Categorized | Political

තෙල් මිළ අඩු කළ හැක්කේ රට යන මාවත වෙනස් කිරීමෙනි-නිදහසේ වේදිකාව

තෙල් මිළ අඩු කළ හැක්කේ රට යන මාවත වෙනස් කිරීමෙනි-නිදහසේ වේදිකාව
VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (1 vote cast)

“රට යන අත පිළිබඳ නොසතුටෙන් සිටින ජනවාර්ගික සුළුතරයක් පමණක් නොව සියල්ල දේශපාලනීයකරණය වීම නිසා අතෘප්තියට පත්ව සිටින විරුද්ධ දේශපාලන පක්ෂ වල සාමාජිකයන් හෙවත් දේශපාලනික සුළුතරයක් ද, රටෙන් පිට සිට රටේ ප්‍රතිපත්ති වලට විරෝධය පානා විදේශගත හෙවත් ඩයස්පෝරාගත දෙමළ ජනතාවක් ද සමනය කරගෙන ඔවුන්ගේ සහයෝගය දිනා ගැනීමෙනි. ඒ සඳහා දෙම්ළ ජනතාව සමග දේශපාලන බලය බෙදා හදා ගන්නා වැඩපිළිවෙළක් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මත පදනම් ව ඇති කරගත යුතුය; අධිකරණය, පොලිසිය, රාජ්‍ය සේවය වැනි රටේ ප්‍රධාන ආයතන දේශපාලන බලපෑමෙන් ස්වාධීන කළ යුතුය. මානව හිමිකම් උල්ලංඝණය කිරීම වලට වගකිවයුත්තන්ට ගැලවී යාමට ඉඩ නොදී නීතිය අනුව ක්‍රියා කළ යුතුය.” යි නිදහසේ වේදිකාව ජනතා ව්‍යාපාරය පත්‍රිකාවක් නිකුත් කරමින් කියයි.

 

මෙම පත්‍රිකාව අද (පෙබ. 17 දා ) මීගමුව නගරයේ සහ කොළඹ කොටුව දුම්‍රිය පොළ ඉදිරිපිට පැවැති තෙල් මිළ වැඩි කිරීමට එරෙහි උද්ඝෝෂණයන්හි දී බෙදා හරින ලද බව නිදහසේ වේදිකාවේ කැඳවුම්කාර මණ්ඩල සාමාජික බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා පැවසීය.

 

එම පත්‍රිකාවේ මෙසේ සඳහන් වේ.

 

තෙල් මිළ ඉහළ ගියේය. සොච්චම්කින් නොවේ. පෙට්‍රල් ලීටරය රුපියල් 12 කිනි. ඩීසල් ලීටරය රුපියල් 31 කිනි. දුප්පතාගේ තෙල වන භූමිතෙල් ලීටරය රුපියල් 35 කින් නැග්ගේය.

 

මේ සමඟම විදුලි බිල සීයට හතළිහකින් ඉහළට නැග්ගුවේය. බස් ගාස්තුව සීයට විස්සකින් ඉහළ නැග්ගේය. ගෑස් මිළ රුපියල් දෙසීයකින්වත් වැඩි නොවුණොත් පුදුමය. පාන් බනිස් දැනටමත් වැඩි කරලාය. බත් පැකට් එකේ සිට ප්ලේන් ටී එක දක්වා ඉහළ යාම දැනටම අරඹා ඇත. ස්කූල් වෑන් එකේ සිට ත්‍රී වීලරය දක්වා ගාස්තු වැඩිවීම අත ළඟය.

ඩීසල් මිළ වැඩිවීම නිසා බස් ධාවනය කිරීම පාඩු සහිත බව පුද්ගලික බස් සමිති සංගම් ප්‍රකාශ කළහ. ඒ සඳහා ඉන්ධන සහනාධාරයක් ලබා දෙන ලෙස ඉල්ලා ධාවනයෙන් ඉවත් වූහ. එය නීතිය කැඩීමකි. එවිට ආණ්ඩුව කළේ ඔවුන් සමග සාකච්ඡා කොට බස් ගාස්තු සියයට විස්සකින් වැඩි කිරීමය.

