ගුණදාස අමරසේකර ඇතුළුව ලංකාවේ ජාතික චින්තන නඩය ‘ධනවාදය’ (Capitalism) යනුවෙන් වටහා ගත්තේ කුමන තත්ත්වයක්ද?

ඔහු ඊට ලබා දෙන පිළිතුර කුමක්ද?

“එනම් ‘ධනවාදය’ යන වහරින් හඳුන්වනු ලබන්නේ කුමක්ද යන්න නිවැරදිව වටහා ගැනීමයි. මෙවැනි අවබෝධයක් ලබාගැනීම අපට විශේෂයෙන් වැදගත් යැයි මම සිතමි. ඊට හේතුව නම් ඒ පිළිබඳව අපගේ මනසට, විශේෂයෙන් අපේ තරුණ පරපුරේ මනසට කාවද්දා ඇති දුර්මතයයි. ධනවාදය ගැන අපි පළමුවෙන්ම දැන ගත්තේ මේ රටට මාක්ස්වාදය හඳුන්වා දුන් මාක්ස්වාදීන් මඟිනි. ඔවුන්ගේ පෙළපාලි මඟිනි. “ධනපති පංතිය භංග වේවා යන සටන් පාඨ මඟිනි, මේ රට වනසන මෙවැනි ව්‍යාධියක්, ඒ ව්‍යාධිය පතුරුවන ධනපති පන්තියක් මේ රට තුළ ඇති බව අප වටහාගත්තේ.

ඒ මාක්ස්වාදීන් පෙන්වා දුන් ආකාර ධනපති පන්තියක් මේ රට තුළ වීද? අදත් ඇත්ද? විවෘත ආර්ථිකය පටන් ගෙන හතළිස් වසරකට පසුව වුවද මේ රට තුළ එවැනි ධනපති පන්තියක් ඇතැයි මම නොසිතමි. බහුජාතික සමාගම්වල ඒජන්තයන් වන කීප දෙනෙක් මෙහි දක්නට ලැබෙති. එමෙන්ම දේශීය වෙළෙඳපොළට සීමා වූ කර්මාන්තවල නියැළුණු ව්‍යාපාරිකයන් ටික දෙනෙක් ද දක්නට ලැබෙති. ඔවුන් ධනපති පන්තියක් ලෙස හැඳින්විය හැකි නොවේ.

ගමේ කඩයක් දමාගෙන ඉන්නා මුදලාලි ධනපතියෙක්ද? ධනපති පන්තියක සාමාජිකයෙක්ද? ඔහු ධනපතියකු තබා ධන හිමිකම අගය කරන්නෙක්ද නොවේ. ඔහුට උවමනා තම පුතා ධනපතියකු නොව උගතකු, වෘත්තිකයකු කිරීමටයි. ඔහු එංගලන්තයේ ඉන්නා සාප්පුකාරයාගෙන් වෙනස් වෙයි. ඒ සාප්පුකාරයා තම පුතා සිය ව්‍යාපාරයට සම්බන්ධ කරන්නේ Harison and Sons යන්න සාඩම්බරයෙන් ප්‍රකාශ කර ගනිමිනි’’.

– ධනවාදයට විකල්පයක්, අමරසේකර, පිටු 46-47 –

ලංකාවේදී ‘ධනවාදය’ වටහා ගැනීම සඳහා විද්‍යාත්මක මිණුම් දණ්ඩක් නොමැති අතර ඒ සඳහා ආදේශ වී ඇත්තේ සිංහල සංස්කෘතික ආකල්පය. පසුගිය දශක තුනක පමණ කාලයක් පුරා ඇවිලී ගිය වාර්ගික යුද පසුබිමක් තුළ මෙම අපගමනය ගැන අප පුදුම විය යුතු නැත. නමුත් දැන් අප නැවතත් හරි මාර්ගයට ප්‍රවිශ්ට විය යුතුය. ‘ධනවාදය’ යනු සංස්කෘතික ආකල්පයක් හෝ ජීවත් වීමේ මාදිලියක් (Life Style) නොවේ. එය ‘ලාභය’ මත පදනම් වන සමාජ ක්‍රමයකි. රජයේ සේවකයන් 8000 කට පමණ වාහන බලපත්‍ර නිකුත් කරන සමාජ – ක්‍රමයක් සුබසාධනවාදී සමාජයක් මිස ධනවාදී එකක් නොවේ. මෙම සුබසාධනවාදය සමග සමසමාජය ගැට ගැසී පැවති නිසා එය ‘සමාජවාදය’ සමගද තුල්‍ය විය. ගම්වල ගොවියන්ගේ දරුවන්ගෙන් විශ්වවිද්‍යාල ශාස්ත්‍ර පීඨ පිරී ගොස් ඇති අතර විශ්වවිද්‍යාල රථගාල් ද පිරී ඉතිරී ගොස් ඇත්තේ විද්‍යාර්ථීන්ගෙන් නොව ජපන් මෝටර් රථ හිමියන්ගෙනි. ඔවුන් සුභසාධනයේ ඉලක්ක ගසා කන්නන්ය.

