පහත පළවන්නේ දීප්තිගේ මැයි දින කතාව ගැන සිංහල බුද්ධ පුත්‍රයකුගේ ප්‍රතිචාරයයි. මෙවැනි ලිපි නිර්නාමිකව පළ කරන නිසා ඒ සදහා ප්‍රතිචාර දැක්වීමේ මගක් අපට නැත. මන්දයත් නිර්නාමිකව පෙනී සිටීම වාස්තවිකත්වයක් නොවන නිසාය. උදාහරණයක් වශයෙන් බැට් මෑන් සමාජය පිරිසිදු කිරීම සදහා අපරාධකරුවන් විරුද්ධව වැඩ කරන විට වෙස් මුහුණක් පළදියි.

දී ප්ති ට අනුව ධනපතියා කියන එක ගැන සම්ප්‍රදායික වමේ විග්‍රහය වැරදියි. ඒ කියන්නෙ නව වම හිතන්නෙ වෙනත් විදියකට. නව වම කියන කොට දීප්ති මේ අඳුන්වා ගන්නෙ තමන් විතරද? නැත්නම පෙසප ය ත් එතැන ඉන්නවද කියල ඒ අයම තමයි අපිට කියන්න ඕන. ඉතින් දීප්ති මේ කියන්නෙ මේ අය පරණ වම කියපු නරක ධනපතියො නෙවෙයි. ඒ අය පුද්ගලවාදී නැහැ. ඒ කියන්නේ සමාජවාදී ද? බලන්න දීප්ති ගෙ න්‍යායික විග්‍රහය. එයා ලංකාවෙ ධනපතියො ගැන විග්‍රහ කරන්නෙ එයාගෙ අත්දැකීම් උඩ. අනුභූතිකව. එක අත්දැකීමක්. ඒ අනුව ටිරාන් අලස් පිළිබඳ දීප්ති දන්න දේ අනුව එයා න්‍යාය සම්පාදනය කරනවා. දැන් මේ අනුභූතිකවාදය එයා ගෙ ලකානියානු- ජිජෙකියානු මනෝ විශ්ලේෂණයට අනුව ආශාව-විනෝදය- සිම්ප්ටම් එක – ෆැන්ටසි ය වගේ ඒවත් එක්ක ගැළපෙන්නෙ කොහොමද? දීප්තිට අනුව එහෙම වෙන්න ඕන නැහැ. දීප්ති ට අනුව එයා න්‍යාය ගැන කතා කරන්නේ අනිත් අයව තමා වෙත ඇදල ගන්න මිසක් ලෝකය තේරුම් ගන්න නෙවෙයි. දීප්ති දන්නව න්‍යාය නෙවෙයි අවසානයේදී අදාල වෙන්නේ යථාර්ථය කියල. යථ නෙවෙයි කියල. වැදගත් වෙන්නේ තමන් ගෙ ජීවිතය. දැන් තමන් ගේ ජීවිතය මෙනෙහි කරන කොට දීප්ති ට හිතෙන්නෙ මගේ අනුග්‍රහයට ටිරාන් හිටිය නං කියල. (තවත් හොඳ ධනපතියො ඉන්නව උදාරණෙට ගන්න. මංගල වගෙ. පස්සේ දීප්ති ඒ ගැන කියාවි. මංගල තමයි ඔටාරා ට ටවුන් හෝල් එකේ මෝල් එක පිහිටුවන්න රජයෙ ඉඩම් ගොඩ නැගිලි අරං දුන්නෙ. ලසන්ත වික්‍රමතුංග මේ ගැන ලිවුව. ඔටාරා ත් හොඳ ධනපතිනියක්. බල්ලොන්ට හරි කරුණාවයි.)

ටිරාන් සාමාන්‍ය විදියට කාල ඇඳල ඉන්නව. බීඑම්ඩබ්ලිවු කාර් එකක් එලියෙ නතර කරලා තියෙනවා. බීඑම්ඩබ්ලිවු එළියෙ නතර කරල තියෙනව කියල දීප්ති කියන්නෙ හරියට ඇඟේ ගෑවෙන්නෙ නැතුව වගේ. ඔහේ නතර කරල තියෙනව. දීප්ති කියන විදියට ටිරාන් කන්නෙ පානුයි පරිප්පුයි කියමු. හැබැයි යන්නෙ බීඑම්ඩබ්ලිවු එකේ. දැන් ඇයි එහෙම සරලව කන අඳින ධනවතෙක් බීඑම්ඩබ්ලිවු එකක් එලියෙ නවත්තල තියෙන්නෙ? එතැන එයාගේ බීඑම්ඩබ්ලිවු ෂෝ රූම් එකක් තිවුන නෙවෙයි නේ? මේ එයාගෙ කාර් එක නෙ?

