පසුගිය දා ඇඳිරි නීතිය පැනවීමට පෙර කඩවත ප්‍රදේශයේ වෙළඳසැලකට පැමිණි අයෙකු වෙළඳසැල තුළ දී ම මිය ගොස් තිබූ පුවතක් වාර්තා විණ. එම පුද්ගලයාගේ මළ සිරුර පසෙක තිබිය දී මිනිසුන් එම වෙළඳසැලෙන් භාණ්ඩ මිල දී ගැනීම සිදු කළ බව එම පුවතේ වැඩිදුරටත් සඳහන් ව තිබිණ. මෙම සිදුවීම හා වාර්තාකරණය අපට සිහි ගන්වන්නේ ක්‍රිස්තෝෆ් කිස්ලොව්ස්කි අධ්‍යක්ෂණය කළ “ඩෙකලොග්“ (1989) කතාංග මාලාව යි. කිස්ලොව්ස්කි මෙම කතාංග මාලාව පුරා ම මතු කරන සාමූහික වගකීමට එරෙහි ස්වයං විමුක්තිය හා නිදහස යන සාධකය ඉහත පුවත මඟින් මතු කිරීමට උත්සාහ දරා තිබේ. එමෙන් ම එම කතාංග මාලාව විශ්ලේෂණය කරන ස්ලේවෝ ජිජැක් එම කතාංග මඟින් සෞන්දර්යය හා සදාචාරය වෙනුවට ආචාරධාර්මික මානය ඉස්මතු ව ඇති බව පෙන්වා දෙයි. එමෙන් ම ඉහත වාර්තාකරණය තුළ අඩංගු වාර්තාකරුගේ ආත්මමූලිකත්වය ප්‍රකට කරන විනෝදය (pleasure in pain) ද මෙහි දී අපට හඳුනා ගත හැකි ය. ඒ අනුව අප ජීවත්වන වර්තමාන සමාජය ස්වයං විමුක්තිය මූලික කරගත් සමාජයක් ලෙස, ආචාරධාර්මික ක්‍රියා පිළිබිඹු වන සමාජයක් ලෙස හා අවසාන අර්ථයෙන් විනෝද සමාජයක් ලෙස යන සාධක ත්‍රිත්වය මෙහි දී අපට අභිමුඛ වේ.

මුලින් ම ආචාරධාර්මික ක්‍රියාව යනු කුමක්දැයි කෙටියෙන් විමසා බලමු. ආචාරධාර්මික ක්‍රියාව (ethical act) යනු තථ්‍යතා මූලධර්මයෙන් (reality principle) ඔබ්බෙහි පිහිටන යමකට වඩා එම මූලධර්මයේ ඛණ්ඩාංක වෙනස් කිරීමකට මැදිහත් වන යමකි. එ මෙන්ම සිදු කිරීමට නො හැකි දෙයක් සිදු කරන ක්‍රියාවක් ලෙස එම ක්‍රියාව හඳුනා ගැනීමට වඩා සිදු කිරීමට හැකි යැයි අප සිතා සිටින දෙයෙහි ඛණ්ඩාංක වෙනස් කරන යමක් ලෙස එම ක්‍රියාව හඳුනා ගත හැකි ය. එය හුදු යහපතට ඔබ්බෙහි පවතින යමකට වඩා යහපතට අයත් දේ ප්‍රතිඅර්ථ දක්වන යමක් ද වේ. එ මෙන්ම එය නීතිමය සම්මත උල්ලංඝනය කරන යමකට වඩා නීතිමය සම්මත ප්‍රතිඅර්ථකථනය කරන යමක් ලෙස ද හඳුනාගත හැකි ය.

