සමන් වගආරච්චිගේ මරණය පිළිබඳ වාමාංශික අර්ථකතන කිහිපයක් කියවීමෙන් අනතුරුව ඒ ගැන යමක් ලිවිය යුතු යැයි මම සිතුවෙමි.

                 වගආරච්චිට මා හමු වූයේ නැත. 1989 වර්ෂයේ දී මා ‘යාත්‍රා’ සඟරාවේ සංස්කාරකවරයා ලෙස කටයුතු කරන විට ඔහු මහවැලි ව්‍යාපෘතියක වැඩ පරීක්ෂකවරයකු ලෙස රැකියාව  කරන ලදී. කිරුළපන විලාසිතා නිවස අසළ පිහිටි ‘සාමයික කේන්ද්‍රය’ මාගේ කාර්යාලය විය. වගආරච්චි පැමිණියේ මතක තරමින්, K.K. හමු වීමට වුවත් මා සමඟ ද කතාබහ කළේය. ඒ හමුව විජේවීරගේ ජීවිතයේ අවසන් යුගය යි. වගආරච්චි සිටියේ වික්ෂිප්ත ව්‍යුහයක යි. එක පැත්තකින්, ජවිපෙ අනුදත් මාක්ස්වාදයේ (සිංහලෙන් මාක්ස්, එංගල්ස්, ලෙනින්, ට්‍රොට්ස්කි කියවීම- පිටුවලින් මෙම ප්‍රමාණය පිටු 1000කට ආසන්න ය.) අපරිණත බව ඔහු වටහා ගෙන තිබූ අතර අනෙක් පැත්තෙන්, එවකට ලංකාවේ බෝ වීම ආරම්භ වී සිටි ‘ජනප්‍රිය සංස්කෘතිය’ (සලාකා වෙළඳසැල, මල්වත්ත පාරේ කැසට් සංස්කෘතිය,Glass House, කොල්ලුපිටියේ ලෝක වෙළෙඳ සැල, කොටුවේ බෑන් බෑන් වෙළඳසල, මැදපෙරදිග ගිය ඩුබායි ගැහැණු, යශෝරාවය සහ පළිඟු මැණිකේ ටෙලිනාට්‍ය, රූපවාහිනියේ ආගමනය, ජෝතිපාලගේ කනත්තේ සංස්කෘතිය ආදිය නිසා) සංකේතකරණය කරගත හැකි න්‍යායක් ඔහුට ළඟා වී නොතිබුණි. ඒ මොහොතේ ඔහුට අවශ්‍ය වූයේ, බලංගොඩ ප්‍රදේශයෙන් කොළඹට ස්ථානගත වීමටයි. නමුත් එය තියුණු අභියෝගයකි. ඒ මොහොතේ මා සිටියේ ‘ව්‍යුහවාදය’ සමඟ පොර බදමින් ය. එවැනි විෂයක් ගැන කිසිදු උනන්දුවක් ඔහු තුළ පහළ නො වී ය. 1989 වර්ෂයේ දී මෙලෙස මා හමු වූයේ, සමන් වගආරච්චි පමණක් නොවේ. ඊට පසුව, නන්දන වීරරත්න ද වියලුව පාසලක සිට මගේ කාර්යාලයට පැමිණියේ ය. ඒ මොහොතේදී, මේ දෙදෙනාම මාධ්‍යකරුවන් බවට පත් නොවී සිටියේය. පසුව ඔවුන් ලූඩෝ ක්‍රීඩාවේ දක්ෂයන් විය.

                 මාක්ස්වාදය සහ  ෆ්‍රොයිඩ්වාදය යන වාදයන් දෙකම සංකලනය කළ විට පරාරෝපණය පිළිබඳ සංයුක්ත න්‍යායක් ගොඩනැඟිය හැකි ය. මාක්ස්ට අනුව, ධනපති සමාජ සබඳතා නිසා පුද්ගලයා සමාජයේ දී පරාරෝපනය වෙයි. අනෙක් අතට ෆ්‍රොයිඩ්ට අනුව, පුද්ගලයා තමන්ගේ අවිඥාණය නිසා තමන් තුළම පරාරෝපනය වෙයි. මෙය පුද්ගල පරාරෝපණය යි. මනෝවිශ්ලේෂණයේ සාකච්ඡා වන විපරිතභාවය නම් රෝග ලක්ෂණය විග්‍රහ කළ හැක්කේ, මෙම මානයෙනි.