මෙතන තව කාරණයක් තියෙනව. දීප්ති කියනව ටිරාන් කියන්නෙ මූල්‍ය ධනපතියෙක් කියල. ඒ කියන්නෙ මූල්‍ය ධනපතියො අනිත් ධනපතියන් ගෙන් ගති ගුණ අතින් වෙනස් ද? ටිරාන් අලස් දැන් මූල්‍ය ධනපතියෙක් ද කියල අපි දන්නෙ නැහැ. හැබැයි එයා ගේ ව්‍යාපාර ඉතිහාසය නම් ඊට වෙනස්. ආරම්භයේදී ඔහු සන්නිවේදන සහ ව්‍යාපාර උපකරණ විකුණන කුඩා සමාගමක හිමිකරුවෙක්. 2002 දී රනිල් ගේ ආණ්ඩුව කාලෙ යුද විරාමයත් එක්ක ඔහු ඩයලොග් එකත් එක්ක එකතු වෙලා උතුරු නැගෙනහිර ට ජංගම දුරකතන සේවා විකුණනව. 2004 දි ඔහුට මංගල සමරවීර ගුවන් තොටුපල සමාගමේ උප සභාපති තනතුර පිරිනමනව. 2005 දි ඔහු එහි සභාපති වෙනව. ඔහුගෙ සේවා කාලය තුළ ගුවන් තොටුපළ ප්‍රති ව්‍යුහගත කිරීමට විශාල ඉදිකිරීම ගණනාවක් කරනව. 2005 ජනාධිපතිවරණයෙදි ඔහු මහින්ද රාජපක්ෂ වෙනුවෙන් එල්ටීටීඊ ය හමුවෙලා ගිවිසුමක් ගහපු කතාව ඔහුම කියල තියෙනව මාධ්‍ය වලට පස්සෙ කාලෙක. ඉතින් 2006- 2007 කාලයේ දීප්තිට මූල්‍ය ධනපතියෙක් වන ටිරාන් අලස් එක්ක වැඩ කරන්න ලැබුණා කියන එක දීප්ති පැහැදිළි කරන්න තියෙන දෙයක්. මූල්‍ය කියන්නෙ අතේ සල්ලි තියෙන එක කියන එක නම් ඒක හරි.

දැන් බලන්න දීප්ති හරකුන්ට පුන්නක්කු කවනව වගේ ඉදිරිපත් කරන අති සරල තර්ක. “ඒත් එයාගෙ රියැදුරු ඒ කාර් එක ඇතුලට වෙලා ඒසී දාගෙන ආතල් එකේ ඉන්නවා. පැරණි වමේ භාෂාවෙන් කම්කරුවා තමයි ඒසී එක දාගෙන ආතල් එකේ ඉන්නෙ. ලංකාවේ ඇත්තටම තියෙන ධනවාදය මොකක්ද කියල හදුනාගන්න ඕනෙ. මේ ක‍්‍රමය ඇත්තටම පවත්වාගෙන යන්නේ පීඩිතයා. ”දැන් ආයෙමත් කියනව පරණ වමේ භාෂාවෙන් කියල. ඒ කියන්නෙ නව වමේ භාෂාවෙන් රියැදුරා කම්කරුවෙක් නෙවෙයි කියන එකද? ඉතින් අලුත් වමේ භාෂාවෙන් එයා කම්කරුවෙක් නෙවෙයි නම් මෙතන තියෙන ප්‍රශ්නය මොකක්ද? බලන්න දීප්ති තමන් කියන දේවල ඇති සංකල්පීය ප්‍රතිවිරෝධතා නොසළකමින් මේව කියන හැටි? ඇයි ඒ? ජහමනයා ඕන එකක් හුරේ දමමින් අහං ඉන්න නිසාද?දැන් මේකද නව වමේ නව දේශපාලනය? ජවිපෙට බැනල ඒ වෙනුවට හදන දේශපාලනය? දැන් එතනින් එහාට යන කොට ප්‍රශ්නය තියෙන්නෙ කම්කරුවා ඒසී එක දාගෙන ආතල් එකේ ඉන්න එකේද?

