ධර්මසිරි බණ්ඩාරනායක 1980 දී අධ්‍යක්ශනය කල හංස විලක් අද වන විටත් මිනිසාගේ අවිඥානික ආශාව වඩාත් සැකෙවින් පැහැදිලි කර ගැනීමට හැකි විශිෂ්ටතම සිනමා කෘතියයි.නිශ්ශංක වීරසිංහ නම් විවාහක දෙදරු පියා සහ මිරැන්ඩා රණවීර නම් ගැහැනිය අතර ඇති වන අනියම් සම්බන්ධය කතා තේමාව කරගත් හංස විලක් චිත්‍රපටයේ ගීත අතරින් ” හෙමින් සැරේ පියා විදා” ගීතය වැදගත් ය.ඒ එම ගීතය වාදනය වන්නේ නිශ්ශංක සහ මිරැන්ඩා හෝටල් කාමරයක අනියම් පෙම් සුව විදිමින් සිටින අතර වාරයේ පොලීසිය එතැනට කඩා පනිනා අවස්තාවේ නිසාය. එවැනි මොහොතක නිශ්ශංකගේ සහ මිරැන්ඩාගේ හැගීම් වඩාත් ප්‍රේක්ශකයින්ට සමීප කරන්නේ එම ගීතයෙනි. ගීතය ගායනා කලේ ස්ත්‍රීවාදිනියක් ලෙස ලංකාවේ ප්‍රබල හඩක් නැගූ සුනිලා අබේසේකර සමග ටී එම් ජයරත්නයි. වර්තමානයේ උමාරියා සිංහවංශ මෙම ගීතය කිහිප වරක් ගායනා කලේය.youtube හරහා ඔබට සුනිලාගේ ගීතය සහ උමාරියාගේ ගීතය ඇසීමට හැකිය.සුනිලාගේ ගීතය සහ උමාරියාගේ ගීතය යනුවෙන් එය හදුන්වන්නේ උමාරියා විසින් නැවතත් ගායනා කලේ සුනිලා විසින් ගායනා කල මුල් ගීතය නොවන හෙයිනි.එහි බොහෝ වෙනස් කම් ඇත.ගීතයේ ආලප් පවා මුල් ගීතයට වඩා වෙනස් ය.ගීතයකට ආලප් යොදන්නේ වචන නොමැති හිස් තැන් වල ගීතයෙන් දන්වන හැගීම් වඩාත් තීව්‍ර කරන්නටය.එසේ නම් නිශ්ශංක සහ මිරැන්ඩාගේ අනියම් ප්‍රේමය නීතියට අසු වූ විට දැනෙන බිය, ලැජ්ජාව “හෙමින් සැරේ පියා විදා” ගිතය ගායනා කල සුනිලා සහ ටී එම් ජයරත්නද තම හඩින් ප්‍රේක්ශකයින්ට සහ අසන්නන්ට වඩාත් සංවේදී කල  යුතුය.එම ගීතයට සවන් දෙන විට එය අපට වඩාත් සැකෙවින් වටහා ගත හැකිය.උමාරියාට මේ ගීතය ගායනා කරන විට ඇග නැටවෙන්නේ ඇයි? මිරැන්ඩාගේ සහ නිශ්ශංකගේ ශෝකය උමාරියාට විනෝදයක් ( Entertainment) බවට පරිවර්තනය වීමේ රහස අප ලිහා ගත යුතුය. 
80 දශකයේ අනියම්? සබදතා යනු සමාජයේ ආශාවයි.එසේ නැත්නම් යතාර්තයයි.නමුත් මේ යුගයේ විවාහයෙන් පිටත සබදතාවයක් යනු යතාර්තයෙන් ඔබ්බට ගිය සාරයක් නොමැති හුදෙක් හිස් තැනකි.වර්තමානයේ අනියම් සම්බන්ධතා යනු ආශාවේ වස්තුවක් නොවේ.එයින් තවදුරටත් තහනමේ සතුට විදගත නොහැක. හංස විලක් සිනමා කෘතියේ මිරැන්ඩාගේ ආශාව නිංශ්ශංක වනවාටත් වඩා එහිදී සිදු වන්නේ නිශ්ශංකගේ ස්ත්‍රීත්වය මිරැන්ඩා විසින් ඔහුට හඳුන්වා දීමයි.මිරැන්ඩා හිස්ටරික ගැහැනියකි.පීඩාවෙන් ප්‍රමෝදයට පත් වන ගැහැනියකි.නිශ්ශංකට ජීවත් වීමට අවශ්‍ය තිගැස්ම ලබා දෙන්නේ මිරැන්ඩා ය. වර්තමානයේ අනියම් සම්බන්ධතා තව දුරටත් රහසක් නොවේ.එම නිසා නිශ්ශංකට මිරැන්ඩාගෙන් ලැබුන තිගැස්ම වර්තමාන පිරිමින්ට ලබා ගත නොහැක.සමණලීලාට මේ යුගයේ පිරිමින්ට ලබා දීමට නොහැක්කේ ඒ තිගැස්මයි. මිනිස් සන්තානය වඩාත් පැහැදිලි කර ගැනීමට හංස විලක් සිනමා කෘතිය සෑහේය. උමාරියාට හෙමින් සැරේ ගීතයට ඇඟ නැටවෙන්නේ ඇයටත් නොදැනීය. ඇය ශෝකාන්තයකින් ප්‍රමෝදයක් ලබන්නේ අවිඥානිකවය. වර්තමානයේ යතාර්තය එයයි.ශෝකාන්තයක් එසේත් නැත්නම් අනෙකාගේ සන්තාපය සමාජයේ විනෝදය බවට පත් වී ඇත.