 

භූමිතෙල් මිළ වැඩි වීම නිසා මූදු රස්සාව කිරීම පාඩු සහිත බව කියමින් ධීවර ජනතාව උද්ඝෝෂණයක නිරතවූහ. ඔවුන් ඉල්ලුවේ වැඩි කළ භූමිතෙල් මිළ අඩු කළ යුතු බවය. ආණ්ඩුවේ ප්‍රතිපත්ති වලට සාමකාමීව රැස්වීම විරෝධතා දැක්වීම මහජනයාගේ අයිතියකි. එහෙත් සිදුවූයේ විරෝධතාකරුවන්ට වෙඩි පහරින් සංග්‍රහ ලැබීමය. එක් ධීවරයෙකු මෙහිදී දිවි පිදූ අතර තවත් පිරිසකට තුවාල සිදුවිය.

 

දැන් තෙල් මිළ පිළිබඳ ප්‍රශ්නයට නැවත හැරෙමු. තෙල් මිළ ඉහළ යන්නේ ලෝක වෙළෙඳ පොළේ බොර තෙල් මිළ ඉහළ ගිය නිසා යැයි කියන පුරුදු බයිලාව නැවතත් ඇසෙන්නට පටන් ගෙන තිබේ. ලෝක වෙළෙඳ පොළේ තෙල් මිළ ඉහළ පහළ යනවිට අපේ තෙල් මිල අඩු වැඩි කරන්න නම් ආණ්ඩුවක් මොකටදැයි ඇසූ චණ්ඩි දැන් පැත්ත පළාතක නැත. ලෝක වෙළෙඳ පොළ අනුව තෙල් මිළ වැඩි කළ අයත්, ඊට විරුද්ධ වූ අයත් දෙගොල්ලාම දැන් එකම ආණ්ඩුවේ කැබිනෙට්ටුවේ එකට ලගින නිසා කාගේ වත් කටින් නම් කිසිම සද්දයක් පිටවන්නේ නැත.

 

ආණ්ඩුව තෙල් මිළ වැඩි කළේ ආර්ථිකය කළමනාකරණය කරගනීමට නොහැකි නිසා යැයි සමහරු කියති. ඔවුන්ට අනුව ආණ්ඩුව වහාම නාස්තිකාර වියදම් නවත්වා ආර්ථිකය නිසි පීල්ලට ගතයුතුය. නාස්තිකාර වියදම් යැයි මේ අය කියන්නේ කුමණ වියදම් දැයි පැහැදිලි නැත. අද ආණ්ඩුවේ වියදමෙන් වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ ආර්ථික සංවර්ධනයට හෝ අධ්‍යාපනයට හෝ සෞඛ්යයට හෝ සංස්කෘතියට නොව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය නඩත්තු කිරීමටය.

 

එසේ වෙන්කර ඇති මුදලින් කොටසක් වැයවන්නේ යුද සමයේ රටට චීනයෙන් හා වෙනත් ඊනියා මිත්‍ර රටවලින් ආනයනය කරන ලද යුද ආයුධ සඳහා අප රට විසින් ගෙවිය යුතු ණය හා පොළී ගෙවීමටය. ඉතිරි කොටස වැයවන්නේ යුද්ධමය ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙන් යෑම සඳහා ඉදිරියට පැමිණ හමුදාවලට බැඳුණු සොල්දාදුවන් ගේ වැටුප් සහ වෙනත් දීමනා ගෙවීමට ය. අප රටක් වශයෙන් එම ඉරණමට ගොදුරු වී ඇත්තේ පසුගිය කාලයේ සියළු දෙනාගේම ආශීර්වාදය ඇතිව රට ගෙන ගිය යුදවාදී ප්‍රතිපත්තිය හේතුවෙනි.

