ජනවාරි 08 ජයග‍්‍රහණයෙන් වසරකට පසු – ජයග‍්‍රාහකයෝ හා පරාජිතයෝ

දයාපාල තිරාණගම

‘‘ඒ වූ කලී අවස්ථාව මෙන්ම ප‍්‍රශ්නය ද වූයේය. එක් වරෙම ඔවුන් පුරවැසියන් බව යටත්වැසියන්ට දැනුම් දෙන ලදී. අයුක්තිය සහ බියගැන්වීම මගින් එතෙක් පාලනය කරනු ලැබූවෝ ජාතියක් බවට පත්වී තිබුණි. මේ නව දෙයින්, පුරවැසියන්ගෙන් සමන්විත මෙම ජාතියෙන්, යුක්තිය, නිදහස සහ සමෘද්ධිමත්භාවය අපේක්ෂා කළ හැකිව තිබුණා පමණක් නොව ඒවා එම ජාතිය විසින් ඉෂ්ට කළ යුතුව ද තිබුණේය.’’

(සයිමන් ස්කාමා, පුරවැසියෝ – ප‍්‍රංශ විප්ලවයේ ඉතිහාස කථාව, 1989)

 

වසරකට පෙර ඒකාබද්ධ විපක්ෂය සහ ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂක, වර්තමාන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ සංයෝගය තුළින් විශිෂ්ඨ මැතිවරණ ජයග‍්‍රහණයක් පැන නැංගේය. මේ රාජපක්ෂ රෙජීමයට අභියෝග කිරීම සඳහා පොදු අපේක්ෂකත්වයක් ඉදිරිපත් කරනු ලැබූ පළමු අවස්ථාව නොවීය. 2010 දී පැවැත්වූ ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත් වූ සරත් ෆොන්සේකා මැතිවරණමය වශයෙන් පරාජයට පත්වූ අතර ඉක්බිති ඔහු සිරගත කරන ලදී. මෙම සිරගත කිරීම අනාගතයේ රෙජීමයට අභියෝග කරන්නට අපේක්ෂා කරන්නවුන්ට ලබා දුන් අනතුරු හැඟවීමේ සංඥාවක් විය. මේ නිසා නැවත වතාවක් පොදු අපේක්ෂකයෙක් ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම පිළිබඳ අදහස සමග නිතැතින්ම අතිමහත් දේශපාලන හා පුද්ගලික අවදානම් සමුදායක් ගැට ගැසී තිබුණි. පසුගිය ජනවාරියේ දී රාජපක්ෂ මුහුණ දුන් තීරණාත්මක මැතිවරණ පරාජය එම ජනවාරියට මාස කිහිපයකට පෙර දිස්වූයේ සිදුවීමට ඉතා අඩු සම්භාවිතාවක් සහිත සිදුවීමක් ලෙසය. මේ අවදානම ඉදිරියේ වුව බිය ගැන්වී පසෙකට වීම ප‍්‍රතික්ෂේප කළ නිර්භීත පුරවැසියන්ගෙන් සමන්විත කණ්ඩායම් ලංකාව තුළ විය. ඒකාබද්ධ විපක්ෂයේ උත්කෘෂ්ට දේශපාලන ගණන් බැලීම, ජනාධිපති සිරිසේනගේ පෞද්ගලික නිර්භීතකම සහ රාජපක්ෂ රෙජීමය පෙරලා දැමීමට සූදානම්ව සිටි මිලියන සංඛ්‍යාත ඡන්දදායක සමූහයාගේ ක‍්‍රියාකාරීත්වය විසින් ඓතිහාසික මැතිවරණ ජයග‍්‍රහණයක් සඳහා පසුබිම සැකසිණ.

