අමලියන් සහෝදරවරු සහ සිංහල ඩයාන් අතර ප‍්‍රතිවිප්ලවය

 

ඉන්දියාවේ ගුජරාටි ප‍්‍රාන්තයේ පවුලකින් පැවතගෙන එන මහේෂ් අමලියන් 70 දශකයේ අගභාගයේ අමුතුම වැඩකට අත ගැසුවේය. ඉන්දියානු විශ්වවිද්‍යාලයකින් රසායන විද්‍යාව පිළිබඳ ඉංජිනේරු උපාධියක් ලබා ගත් මහේෂ් සිය සහෝදරවරුන් වන අජේ සහ ශෙරාඞ් සමඟ ශ්‍රී ලංකාවේ දී කාන්තා යට ඇඳුම් සහ රාත‍්‍රී ඇඳුම් නිෂ්පාදනය කිරීම ඇරඹීය. 80 දශකය මුල ඒ සඳහා ඔවුන්ට උදව් කළේ ආර්.පේ‍්‍රමදාස ජනාධිපතිවරයා ය. ඇඳුම්වලින් ඉතාම ස්වල්ප ප‍්‍රමාණයක් වැය වන පෑන්ටීස් [cm33* සහ බ්‍රෙසියර් cm 44] මැසීම මෙම ව්‍යාපාරයේ පදනම විය. මෙම ව්‍යාපාරයේ විරුද්ධාභාසය[ paradox] කදිමය. එක පැත්තකින් කාන්තා යට ඇඳුම් සහ රාත‍්‍රී ඇඳුම් යනු බටහිර බුර්ෂුවා සංස්කෘතියේ අර්චනකාමී වස්තූන්[fetish]ය.  අනෙක් පසින් ශ‍්‍රී ලංකාවේ දී මෙම සුපිරි යට ඇඳුම් මසන්නේ කොළඹින් ඈත දුරබැහැර පදිංචි ග‍්‍රාමීය අඩු ආදායම්ලාභී තරුණියන්ය. මෙම තරුණියන් මසා නිම කරණ ලන්ඩන්, නිව්යෝර්ක් සහ පැරිස් අගනගරවල විකුණන කාන්තා ඇඳුමක මිල [එකක] රුපියල් 30,000ක් පමණ වන විට ඒවා නිෂ්පාදනය කරන ග‍්‍රාමීය තරුණියකගේ මාසික ආදායම ද රුපියල් 30,000ක් පමණ වෙයි. ඇය මහන එක යට ඇඳුමකින් ඇයගේ මාසික වැටුප ගෙවා දැමීමට සමාගමට හැකිය. එක පැත්තකින් රාත‍්‍රී ඇඳුම් ඇඳිය හැක්කේ පුද්ගලික කාමරවලින් සමන්විත නිවෙස්වල ජීවත් වන ස්ත‍්‍රීන්ටය. බුර්ෂුවා ස්ත‍්‍රීන්ට දීර්ඝ කාලයක් වැය කළ හැකි ලිංගික ජීවිතයක් ඇත. සුන්දර යට ඇඳුම් සහ රාත‍්‍රී නින්දට පෙර භාවිතයට ගන්නා ඇඳුම් නැරඹීමට කෙනෙක් සිටිය යුතුය. ශ‍්‍රී ලංකාවේ සංස්කෘතියට අනුව බහුතරයක් මැද පාන්තිකයන් පවා ලිංගික සබඳතා පවත්වන්නේ ලයිට් නිවීමෙන් පසු අඳුරේය. අඳුරේ දී ‘ඇස’ මියයන අතර විඥානය අවධි වෙයි. සිංහල සමාජයේ ලිංගික තෘප්තිය යනු ඇහැට පෙනෙන දෙයක් නොව අඳුරේ අතපත ගෑමකි. මින් වඩාත්ම අර්බුදයට යන්නේ කාන්තාවන්ය. මෙම හේතුව නිසා අමලියන් සහෝදරවරුන්ගේ ෆැක්ටරි තුළ කාන්තා යට ඇඳුම් සහ රාත‍්‍රී ඇඳුම් නිර්මාණය කරන ග‍්‍රාමීය තරුණියන්ට පමණක් නොව මෙම ෆැක්ටරි තුළ පරිපාලන කටයුතු කරන විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට පවා තමන්ගේ ලිංගික ජීවිතය තුළ අතගෑමට එහා කරන්නට දෙයක් දන්නේ නැත.