 

එසේ නම් ඉන්ධන මිළ ඉහළ නැගීමට සහ ඒ අනුසාරයෙන් ජීවන වියදම වැඩි වීමට තාවකාලික විසඳුමක් නැත. මේ තත්ත්වය ඉදිරි අනාගතයේදී තවත් උග්‍ර වනු ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් අනුව රුපියල බාල්දු වීමට ඉඩ හැරීම නිසා දැනටමත් ඇමරිකානු ඩොලරයකින් මිළදී ගත හැකි රුපියල් ගණන 120 ක් දක්වා ඉහළ ගොස් ඇත. එය තවත් ඉහළ යාම නවත්වන්නට නොහැකිය. මේ සමඟම අප විසින් ගෙවිය යුතු වන ණය සහ පොළී ප්‍රමණයේ අගයද ඉහළ යන හෙයින් අර්බුදය තව තවත් උග්‍ර වනු නොඅනුමානය. පසුගිය කාලයේ කවුර් කවුරුත් ඉතා ආඩම්බරයෙන් කතා කළ බත් දා ගෙන කන්නට තරම් හැකියාවක් අන්දමින් තනන ලද කාපට් පාරවල්ද ඇතුළු හම්බන්තොට වරාය, නොරොච්චෝලේ බලාගාරය, දක්ෂිණ අධිවේගී මාර්ගය ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ලබා ගත් ණය මුදල් පොලී සමඟම ගෙවීමට සිදුවන නිසා තත්ත්වය තවත් බරපතළ වනු ඇත.

 

එබැවින් මෙම ප්‍රශ්නයට විසඳුම රට මෙතෙක් ආ මාර්ගය තීරණාත්මක ලෙස වෙනස් කිරීමයි. යුද වියදම් අඩුකර, රටේ ආර්ථිකය නැංවිය හැක්කේ ජාත්‍යන්තර ප්‍රජාවේ බලවත් රටවල සහයෝගය අප වෙත යළි ලබා ගැනීමෙනි. රට යන අත පිළිබඳ නොසතුටෙන් සිටින ජනවාර්ගික සුළුතරයක් පමණක් නොව සියල්ල දේශපාලනීයකරණය වීම නිසා අතෘප්තියට පත්ව සිටින විරුද්ධ දේශපාලන පක්ෂ වල සාමාජිකයන් හෙවත් දේශපාලනික සුළුතරයක් ද, රටෙන් පිට සිට රටේ ප්‍රතිපත්ති වලට විරෝධය පානා විදේශගත හෙවත් ඩයස්පෝරාගත දෙමළ ජනතාවක් ද සමනය කරගෙන ඔවුන්ගේ සහයෝගය දිනා ගැනීමෙනි. ඒ සඳහා දෙම්ළ ජනතාව සමග දේශපාලන බලය බෙදා හදා ගන්නා වැඩපිළිවෙළක් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මත පදනම් ව ඇති කරගත යුතුය; අධිකරණය, පොලිසිය, රාජ්‍ය සේවය වැනි රටේ ප්‍රධාන ආයතන දේශපාලන බලපෑමෙන් ස්වාධීන කළ යුතුය. මානව හිමිකම් උල්ලංඝණය කිරීම වලට වගකිවයුත්තන්ට ගැලවී යාමට ඉඩ නොදී නීතිය අනුව ක්‍රියා කළ යුතුය.

 

තෙල් මිළ ඇතුළු අප අද මුහුණ දී ඇති අර්බුද ජයගත හැක්කේ එමගින්ය. එමගින්ම පමණකි.

නිදහසේ වේදිකාව
2012. 02. 16
 

තෙල් මිළ අඩු කළ හැක්කේ රට යන මාවත වෙනස් කිරීමෙනි-නිදහසේ වේදිකාව , 7.0 out of 7 based on 1 rating

This post was written by:

News Editor - who has written 1291 posts on 3mana | Online news magazine.


Contact the author

Comments are closed.

3mana Online Radio – OFFLINE

Facebook Likes

3MANA Podcast Player

News Archives

Follow us