ස්ත්‍රී දේශපාලනය කියන්නේ සංකීර්ණ විෂයක්.ස්ත්‍රියගේ ආශාව වටහා නොගන්නා තෙක් දේශපාලනයේ යෙදෙන ස්ත්‍රීන් ගැන කියවීම නිවැරිදි වන්නේ නැත.එය මේ වන විට වර්චුවල් අවකාශය තුළ මතු වී සිටින ස්ත්‍රීවාදී(?)දේශපාලනික ස්ත්‍රියන් වටහා ගැනීමටද අදාළය.
අතීතයේ පෙරටුගාමී පක්ෂයට පැමිණ තේ බී හැලප කා පස්සේ දොරින් පිටව ගිය ස්ත්‍රියන් පිළිබඳව අපට වර්ථමානයේ නිවැරිදි හා පැහැදිලි කියවීමක් ඇත.නදී ජයවීර,සිරිමලී ලියනගේ,ප්‍රභා මනුරත්න,ජානකී ,ශානිකා විජේසිංහ ඇතුළු තවත් බොහෝමයක් ස්ත්‍රීන් මේ අතර ඇත.ගැටලුව වන්නේ මේ ස්ත්‍රීන්ගේ දේශපාලනය වූයේ කුමක්ද යන්නයි.නැතහොත් මේ ස්ත්‍රීන් අප පක්ශය තුළට සොයා පැමිණියේ කුමක්ද යන්නයි. ඒ ස්ත්‍රීන්ගේ දේශපාලනික ගමන අප පක්ෂයෙන් ආරම්භ වී අවසන් වූයේ ටිං ටිංගේ වික්‍රමය ලෙසිනි.එයින් සමහරෙක් විවාහ විමට පක්ෂය බාධාවක් කොට සළකා පිටව ගිය අතර ඒ නමුත් විවාහ වූයේ නැත.නතර වූයේ තමාට වඩා වයසින් බාල තරුණයන් සමඟ රොමෑන්ටික් හිස්ටරික ප්‍රේම වෘත්තාන්තයන් පටලවා ගැනීමෙනි.තවත් සමහරු විවාහ වී ඉතා සාම්ප්‍රදායික පවුල් ජීවිත තුළට මුළු ගැන්වුනු අතර ඔවුන්ගේ අද දින දේශපාලනය වන්නේ පාන්දරින් අවදී වී සැමියාට හා දරුවන්ට බත් මුල් බැඳීමත්  රූපවාහිනී වෛද්‍ය සාකච්ජා නැරඹීමත් සිරිකත පත්තරය බැලීමත් පමණි.තවත් සමහරුන් පක්ශයෙන් පිටව ගොස් දණ හිස පහළට ඇඳි සාය අඟල් ගණනාවක් නවා කොට කරගෙන ,නැත්නම් බුරිය පේන්නට සාරිය ඇඳ තොල් රතු කරන්  ඉහළ පුටුවලට විතැන් විය. සමහරුන් මරියානා අගාධයේ සහ විශ්වයේ කළු කුහර තුල අතුරුදන් විය.
 සමණළී ෆොන්සේකලා ,නදීකා බණ්ඩාරලා වැනි ඈත සිට අපට ආශා කරන ස්ත්‍රියන් ද මතක් කළ යුතුය.එවැනි ගැහැනුන් සදාකාලීනව වර්චුවල් ලෝකයේ දේශපාලනික ස්ත්‍රියන් වී ඇත.ෆේස් බුක් තහනම් කළ කාළයේ මේ ගැහැනුන් තිගැස්සී ගිය අතර ඔවුන්ගේ දේශපාලනික වෘත්තය බරාස් ගා ඉරි තැලී ගිය බවක් පිටතට පෙනුනි.
වර්තමානයේ පෙරටුගාමී පක්ශය තුළ මේ වන තෙක් රැඳී සිටිමින් දේශපාලනික අරමුණක් වෙනුවෙන් බුද්ධිමය අරගලයක යෙදෙන පක්ෂ සහෝදරියන් හා සිරිමලීලා නදීකලා ප්‍රභාලා වැනි පක්ෂයේ පිටුපස දොරින් පළා ගිය ස්ත්‍රියන් අතර ඇති වෙනස කුමක්ද? 
