ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය 70 දශකයෙන් පසු පාලන බලය ලබා ගන්නා පක්ෂවල ජුන්ටාවක් තරමට දේශපාලනිකව පිරිහීමකට ලක් විය. පොහොසත් වීම සහ තමන්ගේ වැඩේ කර ගැනීම වැනි ජනප‍්‍රිය මතවාද සමඟ සෙල්ලම් කිරීමත් සමඟ වෘත්තීය සමිති නායකයෝ ජනමාධ්‍ය හසුරුවන මතවාදය සමඟ සම්පාත වූහ. 80 දශකය වන විට ලංකාවේ වම තීව‍්‍ර ලෙස කොටස් දෙකකට වෙන් විය. එක කොටසක් උතුරු ගැටලූව ජනවාර්ගික ප‍්‍රශ්නයක් ලෙස විග‍්‍රහ කළ අතර රැඩිකල් ලෙස ජනතා විමුක්ති පෙරමුණ උතුරේ ප‍්‍රශ්නය ත‍්‍රස්තවාදය සමඟ සමපාත කරන ලදී.

80 දශකය අවසාන වන විට ජවිපෙ තම රැඩිකල් අරගලයෙන් පරාජයට පත් වූ අතර තම අනෙකා වූ UNPය මතවාදීව අකර්මණ්‍ය කරන ලදී. 90 දශකය මැද වන විට හිදැසක් නිර්මාණය වූ අතර එතැනින් මතු වූයේ චන්ද්‍රිකාගේ මානුෂික මුහුණුවරක් සහිත ධනවාදයයි. චන්ද්‍රිකා බලය ලබා ගත් වහාම ‘සන්ඩේ ලීඩර්’ කතුවරයා වන ලසන්ත වික‍්‍රමතුංග විසින් චන්ද්‍රිකා හිල්ටන් හෝටලයේ ආහාර ලබා ගන්නා ආකාරය විස්තර කරමින් ලිපි පෙළක් සම්පාදනය කරන ලදී. ඔහු චන්ද්‍රිකාගේ යම් නිලයකට අමතමින් සිටියේය. 80 දශකයට පසු ලංකාවට ආරෝපණය වූ ගෝලීය ධනවාදයේ මිහිරි ලක්ෂණ වඩාත්ම අවශෝෂණය කරන ලද්දේ ගාමිණී දිසානායක මහතාය. මහවැලි ව්‍යාපාරය හරහා ඔහු විසින් උපයන ලද පෞද්ගලික ප‍්‍රාග්ධනය හරහා දිසානායක මහතා කොළඹ නගරයේ නව උපසංස්කෘතියක් බිහි කළේය. මෙයට ආචාර්ය සරත් අමුණුගම පවා එවකට ආකර්ෂණය වී තිබුණි. ධනවාදයට ඇදවැටෙනසුලූ මෙම සංස්කෘතික ප‍්‍රවණතාව ලංකාව පළමුව අත්වින්දේ ගාමිණී දිසානායක හරහාය.

ලසන්තට අවශ්‍ය වූයේ, චන්ද්‍රිකා යනු පාලක පවුලක සාමාජිකාවක් වුවත්, ඉංග‍්‍රීසි භාෂාවෙන් කතා කළත් ඇයට හිල්ටන් හෝටලයේ මෙනු පත‍්‍රය ආගන්තුක බවයි. බොහෝ විට ඇය ලබා ගන්නා ආහාර වේල සඳහා ඇයව යොමුකරන ලද්දේ හෝටලයේ සූපවේදියා හෝ ආහාර කළමනාකරුය. මෙමඟින් ලසන්ත උත්සාහ කරන ලද්දේ අලූතින් තහවුරු වී ගෙන යන ගෝලීය ධනවාදයේ සංස්කෘතිය චන්ද්‍රිකාට නුහුරු බවයි. ධනවාදයේ මූලික ලක්ෂණය වන්නේ පැරැුණි සමාජ ලෝකය විනාශ කිරීමත් ඒ විනාශ වූ ලෝකය මත අලූත් ලෝකයක් ඉදිකිරීමත්ය. යම් කෙනෙකු මේ ද්විත්ව ක‍්‍රියාවලිය වටහා ගැනීමේ දී එක අතකින් ‘දෛවය’ යනුවෙන් කොටසකට මුහුණ දීමට සිදු වන අතර අනෙක් අතට ‘විද්‍යාව’ යනුවෙන් කොටසකට මුහුණ දීමට සිදු වෙයි. යම්කිසි පැරණි සභ්‍යත්වයක් ‘ප‍්‍රාග්ධනය’ විසින් තමාට අවශ්‍ය ආකාරයට මෙහෙය වන විට එක්තරා මොහොතක දී එහි ජීවත් වන්නන්ට සංක‍්‍රාන්ති මොහොතකට මුහුණ දෙන්නට සිදු වෙයි. සංක‍්‍රාන්තියේ දී පැරණි ලෝකය සහමුලින් විනාශ නොවන තත්ත්වයක් අත්විඳින අතර අලූත් ලෝකය සහමුලින් තහවුරු වන්නේ ද නැත. ඒ නිසා එවැනි සමාජයක ජීවත් වන බහුතරයට නිරන්තරව හමුවන්නේ අද්භූත මිනිසුන්ය.

