අපි පසුගිය සතියේ පෙන්වා දුන් කරුණක් නම්, අපි බාහිරට ප‍්‍රක්ෂේපණය කරන අනේකත්වය වනාහී අපි හරියටම නොදන්නා නිර්නාමික අඥාත දෙයක් විය හැකි බවයි. එනම් අපගේ දැනුමට බාහිරව ක‍්‍රියාත්මක විය  හැකි පරාරෝපිත බලවේගයක් ද විය හැකි බවයි. මෙම පරාරෝපිත බලවේගය එක්තරා ආකාරයකට ජිජැක් සමාන කරන්නේ රාජ්‍යයේ කාර්යභාරයටයි. අනාගත වම විසින් නිෂ්පාදනය කරගත යුතු වන්නේ ද ‘රාජ්‍යය’ යනුවෙන් වූ ඉතාමත් කාර්යක්ෂම එමෙන්ම මිනිසාගේත් පූර්ණ ලෙස විගලිත නිර්නාමික බලවේගයකටය. ජිජැක්ගේ The Great Challenge of the Left (2016) නම් දේශනය තුළ ඔහු අවධාරණය කරන එක් කරුණක් නම් මිනිස් විෂයෙන් විගලිත රාජ්‍යයක් අනාගත වාමාංශික දේශපාලනය විසින් නිෂ්පාදනය කරගත්තේ කෙසේද යන්නයි. එසේ නොමැතිව අතීත මාක්ස්වාදයේ නපුරු සිහිනය වූ මිනිසාගේ ජීවන ලෝකයේ සියලූම අංගවලට බලහත්කාරී ලෙස අතපොවන්නා වූ ‘සමස්තතා රාජ්‍යයක්’ නිර්මාණය කර ගැනීමට අපි විසිඑක්වන සියවසේත් වලි කෑ යුතුද?

ඉහත දේශනය තුළ ජිජැක් මෙසේ සඳහන් කරයි. යම්කිසි ප‍්‍රජාවක් ඒකරාශී වී සෑම දිනකම සවස් භාගයේ පසුදින සඳහා ජලය ලබාගන්නේ කෙසේද යන්න සාකච්ඡුා කිරීම එම ප‍්‍රජාවේ අවශ්‍යතාවක් නම් එවන් ප‍්‍රජාවක් ජීවත් වීම තේරුමක් නැති දෙයක් බව ඔහු පවසයි. ඔබ ලේඛකයෙක් නම් සෑම සවස් වරුවකම ඉහත පන්නයේ ”ළමුන් පාසල් යවන්නේ කෙසේද?” ”හෙට දිනයේ පානීය ජලය ලබා ගන්නේ කෙසේද?” ”ගෙදර ගොඩගැසෙන කුණු හෙට දිනයේ ගෙන ගොස් දමන්නේ කොතැනකටද?” යන ගැටලූ දිනපතා සාකච්ඡුා කරනවා වෙනුවට අවශ්‍ය කරන්නේ මනුෂ්‍ය සිතීම සඳහා වූ පූර්ණ විගලිත (බාහිර ලෝකයෙන් පූර්ණ ලෙස ඛණ්ඩනය වූ) ජීවන ලෝකයකි; චින්තනය සඳහා යෝග්‍ය වටපිටාවකි; පරිකල්පනය සඳහා ගැළපෙන සන්දර්භයකි. එවන් ජීවන ලෝකයක දී ඔබ වතුර කරාමය අරින විට එයින් වතුර ගලා ආ යුතුය. ඔබගේ දරුවන් පාසල් රැුගෙන යන වාහනය වෙලාවට පැමිණිය යුතුය. ගෙදර ශේෂ වන කුණු රැගෙන යන වාහනය වෙලාවට පැමිණ එය රැගෙන යා යුතුය. ඒවාට කුමක් කරන්නේද යන්න ගැන තර්ක කරමින් ඔබ පසුවිය යුතු නැත. අඥාත, නිර්නාමික, ඔබට ඍජුව දර්ශනය නොවන කාර්යක්ෂම රාජ්‍යයක කාර්යය එයයි. අපි මහන්සියෙන් සාදාගත යුත්තේ එවන් රාජ්‍යයකි.