2006 වර්ෂයේ මව්බිම පුවත්පත හරහා පෙරටුගාමී පක්ෂය පිටතින් හඳුනා ගැනීමට මට අවස්ථාව ලැබුනි. ඒ හඳුනා ගැනීම වඩාත් විස්තර කරන්නේ නම් මෙසේය.ඉතා සීඝ්‍රගාමී A/C බසයක අසුන් ගෙන සිටි මට බස් එක ගමන් කරන අතර කවුළුවෙන් පෙරටුගාමී පක්ෂය යාන්තමට පෙනී නොපිනී ගියේය.එ බස් එකෙන් බැස පක්ෂය තුලට යෑමට හැකි වුවද මා එසේ නොගිය අතර එවකට A/c බසය ඉතා සුවදායී විය.2014 අග භාගය වන විට ගමන් කළ බසය අනතුරකට පත් වී සෑහෙන්න කළක් ගත වී තිබූ අතර ඒ කාළයේ මා පක්ෂය හා සම්බන්ධ වන විට පෙරටුගාමී පක්ෂයේ යන්තමට ඉතිරි වී තිබූයේ නාරටිය පමණි. පක්ශ කාර්‍යාල ගොඩනැගිල්ලෙන්ද යෑමට සිදු වී තිබූ අතර කාර්‍යාලයට පැමිනෙන්නන්ට තේකක් දීමට සීනී තේකොළ පවා තිබුනේ නැත.එසේ නමුදු ඉගැන්වීම් කටයුතු නතර කර දැමීමට තරම් එවැනි බාහිර බාධක ප්‍රබල වූයේ නැත.2006 වසරේදී බසයෙන් බැස පක්ෂයට ගියා නම් සිරිමලීලා,ප්‍රභාලා නතර වී සිටින අභ්‍යන්තරික කවය තුළටම මා ද විතැන් වීමේ ප්‍රවනතාවය පිළිබඳව කිසිදු සැකයක් නැත. මේවා අහඹු සිදුවිම් නොව.නමුත් ඒවා එසේ වන්නට නියමිතව තිබුනි. 
 පක්ෂය තුළට පැමින ගිය ස්ත්‍රියන් සොයා ආවේ කුමක්ද යන්නට පිළිතුරක් ඇත.එනම් “මීට වඩා දෙයකි” . ඒ දෙය කුමක්දැයි ඔවුන් දැන සිටියේ නැත.එය අවිඥාණිකය. පක්ෂය තුළට පැමිණි පසු ඒ ස්ත්‍රියන්ට තමා සොයා පැමිණි ” දෙය( more)” ඇතුළත නොමැති බවත් එය ඇත්තේ පක්ශයෙන් පිටත බවත් වැටහුනි. නමුත් තමා සොයන ඒ වඩා වැඩි දෙය කුමක්දැයි කිසිදු ස්ත්‍රියක් දැන සිටියේ නැත.එවකට පක්ෂය තුළ සිටි පිරිමින්ද මේ ස්ත්‍රියන් සොයන වඩා වැඩි දෙය සොයා යෑමේ ගමනට එකතු විය. ඔවුන්ටද එය හමුවූයේ නැති අතර ඔවුන්ට සිදු වූ දෙය ඔවුන්ද දන්නේ නැත.
  
අපගේ පක්ශ අරමුණ වන්නේ   “අප ජීවත් වන යුගය දාර්ශණික අදහසක් ලෙස තේරුම් ගැනීමයි” , එනම් අප ජීවත් වන යුගය තාර්කික ව්‍යූහයක් තුළට ගැනීමයි. 95 දශකයේ සිටම අපට අවශ්‍ය වී තිබී ඇත්තේ එය ය. නමුත් එය අප දැන සිටියේ නැත.මේ වන විට මෙකී අරමුණ කරා අප පැමිණිමට අතීතයේ ඉදිරිපස දොරටුවෙන් පැමිණ පස්සා දොරින් පිටව ගිය ස්ත්‍රීන් හා පුරුෂයින්ගේ එකී දේශපාලනික හැසිරීම්ද හේතුවක්  විය. අප වටා සිදු වන දෙය හා සිදු වූ දේවල් විසින් අප පක්ෂයේ අරමුණ අපට ලබා දී ඇත.වඩා නිවැරිදි පැහැදිලි කිරීම වන්නේ එයයි.