රාජපක්ෂ හෙජමොනික ව්‍යාපෘතිය

රාජපක්ෂ හෙජමොනික ව්‍යාපෘතිය ලෙස මා හඳුන්වන ව්‍යාපෘතියේ පරාජයේ ස්වභාවය ගවේෂණය කිරීමට පෙර එම ව්‍යාපෘතියේ මූලික ලක්ෂණ කවරේදැයි කෙටියෙන් විමසා බැලීම වැදගත්ය. වත්මන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහට එරෙහිව 2005 දී රාජපක්ෂ ලැබූ ජයග‍්‍රහණය ශ‍්‍රී ලාංකීය දේශපාලනය තුළ සන්ධිස්ථානයක් සලකුණු කළේය. රාජපක්ෂ රෙජීමය වෙත ලැබුණු සහයෝගයේ හරය ගලා ආවේ බහුතරවාදී සිංහල බෞද්ධ ඡන්දදායකත්වය තුළිනි. එය දේශපාලනික හා දෘෂ්ටිවාදීමය වශයෙන් දෙමළ-විරෝධී වූවක් වූ අතර කර්කෂ ස්වභාවයක සිංහල ජාතිකවාදයක් මගින් එය පෝෂණය ලැබුවේය. දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය සමග බලය බෙදීමේ දේශපාලන විසඳුමක් ඇති කරගැනීම සඳහා සිදුකෙරෙන කවර හෝ සාකච්ඡාවකට සිංහල බෞද්ධ ජාතිවාදී බලවේග දැඩි ලෙස විරෝධය පෑවේය. දෙමළ කොටි සංවිධානයේ ත‍්‍රස්තවාදී ක‍්‍රියාකලාපය නිසා, විශේෂයෙන්ම අහිංසක පුද්ගලයින් නිරපරාදේ මරා දමමින් සිංහල දේශපාලන නායකයින් ඝාතනය කරමින් ඔවුන් ගෙන ගිය වැඩපිලිවෙළ නිසා සිංහල ජනතාව අතර ඉහත කී මතවාදය තව තවත් ශක්තිමත් විය. ඒ අනුව තමා අත බලය සංකේන්ද්‍රණය කරගැනීම සඳහා ලංකාවේ උද්ගත වී තිබූ දේශපාලන ආතතීන්වලින් ප‍්‍රයෝජන ගැනීමටත්, විරුද්ධ බලවේග ඊට අනුකූලව අඩපණ කිරීමටත් රාජපක්ෂ රෙජීමයට පුලූවන්කම ලැබුණේය. රෙජීමයේ සිංහල දේශපාලන විරුද්ධවාදීන් බිය ගැන්වීමටත්, ඔවුන්ට එරෙහිව රජය දියත් කළ ප‍්‍රහාර සාධාරණීකරණය කිරීමටත් රාජපක්ෂ රෙජීමය ඉතා සාර්ථක ලෙස සිංහල බෞද්ධ ජනයා අතර වූ ඉහත කී ආතතීන් උපයෝගී කොට ගත්තේය.

Laclau 2

රාජපක්ෂ රෙජීමය ස්වකීය පාලන කාලය තුළ නව ලිබරල් ආර්ථික ප‍්‍රතිපත්තීන් අනුගමනය කළේය. රාජපක්ෂට දෙමළ කොටි සංවිධානය පරාජය කිරීමේ හැකියාව තිබේ යැයි විශ්වාස කළ වෙනත් ධනවාදී දේශපාලනඥයින්ට රාජපක්ෂ හෙජමොනික ව්‍යාපෘතිය සමග එකතු වීමේ පහසුවක් මෙම ආර්ථික ප‍්‍රවේශය විසින් ඇති කළේය. ප‍්‍රධාන විපක්ෂය වූ එක්සත් ජාතික පක්ෂය මෙම තත්ත්වයේ ප‍්‍රධානතම වින්දිතයා බවට පත්වූයේය. එහි ඉහළ මට්ටමේ නායකයින් විශාල සංඛ්‍යාවක් පක්ෂය අත් හැර රාජපක්ෂ රෙජීමය සමග එක්වූහ. සිංහල ජාතිකවාදය තුළ තදින් මුල් බැස ගෙන සිටි බලවේග රාජපක්ෂ ව්‍යාපෘතිය වෙත ආකර්ෂණය වූ අතර ජනතා විමුක්ති පෙරමුණ පවා හරි මැදින් දෙකට බෙදුණි. ජවිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අතරින් සැලකිය යුතු ප‍්‍රමාණයක් ආණ්ඩුවට එකතු විය.

