ජිජැක් පිළිබඳ දේශපාලන අධ්‍යනය 02

ජිජැක් පිළිබඳ දේශපාලන අධ්‍යනය 01 මෙතනින් කියවන්න

ජිජැක් පිළිබඳ විවිධ මතවාද පැතිර යමින් ඇති නිමේෂයක සැබැ ලෙස ම ජිජැක් යනු කවුද? සහ ඔහුගේ දර්ශනය කුමක් ද යන්න පිළිබඳ මහේෂ් හපුගොඩ සමග කළ සාකච්ඡාවේ දෙවන කොටස අද අපි ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

ඔබ සඳහන් කළා මනෝමූලිකතාවයෙන් බැහැර වූ විචාරයක් සමාජ ගතකළේ දීප්තිලා පමණක් බව. නමුත් මේ වන විට විවිධ පුද්ගලයන් සහ විවිධ කණ්ඩායම් සිත් ඇදගන්නා සුලු දේශපාලන විචාර කරමින් සිටිනවා …

ලංකාවෙ විචාරකයො බොහොමයක්, දේශපාලන විචාර ඇතුළු හැම විචාරයකදි ම කරන්නෙ තමන්ගෙ අදහස ප්‍රකාශ කිරීමක් (Opinion Writing) පමණයි. නමුත් වාස්තවික තත්ත්වයේ තිබෙන්නෙ මොකක්ද? අපිට අද හමුවෙලා තිබෙන්නෙ ප්‍රාග්ධනයේ ඇත්ත තර්කනය. මහින්ද විරෝධීන් සහ යහපාලනයට පක්ෂ විචාරකයො දිගින් දිගට ම කිව්වනෙ ‘දැන් හරි’ කියල. ඒ අයගෙ අදහස තිබුණෙ ‘මහින්ද එළවපුවම හරි’ වගේ අදහසක්නෙ. ඒ අතින් බැලුවම දැවැන්ත දෘෂ්ටිවාදයක් ඉස්මතු වුණ බව පේන්න තිබෙනවා. ඒ, ‘යහපාලන දෘෂ්ටිවාදය’ නමුත් ඇත්ත තත්ත්වය කුමක් ද? ඇත්ත තත්ත්වය නම් ප්‍රාග්ධනය ක්‍රියාත්මක වීම. ඒක නිරුවත්ව ම ක්‍රියාත්මක වෙනවා. නමුත් ඒ පිළිබඳ කවුරුවත් කතාකරනව ද? කෝ එතන විචාරය? එතන විචාරය නැහැ. ඒකෙන් පැහැදිලියි අපි විචාරය කරන්නෙ වාස්තවික තත්ත්වයේ නොවන බව. අර කලින් සඳහන් කළ විදියට හැමෝ ම විචාරය කරගෙන යන්නෙ මනෝමූලික තත්ත්ව තුළ. මේ හරහා කුමක් ද සිදුවෙන්නෙ. ග්‍රාම්‍ය දේශපාලන තත්ත්ව බිහිවීම.

එය වැඩි දුරටත් විග්‍රහ කරන්න පුළුවන් ද?

අපි පළමුවෙන් ම ‘ග්‍රාම්‍ය මතවාදය’ කුමක්ද කියල විශ්ලේෂණය කරගන්න වුවමනායි. මොනවද ඒ මතවාද? පළමුවෙන්ම සොයන්න ඕන සත්‍යය වශයෙන් ම ‘වම, වම ද?’ කියන කාරණය.

70 විජේවීර ප්‍රමුඛ කරගත් මතවාදය දස දහස් ගණනක් මිනී කඳු ගොඩනැගෙන ජාතිවාදයක් කරා ඇදී ගියා. එහෙම නම් සම්භාව්‍ය මාක්ස්වාදී න්‍යාය මොන දිශානතියට ද කරකැවෙන්නෙ? මෙන්න මෙවැනි තත්ත්වයක් යටතේ අපිට කොතනද ජිජැක් වැදගත් වෙන්නෙ? අපි නිවැරැදිව ම ඒ තැන හඳුනාගනිමු.

ජිජැක් පැහැදිලිව ම සාකච්ඡා කරනවා අතීත කාමය පිළිබඳ. අපි අතීත කාමයට යන්නෙ කොතනින්ද? ජිජැක් වගේම මෙහි දී හබමාස් ද වැදගත් වෙනවා. අපි අතීත කාමයට යන එක අවස්ථාවක් තමා වර්තමානයේ තිබෙන නොහැකියාව. අතීතයට ගිහින් වර්තමාන තත්ත්වය සාධාරණීකරණය කළේ කොහොමද කියල බලමු. ජවිපෙ කළෙත් ඒක ම යි. දෙමළා මරන්න වුවමනා වනවිට වර්තමානයේ තිබෙන තත්ත්වය විග්‍රකරගන්නයි ඔවුන් ජාතිවාදය ගේන්නෙ. ජාතිවාදයේ ඇත්ත තත්ත්වය එය යි. තමාගේ වාර්ගික අනෙකා සතුරා ලෙස දෘෂ්ටිමය වශයෙන් පරිවර්තනය කරගන්නයි ඔවුන්ට මාක්ස්වාදය අවශ්‍යය වෙන්නෙ. සැබැවින් ම මාක්ස්වාදය කියන්නෙ එය නොවෙයි.

