ලංකාවේ ජීවත් වන සංකල්පීය ජීව ගුණයෙන් හෙබි වඩාත්ම දේශපාලනික දේශපාලන විද්‍යාඥයා සමහර විටෙක ජයදේව උයන්ගොඩ විය හැක. සරල ගැමි ජීවිතයක සිට කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු දක්වා ඔහු පරිණාමය වී ඇත. අරගලකරුවෙකුගේ ජීවිතයෙන් ඉවත් වී මේ දක්වා ඔහු දශක හතරක් පමණ දේශපාලන කුණාටු මැද ජීවත් වී ඇත. අද මා උත්සාහ කරන්නේ පීඩිත සමාජ ස්ථර විසින් ලංකාවේ රාජ්‍යයට එරෙහිව කරන ලද කැරලිවල ‛ප්‍රථිඵලය’ ගැන ඔහුගේ අදහස විචාරය කිරීමටය. මේ විෂය ගැන ඔහුගේ නිගමනාත්මක අදහස් පළ වී ඇත්තේ “දකුණේ කැරැල්ල සහ ශ්‍රී ලංකාවේ කැරලිකාර දේශපාලනයේ අනාගතය” නම් ලිපියේය. ජනතා විමුක්ති පෙරමුණේ වැඩ න්‍යාය ගැන උයන්ගොඩගේ අදහස පළමුව සලකා බලමු.

“විජේවීරගේම සුපුරුදු වචනවලට අනුව ජවිපෙ දේශපාලන ව්‍යාපෘතිය වූයේ ‛මාක්ස්වාදී විශ්ව සත්‍යයන් ශ්‍රී ලංකාවේ සුවිශේෂ තත්ත්වයනට ගැලපීමයි.’ මෙය මාවෝවාදයට නෑකමක් දැක්වූ ප්‍රවාදයකි. එහෙත් එය ජවිපෙ යොදා ගත්තේ සම්ප්‍රදායික ස්ටැලින්වාදී – ට්‍රොට්ස්කිවාදී වාමාංශයෙන් තමන් වෙන් කර හඳුනා ගැනීමටය. මූලික සංකල්පවාදී හා මූලෝපායික ක්ෂේත්‍රයන් ගණනාවකදී ජවිපෙ මෙම වෙනස සංයුක්ත බවට පත් කළේය.”

විප්ලවය පිළිබඳ ජවිපෙ න්‍යායට අනුව විප්ලවවාදී බලවේග වූයේ සාම්ප්‍රදායික වාමාංශය සුවිශේෂව සැලකූ පරිදි නාගරික කම්කරු පන්තිය නොව පීඩිත ජනතාවය. පීඩිත ජනතාව නමැති ප්‍රවර්ගය තුළට නාගරික කම්කරු පන්තිය ඇතුළත් කළ හැකි නමුත් විප්ලවයේ හදිසි අවශ්‍යතාව පිළිබඳ හැඟීම පවතින්නේ ගැමි දුප්පත් ගොවි ජනතාව තුළය. මෙලෙස ලාංකික විප්ලවයේ ඓතිහාසික කර්තෘකයා (Agent) පිළිබඳ ගැටලුව යළි සකස් කිරීම තුළ වැදගත් කරුණු දෙකක් දක්නට ලැබුණි.

(A) පළමුව, සාම්ප්‍රදායික වමේ පක්ෂ විසින් සංවිධානය නොකරන ලද සමාජ පන්තීන් රැඩිකල් ලෙස සංවිධානය කිරීමට ජවිපෙ එමගින් බලාපොරොත්තු විය.

(B) දෙවැනුව, ඒ මගින් ‛නිර්ධන පංතිය’ නම් මාක්ස්වාදී න්‍යායික ප්‍රභේදයේ අර්ථය පුළුල් කරමින්, එය දේශීයකරණය කිරීමට ජවිපෙට හැකි විය. ජවිපෙ කළේ එම පදයට, ‛නිර්ධන පංතිය’ නමැති සිංහල පදයේ ඇති ‛දේපළ අහිමි’ යන අර්ථය ආදේශ කිරීමය. පවත්නා ක්‍රමයට එරෙහිව දුක්ගැනවිලි ඇති සෑම සමාජ පන්තීන් හා ස්ථරයන් මේ නිර්ධන පංතිය යන ප්‍රභේදයට ඇතුළත් කළ හැකි විය. (‛ජවිපෙ පන්ති ස්වභාවය’ නම් කෘතිය තුළ කීර්ති බාලසූරිය විවේචනය කරන්නේ මෙම විපරිවර්තනයයි.)

