Basic Theoretical Paradigm shift – From 95 to 2017.

මේ දක්වා විකාශය කළ කරුණු අනුව අපට ඉතිරිව ඇත්තේ දාර්ශනික අර්ථකථනය සැපයීම පමණි. ගැටලූව අපි පහත පරිදි සාරාංශගත කරමු.

ගැටලුව – (Problem)

එනම් යම් කරුණක් හෝ සිද්ධියක් පිළිබඳව එය සිදු වන්නේ ඇයි? එය සිදුවන්නේ කොහොමද? ඊට හේතු මොනවාද? ආදී ලෙසින් ඇති වන කුතුහලයයි. මෙවැනි ගැටලූවක් පැනනඟින්නේ වටහා ගැනීමට අවශ්‍ය එහෙත් මෙතෙක් සෑහෙන වැටහීමක් ලැබී නැති දෙයක් අරබයා ය. විද්‍යාව බොහෝ සෙයින් ගොඩනැගෙන්නේ මෙවැනි ගැටලූ විසඳීමට උත්සාහ ගැනීමෙනි.

අපගේ ගැටලුව –

NR නම් පුද්ගලයා 2015 වර්ෂයට වසර 15 වකට පමණ පෙර දී සෝභිත සාධු කවුද කියා ඉතා හොඳින් දනියි. නමුත් ඔහු එසේ දැන දැනම සෝභිත හාමුදුරුවන්ව ‘සාධාරණ සමාජයක්’ නිර්මාණය කිරීම නමැති ක්‍රියාවලියක කේන්ද්‍රය බවට පත්කර ගනියි. (ඔහුගේ වාසනාවට සෝභිත හිමි අභාවප‍්‍රාප්ත විය)

ඔහු එසේ කරන්නේ මන්ද?

මේ සඳහා දිය හැකි සරල ජනය උත්තරය වන්නේ යම්කිසි පරිකල්පිත ප‍්‍රජාවක් සහ ඔවුන්ගේ යහපත උදෙසාය යන්නය. පරිකල්පිත ප‍්‍රජාවකගේ යහපත සඳහා යම් පුද්ගලයකු සද්ක‍්‍රියාවක් කිරීම පිළිබඳව යම් දාර්ශනික සංවාදයකට ගමන් කිරීම මෙතැන දී වැදගත්ය.

පක්ෂ දේශපාලනයේ තාර්කිකභාවය අවලංගු වූ 80 දශකයේ අග සිට සමාජයේ පොදු යහපත වෙනුවෙන් උත්තරීතර සිතුම් පැතුම් සහිත පුද්ගලයෙක්ව (Super man) අභිෂේක කිරීම ලංකාවට නම් ජනප‍්‍රිය ප‍්‍රපංචයකි. සිංහල ජාතිවාදයට එරෙහිව තීරණාත්මක වැඩ කොටසක් කළ ලංකාවේ වම එවැන්නකු ලෙස අභිෂේක කරනු ලැබුවේ විජය කුමාරණතුංගය. ඉන්පසු වික්ටර් අයිවන් සහ ‘රාවය’ පුවත්පත විසින් කරළියට රැුගෙන ආවේ චන්ද්‍රිකා කුමාරණතුංගය. ඉන්පසු එතැනට කරු ජයසූරිය, ඒ. ටී. ආරියරත්න, සෝභිත හිමියන්, ලක්ෂ්මන් කදිරගාමර්, මෛත‍්‍රීපාල සිරිසේන යන අය ආදේශ කරන්නට වෙහෙස විය. මෙහි වැදගත් ලක්ෂණය වන්නේ ඉහත නම් යෝජනා කරන කිසිවෙක් එතැනට කිසිදු බුද්ධිමතකුගේ නමක් (ජයදේව උයන්ගොඩ, දීපිකා උඩුගම, ගණනාථ ඔබේසේකර, අර්ජුන පරාක‍්‍රම, කුමුදු කුසුම්කුමාර, සුනිලා අබේසේකර….) හෝ විකල්ප දේශපාලන පක්ෂයක නමක් යෝජනා නොකිරීමයි. එයට හේතුව ලෙස ඔවුන් ඉදිරිපත් කරන්නේ ද පරිකල්පනීය පිළිතුරකි. අප මේ සියල්ල කරන්නේ පරිකල්පිත මෝඩ ජනතාවක් වෙනුවෙනි. එම ජනතාව බුද්ධිමතුන්ට සහ විකල්ප දේශපාලන පක්ෂවලට ඡුන්දය දෙන්නේ නැත. ‘අතීතය’ වෙනස් නොකර (අපට බලපාන අයුරින්) අපට අපේ අනාගතය වෙනස් කළ නොහැකිය.

