‘සමාජය’ හැදෑරීම සඳහා දාර්ශනික ක‍්‍රමවේදයක් තමන්ගේ අලූත් කෘතිය වන ‘සමාජීය – මානවීය විද්‍යා පර්යේෂණ’ (2010 – සමාජ විද්‍යාඥයන්ගේ සංගමයේ ප‍්‍රකාශනයකි) මඟින් ඉදිරිපත් කරන ආචාර්ය ජයදේව උයන්ගොඩ මහතා ඉතා රැඩිකල් ලෙස යහපාලන ආණ්ඩුවේ දේශපාලන ප‍්‍රවේශයන් වටහා ගැනීමට ඥාන – විභාගය මුල් කොට ගත් ක‍්‍රමවේදී එළඹුමක් යෝජනා කරයි. තම කෘතියේ අන්තර්ගතයේ වැඩි කොටසක් උයන්ගොඩ වෙන් කර ඇත්තේ ඥාන – විභාගයට අදාළ විධික‍්‍රමය විවේචනය කිරීමටය. ලංකාවේ සමාජ – මානව විද්‍යාවල විධික‍්‍රමය ඉංග‍්‍රීසි තර්කානුසාරී යථානුභූතවාදය තුළ එරී ඇති ආකාරය එම කෘතිය මඟින් උයන්ගොඩ මැනවින් විග‍්‍රහ කරයි.

ලංකාවේ දේශපාලන විද්‍යාවේ (එනම් Political Science) විෂය ක්ෂේත‍්‍රය වන්නේ දේශපාලනය පිළිබඳ වාස්තවික අධ්‍යයනයන්ය. එමඟින් හදාරන්නේ දේශපාලනය අරබයා දෛනික කටයුතුය.

උදා – ව්‍යවස්ථාව, තුලනාත්මක ව්‍යවස්ථා විග‍්‍රහය, රාජ්‍යය, රාජ්‍යයේ ස්වභාවය, දේශපාලන පක්ෂ, බලපෑම් කණ්ඩායම්, දේශපාලන චින්තනය, ලංකාවේ යටත්විජිත පාලකයන්, දේශපාලනයේ ස්ත‍්‍රී – පුරුෂභේදය, ජාතික ගැටලූව යනාදියයි.

උයන්ගොඩම දන්නා පරිදි ලංකාවේ සෑම විශ්වවිද්‍යාලයකම පාහේ දේශපාලන විද්‍යා දෙපාර්තමේන්තුවක් ඇත. නමුත් ලංකාවේ සමකාලීන දේශපාලන සංකීර්ණතා ‘ප‍්‍රහේලිකාවක්’ ලෙස සකස් කර ඒ ගැන  පර්යේෂණ කිරීමට මේ දෙපාර්තමේන්තු අසමත්ය. ඔවුන්ගේ පර්යේෂණ බොහෝ විට උපයෝගීතාවාදීය. ඔවුන් විධි – ක‍්‍රමික ගැටලූව ලෙස සලකන්නේ ඥානයයි. නමුත් සමකාලීන දේශපාලනයේ දී ඥානය (Knowledge) යන්න පැරණි සන්දර්භය තුළ වටහාගත නොහැකිය.

උදාහරණයක් ලෙස ‘යහපාලනය’ නමින් සිවිල්  සමාජය විසින්ම නාමකරණය කරන ලද දේශපාලන ප‍්‍රපංචය අද ඔවුන්ට දිරවාගත නොහැකි සංකල්පයක් වී ඇත. උයන්ගොඩ මැදිහත් වන්නේ මේ අවස්ථාවේදීය. නමුත් ඔහුගේ මතවාදී එළඹුම ගැටලූකාරීය. මේ සඳහා විසඳුමක් යෝජනා කරන්නේ කෙසේද? අපි පළමුව උයන්ගොඩ විසින් යහපාලන ආණ්ඩුවේ අපගමනය සූත‍්‍රගත කරන ඥාන – විභාගාත්මක එළඹුම පරීක්ෂා කරමු.

  A ඇමැතිවරයකු ඉදිරියේ දුරකථනයෙන් ‘දීන’ වන පොලිස්පතිවරයාට ‘ස්වාධීනතාවේ’ පාඩම දැන්වත් කියා දිය යුතුය.

