ලෝක මට්ටමින් සහ දේශීය මට්ටමින්, ගෝලීයකරණ ව්‍යාපෘතිය දැඩි ලෙස ගැටලුකාරී තත්වයකට පත් වී ඇත. මෙම තත්වයට මුහුණ දීම සඳහා දෘෂ්ටිවාදී ආකෘති දෙකක් ඉදිරිපත් වී ඇත.

  

1) පුටින් විසින් ආරම්භ කළ යුක්රේන යුද්ධයට එරෙහි බටහිර මාධ්‍ය ආඛ්‍යානය.

 

2) ශ්‍රී ලංකාවේ ආර්ථික-දේශපාලන-සමාජ අර්බුදයට විකල්පයක් ලෙස ඉදිරිපත් වී ඇති ‘ජාතික ජන බලවේගය’ සහ ‘සමගි ජන බලවේගය’ ඉදිරිපත් කරන මාධ්‍ය ආඛ්‍යානය.

 

               2009 වසරේ දී, ශ්‍රී ලංකාවේ වාර්ගික යුද්ධය අවසන් කළ වහාම හිරු කණ්ඩායමේ නායක රෝහිත භාෂණ සහෝදරයා මෙසේ ප්‍රකාශ කරන ලදී. “මෙම යුද්ධය, 21 වැනි සියවසේ ඉදිරියට ඇති වීමට නියමිත යුද්ධය සඳහා පෙරවදනක් වේවි”.

 

            රනිල් වික්‍රමසිංහ විසින් යුක්රේන යුද්ධය පිළිබඳව කළ අර්ථකතනය අභියෝගයට ලක් කරමින් ප්‍රකට මාධ්‍යවේදියෙකු වන සුනන්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරන ලද්දේ, රනිල් වික්‍රමසිංහ යුද්ධයේ මානව හිමිකම් පාර්ශවය අමතක කරන බවයි.

                 ලංකාවේත් ලෝකයේත් මාධ්‍යවේදීන් සහ දේශපාලකයන් අතර ඇත්තේ දයලෙක්තික සම්බන්ධයකි. බොහෝ මාධ්‍යවේදීන් සහ අයිතිකරැවන් සහ දේශපාලන ව්‍යාපෘතිවලට බලයට පැමිණීමට මතවාදීව උදව් කරන අතර ඒවා අසාර්ථක වන විට ද ඔවුන්ට රාජකාරියක් ඇත. උදාහරණයක් ලෙස 1993 දී චන්ද්‍රිකාව බලයට ගෙනෙන්නට ‘යුක්තිය’ ‘රාවය’ උදව් කළ අතර එය පිරිහෙන විට දී එහි විවේචක අක්ෂය බවටද පත්විය. 2014 දී ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තුව ”වික්ටෝරියා නුලාන්” ප්‍රමුඛ ගැන්සිය යුක්රේනයේ ප්‍රජාතන්ත්‍රවාදීව පත්වූ ආණ්ඩුව පෙරළා දැමුවේ එය පූටින් ගැති බව පවසමිනි. ඔබාමාගේ පරිපාලනය ඒ සඳහා රහසින් උදව් කරන ලදී . ඒ අනුව යනුකොවිච්ගේ ආණ්ඩුව අවසන් විය. මින් කුපිත වූ පූටින් ගැන්සිය යුක්රේන රුසියා දේශ සීමාවේ වාර්ගික කැරැල්ලක් ආරම්භ කරන ලදී. ඊට අමතරව ඇමරිකාව ප්‍රමුඛ නේටෝව රුසියාවෙන් නැගෙනහිර සීමාවෙන් එයට අභියෝගයක් ඇති කරන ලදී. රුසියාවට ඇමරිකාවට යටින් පවතින මැක්සිකෝවේ තමන්ට රුචි පාලනයක් බිහි කිරීම අභියෝගයක් වන තරමටම, රුසියාවට පහළින් වූ යුක්රේනය තුළ ඇමරිකාවට හිතවත් පාලනයක් බිහි කිරීමට රුසියාව ඉඩ දෙන්නේ නැත. දේශප්‍රියගේ කතන්දරය තුළ ඇත්තේ යුද්ධය සහ එහි ඓතිහාසික හේතූන් පිළිබඳ බටහිර මාධ්‍ය ආඛ්‍යානයයි.

                  රෝහිත භාෂණගේ ආඛ්‍යානය ට අනුව 2009 වසරේ අවසන් වූ වාර්ගික – සිවිල් යුද්ධය අවසන් වූයේ රතු කුරුසිය හෝ සිවිල් අපරාධ නොසලකා ය. එය ඉතාම මිලේච්ඡ යුද්ධයක් විය. නමුත් එම යුද්ධය වැරදි හෝ නැවැත්විය දෙයක් ලෙස ඇමෙරිකාව යුරෝපය ප්‍රමුඛ ඇලිය ප්රකාශ කළේ නැත. යුද අපරාධ චෝදනා ගෙන ආ මුත් ඒ සඳහා අදටත් යථාර්ථවාදී ක්‍රියාමාර්ග රැගෙන නැත. කොටින්ම කිව්වොත් බටහිරට තමන්ට බාහිරින් පවතින ජන අරගල ගැන ස්ථාවර දෙකක් ඇති බව හෙළිවිය. ඉන්දියාවේ සෝනියා ගාන්ධි ප්‍රමුඛ කොංග්‍රසය යුද්ධයට ඍජුව ම ආධාර කරන ලදී . අද කොංග්‍රසයේ ඉන්දියාවෙන් අතුගෑවී යන මට්ටමට ම පිරිහී ඇත.