කිස්ලොව්ස්කිගේ සිනමාව පිළිබඳ ඉහත ජිජැකියානු ප්‍රවේශය අපට වැදගත් වන්නේ ඇයි ද යන්න මීළඟට විමසා බලමු. ඒ ඔහු කිසිවිට කලාව සංස්කෘතියට ඌනනය නො කරන නිසා ය. නිදසුනකට ඔහු කිස්ලොව්ස්කිගේ සිනමාවේ සුවිශේෂභාවය පෝලන්ත ජන මූලයන්ට හෝ පෙරදිග හෝ අපරදිග අඳුරු ගුහාවක සැඟවී තිබූ යැයි සිතන සාරයකට ඌනනය කරනු වෙනුවට ඔහු එමඟින් දේශපාලන මානයක් මතු කරයි. වෙනත් ආකාරයකින් සඳහන් කරන්නේ නම් ඔහු දෘෂ්ටිවාදය වෙනුවට යෝජනා කරන්නේ දේශපාලන මානයකි. ක්‍රිස්තෝෆ් කිස්ලොව්ස්කිගේ සිනමා භාවිතය හා ඒ පිළිබඳ ජිජැකියානු ප්‍රවේශය අපට තවත් අතකින් වැදගත් වන්නේ කොරෝනා වෛරසය හා ඉන් මතු ව ඇති අවදානම පිළිබඳ කටයුතු සම්බන්ධයෙන් වර්තමානය වන විට සමාජය තුළ ඇති වී තිබෙන සංවාද නිරීක්ෂණය කිරීමේ දී ය.

මැද පාංතිකයින් ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය පැතිර යාමට මූලික හේතුව ලෙස සලකන්නේ ඉතාලියේ සිට පැමිණ නිරෝධායනයට ලක් නො වී සැඟවී සිටින පිරිස ය. එය කරුණුමය වශයෙන් සත්‍ය විය හැකි නමුත් ඔවුන් සැඟ වී සිටින්නේ ඇයි ද යන්න කෙරෙහි ඉහත පිරිසගේ අවධානය යොමු වී නැත. වාර්තා වන අන්දමට ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ ව්‍යාජ විදේශ ගමන් බලපත් උපයෝගී කර ගනිමිනි. ඔවුන් සැඟ වී සිටින්නේ ඒ නිසා බව පැවසේ. තමන්ගේ සුරක්ෂිතතාව ජාතික ආර්ථිකය මඟින් තහවුරු නො කරන විට බෝට්ටුවක හෝ නැඟී ඉතාලියට යෑමේ සිහිනය බොහෝ දෙනෙක් තුළ පැවතිණ. එම ඉතාලි සිහිනය නපුරු සිහිනයක් බවට පත් ව ඇති බව වැටහෙන්නේ මේ වන විට ඉතාලියේ සිට පැමිණ සිටින අයෙකු පිළිබඳ ආරංචි වූ විට පොලිසියට දුරකථන ඇමතුම් ලබා දෙන බවට වාර්තා වී ඇති නිසා ය. කෙසේ වෙතත් කුමන හෝ ආකාරයකින් ඉතාලි ගිය අයගෙන් සමහරෙක් ගෝලීය වශයෙන් බෝවන රෝගයක් රැගෙන නැවත ශ්‍රී ලංකාවට පැමිණ ඇත. රටක් වශයෙන් සමාජ ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීමට අපොහොසත් වූ විට මෙවැනි දේ සිදු විය හැකි ය. ධනවාදය පිළිබඳ උගෙන වැඩක් නැති බවට වහසි බස් දෙඩූ පරිභෝජනය පරම කර ගත් සුඛපරමවාදීන්ට මෙමඟින් සිතන්නට යමක් ඉතිරි කර ඇත. එවිට මෙම කොරෝනා වෛරසය යනු අපගේ ම සිහිනය තුළ පැවැති ‘විකෘත’ පැල්ලමක් (Anamorphic Stain) ලෙස වටහා ගැනීම අපහසු නො වනු ඇත. එමෙන් ම ධනවාදය තුළ අර්චන වස්තුවක් මළපහ බවට පත් වීමට ද වැඩි කාලයක් ගත නො වන බව ද මින් වටහා ගත හැකි ය.