 B ඊළඟ වැදගත් කාරණය වන්නේ මෙම කාරණය ගැන අගමැතිතුමා දක්වන හාස්‍යජනක ප‍්‍රතිචාරයයි. සුපුරුදු පරිදි ඔහු කළේ ඉතා වැදගත් රාජ්‍ය ප‍්‍රතිපත්තිමය කරුණක් හෑල්ලූවට ලක් කිරීමයි. අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධ මහ බැංකුවේ බැඳුම්කර වංචාවේ සිට පොලිස්පති – සාගල සිදුවීම් දක්වා මෙම ආණ්ඩුවේ යහපාලන ප‍්‍රතිසංස්කරණ න්‍යාය පත‍්‍රයේ හදවතටම පහර වදින වැඩ ආණ්ඩුව පැත්තෙන් කෙරෙන විට උගත් අගමැතිවරයා කර තිබෙන්නේ ඒ ගැන ස්වයං විවේචනයක යෙදී ප‍්‍රතිපත්ති නිවැරැුදි කර ගැනීමක් නොවේ. ඒ කරුණු මතු කරන අය ගැන හාස්‍යය සහ උපහාසය ජනිත කර, මහජන සාකච්ඡුාවට බඳුන් වන නිමිත්ත හෑල්ලූවට නගා අවලංගුවට ලක් කිරීමයි. මෙය එක අතකින් එතුමගේ උද්දච්ඡුභාවයත්, අනෙක් අතට තමන්ම ජනතාවට ඉදිරිපත් කළ චර්යාධාර්මික ආණ්ඩුකරණය යන මූලධර්මය ගැන දැන් බලයේ රැුඳී සිටිද්දී එතුමා වර්ධනය කරගෙන ඇති පිළිකුලත් ප‍්‍රකාශයට පත් කරන්නකි.

C කොළේ වැසීමේ දේශපාලනය තුළ, ආණ්ඩුවේ දූෂණ විරෝධී පරීක්ෂණවල දී, මාතර – හම්බන්තොට දිස්ත‍්‍රික්කවල රාජපක්ෂ පවුලට සම්බන්ධව සිටි තම ‘නෑදෑයන්’ රැුක ගැනීමේ කි‍්‍රයාවලියක් ද සිදු වන බව පෙනේ.

පරාජය වන යහපාලනය, ජයදේව උයන්ගොඩ, රාවය 2016/12/11

දැන් අපට උයන්ගොඩගේ විධි – ක‍්‍රමික දෝෂයට අවධානය යොමු කළ හැකිය. උයන්ගොඩ විසින් දැඩි ලෙස අවධාරණය කරන්නේ දේශපාලනයේ වාස්තවික ක්ෂේත‍්‍රය ගැනය. මෙම තත්ත්වය මඟින් නිරූපණය වන්නේ ‘දේශපාලන විග‍්‍රහය’ වාස්තවික ක්ෂේත‍්‍රයට පමණක් සීමා කළ යුතුය යන සම්භාව්‍ය මාක්ස්වාදයේත්, ගතානුගතික ට්‍රොට්ස්කිවාදයේත් සූත‍්‍රයයි. මා යෝජනා කරන්නේ සමකාලීන පසුනූතන දේශපාලකයන්ගේ චර්යාව වටහා ගැනීමේ දී වාස්තවික විග‍්‍රහයන් හෝ දැනුම (සාම්ප‍්‍රදායික අර්ථයෙන් – එනම් දැනුම අපව අවිද්‍යාවෙන් විද්‍යාව වෙතට තල්ලූ කරන බවට වූ අගතිය) තවදුරටත් අපට විද්‍යාවක් නොවන බවය.  ඇත්ත වශයෙන්ම අපව  එම අගතීන් රැුගෙන යන්නේ මුළාවන් වෙතටය.