                        බටහිර විසින් තමන්ම ලෝකයට ඉදිරිපත් කරන ප්‍රජාතන්ත්‍රවාදී හර පද්ධතිය ඔවුන් විසින්ම විනාශ කරන බව අවබෝධ වූයේ අවසාන ඊලාම් යුද්ධයේදී ය. ඔවුන් විසින් එම යුද්ධයේ දී මිලේච්ඡත්වය ඉතාම නරුමවාදී ආකාරයට ඉවසන ලද අතර එහි අවසානයට  කිසිවක් කලේ නැත. මේ නිසාම යුක්රේන යුද්ධයේදී බටහිර මාධ්‍ය අඛ්‍යානය බොහෝ දෙනා පිළිගන්නේ නැත වරක් ‘බොද්‍රිලා’ කී පරිදි ගල්ෆ් යුද්ධය සැබැවින් සිදු නොවූ අතර එය සිදු වූයේ රූපවාහිනී තිර මත පමණි .එපරිදිම යුක්රේන යුද්ධය සිදුවන්නේද සමාජ මාධ්‍ය තුළ පමණි. කිසිවකු ධනවාදය [දේශප්‍රිය ද ඇතුළත්ව] මගින් ඇති කරන අමානුෂිකත්වය පිළිබඳව කතා කරන්නේ නැත. ඔවුන් කතා කරන්නේ ධනවාදයේ යහපත් අංග රැකගෙන අයහපත් අංග ඉවත් කිරීමට හැකිය කියාය.දේශප්‍රියගේ දෛනික අදහස අතේ පත්තුවෙන විඥානවාදී අත්බෝම්බයක් පමණි. යුක්රේන යුද්ධය හරහා මතු වන්නේ හුදු  මිලෙච්ඡත්වය පමණක් නොවේ . එම නිසා ම නූතන ධනවාදය තුළ මතුවන හිංසනයට අර්ථකථන ගැඹුරක් ද නැත .සජිත්ගේ ගෝලයන් පෙළපාලි වල නට නටා එන්නේ ඒ නිසාය. ධනවාදයේ ව්‍යුහාත්මක අර්බුදය විසඳීමට උද්ඝෝෂණ ආකෘතිය ගැලපෙන්නේ නැත. නූතනත්වය තුළ අත්විඳින සාරය සහ දෘෂ්‍යමානය අතර පරස්පරය ව්‍යාජයකි. ලංකාවේ සහ ලෝකගෝලය තුළත් සම්පත් බෙදී යන්නේ අසාධාරණ ක්‍රමයකටය. විශ්වවිද්‍යාල ගුරුවරයකුගෙ මාසික වැටුප ලක්ෂ දෙකක් වන විට දී පාසල් ගුරුවරියකගේ වැටුප රුපියල් හතලිස් දහසක් පමණ වේ. මේ ව්‍යුහාත්මක වෙනස බිහි කරන මූලය පාරේ ගමන් කරන පෙළපාලිවලට වෙනස් කිරීමට නොහැකිය

                        ලෝක වෙළඳපොළ බෙදා ගැනීමට කරන යුද්ධයක් අප ප්රජාතන්තරවාදය බේරා ගැනීමට කරන දෙයක් ලෙසින් වරදවා වටහා ගත යුතු නැත. දේශප්‍රිය යනු ද මෙම ආඛ්‍යානයේ ප්‍රකාශකයකු මිස ගැටලුවේ මූලය නිර්වචනය කරන්නෙකු නොවේ. දේශප්‍රිය සහ රනිල් වික්‍රමසිංහ යන දෙදෙනාම එකම තලයකට වැටෙන්නේ ඔවුන්ගේ දේශපාලනයේ සන්දර්භය සිවිල් නිසාය.

                        පහත පළවන්නේ යුක්රේන යුද්ධය ගැන වෙනත් ආඛ්‍යානයකි.

+++++++++++++++++++++++++++++

කාමරය ඇතුලේ අලියා නොදැකීම

 


යුක්‍රේන රුසියානු යුද්ධයේ ප්‍රධාන මායිම සලකුණු වී ඇත්තේ මෙසේය. නිදහස් ස්වාධින රටක් ආක්‍රමණය කිරීමට වෙන රටකට කිසිදු  අයිතියක් නැත යන්නය.  එය සම්පුර්ණයෙන්ම නිවැරදි ස්ථාවරයකි. එසේ නොවුහ හොත් අනිත් හැම ප්‍රබල රටක්ම කුඩා රටවල් ආක්‍රමණය  කරනු ඇත. එසේත් නැතිනම් එලෙස කරන බවට තර්ජනය කරනු ඇත.  එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවා ඇත්තේ එවැනි ආක්‍රමණ වැළැක්වීමටය. 

කුඩා රටවල්ද අර බලවත් රටවල් අමනාප කර නොගෙන සිටීම වැදගත්ය.  එම කියන්නේ එම රටවල් යටවී සිටීමට නොවේ උපායමාර්ගිකව කටයුතු කිරීමයි.

යුක්‍රේනයේ අද පවතින්නේ තමන් ළඟ සිටින චන්ඩියා ට කින්ඩි දමමින් ඈතින් චන්ඩින් ගෙන්වීමේ පල විපාකයකි.  නිදහස් රටක් වශයෙන්  ඈතින් චන්ඩින් ගෙන්වීමට යුක්රේනයට අයිතියක් ඇති බව සැබෑවකි . නමුත් රටේ අනාගතයත් වැසියන්ගේ ජිවිතත් පරදුවට තබා එසේ කල යුතුද? රටක් කියන්නේ ගෙයක් නොවේ. සමහරු මෙය ගෙයක් අසල චන්ඩියෙක් ජීවත් වීමට ලඝු කරති. චන්ඩියා ජනාධිපති නම් ඔබ දෙවරක් සිතන්නේ නැත්ද? චන්ඩියා ජනාධිපති නම් කල යුත්තේ ගෙදර අයගේ ජිවිත බේරාගෙන ජනාධිපති විරෝධී කෙනෙක් හොයා තමන් අයින් වී උගුලක් ඇටවීම වන්නකි. 

 

1. ඇමෙරිකා එක්සත් ජනපදයට සැප්තැම්බර් 11 වනදා එල්ල කල ප්‍රහාරයෙන් පසුව මම නේටෝ රටවල් ඇෆ්ඝනිස්ථානයට පහර දීම පිළිබඳව සතුටු වුනෙමි. නේටෝව ගැන මගේ සිතේ තිබුනේ පහන් හැඟීමකි. එහිදී නේටෝව ස්වාධින රටක් ආක්‍රමණය කිරීමෙන්  එක්සත් ජාතීන්ගේ වගන්තිය 2(4)  (article 2.4) කැඩීම පිළිබඳව කරදර නොවුනෙමි. වෙන්නේ මම කැමති දෙයක් නම්, වෙන්නේ හොඳ වැඩක් කියා මට සිතෙන්නේ නම් ඒ ගැන කරදර වන්නේ කුමටද යන්න මගේ ස්ථාවරය විය. බටහිර මාධ්‍ය ක්‍රියා කරන්නේද ඒ ආකාරයෙන්ම බව මට පසක් වුයේ බොහෝ පසුවය.