මෙවැනි සමාජයකට විනෝද සමාජයක් යැයි කියන්නේ ඇයි? සුපිරි වෙළඳසැල්වලට ගොස් භාණ්ඩ එකතු කරගත් මධ්‍යම පන්තිය ඉල්ලා සිටින්නේ සමස්තය වෙනුවෙන් අන් අයට කැපකිරීමක් කරන ලෙස ය. එනම්, මේ වන විට පෘථිවියේ වරප්‍රසාදිත කොටසක් හුදෙකලා වෙමින් අවවරප්‍රසාදිත කොටසකට හුදෙකලා වන්න යැයි කියයි. නමුත් ඔවුන් කැප කර ඇත්තේ කුමක් ද කියා පෙරළා විමසීමක් සිදු වන්නේ නො මැත. චන්න ජයසුමන වැනි විද්වතුන් යැයි කියා ගන්නා අය ප්‍රකාශ කරන්නේ සති දෙකකට ඇඳිරි නීතිය පැනවිය යුතු බව ය. ඔහුට රජයක් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ වැටහීමක් නො මැත. මෙම යුගයේ දී ද්වේෂය හා භීතිය අසීරුවකින් තොර ව පොදු වැටහීම තුළට එන්නත් කළ හැකි ය. එවැනි අවදානම ගණනය කරන්නන් මඟින් සිදු වන්නේ ද්වේෂය හා භීතිය යුක්තිසහගත කිරීම ය. එවැන්නන් හැඳින්වීම සඳහා වියතුන් යන පදයට වඩා යෝග්‍ය වන්නේ අවදානම් කළමනාකරුවන් යන පදය ය.

මෙම මධ්‍යම පන්තික තර්කනය මත දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩ වර්ජනය කළ ද බස් කොන්දොස්තවරුන් වැඩ වර්ජනය කළේ නැත. එම තත්ත්වය මත පෙනී යන්නේ මෙම පිරිස සෞඛ්‍යමය මානය හෝ සමාජ දේශපාලනික මානය හෝ පිළිබඳ වැටහීමකින් තොර ව යම් මතිභ්‍රම ස්වභාවයක් තුළට ගාල් වී ඇති බව ය. අප ප්‍රශ්න කළ යුතු වන්නේ මධ්‍යම පංතිකයා ගොඩ නඟන මෙම ව්‍යාජ යහපත පිළිබඳ ප්‍රවාදය යි. එ මඟින් අප හඹායාම වෙනුවට ජීවිතයට නැවත ආශාව එන්නත් කළ යුතු ව ඇත. මෙම තත්ත්වය පරිභෝජනය පරම කර ගත් සමාජයක බෙලහීනබව පිළිබඳ ප්‍රකාශනයක් ලෙස ද අපට හැඳින්විය හැකි ය. මෙම පිරිස් අනෙකුත් අයට නිවෙස් තුළට වී සිටින්න යැයි සමාජ මාධ්‍ය තුළ සඳහන් කරන්නේ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් යුතු පුරවැසියන් නැවත සමාජයට මුදාහැරීම හෝ සමාජ යහපත අරමුණු කරගත් යමක් ලෙස නො වේ. ඔවුන්ගේ පණිවිඩය මෙසේ සරළ කළ හැකි ය. “ඔබ තුළ මේ මොහොතේ පවතින මා හට දරාගත නො හැකි අනේකත්වය නිසා ඔබ ව මට නො වැටහේ, (ඔවුන්ට අනුව මුණ ගැසෙන සෑම අයෙක් ම වෛරස් ආසාදිතයෙකි.) එ නිසා ඔබ මට වැටහෙන අයෙකු වන්න“. එවිට ‘Stay at Home‘ යන්න අනෙකාගේ ගුප්ත, කලබලකාරී, විදේශිකභාවය හීලෑ කිරීමක් බවට පත් වේ. “පළමුව මා“ (me first) නැමැති වර්තමාන දෘෂ්ටිවාදයෙහි ප්‍රමුඛ පාඨය ද එහි දී දැකිය හැකි ය. ඔවුන් පළමු කොට පුද්ගලවාදී ගැහැනුන් සහ පිරිමින් වී පසු ව ගිවිසුම් ගත පවුලක් බවට පත් වේ. පසුගිය ජනවාරි මාසයේ දී චීනුන් වනචාරීන් මෙන් වවුලන් ඇතුළු සතුන් කනවා යැයි කියූ මෙම පංතිය මාර්තු මස වන විට චීනුන් වීරයන් ලෙස සලකමින් යුරෝපීයන් මඟින් වේදනාවෙන් සතුටු ‍වේ. මෙහි දී අප වටහා ගත යුත්තේ කිසි විට පරිපූර්ණ සමාජයක් යනුවෙන් යමක් පැවතී නො මැති බව ය. සමාජය සෑම විට ම සන්දිග්ධ (problematic) ය. සමාජය පූර්ණ සමස්තයක්වීම වලක්වන්නේ එම සැබෑව ය. නමුත් එම නො හැකියාවට අපි බැහැරින් හේතුවක් සොයා ගන්නෙමු. මේ මොහොතේ දී එය ඉතාලියේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු, මුහුණු ආවරණ නො පළඳින්නෙකු විය හැක. මේ අවස්ථාව වන විට සෞඛ්‍ය විද්‍යාත්මක අර්ථයෙන් මුහුණු ආවරණ පැළඳීම නිර්දේශ කර ඇත්තේ රෝගීන් හා රෝගීන්ට උපස්ථාන කරන පිරිස සඳහා ය.