                 පසුගිය දශක තුනක කාලය තුළ ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වූ අති බහුතරය පිළිබඳ සාධාරණ න්‍යායක් ගොඩනඟන්නේ නම් එහි සූත්‍රය මෙලෙස භාවිතා කළ හැකි ය. ඔවුන් ජවිපෙ තුළ සිටියදී කතා කරමින් සිටියේ, ‘අරගලය’ ගැන නම් ඔවුන් ඉන් ඉවත් වූ විගස කතා කිරීමට පටන් ගන්නේ ‘සංස්කෘතියෙනි’. මන්දයත්, පීඩිත පන්තියක සාමාජිකයන්ව සිටියදී ඔවුන් ලද සුවිශේෂී පරාරෝපණය නිසාය. රතු තොප්පි දාගත් මිනිස්සුන්ට කළු කමිසයක් දවටා ගැනීම තරමක දුෂ්කර කාර්යයකි. ‍ග්‍රම්ස්චිගේ ප්‍රකට ආප්තයක් සඳහන් කිරීම මෙතැනදී වැදගත් ය.

          “තම උරතල මත පිහිටි හිස තමන් සතු වුව ද එහි ඇති අදහස් තමන්ගේ නොව පාලකයන්ගේ බව දත යුතුය”.

            1989 වසරෙන් පසුව නැවත මට වගආරච්චි හමු වුයේ, කොල්ලුපිටියේ පැවති ‘යුක්තිය’ පුවත්පතේ කාර්යාලයේදී ය. ඒ වන විට, ඔහු මීට වසර කිහිපයකට පෙර සිටි දුක්ඛිත, අසරණ තත්ත්වයේ නොසිටියේ ය. ඒ 1992 වැනි යුගයකි. ඔහු තරමක සිවිල් බලයක් තම ප්‍රතිරූපයට ආරෝපණය කරගෙන සිටියේ ය. 1989 වසරට පසුව වගආරච්චි විවිධ මළගෙවල්වල දී මට හමු වී ඇතත් ඔහු කිසිදා 89 හමු වීම  යළි මතක් කළේ නැත. එය ඔහුට ක්ෂතියකි. බොහෝ මිනිසුන් තම ජීවිතයේ සත්‍ය නිමේෂ පුනරාවර්තනය කිරීමට අකමැතිය.

             ‘යුක්තිය’ කාර්යාලයේදී ද ඔහු හැසිරුණේ කලින් මාව නොදන්නා පරිදිය. මෙමඟින් සංකේතවත් වූයේ, ඔහුගේ ‘ආත්මමූලික ව්‍යුහයේ’ රැඩිකල් ඛණ්ඩනය යි. 80 දශකය මුලදී එවකට, මහවැලි ඇමති ගාමිණී දිසානායකගෙන් රස්සාවක් ඉල්ලා ගැනීමට ඔහු අසළට බැසිල් රාජපක්ෂ ගමන් කරන අතර බැසිල් ‘ගාමිණීගේ’ චමත්කාරජනක පහසු ජීවිතයට ආශක්ත වූයේ ය. කිසියම් ධනවාදයක් ජාතික රාමුවෙන් බිඳී ගොස් එය ඇමෙරිකානුකරණය වනවිට ම එම සමාජයේ ‘ක්‍රමය’  සංකේතීයකරණය නොවූ අය සොම්බින් බවට පත් වෙයි. සොම්බි යනු, ශරීරයක් නැති මනසයි. එවැනි මනස් අලුත් ශරීරයක් තමන් තුළින්ම සොයයි. බැසිල් නම් සොම්බියාට 2005 දී අලුත් ශරීරයක් හමු වන අතර ඔහු අලුත් පුද්ගලයෙකු බවට පත් වෙයි.

              1989 වර්ෂයේ දී මට ‘වගආරච්චි’ යනුවෙන් පුද්ගලයෙක් හමු නොවන්නේ, ඒ මොහොතේදී ඔහු තම පැමිණි ශරීරය අතහැර අලුත් ශරීරයක් ( ඇමරිකානු ධනවාදයට ගැළපෙන- නිදහස් වෙළෙඳපොළ ආර්ථිකය) පතමින් සිටි විඥාණයක් පමණක් නිසා ය. පන්ති දේශපාලනය අතහැර අනන්‍යතා දේශපාලනයට ආශා කිරීම යනු, මෙහි න්‍යායික ප්‍රකාශනය යි. ඔහු ‘යුක්තිය’ කාර්යාලය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ‘ලක්බිම’ පුවත්පත, ඇමෙරිකාව සහ අවසන් වශයෙන් UNPය සහ ලේක්හවුස් හී කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ’ හරහා සාක්ෂාත් කර ගත්තේ මෙම අනන්‍යතා ෆැන්ටසිය යි. ඔහු විකර්ශණය කළ දෙය ඔහුගේ නිෂ්ටාව විය.