 

2. ඉරාකයට  කළ  පළමු ආක්‍රමණයට පෙර   සදාම් හුසේන් ඇමෙරිකාවේ හා බ්‍රිතාන්‍යයේ ලණු  හොඳටම ගිල්ලේය. බ්‍රිතාන්‍ය හා ප්‍රංශය  ඔහුට බිලියන්  ගණනින් ආයුධ  විකිණුහ. ඔහු කුවේට් රාජ්‍යය ආක්‍රමණය කළේය. මෙහිදී තමන්ට ඇමෙරිකාවේ අනුමැතිය ලබුනහයි ඔහු වරදවා සිතුවේය. එවකට් සිටි ඇමෙරිකානු තානාපතිනිය මේ ගැන ලියා ඇත. නේටෝව ඉරාකයට පන්න පන්නා පහර දුන්නේ එක්සත් ජාතීන්ගේ අනුමැතිය සහිතවය.  නේටෝව  දෙවන වරට ඉරාකය ආක්‍රමණය කලේ එක්සත් ජාතින් ගේ අනුමැතිය නැතිවය  (2003).

එයට ඉදිරිපත් කරන ලද පළමු හේතුව වුයේ සුළු ජාතියක් වූ කුර්දි වරුන්ට එරෙහිව රසායනික අවි භාවිතා කිරීමය (මෙහිදී 30000 කුර්දින් මිය ගියා යයි පැවසුනි) . දෙවන හේතුව වූයේ  අති ප්‍රබල මිනිසුන් දහස් ගණනින් මරණ (WMD)  බලවත් ආයුධ තබා ගත්තේ යයි චෝදනා එල්ල වුනි.  (එම අවි අදටත් සොයාගෙන නොමැත) 

ඉරාකයේ මියගිය සටන්කාමීන් නොවන සාමාන්‍ය ජනතාව  මිලියන් දෙකක් පමණ  යයි ගණන් බලා තිබේ.

 

3. නේටෝව යුගොස්ලවියාවට නොනවත්වා බෝම්බ දමා  පහර දුන්නේ 1991 දීය . ඒ බොස්නියන් මුස්ලිම් වරුන් ට එරෙහිව ක්‍රියාත්මක කල යුද්ධය නිසාය. මෙයටද  එක්සත් ජාතින් ගේ අනුමැතිය ලැබුනේ නැත. නේටෝව එය නොතකා ස්වාධින රටක් වූ යුගොස්ලවියාවට පහර දුන් අතර එනිසාම බෙදී වෙන්වූ රාජ්‍යයක් බවට පත්විය. හේතුව වුයේ සුළු ජාතීන්ට අමානුෂික ලෙස සැලකීම සහ යුදමය ලෙස පහර දීමයි. (කෝසොවෝ). යුගෝස්ලාවියාව බිඳී යාම ගැන පසු තැවුනත් එම රට සුළු ජාතීන්ට හොඳින් සැලකුවේ නැති සිතා එයද මට  සාධාරණීකරණය කර ගතිමි.  මේ මම ඒ ගැන ඒ කාලයේ ලියු ලිපියකි. 

 

4. සිරියාවේ ප්‍රශ්නයට රටවල් කිහිපයක්ම මැදිහත් වුනි. ඒ අයිසිස් නිසාය. නමුත් අයිසිස් නිර්මාණය වුනේද බයිඩන් ගේ පුත්‍රයා සහ ඊශ්‍රායල සම්බන්ධයකිනි. ඒ අසාද් බලයෙන් පහ කිරීමටය. ඒ ගැන මම ලිපි පෙළක්ම ලියා තිබේ. මේ අවසාන ලිපියයි . නමුත් අයිසිස් සංවිධානය ලෙවන්ත් නමැති පැරණි රාජ්‍යය සැදීමට උත්සුක වුන අතර ඔසාමාගේ අල් කයිඩා සංවිධානය මෙන් ඔවුන්ද  ඇමෙරිකානුවන් ගොනාට ඇන්දූහ. (ඔසාමා සහ මුජෙහදින් සෝවියට් ආක්‍රමණයට එරෙහිව පුහුණු කලේ ඇමෙරිකාවයි)  . මේ නිසා ඇමෙරිකාව ඉරාක  කුර්දි හා මෙහ්දී වරුන් ට අවි සපයා අයිසිස්  වරුන්ට  එරෙහිව ප්‍රොක්සි  යුද්ධයක් දියත් කළේය. ඒ සමගම  අස්ථාවර වුනු සිරියාවේ අසාද්වි ට එරෙහි විධ ත්‍රස්තවාදී කණ්ඩායම් වලට උදව් කළේය.මේ සියල්ල කලේ එක්සත් ජාතීන්ගේ අනුමැතිය නැතිවය. එක්සත් ජාතීන්ගේ අනුමැතිය නැතිව පැමිණි පූටින් ගේ  රුසියානු යානා  අලෙප්පෝ  නගරය බෝම්බ දමා සමතලා කළේය. ඉරානය තව පැත්තකින් පහර දුන්නේ අයිසිස් අන්තවාදීන්ට ඔවුන්ද විරුද්ධ හෙයිනි. මේ යුද්ධයේදී මම සිරියාව පැත්ත ගැනීමට මුලික හේතුව වුනේ අසාද් තම රටේ මිනිසුන්ට හොඳින් සැලකීම නිසාය. මට සිරියානු යහළුවන් බොහොමයක් සිටි අතර තරුණ  තරුණියන් දෙකොටසටම විදේශ රටවල ඉගෙනීමට රජයෙන් ශිෂ්‍යත්ව දුනි. ඔවුන්ගේ නිදහස් සෞඛ්‍ ය සේවයක් හා නිදහස් අධ්‍යාපනයක්  ඇති ඇති අතර සවුදියේ මෙන් නොව තරුණියන්ට රිය පැදවීමට හා රැකියාව කිරීමට ද පිරිමියෙකු නැතිව ඇවිදිමටද  නිදහස තිබේ. එවැනි රටක්  අයිසිස් වැනි අන්තවාදී සංවිධානයක් අල්ලා ගැනීම අපරාධයක් ලෙස සැලකුවෙමි. 
 