නමුත් පශ්චාත් – යටත් විජිත අසමත් රාජ්‍යයක ජීවත් වන අපිට දිනපතා දක්නට ඇත්තේ එවන් නිර්නාමික කාර්යක්ෂම රාජ්‍යයක් නොව දිනපතා කුණු තවරාගත්, ඒ කුණු සැමටම ප‍්‍රදර්ශනය කරමින් හත්පොලේ ගා ගත්, වඩාත් දෘශ්‍යමාන රාජ්‍යයක ලක්ෂණය. මෙම තත්ත්වය හුදු මහින්ද – රනිල් – මෛත‍්‍රී ප‍්‍රපංචයන්ගෙන් ඔබ්බට යන ඉතා ගැඹුරු අසමත්භාවයකි. කැළිිකසළ දමන්නට ඒවා ප‍්‍රතිචක‍්‍රීය කරන්නට ක‍්‍රමවේදයක් හෝ තැනක් නැත. අධ්‍යාපනය සඳහා ක‍්‍රමවේදයක් නැත. ප‍්‍රතිපත්තියක් නැත. සෞඛ්‍ය සේවය හෙලූවැල්ලෙනි; ප‍්‍රතිපත්තියක් නැත. රාජ්‍යය සේවකයන්ගේ නිර්නාමික බව කෙසේ වෙතත් සෑම වර්ගයේම රාජ්‍යය සේවකයන් පෝස්ටර් පුවරු අල්ලාගෙන කොළඹ කොටුවේ විරෝධතාවල ය. කිසිවෙක් තුළ සාන්දෘෂ්ටික දුරස්ථභාවයක් නැත. තමා කරන හැම දෙයක්ම හවස ප‍්‍රවෘත්ති තුළින් මුළු ලෝකයාම දකී. තම පෞද්ගලික ජීවිතය (එවැන්නක් නැත) යනුවෙන් තිබෙන දෙයක් මිනිත්තු පහකින් අන්තර්ජාලයේ හැමෝටම පේන්න ප‍්‍රදර්ශනය වේ. මේ අර්ථයෙන් ගත්විට අපි ජීවත් වන්නේ පූර්ණ සාන්දෘෂ්ටික ලොවක නොව ෆ්‍රොයිඩියානු අර්ථයෙන් පශ්චාත් – ෆැන්ටාස්මතික ලොවකය. (Post-Fantasmatic World) නොඑසේ නම් අපගේ කුඩා වස්තුව සෑම අයෙකුටම දැකිය හැකි ලෙස නිරාවරණය කළ ලොවක දැන් අපි ජීවත් වෙමින් සිටිමු. රනිල් – මෛත‍්‍රී – මහින්දගේ සිට සිරිබිරිස් දක්වා සියල්ලෝම හෙළුවැල්ලෙනි.

අපගේ ‘අභ්‍යන්තර සාරය’ බාහිරකරණය කිරීමේ මෙම උමතුව ආරම්භ වන්නේ කොතැනින්ද? අප තුළ සඟවාගත යුතු අතිශය පෞද්ගලික දෙය අපි සෑම අයුරකින්ම බාහිරකරණය කිරීමට පෙළඹන්නේ මිනිසාගේ පැවැත්ම යම්කිසි අතිරික්ත ප‍්‍රමෝදයක් මත පදනම් වන නිසාය. ආණ්ඩුව තුළ සඟවාගත යුතු ඇතැම් කරුණු වගවිභාගයක් නැතිව බාහිර අනේකත්වයක් වෙත ප‍්‍රක්ෂේපණය කරන්නේ මෙම අතිරික්තය බාහිරකරණය කිරීමට ඇති මිනිස් ආශාව නිසාවෙනි. මම මීට සති කිහිපයකට පෙර හදිසියේ එළියට පැමිණි ජනප‍්‍රිය යුවළක් පෙනී සිටින වීඩියෝවක් පිළිබඳ අදහස් දැක්වූවා ඔබට මතක ඇතැයි සිතමු. එම අදහස සම්බන්ධයෙන් ත‍්‍රිමාන වෙබ් අඩවියේ පළකර තිබුණු එක් විවේචනයක සඳහන් වූවේ වෙනත් බාහිර ‘විපරීතයෙක්’ ඉහත යුවළගේ පෞද්ගලික සාන්දෘෂ්ටික පැවැත්ම එළියට දැමීම හරහා එම දෙපළගේ මානුෂික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවයි. මා කියන්නේ ඉහත වීඩියෝව තුළ අපි වෙනුවෙන් රඟපාන එම යුවළ ම අනේකත්ව නිරීක්ෂණයක් බලාපොරොත්තු වන බවත් එය එළියට දැමූ අය කර ඇත්තේ අදාළ යුවළ අපේක්ෂා කළ දෙයම ඉටු කිරීම බවත්ය. වෙනත් වචනයකින් කියන්නේ නම් ඔවුන්ගේ පශ්චාත් ෆැන්ටස්මතික අන්තර්ගතය වෙනත් උල්ලංඝනීය අනේකත්වයක් විසින් එළිදරව් කර ඇති බවයි. නැත්නම් ඔවුන්ගේ යථ ඔවුන්ටම හමුවී ඇති බවයි.

