[dropcap color=”red”]ව[/dropcap]ර්ථමාන අප ජීවත් වන පශ්චාත්-නූතන යුගය තුළ සිදුවන විවිධ ක්‍රියාවන්ට ප්‍රතිචාර දැක්වීමට බහුතරයක් දෙනා පුරුදු පුහුණු වී සිටින්නේ නරුමවාදී ආකාරයටය. විශේෂයෙන්ම දිගින් දිගටම න්‍යාය (Theory) අවශ්‍ය නැති බවත් අවශ්‍ය වන්නේ භාවිතාව පමණක් බවත් පැවසූ විවිධ වාමාංශික දේශපාලන කණ්ඩායම් විසින් අපගේ දේශපාලන භාවිතාව අභියෝගයට ලක් කලහ. තවත් පසකින් අප කිසිවක් නොදන්නා අය බවත් ‘මාක්ස්’ ගේ න්‍යාය පමණක් නොව ‘ට්‍රොස්කිවාදය’ සම්බන්ධයෙන් පවා අපට ඇත්තේ පටු දැනුම් පරාසයක් බවත් තවත් වාමාංශිකයන් විසින් අපව ප්‍රසිද්ධියේ විවේචනය කලහ. අනෙක් පැත්තෙන් ‘ජිජැක්’ වැනි දාර්ශණිකයන් මාක්ස්වාදයේ සතුරන් බවත් අප යනු විප්ලවයේ පසමිතුරු බලවේගයක් වන බවත් තවත් අය විවේචනය කලහ. නමුත් බහුතරයක් අයට වර්ථමාන සන්දර්භයන් තේරුම් ගන්නට සහ අනෙක් අයට තේරුම් කරවන්නට ඇති හැකියාවේ ධාරිතාවය කුමක් ද? සරළව ගතහොත් “ඥාණසාර සාධය” තේරුම් කරවන්නට හෝ තේරුම් ගන්නට මේ වන විටත් වාමාංශිකයන් ද ඇතුලුව සමස්ථ දේශපාලන ක්‍රියාකාරීත්වයටම නොහැකි වී ඇත්තේ ඇයි?

නිෂ්පාදනය කර්මාන්ත ශාලාවක් තුළ සිදු කළ යුගයේ කර්මාන්ත ශාලාවේ සෘජුවම ශ්‍රමය වපුරන කම්කරුවා සහ කර්මාන්ත ශාලාවේ හිමිකරුවා අතර නිරන්තරයෙන්ම ප්‍රතිවිරෝධතාවයන් ජනනය විය. ‘නිෂ්පාදන බලවේග’ සහ ‘නිෂ්පාදන සබදතා’ අතර ඇතිවන ගැටුමට අප සරළව කියන්නේ ‘ප්‍රතිව්රෝධතාවයක්’ (Contradictions )  කියාය. කර්මාන්ත ශාලාව තුළ සේවය කළ කම්කරුවා ගේ ජීවිතය යනු එකල දී කර්මාන්ත ශාලාව සමගම බැදී පවතින්නක් විය. ඒ  නිසාම කම්කරුවාගේ අනන්‍යතාවය ඔහුට ලබා දෙනු ලැබුවේද කර්මාන්ත ශාලාව තුළින්මය. පිටතින් (outside) අනන්‍යතාවයක් ලබා ගැනීමට කම්කරුවාට අවශ්‍ය නොවූ අතර ඔහු තම අනන්‍යතාවය ලබා ගත්තේම කර්මාන්ත ශාලාව තුළින් පමණි. මේ නිසාම මේ ‘කම්කරුවා’ සහ ‘ප්‍රාග්ධන හිමියා’ අතර ‘ප්‍රතිවිරෝධතාවය’ සාදාතනික ගැටුමක් වන නමුත් මේ දෙදෙනා අතර වූ ‘පංති පරතරය’ පැහැදිලිව වෙන්කර පෙන්විය හැකි විය.