පුටින් සිරියාවට  මැදිහත් වුයේ එහි රුසියානු නාවුක හමුදා භාවිතා කරන වරායක් තිබෙන නිසාය.
 
සිරියාවේ මිලියනයක පමණ වූ දේශපාලන  අනාථයන්ට වැඩිපුරම රැකවරණ දුන්නේ ජර්මනියයි.  ප්‍රශ්නය ඇති කල රටවල් පවා ඒ දේශපාලන අනාථයන් භාර ගත්තේ නැත. 
 
5. යේමනයේ යුද්ධයේදී සවුදි අරාබිය සහ ඊජිප්තුව  කෙලින්ම ඉරානය සහයෝගය දෙන හුති ගරිල්ලනට විරුද්ධව අනිත් පැත්තට ආයුධ  දීම පමණක් නොව බෝම්බද දමති. අවුරුදු හතක්  තිස්සේ දිග ඇදී යන මේ යුද්ධයේ අනාථයින් බොහෝය. ඔවුන්ට යාමට රටක් නැත. දරුවන් මන්දපෝෂණයෙන් පෙලෙයි.  දරුවන් දහදාහක් පමණ දැනට මිය ගොස් තිබේ.
 
පූටින් ද ඉහත අන්දමේ තර්ක කිහිපයක් එකතු කර තිබේ. මා ඒවා ලිවූ පසු විවේචනය කල බොහෝ  අය පැවසුවේ මා පූටින් ගේ ආක්‍රමණය සාධාරණිකරණය කරන බවයි. මධ්‍යස්ථ ස්ථාවරයක්  ගැනීම යනු පූටින් ගේ පැත්ත ගැනීම බවත් තිබෙන එකම නිවැරදි ස්ථාවරය යුක්රේන් පැත්ත බවත් ප්‍රබල මතයක් සමාජ මාධ්‍ය වල  පැතිරෙයි. මේ මතයට හේතුව මාධ්‍ය වල මෙහෙයුම යයි සිතමි. ලිබරල් සුරතලෙකු  වන පකිස්ථාන අගමැති ඉම්රාන්  ඛාන් ද ඉන්දියාවද රැගෙන ඇත්තේ මධ්‍යස්ථ ස්ථාවරයකි. ඒ කියන්නේ මේ අයට අනුව ඒ පූටින් ට සහය දැක්වීමකි.

 

මේ හිස්ටිරියාව ඇති කර ඇත්තේ මාධ්‍ය විසිනි. මෙහි දරුණු බව කෙතරම්ද යත් ඩොස්ටොයෙව්ස්කි ගේ පොත්  පිළිබඳ  උගන්වන  විශ්ව විද්‍යාල පාඨමාලා ඉවත් කර තිබේ. පූටින් ගේ ආක්‍රමණය හා ඩොස්ටොයෙව්ස්කි අතර සම්බන්ධය හරියට  හැත්තෑ එක කැරැල්ලේදී ලංකා පොලිසිය  “ගම්  පෙරළිය ” පොත අත් අඩංගුවට ගත්තාක් මෙනි. වොඩ්කා තහනමට අමතරව චයිකොව්ස්කි වැන්නන්  ගේ සම්භාව්‍ය සංගීතයද ඔපෙරා ආදියෙන් ඉවත් කරමින් යයි. මෙය විකාරයකි. 

 

පූටින් ගේ එක තර්කයක් නාසි හමුදාය. 

බටහිර මෙන්ම ශ්‍රී ලංකාවේ ලියන්නන් ගේ ද ප්‍රධාන තර්කයක් වන්නේ නාසි කොටස යුක්රේනයේ නැත යන්නය. ඒ මදිවාට මෝඩ තර්කද  ඉදිරිපත් කරති. එනම් අසොව්  බලකාය හැදුනේ යුක්‍රේනයේ  සටන් කරන චෙචේනියානු මුස්ලිම් බලකායට විරුද්ධව කියාය.  සුදු ජාතිවාදීන් (white nationalist group) විසින් එම බලකාය  එය පිහිටෙව්වේ 2014 දීය.  එදා සංචිතය භටයන් 12000 කින් සමන්විත වුවකි. . 

මේ තිබෙන්නේ එම බලකාය ගැන වීඩියෝ එකකි.

 

 
මේ බිබිසි මගින් යුක්‍රේනයේ නාසීන් ගැන 2018 දී කළ විඩියෝවකි. 

 

 

මේ 2015 එකකි. මින් පෙනී යන්නේ මේ කණ්ඩායම් ඊයේ පෙරේදා හැදුනු ඒවා නොවන බවයි. නාසි හමුදා ඛණ්ඩාංක  සමහර නම් මෙසේය:  ස්වබෝදා (නිදහස ) , ප්‍රාවී සෙක්ටර් (දකුණු අංශය ) , නැෂනල් කෝ , ඇසොව් හමුදාව, අයිඩර් හමුදාව, දොන්බාස් හමුදාව, ද්නිපර් -1 හමුදාව. ද්නිපර් -2 හමුදාව.  Svoboda, Pravy Sektor, National Corps, C14, the Azov Battalion, the Aidar Battalion, the Donbas Battalion, the Dnipro-1 Battalion, the Dnipro-2 Battalion

 

හැබැයි යුක්රේනයට මේ චෝදනාව ගෙන ආවද පූටින් ගේ රුසියාවේද තරුණ තරුණියන්ට කැපවුණු ජාතික  ව්‍යාපාරයක් ඇත. අරුම පුදුම ලෙස එහි නම් නාශි ය. නාශි යන රුසියානු වචනයේ තේරුම “අපි ” යන්නය. නමුත් එය බොහෝවිට බටහිර විරෝධී ජාතිවාදී සංවිධානයකි.  එය ඔලිගාර්ක් ලට , නාසින්ට , ෆුට්බෝල් රස්තියාදුකරුවනට විරුද්ධ සංවිධානයක් වුවද විරුද්ධ පාක්ෂිකයන්ට පහර දුන් අවස්ථා ඇත.