දැන් අපට NR ගේ ක‍්‍රියාව තුළින් අලූත් හේතුවක් ජනනය කළ හැකිය. දැන දැනම ඔහු සෝභිත හිමිට උදව් කළේ එහිමියන් කවුද කියා ඔහු නොදන්නා නිසා නොවේ. එපමණක් නොව ඔහු ‘උයන්ගොඩ’ සෝභිත හිමිට වඩා මෙම කාර්ය (නූතනවාදී රාජ්‍යයක් බිහි කිරීමට) සඳහා සුදුසු බවද දනියි. දැන දැනම යම් දෙයක් නොදන්නවා මෙන් කරන පුද්ගලයා නරුමයෙකි. නමුත් මෙහිදී NR යනු නරුමයෙක් නොවේ. ඔහු මේ සියල්ල කරන්නේ තමන්ගේ යහපත සඳහා [අපත් ඔහුත් ඔහු තුළ දකින මේ අතිරික්ත මිනිසා (Inhuman) කාන්ට්ගේ දර්ශනයට අනුව රැුඩිකල්ය] නොව ‘කල්පිත පීඩිත ජනතාවක්’ වෙනුවෙනි. ඔහු එතැන දී ජයදේව උයන්ගොඩ වෙනුවට සෝභිත හිමිව තෝරන්නේ ද සබුද්ධිකවය. මේ වැඩය සඳහා උයන්ගොඩව නොතෝරන්නේ ඔහු මෝඩයෙක් නිසා ද නොවේ. තීරණාත්මක හැරවුම් ලක්ෂය අපට හමුවන්නේ මෙතැනය. ඔහු මේ බුද්ධිමත් තීන්දුව ගන්නේ ‘කල්පිත – මෝඩ – පීඩිත – ජනතාවක්’ වෙනුවෙනි. ඔහුගේ මෝඩකම පිහිටන්නේ අප නොසිතන අපූරු තැනකය. ඔහු වටහා නොගන්නේ මෙම සුවිශේෂ ‘මෝඩ – පීඩිත – ජනයා’ යනු ඔහුගේම පරිකල්පනීය නිෂ්පාදනයක් බවයි. බාහිරින් පවතිනවා යැයි ඔහු ෆැන්ටසිකරණය කරන [හරියටම කියනවා නම් ජනතාවගේ ෆැන්ටාස්මැතිකය අනුමාන කිරීම – එනම් ජනමතය යනු මෝඩ, අශික්කිත, ජාතිවාදී හැතිකරයන් යන ප‍්‍රස්තුතය] මෙම ඊනියා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශපථ කරන ජනතාව යනු ඔහුගේම විඥානයේ ඵලයක් බව ඔහු වටහා නොගනියි. මෙම කල්පිත – මෝඩ – පීඩිත – බාහිරින් උදව් අවශ්‍ය ජනයා යනු ඔහුගේ අවිඥානක ෆැන්ටසියයි. අවිඥානය යනු මිනිසකු තමන්ගේ සබුද්ධික චින්තනයට උද්දීරණය නොකරන අන්තර්ගතයයි. මෙම අවිඥානක අතාර්කික මෝඩ ජනයා නම් අන්තර්ගතය බාහිර වාස්තවික යථාර්ථයක් නොව තමන්ගේම පරිකල්පනයක් බව NR වටහා නොගනියි. (ජලය මත අයිස් පා වෙන්නාක් මෙන්) කෙසේ වෙතත් දැන් අපට මූලික ප‍්‍රතිවිරෝධය සලකුණු කළ හැකිය. එක පැත්තකින් සාමූහික ප‍්‍රජාවක් සතු නීතිය සහ පර්යාය ඇද වැටී ඇත. අනෙක් පැත්තෙන් මේ නීතිය සහ පර්යාය යළිත් පුනස්ථාපනය කිරීමට සියලූ සුදුසුකම් සහිත ජාතික වීරයෙක් හමුවෙයි. ඉතාම දුෂ්කර කාර්යය වන්නේ ‘යථාර්ථය’ දෙකට පළනමුත් (ඉහත ආකෘතියෙන්) දෘෂ්‍යමානයෙන් සැඟ වී යන ආත්මය කුමක්ද යන්නය. සාරාංශගත කළහොත් වඩා වැදගත් වන්නේ සැබෑව හෝ යථාර්ථය නොවේ; ‘යථාර්ථය’ ප‍්‍රබන්ධය සහ සැබෑව ලෙස දෙපළු කරන්නේ කවුද යන්නය.

