නවකතාකරුවා හැමදේම කියන වාචාල කතා කාරයෙක් විය හැකි වුවත් කෙටිකතාකරුවා අවශ්‍ය දේ පමණක් තෝරා බේරා ගැනීමට පරෙස්සම් විය යුතුය. කෙටිකතාව නවකතාවට වඩා ප්‍රබල වන්නේ ඉන් එලෙස පරතරයන් (gaps) නිර්මාණය කරන බැවිනි. හොඳ කෙටිකතාව හැම විටම පරතරයන් තුළ එය නැවත ලියන ලෙස පාඨකයා පොලඹවයි.

අනුරසිරි හෙට්ටිගේ චේ…! කෝ…? සහ තවත් කතා කෙටිකතා සංග්‍රහයේ එබඳු කෙටිකතා කීපයකම ලියා ඇතත් මා ඉන් එක් කතාවක් පමණක් තෝරා ගන්නේ මෙම තීරුවේ වපසරිය ඉක්මවා යන ලිවීමකට අවසර නැති බැවිනි. මගේ කියවීමට හසුවන්නේ “ගැහැණු ළමය‍ාගේ දවස” නමැති කෙටි කතාවයි.

මෙම කෙටිකතාවට ප්‍රස්තුත වන්නේ වෙළඳ කලාපයේ සේවය කරaන තරුණියන්ගේ සුබ සාධනයට කැපවුන එක්තරා සංවිධානයක උපදේශකවරයකු සහ තරුණියක අතර ඇතිවන ලිපි හුවමාරුවකි. අදාල සංවිධානයේ උපදේශන ක්‍රියා මාර්ගයක කොටසක් වන තම ලිපිවල ඔවුනොවුන් හඳුන්වා ගත්තේ රහස් අංකයකිනි. එස්.ඒ. 99 යනුවෙන් තමා හඳුන්වා ගන්නා ඇය කදිම ප්‍රශ්නයක් මෙම උපදේශන සංවිධානය වෙත යොමු කරයි. තම ප්‍රශ්නය කථකයා කරන්නේ මෙසේය.

“තරුණ ගැහැනියක හා පිරිමියකු අතර ලිංගික කාරණාවෙන් තොර වෙනත් සබඳතාවක් තිබිය නොහැකිද? ප්‍රේමය කියන්නේ බදා වැලද සිප ගැනීමත් තරුණියගේ යම් දුර්වල අවස්ථාවක් බලා ඇඳක් මත පෙරලා ගැනීමක් ද? පිරිමියකුට අත් දෙකත් පුරුෂ ලිංගයත් නොමැති වුවහොත් ගැහැනියක් සැනසිය නොහැකිද? දරුවන් බිහි කිරීම පිණිස දෙවියන් වහන්සේ ලබා දුන් වරම වියරු කාමයෙන් පිරි කෑදර මොහොතක් ලෙසට මිනිසුන් සිතන්නේ ඇයි?”

මෙම උපදේශන සංවිධානයේ මහත්වරුන්ට අනුව ඇගේ ප්‍රශ්නය මීට පෙර මෙම කලාපයේ සිටින තරුණ තරුණියන් නැගූ ප්‍රශ්නවලට වඩා වෙනස්ය. ඔවුන්ගේ ප්‍රශ්න කේන්ද්‍රිය වූයේ පුරුෂ ලිඟු පිළිබඳ නොයෙක තොරතුරු – සංසර්ගයකදී ශුක්‍රාණු පහ වීමට ගතවන කාලය කන්‍යා භාවය යළි සකසා ගත නොහැකිද? කුඩා පියොවුරු වර්ධනය කර ගන්නේ කෙසේද?” ආදී වූ කරුණු වලටය.

එස්.ඒ. 99 නැගූ යට කී ප්‍රශ්නය සහ අර තරුණ තරුණියන් ගේ ප්‍රශ්න කිරීම් තුළ එළිදරව් වන ලිංගික කුතුහලය අතර කිසිදු වෙනසක් නැත. මෙම සියලු දෙනා ම එකතු වී යළි යළිත් වර නගන එකම ප්‍රශ්නය නම් ආදර සබඳතාවයකදී ආශාවේ ස්වභාවය (nature of desive) කෙබඳු වේද? යන්නය. එහෙත් එස්.ඒ. 99 තමාගේ ප්‍රශ්නය මගින් ඍජුවම තමා හිස්ටරික ගැහැනියක (hysteric) බව එළිදරව් කරන්නීය. ලිංගික නොවන ලිංගික හැසිරීමක් පිළිබඳව නගන ඇගේ ප්‍රශ්නය තුළ සැඟව ඇති සැබෑ ප්‍රශ්නය නැවත ලිවීමෙන් ඇගේ හිස්ටරික ස්වභාවය වටහා ගත හැකි වනු ඇත. එබැවින් ඇය සැබවින් ම අසන්නෙ කුමක් ද? යන්න මම මෙසේ නැවත ලියමි.