 

සෙලෙන්ස්කි මේ අයට මුලදී සහයක් දැක්වූයේ නැත. ඔහු රුසියාව සම්බන්ධව මිත්‍රශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. නමුත් ඔහුට විරුද්ධව විරෝධතා (යනුකොවිච් ට මෙන්) වැඩි වන විට ඔහු මෙම කණ්ඩායම් යුක්‍රේනයේ සාමාන්‍ය හමුදාවට අනුයුක්ත කළේය. (ඇසොව් බලකාය අනුයුක්ත කලේ ඊට කලිනි)

 

 

දැන් යන මාධ්‍ය මෙහෙයුම අතිශය අන්තරාකාරී එකකි. මධ්‍යස්ථ හා රුසියාව පැත්තට කතා කරන  කිසිම දෙයක් ෆේස්බුක්, ගූගල් හා යුටියුබ් වලින් ඉවත් වෙමින් පවතී. එසේ වන්නේ  යුක්‍රේනියානු ජාතිවාදීන් බොහොමයක් ඒවාට එරෙහිව චෝදනා කරන හෙයිනි. ඔවුන්ට අවශ්‍ය රුසියාව  සමග යුද්ධයයි. රුසියාවට අවශ්‍ය ඔවුන් නිරායුධ කිරීමයි. නේටෝවට අවශ්‍ය පුටීන් ඉවත් කිරීමටයි. පුටීන් ට සහ බහුතරයක් රුසියානුන් ට අවශ්‍ය නේටෝව රුසියාව අසලට මිසයිල සමග නොපැමිණීමයි. රුසියාවේ තත්වය ඊට දෙවැනි නැත. රුසියාවේ නිදහස් මාධ්‍ය සියල්ල තහනම් කර හෝ වසා දමා ඇත. රුසියානුන් දන්නේ  ජනාධිපති පූටින් අනුමත  කරන දේ   පමණකි. යුක්‍රේන ප්‍රශ්නය ගැන කාලයකට  කලින් පටිගත කෙරුණු වීඩියෝවක් තිබේ.  

 

යුක්රේනය ගිනි ගනී නමැති මේ චිත්‍රපටය දැන් යුටියුබයෙන්  ඉවත් කර තිබේ. කිසිවෙකු විසින් එය මේ ස්ථානයේ රඳවා ඇතත් එය ඉවත් කිරීමට ඉඩ තිබේ.  මේ වීඩියෝවේ කියන  සියලුම දේ නිවැරදි නොවූවත් රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කරන බවට ඉඟියක් එහි පළවේ. 

 

තම රට එක්සේසත් කිරීම සඳහා පූටින්  චෙචේනියාවේ ග්‍රොස්නි  නගරය සම්පුර්නයෙන්ම සමතලා  වන තුරුම  බෝම්බ දැම්මේය. ඒ ඊට කලින් රුසියානු හමුදාව  දුදායෙව් ගේ හමුදා වලින් පරාජය කිරීමේ  පලිය ගැනීමටත් සමගය. එහිදී මියගිය ප්‍රමාණය 25000 ත් ලක්ෂ දෙකත් අතර වනු ඇති ගණන් බලා ඇතත් කිසිවෙක් එය නොදනී.  රුසියානු සොල්දාදුවන් අටදහසක් පමණ මිය ගොස් ඇත. පූටින් සහ රුසියාව ඔවුන් රණ විරුවන් කර ඇත. රුසියානු මව්වරුන්ට ඇර වෙන කාටවත් එය ප්‍රශ්නයක් නොවේ. චේචේනියාව නැවතත් රුසියානු පාලනයට ගැනීම ගැන  ඔවුන් සතුටු වෙති. සිරියාවේ අලෙප්පොවේ සිදුවූයේද එයයි. යුක්රේනයේ නගර වලට සිදු වන්නේද සිදු වන්නට යන්නේද එයයි. මම ඒ බෝම්බ දැමීමට  සහයෝගය දෙනවා නොවේ. සාම සාකච්ඡා හා යථාර්තය පිලි ගැනීම කෙතරම් වැදගත් ද යන්න මම මේ යුද්ධය පිළිබඳ ලියු හැම ලිපියකම සඳහන් කලෙමි. 

 

රුසියාව විසින් කරන්නේ ජන ඝාතක යුද්ධයකි. නෙටෝවේ ඉහත සඳහන් යුද්ධද ශ්‍රී ලංකාවේ යුද්ධයද බුරුමයේද අනිත් තැන්වලද ජනඝාතක යුද්ධ සිදු විය. සිදුවෙමින් පවතී. නමුත් ඒවානිසාය කියා   පූටින් ගේ ජන ඝාතක යුද්ධය ට සමාව දීමට නොහැකිය. නමුත් මෙහි වරද සම්පුර්ණයෙන්ම පූටින් ටම පැවරිය නොහැකිය. බටහිර මාධ්‍ය කියන්නේ එසේය. වැරැද්ද එතනය. මරියෝපොල් නගරයේ රුසියනුන් හා යුක්‍රේන් වරු සමසේ සිටිති (ලක්ෂ දෙකක් පමණ). පුටින් එය සම්පුර්ණයෙන්  සමතලා නොකරන්නේ එහි සිටින රුසියානු ජනතාව නිසා යයි සිතමි. නමුත් පූටින් නොසිතු ප්‍රශ්නය වූයේ එහි සිටින රුසියානු ජනතාව පූටින් යටතේ නොව යුක්රේනය සමග සිටීමට දක්වන කැමැත්තයි.  පහත ඇති විඩියෝ වෙන් එය පැහැදිලිය. මේ ප්‍රශ්නය පූටින් ට අනිකුත් නගර වලින්ද මතුවී තිබේ. යුක්‍රේනයේ රුසියානුන් ආක්‍රමණයට විරුද්ධ වීම නිසා රුසියානු සොල්දාදුවන් ඔවුන්ට වෙඩි නොතැබීම ප්‍රශ්නයක් වී තිබේ. රුසියාව හෙමින් යාමට එක හේතුවක් වන්නේද එයයි. (අනෙක නම් කලින් ලිපියේ සාකච්චා කල දෙවෙන ලෝක යුද්ධයේ සැලසුම් අනුව යාම) 