අවසානයේ 2009 වර්ෂයේ දී රාජපක්ෂ සහෝදරයින් විසින් කොටි සංවිධානයේ නායකත්වය සමූල ඝාතනය කරනු ලැබීය. දශක ගණනාවක් තිස්සේ ශ‍්‍රී ලංකාව බිහිසුණු ඉරණමකට ලක්කළ සිවිල් යුද්ධය ඔවුන් විසින් ජයග‍්‍රහණය කරනු ලැබී යැයි ඒ අනුව ප‍්‍රකාශයට පත්විය. එහි ප‍්‍රතිඵලය වූයේ 2010 දී මහින්ද රාජපක්ෂ පහසු මැතිවරණ ජයක් ලබාගැනීමය. මෙම ජයග‍්‍රහණය වූ කලී ශ‍්‍රී ලංකාවේ දේශපාලනය මත රාජපක්ෂවරුන්ගේ හෙජමොනික ව්‍යාපෘතියේ මුද්‍රාව තැබීමකි. මෙම හෙජමොනික ව්‍යාපෘතිය ගොඩනැගුණේ දෙමළ හා මුස්ලිම් ප‍්‍රජාවන් දේශපාලන හා සමාජ බලයේ ක්ෂේත‍්‍රයෙන් බැහැර කිරීම මගිනි. මැතිවරණ ජයග‍්‍රහණයෙන් පසු රෙජීමය ස්වකීය බලයෙන් කෙතරම් මත් වීද යත් දේශපාලන විසම්මුතියට එරෙහිව මර්දනයේ හා බියගැන්වීමේ නව රැුල්ලක් පැන නැංගේය. දේශපාලන විරුද්ධවාදීන් පැහැර ගැනීම සඳහා යෙදවූ අපකීර්තිමත් සුදු වෑන් සංස්කෘතිය, සත්‍යය ලිවීමට තරම් නිර්භය වූ මාධ්‍යවේදීන් ඝාතනය කිරීම, අධිකරණයේ කටයුතුවලට මැදිහත් වීම, රතුපස්වලදී බීම සඳහා පිරිසිදු ජලය ඉල්ලූ අහිංසක සිවිල් වැසියන් මරා දැමීම සහ අලූත්ගම දී මුස්ලිම් ජනයාට හා ඔවුන්ගේ දේපළ වලට පහර දුන් බොදු බල සේනා සංවිධානයට එරෙහිව කිසිදු ක‍්‍රියාමාර්ගයක් නොගැනීම ආදී සියල්ල මහජන ඡන්දය මගින් බලයට පැමිණි අධිකාරිවාදී රෙජීමයක අංග ලක්ෂණයෝ වූහ. ජනාධිපති තනතුර දැරිය හැකි වාර සංඛ්‍යාවට අදාළව තිබූ වාර දෙකේ සීමාව පාර්ලිමේන්තුව විසින් ඉවත් කෙරිණ. යුද්ධය අවසාන වීම සම`ග ඇති වූ ජනප‍්‍රියත්වය රෙජීමයේ බලය සංකේන්ද්‍රණය කරගැනීමටත් එම බලය බලපවත්වන කාලය ප‍්‍රසාරණය කරගැනීමටත් යොදාගැනීම රාජපක්ෂගේ පරමාර්ථය වූයේය. මීට අමතරව වංචා දුෂණ හා ජාතියේ ධනය සොරකම් කිරීම අතිමහත් පරිමාණයෙන් වැඩුණි.

තවද යුද්ධයේ අවසාන වකවානුව තුළ දහස් ගණන් අහිංසක සිවිල් වැසියන් මිය ගිය අතර වගවීම පිළිබඳ ප‍්‍රශ්නය රාජපක්ෂ රෙජීමය ඉදිරියේ බරපතල ලෙස මතු වී තිබුණි. ජාත්‍යන්තර වශයෙන් එල්ල වූ යුද අපරාධ පිළිබඳ චෝදනාවලින් ගැලවීම පහසු වූවක් නොවීය. වධහිංසාවට හා දුෂණයට ලක්වූ ඉසිප‍්‍රියාගේ අඩ නිරුවත් ශරීරයේ ඡායාරූප, ප‍්‍රභාකරන්ගේ දොලොස් හැවිරිදි පුත‍්‍රයා විස්කෝතු කමින් සිටින ඡායාරූප හා ඉන් පසු වෙඩි තබා මරා දැමුණු ඔහුගේ මෘත ශරීරයේ ඡායාරූප ආදිය විසින් පෙන්නුම් කරනු ලැබූයේ රට තුළ ප‍්‍රබල වී තිබූ දෝෂමුක්ති සංස්කෘතියේ බරපතලකමයි. වගවීම සම්බන්ධව දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් රජය අඛණ්ඩව නොතකා හල අතර දෙමළ සමාජය සමග කිසිදු අර්ථාන්විත ප‍්‍රතිසන්ධාන ක‍්‍රියාවලියකට එළැඹීම ද ප‍්‍රතික්ෂේප කළේය.

 

රාජපක්ෂ හෙජමොනික ව්‍යාපෘතිය විසින් ආරම්භ කළ හා පසුව සංකේන්ද්‍රණය කළ දේශපාලන ක‍්‍රියාවලිය ආපසු හැරවීම සඳහා ප‍්‍රති-හෙජමොනික ව්‍යාපෘතියක් අවශ්‍ය බවට 2014 සැප්තැම්බරයේ දී මම තර්ක කළෙමි. දෙමළ ජනතාව වෙත බලය බෙදීමේ වැඩසටහනක් අන්තර්ගත නොවන්නේ නම් එබඳු ප‍්‍රති-හෙජමොනික ව්‍යාපෘතියක් සාර්ථක නොවනු ඇත යන්නද මාගේ තර්කය විය. ඒ නිසා දෙමළ ජනතාවගේ ප‍්‍රජාතාන්ත‍්‍රීය අයිතීන් පිළිගැනීම ඕනෑම ප‍්‍රති-හෙජමොනික ව්‍යාපෘතියක ප‍්‍රධානතම අංගයක් වීම අත්‍යවශ්‍ය වූයේය.