සාරාංශගත කර ප‍්‍රකාශ කරන්නේ නම් මා හට විකාශය කිරීමට අවශ්‍ය අදහස මෙසේ ගොනු කළ හැකිය. ‘ප‍්‍රාග්ධනයේ’ ආධිපත්‍යය යටතේ පූර්ණ වශයෙන් සංවිධානය වන සමාජ සැකසුමක් පිළිබඳ අවබෝධයක් හෝ විද්‍යාවක් ලාංකිකයන්ට නැත. විශේෂයෙන් එය සංස්කෘතික තලයේ නැත. ලංකාවේ වාමාංශයට පැරැුණි උරුමයක් පවතින බව සැබෑ මුත් ඔවුන්ට ඇත්තේ රාජ්‍ය ධනවාදය සහ රාජ්‍ය කේන්ද්‍රීය සමාජවාදය ගැන අත්දැකීම් පමණි. 80 දශකය අගවන විට ලංකාව තුළ සංස්කෘතික හුවමාරු වටිනාකම් ලෝකයට (සලාකා වෙළෙඳසල සහ පළිඟු මැණිකේ ටෙලිනාට්‍යය මීට උදාහරණ ලෙස දැක්විය හැක) ඇතුළු විය.

මේ වන විට දශක 3ක් පමණ දීර්ඝ කාලයක සිට ‘සංස්කෘතිය’ හුවමාරු භාණ්ඩ ලෝකයට ඇතුළු වීම සිදු වී ඇත. 90 දශකය මුල දී ‘ප‍්‍රවාද’ සඟරාවේ ලියූ ලිපි හරහා මා විසින් මෙම තත්ත්වය ‘පශ්චාත්-නූතනවාදය’ ලෙසින් හඳුන්වන ලදී. මෙමඟින් මා අදහස් කරන ලද්දේ සංස්කෘතික භාණ්ඩ ද මේ වන විට විකිණීම සඳහා නිෂ්පාදනය කරන බවයි. දැන් ඉතින් සියල්ල විකිණේ යනුවෙන් වූ සටන් පාඨය මා විසින් කරළියට රැුගෙන ආවේ ඉන් සදාචාර විනිශ්චයක් දීමට නොව ‘ප‍්‍රාග්ධනය’ සමාජයේ ප‍්‍රධාන සංවිධායකයා බව පෙන්වීමටය. කිසිවකු මෙම තත්ත්වය න්‍යායිකව සහ ප‍්‍රායෝගිකව අවබෝධ කරගත් බව මේතාක් දෘශ්‍යමාන නැත. මේ වන විට මේ තත්ත්වය තවදුරටත් උත්සන්න වී ඇත. සමකාලීන යුගයේ දී සමාජජාලා වෙබ් අඩවි යථාර්ථය තුළ න්‍යාය – (මාක්ස්වාදී න්‍යායද ඇතුළත්ව) – පවා පාරිභෝගික භාණ්ඩකරණයට (වියුක්තනය* ලක් වෙමින් පවතියි. මේ හේතුව නිසා ‘රෝග ලක්ෂණය’ හැර අන් කිසිවක් සමාජ සබඳතා ලෝකය තුළ ඉතිරි වී නැත. මේ සියල්ලේ න්‍යායික අර්ථය අපට මෙලෙස පෙළගැස්විය හැකිය. තමා අවට ඉදිවෙමින් යන ගෝලීය ධනවාදී සමාජ ආකෘති ඉදිරියේ ලාංකිකයාට ඉතිරිව ඇත්තේ ‘විද්‍යාව’ (මෙයට දර්ශනය ද ඇතුළත්ය) නොව දෛවයයි. ගැඹුරු අර්ථයකින් කියන්නේ නම් තමන්ගේ ආසන්නතම ‘අනෙකා’ (Other) යනු තමන්ගේ දෛවය ලෙස පිළිගන්නට යථාර්ථය බල කරමින් සිටියි.