 

මම  1991 යෙල්ට්සින් මොස්කව් වල ඔහුගේ විප්ලවය මෙහෙයවන විට එහි සිටියෙමි. රුසියානු හමුදාවේ යුද්ධ ටැංකි කුමන්ත්‍රණ කල කොමියුනිස්ට් නායකයන් මොස්කව් මධ්‍යයට ගෙන ආවද ඔවුන් ජනතාවට වෙඩි තැබීම ප්‍රතික්ෂේප කළහ.  බොහෝවිට යුක්‍රේනයේ අනිත් නගර වල සිටින රුසියානුවන් මේ යුද්ධය අනිත්  පැත්තට හැරවීමට හේතුවක්  විය හැකිය. 

නමුදු  ප්‍රශ්නයක් වන්නේ ඔවුන් පූටින්  ට විරුද්ධ පැත්තේ සිටියද යුක්‍රේන හමුදාවේ ජාතිවාදී සේනාංක කොටස්  (ඉහත දැක්වූ නම් බලන්න ) ඔවුන්ට නගර වලින් එලියට යාමට දෙන්නේ නැත. ඔවුන්ද ඒ පෙදෙස් වලට ප්‍රහාර  එල්ල කරති. (හරියට ශ්‍රී  ලංකාවේ දෙමළ  ජාතිවාදයට විරුද්ධ දෙමළ  අයද ඒ පැත්තට ජාතිවාදී සිංහලයන් විසින්  ඇද දැමු අයුරින්) මේ ප්‍රවෘත්ති බටහිර මාධ්‍ය වල යන්නේ නැත. 

 

එක්කෝ නේටෝවත් රුසියාවත් දෙකම වැරදි විය යුතුය.  නැත්නම් දෙගොල්ලම හරි විය යුතුය. සෙලෙන්ස්කි මෙහි රඟ  පාන්නේ  useful idiot  හෙවත් අවශ්‍ය මෝඩයා ගේ චරිතයයි. පමාවී හෝ ඔහුට මෙය අවබෝධ වන දවසක් එනු ඇත.  

(ඒ දවස පැමිණ ඇති බව මේ ලිපියෙන් පෙනේ. Ukraine will not join Nato, says Zelenskiy, as shelling of Kyiv continues.)

 

 

 රටක් වශයෙන් නේටෝවට ඇතුළු වීමට අයිතිය තිබේ යන  සුන්දර කතා ලිවිම පලක් ඇති දෙයක් නෙමේ. දෙමල ජනතාවට ස්වයං නිර්ණය ඇති මුත් ඉන්දියාව එයට කිසි සෙත් ඉඩ දෙන්නේ නැති බව කීවිට මගේ සමහර දෙමළ  මිතුරන් මෙන්ම ශ්‍රී ලංකාවේ රැඩිකල් වම වෙනුවෙන් පෙනී සිටිනා මිතුරන් කීවේ මා ජාතිවාදියෙකු බවය.

දැන් අප අතර නැති පිටරට මාධ්‍යයක වැඩ කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු එම චෝදනාවම මට එල්ල  කලේ මම ජවිපෙට සම්බන්ධ ජාතිවාදියෙකු බව කියමිනි. මම එදා ඔහුට කීවේ ශ්‍රී ලංකා හමුදාව කැරලි දෙකක්  මර්දනය කර තිබෙන  එසේ කරන ලද්දේ ඉතා දරුණු ලෙස බවත්ය. සාම සාකච්චා වලින් ඉවත් වෙන  ප්‍රභාකරන් හා එල් ටි ටි එකට සිදු වන්නේ ද එය බවයි. ඉන්දියාව ශ්‍රී ලංකා දෙකඩ කිරීමට කැමති නැත. එය ඔවුන්ට ප්‍රශ්නයක් වන නිසාය.  එල් ටි ටි එක කල යුත්තේ සාම සාකච්චා වල සිටිමින් ඊළම නොව සාමාන්‍ය යම් බලතල සහිත පාලනයක් ගැනීමය. ඔහු කිවේ එල් ටි ටි එක ඉතා බලවත්  බවත් ලංකා හමුදාවට හැරෙන්නට වත් බැරි බවත්ය.   මගේ දෙමල මිතුරන්ද ඔය ඉන්දීය කතාවට විරුද්ධ වූහ. එසේම ඔවුන් සිතුවේ බටහිර ඔවුන්ගේ සහයට එයි කියාය. ඔවුන් උදම් ඇනුවේ ඉන්දියාව එළවූ බව කියමිනි. බොහෝ දෙනෙක් මිය යමින් මේ කතාවේ ඉතිරිය ඉතිහාසයට අයිති වුනි.  මගේ එකම ස්ථාවරය වූයේ ජාතිවාදියෙකු නොවීමය.

 

 

කෙනෙකු තවත් ප්‍රශ්නයක් අසා තිබුනේ බලය  ඇති නිසා, ශ්‍රී ලංකාව චීනයට සහය දෙන්නේ යැයි කියා, ඉන්දියාවට ලංකාව ආක්‍රමණය කිරීමට අප ඉඩ දෙන්නේද? මෙය කියවන්නා  නොමග යවන ප්‍රශ්නයකි. ශ්‍රී ලංකාව ඕනෑ තරම් චිනයට සහයෝගය දී ඇත. විශේෂයෙන්ම  සිරිමාවෝ රාජ්‍ය සමයේදී ඒ බව මට හොඳින්  මතකය. චෞ එන් ලායි ශ්‍රී ලංකාවේ  හොඳ මිත්‍රයෙකු වී සිටියේය. ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ට ප්‍රශ්නයක් තිබුනේ නැත. ප්‍රශ්නය ආවේ 1977න් පසු ජේ ආර් ඇමෙරිකාවට සහයෝගය දීම නිසාය.  එසේම ෆෝක්ලන්ඩ් යුද්ධයේදී බ්‍රිතාන්‍යයට සහය පලකළ රටවල් හතෙන් එකක් වුයේ ශ්‍රී ලංකාවයි.  ඉන්දියාව මේවා ඉවසුවේ නැත.