ජයදේව උයන්ගොඩ නම් දේශපාලන විද්‍යාඥයා ජවිපෙ මතවාදය හෙවත් ලෝක දැක්ම පන්ති ඌනිතවාදයෙන් මුදවා ඇත. ඒ අර්ථයෙන් ඔහු පශ්චාත් – මාක්ස්වාදීය. මන්දයත් ‛දෘෂ්ටිවාදය’ විශ්ලේෂණය කිරීමේදී ඔහු එහි මූලයන් ආර්ථිකයට සම්බන්ධ නොකරන නිසාය. නැතහොත් ඔහු ජවිපෙ ප්‍රකාශ කරන සමාජ සත්‍යය අධෝ-ව්‍යූහයට බද්ධ නොකරන නිසාය. තවත් පැහැදිලිව කිවහොත් ඔහු දේශපාලන ක්ෂේත්‍රයේ සුවිශේෂත්වය අනෙක් ඒවායින් වෙන් කරයි. උයන්ගොඩට අනුව පන්ති ප්‍රතිවිරෝධයන් ජවිපෙ විසින් අධෝ-ව්‍යූහයෙන් (ඌන සංවර්ධන න්‍යාය, අසමාන සංවර්ධන න්‍යාය) පසමිතුරු කලාපයකට විතැන් කර ඇත. සාම්ප්‍රදායික වමේ පක්ෂයකට වඩා ජවිපෙ දේශපාලන පෙරමුණ සහ ඊට සහභාගීවන ජනයාගේ සහභාගීත්වය පුළුල් වී ඇතැයි උයන්ගොඩ කියන්නේ මේ නිසාය. “මහජනයාට නිදහසේ ප්‍රකාශ වන්නට ඉඩදීම ‛ෆැසිස්ට්වාදයට’ මුල පුරයි” යන වෝල්ටර් බෙන්ජමින්ගේ උපන්‍යාසය ගැන උයන්ගොඩ කිසිවක් කියන්නේ නැත. ඒ වෙනුවට තම නිරීක්ෂණ හරහා උයන්ගොඩ විසින් මුදා හරින ප්‍රවාදය මෙලෙස සාරාංශ ගත කළ හැක.

‛විවිධ සමාජ ස්ථර, පන්තීන්, පීඩිතයන් රාජ්‍යයට විරුද්ධව කැරලි ගසන්නේ රාජ්‍යය තමන්ට අවශ්‍යය ආකාරයට ප්‍රතිසංස්කරණය කර ගැනීමටය. (කොමියුනිස්ට් ධර්මයට අනුව එහි නිෂ්ටාව රාජ්‍යය අහෝසි කරලීමය.) නමුත් ශ්‍රී ලංකාවේදී සිදු වී ඇත්තේ මේ කැරලි නිසා රාජ්‍යය සහ එහි මතවාදී සහ මර්දනකාරී ආයතනවල “මිලේච්ඡත්වය” වඩා තහවුරු වීමය. සාරාංශගත කොට කිවහොත් ‛හිංසනය’ (Violence) ශ්‍රී ලංකාවේදී ‛නිදහසට’ අදාළ කාරණයක් නොව වඩා මර්දනයකට කරන සිහි කැඳවීමකි.’

ඉහත ප්‍රවාදයේ විරුද්ධාභාසය (Paradox) උයන්ගොඩගේ ලිපියේ 20 වැනි පාද සටහනේ ඇත.

“මේ සම්බන්ධයෙන් ගත් කළ ශ්‍රී ලංකාවේ තරුණ සංස්කෘතියේ වර්තමාන පරිවර්තනීය ක්‍රියාවලිය ගැඹුරින් විග්‍රහ කළ යුතුය. රූපවාහිනිය, වීඩියෝ, ජනප්‍රිය සංගීතය, ක්‍රීඩා තරග, විලාසිතා සහ සති අන්තයේ සංගීත සංදර්ශන වැනි නව මාදිලියේ සාමූහික විනෝද වීමේ අවස්ථාවන් වර්ධනය වීමත් සමඟ දැන් අඩු වියදමකින් තරුණ – තරුණියන් හට පෙරට වඩා විනෝද වීමේ අවස්ථාවන් ලබා දීමට ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සංස්කෘතියට හැකිය.

