මට මා විසින් ඉදිරිපත් කළ තිසීසය අමතක වී නැත. අශෝක හඳගම නම් සිනමා නිර්මාණකරුගේ කලාත්මක-දේශපාලන ගැඹුර පැවතියේ අනෝමා ජනාදරී නම් ඔහුගේ ප්‍රක්ෂිප්ත ෆැන්ටසිය හරහාය.

අනෝමා ජනාදරී 2004 වර්ෂයේ හඳගමගෙන් වෙන් වී රැඩිකල් සංස්කෘතික උද්ඝෝෂිකාවක් වූ වහාම හඳගම පිළිබඳව එතෙක් පැවති වස්තු ගැඹුර ඛාදනය විය. 2004 වර්ෂයේ අග x කණ්ඩායමේ බිඳී යාමත් සමග මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය විය. යම් කෙනෙකුගේ ජීවිතයේ හරය ඊට බාහිරින් වූ වෙනත් සන්දර්භය සාකච්ඡා කිරීම ලංකාවට අලුත් මාතෘකාවකි.

දයලෙක්තිකය යනු චින්තනයේ වර්ධනය පිළිබඳ අදහසකි. කෙටියෙන් කිවහොත් අන් සෑම දෙයක්ම සේ චින්තනය ද වර්ධනය වෙයි. දයලෙක්තිකයේ සැබෑ තේරුම වන්නේ යමක් තුළම ඇති පරස්පරයයි. ලංකාවේ මිනිසුන් බොහෝ දෙනෙක් යමක හරය තුළම පරස්පරයක් දැකීම මහත් ප්‍රතිවිරෝධයක් ලෙස සලකයි. යමක හරය තුළ එහි ප්‍රතිවිරුද්ධ ‘දෙය’ දුටු විට බොහෝ දෙනෙක් බියෙන් වෙව්ලා යයි. පුද්ගලයකුගේ පුද්ගලික ජීවිතය තුළ හෝ සමාජ ජීවිතය තුළ යම්කිසි ප්‍රතිවිරුද්ධ ලක්ෂණයක් දුටු විට එය නිශේධනාත්මක දෙයක් ලෙස බහුතරය දකියි.

‘අක්ෂරය’ චිත්‍රපටය දක්වා අශෝක හඳගමගේ නිර්මාණ රසවිඳි බහුතර දෙනා එක්වරම අනෝමාගේ සිදුවීම නිසා උඩුයටිකුරු විය. හඳගමගේ චිත්‍රපටවලින් යම් දෙයක් අඩු වී ගිය බවක් (Substraction) ඔවුන් හඟින්නට විය. පුද්ගලයා හෝ කලා කෘතිය පිළිබඳ සමපේක්ෂණ මානය අපට අවිඥානකය. වෙනත් මානයකින් කිවහොත් හඳගමගේ කලාත්මක ජීවිතයේ හරය අපට නොපෙනී පැවති නිසා ඔහුගේ දේශපාලන ජීවිතයේ අර්ථය අධිනිශ්චය වී පැවතිණ. තවත් ගැඹුරින් ප්‍රකාශ කළහොත් අපගේ ජීවිතය තුළ හඳගමගේ කෘති 90 දශකය තුළ අධිනිශ්චය වී තිබුණේ අනෝමා ජනාදරී නම් පරමාදර්ශයක් පෙරටු කොටගෙනය. හඳගම තමන්ගේ පරමාදර්ශය ප්‍රක්ෂිප්ත කොට තිබුණේ ස්ත්‍රී ශරීරයක් දෙසටය. කලා කෘතියක දේශපාලන ගැඹුර තීරණය වන්නේ ස්ත්‍රී ශරීරයේ අර්ථකථන ගැඹුර මත යන ප්‍රවාදය මෙමගින් ඔප්පු වෙයි. අවසන් විග්‍රහයක දී කලා කෘතියක් යනු අප අප දෙසම නැරඹීමක්ය.

අනෝමා ජනාදරී කතා කරන්නට පටන් ගත් දින සිට හඳගමගේ කෘති ගැඹුර සරලමතික යැයි බහුතර පිරිමින් විශ්වාස කරන්නට ගත්තේය. ස්ත්‍රියක් කතා කරන්නට පටන් ගත් විගස කලා කෘතියක අර්ථකථන ගැඹුර සරලමතික වේ යැයි අප සිතන්නේ මන්ද? එය කලාකරුවාගේ ගැටලුවක්ද? නැතහොත් අපගේ ආශාව ඔහු පාවා දීම නිසා හට ගත් අපුලක්ද? එවිට කෘතියක ගැඹුර බාහිර යථාර්ථය නොවේ යැයි සිතන්නට අපට බල කෙරෙයි.