ඉන්දියාව මෙහිදී  වැරදිය. එසේම  නේටෝව ඉරාක – කුර්දි ප්‍රශ්නය භාවිතා කලාක්  මෙන් ඉන්දියාව ලංකාවට එරෙහි වීමට  භාවිතා කලේ දෙමළ  ප්‍රශ්නයයි. පූටින් භාවිතා කරන්නේ  නැගෙනහිර උක්රයින  දොන්බාස් රුසියානුන් ගේ ප්‍රශ්නයයි. ලංකාව ඇත්තටම දෙමළ ජනතාවට හොඳින් සැලකුවේ නැත. නමුත් ඒනිසාම  ඉන්දියාව ලංකාව ආක්‍රමණය කිරීම වැරදිය. එදා  මුළු බටහිර ලෝකයම හා සෝවියට් දේශයද  සහයෝගය දුන්නේ ඉන්දියාවටය.

 

දොන්බාස් පෙදෙසේ මෙන්ම  අනිත් තැන්වලද රුසියානු භාෂාවෙන් වැඩ කිරීම  යුක්‍රේනියානු  රජය තහනම් කළේය. පාසල් වල එම බස ඉගෙනීම පවා තහනම් කළේය. යුක්රේනියානු බස නොදන්නේ නම් රජයේ උසස්වීම් ලබන්නට නොහැකිය. මේ ක්‍රියා යුරෝපා සංගමය  හෙළා දකින්නට මැලි වුනි. ඒවා පිට දමමින් ක්‍රිමියාව  ඈඳ ගත්  පුටින් යුක්රේනය දෙකඩ කළේය.  නමුත් ඇත්ත හේතුව ක්‍රිමියාවේ සේවස්තොපල් වරාය නේටෝවට හිමිවීම වැළැක්වීමයි.

 

ශ්‍රී ලංකාවේ ඇතැමුන් යුක්‍රේනය  රුසියාවට තර්ජනයක්  නිසා එය ආක්‍රමණය කිරීමට රුසියාවට හැක යන අදහසක්  පවසන බව දැන ගතිමි.   මෙය මෝඩ තර්කයකි. තර්ජනය යුක්රේනය නොවේ. එහි මිසයිල පිහිටුවීමට දරන තැතය. එම අදහස පිටුපස ඉන්නේ නේටෝවය. තර්ජනය නේටෝවෙනි.

 

චීනය ලංකාවේ මිසයිල පිහිටුවන්නට ලැහැස්ති වුවහොත් ඉන්දියාව ලංකාව අනිවාර්යයෙන් ආක්‍රමණය කරනු ඇත. එදාට ලංකාව  ස්වාධින රටක්ය  කියා  කිසිවෙකුට කරන්න පුළුවන් ලබ්බක් ද නැත. චීනය ඉන්දියාව සමග සටනට ගියොත් මිස වෙන කවුරුත් ලංකාව වෙනුවෙන් සටනට එන්නේද නැත. චීනය ඉන්දියාව සමග සටනට ගියොත් න්‍යෂ්ටික අවි සහිත රටවල දෙකක් නිසා ඇතිවන තෙවන ලෝක යුද්ධයෙන් ලංකාව වැනසී යනු ඇත.

 

සෙලෙන්ස්කිට මට කියන්නට ඇත්තේද එපමණය.

 

මේ රටවල ශිතල අන්තිම දරුණු ශීතලක් බව මා දන්නේ එහි ජිවත්ව සිටි බැවිනි.  කඩයකින් ඉවීමට බඩු රැගෙන  නවාතැනට යනටික පවා දරුණු  කොශීත සමයේ ඉමහත්  මහන්සියක් දනවයි. ෂෙල් වලට ජීවිතය බේරා ගැනීමට දිවීම, බිම් ගෙවල වල වතුර නොමැතිව, ආහාර නොමැතිව  ශීතලේ සිටීම කොපමණ අපහසුද? අපට බටහිර හෝ ඔස්ට්‍රේලියාව , කැනඩාව වී රටවල් යුක්‍රේනයට  සටන් කරන්නට කියා ලියන්නට පුළුවන.  නමුත්එ අමරුව දන්නේ එහි ජිවත්ත වෙන මිනිසාය. ආක්‍රමණිකයට එරෙහිව කරන යුක්‍රේන සටන සුන්දර අදහසක් බව ඇත්තය. එය  හරියට ස්ටාර් වෝස්  චිත්‍රපටයේ  විප්ලවීය ගරිල්ලා සන්ධානය (Rebel Alliance) එක එම්පයර් එකට එරෙහිව සටන් වැදීම අපට උත්ප්‍රාසය මෙන්ම  සතුට දනවයි. මහා සතුරෙකුට ගොලායත් ට විරුද්ධව  කුඩා ඩේවිඩ් ගේ සටන හා එහි ජයග්‍රහණය ට හැමෝම උදම් වෙති. ශ්‍රී ලංකා හමුදා එල්ටිටිඊ සංවිධනයට විරුද්ධ සටනේ බටහිර මාධ්‍ය ශ්‍රී ලංකාව පැත්තේ සිටියේ නැත. ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාව ක්‍රිකට් කුසලානය ඔසවනවිට ඔවුන් සිටියේ ලංකාව පැත්තේය.  අද හැමෝම යුක්‍රේනය පැත්තේ ඉන්නේ ඒ අනුවය. 

නමුත් සැබෑව නම් යුක්රේනය පිටුපස රුසියාවට  වඩා බලවත් නේටෝ සංවිධානය සිටීමයි.  මෙතැන ඇත්තේ බලවත් යුධ කඳවුරු දෙකක් අතර හාල්මැස්සන් ගේ භුමීයේ පවතින  සටනකි. 