උදාහරණයක් ලෙසට සිරිමලී ලියනගේ නම් ස්ත්‍රී චරිතයේ විකාශය අපට ගත හැකිය. සිරිමලී යනු දෙනියායේ සිට කොළඹට පැමිනි ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකාවකි.ඇය අප පක්ෂයට එන විට අව්වට පිච්චී ගොස් ජීවිතයේ තෙහෙට්ටුවට හේබෑවී ගිය ගැහැනියක් විය.ඇඳුමින් පවා එය මනාව පෙනුනි.පසුව පක්ෂය තුළට පැමින මේක ඇතුළේ මා සොයන දේ නැතැයි සිතා ඇය පක්ශය හැර ගිය අතර මේ වන විට ඇය අමාත්‍යාංශයක ඉහළ තනතුරක් දරයි.කිසිවෙකුටත්  ඇය සහ දීපිකා උඩුගමගේ අතර වෙනසක් අද සොයා ගැනීමට හැකි වන්නේ නැත.දෙනියාය සහ අතීත සිරිමලීව ඇයට පෙනෙන්නේ සමහරදාට සිහිනයෙන් පමණි.අප අත් හැර වැඩි දෙයක් සොයා ගිය සියල්ලන්ම මෙකී ධනපති ක්‍රමයට අන්න්‍ය වී ඇත.ඔවුන් අතීතයේ මේ ක්‍රමයටම විරුද්ධ  වූ පිරිසකි.
Frank Darabont ගේ the Shawshank Redemption සිනමා කෘතිය අපට වැදගත් වන්නේ මෙවැනි සිදුවීම් වටහා ගැනීමටය. එයට අනුව සිර ගෙදර තුළ දී  පිටත සමාජයේ නිදහස ඇතැයි කියා සිතෙන අතර ඒ පිළිබඳව ෆැන්ටසියක් නිරමාණය කර ගනී.නමුත් සිර ගෙදරින් පිටතට ගිය පසු ඒ ෆැන්ටසිය කුඩු වී යයි.සිරගෙය හා ඉන් පිටත යනුවෙන් දෙකක් නැති බව එයින් පෙන්වා දෙයි.නිදහස යනු සිරගෙදරින්ම නිර්මාණය කරනු ලබන සංකල්පයකි.
පක්ශ කාර්‍යාලය තුලඳී එයින් පිටත ඊට වඩා දෙයක් ඇති බවත් ඉන් පිටවී ගිය පසු පිටත කිසිවක්ම නැති බව වටහා ගැනීමත් සිදු වන්නේම මේ ආකාරයෙනි.
උදාර අරමුණු  සමඟ දේශපාලනය කරන්නට පැමිණෙන කිසිවෙකුත් මේ කාලයේ නැත.මේ කාලයේ දේශපාලනය කරන්නට පැමිනෙන්නේ කවියන් වීම, පොත් විචාරකයින් වී මහජන පුස්තකාලයේ කතා පැවැත්වීම , පුවත්පතක කොළමක් ලිවීම වැනි ආශාවන් උදෙසා පමණි. එනිසා මෙකී යුගය දාර්ශණික අදහසක් ලෙස වටහා ගැනීමේ ගමන පහසු නැති බව ඔබට වැටෙහෙනවා ඇත.
ස්ත්‍රී දේශපාලනය බුද්ධිමය අරගලයක් තුළට එක් තැන් නොවන්නේ බාහිර බලපෑමක් නිසා නොව ස්ත්‍රීන් තුළම පැන නඟින අවිඥානික ආශාවන්හී පෙරළි හේතුවෙනි . එකී ස්ත්‍රීන්ගේ මරණීය ආශාවන්හී අවසන අප පක්ශය අපගේ අරමුණ කරා එකතු වී ඇත.
 අප පක්ෂය ජයග්‍රාහී ලෙස බුද්ධිමය කතිකාව ඉදිරියට ගෙන යද්දී සිරගෙදර සහ පිටත යනු දෙකක් ලෙස වටහා ගත් වාමාංශිකයින් සිරගෙදරින් පිටතට දාඩිය වගුරවමින් උමං මාර්ග කණිමින් සිටින අතර ඒ උමං මාර්ග “අවතාර” ලෙසින් මේ වන විටත් පිටතට විවර වී ඇත.නිදහස සොයා උමං කණින වාමාංශිකයින් උද්‍යෝගිමත් කිරීමට වේදිකාවෙන් ෆේස්බුක් තුළට ගාල් වුණු දේශපාලනික ස්ත්‍රීයන් කිහිප දෙනෙකුද ඔවුන් සොයා ගෙන ඇත.
සහෝදර වාමාංශිකයිනි! සහතිකවම එකී ස්ත්‍රීන් ඔබව  කොතැනකට හෝ ගෙන යාවී. එය  සුපර්ස්ටාර් වේදිකාව වීමටද ඉඩ ඇත.

Ramesha Siriwardana

ඔබේ අදහස කියන්න...