නිවසට වී හුදෙකලා වී සිටින ජාතිකවාදී සුඛපරමවාදීගෙන් ඇසිය යුත්තේ ඔබ පැතූ ලෝකය මෙය විය නො හැකි ද යන්න ය. නීට්ෂේ විසින් අනතුරුදායක ලෙස ජීවත්වන ලෙසට අපට යෝජනා කර ඇති ආකාරයට අපගේ නගරය මේ වන විටත් අප ගොඩ නගා ගෙන ඇත්තේ විසූවියස් කන්දේ බෑවුමේ ද? ෆ්‍රොයිඩියානු මනොවිශ්ලේෂණයට අනුව ද මිනිසුන් ක්‍රියා කරන්නේ ඔවුන්ට ජීවත්වීමට අවශ්‍ය නිසා නො වේ. ඔවුන් එසේ කරන්නේ සතුට නිසා ය. එයට අනුව එම සතුට වේදනාව මඟින් හෝ මරණය මඟින් හෝ ලබා ගැනීමට ඔවුන් පසුබට නො වනු ඇත. එසේම ව්‍යාජ වාමවාදීන්ගෙන් විමසිය යුත්තේ ඔබ පැතූ සාමූහික දේශපාලනිකභාවය සඳහා අවස්ථාවක් දැන් උදා වී නො මැති ද යන්න ය. ඔවුහු සයිකෝසික ප්‍රජාවකගේ ආශාව රඟ දක්වමින් සිටිති. එහි දී ඔවුන්ට ලොරියට බඩු පැටවීම, ලොරියෙන් බඩු බෑම සහ බඩු බෙදාහැරීම වැනි විනෝද ක්‍රියාවලට සහභාගී විය හැකි ය. ඇල්බට් අයින්ස්ටයින් කියා ඇති පරිදි අප සහ පෘථිවිය විනාශ කිරීමේ මාර්ග අප සොයා ගෙන ඇති නමුත් අප සිතන ආකාරය තවම වෙනස් කර ගෙන නො මැත. මෙම තත්ත්වය තුළ අපට කිව හැක්කේ අප කාමරයක් තුළට කොටු වී ඇති බවත් එම කාමරය තුළ තව දුරටත් වැඩිහිටියන් නො මැති බවත් ය. මෙම කාමරය යන්න සයිකෝසීය ආකෘතියක් ලෙස වුව ද සැලකිය හැකි ය. අප වටහා ගත යුත්තේ පරිමිතභාවය යනු මානව ස්වභාවය තුළ වෙනස් කළ නො හැකි අංගයක් වන නමුත් දැනුම යනු  ආපතික කරුණක් බව ය. ඕනෑම මොහොතක දී එය වෙනස් විය හැකි ය. ගැටලුව හඳුනා ගැනීම සඳහා හැදෑරීම වැදගත් වන්නේ එබැවිනි.