“මා පුරුෂයකු සමඟ ලිංගික සබඳතාවයකට යන්නේ කෙසේද? එබඳු සබඳතාවයකට මට ආරාධනා කරන පුරුෂයෙකුට ඒ සඳහා අනුබල දීමත්, ඔහු ඔහු මා ගැන කුමක් සිතනු ඇද්ද? මා නරක ගැහැණියකදැයි ඔහු නොසිතන්නේ ද? එබැවින් මා ගැන එබඳු වැරැදි වැටහීමක් ඇතිකර නොගන්නා විදිහේ ලිංගික සබඳතාවයකට එළඹිය හැකි ක්‍රමයක් මට කියා දිය නොහැකි ද?”

ඇය නගන මෙම සැබෑ ප්‍රශ්නය වටහාගත නොහැකි වන එච්.එන්.ඒ. නමින් තමාව හඳුන්වා ගන්නා උපදේශකවරයා (එච්.එන්.ඒ. යනු හෙට්ටිගේ අනුරසිරි ද?) අනම් මනම් කියවයි. ඔහුට වටහා ගත නොහැකි ඇය යළි යළිත් වර නගන ප්‍රශ්නය නම් ඔබට මා කවරෙක් ද? යන්නය. පියා මිය යාමෙන් පසු මව වෙසඟනක ලෙස ජීවිකාව සරි කර ගත්තත් ඇය පවිත්‍රව තබා ඇත. පුරුෂයින් ඇය පොලඹවා ගැනීමට කොතෙක් වර උත්සාහ ගෙන තිබුනත් ඇය තවම කන්‍යාවකි. මේ කන්‍යා භාවය ඇයට අර්චන වස්තුවකි. (Fetish) ඇය කන්‍යා භාවය තොරොම්බල් කිරීමත් එයට පෙර අවස්ථාවක කන්‍යාභාවය පිළිසකර කළ නොහැකිදැයි එක්තරා තරුණියක් විමසා සිටීමත් අතර වෙනසක් නැත.

ඇය දිගින් දිගට ම එච්.එන්.ඒ හට පවසන්නේ අනෙකක් නොව කන්‍යාවක වන බැවින් තමා ඔහුගේ ආදරය ලැබීමට සුදුසු තැනැත්තියක වන බව නොවේ ද? අවසානයේදි ඇගේ හිස්ටරික මනස්ගාත (Fantasy) වල ඇති එකී පණිවිඩය එච්.එන්.ඒ. වටහා ගනී. ඇය හමු වී කතා කිරීමට කැමැති බව ඔහු ඇයට දන්වයි. එහෙත් ඔහු ප්‍රමාද වී ඇත. ඇය ඒ වන විටත් ආදරය කිරීමට තරුණයකු (ඇගේ විස්තරය අනුව ඔහු තරමක ගොතයක්ද සහිත නෝන්ජලයෙකි) තෝරා ගෙන තිබුණ බැවින් එච්.එන්.ඒ. ව අතහැර දමයි.

එස්.ඒ. 99 පිළිබඳ කතා පුවත සිහියට නංවන්නේ ඩෝරා නම් තරුණියක පිළිබඳ ෆ්‍රොයිඩියානු කියවීමයි. ඩෝරා වූ කලී ෆ්‍රොයිඩ්ගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි හිස්ටරික තරුණියකි. ඇගේ පියා කේ මහත්මිය (Mrs. K) යනුවෙන් හැඳින්වෙන ගැහැණියක සමඟ සබඳතාවයක් පවත්වාගෙන ගියේය. එම සබඳතාවයට අනුබල දීමෙන් ඩෝර් ප්‍රශ්න කළේ තමාගේ පියා ආදරය කළේ මෙම ගැහැණිය තුළ ඇති කුමකටද? යන්නය. මෙම පිළිවිමසීමට ඇගේ පියා සුදුසු වන්නේ ඔහු ලිංගිකව බෙලහීණ අයකු වන බැවිනි. වෙනත් වචන වලින් කියන්නේ නම් ඩෝරා ප්‍රශ්න කරන්නේ මෛථුනය නොවන්නේ නම් ගැහැණියක සහ පුරුෂයකු ප්‍රේමයෙන් බැඳ තබන කිසිවක් වේද? යන්නය. ඩෝරා ද කේ මහත්මියගේ ස්වාමි පුරුෂයා සමඟ දුරස්ථ සබඳතාවයක් පවත්වාගෙන යමින් එම ව්‍යුහය යළිවර නගයි. එනම් පුරුෂයෙක් තමා නිදි නොවදින ගැහැනියකට ආශා කරයි (A man desires a woman with whom he does not sleep) යන්නය.