 

නව ඓතිහාසික හවුලක්

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතාන්ත‍්‍රීය දේශපාලන අවකාශය විවෘත කිරීම හා එය පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය වූ තීරණාත්මක මුල පිරීම් සිදුකරනු ලැබූයේ ස්ථාපිත දේශපාලන පක්ෂ විසින් නොව මානව හිමිකම් ආරක්ෂකයින්, මාධ්‍යවේදීන් හා රාජ්‍ය නොවන සංවිධාන විසිනි. දේශපාලන විසම්මුතිය අවසාන කිරීම සඳහා රාජපක්ෂ රෙජීමය දරනු ලැබූ ව්‍යායාමයන්ට ඔවුහු විරෝධය පෑ අතර නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය අත්පත් කරගැනීම සඳහා ගත හැකි සියලූ මාර්ගයන් වෙත ඔවුහු එළඹුණහ. එහිදී සැලකිය යුතු පෞද්ගලික අවදානමකට ඔවුහු නිරාවරණය වූහ. ජනාධිපති සිරිසේනගේ ජයග‍්‍රහණය සඳහා අවශ්‍ය තීරණාත්මක පදනම දමනු ලැබූයේ මෙම බලවේගවල මෙකී ක‍්‍රියාකාරීත්වයයි.

එක්සත් ජාතික පක්ෂයේ සිට රැඩිකල් වාමාංශය දක්වා පුලූල් පරාසයක මතවාදයන් හා දේශපාලන දර්ශනවාදයන් මත පිහිටි දේශපාලන පක්ෂ හා සංවිධාන ඒකරාශි කිරීමට ඔවුහු සමත් වූහ. රාජපක්ෂ විරෝධී සන්ධානයක් ඇති කිරීමට බාධාකාරීව තිබූ විවිධ පාර්ශවයන් තුළ එකිනෙකා සමග වැඩ කිරීමට තිබූ මැලිකම ඔවුන් විසින් සාර්ථකව බිඳ දමන ලදී. මෙම ව්‍යාපාරය ‘නිදහසේ වේදිකාව’ නමින් හැඳින්විණ. දෘෂ්ටිවාදීමය හා දේශපාලනික අර්ථයෙන් ගත්විට බලවේග අතර සිදුවූ මෙම නව පෙළගැස්ම ආණ්ඩු පෙරලිය හා සබැඳි දේශපාලන කතිකාවේ තීරණාත්මක සන්ධිස්ථානයක් නියෝජනය කළේය. වාමාංශික දේශපාලන කතිකාව තුළ වූ ‘පංතිවාදය’ වෙතින් ඈත් වී නොගත්තේ නම් ඔවුන්ට එම භූමිකාව ඉටු කළ නොහැකි වීමට ඉඩ තිබුණි ( ලැක්ලාවු සහ මූෆ්, හෙජමොනිය සහ සමාජවාදී උපායමාර්ගය, පි.177, 1985). ධනවාදයට එරෙහි කම්කරු පංති අරගලය පිළිබඳ වූ ස්වකීය සිහිනය හඹා යාමේ දී ශ‍්‍රී ලංකාවේ වාමාංශය නව සමාජ ව්‍යාපාරවල තීරණාත්මක ස්වභාවය අවතක්සේරු කොට තිබේ. ජීවත්වීමේ අයිතිය, සුලූතර වාර්ගික ප‍්‍රජාවන්ට එරෙහි පීඩනය, කාන්තාවන්ට වෙනස් කොට සැලකීම සහ තම ජීවිකාවට අදාල පරිසරය විනාශ කිරීමට එරෙහිව විවිධ ප‍්‍රජාවන් විසින් සිදුකරනු ලබන අරගල වාමාංශික පක්ෂ විසින් නොතකා හැර තිබේ. ‘නිදහසේ වේදිකාව’ ව්‍යාපාරය මේ ඇතැම් ප‍්‍රශ්න සිය ව්‍යාපාරය තුළ මතු කළේය. ජනවාරි 08 ජයග‍්‍රහණය වූ කලී බිම් මට්ටමේ යථාර්ථය පිළිබඳ වූ මෙම නිවැරදි කියැවීම තුළින් මතු වූවකි.

laclau 3-

 