දීප්ති ට කියන්න අවශ්‍ය බලය කියන එක උඩින්අප මත මර්ධනකාරීව පටවන එකකට වඩා අපි හැම තුළම ව්‍යාප්ත වෙලා තියෙනව කියන ෆූකෝල්ඩියානු තර්කය නම් ඇයි ඒක මේ අවුල් නැතුව සරලව කියන්නෙ නැත්තෙ? අනෙක ෆූකෝට ඉස්සර වෙලා මේක මාක්ස් තේරුම් ගත්ත. ඊට ඉස්සර වෙලා වහල් නායකයො ගොවි කැරලි නායකයො පවා මේක තේරුම් ගත්ත. ඒ නිසා තමයි කැරලි, විප්ලව නායකයො ජනයා සංවිධානය කරන්නෙ. ජනයා උඩින් පැනවෙන බලයෙන් මුදවන්න. ඒකේම අනිත් පැත්ත තමයි ජනයා සංවිධානය වූ විට බලය ගොඩ නැඟිය හැකිය කියන එක. ප්‍රශ්නෙ තියෙන්නේ මේ වගේ විග්‍රහ දීප්ති මේ කාලයේ බෙදන තෙල වන ලකානියානු- ජිජෙකියානු මනෝ විශ්ලේෂණයට ගැලපෙන්නේ කොහොමද කියන එකයි.

දැන් අපි දීප්ති ට කිව්වොත් ඔයා මේක විග්‍රහ කරන්න ඔයාගෙ ලකානියානු- ජිජෙකියානු මනෝ විශ්ලේෂණයට අනුව කියල එයා මොනව කියයිද? ටිරාන් අලස් ගේ ආශාව මොකක්ද? ටිරාන් අලස් කියන්නෙ ගුරු පවුලකින් එන කෙනෙක් නෙ? එතකොට බීඑම්ඩබ්ලිවු එක? මෙතන රියදුරා ගේ ආතල් එක ද දීප්ති ගේ ආශාව? ඒ දවස් වල දීප්තිට ඒසී තියෙන කාර්එකක් තියා නිකං එකක් තිවුනෙත් නැහැ. හැබැයි දැන් එයාට කාර් එකක් තියෙනව. ඒකට පෙට්‍රල් ගහන කොට පෙට්‍රල් ගහන මිනිහ දීප්ති ට සළකන්නෙ ධනපතියෙකුට වගේ. ආන්න දීප්ති ගේ ආශාව. රියදුරා ඒසී දාගෙන ඉන්නෙ නැතුව ගහක් යට වාඩි වෙලා හිටිය නම් මිනිහ ධනවාදය නඩත්තු කරන්නෙ නැද්ද? නැත්නම් මෙතන දීප්ති අඟවන්නෙ අර රියදුරා සැබෑ කම්කරුවෙක් ලෙස ධනවාදයට එරෙහිව ඉන් මිදෙන්න කටයුතු කරන්නෙ නැහැ කියල ද? අපි කොහොමද දන්නෙ ඇයි ඒ රියදුරා එහෙම හැසිරෙන්නෙ කියල. ඒ පිළිබඳ ඔහු දරන මතය මොකක්ද කියල. දීප්ති රියදුරාව ආශ්‍රය කරල නැහැ. ඔහු රියදුරාව දන්නෙ නැහැ. දීප්ති ටිරාන් ව ආශ්‍රය කරල දන්නව එයා හොඳ ධනපතියෙක් කියල. ඒ එයා නියම ධනපතියෙක් විදියට හැසිරෙන නිසාද? කොහොමද නියම ධනපතියෙක් හැසිරෙන්නෙ? දීප්ති ගේ අදහස් වල සංකල්පීය අවුල් ජාලයක්. ඔහු ගෙ අදහස් එකකට එකක් සංගතික නැහැ. ගැළපෙන්නෙ නැහැ. පේනව නේද දීප්ති ජනතාවට කවන පුන්නක්කු කොයි තරම් පිළුණු ද කියල?