ඉහත ඓතිහාසික විපර්යාසයේ තාර්කික ඵලය ලෙස දේශපාලනය තුළ විද්‍යමාන වන්නේ ‘දෙමළ විරෝධය’ සිංහල මිනිසාගේ දෛවය ලෙස ව්‍යුහගත වීමයි. මෙහි දී අවධාරණය කළ යුතු වැදගත්ම න්‍යායික පණිවුඩය මෙලෙස සූත‍්‍රගත කළ හැකිය. 20 වන සියවස පුරාම ලංකාවේ ජාතිවාදයන්ට, කුලවාදයන්ට පැවැත්මක් පැවතුණි. නමුත් 90 දශකයේ දී ජවිපෙ ප‍්‍රතිසංවිධානය වන විට එහි න්‍යෂ්ඨික චින්තනය විසින් සිංහල ජාතිවාදය ‘දෙමළ විරෝධය’ දක්වා විස්ථාපනය කරන ලදී.

‘ජාතිවාදය’ සහ ‘දෙමළ විරෝධය’ අතර පෘථුල න්‍යායික සහ ප‍්‍රායෝගික වෙනසක් ඇත. නිව්ටන් ගුණසිංහගේ 80 දශකයේ රචනා තුළ ‘දෙමළ විරෝධයද’ විභාග කර ඇත්තේ ජාතිවාදයේ උපසංස්කෘතියක් ලෙසය. මේ හේතුව නිසා ඔහු දෙමළ විරෝධය ෆැසිස්ට්වාදය සහ අන්තෝනියෝ ග‍්‍රාමිස්චි සමඟ සමපාත කරන ලද අතර එහි දී ධනවාදී සමාජයේ ද්විත්ව ගතිකය (වියුක්තනය සහ සංයුක්තනය අතර තියුණු භේදය – මුදල්වල වියුක්තනය සහ එහි දෙයමය ස්වභාවය අතර වෙනස) සරලමතික කරන ලදී. එමඟින් ඔහු ලාංකේය සමාජ ප‍්‍රතිවිරෝධයන්ගේ ඓතිහාසික ගතිකය ග‍්‍රාමිස්චි අධිනිශ්චය හරහා වාර්ගික අනන්‍යතා අර්බුදයක් දක්වා ඌනනය කරන ලදී.

2005 – 2010 අතර පැවති මහින්ද චින්තනවාදය යනු ෆැසිස්ට් චින්තනයක් පමණක් නොව එය ධනවාදයට ඇති තවත් එක විකල්පයක් බව සිංහල සමාජය තුළ තහවුරු විය. මෙමඟින් ඒ දක්වා පැවති වමේ දේශපාලනයේ පූර්ව අගතියක් විසංයෝජනය විය. බොහෝ වාමාංශිකයන් සිතන්නේ ධනවාදයට ඇති එකම විකල්පය තමන් බවය. නමුත් මහින්ද චින්තනය අපට උගන්වන ලද්දේ එය ධනවාදයට ඇති තවත් විකල්පයක් බවයි. (මහින්ද චින්තනය යනු ධනවාදයට ඇති තවත් නමක් ලෙසින් අර්ථකථනය කිරීම නිශ්ඵලය* මෙම කලාපයේ දී අපට වම විසින් දශක ගණනක් සැලකිල්ලක් නොදක්වන ලද ‘දෘෂ්ටිවාදය’ නම් පදය වැදගත් වෙයි.

‘මහින්ද චින්තනයට’ එම නම යෝජනා කරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණ විසින් විමල් වීරවංශ නම් තම එවකට ප‍්‍රකාශකයා හරහාය. මහින්ද චින්තනය යනු චීන ප‍්‍රාග්ධනය වැනි අතිවිශාල යුරෝපීය නොවන සමාජ සම්බන්ධයක් ලංකාවේ ස්ථාපිත කළ දේශපාලන ව්‍යාපාරයයි. එය විසින් දැවැන්ත ප‍්‍රාග්ධනයේ අභිලාෂයන් සපුරන ලද අතර පුරුෂාධිපත්‍යය සහ පවුල නව ආකාරයකට උත්කර්ෂණය කරන ලදී. මහින්ද විසින් සමාජයේ සංගතභාවය යළි තහවුරු කිරීමට දෙමළ විරෝධය සංයුක්තව යොදාගන්නා ලදී.