ඔවුහු මෙහිදී හුදෙකලා නොවූහ. පූජ්‍ය මාදුලූවාවේ සෝභිත හිමි විසින් නායකත්වය දුන් සමාජ සාධාරණත්වය සඳහා වූ ව්‍යාපාරය විසින් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට මෙන්ම පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට ආරම්භ කළ ව්‍යාපාරය ඉහත කී දේශපාලන පෙලගැස්ම ඇතිවීමට බලවත් ලෙස දායක විය. මහින්ද රාජපක්ෂට එරෙහි පොදු අපේක්ෂකයෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමේ වැදගත්කම විපක්ෂ බලවේගවලට ඒත්තු ගැන්වීම සඳහා සහ ඒ සම්බන්ධ සාකච්ඡා විපක්ෂ බලවේග අතර ඇති කිරීම සඳහා සෝභිත හිමි විසින් මහත් කැපවීම් සහගතව කළ මැදිහත්වීම බලාපොරොත්තුව, අනුරාගය සහ සටන්කාමී ජීවගුණය විපක්ෂ බලවේග අතර වර්ධනය කළේය. මෙම ක‍්‍රියාවලිය ග‍්‍රාම්ස්චියානු අර්ථයෙන් ‘සදාචාරමය, බුද්ධිමය හා දේශපාලන නායකත්වයක්’ ඇති වීම කෙරෙහි බලපෑම් සහගත විය. විපක්ෂය විශ්වසනීයත්වය දිනා ගැනීම පටන් ගත්තේ එලෙස දියත් වූ ක‍්‍රියාවලියක ප‍්‍රතිඵලයක් වශයෙනි. මෛත‍්‍රීපාල සිරිසේන සහ තවත් අය ආණ්ඩුවෙන් ඉවත් වී, ඉක්බිති සිරිසේන විපක්ෂයේ පොදු අපේක්ෂක බවට පත්වීමට තමා සූදානම් බව ප‍්‍රකාශ කිරීමත් සමග තරගයේ හැරවුම සලකුණු විය. මෙතැන් පටන් දේශපාලන අවකාශය යම් නිශ්චිත විලාශයක් අනුව දිග හැරුණි. එතෙක් බැහැර කිරීමට ලක්වී සිටි ජනතාව ඉදිරියට පැමිණ රාජපක්ෂ පවුල් පාලනය තුළ තමා විඳි වේදනාවන් පිළිබඳ හැඟීම් විවෘතව ප‍්‍රකාශයට පත් කරන්නට පටන් ගත්හ. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට ඉදිරිපත් වූ ඉල්ලීම විපක්ෂයේ ප‍්‍රජාතාන්ත‍්‍රීය ඉල්ලීම් ගොනු කරගනු ලැබූ ඉල්ලීමක් බවට පත්වූ අතර මාස කිහිපයකට පෙර මැතිවරණමය වශයෙන් සිදුවිය නොහැකි යැයි සිතූ ආකාරයේ ඉරි තැලීම් රාජපක්ෂ රෙජීමය මත ඇති වීම ආරම්භ වී තිබුණි.

ජනාධිපති සිරිසේනගේ පොදු අපේක්ෂකත්වය රාජ්‍ය නොවන සංවිධාන විශාල සංඛ්‍යාවක, වෘත්තිය සමිති සහ එවකට ආණ්ඩුව සමග සිටි ලංකා සමසමාජ පක්ෂය හා කොමියුනිස්ට් පක්ෂය වෙතින් කැඞී ආ කොටස්වලින් සැදුම් ලත් වමේ කේන්ද්‍රය යන පාර්ශවවල සහයෝගය ලැබීය. දෙමළ ජනතාවගේ ප‍්‍රජාතාන්ත‍්‍රීය දේශපාලන අභිලාෂයන් වෙනුවෙන් වසර ගණනාවක් තිස්සේ දැඩි ලෙස පෙනී සිටි නව සමසමාජ පක්ෂය ජනාධිපති සිරිසේනගේ පොදු අපේක්ෂකත්වය වෙනුවෙන් පෙනී සිටියේය. සියලූම පක්ෂ අතර වඩාත්ම වැඩි ඡන්දදායක පදනම තිබෙන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය ජනාධිපති සිරිසේනගේ පොදු අපේක්ෂකත්වයට සහයෝගය ලබාදීමට ගත් තීරණය එක්තරා ආකාරයක මැතිවරණමය කැපකිරීමකි. දේශපාලන විසඳුමක් සඳහා දෙමළ ඡන්දදායක පදනම තුළ වූ ඉල්ලීම මත පදනම්ව දෙමළ ජාතික සන්ධානය ද ජනාධිපති සිරිසේනගේ පොදු අපේක්ෂකත්වයට උපක‍්‍රමිකව සහයෝගය ලබා දුන්නේය. රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉල්ලා අස්වූ ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය ද පොදු අපේක්ෂක ව්‍යාපාරය සමග එක්වූයේය. ඒ අනුව දක්ෂිණාංශයේ සිට වාමාංශය දක්වා සහ සිංහල ජනයාගේ සිට දෙමළ හා මුස්ලිම් ජනයා දක්වා අතිමහත් පුලූල් බලවේගයකට සහයෝගය දිනාගැනීමට ජනාධිපති සිරිසේන සමත් වූ අතර යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ නම් වූ නව ඓතිහාසික හවුල එම පුලූල් සන්ධානගත වීමේ ප‍්‍රතිඵලයයි. එහි සංවිධාන ආකෘතිය සහ දේශපාලන දර්ශනය ගත්විට එය වූ කලී ‘නිදහසේ වේදිකාවේ’ දීර්ඝ වීමකි. මේ වර්ගයේ සන්ධානයක් තුළ දේශපාලන හා මතවාදීමය වෙනස්කම් පැවැතීම වැලැක්විය නොහැක. එහෙත් මහින්ද රාජපක්ෂ පරාජය කිරීම නම් වූ පොදු සටන් පාඨය වටා එම සන්ධානය තුළ සිටි විවිධ බලවේග ඒකරාශි වී සිටියේය.