දැන් අපගේ කතාවේ එස්.ඒ. 99 ගේ මානසික ව්‍යුහය වටහා ගැනීමේ යතුර අපට හමු වී ඇත. ඇය තම පෙම්වතා ලෙස මුල්වරට තෝරා ගත්තේ නෝංජල් තරුණයෙකි. ඔහුට තරමක ගොතයක් ද වූ බව කියන විට ඉන් අඟවන්නේ ඔහු ලිංගිකව ක්‍රියාශීලී පිරිමියකු නොවන බවය. එහෙත් පසු අවස්ථාවකදී එච්.එන්.ඒ. ඇගේ පෙම්වතා පිළිබඳව විමසන විට ඇය එක් වරම අසන්නේ ‍කොයි එක්කෙනා ද යනුවෙනි. තමාගේ කන්‍යාභාවය උදුරා ගැනීමට සැරසී සිටින පිරිමි සංහාරය පිළිබඳව ද්වේශයෙන් කතා කරන ඇගේ ස්වරය තුළ මට ඇසෙන්නේ අ‍නෝමා ජිනාදරීගේ කට හඬය. ඇයට මඳකට සවන් දෙන්න.

“කෙල්ලගෙ රෙදි ඉරුණත් කමක් නෑ. උන්ගෙ පාදඩ හිතේ හදිස්සිය ඉෂ්ට කර ගන්න තමයි උන්ට ඕන. මං ඒකව පන්න ගත්තා. ඊට පස්සෙ තවත් එකෙක්ගෙ බඩජාරි ආදරේට මං මැදි උණා. ඌ අරකටත් හපන්. ඒකා මාව කාමරේකට අරන් ගිහින් කසාද බඳින්න ඉස්සෙල්ලා කෙල්‍ලගෙ කන්‍යාභාවය චෙක් කරන එක අද සම්ප්‍රදායක් කියල කරන්න හැදුවෙත් එකම දේ. දැන් තව එකෙක් මම පස්සෙ වැටිලා. ඒකා මේ වැඩපළේ මැනේජර් කෙනෙක්. කසාද බැඳලා ළමයි ළමයි තුනක් ඉන්නවා. දික්කසාද වෙලා මාව බඳින්න පොරොන්දුවක් දීලා තියෙන්නෙ. ඒ වෙනකම් එකට ඉම්මුලු. මම දන්නවා මේ පිරිමි මගෙන් ඉල්ලන්නේ මොනවද කියලා. මම කොහොමද ඒකට එකඟ වෙන්නෙ” ඇය මේ පවසන්නේ කුමක් ද? තරුණයින් කීප දෙනෙකු සමඟ සබඳතා පැවැත්වුවත්, ඉන් එකෙකු තමා හෝටල් කාමරයකට ගෙන ගියත්, විවාහක පුරුෂයෙකු සමඟ සබඳතා පැවැත්වුවත් ඇය එච්.එන්.ඒ. ඉදිරියේ පරසක්වල ගසන්නේ තමා තවමත් කන්‍යාවක බවය. ඇය එම කන්‍යාභාවය රැකගෙන පැමිණියේ ඔහු වෙනුවෙන්මය.

සායනික අර්ථයකින් (chemical Interpretation) ගතහොත් මෙය සංක්‍රාමණික (Transference) අවස්ථාවකි. මෙය ඔහුට ආකර්ෂණය වන්නේ ඔහුගේ දැනුම නිසා නම් ඔහු ඇයට සොක්‍රටීස් කෙනෙකු වී ඇත. ප්ලේටෝ ඔහුගෙ (Symposium) හි වාර්තා කරන පරිදි ඇල්සිබියාඩ්ගේ ආදරය ඉදිරියේ සොක්‍රටීස් ප්‍රතිචාර නොවයි. එය විශ්ලේෂකයකු (analyst) සහ විශ්ලේෂණයට බඳුන් වන්නකු (analysand) අතර වන සංක්‍රාමණික අවස්ථාවකි. විශ්ලේෂකයා කළ යුතු හොඳම දේ වන්නේ තමා තුළ ඇය සිතන විදියේ විශේෂිත ගුණයක් නැති බව අඟවා සිටීමය. එච්.එන්.ඒ. එහිදී සැබෑ විශ්ලේෂකයකු ලෙස හැසිරෙන බව ඇත්තය.

එහෙත් ඇය කවරෙක්ද? යන්න වටහා ගැනීමට එච්.එන්.ඒ. අසමත්ය. ඊට බොහෝ කලකට පසු හෝටලයකදී විදේශකයකුගේ සිරුරේ වෙලෙමින් සිටියදී ඇය දකින විටවත් ඔහු ඇය තේරුම් නොගනී. ඇය කවරෙක්දැයි අනුරසිරි හෙට්ටිගේටවත් වැටහී තිබේ ද?

සමන් වික්‍රමාරච්චි

ඔබේ අදහස කියන්න...