[dropcap color=”black”]යු[/dropcap]ද්දයෙන් පසුව මේ රටේ දේශපාලනය ගැන වඩාත්ම උගත් පුද්ගලයා වන මාව විදේස් අමාත්‍යාංයේ ලේකම් හෝ විදෙස් ඇමති කලේ නම් මහින්ද රාජපක්ෂට මෙවැනි තත්ත්වයක් උදාවන්නේ නැත.

යුද ජයග්‍රහණය අද දේශපාලන වශයෙන් බිඳ වැටිලා! – ආචාර්ය දයාන් ජයතිලක

එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදය පරාජය කළ මේ රජය රටටත් ජනතාවටත් නිදහස සහ සාමය උදා කර දී තිබෙනවා.නමුත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය නිසි ලෙස ක්‍රියාත්මක නොවන බව ඇතැමුන් නගන චෝදනාවක්‌?

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා මේ රටේ ඊට පෙර සිටි ජනාධිපතිවරුන්ට කළ නොහැකි දෙයක්‌ කළා. එනම් රාජ්‍යය එක්‌ සේසත් කර රටට සාමය උදා කළා. නමුත් අද අපේ රටේ ඉතිහාසයේ සිදු වූ දෙයක්‌ නැවත වතාවක්‌ සිදු වී තිබෙනවා. එනම් යුද්ධය ජයග්‍රහණය කළ නායකයාට ඇතැම් අවස්‌ථාවලදී සාමය සුරකින්නට නොහැකි වීමයි. රටේ දේශසීමා එක්‌සේසත් කළ නායකයාට එක්‌සත් ජාතියක්‌, ජාතික විඤාණයක්‌ ඇති කිරීමට නොහැකි වීමයි. නමුත් ලෝකයේ සමහර නායකයන්ට එවැන්නක්‌ කිරීමට හැකියාව ලැබී තිබෙනවා. නෙල්සන් මැන්ඩෙලා නිදහස්‌ අරගලය ජයග්‍රහණය කළා පමණක්‌ නෙමෙයි එක්‌සත් දකුණු අප්‍රිකාවක්‌ නිර්මාණය කළා. ජවහල්ලාල් නේරු ඉන්දියාවේ නිදහස්‌ අරගලයට නායකත්වය දුන්නා පමණක්‌ නොවෙයි නිදහස්‌ ඉන්දියාව ඒකාබද්ධ ඉන්දියාවක්‌ ලෙස ගොඩනගන්නත් උර දුන්නා.

නමුත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාට මේ වන විට එතුමා උදාකළ සාමයේ ප්‍රතිලාභ පොදු මහජනතාවට සාධාරණ අන්දමින් ලබාදීමට නොහැකි වී තිබෙනවා. පමණක්‌ නොව යුද්ධයේ ජයග්‍රහණයත්, දේශපාලන වශයෙන් රැකගැනීමට නොහැකි වී තිබෙනවා. අද ශ්‍රී ලංකාවට එරෙහිව සිදුවන ජාත්‍යන්තර පරීක්‍ෂණ සහ උතුරේ දේශපාලන බෙදුම්වාදය යළි හිස එසවීම එහි ප්‍රතිඵලයක්‌. නැවත මතු වී එන සිංහල මුස්‌ලිම් ගැටුම් සහ ආගමික අන්තවාදයත් ඊටම අදාළයි.

උදාකරගත් සාමයේ ප්‍රතිලාභ සාධාරණ ලෙස ජනතාවට ලබාදීමට සහ යුද්ධයේ ජයග්‍රහණය දේශපාලන වශයෙන් රැකගැනීමට රට අසමත් වුණේ ඇයි?

මා දකින ආකාරයට එය ජනාධිපතිතුමාගේ දේශපාලන දුර්වලතාවකට වඩා එතුමා වටා ඉදිවී ඇති පවුල් ඒකාධිකාරය පිළිබඳ ප්‍රශ්නයක්‌. මා එසේ කියන්නේ රටකට එල්aලවන අභියෝගයන්ට මුහුණදීමට නම් ඒ රටේ සමාජයේ ජනතාවගේ වඩාත් හොඳ කීර්තිමත් දක්‍ෂ, උගත්, මානව සම්පත් එකතුකර ගත යුතුයි. ජාත්‍යන්තර ටෙස්‌ට්‌ තරගයකින් ජයග්‍රහණය කිරීමට නම් රටේ සිsටින හොඳම ක්‍රීඩකයන් ඊට සහභාගි කර ගත යුතුයි. ජනාධිපතිතුමාට එවැන්නක්‌ කිරීමේ හැකියාවක්‌ තිබෙන බව යුද සමයේ අප දුටුවා. නමුත් එදා සහ අද අතර කාලයේ විශාල වෙනසක්‌ ඇති වී තිබෙනවා.

සුළු ජාතික ඡන්ද පිළිබඳ අද ආණ්‌ඩුවට විශ්වාසයක්‌ නැද්ද?