කලක් ගත වන විට කම්කරු පංතිය සම්පූර්ණයෙන්ම කර්මාන්ත ශලාව මත යැපෙනවා වෙනුවට කර්මාන්ත ශලාවෙන් පිටත දී කම්කරුවා ( worker) සහ වෘත්තිකයා (non-worker)  වශයෙන් පැහැදිලිව බෙදා වෙන්කර පෙන්වන්නට හැකියාව ලැබුනි. ඒ අනුව එතෙක් කර්මාන්ත ශාලාව තුළින් ලබා ගත් අනන්‍යතාවය ප්‍රථමවතාවට කම්කරුවාට ඉන් පිටත දී ලබා ගන්නට හැකි විය. ධනවාදය තුළ දී කම්කරුවා ( worker) සහ වෘත්තිකයා (non-worker)  අතර ඇති ගැටුම හුදු ශාරිරික ගැටුමක් නොව එය දෘෂ්ටිදී (Ideology) ගැටුමක් විය. ඒ අනුව එතෙක් පැවති ප්‍රතිවිරෝධතාවය (Contradictions ) පසමිතුරුකාවයක් (Antagonism ) බවට පත්විය.

ඒ අනුව පංති අතර ඇතිවන මෙම   පසමිතුරුකාවයන් (Antagonism ) තවදුරටත් ක්‍රීඩාවක් (Game) නොවීය. මේ නිසා මෙයට ක්‍රීඩාවේ නීතිරීති අදාල නැත. වර්ෂ 1989 පසු නව තත්ත්වය සංජානනය කරන්නට නම් අපට හෙජමොනිය (hegemony )කියන සාධකය වැදගත් වනවා. මේ කම්කරුවා ( worker) සහ වෘත්තිකයා (non-worker)  යන දෙදෙනාම දෛනික ජීවිතයේ දී  පරිභෝජනය කිරීම අනිවාර්යතාවයක් වෙනවා. මේ නිසාම තමයි මේ අය අතර ගැටමුක් නිර්මාණය වෙන්නේ. ඒ ගැටුමට තමයි අපි කියන්නේ පසමිතුරුකාවයක් (Antagonism ) කියල.

මේ නිසා ප්‍රාග්ධන හිමියාට (capitalist) පසමිතුරුතාවය විසදන්නට මැදිහත් වන්න සිදු වෙනවා. ඒ අනුව ඔහු විසින් වරෙක යථර්ථය කම්කරුවාට වාසිදායක වන විදිහට හසුරුවනවා. ඒ කාලයේ දී තමයි කම්කරුවන්ට තමන්ගේ අයිතිවාසිකම් ලබා ගන්නට හැකි වන්නේ. නමුත් තත්ත්වය දිගටම මේ විදිහට පවතින්නේ නැහැ. මේ නිසා යම් මොහොතකට පස්සේ කම්කරුවගේ ( worker) අයිතිවාසිකම් කප්පාදු කරලා වෘත්තිකයන්(non-worker) ගේ අයිතිවාසිකම් වැඩි කරන්නට ප්‍රාග්ධන හිමියාට (capitalist) සිදු වෙන්නේ. මේ පසමිතුරුතාවයන් සහිත කම්කරුවා ( worker), වෘත්තිකයා (non-worker) සහ  ප්‍රාග්ධන හිමියා (capitalist) අතර ඇතිවන අනවරත අරගලයට තමයි අපි පංති අරගලය (Class struggle ) කියලා කියන්නේ. ඒ නිසා තමයි අපි කියන්නේ ‘මාක්ස්’ ඉතිහාස කතා කියන්නෙක් නෙමෙයි. ඔහුගේ දර්ශනය කියන්නේ ඉතිහාසයටයි කියල. ඒ අනුව මාක්ස් පංති අරගලය කියලා කතා කරන්නේ ඉහත වාස්ථවික තත්ත්වයන් ගැන තමයි.