‘ධනවාදය’ යනු හුදු වෙළෙඳපොළ පමණක් නොවේ. ධනවාදයේ මූලය ඇත්තේ ‘ප්‍රාග්ධනය’ (Capital) නම් සමාජ සම්බන්ධය ඇතුලෙහිය. ලංකාවේ මිනිසුන්ට අවබෝධයක් නැත්තේ ‘ධනවාදය’ ගැන නොව ‘ප්‍රාග්ධනය’ ගැනය. මෙම වෙනස ගැන සංයුක්ත උදාහරණයක් මෙලෙස විදාරණය කළ හැක. පසුගිය දිනක චීනයේ දැවැන්ත මෘදුකාංග මත පදනම් වන ‘අලිබබා’සමාගමේ සභාපති ජැක් මා ඉතාලියේ වයින් නිෂ්පාදකයන් හමු වූයේ ඉතාලි වයින් සඳහා චීනයේ වෙළෙඳපොළක් ස්ථාපිත කිරීමටය. ‘අලි බබා’ යනු අන්තර්ජාලය හරහා භාණ්ඩ විකුණන වේදිකාවකි. එය හරියට සමකාලීන සුපිරි වෙළෙඳසලක භාණ්ඩ තබන රාක්කයක් වැනිය. එහිදී භාණ්ඩ වෙනුවට නිදර්ශනය කරන්නේ ඡායාරූපය නැතහොත් වීඩියෝය. මෙම හමුවේදී වසර 600ක් පමණ කාලයක් වයින් නිෂ්පාදනය කරන ‘ඇන්ටිනෝරි’ නම් ඉතාලි වයින් සමාගමේ සභාපතිවරයා ‘ජැක් මා’ ගෙන් මෙසේ ප්‍රශ්නයක් අසයි. “බෝතලය අතට ගෙන පරීක්ෂා නොකර අපේ වයින් තෝරන්නෙ කොහොමද?’’ මින් අදහස් වන්නේ චීන වයින් පාරිභෝගිකයා බෝතලය නොදැක වයින් මිලට ගන්නවාද යන ගැටලුව නොවේ.

වයින් වෙළෙඳාම සහ වයින් ප්‍රාග්ධනය අතර වෙනසක් ඇත. මෙය විස්කි සම්බන්ධයෙන්ද පැහැදිලි (ස්කොච් විස්කි) කළ හැක. ප්‍රාග්ධනය යනු භාණ්ඩ විකිණීම හෝ මිලට ගැනීම පමණක් නොවේ. එය සංකීර්ණ සමාජ සම්බන්ධයකි. ‘ජනතා විමුක්ති පෙරමුණ’ වැනි පහළ මැදපාන්තික උද්ඝෝෂණවාදී සංවිධානවලට ‘ප්‍රාග්ධනය’ සමාජ සම්බන්ධයක් බව වටහාගත නොහැක. ඒ ගැන අධ්‍යයනය කිරීමට උනන්දුවක් ද නැත.

චිලී දේශය නූතන වයින් වෙළෙඳාමේ පැතිරීම සමග වයින් වෙළෙඳාමට අවතීර්ණ වී ඇත. නමුත් ඔවුන්ට ‘වයින් ප්‍රාග්ධනය’ නිපදවීමට හැකි වී නැත. එබැවින් චිලීයේ වයින් යනු ධනේශ්වර නොවන වෙළෙඳාමකි. අධික ලාභ ලැබිය හැක්කේ අධික මිලක් සහිත වයින්වලින් මිසක් සාමාන්‍ය වයින් පාරිභෝගිකයාගෙන් නොවේ. අධික මිලක් ලාභ ලැබීමට වයින් සංස්කෘතියක් සහිත, ඒ සඳහා මුදල් වියදම් කිරීමට කැමති අය වෙනුවෙන් වයින් නිෂ්පාදනය කළ යුතුය. ඒ සඳහා අවශ්‍ය ශ්‍රමයට ද වැඩියෙන් ගෙවිය යුතුය. මෙය විස්කි සඳහාද අදාළය. ලංකාවේ බහුතරය බොන්නේ අරක්කුය. විස්කි බොන්නේ සුළුතරයකි. ග්ලෙන් ෆිඩිච් වැනි තනි ධාන්‍ය සාරයකින් පෙරන විස්කි ඊටත් වඩා මිල අධිකය. අධික ලාභ ලැබිය හැක්කේ ග්ලෙන්ෆිඩිච් විකිණීමෙන් මිස අරක්කු විකිණීමෙන් නොවේ. එය කළ හැක්කේ ස්කොට්ලන්තයට පමණි. දැනට සිරගතව සිටින අර්ජුන් ඇලෝසියස් නිෂ්පාදනය කරන්නේ අරක්කුය. (මෙන්ඩිස්) අරක්කු විකුණා ලැබිය හැක්කේ සුළු ලාභයකි. මහ බැංකු බැඳුම්කර කරා ඔහු විතැන් වන්නේ එනිසාය. අමරසේකරට අනුව මොවුන් වසළ වෙළෙඳ කුලයයි.