                වගආරච්චි යනු, ‘ජනතා විමුක්ති පෙරමුණේ’ දේශපාලනය අතික්‍රමණය කරන, ඊට වඩා නිර්මාණශීලී සංවිධානයක් නිර්මාණය කිරීමට කැප වූ පුද්ගලයෙකු ලෙස නිර්වචනය කිරීම රෝග ලක්ෂණාත්මක බොරුවකි[Pathological lying].

ජවිපෙන් ඉවත් වන පුද්ගලයන්ගේ ඥාන-විභාගයට සිදු වන අභ්‍යන්තර ඛණ්ඩනය කුමක්ද? ඔවුන් හැම දෙනාම පළමු නිමේෂයේ දී සිටින්නේ, වික්ෂිප්ත අවස්ථාවක ය. ආත්මීය ස්ථාවරය ගතහොත් ඔවුහු එවිට ‘හිස්ටෙරික’ ආස්ථානයක දිවි ගෙවයි. මෙය සුහුඹුල් අවස්ථාවයි.  අන්හැමදෙනාම මෙන් ඔවුන්ට ද අවිඥාණයක් ඇත. ඉන්පසු, ඔවුන් ඉහළ මැද පන්තියේ සාමාජිකයෙකුටත් වඩා හොඳින් තමා අවට ධනවාදී සමාජ සබඳතා වලට ඇතුළත් වෙයි. මෙම තත්ත්වය එවැනි අය කලින් හඳුනාගෙන සිටි අයට අප්පිරියා හිතෙන තරම් වර්ධනය වෙයි. මේ අවස්ථාව වන විට, ඥාන-විභාගයක් ලෙස ඔවුහු මාක්ස්වාදය සහමුලින් අතහැර ඊට විකල්පයක් ලෙස ‘සිවිල් දේශපාලනය’ සහ ‘දෛව ස්ත්‍රියක්’ තෝරා ගනිති. ඔවුන් අවසන් වශයෙන් මිය යන්නේ, ධනවාදී සමාජ ක්‍රමයට හොදින් ඇබ්බැහි වූ ‘විපරිතයන්’ ලෙසිනි. මෙම සූත්‍රය වගආරච්චි සම්බන්ධයෙන් හොඳින් ගැළපෙන්නකි.

                වගආරච්චි 90 දශකයේ මුල සිට ජීවිතයේ අවසානය දක්වා සිදු කළ සියලු දේශපාලනයන් සහ ඔහුගේ ආත්මය අතර පැවතියේ නරුමවාදී පරතරයක් මිස අනන්‍ය වීමක් නොවේ. ඔහු මේ වෙළෙඳපොළ ආර්ථිකයට සහ එහි උපරි-ව්‍යුහයට විරුද්ධව මෙන්තෝල් මට්ටමේ උද්ඝෝෂණ කළත්, රහසින් මේ ක්‍රමයට තදින් ආශක්තව සිටියේ ය. ඔහු සමඟම වැළලී යන සාක්ෂි රැසක් සමඟ ඔහු ද්විත්ව රංගනයක් කළේය. එම ද්විත්ව රංගනයේ දී, ඔහු වෙනුවෙන් වන්දි ගෙවීමට සිදු වූයේ කාට ද යන්න ගැන ස්ත්‍රීවාදිනියක් වූ හරිණී අමරසූරිය පර්යේෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කළ යුතුය. සමාජ විශ්ලේෂණයේදී ‘අවිඥාණය’ වාඩිවීම අපහසු කරවන තට්ටමේ ආ ගෙඩියක් වුවත් අප ඒ ගැන අර්ථකථනය කළ යුතුය. සිවිල් චින්තනය සහ මිනිස් චින්තනය නම් සහසම්බන්ධ ප්‍රතිපක්ෂයේ මැද ඇති පොල්ල වන්නේ, පස්ස පැත්තේ ඇති ගෙඩියයි. පුද්ගලයා සහ සමාජය යනුවෙන් පවතින බෙදුම්කඩනය ව්‍යාජ වන අතර පුද්ගලයා තුළම ඇති සමාජය යන්න සැබෑවයි. ඉන් අදහස් වන්නේ, ‘සමාජය’ යන්න පුද්ගලයාට බාහිර දෙයක් නොව අභ්‍යන්තරික දෙයක් බවයි. ස්ටාලින් වැනි කෙනෙකු බෝල්ෂෙවික් පක්ෂය විනාශ කරන ලද්දේ, ඔහුට අභ්‍යන්තරික ‘අවංක ජනතාවක්’ වෙනුවෙනි.