එතකොට දේශපාලනය පශ්චාත්-මාක්ස්වාදී වෙනවා කියන්නේ මොකක් ද? ‘නිෂ්පාදන සබදතා’ සහ ‘නිෂ්පාදන බලවේග’ අතර ගැටුමෙන් නෙමෙයි දේශපාලනය තීරණය වෙන්නේ. කම්කරුවා ( worker) සහ වෘත්තිකයා (non-worker)   අතර ඇතිවන පසමිතුරුතාවය මගින් තමයි දේශපාලනය තීරණය වෙන්නේ. මෙන්න මේකට තමයි හෙජමොනිය (hegemony )කියලා කියන්නේ. හෙජමොනියෙන් තමයි දේශපාලනය තීරණය වන්නේ. ලෙනින් ගේ මූලික නියමය තමයි මාක්ස්වාදී දේශපාලනයට පාර්ශවීය සම්බන්ධයක් තියෙනවා කියන එක.ඒ කියන්නේ කම්කරුවගේ  ( worker) පැත්ත අරගෙන වෘත්තිකයා (non-worker)    විවේචනය කිරීම තමයි ඔහුගේ ක්‍රමවේදය වුනේ.

එතකොට ඉහත තත්ත්වයන් අනුව  මේ ‘ප්‍රතිව්රෝධතාවයක්’ (Contradictions) සහ පසමිතුරුකාවයක් (Antagonism ) අතර තියෙන වෙනස පැහැදියි.  තමන්ගේ අනෙකාව විනාශ කිරීමෙන් නැතිනම් අනෙකාව ඉවත් කිරීමෙන් තමන්ගේ අනන්‍යතාවය සම්පූර්ණ වනවා යැයි 2005දී මහින්ද රාජපක්ෂ කල්පනා කළා. ඒ අනුව ඔහු තීරණයක් ගත්තා ප්‍රභාකරන්ව ඉවත් කර තමන්ගේ අනන්‍යතාවය සම්පූර්ණ කර ගන්න. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි අද දවසේ තමිබියාව ඉවත් කිරීමෙන් තමන්ගේ අනන්‍යතාවය හදා ගන්න හදන ඥාණසාර කෙනෙක් බිහිවෙලා ඉන්නේ. ඥාණසාරවත් නොදන්නා යථාර්ථය තමයි තමන්ට අනාගතයේ දී වෙන්න නියමිත දේ මොකක්ද කියන එක. ඒ අනුව මේ සිංහල-දෙමල ගැටුම හරි මුස්ලිම්-බෞද්ධ ගැටුම හරි කියන්නේ විඥාණවාදී යථාර්ථයක්. මේ අය කල්පනා කරන්නේ සංවෘත්ත ආකාරයෙන් පරිපූර්ණත්වයක් ලබා ගන්නයි. අනෙක් පැත්තෙන් අනෙකාගේ අනන්‍යතාවය සහමුලින්ම තැනිකලොත්  තමන්ගේ අනන්‍යතාවයත් සහමුලින්ම නැති වෙනවා යැයි කල්පනා කරන පිරිස ඉන්නවා. මේ අය කල්පනා කරන්නේ සංවෘත යථාර්ථයේ යම් පැල්මක් ඇති බවයි. යථාර්ථය හැම විටම අසම්පූර්ණ යැයි පිළිගන්නා මේ අයව අපට ද්‍රව්‍යවාදීන් යැයි හදුන්වන්නට පුළුවන්.

ඒ අනුව පශ්චාත්-මාක්ස්වාදය අපි 2005 ට අදාලව තේරුම් ගන්නේ කොහොමද? .

මේ කාලයේ දී මහින්ද රාජපක්ෂ හොදින්ම දැනගෙන හිටියා විමල්ට,චම්පිකට, රතනට,මංගලට,රාජිතට… තව ගොඩක් අයට සාරයක් නැති බව. නමුත් මහින්ද තමන්ට සාරයක් ඇතැයි ඒ යුගයේදී විශ්වාස කළා. මේ කාලයේ සාරයක් තිබුන කෙනෙක් හිටියා නම් ඔහු මහින්දට විරුද්ධ වෙනවා. ඒ අනුව වසර 2005 දී මහින්ද මේ සාරයක් නැති අයගේ සහයෝගය මත බලයට එනවා.