සුළු ජාතික ප්‍රශ්නය හුදෙක්‌ ඡන්දය පිළිබඳ ප්‍රශ්නයක්‌ම නෙමෙයි. ඡන්දය පිළිබඳ ප්‍රශ්නයකුත් එහි තිබෙනවා. සිදු වී තිබෙන වින්නැහිය මේකයි. ශ්‍රීලනිපයට හැමදාම මුස්‌ලිම් ඡන්ද තිබුණ. ශක්‌තිමත් මුස්‌ලිම් නායකයන් ශ්‍රීලනිපය සතුව තිබුණා. මේ නිසා ශ්‍රීලනිපයට ශක්‌තිමත් මුස්‌ලිම් ඡන්ද පදනමක්‌ තිබුණා. අද ඒ ඡන්ද පදනම දෙදරලා. පලස්‌තීන සහයෝගිතා කමිටුවේ නායකයා ලෙස දීර්ඝ කාලයක්‌ කටයුතු කළ නිසා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාට වෙනත් ශ්‍රීලනිප නායකයන්ට වඩා මුස්‌ලිම් ජනතා සහයෝගය ලැබුණා. නමුත් ඒ සහයෝගය අද ජනාධිපතිතුමාට අහිමිවී තිබෙනවා.

රට තුළ ඡන්ද ප්‍රශ්නයටත් වඩා මෙයින් මතුවන තවත් බරපතළ ප්‍රශ්නයක්‌ තිබෙනවා. එනම් බටහිර රටවලින් සහ තමිල්නාඩුවෙන් ශ්‍රී ලංකාවට විශාල උවදුරු එල්ලවෙමින් තිබෙන අවස්‌ථාවකදී ලංකාවට හැමදාමත් සහයෝගය දුන් මුස්‌ලිම් රටවල් අතර ආන්දොaලනයක්‌ ඇතිවන ආකාරයට මේ අන්තවාදී බලවේග කටයුතු කිරීමයි. එයින් රටට සිදුවන්නේ විශාල හානියක්‌.

මේ අන්තවාදී බලවේගවල ක්‍රියාකාරිත්වයන් නිසාම ටීඑන්ඒ සංවිධානය හා මුස්‌ලිම් කොංග්‍රසය එක වේදිකාවට පැමිණ තිබෙනවා. සියලු මුස්‌ලිම් පක්‍ෂත් එක වේදිකාවකට පැමිණ තිබෙනවා. නැගෙනහිර පළාත් සභාවේ මුස්‌ලිම් හා දමිළ පක්‍ෂ එකට කටයුතු කරන තත්ත්වයක්‌ ඇති වී තිබේ. ඒ සියල්ලටම වගකිව යුත්තේ මේ අන්තවාදී ආගම්වාදී කණ්‌ඩායම්. මේ කණ්‌ඩායම්වල මේ අදූරදර්ශී ක්‍රියාකලාපය පාලනය කිරීමට නොහැකිවීම හෝ අකමැතිවීම ජනාධිපතිතුමා අතින් වූ වරදක්‌ ලෙසයි මා දකින්නේ.

තවත් ජනාධිපතිවරණයක උණුසුම දැන් මුළු රටටම දැනෙමින් තිබෙනවා. විධායක ජනාධිපති ක්‍රමය අපේ රටට ගැළපෙන්නේ නැතැයි යන මතවාදයත් යළිත් උස්‌ හඬින් ඇසෙන්නට පටන් ගෙන තිබෙනවා. අපේ රටේ විධායක ජනාධිපති ක්‍රමය සහ එයට එරෙහිව නැගෙන මේ මතවාදය දේශපාලන විද්‍යාඥයෙක්‌ හැටියට ඔබ දකින්නේ කොහොමද ?

පවතින ජනාධිපති ක්‍රමය යම්තාක්‌ දුරකට සංශෝධනය කළ යුතු නමුත් එය අහෝසි කිරීමට මම සහමුලින්ම විරුද්ධයි. ලෝකයේ ප්‍රධාන බලවතුන් සිටින්නේ එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්‍ෂක මණ්‌ඩලය තුළයි. ඒa බලවතුන් පස්‌දෙනාගෙන් හතර දෙනකුම ජනාධිපති ක්‍රමය භාවිත කරන අය. ඇමරිකාව, චීනය, රුසියාව සහ ප්‍රංශය. ජනාධිපති ක්‍රමය නැත්තේ බ්‍රිතාන්‍යයේa පමණයි. බ්‍රිතාන්‍යයට අද ස්‌කොට්‌ලන්තයේ බෙදුම්වාදය පාලනය කර ගන්න බැරි තත්ත්වයක්‌ මතුවෙලා. බ්‍රිතාන්‍යයේත් විධායක ජනාධිපති ක්‍රමයක්‌ තිබුණා නම් එවැනි තත්ත්වයක්‌ ඇති වෙන්නේ නෑ. ලෝකයේ දියුණුම රටවල තිබෙන ජනාධිපති ක්‍රමය ශ්‍රී ලංකාවට නොගැළපෙන්නේ ඇයි? අපේ රටේ තිබෙන ජනාධිපති ක්‍රමය ලෝකයේ දියුණු රටවල තිබෙන ජනාධිපති ක්‍රමයට වඩා යම් යම් විකෘති සහිත, වගකීම් විරහිත ජනාධිපති ක්‍රමයක්‌ බව ඇත්ත. එයට ඇති පිළියම ජනාධිපති ක්‍රමය මරාදැමීම නොව පිළිසකර කිරීමයි. 17 වැනි සංශෝධනය සහ ස්‌වාධීන කොමිෂන් සභ යළි ගෙනෙන්නේ නම් මේ පවතින ජනාධිපති ක්‍රමයේ වරදක්‌ මා නම් දකින්නේ නෑ.