දෘශ්‍යමානය සහ එහිම යටිපැත්ත ලෙස මතු වන සැබෑව (තිරය සහ තිරයෙන් ඇතුළේ පවතින දෙය) අතර පවතින පරස්පරය දැන් විද්‍යමානය. මේ දක්වා විදාරණය කරන ලද ප‍්‍රස්තුතය විභාග කරන්නේ නම් එහි තාර්කික ව්‍යුහය මෙසේය.

(1) දෘශ්‍යමානය ලෙස අපට කල්පිත – මෝඩ – ජනතාවක් සිටියි. එය වාස්තවික යථාර්ථය ලෙස සලකුණු කළ හැකිය.

(2) සැබෑවක් ලෙස අපට හමුවන්නේ කුමක්ද? (Perverted real) පෞද්ගලික ලාභ ප‍්‍රයෝජනයක් නැති, තමන් දන්නා කටුක ඇත්තක් පව ප‍්‍රතික්ෂේප කරන ‘යහපත් මිනිසා’. මේ යහපත් මිනිසා ‘ආදර්ශමත් අහමක්’ අනුගමනය කරයි.

ගැටලූව වන්නේ තුන්වන සාධකයි. මේ යහපත් මිනිසාගේ අවිඥානක ආශාව කුමක්ද? අන්‍යයන්ට පෙනෙන සේ යහපත් වන සහ තමන්ට අනුවත් තමන් යහපත් මිනිසකුගේ අවිඥානක තලය ක‍්‍රියාත්මක විය හැක්කේ කෙසේද? අනෙකාගේ විනෝදය සපථ කරන මෙම මානය දේශපාලනය විපරිත කරයි. NR හෝ එවැනි වර්ගයේ බොහෝ මිනිසුන් මායාවට යටත් වන්නේ තමන් තුළ නොවේ. ඔවුන් ‘මායාවට’ ඇතුළු වන්නේ අන්‍යයන්ට මායාව (Illusion) එන්නත් කිරීමෙනි. කෙටියෙන් කිවහොත් ඔවුන්ගේ පෞද්ගලික ජීවිත නරා වළක් වුවත් ඔවුන්ට අවශ්‍ය වන්නේ අන්‍යයන්ට යහපත් ජීවිතයක් උදා කිරීමටය. තමන්ට කියා සමරන්න පෞද්ගලික ජීවිතයක් නැති උදාසීන මිනිසුන් තවත් අයගේ ජීවිතවලට ඉන්ද්‍ර ජාලයන් යෝජනා කරන්නේ මන්ද? තමන්ටවත් තමන් කෙරෙහි නැති භක්තියක් අන්‍යයන් කෙරෙහි මතු වන්නේ මන්ද? භක්තිය සහ අනෙකා අතර ඇති මේ සහ සම්බන්ධයක කුමක්ද? බාහිර වාස්තවික යථාර්ථය ලෙසින් ‘පීඩිත-උදාසීන-මුග්ධ-ශුෂ්ක-නිශ්ශබ්ද-බහුතර ජනයා’ පවතියි. මෙය බාහිර යථාර්ථය වශයෙන් අපට හඳුනාගත හැකිය. නමුත් ගැටලූව