history 2

ඉහත යුවළ ලිංගික ක‍්‍රියාවේ හැසිරෙන්නේ සාන්දෘෂ්ටික අවකාශයකට වඩා ඔහු අත තිබෙන කැමරාවේ රූපගත කිරීම නම් තුන්වන අවකාශය අරමුණු කරමිනි. ඔහුගේ අනේකත්වය ඇය විනිවිදීම නම් කරුණවත් ඇයගේ අනේකත්වය නම් ඔහුගේ ආශාවේ වස්තුව වීම (ආශාව රඟදැක්වීම) යන ෆැන්ටසි කලාපයට ඔබ්බෙන් ඇති තෙවන ස්ථානයක නිරීක්ෂය ඔවුන් දෙදෙනා බලාපොරොත්තු වන බව වීඩියෝව තුළින් අපට දැකිය හැකි බව මාගේ නිරීක්ෂය විය. කිසිදු අයුරකින් ඔවුන් අවමානුෂික කිරීම මාගේ අරමුණ නොවූ අතර මෙම පශ්චාත් – ෆැන්ටාස්මතික ලෝකය තුළ අවමානුෂික වෙමින් පවතින්නේ ඉහත යුවළ පමණක් නොව එය හෙළිදරව් කළ කෙනාද එම හෙළිදරව්ව නිරීක්ෂණය කරන අප ද යන සියලූම මිනිස් විෂයයන් ‘අතිරික්ත ප‍්‍රමෝදයක්’ තුළ සිරගතව සිටින නිසා බව පමණක් කියා සිටිනු කැමැත්තෙමු. ජිජැක් මෙසේ පෙන්වා දෙයි.

 ”මනෝ විශ්ලේෂණයේ උපරිම පාඩම නම් මිනිස් ජීවිතය කිසිදාක ‘නිකම්ම ජීවිතයක්’ නොවන බවයි. මිනිසුන් නිකම් ඔහේ ජීවත් නොවේ. අතිරික්තයක් තුළ සතුටින් ජීවත් වීමේ පුදුම පේ‍්‍රරණයකින් ඔවුන් ආරූඪ වී ඇත. එදිනෙදා ඔහේ ගලායන සාමාන්‍ය ජීවිතයෙන් බැහැරව, එයින් පීලි පැන අත්පත් කරගන්නා අතිරික්තයකට ඔවුන් අනුරාගිකව ආකර්ෂණය වේ. (ජිජැක් Paradox of the Freudian Death Drive (2003)  පිටුව 375).”

 ඉහත යුවළ පවා කර ඇත්තේ එකතැන පල්වෙන ඔවුන්ගේ ලිංගික ජීවිතයට අතිරික්ත ප‍්‍රමෝදයක් රැුගෙන ඒම ය. එළිදරව් කළ තැනැත්තා ඒ තුළින් උල්ලංඝනීය අතිරික්තයක් ලබාගන්නා අතර එය බලන අප ද ලබාගන්නේ උල්ලංඝනීය සතුටකි. එනයින් ඉහත විපරීත, හිස්ටරික සහ සයිකෝසික සියල්ලෝම එකම පශ්චාත් ෆැන්ටාස්මතිකයක සිර කිරීමට අද්‍යතන පසු – ධනවාදී ලෝකය සමත් වී ඇති බව අපි තේරුම්ගත යුතුව ඇත. අපේ් ලිබිඩෝව එක් ‘සුවිශේෂ වස්තුවක’ සිරගත කිරීමෙන් මෙම ක‍්‍රමය තුළ අපිව විෂම චක‍්‍රයක සිරකරනු ලබයි. (ඉහත පිටුව 376). නමුත් අපි ‘මනුෂ්‍ය’ බව අත්පත් කරගත්තේ ද එකම අභිනයක නැවත නැවත එකම වස්තුවක් කරා පැමිණීමෙනි. (එය ලෙනින් පුනර්වාචී කිරීමට සමානය).