ෆ්‍රෙඩ්රික් ජෙම්සන් පවසා ඇති පරිදි ධනවාදී සම්බන්ධතාවල සැබෑ වෙනසක් සිදුවීම පරිකල්පනය කිරීමට වඩා පෘථිවිය මත සිටින සියලු ජීවීන් විනාශ වන මහා විශාල උපද්‍රවයක් පරිකල්පනය කිරීම පහසු ය. අප දන්නා පරිදි පසුගිය ගෝලීය උපද්‍රව වලින් පසු ද ධනවාදය කෙසේ හෝ පවතියි. 2008 ගෝලීය ආර්ථික අර්බුදය හා එබෝලා වසංගතය ඊට මෑත කාලීන නිදසුන් ය. මෙම වෛරසය මඟින් වැඩි අවදානමට ලක් කර ඇත්තේ ධනවාදී නිෂ්පාදනයේ දී අවම ඵලදායකත්වයක් හිමි (වැඩිහිටියන්, දීර්ඝකාලීන රෝගීන් වැනි) පිරිස ය. වර්තමානය වන විට ධනවාදී සමාජය සංවිධානය වන්නේ බලවන්තයින්ගේ නො නැසී පැවැත්ම හා සමපේක්ෂණය මත ය. ගෝලීය වශයෙන් සැලකීමේ දී මෙම කොරෝනා වෛරසය නිසා ඇති වී ඇති අර්බුදය මඟින් පෙන්නුම් කරන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ ගැටළුවකට වඩා වර්තමාන රාජ්‍ය සැකැස්ම පිළිබඳ ගැටලුවකි. මෙම තත්ත්වය තුළ ස්වයංසාධිත (self-made) මැදිහත්කරණ මිස පොදු සංවිධානාත්මක ආකෘතියක් ගෝලීය වශයෙන් දකින්නට නැත. එවැන්නකට නායකත්වයක් සැපයිය හැකි කෙනෙකු ද දකින්නට නො මැත. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම වෛරසය හඳුන්වා තිබුණේ විදේශ වෛරසය (Foreign Virus) යන නමිනි. ව්‍යසන චිත්‍රපටයක වෙළඳ පාඨය හා සමාන එම ප්‍රකාශයේ ඉලක්කය චීනය බව පැහැදිලි ය. බ්‍රිතාන්‍යය ‘සමූහ ප්‍රතිශක්තිය’ (Herd immunity) හෙවත් ප්‍රමාද කිරීමේ හා මගහැරීමේ දේශපාලනයක යෙදී සිට අගුලුලෑමේ ප්‍රවේශයකට පිවිස ඇත. කොරෝනා වෛරසය මුවාවෙන් කොසෝවෝ රජය පෙරළා දමා ඇත. මේ සියලු දෙනාගේ ප්‍රකාශ හා ක්‍රියා තුළ දක්නට ලැබෙන්නේ පොදු සමාජයීය ගැටලුවක් පුද්ගලික ගැටලුවක් බවට ඌනනය කිරීමක් හා ගෝලීය ගැටලුවක් ජාතික රාජ්‍ය සීමාව තුළට ඌනනය කිරීම ය. එය දැනුමට සම්බන්ධ කරුණක් වන නමුත් මනෝවිශ්ලේෂණයට අනුව දැනුමෙහි සිදුර සාදන්නේ සත්‍යය හෙවත් අවිඥානය ය. මෙම සත්‍යය සංකේතීය වන අතර පෙර සඳහන් කළ විනෝදය සම්බන්ධ වන්නේ සැබෑවට ය.