වන්නේ අභ්‍යන්තර යථාර්ථය කුමක්ද යන ගැටලූවයි. මිනිසෙකුගේ අභ්‍යන්තර යථාර්ථය ‘මනෝවිද්‍යාව’ ලෙසින් හඳුනා ගැනීම දෘෂ්ටිවාදීය. උදාහරණයක් ලෙස NR දැන දැනම සෝභිත හිමි සාරාර්ථයක් ලෙස ගැනීම ඔහුගේ ජීවිතයේ පළමු අත්දැකීම නොවේ. තමන්ට පිටතින් ජීවත් වන මිනිසුන්ට විවිධ සාරාර්ථ ප‍්‍රක්ෂේපණය කිරීම NR ට අලූත් නැත. 2004 වර්ෂයේ x කණ්ඩායම තුළ මතු වූ දේශපාලන අර්බුදයේ දී ද ඔහු x කණ්ඩායමට පිටතින් සිටින අහිංසක – මෝඩ – පීඩිත ජනතාවක් වෙනුවෙන් සටන් වැදුණේය. එහිදී ‘යථාර්ථය’ දෘශ්‍යමානය සහ සැබෑව ලෙස ඛණ්ඩනය වූයේ මේ ආකාරයටය. දෘශ්‍යමානය වූයේ වංචාවට ගොදුරු වූ අහිංසක මිනිසුන්ය. මේ මහජනයා රවටා ඔවුන්ගෙන් අයුතු වින්දනයක් ලබා ගන්නේ දීප්ති නම් සංකේතකරණයට ලක් කළ නොහැකි දේශපාලකයාය. කලින් පරිදි ජන හතුරාට විරුද්ධව NR ජාතික වීරයාගේ භූමිකාවට පන පොවයි. මේ පහත පළ වන්නේ ඔහු London සඟරාවට (2005 ජනවාරි- පෙබරවාරි) ලියූ තම ආත්ම ප‍්‍රස්තාවනාවයි. (දීප්ති නම් හැඟවුම්කාරකය අර්ථකථනය කිරීම]

” x කණ්ඩායම තුළ මේ තත්ත්වය කෙතරම් භයානක අවධියකට පත් වී තිබුණ ද යත්, ඒ තුළ විධිමත් සංවිධාන ව්‍යුහයක් ගොඩනැගීමට දැරෙන සියලූ උත්සාහයන් විහිළුසහගත තත්ත්වයකට පත්වන තත්ත්වයක් දක්නට ලැබුණි. සංයුක්තව කියනවා නම්,  ඕනෑම සාමූහික සංවිධානාත්මක වෑයමක්  ඕනෑම මොහොතක දීප්තිගේ ක්ෂණික තීරණයක් මත මුළුමනින්ම අහෝසි වී යාමට ඉරණම්සහගත වී තිබීමයි. මෙය සාධාරණීයකරණය කෙරුණේ දීප්තිගේ සිතීම සංවිධානයේ අන් කිසිවකුට වඩා වේගවත් (Speed) බැවින් ද, දේශපාලනික බැවින් ද විද්‍යාත්මක බවින් ද එසේ වන බවයි.”– පිටුව 4 – 5 –

 