මහේෂ් අමලියන්ගේ සිහිනය සැබෑ වී ඇත. ඔහුට පෙර කිසිවකු මහා පරිමාණයෙන් කාන්තා යට ඇඳුම්, රාත‍්‍රී ඇඳුම් [Ligerie Manufacturing] නිෂ්පාදනය කිරීමක් ගැන සිතා තිබුණේ නැත. සත්‍යජිත් මාඉටිපේ නිර්මාණය කළ ‘බොරදිය පොකුණ’ චිත‍්‍රපටයේ අශ්ලීල ලූබ්ධි ආර්ථිකයට අනුව නාගරික පිරිමින්ගේ අශ්ලීල ෆැන්ටසි යථාර්ථයක් ලෙස තහවුරු කරගන්නට ග‍්‍රාමීය ගාර්මන්ට් කන්‍යාවියන් අවශ්‍යයි. ලිංගික-ෆැන්ටසි ප‍්‍රාග්ධන සංකල්පය ඇත්තේ නගරයේ ය. ඊට අදාළලිංගික ශ‍්‍රමය එන්නේ ඈත ගම්වලිනි. විවාදයකින් තොරව MAS [සහෝදරයන් තිදෙනාගේ මුල් අක්ෂරවලින් මේ නම නිර්මාණය කර ඇත] හෝල්ඩින් සමාගමේ සභාපතිවරයා වැදගත් බුරුෂුවා මහතෙකි. ඔහු අශෝක හඳගමගේ චිත‍්‍රපටවල පෙන්වන හමුදා භටයකු හෝ කොළඹ ටියුෂන් ගුරුවරයකු නොවේ. ඔහු කොළඹ රාජකීය විද්‍යාලයේ හිටපු ශිෂ්‍යයෙකි. වාර්ෂිකව සමාගම උපයන ආදායම දළ වශයෙන් ඩොලර් බිලියන 2කි. නමුත් ඔහුගේ පුද්ගලික ජීවිතය අල්පේච්ඡුය. සකසුරුවම්ය. පරහිතකාමීය.

Vs

නමුත් ඔහුට කරන්නට සිදු වී ඇත්තේ කොළඹ දී සත්‍යජිත් මාඉටිපේට කරන්නට තිබෙන දෙයමය. එනම් බටහිර සමාජයේ රාත‍්‍රී ජීවිතයට අදාළ ෆැන්ටසිවලට අවශ්‍ය ද්‍රව්‍යමය ජීවිතය නිෂ්පාදනය කිරීම මහේෂ් අමලියන්ගේ ව්‍යාපාරයයි. ඔහු ගමන් කරන්නේ බෙන්ස් මෝටර් රථයකිනි. ඔහු ඍජු ලෙස ‘වික්ටෝරියා සීක‍්‍රට්’ නම් ගැනුම්කරුවා සමඟ ගනුදෙනු කරයි. සමහර විට ඔහුගේ ෆැක්ටරි තුළ නිෂ්පාදනය කරන යට ඇඳුම් සහ රාත‍්‍රී ඇඳුම් අඳින්නේ වික්ටෝරියා බෙකම්, මැඩෝනා විය හැකිය. බටහිර චිත‍්‍රපටවල දී ටොම් කෲස් වැනි ජනප‍්‍රිය කඩවසම් පිරිමින් කාන්තාවන්ගේ බාහිර ඇඳුම් ගලවන විට ඉතිරි වන්නේ යට ඇඳුම් ය. ඒවා අනුරාගිකය. ඒවා මහන්නේ මහේෂ් අමලියන්ගේ ෆැක්ටරිවලය. මහේෂ් ලංකාවේ දේශමාන්‍ය ගෞරව නාමයෙන් පුදන ලද්දෙකි. ඒ බුර්ෂුවා සංස්කෘතියේ න්‍යාය විරෝධයයි.