ඉතා දැඩි ලෙස එකිනෙකට සම්බන්ධ වී ඇතැයි සැලකෙන ලෝකය නව උපද්‍රවවලට ගොදුරු වීමේ හා මිනිසුන් ආන්තික ලෙස හුදෙකලාවීමේ අවදානමට විවෘත වී තිබෙන බවට මෙම තත්ත්වය සාක්ෂියක් නො වන්නේ ද? අද පවතින්නේ සමාජයකට වඩා ජාලයක් නිසා ඒ තුළ සම්බන්ධතා වෙනුවට like, share, comment පමණක් පවතියි. එබැවින් හුදෙකලා කාංසාව හැර වෙනත් කිසිවක් ඒ තුළ නො පවතියි. එ මෙන්ම මෙම වෛරසය ත්‍රස්තවාදයෙන් තොර ත්‍රස්තයක් ඇති කර තිබේ. එය සංකේතනය තුළ ආගන්තුක බවක් හා බිඳවැටීමක් ලෙස ක්‍රියාකාරී වන බව දක්නට ලැබේ. අද වන විට මෙයට විසඳුම් සොයන ලෝකය පුරා බිහි වී සිටින ජාතිකවාදී සහ ජනප්‍රියවාදී නායකයන් ‘දන්නා බව උපකල්පිත ආත්ම‘ (subject supposed to know) ලෙස නම් කළ හැකි ය. ඔවුන්ගේ ක්‍රියා පූර්ණ දැනුම මත පදනම් වී ඇති බවට ඔවුන් රඟ දක්වයි. නමුත් පවත්නා මහා අනෙකා ඇද වැටෙන මොහොතේ දී එම නායකයින් තව දුරටත් දැනුමට වරප්‍රසාදිත සම්බන්ධයක් ඇති අයවලුන් ලෙස නො ව අනෙකුත් අය මෙන් මුග්ධයින් බවට පත් වේ. මෙහි දී අපට උගත හැකි පාඩම වන්නේ දැනුම සහ ස්වාමියාගේ ක්‍රියාකාරීත්වය අතර හැකිතාක් දුරට පරතරයක් පැවතිය යුතු බව ය. විද්වතුන් පාර්ලිමේන්තුවට පත්කර යැවීම වැනි ලිබරල් අදහස් පිළිබඳ අප දෙවරක් සිතිය යුත්තේ එබැවිනි. මේ වන විට අපගේ ආශාවේ වස්තුව බවට පත් ව ඇත්තේ අනාගතය යි. එබැවින් වත්මන් තත්ත්වය යටතේ අපට අනාගතය සඳහා වූ ආචාර ධර්ම අවශ්‍ය ය. ඒවා අනාගතවාදී ආචාරධර්ම නො විය යුතු ය. නමුත් ගැටලුව වන්නේ අප අපගේ යුතුකම ඉටු නො කරමින් මෙම අනාගතය පිළිබඳ අපේක්ෂාවෙන් පසු වීම ය. ඒ තුළ පවතින්නේ අන්තර්අක්‍රියභාවය ය. එනම්, නො දන්නා අනෙකෙකු මඟින් සියල්ල සිදු වන තෙක්  බලා සිටීම ය.

තව ද විදේශ රටවල පදිංචියට ගොස් සිටින ශ්‍රී ලාංකිකයෝ එම රටවල් ශ්‍රී ලංකාව හෝ චීනය මෙන් කටයුතු නො කරන්නේ යැයි ප්‍රකාශ නිකුත් කරමින් සිටිති. ඔවුන් සැබැවින්ම තවමත් ඛණ්ඩනය වී නැති බවත් විනෝදය වහා ආසියානු ක්‍රමයට පාලනය කරන්න යන ඉල්ලීමත් ඒ තුළ පවතියි. ආසියානු කලාපයේ පවතින පාලිත සමාජය තව දුරටත් පාලනය කිරීම සඳහා අද වන විට මහා දත්ත (big data) ද උපයෝගී කර ගන්නා බව වාර්තා වේ. නිදසුනකට ඔබ ශ්‍රී ලංකාවේ මෙන් චීනයේ වෙළඳසැලක පොරකමින් සිටින්නේ නම් ආවේක්ෂණ දත්ත ඇසුරු කරගනිමින් ඔබේ උෂ්ණත්වය ඉහළ ගොස් ඇත් ද ඇතුළු ඔබේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ තොරතුරු රාජ්‍යය ලබා ගෙන ඔබ ව රෝගියෙකු ලෙස හඳුනා ගත් පසු නිරෝධායනයට යොමු කරනු ලබනු ඇත. නමුත් යුරෝපය තුළ එවැනි ආවේක්ෂණ ක්‍රියාවලියක් හා ප්‍රජාතන්ත්‍රීය මූලධර්ම අතර ගැටුමක් පවතියි. මෙම රෝගය මර්දනය කිරීමේ දී යුරෝපීය රාජ්‍ය සහ ආසියානු රාජ්‍ය අතර වෙනසට එය ද හේතුවක් වී ඇත. පෞද්ගලික අවකාශය යන්න චීන භාෂා ව්‍යවහාරය තුළ දැකීම විරල වුවත් යුරෝපය තුළ අදහසක් ලෙස එය තවමත් පවතියි. මෙම ගැටලුව නිසා අපට ඉදිරියේ දී තෝරා ගැනීමට සිදු වීමට ඉඩ ඇත්තේ සර්වාධිකාරී ආවේක්ෂණය සහ පුරවැසි බලගැන්වීම මෙන් ම ජාතිකවාදී  හුදෙකලාව සහ ගෝලීය සහයෝගීතාවය අතරින් කුමන ඒවා ද යන්න විය හැකි ය.