උමාරියා ස්ත්‍රියකි. හංස විලක් හි මිරැන්ඩා උමාරියාගේ කියවීමට හසු වන්නේ නම් ඇගේ කියවීම කෙසේ වේවිද? අපට උපකල්පනය කල හැක.
වර්තමානයේ ඇයට අහිමි වී ඇති ප්‍රමෝදය 80 දශකයේ හංස විලක් චිත්‍රපටය තුල ජීවමාන වු මිරැන්ඩා විසින් අත් විදීයි.  මිරැන්ඩා ඇයගේ අවිඥානික ෆැන්ටසිය බවට පත් විය හැක.ඇයගේ අවිඥානික ආශාව මිරැන්ඩා නිශ්ශංකගෙන් ලබා ගන්නා ප්‍රමෝදයයි. පීඩාවයි. උමාරියා සිංහවංශලා ප්‍රමෝදයට පත් කිරීමට මේ යුගයේ නිශ්ශංකලා එන්නේ නැත.එක්කෝ නිශ්ශංකලා ඔලුව විකාර වී අංගොඩය.නැත්නම් ඔවුන් වේගයෙන් පලා යමින් සිටී. මිරැන්ඩා හෝටල් කාමරයේ සිට පොලීසියට හසු වන මොහොතේ ඇති වන පීඩාව උමාරියාගේ අවිඥානික ප්‍රමෝදයේ උච්චතම තැන බවට පත් වන්නට ඇත. ඇය නටන්නේ ඒ නිසා ද? 
ඉතිහාසයේ යම් මොහොතක සිදු වූ සංස්කෘතික , කලාව, සමාජ පංතීන් වල වෙනස් වීම පශ්චාත් නූතනවාදය ලෙසට ෆ්‍රෙඩ්‍ක් ජෙම්සන් කල නිර්වචනය සලකා බැලුව හොත් මෙහිදී අවසාන වි ඇත්තේ සමස්ත සමාජයේම සාරයයි.සුනිලා අවසන් වී උමාරියාගේ පැමිනීමයි( උමාරියා යනු මෙහිදී සංකේති අර්තයක් පමනක් වේ). යමක් අවසාන වූ පසු නැවත එය පිලිබදව තැවීම අතීතකාමයයි.මේ කරන්නේ මුල් දෙය අවසන් වී ඒ මත නැවත බිහි වූ දෙය පිලිබදව කෙරෙන දෘශ්ටිවාදී කියවීමකි. උමාරියා ඔබ කලාකරිනියක්දැයි ප්‍රශ්න කිරීමට එසේත් නැත්නම් මිරැන්ඩාගේ පීඩාවට නටන්න එපා යැයි කීමට කිසිවෙකුත් පෙලෙබෙන්නේ නැත.ඒ දැනගෙන නොදන්නවා ලෙස සිටීමයි.උමාරියා කල යුත්තේ හැගවුම්කාරකයෙන් නියෝජන නොකරන දේ ප්‍රේක්ශාවක් බවට පත් කිරීමයි. 
අනෙකාගේ මරනීය වේදනාව සමාජයේ විනෝදය බවට පත් වීම හැගීම්බර ගීතයකට නටනවාට වඩා සංකීරණය.

මිනිසාගේ ආශාවේ පරිනාමය සහ එය ආශාවේ මරනය කරා යන්නේ කෙසේදැයි සන්නස්ගල ජීවමාන උදාහරනයකි.ඔහුගේ ආත්මීයත්වය මියගොස්‍ ය.ඔහු දැන් කලවම් අච්චාරුවකි.පස්ස පන නැති අබ්බගාත ලමා කාලයේ විදි පීඩාව සිහි කරමින් තරු පහේ හෝටලයකට ගොස් විදි සන්නස්ගලගේ විනෝදය අවසන් වී බොහෝ කල් ය. ‍රහසක්ව විදී අතීත පීඩාව “අම්මා” කෘතියෙන් එලියට දැමූ පසු තව දුරටත් එය සන්නාගේ රහස නොවේ.එතනින් ඔහු එතෙක් විඳි රහස් පීඩාවේ විනෝදය අවසන් විය. දැන් ඔහු සිගරට් බොන පින්තූර ෆේස් බුක් දමා, ජාතිවාදීන් හා ආගම්වාදින් සමග ගැටෙමින් අහිමි වූ විනෝදයේ හිස් තැන පුරවා ගැනීමට උත්සාහ දරයි. ඔහු රෝහිත භාෂන අසීරුවෙන් කල දෙය චූ කරනවා වැනි සරල දෙයක් බවට පත් කර ඇත.තොප්පිය දාගත්තාට සන්නස්ගලගේ ආත්මීයත්වය මිය ගොස් අවසන් බව ඔහුට තවමත් වැටහී නැත.
ඔබව සතුටට පත් කිරීමට තවකෙක් හැඩිය යුතුය යන්න සමාජ යතාර්තය බවට පත් වීම කොතරම් භයානකද? එහි ශේෂය පරපීඩා හිස්ටරික සමාජයකි.ඔබ ගමන් කරමින් සිටින්නේ මරනීය ආශාවකට බව ඔබට පැහැදිලි ඇති.එහි අවසානය ඔබේ ආත්මීය මිය යාමයි.
හංස විලක් හී හෙමින් සැරේ ගීතයට උමාරියාගේ ඇග නැටවීමට සමාව දිය හැක්කේ අනෙකාගේ සන්තාපයෙන් විනෝදයක් ලබනවුන්ට පමනි.

ඔබේ අදහස කියන්න...