ඉහත The Great Challenge of the Left දේශනය තුළ ජිජැක් ගෙනහැර පාන වැදගත් කරුණක් නම් ඉස්මතු වෙමින් පවතින ගෝලීය පරිසර ගැටලූව බ`දු ප‍්‍රපංචයකට පිළිතුරු සෙවීමට ඉහත අපි ගෙනහැර දැක්වූ කාර්යක්ෂම රාජ්‍යය අවශ්‍ය බවයි. තනි තනි පුද්ගලයන් ලෙස අපගේ එදිනෙදා කසළ කළමනාකරණය කළ පමණින් එම ගැටලූවට පුළුල් සහ තිරසාර විසඳුමක් නොලැබෙන බව ජිජැක් ප‍්‍රකාශ කරයි. එවිට සිදු වන්නේ සාර්වත‍්‍රික ගැටලූවක් පෞද්ගලික ප‍්‍රශ්නයක් බවට පත් කිරීම නම් දෘෂ්ටිමය උගුලයි. ඔහු මෙසේ කියයි, 

 

අද දවසේ අප මුහුණදෙන දැවැන්ත ප‍්‍රශ්නවලට විසඳුම ඇතැම් විට ඇත්තේ රාජ්‍යය පවා ඉක්මවා ගිය පාර – රාජ්‍ය එකමුතුවක් [world state – UN Type] තුළය. අපිට මේ මොහොතේ විශාල ගෝලීය එකමුතුවීම් අවශ්‍යව ඇත. එවන් එකමුතුවීම් ගැන සිතීම සෑම මෝඩයෙකුටම කළ නොහැකි ය”

 එවන් දේ ගැන සිතීම වාමාංශික කොටස්වල වගකීමක් ලෙස ජිජැක් හඳුනා ගනී. මෙම නව එකමුතු වීම ඇතැම් විට ඊජිප්තුවේ කයිරෝ නුවර ඇති වූ තරුණ පිබිදීම් පවා ඉක්මවා යනසුලූ විය යුත්තේ සත්‍යය ලෙසම අරගලයෙන් පසු ඉහත ගෝලීය ප‍්‍රශ්න (පරිසර, බුද්ධිමය දේපළ, ජාන තාක්ෂණය) නැවතත් සැබෑ ප‍්‍රශ්න ලෙස අප ඉදිරියේ විද්‍යමාන විය හැකි බැවිනි. එනයින් එවන් ගෝලීය එකමුතුවක් පවා කාර්යක්ෂම එමෙන්ම නිර්නාමික යමක් වන්නේ නම් එවිට මිනිස් විෂය සඳහා සාධාරණ පරාරෝපණයක් පවත්වාගත  හැකිය.

