සංගක්කාර ඉතාම විධිමත් කාල සටහනකට අනුව ක‍්‍රීඩා කළේ සහ පෞද්ගලික ජීවිතයක් ගත කළේ චාලි ඔස්ටින් නිසාය.

Viv 2

චාලි ඔස්ටින් ඒ දක්වා ලංකාවේ පැවැති ක‍්‍රිකට් ක‍්‍රීඩාව අන්ත දෙකකින් වෙනසට භාජනය කළේය.

1) ක‍්‍රිකට් යනු වෙළෙඳ ව්‍යාපාරයක් නම් එහි සමාජ වගකීම වන්නේ ලාබ වැඩිකර ගැනීමයි. ඒ අනුව ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් සන්නාහ නාමයක් ලෙස වෙළෙඳ ප‍්‍රචාරණය සිදු කළ යුතුය.

2) සමෘද්ධිමත් වීමට සහ ඉහළ ධනපතියකුගේ ජීවන රටාවට පුරුදු වීමේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදය අවශ්‍ය නැත. ඒ අනුව ක‍්‍රිකට් තවදුරටත් ජාතික ක‍්‍රීඩාවක් නොවන අතර එය පාලනය වන්නේ අන්තර්ජාතික මූල්‍ය සමපේක්ෂණය මඟින්ය.

චාලි ඔස්ටින් විසින් කළමනාකරණය කරන ලද (Austin Management) ප‍්‍රසිද්ධම ක‍්‍රීඩකයන් දෙදෙනා වන්නේ කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධනයි. මේ වන විට ඔවුන් දෙදෙනා සතු වත්කම් ආයෝජනය කරන්නේ සහ රැකබලා ක‍්‍රීඩාවට අදාළව මෙතෙක් පැවති වාණිජ ප‍්‍රාග්ධනය වෙනුවට එහි ඊළඟ වර්ධිත අවධිය වන‘මූල්‍යප‍්‍රාග්ධනය’ අධිපති සමාජ සම්බන්ධය බවට ඔස්ටින් පත්කර ඇති බවයි. ක‍්‍රීඩා ඇමැතිවරයාට සහ අර්ජුනරණතුංග වැනි සිතන්නෙකුට ඔස්ටින් ඇති කර ඇති මේ ‘සමාජ පෙරළිය’ ගැන අවබෝධයක් ඇති කරගත නොහැකිය. සරලව ප‍්‍රකාශ කළහොත් ඔස්ටින් මැනේජ්මන්ට් සමාගම ඇති කර ඇති අලූත් ප‍්‍රාග්ධනයේ සමාජ විභවයන් වටහා ගැනීමට අවශ්‍ය විද්‍යාව අර්ජුනට නැත. එවිට ඔහුට කළ හැකි එකම දෙය වන්නේ සිදු වන ක‍්‍රියාවලිය ගැන සදාචාර විනිශ්චයක් දීම පමණි. මූල්‍ය ප‍්‍රාග්ධනය මෙහෙය වන පුද්ගලයකුට ලංකාවේ ජාතික කණ්ඩායමට ක‍්‍රීඩා කළ යුත්තේ කවුදැයි ඍජුව තීන්දු කළ නොහැකිය. එය සිදු වන්නේ වක‍්‍ර ආකාරයටය. හැකියාව සහ දක්ෂතාවය පමණක් තිබූ පමණින් ක‍්‍රිකට් කණ්ඩායමට ඇතුල් වීමට තිබූ හැකියාව චාලි ඔස්ටින් නිසාඅභියෝගයට ලක් වී ඇත.

චාලි ඔස්ටින් සමාගම විසින් ක‍්‍රිකට් ක‍්‍රීඩකයකුගේ ක‍්‍රීඩා ජීවිතය පහත සඳහන් සේවා සැපයීම සඳහා අමුණගෙන ඇත.

(1) ක‍්‍රීඩකයකු විවිධ සමාගම් සමඟ එළඹෙන වාණිජ ගිවිසුම්වල දී තැරැව්කරුවකුගේ සේවය ලබා දීම.

(2) ක‍්‍රීඩා කළ යුත්තේ කා වෙනුවෙන්ද යන්න සහ ඒ කොහොමද යන්න තීරණය කිරීම. උදා – මේ මොහොතේ සංගක්කාර එංගලන්තයේ ප‍්‍රාන්ත ක‍්‍රීඩාවලට ක‍්‍රීඩා කිරීම ලංකාවේ ජාතික කණ්ඩායමට ක‍්‍රීඩා කිරීමට වඩා ලාභදායකය. ඒ අනුව සංගක්කාර ක‍්‍රීඩාවෙන් සමුගෙන නැත.

(3) ජීවන විලාසය, මූල්‍ය වත්කම් ලබාගත හැක්කේ කෙසේද?, ආයෝජනය කළ යුත්තේ කුමන ක්ෂේත‍්‍රවලද? සංගක්කාර සහ මහේල වෙනුවෙන් මූල්‍ය ප‍්‍රාග්ධනය ආයෝජනය කරන්නේ ඔස්ටින්ය. වත්කම් මිලට ගත යුතු වන්නේ කෙසේද? ඔවුන් විනෝදය සඳහා ගමන් කළ යුතු වන්නේ කොහේද? අනාගත ආයෝජනයක් ලෙස එකතු කළ යුතු චිත‍්‍ර, පෞරාණික භාණ්ඩ, පෞරාණික නිවාස යනාදිය කළමනාකරණය කරන්නේ ද ඔස්ටින්ය.

විවාදයකින් තොරව ඉහත සිදු වී ඇති සමාජදේශපාලන විපර්යාසය අර්ජුනට වටහා ගැනීමට නොහැකිය. එහි දී ඔහු කෑගසා අඬගසන්නේ අතීත අගතීන්ටය. එනම් පූර්ව-ඔස්ටින් යුගයටයි. ඒ කියන්නේ සිංහල ක‍්‍රමයට දිනා ගත් 96 ලෝක කුසලාන කණ්ඩායමේ පිස්සු කෙලීමයි. සරලව කිවහොත් සරම හැඳ කිරිබත් කා පොල්තෙල් පහන දල්වා වැඩ පටන් ගැනීමයි. නැතහොත් අපේ හාමුදුරුවන්ට කියා පිරිත් නූල් බැඳගෙන ක‍්‍රීඩා පිටියට පිටත් වීමයි. චාලි ඔස්ටින් නම් ගෝලීය පුරවැසියා ජාතික ක‍්‍රීඩකයන්ගේ හිස් තුළ අරක් ගත් අතීත සම්ප‍්‍රදායන්, අගතීන්, වත්පිළිවෙත්, අසූචි ලෙස සලකා ඉවත් කර ඇත. එය ඉස්සාගේ හිස තුළ ඇති මළපහ ඉවත් කිරීමට සමකය. මේ ක්‍රියාව නොතේරෙන අයට අර්ජුනගේ ධනේශ්වර විරෝධය වාමාංශික යැයි උපකල්පනය කළ හැකිය.

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. . කොටින්ම 96 ට පෙර ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට සමාජයේ පැවැති දිස්නය වාණිජ ප‍්‍රාග්ධනය සහ කොළඹ ස්ත‍්‍රී ශරීරය හරහා ඔපයහරණය විය. අලුත් සියවස ආරම්භ වන විට ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් ලී කෙලි ක‍්‍රීඩාවක් බවට පරිවර්තනය විය.// හොඳ විග්‍රහයක්

Comments are closed.