මේ නිසා අපට විධි – ක‍්‍රමික ඛණ්ඩනයක් දේශපාලන විශ්ලේෂණයේ දී අවශ්‍යය. මකියාවෙල්ලිගේ භාෂාව මොහොතකට මතක් කර අපට මෙවැනි ප‍්‍රවාදයක් ගොඩනැගිය හැකිය. ‘දේශපාලනය සදාචාර ක්ෂේත‍්‍රයට අයිති නැත.’ කෙටියෙන් කිවහොත් උයන්ගොඩ නම් දේශපාලන විද්‍යාඥයාගේ විධික‍්‍රමික ගැටලූව වන්නේ ඔහු දේශපාලනය සදාචාරය සමඟ පටලවා ගැනීමයි. රනිල් වික‍්‍රමසිංහ නම් දේශපාලකයාගේ චර්යාව වටහා ගැනීමේ දී වඩා අවධානය යොමු කළ යුත්තේ තර්ක බුද්ධියට නොව ආත්මීය ක්ෂේත‍්‍රයටය. ව්‍යක්ත ලෙස ප‍්‍රකාශ කළහොත් මාක්ස්වාදයේ සඳහන් ප‍්‍රතිපක්ෂයන්ගේ එකමුතුව, විනෝදය, ඊර්ෂ්‍යාව, කොටවා ප‍්‍රමෝද වීම වැනි සාධක අද දවසේ දේශපාලනිකය.


අද දවසේ අප කරන දේශපාලන විශ්ලේෂණ පදනම් විය යුත්තේ වාස්තවිකත්වය මත නොව ආත්මීයත්වය කේන්ද්‍ර කොටගෙනය. අද යථාර්ථය ඉල්ලා සිටින්නේ දේශපාලන විද්‍යාව නොව දේශපාලන දර්ශනය නම් විෂයයි. දෙවැන්න පළමු වැන්නට වෙනස්ව මතු කරන්නේ සමාජ ජීවිතයේ ‘යහපත් මනුෂ්‍යයකු’ වීම ගැනය. මේ යහපත් යනු අප දැනට දන්නා සදාචාරය නොවේ. ඊට ප‍්‍රතිපක්ෂව ‘යහපත්’ : (Good) යනු තමන්ගේ ආත්මය දෙසින් හඳුනා ගන්නා, අව්‍යාජ කි‍්‍රයාවන්ය. නූතන මිනිසාගේ කි‍්‍රයාවන්හි චර්යාධාර්මික (Ethical) සාරය ඇත්තේ මෙම රැුඩිකල් හොඳ තුළය. මෙම ‘හොඳ’ සදාචාරයේ පැත්තෙන් නැරඹූ විට නපුරකි. (Evil) මේ නපුර රැඩිකල් විඥානවාදයකි.

උදාහරණයක් ලෙස පොලිස්පතිවරයා සාගල ඇමැතිවරයා ඉදිරියේ නීචව හැසිරෙන බවක් දෘශ්‍යමානයේ පෙනෙනමුත් පොලිස්පතිවරයා තමන්ගේ ආත්මීය පැත්තෙන් කරන්නේ සාගලට නපුරකි. එනම් නරුමවාදයයි. (Cynicism) සමකාලීන නරුමවාදියා සම්භාව්‍ය නරුමවාදියාට වඩා වෙනස්ය. ඩයෝජිනස් වැනි ග‍්‍රීක නරුමවාදියෙක් ප්ලේටෝගේ සාරධර්ම විචාරය කිරීමට ප‍්‍රසිද්ධියේ රමණයේ යෙදුණු, ශිෂ්‍යයන්ට පස්ස හරවාගෙන උගන්වන ලද, පීප්පයක ජීවත් වූ, වෙළෙඳපොළට ගොස් ස්වයං මෛථුන්‍යයේ යෙදුණු කෙනෙකි. ඉන් අදහස් වන්නේ පැරණි නරුමවාදියා තම අදහස් ප‍්‍රසිද්ධියේ කි‍්‍රයාවට නැංවීමට කැප වූ මිනිසෙක් බවයි. නමුත් පොලිස්පතිවරයා වැනි පශ්චාත් – නූතන නරුමයන් ඩයෝජිනස්ට සපුරා වෙනස්ය. නූතන නරුමවාදියා සහ ඔහු ප‍්‍රසිද්ධියේ සුරකිනවා යැයි ප‍්‍රතිඥා දෙන පරමාදර්ශ අතර පරතරයක් පවතියි. ඔහු තම ඇමැතිවරයා ඉදිරිපිට ප‍්‍රසිද්ධියේ උයන්ගොඩ කියන්නාක් මෙන් නීච වනවා නොව ඔහු ඒ විනෝද වනවාය. පොදු ජන වහරට අනුව කිවහොත් සාගලට ඇරීමෙන් ඔහු ප‍්‍රසිද්ධියේ විනෝද වෙයි. මේ ‘විනෝදය’ ගැන ව්‍යවස්ථා සභාවට අවබෝධයක් නැත. රනිල් වික‍්‍රමසිංහට අදාළ කොටගෙන මෙම සත්‍යය ප‍්‍රකාශ කළහොත් ඔහු පොරොන්දු වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ මල්ල සහ ඔහු අතර ද පරතරයක් ඇත. ඔහු වෘක හම පොරවා ගත් බැටලූවෙක් නොවේ. ඔහු ආත්මීය වශයෙන්ම ගත් විට බැටලූවෙකි. ඔහු විනෝද වන්නේ ඔහු පොරොන්දු වූ බලාපොරොත්තු ඉෂ්ට කිරීමෙන් නොව ඒවා කැඞීමෙන්ය. චන්ද්‍රිකාගේ සනත් ගුණතිලක යනු වික‍්‍රමසිංහගේ සාගල රත්නායකයි. මේ දේවල් අවබෝධ කරගැනීමට දේශපාලන විද්‍යාව අසමත්ය. එසේ නම් තමන්ගේ පොරොන්දු ඉෂ්ට කරන අයට වඩා ඒවා කඩන අයට මිනිසුන් බැඳෙන්නේ ඇයි?