 

ජනාධිපතිවරණයේ දී මෛත‍්‍රීපාල සිරිසේන අපේක්ෂා නොකළ අන්දමේ ජයග‍්‍රහණයක් ලැබුවේය. සිය ජයග‍්‍රහණය පිළිබඳ දැඩි විශ්වාසයෙන් යුක්තව රාජපක්ෂ විසින් රාජ්‍ය බලය, රජයේ සම්පත් සහ රාජ්‍ය මාධ්‍ය සිතූ සිතූ ලෙස ස්වකීය ජය උදෙසා භාවිතා කළ පසුබිමක රාජපක්ෂට එරෙහිව සිරිසේන ලැබු ජයග‍්‍රහණය දැවැන්ත මැතිවරණ සාර්ථකත්වයකි. ඔහුගේ පවුල් පාලනය යටතේ නිහඩව විඳවනු ලැබූ අයට අවසානයේ කථා කිරීමට හා ඔහුව බලයෙන් එලවා දැමීමට අවස්ථාව ලැබී තිබුණි. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිත්වය පිරිනමනු ලැබූ අතර එය පක්ෂය මත ඔහුගේ බලය පිහිටුවීම සම්බන්ධ සුවිශේෂී මොහොතකි. ජනාධිපතිවරණ ව්‍යාපාරය තුළ මහින්ද රාජපක්ෂට සහයෝගය දුන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය සිරිසේන අතට පත්වීම හරහා සිදුවූයේ එම පක්ෂය තුළ වූ රාජපක්ෂගේ දෘෂ්ටිවාදීමය හා දේශපාලනික බලපෑම බිඳ දැමීමේ වඩා ඉහළ හැකියාවක් සිරිසේනට ලැබීමයි. මෙය නව ඓතිහාසික හවුල ගොඩනැගීමේ ක‍්‍රියාවලියේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයකි. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ ජයග‍්‍රහණය නිදහසේ නව සුළගකට උපත දුන් අතර ඒ සඳහා වූ දේශපාලන අවකාශය අන් කිසිදිනෙකටත් වඩා පුලූල් කළේය. බියගැන්වීමේ හා දෝෂමුක්තියේ සංස්කෘතිය ක‍්‍රමානුකූලව වියැකී ගිය අතර නීතියේ ආධිපත්‍යය අනුක‍්‍රමිකව ස්ථාපිත වූයේය. කෙසේ වූවද පැවැති රෙජීමයේ වරදකරුවන්ට දඩුවම් පැමිණවීම මහජනයාට අවශ්‍ය තරම් වේගයෙන් සිදුවූයේ නැත. පැවැති රෙජීමය බලයෙන් පහවූයේ එම රෙජීමය විසින් ඇති කළ නිලධාරී තන්ත‍්‍රය හා අපරාධකාරී යාන්ත‍්‍රණ පද්ධතිය එලෙසම පවතිද්දීය. මේ තන්ත‍්‍රයන්ගේ බලපෑම් නිසා නීතිය නිසි ලෙස ක‍්‍රියාවට නැංවීම අපහසු වී තිබේ. මෙය පැවැති රෙජීමයේ වැරදිකරුවන්ට වාසිදායක තත්වයකි.

 

මේ ආකාරයේ විවිධ සීමාවන් තිබුණද ජනවාරි 08 මැතිවරණ ජයග‍්‍රහණය සැබැවින්ම ඓතිහාසික වූවකි. අගෝස්තු මාසයේ දී පැවැත්වූ පාර්ලිමේන්තු මැතිවරණ ජයග‍්‍රහණය සඳහා එය පාර කැපූ අතර එය ජනප‍්‍රිය බලවේගවල ජය දෙගුණ කළේය. මෙකී ජනප‍්‍රිය බලවේග සමන්විත වන්නේ අන් කවරෙක්ගෙන් හෝ නොව සිංහල, දෙමළ, මුස්ලිම් ජන ප‍්‍රජාවන් ත‍්‍රිත්වයට අයත් සාමාන්‍ය පිරිමින් හා ගැහැණුන්ගෙනි. ශ‍්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ පළමු වතාවට ප‍්‍රජාතාන්ත‍්‍රීය අයිතිවාසිකම් භයානක ලෙස පොඩිපට්ටම් කරනු ලැබීමට ලක්ව සිටි ජනතාවක් සහ බලවත් දේශපාලන හා මිලිටරි බලයක් විසින් වාර්ගික පැවැත්ම මාරාන්තික ලෙස අවදානමට ලක්කරනු ලැබ සිටි ජනතාවක් අනපේක්ෂිත ලෙස එම බලසම්පන්න පාලන තන්ත‍්‍රය පෙරලා දැමුවේය. බහුවිධ ප‍්‍රජාවන් එක්සත් කිරීම සඳහා අවශ්‍ය සංවිධාන රාමුව නිර්මාණය කළ හා විවිධ හා වෙනස් ප‍්‍රජාතාන්ත‍්‍රීය අභිලාෂයන් මත පදනම්ව ක‍්‍රියාකළ පුද්ගලයින් ඔවුන් විසින් ඉටු කළ පෙර නොවූ විරූ ඓතිහාසික කාර්යභාරය සම්බන්ධයෙන් ප‍්‍රශංසා ලැබිය යුත්තෝ වෙති. මෙය වූ කලී පංතිය මත පදනම් වූ දේශපාලන කලාපයට පිටතින් ප‍්‍රජාතාන්ත‍්‍රීය ඉල්ලීම් දිනාගැනීම සඳහා තිබෙන තාර්කික දේශපාලන මොඩලයකි. ශ‍්‍රී ලාංකීය වාමාංශයේ පුලූල් දේශපාලන ව්‍යවහාරයට ප‍්‍රතිවිරුද්ධව යන ප‍්‍රජාතාන්ත‍්‍රීය දේශපාලන කතිකාවකි එය.