රාජ්‍යයේ දැවැන්ත සිවිල් නිලධාරී තට්ටුවකගේ මතවාදී සහයෝගය සහ ප‍්‍රතිබුර්ෂුවා ලක්ෂණ සහිතව මහින්ද චින්තනය රට පුරා වගා කරන ලද්දේ පුනර්ජීවනයකි. එමඟින් අළු පාට නැති සුදු-කළු ලෝකයක් මිහිතලය මත වගා කරන ලදී. සිංහල ආධ්‍යාත්මය එමඟින් නැවත සකස් කරන (සංස්කෘතිය) ලදී. අවසාන විග‍්‍රහයක දී එය සමාජ සේවා කටයුතු සඳහා හමුදා ශ‍්‍රමය ද උපයෝගී කරගන්නා ලදී.

ලංකාවේ තම්බි විරෝධය, බර්ගර් විරෝධය සහ විවිධ කුල විරෝධයන් පැවතියත් ඒ සියල්ලට වඩා ‘දෙමළ විරෝධය’ සංයුක්ත සමාජ යථාර්ථයක් බිහි කරන්නේ මන්ද? න්‍යායික වශයෙන් ගත් කල වාර්ගික හෝ ජාතිවාදයන්ට එරෙහිව ‘දෙමළ විරෝධය’ ඉතිහාසය ඇතුළත ස්ථානගත කිරීම දුෂ්කරය. ගැටලූව භූගෝලීය අවකාශයන්ට සිර කළහොත් දේශපාලන ප‍්‍රපංචයක් ලෙස LTTE ය වෙල්ලමුල්ලිවෛක්කාල් සහ නන්දිකඩාල්වල දී සමූල ඝාතනය කරන ලද්දේ මන්ද? ජාතිවාදියා තම අනෙකාව සහමුලින්ම විනාශ කරන්නේ නැත. මන්ද ජාතිවාදය පසමිතුරුභාවයක් නිසාය. අනෙකා සහමුලින් විනාශ කළ විට තම අනන්‍යතාව ද විනාශ වන බව ජාතිවාදියා හොඳින් දනියි. නලින් ද සිල්වාගේ ජාතිවාදී ලේඛන තුළ මෙම තත්ත්වය ප‍්‍රකටය.

ජාතිවාදයට වඩා දෙමළ විරෝධ ගුණාත්මක වශයෙන් වෙනස්ය. උදාහරණයක් ලෙස ගතහොත් තම්බි විරෝධය යනුවෙන් ප‍්‍රපංචයක් අපගේ සමාජ සැකසුම තුළ දැනට නිර්මාණය වී නැත. ලංකාවේ කුලවාදීන් මිස කුල විරෝධීන් බිහි විය නොහැකිය. ඒ අපගේ ඓතිහාසික නිර්මිතය නිසාය. එසේ නම් ‘දෙමළ විරෝධය’ යනුවෙන් සුවිශේෂ ප‍්‍රපංචයක් බිහි වන්නේ ඇයි? ග‍්‍රාම්ස්චිගේ ෆැසිස්ට්වාදය පිළිබඳ විශ්ලේෂණ තුළ දී පැහැදිලි කළ නොහැකි ප‍්‍රපංචයක් හමු වෙයි. දෙවන ලෝක යුද්ධය අවසන් වීමට ආසන්න කාලයේ දී රතු හමුදාවට ජර්මන් යුද හමුදාව පරාජය වෙමින් පවතින තත්ත්වයක් යටතේ දී පවා ජර්මානු නායකයන් රථවාහන වැඩිපුර පාවිච්චි කරනු ලැබුවේ යුදෙව්වන් ගෑස් කාමර තිබෙන තැන්වලට යැවීමට මිස යුදෙව්වන්ව යුද්ධය සඳහා විකල්පව සහභාගි කර ගැනීමට නොවේ. නන්දිකඩාල්වල දී නඬේසන් ඇතුළු LTTE නායකයන්ව සුදු කොඩි ඔසවාගෙන එද්දී ඔවුන්ව දේශපාලන විසඳුමක ඉත්තන් ලෙස පාවිච්චි කිරීමේ අවකාශ තිබියදීම ඔවුන්ව සමූලඝාතනය කරන ලද්දේ මන්ද? K.P. වැනි පුද්ගලයකුගේ ජීවිතය සුරක්ෂිත වූයේ මන්ද? මේ කිසිවක් ග‍්‍රාම්ස්චිගේ විග‍්‍රහයන් තුළින් මතු කර ගත නොහැකිය. සමකාලීන යුගයේ ග‍්‍රාම්ස්චි පස්සේ දුවන්නේ තම ජීවිතය දෛවයට බාර දුන් මිනිසුන් මිස විද්‍යාවට බාර දුන් මිනිසුන් නොවේ.