 

මේ යුද්ධය මාධ්‍ය කියන  ආකාරයට දිනාගෙන යන්නේ  යුක්රේනයයි. නමුත් එසේ  දිනනවා නම් ජනාධිපති බයිඩන්  තෙල් සහ ගෑස් රුසියාවෙන් ගැනීම  තහනම් කරන්නේ නැත. එක්සත් රාජධානිය මේ අවුරුද්ද අවසානය වන විට රුසියානු තෙල් සහ ගෑස් මිලට  ගැනීම නවතන බව කියයි. යුරෝපය ගෑස් නවතන බවක් කියන්නේම  නැත.  ගෑස් සහ තෙල් වලින් රුසියාවට  දිනකට ඩොලර් බිලියන් එකත් එකහමාරත් අතර  ආදායමක් ලැබේ. ඒ වෙනුවට රුසියානු ධනපතීන් හෙවත් ඔලිගාර්ක්ස් නොහොත්  කතිපයාධිකාරීන් (වචනය උපුටා ගත්තේ මෙතැනිනි.)  ලාට සම්බාධක පනවා ඇත. එයින් පූටින් ට වත් රුසියානුන් ට වත් වගේ  වගක් නැත. නැතිවන්නේ ඔවුන්ගේ මුදල් නොවේ. ආයෝජන නැතිවන්නේ බටහිරටමය. රුසියානුන් ඔලිගාර්ක්ස් ලාට කොහොමටත් කැමති නැත. සෝවියට් දේශයේ මහජන  මුදල් සොරා ගත්  ඔවුන්ට නවාතැන් දුන්නේ ලන්ඩනය ඇතුළු බටහිර යයි ඔවුහු චෝදනා කරති. එයත් නිවැරදිය. රුසියාවට පැනුන සම්බාධක වලින් ඔවුන්ට යම්  පහරක්  වැදෙනු  ඇත. හැබැයි රුසියාව න්මිලදී ගන්නා සුඛෝපභෝගී භාණ්ඩ නැතිවීම නිසා පහර වදින්නේ නාගරික ජනයාටය. පූටින් ට විරුද්ධ උද්ඝෝෂණ වලට යන්නේ ඔවුන්ය. නමුත් තවමත් බහුතරයක් රුසියානු ජනතාව ඉන්නේ පූටින් ගේ පැත්තේය. 

 

 බටහිර ජිවත්වන අපට වැදෙන  පහරද සුළුපටු නැත. ලන්ඩනයේ තෙල් මිල නොවූ විරු ලෙස ඉහල ගොස් ඇත. වාහනයේ පෙට්‍රල් ටැංකිය පිරවීමට යන මුදල දෙගුණ වී ඇත. මාසික ගෑස් මිල දෙගුණ වී ඇත. ඒ නිසා අනිකුත් බඩු  බාහිරාදියේ මිලද ඉහල යමින් පවතී. සීඝ්‍ර උද්ධමනයක් අත ළඟය.  බටහිර ආර්ථිකයට වදින පහරද සුළුපටු නැත. ඒ ආර්ථික යුද්ධය එන්නේ ඉදිරියටය. 

 

පූටින් ඇරඹු යුද්ධයෙන් තවත් අයට වාසි සිදුවී ඇත. 

වෙනිසියුලාවේ සමාජවාදී ආණ්ඩුව තව දුරටත් නරක එකක් නොවේ.එහි ජනාධිපති  නිකොලස් මදුරෝ චෝයි බබෙකි. මේ බව අපට කියන්නේ  එහි ගිය ඇමෙරිකානු නියෝජිතයන්ය. ඔවුන්ට පැනවූ සම්බාධක ලිහිල් වෙන අතර අඩු මිල තෙල් ලෝක වෙළඳ පොලට ඒමට නියමිතය. රුසියාවෙන් නොගන්නා තෙල් ඇමෙරිකාව සැරසෙන්නේ වෙනිසියුලාවෙන් ගැනීමටය. 

 

එසේම ඉරානයේ  සිර  දඬුවම් විඳිමින්   සිටි බ්‍රිතාන්‍ය පුවත්පත් කලාවේදිනිය අද නිදහස් කරන ලදී. ඒ නිසා (allegedly ඒ නිසා) ඉරානයේ තෙල් වලට පනවා ඇති සම්බාධක  ඉවත් වෙනු ඇත. බොරිස් ජොන්සන් අද සවුදි අරාබියට ගියේ අසූ එක් දෙනෙකු එල්ල මැරූ හේතුව අහන්නට නොවේ. තෙල් නිෂ්පාදනය වැඩි කරන්නට කියන්නටය.

මේවා ඔක්කොම අපට හොඳය. ඒ නිසා කට වහගෙන සිටීම වාසිය. ෆේස්බුක් එකේ මවිසින්  මේවා විවේචනය කරනු ඔබට දැකිය නොහැක්කේ ඒ නිසාය. 

 

මේ යුද්ධයට ඇති හොඳම විසඳුම සෙලෙන්ස්කි විසින් නේටෝව අමතක කර  සාකච්ඡා වලට යාමය. ක්‍රිමියාව  ඔවුන්ට අහිමි වනු ඇත. නමුත් රට ගොඩ නගා තායිවානය මෙන් හොඳ ආයුධ  ටිකක් රැස් කර ගතහොත්  රුසියාවට නැවත  ඔවුන්ට අත තැබීම අපහසු වනු ඇත. ඒත් දැන්නම් පමා වැඩි විය හැකිය.   නේටෝව හමුදා යැව්ව හොත් හෝ පියාසර තහනම්  කලාපයක් ක්‍රියාත්මක  කළහොත්  තෙවන ලෝක යුද්ධයක් ඇරඹීමේ අවදානම වැඩිය.  

 

පූටින් ගේ අදහස යුක්‍රේනය අල්ලා ගැනීමම  නොවේ.  ඔහුගේ සැලසුමේ ඩොලරයට පහර දීමේ කොටසක්ද ඇත. ඒ සඳහා  ඔහුට චීනයේ සහයද  අවශ්‍යය.  

වෙන කෙනෙකු නොලිව්වොත්  ඒ ගැන විස්තරයක් ඉදිරියේදී සපයමි.

Ajith

 

ඔබේ අදහස කියන්න...