marion_crane

මේ සඳහා අපි ඇල්ෆ‍්‍රඞ් හිච්කොක්ගේ ‘සයිකෝ’ චිත‍්‍රපටයට අවධානය යොමු කරමු. චිත‍්‍රපට කතාවේ  පළමු කොටසට අනුව මාරියන් කේ‍්‍රන් මුදල් වගයක් හොරකම් කිරීම නිසා වරදට පෙලඹෙයි. ඇය කරන්නේ වරදකි. ඇය සමඟ අප ද එම වරදම කරයි. මේ නිසා අපගේ ආශාව ඒ සඳහා ඇතුළතින් යම් දඬුවමක් පොරොත්තු වෙයි. නෝමන් බේට්ස් පැමිණ මාරියන් කේ‍්‍රන් ඝාතනය කළ පසු ඔහු සමඟ අප අනන්‍ය වන්නේ මේ නිසාය. අප මේ මිනීමරුවා සමඟ අනන්‍ය වූයේ ඔහුගේ සදාචාර කි‍්‍රයාව නිසාය.

‘යහපාලන’ ආණ්ඩුව හොරකම් කරන විට, වික‍්‍රමසිංහ නරුමයෙක් ලෙස තම පරමාදර්ශ සමඟ සෙල්ලම් කරන විට උයන්ගොඩ සිතන පරිදි මිනිසුන් ඉන් ඈත් වන්නේ නැත. එසේ වන්නේ වික‍්‍රමසිංහ හෝ සාගල හෝ පොලිස්පති මෙන්ම බහුජනයා ද නරුමයන් නිසාය. පශ්චාත් – නූතන සමාජයක මිනිසුන් පාලකයාට අනන්‍ය වන්නේ ඔහුගේ දක්ෂතා නිසා නොවේ. ඔහුගේ දුර්වලතා නිසාය. සාමාන්‍ය ජන ජීවිතය තුළ මහජනයා ද හොරකමින් ජීවත් වෙයි. එනිසා එයම කරන නෝමන් බේට්ස්ලාට අනන්‍ය වනවා මිස ඔවුන්ව ප‍්‍රතික්ෂේප කරන්නේ නැත. විචාරයට ලක් විය යුත්තේ මෙම නරුම ඉඩ මිස යථාර්ථය නොවේ. ඒ අනුව වික‍්‍රමසිංහ තක්කඩියෙක් නොව නරුමයෙක්ය. නරුමයන්ව හේතුව හරහා වටහා ගැනීම දුෂ්කරය.

ඔබේ අදහස කියන්න...