දැන් සුදර්ශන ගුණවර්ධන දීප්ති ගේ කතාවට දීපු සිරස්තලය වන “ගම්මන්පිලයි ලාල්කාන්තයි අතර වෙනස ටීවී බලන අයට නොතේරෙන්‍නෙ ඇයි ? ” කියන ප්‍රශ්නෙ ගනිමු. අපි දන්නෙ නැහැ ලාල් කාන්ත කියපු මොන දෙයක් ගැනද මේ දීප්ති කියන්නෙ කියල. දීප්ති මේ යෝජනා කරන්නේ ලාල් කාන්ත ජාතිකවාදියෙක් කියලද? ඒ කියන්නෙ ඔහු දීප්ති වගේ ප්‍රභාකරන් විප්ලවවාදියෙක් ලෙස සළකන්නෙ නැහැ කියන එකද? දීප්ති කතාව මුලදි කිවුවෙ පැරණි වමේ ධනපති-කම්කරු බෙදීම පදනමක් නැති කතාවක් වගේ එකක්. එහෙම නැත්නම් ඒකෙ පැති ඇත්තටම මාරු වෙන්න ඕන වගේ කතාවක්. හැබැයි දැන් ඒ පිටම කියනව අද වම දකුණ පැටලිලා කියල. ඒ කියන්නේ වම දකුණ ධනපති කම්කරු බෙදීමක් අවශ්‍ය යි කියලද? එහෙම නැත්නම් ධනපති-කම්කරු වෙනුවට වම – දකුණ ගන්න බෙදීම ගන්න කියලද? අද වාමාංශිකයො දක්ෂිණාංශිකයො වෙන් කරන්න බැහැ කියන කතාවෙ ඇත්තක් තියෙනවා. දීප්ති ත් අද වාමාංශිකයෙක්. එයාම කියනව එයාව නඩත්තු කරන්නෙ ධනපතියො කියල. එහෙම නම් ඒ අය දක්ෂිණාංශික වෙන්න බැහැ නෙ? එයා කියනව ටිරාන් හොඳ ධනපතියෙක් කියල. ඒ කියන්නෙ ටිරානුත් වාමාංශිකයෙක්. ඉතින් මංගල රුවන් වගේ අයත් වාමංශිකයො එදා ඉඳලම.

දීප්ති ඇතුළු නව වමේ ආශාව නියෝජනය කරන කරුණ තමයි “ජවිපෙ“. “ලංකාවේ ජවිපෙට මොකද උනේ?“ කියල දීප්ති අහනව. ජවිපෙ වසන්ත සමරසිංහ ලා දූෂණ වංචා වලට විරුද්ධව හදපු ව්‍යාපාරය “පීඩිතයාගේ අරගල වලින් ඈත්වෙලා දුෂණ වංචා හොයන්න යනව නම් ඒක ලිබරල්වාදයක්.“ කියල දීප්ති කියනව. දැන් ඔය දීප්තිව නඩත්තු කරන ධනපතියන් ගෙන් කෙනෙක් වන මාක්ස්වාදී සුදර්ශන ල කරන්නෙත් ඔය වගේ ලිබරල් වැඩ නේද? දීප්ති ඇතුළු නව වමට අවශ්‍ය ජවිපෙ හරි මාවතට ගන්න. ඔහු ජවිපෙ ට කියන්නෙ දූෂණ වංචා ගැන හොයන්න පීඩිතයාගේ අරගලය එක්ක බද්ධ කරමින්. හැබැයි ඉස්සරවෙල දීප්ති ගෙන් අහගන්න ඕන පීඩිතයා යනු කවුද? කියල. ඔවුන් සංවිධානය කරන්න යොදා ගන්න පුළුවන් සටන් පාඨ මොනවද? කියල . දීප්ති නං හැම විටම ඉන්නේ පීඩිතයාගේ අරගල මැද. බලන්න දීප්ති ගේ තුනමාන වෙබ් අඩවිය. එහි පිරිල තියෙන්නෙ දීප්ති පීඩිතයාගේ අරගල මැද සිටින අවස්ථා පිළිබඳ නිරූපණ. දීප්ති පීඩිතයා කියන්නේ නීතිඥවරුන්ට රයිට්ස් නව් සමබිම වගේ ඇන්ජීඕ වල ක්‍රියාකාරිකයන්ට විශ්වවිද්‍යාලවලින් ඇන්ජීඕ වල ‘ඉන්ටර්න්ෂිප්‘ වලට මාසෙට රුපියල් හය දාහෙ වැටුපට පුහුනුවට එන අයට. දීප්ති පීඩිතයා ඉලක්ක කරගෙන තමයි එයාගෙ වෙබ් අඩවි පොත් පත් පළ කරන්නෙ. ඒවායේ තියෙන්නේ ආදරයෙන් පීඩා විඳින ලිංගිකත්වයෙන් පීඩා විඳින අයට ඉන් මිදෙන්න උදවු වෙන විග්‍රහ. දීප්ති ජවිපෙට කියන කොට පීඩිතයින් ගෙන් ඈත්වුණු ජවිපෙ ඒකට “ ශ‍්‍රී ලංකා ජනතා විමුක්ති පෙරමුණ වගේ නමක් දාගනියි“ කියල දීප්ති පීඩිතයන් සංවිධානය කරල තියෙද්දිත් ඇයි එයාගෙ පක්ෂය “ ශ‍්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය “ වෙන්නෙ කියල කවුරු හරි දීප්තිගෙන් ඇහුවද? ඒ මදිවට “ශ‍්‍රී ලංකා“ කියන්නෙ ජාතික රාජ්‍ය සංකල්පය නියෝජනය කිරීමකුත් නේද?