අප දැනුම හා විද්‍යාව මත යැපෙන සමාජයක් බැවින් කොරෝනා වෛරසය නිසා අප කලබල වී ඇත්තේ අවිනිශ්චිතභාවයක් එ මඟින් ගොඩ නැගෙන බව පෙනෙන නිසා ය. අවිනිශ්චිත බව (uncertainty) යනු ඥාන විභාගයට අයිති යමක් වන අතර නිශ්චිතව යමක් දැන ගත නො හැකි බව හෙවත් අනිර්ණේයතාව (indeterminacy) සද්භාවවේදයට අයත් අදහසකි. සැබෑ ප්‍රශ්නය ඇත්තේ අවිනිශ්චිතතාව තුළ නො ව නිශ්චිත ව යමක් දැන ගත නො හැකි බව හා අර්ථ දැක්විය නො හැකි බව තුළ ය. එනම් මේ මොහොතේ දී අප සතු ඥානය බාහිර වස්තුවට අනුරූප වී නො මැති බව අප වටහා ගත යුතු ව ඇත. එවිට පවත්නා තත්ත්වය අර්ථ දැක්විය නො හැකිවීම යනු ගෝලීය ප්‍රශ්නයක් නො ව අපගේ ආත්මීය ප්‍රශ්නයක් බව වටහා ගැනීම මෙහි දී වැදගත් ය. සෑම අවිනිශ්චිතතාවක් ම එයට සම්බන්ධ අයගේ දැනුමේ තත්වයට සම්බන්ධ යමක් ලෙස සැලකිය හැකි අතර එහි දී අපට දැකගත හැකි වන්නේ ආත්මමූලික වියහැකියාවන් මඟින් අවිනිශ්චිතතාව සහ අවදානම අතර වෙනස මෙන් ම පෙරපරිස්සම හා වැළැක්වීම අතර වෙනස ද මකා දමන බව ය. පෙරපරිස්සම යනු භංගුර අදහසකි. පෙරපරිස්සම (precaution) විය හැකි උපද්‍රව හා සම්බන්ධ වන විට නිවාරණය හෝ වැළැක්වීම (prevention) සම්බන්ධ වන්නේ අප දන්නා උපද්‍රවවලට ය.