ඒ අතරම භෞතික සම්පත් හිඟවීම නිසා ඇතිවන පෞද්ගලික කලකිරීම ‛සන්නද්ධ නැගිටීම’ නමැති සාමූහික ක්‍රියාකාරීත්ව මගින් ප්‍රකාශ වීමේ අවශ්‍යතාවක් දැන් නැත. එවැනි කලකිරීම්වලට ලෙහෙසියෙන්ම සන්නද්ධ සොරකම්, ගෙවල් බිඳීම් හා පාතාල ලෝකයේ ආර්ථික ක්‍රියාකාරකම් ආදී දේවල්වලින් සමන්විත වන අපරාධ ක්‍රියාමාර්ගය තුළින් ප්‍රකාශන මාර්ග සොයා ගත හැක. රූපවාහිනී සහ වීඩියෝ විනෝද වැඩසටහන් මගින් තරුණ සංස්කෘතියේ මෙම අංශය සඳහා මානසික සහ සංස්කෘතික තල්ලුවක් සැපයේ. භෞතික සම්පත්වල හිඟකම නිසා මතුවන දුක්ගැනවිලි ප්‍රකාශයට පත් කිරීම සඳහා තරුණයන් ආයුධ අතට ගැනීමේ අවශ්‍යතාවක් නැත. ගිනි අවි පාවිච්චි කරමින් බලහත්කාරයෙන් සුඛෝපභෝගී භාණ්ඩ අත්පත් කර ගැනීම එදා රැඩිකල් දේශපාලනය සඳහා කළ කැපවීමට අද පවතින විකල්පයක් ලෙස ක්‍රියා කරන බව නොකියා නොහැකිය.”

ජයදේව උයන්ගොඩගේ ප්‍රවාදයට අනුව දේශපාලන ක්ෂේත්‍රය තුළ ‛හිංසනයට’ ඇත්තේ නිශේධනාත්මක අදහසකි. එම පසුබිම ඔහු මෙලෙස පහදයි.

‛එක්තරා අන්දමින් බලන කළ තත්කාලීන දේශපාලනය තුළ පරස්පර විරෝධයක් ලෙස දැකිය හැකි කාරණයක් නම්, ජවිපෙ සන්නද්ධ නැගිටීම්වාදී දේශපාලනයට පිළිතුරක් ලෙස ශක්තිමත් කර ඇත්තේ රාජ්‍යයේ ප්‍රතිසංස්කරණවාදී ශක්‍යතාව නොව, රාජ්‍යයේ මිලිටරි සහ පොලිස් යාන්ත්‍රණයේ මර්දනකාරී ශක්‍යතාවයි.’

උයන්ගොඩගේ ප්‍රවාදය තුළ අඩංගු ‛හිංසනය’ යන්න නිශේධනයක් යන්න ගැන අප දාර්ශනික සහ දේශපාලන වශයෙන් ප්‍රශ්න කළ යුතු බව මගේ හැඟීමයි. ජනප්‍රිය සංස්කෘතිය තුළ ‛හිංසනය’ ධනාත්මක නම් දේශපාලනය තුළ ‛හිංසනය’ අප මෙතරම් පිළිකුල් කරන්නේ මන්ද? මෙම පරස්පරය විසඳීමට පළමුව අප න්‍යායික කවුළුවක් තනා ගත යුතුය.
අපි එය ඊළඟ වාරයට කල් තබමු!∎

දීප්ති කුමාර ගුණරත්න 

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. මේ ලිපිවලට කවුරුවත් අදහස් දක්වන්නෙ නැති එක ගැන මොකද කියන්නෙ?

    • එක හේතුවක් තමයි සමකාලීන සමාජය පශ්චාත් දේශපාලනික වීම.මිනිස්සු පාලනය වෙන්නෙ මනවාදයෙන් විනරයි. කවුරැවත් හිතක්නෙ නැහැ.

Comments are closed.