අභියෝග

මේ මොහොතේ දී වත්මන් ඓතිහාසික හවුල අභියෝග හතරකට මුහුණ දී සිටී. පළමුව දෙමළ ජනතාවට බලය බෙදීමේ දේශපාලන විසඳුමක් ඇති කිරීම සම්බන්ධව සිංහල බෞද්ධ අධිපතිවාදී බලවේගවලින් එන දැඩි ප‍්‍රතිවිරෝධයකට එය මුහුණ දේ. මේ තුළ සැලකිය යුතු දේශපාලන අවදානමක් ගැබ්ව තිබේ. රාජපක්ෂ ජනාධිපතිධූරයෙන් පහවූවද ඔහු විසින් හෙජමොනික ප‍්‍රකාශනය සැපයූ දකුණේ සිංහල බෞද්ධ බලවේග ස්වකීය පරාජය පිළිගැනීම ප‍්‍රතික්ෂේප කරති. ඔවුහු මැතිවරණය පරාජය වූවත් දෘෂ්ටිවාදීමය ලෙස හා දේශපාලනමය ලෙස ඇතැම් සිංහල බෞද්ධ බලකොටුවල ඔවුන්ගේ මැතිවරණ පදනම හැකිලී ගොස් නොමැත. දෙමළ ජනයාගේ ප‍්‍රජාතාන්ත‍්‍රීය අභිලාෂයන් පාගා දමන රාජපක්ෂගේ ව්‍යාජ දේශපේ‍්‍රමයට වඩා තම ප‍්‍රවේශය රටේ භෞමික අඛණ්ඩතාවය සුරක්ෂිත වීම සම්බන්ධයෙන් ආරක්ෂාකාරී වේ යන්න සිංහල බෞද්ධ ඡුන්දදායකයාට ඒත්තු ගැන්වීමේ අභියෝගය ජනාධිපති සිරිසේන ඉදිරියේ පවතී. මේ කරුණ සම්බන්ධයෙන් ජනාධිපති සිරිසේන වහ වහා ක‍්‍රියාත්මක වන්නේ නැතිනම් ඔහුව බලයට ගෙන ආ සන්ධානය සහ ඔහුගේ ජයග‍්‍රහණය දීර්ඝකාලීනව රඳවා ගැනීම ඔහුට වඩාත් දුෂ්කර වනු ඇත.

දෙවනුව නව ලිබරල් ආර්ථික ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීම දේශපාලන වශයෙන් ජනප‍්‍රිය නොවනු ඇත. පවතින සුබසාධන ව්‍යුහයන් අවප‍්‍රමාණය කිරීමට ගනු ලැබෙන කවර හෝ ක‍්‍රියාමාර්ගයක් බරපතල ප‍්‍රතිවිරෝධතා ජනනය කරනු ඇත. විශේෂයෙන්ම ශ‍්‍රී ලංකාවේ දුගී ජනතාවගේ ජීවිතය සමග දැඩිව බැඳී තිබෙන අධ්‍යාපනය හා සෞඛ්‍යය සම්බන්ධයෙන් මෙය වඩාත් අදාළය. ආණ්ඩුව මෑතකදී ඉදිරිපත් කළ අයවැයත් සමග වෘත්තීය සමිති හා සිවිල් සමාජ සංවිධාන පැත්තෙන් මතු වී ආ උද්ඝෝෂණ වූ කලී නව ලිබරල් පිළිවෙත් ඉදිරියට ගෙන ගියහොත් ආණ්ඩුවට මුහුණ දීමට සිදුවන විරෝධතා ව්‍යාපාර සම්බන්ධ ප‍්‍රකාශනයකි.