ලංකාවේ ජනප්‍රිය ධනපතියන් වන ධම්මික පෙරේරා, නිමල් පෙරේරා, සුමල් පෙරේරා, හැරී ජයවර්ධන, අශෝක් පතිරගේ, දිලිත් ජයවීර වැනි අය ප්‍රාග්ධනයේ අර්ථයෙන් ධනපතියන් නොවේ. ඔවුන්ට ලංකාවේ හැර වෙනත් රටවල ව්‍යාපාර කිරීමට නොහැක. එසේ වන්නේ ශ්‍රී ලාංකීය ‘ප්‍රාග්ධනයේ’ සමාජ සම්බන්ධයේ’ හැටි නිසාය. ධනවාදී අර්ථයෙන් රටක් දියුණු කරනවා යනු ඒ රටේ ‘ප්‍රාග්ධනයේ’ සමාජ සන්දර්භය සංකීර්ණ කිරීමයි. ඒ සඳහා පළමුවෙන්ම ‘ලාභය’ වෙනුවෙන් ව්‍යාපාර බිහි කළ යුතුය. ශ්‍රී ලංකාවේ ඉහත කී ව්‍යාපාරිකයන් කරන්නේ ස්වාධීනව ලාභ ලැබිය හැකි ව්‍යාපාර නොවේ. ඔවුන් ඒකාධිකාරීන්ය. රක්ෂණය, මූල්‍ය ප්‍රාග්ධනය වැනි ක්ෂේත්‍රවලට අනිත් මිනිසුන්ට ඇතුළු වීමට ඉඩ නොදීමෙන් ධම්මික පෙරේරා ලාභ ලබයි. ‘කොටස් වෙළෙඳපොළ’ නියාමනයකට යටත්ව ගැඹුරු අයුරින් ප්‍රජාතන්ත්‍රවාදී කළ යුතුය. චීනයේ දී ඩෙන් ෂියා පෙන් කර ඇත්තේ ආර්ථික ව්‍යුහය ප්‍රජාතන්ත්‍රවාදී කිරීමයි.

චීන කොමියුනිස්ට් පක්ෂය විසින් 21 වැනි සියවස සඳහා යෝජනා කර ඇති උපාය මාර්ගික සැලැස්ම වන්නේ ආර්ථිකය ප්‍රජාතන්ත්‍රවාදී කර දේශපාලනය ඒකාධිකාරී (බහුපක්ෂ ක්‍රමයට ඉඩ නොදීම) කිරීමයි. මෙමඟින් චීන ධනවාදය දියුණු වන මුත් ‘චීන ප්‍රාග්ධනය’ දියුණු වන්නේ නැත. ඉතාලියේදී වයින් අරඹයා ‘ජැක් මා’ ඉතාලි වයින් නිෂ්පාදකවරියට පරාද වන්නේ ‘ඉතාලි ප්‍රාග්ධනය’ චීනයේදී ඌන සංවර්ධනය වන නිසාය. ධම්මිකලා, සුමල්ලා, අශෝක් පතිරලා සෙල්ලම් කරන්නේ රාජ්‍ය ප්‍රාග්ධනය සමග මිස පුද්ගලික ප්‍රාග්ධනය සමග නොවේ. IMF සහ ලෝක බැංකුව උත්සාහ කරන්නේ ලංකාවේ ‘ශ්‍රී ලාංකික ප්‍රාග්ධනය’ දියුණු කිරීමටය. ප්‍රාග්ධන වෙළෙඳපොළ තිරසාර ලෙස ප්‍රජාතන්ත්‍රීයකරණය කරන්න යැයි ඔවුන් යෝජනා කරන්නේ එනිසාය. ලංකා බැංකුවට තමන්ගේ දුර බැහැර ශාඛා වසා දමන්න යැයි යෝජනා කරන විට දිලිත් ජයවීරට එය පෙනෙන්නේ සංස්කෘතික විනාශයක් ලෙසය.

දීප්ති කුමාර ගුණරත්න

Lankanewsweb

ඔබේ අදහස කියන්න...