මෙම චිත‍්‍රයට ඩයාන් ගෝමස් නම් ජනප‍්‍රිය නළුවා කඩා වදින්නේ රනිල් වික‍්‍රමසිංහගේ පිඟානට රංජන් රාමනායක කඩා වැටුණු ආකාරයෙනි. ඩයාන් යනු අමලියන් සහෝදරවරුන්ගේ ව්‍යාපාරය ලෝකයට ජනප‍්‍රිය කරන ලද චරිතය යි. චිත‍්‍රපටයට අවශ්‍ය සින්දු ලිව්වේ ඔහුය. නර්තන නිර්මාණ ඔහුගේ ය. මීඩියා Media show ඔහුගේය. බොක්සිං ගැස්සුවේ ඔහුය.

‘ගාන්ධාර්’ නම් ලලිත කලා අසපුව ඔහුගේ නිර්මාණයකි. MAS එකට අවශ්‍ය ලීබඩු ඔහුගේය. සුන්දර හිස්ටෙරික මැද පාන්තික කොළඹ පාසල්වලට ගිය ගිනිකූරු වැනි සිහින් කකුල් සහිත MAS ස්ත‍්‍රීන් ඔහුගේය. මේ ඊයේ පෙරේදා දිනෙක මහේෂ් අමලියන් තම සේවකයන්ට කී පරිදි ‘ඩයාන් වියදම් කරේ මගේ සාක්කුවෙන්’, ගාමන්ට් ක්ෂේත‍්‍රයේ ජනප‍්‍රියවාදය ඩයාන් ගෝමස් සලකුණයි. ඔහු අමලියන්ලාගේ යට ඇඳුම් කලාව වෙසක් තොරණක් තරම් සුන්දරකරණය කළේය.

සියල්ල කණපිට පෙරළුණේ අහම්බයකිනි. ගිය වසරේ අගවන විට ඩයාන් විශ‍්‍රාම යෑමට ආසන්නව සිටියේය. ඔහුගේ මාසික ආදායම මිලියන 10කට කිට්ටුය. ඔහු අමලියන්ලා සතු පවුලේ ව්‍යාපාරයේ කොටස් ඉල්ලා සිටියේය. අමලියන්ලා ඊට අකමැති විය. අමලියන්ලාට අනුව ඩයාන් වැඩකාරයෙක් වුවත් සේවකයෙකි. ඩයාන්ට කවදත් ‘චේ’ සහ අමලියන්ලා පැටලී තිබුණි. ‘ප‍්‍රාග්ධනය’ යනු සමපේක්ෂණය කරන ආත්මයකි. අමලියන්ලාට අවශ්‍ය වූයේ තම ව්‍යාපාරය දියුණු කරණ මුදියන්සේ කෙනෙකි. [මාස්ටර් සහ මාගරීටා] ‘චේ අවන්හල’ යනු ප‍්‍රතිවිරෝධ ජය ගත් පශ්චාත් – නුතන අවන්හලකි. ඒ තුළින් ‘සැබෑව’ [පරස්පරය] ඉවත් කර ඇත. නිසි මොහොතේ දී ඇමෙරිකාව CHEට ගේම දුන් පරිදි අමලියන්ලා [ප‍්‍රාග්ධනය] ඩයාන්ට ගේම දුන්නේය. ප‍්‍රාග්ධනය සමඟ සෙල්ලම් කිරීම බොක්සිං ගැසීම තරම් සරල නැත. දැන් ඩයාන් ගොමස් අලූත් සෙල්ලමක් පටන් ගෙන ඇත. අමලියන්ලාට අභියෝගයක් දීමට ඔහු දැන් ‘හෙළ CLOTHING. නම් සිංහල – බෞද්ධ යට ඇඳුම් ව්‍යාපාරයට අතගසා ඇත. මිලිටරි භාෂාවෙන් කිවහොත් ඇඟළුම් ක්ෂේත‍්‍රය තුළ දැන් කරුණා පාර්ශ්වය බිහි වී ඇත. 12,500ගේ මූලික වැටුප අඩුපහසුකම් සහිත කර්මාන්තශාලා තුළ ඩයාන් 20,000ක් දක්වා වැඩි කර ඇත. අමලියන්ලා ද මේ ගැන සංවේදී වී තමන්ගේ ‘ආචාර ධාර්මික‘ – ETHICAL BUSINESS- ව්‍යාපාර උපායන් වර්ධනය කරයි. බාහිර ලෝකයේ බොහෝ මිනිසුන් මෙම ව්‍යාපාර තුළ සිදු වන්නේ කුමක් දැයි නොදනියි. ඔවුන්ට දේශපාලකයන් කියන්නේ බයිලාය. සාමාන්‍යයෙන් BRANDIX සහ MAS වැනි සමාගමක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයකුට මිලියන 4ක පමණ වැටුපක් හිමි ය. මේ වැටුප නිසා ඔහුට/ ඇයට පවුල් ජීවිතයක් අහිමි වෙයි. සෑම තැනකින්ම දේපළ මිලට ගන්නවා හැර වෙන දෙයක් කරන්නට නැත. මේ අය LOVE සහ SEX කරන්නේ පවුලේ ගෑනිට නොව මහියංගනයේ කෙල්ලන්ටය.