මේ වන විට බොහෝ දෙනෙක් ආපතික අනාගතයක් පිළිබඳ ව සිතමින් සිටින බැවින් සිදු වන්නේ අතථ්‍ය අනාගතයක් පිළිබඳ අදහසක් ඇති වීම ය. ඒ නිසා අනාගත විපතක් සිදුවීමට නියමිත බව දන්නා විට පවා එය විශ්වාස කළ නො හැකි තත්ත්වයක් උදා වේ. එවිට දන්නා දේ පවා විශ්වාස කිරීමට මැලි වේ. අනාගතය පිළිබඳ සැබෑ අදහසක් නො මැති බැවින් අනාගතය පිළිබඳ බියක් හෝ බලාපොරොත්තුවක් ද ඇති නො වේ. එසේ නම් සැබැවින් ම සිදු විය යුත්තේ කුමක් ද? අප ප්‍රථමයෙන් වියහැකියාවේ පදනම මත සිට අපගේ අනාගතය විනාශයකට මුහුණ පා ඇති බව පිළිගත යුතු ව ඇත. එනම්, මහත් ව්‍යසනයක් සිදුවන බවත්, එය අපගේ ඉරණම බවත් පිළිගත යුතු ව ඇත. එම පිළිගැනීම මත අප අපගේ ක්‍රියාකාරීත්වය තීරණය කළ යුතු ව ඇත. අපගේ ඉරණම වෙනස් වීම සිදු වන්නේ එම වටහා ගැනීමට අදාළ ක්‍රියාකාරීත්වය මඟිනි. එනම්, ක්‍රියාවක් සඳහා පදනම් වන නිශ්චිතභාවය යනු දැනුම පිළිබඳ කරුණක් නො ව විශ්වාසය පිළිබඳ කරුණක් බවට පත් විය යුතු ය. එවැනි සැබෑ ක්‍රියා අපගේ දැනුමේ පවතින හිදැස පුරවයි. එබැවින් අප ක්‍රියා කළ යුත්තේ විශ්වාසය මත පිහිටා ය. ඒ අනුව මෙවැනි තත්ත්වයක දී අනිර්ණේයතාව මත පදනම් වෙමින් වැළැක්වීමේ ක්‍රියාමාර්ග මත මිස අවිනිශ්චිතතාවය මත පදනම් වෙමින් පෙරපරිස්සම මත පදනම් නො විය යුතු ය.

ස්වයං නිරෝධායනය නමැති අදහස සමාජයට සහ මනෝවිශ්ලේෂණයට අදාළ කළ විට අපට අභිමුඛ වන්නේ (දෘශ්‍යමානයට අනුව) කිසියම් වූ සාම්‍යයකි. ස්වයං නිරෝධායනය යනු ප්‍රජාවෙන් වෙන් වී පුද්ගලයා තමා තුළින් ම සුවපත් වී සමාජය සුවපත් කිරීමක් නම් විප්ලවය මෙය නො වන්නේ ද? චීනය පවා එක්තරා අවස්ථාවක සඳහන් කර තිබුණේ මෙය වෛරසයට එරෙහි ජනතාවගේ යුද්ධයක් (people’s war against the virus) ලෙසිනි. මනෝවිශ්ලේෂණයට අනුව ද සාමූහිකත්ව මට්ටමේ විප්ලවයකට මඟ පෙන්වන්නේ ආත්මමූලික මට්ටමේ විප්ලවයක් ය. සාමූහිකත්වය යනු අන් කිසිවක් නො ව පුද්ගලයාගේ ආත්මය ය. මගේ ශක්‍යතාව භාවිතා කරමින් කතිකාව තුළ මා පිහිටුවා ගන්නේ කෙසේ ද යන්න ඉන් අදහස් කෙරේ. මෙය ආත්මමූලික මට්ටමින් සිදු නො වන විට අප පැරණි ස්වාමීන් වෙනුවට නව ස්වාමීන් හිඳුවීමක් පමණක් සිදු කරයි. එමඟින් කිසිවක් වෙනස් වන්නේ නැත. විප්ලවය තර්කමය, ආචාරධාර්මික හා භාෂාමය තල තුනෙහි ම සිදු විය යුතු ය. නමුත් වර්තමාන තත්ත්වය තුළ මිනිසුන්ගේ අදහස සහ මනෝවිශ්ලේෂණ අදහස අතර පරතරයක් පවතියි. වත්මන් මිනිසාට අනුව මෙම පුද්ගලයා යනු හුදෙකලා විමුක්තියකි. එනම්, වත්මන් තත්ත්වය අප ව හුදෙකලා කරමින් පුද්ගලභාවයකට අප ගෙන ගොස් ඇත. එ මඟින් ශක්තිමත් පොදු සාමූහික බවක් ගොඩ නැඟෙන්නේ නැත. තවත් ආකාරයකට සඳහන් කරන්නේ නම් එමඟින් ධනවාදයට අවශ්‍ය හුදෙකලා පැවැත්ම පමණක් තහවුරු කර ඇත.

Pushpajith

 

ඔබේ අදහස කියන්න...