ඉහත තත්ත්වය තුළින් විද්‍යමාන වන්නේ සිංහලයා විසින් දෙමළාට අධික බලයක් (Absolute Power) පවරන බවයි. සම්මත ජාතිවාදියකු තම අනෙකා දුර්වලයකු ලෙස සලකනවා මිස බලවන්තයකු ලෙස සලකන්නේ නැත. දෙමළා තුළ වෙනස් නොවන ස්වභාවයක් සිංහල මිනිසා දකියි. ඔහුගේ ෆැන්ටාස්මැතික සිහින තුළ දී දෙමළාව අසරණ සිංහලයා දකින්නේ දක්ෂ ගොවියෙක්, භාෂා තුනම කතා කළ හැකි උපායශීලී පුද්ගලයෙක් සහ දේශපාලනිකව අපව රැුවටිය හැකි ඓන්ද්‍රීය පුද්ගලයකු ලෙසය. දෙමළා වසඟකාරීය. ජාත්‍යන්තර තලයට පවා විහිදී ගිය ඩයස්පෝරා බලයක් සහිත දෙමළා අපගේ පුංචි දිවයින වට කර ඇත.   

ධනවාදය විසින් වියුක්ත කලාපයේ දී සිංහල සාම්ප‍්‍රදායික සමාජය අභ්‍යන්තරයෙන් කෑලි ගලවමින් සිිටියි. මේ හේතුව නිසා සිංහලයා ආධ්‍යාත්මිකව කම්පනය වී ඇත. අනෙක් පසින් ධනවාදය විසින්ම මෙම සිංහලයාව දෙමළ විරෝධය හරහා තමාට අනුකලනය කරමින් සිටියි. එය සංයුක්ත තලයේ ප‍්‍රකාශ වන්නේ විවිධ දේශපේ‍්‍රමී සටන් පාඨ හරහාය. එසේ නම් ගැටලූව වන්නේ කුමක්ද?

සිංහලයාට වෙනස්ව නූතන ගෝලීයකරණ ධනවාදය තුළ දෙමළාට සාර්වත‍්‍රිකයන් (Universals) පෙනෙමින් තිබේ. ඔවුන් සාර්ථක ජාතික විමුක්ති ව්‍යාපාරයක් (LTTE) ගොඩනැඟුවේය. අප ඔවුන්ව සමූලඝාතනය කරන්නේ අපට වඩා හොඳ විකල්පයක් ඔවුන්ට හමු වී ඇති නිසා උපන් ඊර්ෂ්‍යාව නිසාය. දේශපාලනයේ දී ඊර්ෂ්‍යාව ලුබ්ධි පගාවකි. ග‍්‍රාම්ස්චි මේ ගැන දැන සිටියේ නැත.

 

පසු සටහන –

 නූතන ජාතිවාදයන්ගේ මුඛ්‍ය ලක්ෂණයක් වන්නේ ඒවා නූතනත්වයට ඍජු ලෙස එරෙහි නොවීමයි. විමල් වීරවංශ වැනි පුද්ගලයන් නූතන සමාජයේ පාරිභෝගික භාණ්ඩ වන්දනාවට එරෙහි නොවන අතර ඇමැතිවරයකු සමයේ ගමන් කරන ලද්දේ BMW මෝටර් රථයකිනි. ඔහු දෙමළ විරෝධියකු මිස නූතනත්වයට එරෙහි වන්නකු නොවේ. මෙම තත්ත්වය බොහෝ නූතන ජාතිකවාදීන්ගේ විඥානය තුළ අපට හමුවන විරුද්ධාභාසයකි. මෙවැනි ජාතිකවාදීන් විසින් ධනවාදය තුළ කෙනෙකුට හමුවන අභ්‍යන්තර මර උගුල බාහිරට විස්ථාපනය කරයි. එමඟින් සිදු වන්නේ ධනපති විරෝධය සමඟ දෙමළ විරෝධය සමපාත වීමයි. එක්තරා අන්දමකට  මෙම තත්ත්වය මඟින් ප‍්‍රකාශ වන්නේ ධනවාදය ජීව විද්‍යාකරණය කිරීමයි. (Biologization of Capitalism) මෙම අර්ථයෙන් ගත් විට දෙමළා යනු ධනේශ්වර විරෝධයේ අර්චනකාමී වස්තුවයි. (Fetish Form) සමාජ ආකෘතිය පුද්ගලභාවය සමඟ සමපාත කර පුද්ගලයාට පහර දීමක් මෙමඟින් සිදු

ඔබේ අදහස කියන්න...