NR සිතන තරම් විකාරසහගත, අතාර්කික සංවිධාන ව්‍යුහයක් තුළ වසර 6 – 7 ක කාලයක් ඔහු පැවතුණේ ඇයි ද යන සාධකය ඉහත උපුටනය නිසාම අපට අමතක වෙයි. මෙය ලියා වසර 13 ක් පමණ ගත වූ කාලයක අප ඇසිය යුතු මුඛ්‍ය ප‍්‍රශ්නය පුරාවිද්‍යාවට ලඝු කළ යුතු නැත. වඩා වැදගත් වන්නේ ඔහුගේ ලිවීම තුළ හමුවන ප‍්‍රපංච දෙකයි. එක පැත්තකින් අපරාධකාරී සහ ෆැසිස්ට් සංවිධාන ව්‍යුහයකි. (NR ගේ x ව්‍යුහය විශ්ලේෂණය කිරීමේ දී අපට හමුවන වඩාත්ම න්‍යායික දෝෂය වන්නේ එය ෆැසිස්ට් ලෙස ගැනීමයි. යම් ෆැසිස්ට් සංවිධානයක් සමාජයට එරෙහි වන විට සාපරාධී සුළු ජාතිකයකු නම් කරයි. x දේශපාලනය කිසිදු ආකාරයකින් වාර්ගික අනෙකෙකු සලකුණු කරන්නක් නොවීය. එය වඩාත් සමීප වූයේ සබුද්ධික ස්ටැලින්වාදයකටය) අනෙක් පසින් මේ සාපරාධී සංවිධානයෙන් මහජනයා ගලවා ගන්නා පොදු ජන වීරයෙකි. මේ වීරයා සඟවන්නේ (පෙර පරිදිම) සෝභිත උදාහරණයේ දී මෙන්ම X විමතිකයන් බඩුකාරයන් බවයි. ඔහු හොඳින් දැන සිටි පරිදිම (x විමතිකයන්ගේ CR පොත් විශ්ලේෂකයා සිදුවීම සිදු වූ දිනයේ ම ජනප‍්‍රිය සිංහල චිත‍්‍රපටයක දී පරිදි කෙල්ලෙක් සමඟ රාත‍්‍රියේ පැන ගියේය. නමුත් ජාතික වීරයා ඒ වග ගණන් නොගෙන යහපත් කරුණාවන්ත මිනිසෙක් වීමට අධිෂ්ඨාන කළේය) ‘x විමතිකයන්’ සෝභිත හිමි මෙන්ම කැරැුට්ටුව හොඳ පුද්ගලයන් නොවේ. අනෙක් පසින් ඔහු නරුමයකු ද නොවේ. ඔහු මේ සියල්ල කරන්නේ ඔහුගේ වාසියට නොව ජනතාවගේ වාසියටය. මේ හේතුව නිසා රැුවටෙන්නේ ඔහු මිස ජනතාව නොවේ. (ස්වාර්ථය = පරාර්ථය) කතාවේ වටහා ගැනීමට දුෂ්කර ස්ථානයට අප දැන් පැමිණ ඇත. අපගේ කතාවේ වීරයා එකවරම සිය පිස්තෝලය ඇද යහපත් ප‍්‍රජාවකගේ අනාගත සුබසිද්ධිය උදෙසා තමා සමඟ දෛනික ජීවිතයේ පවා සුහදව සිටි දේශපාලකයන්ට වෙඩි තබයි. බොහෝ දෙනා මෙම ජවනිකාව නැරඹීමේ දී බලන පැත්ත වන්නේ ජනතාවගේ පැත්තයි. නමුත් මම අවධානය යොමු කරන්නේ මෙම කල්පිත ජනතාව හිතින් සමපේක්ෂණය කරන පුද්ගලයාගේ අභ්‍යන්තර යථාර්ථයයි. නමුත් ඉතා පැහැදිලි ලෙස මෙම අභ්‍යන්තරයේ අන්තර්ගතය මනෝවිද්‍යාව නොවේ.