පසුගිය දිනෙක MAS හෝල්ඩින් සමාගම ගැන ලන්ඩනයේ SUN පුවත්පතේ [මෙය පසුගිය සතියේ අපගේ පුවත්පතේ පළ විය] පළ වු ප‍්‍රවෘත්තියට වක‍්‍රව ඩයාන් සම්බන්ධ යැයි රාවයක් පවතියි. ඩයාන්ට දැන් අවශ්‍ය වී ඇත්තේ සිංහල බෞද්ධ ලේබලය යටතේ යට ඇඳුම් ව්‍යාපාරය ඉදිරියට ගෙන ඒමටය. එහි දී ඔහුගේ පසමිතුරා මහේෂ් අමලියන්ය. සිංහල සංස්කෘතියේ ශ‍්‍රමය දශක තුනක් පමණ අමලියන්ලාට පක්ෂ විය. සමාගමේ මුළු සේවකයන් ප‍්‍රමාණය 5000කි. ‘ප‍්‍රාග්ධනය’ වෙනුවෙන් ඔට්ටු ඇල්ලීමේ දී ඩයාන්ලාට සහ අමලියන්ලාට සෙල්ලම් කිරීමට සිදු වන්නේ රටේ ආර්ථිකය සමඟ පමණක් නොවේ. මේ සේවකයන්ගේ ජීවිත සමඟ ද ඔවුන්ට සෙල්ලම් කිරීමට සිදු වෙයි. මලික් සමරවික‍්‍රම ද ඉස්සර ඇඟළුම් ව්‍යාපාරිකයෙකි. ඔහු සෙල්ලම් කිරීමට නියමිත කා සමඟ දැයි නිශ්චිත නැත. රනිල් වික‍්‍රමසිංහගේ පවුලේ අය අමලියන්ලා සමඟ මිතුරුය.

මේ කිසිවක් නොදන්නා MAS ආයතනයේ කළමනාකාරවරයෙක් හිමිදිරියේ තම HONDA වෙසල් වාහනයෙන් ගමන් කරන්නේ MAC අවන්හලකටය. පවුලේ අය ඉන් ඇමෙරිකානු කුකුල් මස් සමඟ PEPSI පානය කරයි. ඉන්පසු ඔහු ගමන් කිරීමට නියමිත දරුවන් ඉගෙන ගන්නා ලයිසියම් පාසලටය. තමන්ගේ මේ ඉහළ මැද පාන්තික ජීවිතයේ ආර්ථිකය පාලනය කරන ගෝලීය දේශපාලනය ගැන ඔහුට වැටහීමක් නැත. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු ටයිපටියක් බැඳගත් POLITICAL මෝඩයෙකි. ඩයාන්ගේ GAME එක හරි ගියොත් අමලියන්ලාගේ ‘අමල්බිසෝ’ කතාන්දරය ඉන් අවසන් වනු ඇත. ඉන්පසු සේවිකාවන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ගැන ජවිපෙ වසන්ත සහෝදරයා චේ මෙන් අරගල කරනු ඇත.

Victorias Secret-2-

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. මේ ත්‍රිමාන පාරිභාෂික වචන එබූ බහුබූතය කියවූ පසු මෙසේ ලියන්නට සිත්වීමි. අමලීන් ගමට ගිහින් ෆැක්ටර්යක් නොදැම්මේනම් අමලීන් ධනවතෙක් නොවන අතර ගම්වල අසරණව සිටි දහස් ගනන් ළමයිට එදාවේලවත් කෑමට නොලැබෙනු ඇත. එසේම මෙවැනි ගොපාට් ලියන කතාසාප්පු වලට මාතෘකාවක්ද බිහි නොවනු ඇත.

Comments are closed.