ප‍්‍රමෝදය හරහා අනේකත්වය අප තේරුම් ගැනීමට උත්සාහ කරන්නේ නම් අප ප‍්‍රථමයෙන් සිහිතබා ගත යුතු කරුණ නම් ප‍්‍රමෝදය විසින් සංකේතනය ප‍්‍රතිරෝධයට ලක් කරන බවයි. (The Excess of Jouissance Resists Symbolization) එනම් ප‍්‍රමෝදය සෑමවිටම සංකේතීය පිළිවෙළට ඔබ්බෙන් පවතින ක‍්‍රියාවක්ය. අප සඳහන් කළ වීඩියෝවේ සිටි යුවළ මෙන්ම එය අන්තර්ජාලයට මුදාහල තැනැත්තා පවා අපි තේරුම්ගත යුත්තේ සංකේතනයට ඔබ්බෙන් ඔවුන්ගේ පැවැත්ම ස්ථානගත කරමිනි. උදාහරණ වශයෙන් මීට දශකයකට පමණ කලින් තිරගත වූ තරමක් මතභේදයට තුඩු දුන් චිත‍්‍රපටයක් වූ (Basic Instinct (2) චිත‍්‍රපටයේ ප‍්‍රධාන නිළිය වන ෂැරොන් ස්ටෝන් (කැතරින් ටුමෙල්ගේ චරිතයට පණ පොවන] පවසන්නේ මම ”නීති රීති තඹයකට මායිම් නොකරන” බවයි. මන්ද ඇය ඇයගේ ත‍්‍රාසජනක – ශෘංගාර නවකතා රචනය සඳහා අවශ්‍ය උද්වේගකාරීත්වය (Excitement) සොයාගන්නේ සංකේත පිළිවෙළ උල්ලංඝනය කිරීමෙන් උපයා ගන්නා අතිරික්ත ප‍්‍රමෝදයේ මරණීය බව ඔස්සේය. ඇය කියන්නේ ඇයට පිරිමින් මතක තබාගත හැක්කේ ඔවුන් මිය යන නිමේෂයේ බවයි. ඇයත් සමඟ යහන්ගත වන අන් කිසිදු පිරිමියෙක් ඇයට මතක නැත්තේ ඇයගේ උද්වේගකර උත්තේජනය මරණය විසින් පමණක් ලබා දෙන බැවිනි. ඇයගේ මෙම අතිරික්ත ප‍්‍රමෝදය චිත‍්‍රපටයේ  මුල් අවස්ථාවේ සිට ම අපිට මුණගැසෙන විට එක්වරම අපගේ සිතට පැමිණෙන හැඟීම නම් ‘ඇයව ඉතා ඉක්මනින් විනාශ කර දැමිය යුතු දෙයක්’ ලෙසය. ස්කොට්ලන්ඞ් යාඞ් පොලීසිය පවා සිතන්නේ ඒ අයුරිනි. [දෙමළ මුස්ලිම් මිනිසුන් ගැන අපි සිතන්නේ මෙසේය] නමුත් අප අමතක කරන කරුණ නම් ධනවාදය විසින් ඇතිකර ඇති සමාජ – ලිංගිකත්ව සංකීර්ණතාවයන් තුළ ‘සාමාන්‍ය තෘප්තිය’ අහෝසි වී ඒ තැනට තෘප්තියේ වෙනත් මාන පැමිණ ඇති බවයි. මේ තත්ත්වය මා විසින් ඉහත සඳහන් කළ යුවළගේ ලිංගික ජීවිතයට ද අදාළය. ධනවාදය තුළ ගමන් කිරීමෙන් පසු අපගේ ආත්මය තවදුරටත් ‘සාමාන්‍ය එකක්’ වන්නේ නැත.

History

 

වේගයෙන් අලෙවි වන කැතරින් ටුමෙල්ගේ නවකතා සඳහා වස්තු බීජය ඇය සොයාගන්නේ ඇයගේම ස්වරූපරාගී ඝාතන (Narcissistic Killer Drive) ඔස්සේය. කාටේසියානු කොගිටෝව අනුව සිතන්නේ නම් ඇයගේ ජීවන ලෝකය සකස් වී ඇති ආදර්ශ පාඨය මෙසේය. ”මම ඔබ මරා දමමි,    ඔබගේ මරණය ඔස්සේ මා ජීවමාන වෙමි” යන්නය. ඇය බාහිර ලෝකයේ සිටින පිරිමින්ගේ ෆැන්ටසි – වස්තුව වනවා වෙනුවට පිරිමින්ට සිදුවන්නේ ඇයගේ පතුලක් නොපෙනෙන ස්වරූපරාගී විශාදයේ යටත් වැසියන් (Subjects) වීමටය. ඇයගේ පැවැත්ම ඔස්සේ කේන්ද්‍රයේ ධනවාදය අපට උගන්වන පාඩම නම් අද දවසේ අනේකත්වය අපට මුණගැසෙන්නේ මරණය හරහා ගමන් කිරීමෙන් බවයි. එම ප‍්‍රමෝදයේ යථ මුණගැසෙන නිමේෂය යනු භාෂාව අසමත් වන තැනයි (ටුමල් සමඟ වේගයෙන් කාරයේ ගමන් කරන ඇයගේ මුල් යටත්වැසියාට ඇයව හමුවීමේ භාෂාවක් නිෂ්පාදනය කර ගැනීමට නොහැකිය. ඔහු ඉන්නේ මත් වූ අවසිහියකිනි)

 Mahesh Hapugoda

සාකච්ඡාව – ජයසිරි අලවත්ත

 

 

 

ඔබේ අදහස කියන්න...