 

තෙවනුව පුලූල් දේශපාලන හා දෘෂ්ටිවාදීමය වෙනස්කම් බලයේ සිටින දේශපාලන හවුලේ සමගිය බිඳ දැමීමේ හැකියාවෙන් යුක්තය. මෙම දේශපාලන හා දෘෂ්ටිවාදීමය ප‍්‍රතිවිරෝධතා ආණ්ඩුව තුළ සාර්ථක ලෙස විසඳා නොගතහොත් වත්මන් බල හවුල ඉරි තලා යනු ඇත. ප‍්‍රජාතාන්ත‍්‍රීය ලෙස හා වෙනස් මත ඉවසීමේ ජීවගුණයෙන් යුක්තව කලමනාකරණය කරනු ලැබෙන්නේ නම් බහුවිධ හා වෙනස් මත වූ කලී සාධනීය දෙයකි. කෙසේ වූවද එකිනෙකාට චෝදනා සහ ප‍්‍රතිචෝදනා කරමින් ඇතැම් අමාත්‍යවරුන් ප‍්‍රසිද්ධියේ හැසිරෙන ආකාරය දේශපාලන අපරිණතකම පෙන්නුම් කරන කණගාටුදායක දර්ශනයකි.

 

සිව්වෙනුව මහජනයාට විරෝධය දැක්වීමේ අයිතිය තිබෙන බව ආණ්ඩුව පිළිගත යුතුය.

 

ප‍්‍රජාතන්ත‍්‍රවාදය ක‍්‍රියා කරන්නේ එසේය. විරෝධය දැක්වීමේ ප‍්‍රජාතාන්ත‍්‍රීය අයිතිය භාවිතාවේ යොදවන කවර හෝ ජන කණ්ඩායමකට විරුද්ධව බලය යෙදවීම සාපරාධී ක‍්‍රියාවකි.

මෙකී අභියෝග ජයගැනීම මත ජනවාරි 08 ජයග‍්‍රහණය සම්පූර්ණ වීම රැුඳී තිබේ. එම අභියෝග ජයගත නොහැකි වුවහොත් ඇති වී තිබෙන නව ඓතිහාසික හවුල හෙජමොනික ව්‍යාපෘතියක් බවට පරිවර්තනය වීම සිදු නොවනු ඇත.

Laclau 1

සාරාංශය

2015 ජනවාරි මාසයේ සිදුවූ ජනාධිපතිවරණ ජයග‍්‍රහණය පැහැදිලිවම මේ රටේ ජනතාවගේ ප‍්‍රජාතාන්ත‍්‍රීය ජයග‍්‍රහණයකි. එසේම අගෝස්තු මාසයේ පැවැති මැතිවරණයෙන් යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ ලැබූ ජයග‍්‍රහණය ජනතාවගේ ප‍්‍රජාතාන්ත‍්‍රීය අභිලාෂයන් සාක්ෂාත් වීම යථාර්ථවාදී අපේක්ෂාවක් බවට පත්කළේය. කෙසේ වූවද එම අපේක්ෂාව යථාර්ථයක් වනු ඇත්තේ මෛත‍්‍රීපාල-රනිල් නායකත්වය ස්වකීය මැතිවරණ පොරොන්දු ඉටු කරනු ලබන්නේ නම්ය. බලය බෙදනු ලැබූ දේශපාලන ව්‍යුහයක් හරහා වාර්ගික සුලූතරයන් ඇතුළත් කරගත හැකි වේ නම් වත්මන් ඓතිහාසික හවුල හෙජමොනික ව්‍යාපෘතියක් බවට පත්වනු ඇති අතර එය ග‍්‍රාම්ස්චියානු අර්ථයෙන් ‘ජාතික-ජනප‍්‍රිය’ රෙජීමයක් බවට පත්වනු ඇත. සියලූම ජාතික ප‍්‍රජාවන් ගෞරවාන්විතව හා අභිමානයෙන් යුක්තව ජීවත් වන එක්සත් දේශයක දේශපාලන කොටස්කරුවන් වීම සඳහා මෛත‍්‍රී-රනිල් නායකත්වය සිංහල බෞද්ධ ඡුන්දදායකයා පොළඹවා ගත යුතුව පවතී. යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ දුන් මැතිවරණ පොරොන්දු ඉටු වේ නම් ජනවාරි 08 ජයග‍්‍රහණය යුග සාධක ජයග‍්‍රහණයක් වනු ඇත. එය ප‍්‍රජාතාන්ත‍්‍රීය විප්ලවයක් ලෙස හැඳින්විය හැක්කේ එවැන්නක් සිදුවේ නම් පමණි. එසේ නොවුණහොත් එම ක‍්‍රියාවලිය අවසාන වනු ඇත්තේ ප‍්‍රභූ දේශපාලන පංතීන් ජයග‍්‍රාහී වීමෙන් හා ජනප‍්‍රිය බලවේග පරාජිතයින් බවට පත්වීමෙනි. එවිට අපට අරගලය නැවත පටන් ගැනීමට සිදුවනු ඇත.

 

උපුටා ගැනිම 2016.01.10 රාවය සමබිම ඉරිදා සංග්‍රහය

 

ඔබේ අදහස කියන්න...