 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. සමාජ විචාර
    April 28
    දීප්තිට අපට පිළිතුරු දෙන්න බැරිලු ! ඒ අපි නිර්ණාමිකව ඉන්න නිසාලු! එහෙම කියන ගමන් ම දිප්ති අපට “සිංහල බුද්ධ පුත්‍රයකු” කියල අනන්‍යතාවකුත් දෙනව. දීප්ති ගේ න්‍යයාට අනුව “නිර්නාමිකව පෙනී සිටීම වාස්තවිකත්වයක්” නොවේ. එහෙම නම් නිර්ණාමික කියන වචනය පැවතීම ඩෙරී‍ ඩා – ෆූකෝ – ලකාන් – හෝ ජිජෙක් අනුව විග්‍රහ කරන්‍ නේ කොහොමද ? දීප්තිට අනුව විවේචනය කරන්න නම් මුහුණ දැකිය යුතුය. එසේ නම් ඇයි ඩෙරීඩා පස්සේ යමින් කතාවට වඩා ලිවීම අගය කළේ? ලියන්නා තමාම පෙනී සිටිය යුතු යයි කියන්නේ කුමන පදනමක් මතද? කියන දේට පිළිතුරු දී ගත නොහැකි වෙබ් චණ්ඩි ජාතිකවාදීන් සහ හාමුදුරුවරු පවා “අඩෝ කියපන් ඩෝ නම ” කියමින් අපට නොයෙක් වර තර්ජනය ‍කොට තිබේ. අපි නිර්ණාමිකභාවයට මුවා වි කාට හරි මඩ ගහන්නේ නම් අපේ නම ඇසුවාට කමක් නැත. අපි එසේ නොකරමු, දීප්ති ට නිර්ණාමික නොවී මඩ ගසන්නට හැකියාව ඇත. ඔහු එය කරයි. එහුට එය කරන්නට හැකි වන්නේ සමාජය – පෙරටුගාමින් පවා එම පසුගාමී ක්‍රියා උඩ දමන නිසාය. ගෝඨා ඥාණසාර හදන්නේ නැතුවා වගේ දීප්ති ලා හදන්නේ ඔහුගේ මඩ ගැසීම් දේශපාලනය අගය කරන සහ ඊට විරෝධය පළ නොකරන මේ සමාජ යයි.

    සමාජ විචාරය යනු නමකි. අපි දේශපාලන සංවිධානයක් නොවෙමු. අප සමාජ විවේචකයන් මිස සමාජ ශෝධකයන් නොවේ. අප‍ට අවශ්‍ය මිනිසුන් ට සිතන්නට සැළැස්වීමයි. ඒ සඳහා සිතිමේ අවකාශය විමුක්තියේ නාමයෙන් එන ෆැසිස්ට්වාදයේ තර්ජනයෙන් නිදහස් විය යුතුය. ඒ සඳහා අපි ලියමු. ඔබට හැකි නම් අප වාස්තවිකව ලියන දේ ගැන විවේචනය කරන්න. සාකච්ඡාවෙන් පැන යාමට දුර්වල හේතු දෙන්න එපා.

    http://104.244.127.152/~mana/දීප්ති-ගෙ-කතාවට-අපෙන්-අටු/

Comments are closed.