‘සයිකෝ’ චිත්‍රපටයේ නෝර්මන් බේට්ස් විසින් හිස්ටෙරික මාරියන් ක්‍රෙන් චරිතය ඝාතනය කර ඉන්පසුව ඇයව ඇය පැමිණි මෝටර් රථයේ ඩිකියට දමා එය අසල ඇති විශාල වතුර වළකට (Swamp) තල්ලු කර දමයි. මෝටර් රථය ක්‍රම ක්‍රමයෙන් ජලයේ ගිලී යයි. නමුත් එක්තරා මොහොතක මෝටර් රථය ජලයේ ගිලී යාම මොහොතකට නතර වෙයි. එම තත්පරයේදී ප්‍රේක්ෂක අප තුළ ක්ෂණික මානසික භ්‍රමයක් ඇති වෙයි. මන්ද යත් අප සහ නෝර්මන්ගේ ආශාව අතර බිහි වී ඇති සාම්‍යතාවය ගැන ඇති වන පුදුමය නිසාය. මිනීමරුවකුගේ ආශාව සහ අපගේ ආශාව සම්පාත වීම නිසා හටගන්නා ආතතිය තදින් අපට දැනෙන්නට පටන් ගනියි. මේ මොහොතෙදී නරඹන්නියගේ නැරඹුම්කාමය නොහොත් දැක්ම (Gaze) පරමාදර්ශහරණයට ලක් වෙයි. නරඹන්නිය මේ මොහොත් දී තම ආශාවේ ව්‍යාධිවේදය අවබෝධ කර ගනියි. එවිට ඇයට නිගමනය කරන්නට සිදු වන්නේ මෙම මුළුමහත් දර්ශනයම තමා වෙනුවෙන් ඉදිකළ එකක් ලෙසටය. එනම් තමාගේ දැක්ම වේදිකාගත කළ එකක් ලෙසිනි.

‘තනි තටුව’ චිත්‍රපටයට පසුව, එහි දැඩි සාර්ථකත්වයට පසුව අනෝමා ‘අක්ෂරය’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟදක්වන්නට සූදානමින් සිටියේය. නමුත් හඳගම ඇයට පහදා දුන්නේ එම චරිතය සඳහා ඇය නුසුදුසු බවයි. හඳගමගේ නිර්මාණ ජීවිතයේ විශිෂ්ටතම ප්‍රබන්ධ චරිතය වූයේ ‘අක්ෂරය’ චිත්‍රපටයේ ප්‍රබන්ධ චරිතයයි.

අනෝමා විසින් හඳගමට එරෙහි කැරැල්ල පටන් ගන්නේ ‘අක්ෂරය’ භූමිකාව අරභයා ය. නමුත් එය සමාජයට රහසකි. මෙම රහස සඳහා අර්ථකථන ගැඹුර පසුව එන්නේ රැඩිකල් ස්ත්‍රීවාදයෙනි. අනෝමා විසින් සැබෑ ජීවිතයේ රඟදක්වන ලද නාට්‍යයේ බහුතරයක් ප්‍රේක්ෂකයන් බවට පත් වූයේ සිංහල-ජාතිවාදී පිරිමින්ය. නමුත් කලක් ගත වන විට වාමාංශික පිරිමින් ද මේ ගොඩට ක්‍රමයෙන් එකතු විය. ‘ලංකාදීප’ සහ ‘දිවයින’ වැනි ජාතිවාදී පුවත්පත්වලද ‘රාවය’, ‘ලංකා’ වැනි රැඩිකල් පුවත්පත්වලට ද මෙම ගැටලුව අරබයා ඉඩ වෙන් කරන්නට සිදු විය.

ෆ්‍රොයිඩ්ට වැරදුන තැනක් වූයේ ස්ත්‍රීන්ට ‘සාරයක්’ ඇත යන අදහසයි. මේ නිසා ෆ්‍රොයිඩ් ස්ත්‍රීන් කියන දේවල් බොහෝ කාලයක් අසා සිටියේය. විශේෂයෙන් ඩෝරා නම් ස්ත්‍රිය කී දේවල් අධික ලෙස අසා සිටියේය. අන්තිමට ෆ්‍රොයිඩ් කීවේ මේ කතාවලට හරයක් නැති බවත් ඒවා ප්‍රහේලිකා පමණක් ජනනය කරන බවත්ය. ඔහු මෙසේ කීවේ එහෙයිනි. “ස්ත්‍රීන්ට අවශ්‍ය කුමක්ද කියා මම නොදනිමි’’ ලැකාන් මෙහිදී රැඩිකල් විය. ඔහු ස්ත්‍රීන් ගැන ප්‍රකාශ කරන ලද අදහස අතිශය ස්ත්‍රීවාදී විය. ඔහු මෙසේ කීවේය. “ස්ත්‍රීන් දන්නේ නැහැ ඔවුන් කතා කරන්නේ කුමක්ද කියල’’ සාරයක් නැතිකම ඇගේ නිදහසයි.

සමාජ යථාර්ථය යනු පලා යාමේ ෆැන්ටසියක් නම් 2004 වර්ෂයේ සිට ගම්වල දරිද්‍රතා ගැටලුවෙන් අප අනෝමාගේ කතන්දර ඇසීමට මාරු වුණෙමු. දැන් දළ වශයෙන් වසර 13 ක් පමණ ගත වී ඇත. සාහසික ලෙසම දැන් අප දන්නා පරිදි අනෝමා කියන්නේ කුමක්දැයි ඇයවත් නොදනියි. දශකයක කාලයක් ජීවිතය නාස්ති වී ඇත.

Deepthi kumara Gunarathne

Lankanewsweb

ඔබේ අදහස කියන්න...