ජනාධිපති ක්‍රමය අහෝසි කළොත් අපේ රටේ ඇති තත්ත්වය කුමක්‌ද?

2002 දී අපේ රටේ ජනාධිපති ක්‍රමය නොතිබුණා නම් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වශයෙන් සිටිමින් උතුරේ වෙනම රාජ්‍යයකට කිට්‌ටු තත්ත්වයක්‌ ඇතිකර ගැනීමට ප්‍රභාකරන්ට ඉඩ ලැබෙන්නට තිබුණා. එදා රට බේරුණේ ජනාධිපති ක්‍රමය නිසයි. චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියට ආණ්‌ඩු බලය සියතට ගෙන ඒ මහා පාවාදීම වළක්‌වන්නට පුළුවන් වුණේ ජනාධිපති බලතල නිසයි. එදා මේ රටේ පාර්ලිමේන්තු ක්‍රමය හා අගමැති පමණක්‌ සිටියා නම් හෝ ජනාධිපති තනතුරට විධායක බලතල නොතිබුණා නම් රටට ඒ විපත සිදුවෙනවා.

එක්‌සත් ජාතික පක්‍ෂය හැමදාම විපක්‍ෂයේ සිටිනු ඇතැයි අපට සිතන්නට බැහැ. එක්‌සත් ජාතික පක්‍ෂය හෝ ජනතා විමුක්‌ති පෙරමුණ යම් දිනක ආණ්‌ඩුව තුලනය කළ හැකි ආකාරයට වර්ධනය විය හැකියි. ඒ අවස්‌ථාවේදී පාර්ලිමේන්තුවේ බලය හිමිවන්නේ කා අතටද යන්න තීරණය කරන්නේ ටීඑන්ඒ සංවිධානයයි. ටීඑන්ඒ සංවිධානයත් හැමදාම සම්බන්ධන් මහතා අත පවතින්නේ නැත. ඔහුගෙන් පසු ටීඑන්ඒ සංවිධානයේ නායකයා කවුදැයි කිව නොහැකියි. එවැනි ටීඑන්ඒ සංවිධානයක්‌ අතට පාර්ලිමේන්තුවේ තීරණාත්මක සාධකයක්‌ වීමේ බලය මාරුවිය හැකිය. රටේ සමස්‌ත ජනතාවගේ ඡන්දයෙන් තෝරාපත්වුණු විධායක බලයක්‌ නොහොත් ජනාධිපති ක්‍රමයක්‌ නොමැත්තේ නම් ඊළඟට රටේ දෛවය තීරණය වන්නේ පාර්ලිමේන්තුවේ තීරණාත්මක සාධකය ලෙස පත්වීමට ඉඩකඩ තියෙන ටීඑන්ඒ සංවිධානය මතයි.

හැත්තෑව දශකය අගභාගයේ සහ අසූව දශකයේ මුල්භාගයේ ටීඑන්ඒ. සංවිධානය රටේ ප්‍රධාන විපක්‍ෂය බවට පත්වුණා. ඡේ. ආර්. ජයවර්ධන මහතා ජනාධිපති නොවුණා නම් එදා රටට අත්විය හැකිව තිබූ තත්ත්වය කුමක්‌ද? මෙබඳු තත්ත්වයක්‌ ඇතිවීමට හොඳටම ඉඩකඩ තිබියදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නැයි කවුරු කිව්වත් එය දැනුවත්ව හෝ නොදැනුවත්ව රටත් රටේ බහුතර ජනතාවත් දුර්වල කරන පියවරක්‌.

සිරිසඟබෝ රජතුමා කළ සත් ක්‍රියාව අප ප්‍රශංසා කළ යුතුය. නමුත් දේශපාලන විද්‍යාඥයකු ලෙස රටක්‌ රාජ්‍යයක්‌ සම්බන්ධයෙන් එවැනි ක්‍රියාමාර්ගයක්‌ අනුමත කරන්නට නුපුළුවන.
– දිවයින –

ඔබේ අදහස කියන්න...