             ස්ටාලින්ගේ සූත්‍රය  වගආරච්චිට ආදේශ කරන්නේ නම්, ඔහු තම ජීවිතයේ අවසන් දශක දෙක තුළ සටන් කළේ සමාජය වටහා ගන්නට හෝ වෙනස් කරන්නට නොව ‘තමන්ව දුකින් මුදවා ගැනීමටයි’. මෙය පොදු කටයුත්තක් යැයි කෙනෙකු සිතනවා නම් ඒ තැනැත්තාට සමකාලීන ‘දෘෂ්ටිවාදය’-ideology– ක්‍රියාත්මක වන ආකාරය වැටහෙන්නේ නැත. ජවිපෙන් ඉවත් වූ වගආරච්චි අල්තූෂර් කියෙව්වේ නැත. ඔහු තම දිවිය අවසන් කළේ, Toyota Premio වාහනයක් මිලට ගැනීමෙනි.

               වගආරච්චි ඇතුළුව කිසියම් පරම්පරාවක්ම පසුගිය දශක දෙකක කාලයක් තුල කළ කී දෑ අභියෝගයට ලක්වන මොහොතක් දැන් උදා වී ඇත. මාක්ස්වාදය 19 වන සියවසේ අග දී පුරෝකතනය කළේ, ධනවාදයට බහුතර ජනයා සඳහා ශීලාචාර උසස් සමාජ ජීවිතයක් උදා කළ නොහැකි බවයි.  වගආරච්චිලාගේ පරම්පරාව මාක්ස්වාදයට පරස්පරව දුටුවේ තමන්ගේ ෆැන්ටාස්මැතික ජීවිතය ධනවාදය විසින්ම අත් පත් කර දුන් බවයි. ඒ නිසා, ඔවුහු මාක්ස්වාදය යල්පැන ගිය දර්ශනවාදයක් ලෙස සැලකීය. නමුත් පසුගිය වසර කිහිපයක සිට ඇති වූ ස්වභාවික ව්‍යසන (ගංවතුර, සැඩ සුළං, වෛරස, කාබන් මෝචනය) නිසා මාක්ස්වාදයේ පුරෝකතන නැවතත්  පුනර්ජීවනය වෙමින් පවතියි. නමුත් ඒ පැරණි අර්ථයෙන් නොවේ.

              මාක්ස්වාදය ‘බැහැ කී  දෙය’ ධනවාදය ඔබට ලබා දුන් අතර ‘ලෝක විනාශ’ මොහොතක ඒ සියල්ල දැන් ඔබට අහිමි වී ඇත. කතා කරන්නට කෙනෙකු නැති තරමට ඔබ හුදෙකලා වී ඇත. ඒ අර්ථයෙන්, දයලෙක්තිකව මාක්ස්වාදී පුරෝකථනයක් නිවැරදිය. එනම්, මිනිසා මෙතෙක් අත්දුටු වඩාත්ම විප්ලවකාරී ධනවාදී ක්‍රමය කෙතරම් රැඩිකල් ද යත් එහි ස්වයං විනාශකයා එයමයි. ලැකානියානු සංකේතීය සැබෑව යනු, සංකේතනයට අභ්‍යන්තර දෙයක් මිස ඊට බාහිර දෙයක් නොවේ. කොරෝනා වෛරසය අපගේ සත්‍ය සංකේත ජීවිතයෙන් පිටත දෙයක් ලෙස සලකන්නට සලකන්නට අපට සැබෑ දේශපාලනය හමු නොවෙයි. චීන ධනවාදයේ ඊළඟ වර්ධනය සඳහා පියවර තැබීමට ගොස් හමුවූ අහම්බය දැන් අපේ අනිවාර්යය වී ඇත. එබැවින්, චීනය ‘ගැටලුව’ මිස උත්තරය නොවේ. ලංකාවේ දෙමළ ජනයා 45,000ක් විනාශ කිරීමට උදව් කළේ ‘චීන කොමියුනිස්ට් පක්ෂය’ යි. අප එය අමතක කරනවා යනු , ලැකානියානු සංකේතීය සැබෑව මඟහැර යාමකි. අපව ගළවා ගන්නා උසස් සංස්කෘතියක් වෙනත් තැනක නැත.   

Deepthi kumara Gunarathne

ඉගෙන ගැනීමට අවශ්‍ය නම්, අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

click..

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය

]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]

-”ජිජැකියානුවාදයේ පිපිරීම්, කොවිඩ් වෛරසය සහ අනාගත මානව වර්ගයාගේ සාර්ථකම සමාජ ක්‍රමය ධනවාදය ද?” යන මාතෘකාව යටතේ ක්‍රියාත්මක වීමට නියමිත Skype සාකච්ඡාවට පක්ෂයේ සාමාජික සාමාජිකාවන්ට සහභාගි විය හැකිය. සෙනසුරාදා සහ ඉරිදා දිනවල රාත්‍රී 7.00ට එය ආරම්භ වේ. සම්බන්ධීකරණ කටයුතු සඳහා පක්ෂයේ සම්බන්ධීකාරකවරුන් අමතන්න!-   

ඔබේ අදහස කියන්න...