දැන් වසර 2014 දී මහින්දගේ ක්‍රමය 2005ට වඩා වෙනස් වෙනවා. මේ කාලය වන විට මහින්ද පැහැදිලිවම දන්වා. තමන් අවට ඉන්න අයට විතරක් නෙමෙයි තමන්ටත් සාරයක් නැති බව. ඒ නිසාම එළඹෙන මැතිවරණයේ දී මහින්ද උත්සහ කරන්නේ තමන් වගේම සාරයක් නැති අයගේ උපකාරයෙන් නැවතත් බලයට එන්නයි. මේ කාරණය තමයි ඥාණසාර තමන් නොදැන ඉටුකරමින් ඉන්නේ.

අපි මුලින් කතා කරපු ප්‍රාග්ධන හිමියාට (capitalist) මෙතනදී තියෙන කාර්ය භාර්ය කුමක් ද? ඔහු තමයි මේ අයට මුදල් ලබා දිය යුත්තේ. ඒ අනුව තමයි අද වන විට හෙජමොනිය රවීජේරත්නලාට,කිලි මහරාජලාට,ධම්මික පෙරේරලාට, ටිරාන් අලස්ලා අතට මාරුවෙලා තියෙන්නේ. වර්ථමානයේ දේශපාලනය තීරණය කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව ජනතාව විසින් ජනතා පරමාධිපත්‍ය භාවිතා කරලා  නෙමෙයි.  ප්‍රාග්ධන හිමියාට (capitalist) තමයි දේශපාලනය තමන් කැමති විදිහට හසුරුවන්න වෙලා තියෙන්නේ. ඒක මහින්දට විතරක් නෙමෙයි ඩේවිඩ් කැමරන්ටත් යථාර්ථයක්. රූපට් මර්ඩොක්ලාට ඉරාක යුද්ධයේ දී දේශපාලන තීන්දු තීරණ ගන්න හයින එන්නේ මෙන්න මෙතනින් තමයි. ‘ලැක්ලාව්’ සහ ‘ජිජැක්’ අතර වෙනස මෙතනදී හරිම වැදගත් වෙනවා. ලැක්ලාව් කියන්නේ හිස් හැගවුම්කාරකයෙන් (empty signifier ) තමයි දේශපාලන තීරණය වෙන්නේ කියලයි.ඒ කියන්නේ සමාජයේ මධ්‍ය හිස් කියන එක තමයි ඔහුගේ මූලික තර්කය. නමුත් දේශපාලනය තීරණය වන්නේමේ හිස් හැගවුම්කාරකයට අවසාන විග්‍රහයක දී ෆැන්ටාස්මැතික ආකර්ශණයක් අශ්ලීලව බිහිවීම නිසා කියන එක ගැන තමයි ජිජැක් කතා කරන්නේ. සරලව කියන්නේ නම් ‘මාස්ටර් හගවුම්කාරකය’ මනස්ගාතයක් කියලා අපි හැමෝම දන්නවා.නමුත් එවැනි හුගවුම්කාරකයක් නොමැතිව අපට සමාජ ක්‍රමයෙන් ලුබ්ධි පගාවක් ලබාගන්න විදිහක් නැහැ. මේ දේශපාලනික යථාර්ථය ගැන න්‍යායික අවබෝධයක් ලබා ගැනීම මගින් තමයි අපට භාවිතාව තේරුම් ගන්න පුලුවන් වෙන්නේ. චම්පික ජාතිවාදියෙක්,විමල් බඩුකාරයෙක්,එස්.බී බිස්නස්කාරයෙක්, ඥාණසාර චණ්ඩියෙක් කියන මේ චරිතයන් වල අපගමනය (deviation ) අපට න්‍යායෙන් තොරව භාවිතාවෙන් විතරක් අවබෝධකර ගන්නට බැහැ කියන්නේ ඒකයි. මහින්ද නම් මාස්ටර් හැගවුම්කාරකය වටා ඥාණසාරලා බිහිවන්නේ ඉහත කී ලුබ්ධි පාගාවෙන් මේ අය නඩත්තු වන නිසයි. එක්සත් ජාතික පක්ෂය මේ වන විටත් මහින්ද බලයෙන් පහ කරලා රනිල්හෝ පොදු අපේක්ෂකයෙක් බලයට ගේන ඕන බව කියන්නේ මේ ලුබ්ධි පගාව ඒ අයට දැනට නොලැබෙන නිසා මිසක් මහින්දට විරුද්ධ නිසා නෙමෙයි. පොදු අපේක්ෂකයා බලයට ගේන්න දගලන අයට අවශ්‍ය වන්නේ මහින්ද වෙනුවට වෙනත් මාස්ටර් හැගවුම්කාරයක්. ඒ වෙන දේකට නෙමෙයි, ලුබ්ධි පාගව දැන් නොලැබෙන අයට ලබා ගන්නයි. මේ අය කිසිවකුට අපි මුලින් කතා කියපු මාක්ස් කතා කරපු පංති අරගලය ගැන දැනුමක් නැහැ.(සමහර විට දැනුමක් තියෙන අය පවා අවිඥාණකව ආශා කරන්නේ තමන්ගේ ගොඩ වැඩි කර ගන්න විතරයි.) ඒ නිසා තමයි ඥාණසාරට විරුද්ධව ෆේස්බුක් එකේ ජාතිවාදයට විරුද්ධව පෙනී ඉන්න කෙනෙක් ඇත්ත ජීවිතයේ දී මේ ක්‍රමයෙන්ම යැපෙමින් මේකම නඩත්තු කරන කෙනෙක් වෙන්නේ.