සෝභිත හිමිගේ සිදුවීමේත්,  x විමතිකයන් පිළිබඳ සිදුවීමේත් NR ගේ ප‍්‍රතිචාරය සදෘශ්‍යය. සිදුවීම්, සන්දර්භයන් කෙතරම් වෙනස් වුවත් පුද්ගලයකු ලෙස NR ගේ ප‍්‍රතිචාරය තුළ ඇත්තේ විචක්ෂණ සාම්‍යයකි. NR තමන්ගේ බාහිර යථාර්ථය වීරත්වයෙන් නරඹයි. ඔහුගේ මෙම බාහිර දැක්ම (Gaze) සකස් වී ඇත්තේ අපුද්ගල, කල්පිත මහා අනෙකකු හරහාය. මේ මහා අනෙකාගේ ස්ථිර බව විසින් NR ගේ අභ්‍යන්තර සංගතභාවය සුරැුකෙයි. නමුත් තීරණාත්මක ප‍්‍රශ්නය වන්නේ ඔහු, ඔහු තුළට හැරී තමන්ගේ අභ්‍යන්තරය නැරඹීමට හැකියාවක් ගොඩනගා නොගන්නේ ඇයි? මීට පහසු කෙටි උත්තරයක් නැත. ජෝන් ෆෝර්ඩ් නම් සිනමාකරුවා නිර්මාණය කළ ගොපළු චිත‍්‍රපටයක් (1956) වූ “The Searchers” හි කතා නායකයා වන ඊතන්, ඇමරි-ඉන්දියානුවන් විසින් පැහැර ගෙන යන ලද තම ප‍්‍රජාවගේ දරුවකු වන ඩෙබීගේ හිසට තම පිස්තෝලය එල්ල කරගෙන බොහෝ වේලාවක් සිටිනමුත් වෙඩි තබන්නේ නැත. සාමාන්‍ය සුදු ජාතික ගොපළු වීරයා කරන්නේ තම ජාතියෙන් පිට ජාතියක් සමඟ නිදි වැදි ගැහැනියකව වහා මරා දැමීමයි. නමුත් ඊතන් මෙම ක‍්‍රියාව කරන්නේ නැත. ඔහු එසේ නොකරන්නේ තම අභ්‍යන්තරයේ අඳුරට බිය වන නිසාය. මනෝවිශ්ලේෂණය විසින් මනුෂ්‍යයෙකුගේ අභ්‍යන්තර අඳුරට කියන්නේ ආත්ම මූලිකත්වය කියාය. එම අඳුර බාහිර ජනතාවක් හෝ ප‍්‍රජාවක් විසින් තනන දෙයක් නොව තමන්ගේම හිස් බව නම් භ‍්‍රාන්තියෙන් පලා යාමට කෙනෙකු තමන් ගැනම නිර්මාණය කරන ෆැන්ටසි ප‍්‍රබන්ධයයි. ඒ අනුව ඊතන්ට තම පෞරුෂයේ හමුවන අවසන් අවන්හල යනු තමන් ගැන තමන්ට හමුවන මිථ්‍යා ප‍්‍රබන්ධයයි. ”ඔබ මේ කෙල්ලට වෙඩි තබන්නේ ඔබේ ආශාවකට නොව සුදු ජාතිකයාගේ පාරිශුද්ධත්වය ආරක්ෂා කිරීමටය.” මිනිසාට තම ක‍්‍රියාවේ අවසාන අභිප‍්‍රාය හමුවන්නේ අවිඥානක ආශාවේ ව්‍යුහය තුළය. ඊතන් මෙහි දී අවිඥානක ආශාව තමන් ගැන තමන්ගේම ප‍්‍රබන්ධයක් බව වටහා ගනියි. ප‍්‍රජාවක් වෙනුවෙන් ඔහු ගැහැනියක් මැරීමට එකඟ නොවෙයි. එය ඔහුගේ ආචාරධර්මීය තීරණයයි. ඔහු එහිදී Ethicalය. NR ට නැත්තේ මෙම Ethical කොටසය. ඔහු ජීවිත කාලයක් ඇසුරු කළ සමීප මිත‍්‍රයෙකුව කල්පිත ප්‍රජාවක් වෙනුවෙන් ෆැසිස්ට්වාදියකු ලෙස නම් කරයි. අපගේ අනාගත විමුක්ති දේශපාලනය සඳහා අලුතින් එකතු කරගත යුත්තේ ඊතන්ගේ ‘‘පෞද්ගලික සදාචාර විශ්වාසයයි.”  [Ethical Part]

– නිමි –

Deepthi Kumara Gunarathne

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. ඇත්ත තමයි. දැන් එතකොට ඔය වැනිම අයෙක් මේ අවස්ථාවේ (පළාත් සභා චන්දයට ) ජවිපෙ දිනවිය යුතුයි කියනව නම් ඒ මොකද?

Comments are closed.