මේ කාලයේ නව කම්කරු පංතිය.( මේ අය ඉස්සර කම්කරුවෝ වගේ නෙමෙයි මේ අය  දැන් වැඩ කරන්නේ ඩයලොග් වගේ සමාගම් වලයි. ඒ අය ටයි දාලා වැඩ කරන්නේ. ඇපල් අයි ෆෝන් එකක් සහ අඩුම තරමේ මරුට් කාර් එකක් තමයි මේ අයගේ සිහිනය.) පාලනය කිරීම ප්‍රාග්ධන හිමියාට (capitalist) පහසුය. ටිරාන් අලස්ට තුෂාර ගුනරත්නවත්, කිලි මහරාජාට සුසාර දිනාල්වත්,රෙනෝ සිල්වට සුදේව හෙට්ටිආරච්වත්, සෝමා එදිරිසිංහට බුද්ධික කුලසේකරවත් පාලනය කරන්න පුලුවන් වන්නේ මේකයි. ක්‍රමය මගින් ලැබෙන ලුබ්ධි පගාව මගින්  තමන් සවිඥාණකව කතා කරන දේශපාලන යථාර්ථය අවිඥාණකව පවා දෙන්නට පුලුවන් බව අපට ඔප්පු කලේ ‘කොපි වැට්’ වැඩසටහනේ දුම්න්ද සිල්වා ලගින්ම වාඩිවෙලා හිටපු රතුපස්වල රංජා හෙවත් රංජනන් රාමනායක නිසයි.

මේ අනුව බලන කොට ඥාණසාර ගැන කියන්න තියෙන්නේ මොකක්ද? තමන්වත් නොදන්න ප්‍රදේශයක ඇස්බැදගෙන ඇවිදින කෙනේක්ට අවසානයේ ගොඩක් දුර ගිහින් ඇස් දෙක ඇරලා බලන්න සිද්ධ වුනාට පස්සේ තමයි තමන් ඉන්න තැන ගැන වැටහීමක් ලැබෙන්නේ.අපි දේශපාලනය කරනවද නැද්ද කියන එක මේ කාලයේ දී වැදගත් වෙන්නේ නැහැ.මේ කාලයේ දී වැදගත් වෙන්නේ දේශපාලන නිසා අපේ ජීවිත වලට සිද්ධ වෙන්නේ මොකක්ද කියන කාරණය විතරයි. අන්න ඒ නිසා තමයි අපි දේශපාලනය කරන එක වැදගත් වෙන්නේ.

 

 

 

 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

Comments are closed.