ඔවුන් එබඳු දෘෂ්ටිවාදයක් ඇයි? කොහෙන්ද ඔවුන් එය රැගෙන එන්නේ?

ඇත්තට ම ඔවුන් ගමන් කරන්නෙ සම්භාව්‍ය මාක්ස්වාදය දිසාවට නොවෙයි. ඔවුන් ගමන් කරන්නෙ අතීතය දිශාවට. ඔවුන් ගමන් කරන්නෙ: සිංහලකම, පෞරාණිකත්වය, එහි තිබෙන සුපිරිසිදු බව, වීරත්වය යනාදිය වෙතයි. ඒ නිසයි ඔවුන් කැප්පෙටිපොළ, මද්දුම බණ්ඩාර යනාදි චරිත අරගෙන එන්නෙ.

මේ කාරණය ක්‍රම දෙකකට විග්‍රහ කරන්න පුළුවන්. පළමු විග්‍රය වෙන්නෙ අපේ පශ්චාත් යටත් විජිත මොහොත. මේ තත්ත්වය තුළ විශාල ප්‍රචණ්ඩත්වයකට, මර්දනයකට ලක් වෙන අපි ජාතියක් විදියට ඒ මොහොතෙ අසාර්ථකයි. තව දුරටත් කිව්වොත් ‘නිදහසෙන් පස්සෙ’ අසාර්ථකයි. මෙන්න මේ අසාර්ථක මොහොත අපිට පෙන්වා දෙනවා ‘දෙයියෝ සාක්කි අපිට තිබුණ නේද මාර අතීතයක්?’ යන මතය. ඒ අපි අතීතයට යන එක සංධිස්ථානයක්. එතනදි අපි හොයන්නෙ මානසික සමතුළිතතාවයක්. වර්තමානය අසාර්ථක වන විට අපි අතීතයට ගමන් කරනවා. දෘෂ්ටිමය සමතුලිතතාවයක් අතීතයෙන් ගන්න පුළුවන්ද කියල අපි සොයා බලනවා.

දැන් දෙවන කාරණයට එළැඹෙමු.

මේ සියල්ල සාධාරණීකරණය කිරීම සඳහා මතුකරන්නෙ කුමක් ද? දැවැන්ත ඒකාධිකාරියක්; සමස්තථාවාදයක්. තවත් සරලව ම කියනවා නම් සමස්ත ක්‍රමය ම වසා පැතිරගත් නායකත්වයක්. මහින්ද ක්‍රියාත්මක කළේ මෙන්න මේ කියපු ඒකාධිකාරිය යි. ජවිපෙ විසින් උත්කර්ෂයට නංවන ලද සිංහලත්වයේ අශ්ලීල නායකයා බවට පත්වෙන්න මහින්ද රාජපක්ෂට හැකියාව ලැබෙනවා. අවසානයේ දි මොකද වෙන්නෙ? මිනිහා එළවාගන්න ජවිපෙටත් බැරි වෙනවා. දැන් ජවිපෙ මොන විදියට දැඟලුවත් ගොඩ එන්න බැරි මෙන්න මේ හේතුව නිසා. මෙන්න මෙතනදි දීප්තිලාගෙ පෙරටුගාමි පක්ෂය නිවැරදි ස්ථාවරයක සිටි බව පැහැදිලියි. ජිජැක් වැදගත්වෙන්නෙ ඇයි කියන කාරණය වගේ ම අපි ඉන්නෙ කුමන මොහොතක ද කියන කාරණයත් මෙහි දී සැලකිල්ලට ගතයුතුයි.

එහෙම නම් සමාජවාදය සිහිනයක් ද?

මිනිස්සු පරිකල්පනීයව සිතනවා සමාජවාදයක් තියෙනව කියලා. නමුත් මේ සිද්ධ වෙන්නෙ සමාජවාදය කරා ගමන් කිරීම නොවෙයි. ඔබේ ප්‍රශ්නය තුළ යම් තැනක විමසනවා සමාජවාදය කියන්නෙ ‘හරි ෂෝක් නේද’ වගේ අදහසක්. ඒක එහෙම නැහැ. ‘සමාජවාදය ෂෝක්’ කියන්නෙ දෘෂ්ටිමය තලයක ඉඳගෙන. ජිජැක් ඔය කාරණය ඉතාමත් පැහැදිලිව ම ප්‍රතික්ෂේප කරනවා. ඔහු, තමා මාක්ස්වාදියෙක් විදියට කරන හැඳන්වීම ප්‍රතික්ෂේප කරන අවස්ථා තිබෙනවා. ඇයි එමෙ වෙන්නෙ? පැරණි අර්ථයෙන් ඔහු සමාජවාදියෙක් හෝ මාක්ස්වාදියෙක් නොවෙයි. ඔහු එක් අවස්ථාවක ප්‍රකාශ කරනවා තමන් එය තුළ පිහිටුවාගන්නෙ කොහොමද කියල කියන්න බැහැ කියල. නමුත් ඔහු සමාජවාදී සම්ප්‍රදාය තුළ ඉන්නවා. ඒ සමගම අපිට සමාජවාදය පිළිබඳ බොරු ෆැන්ටසියක් දෙන්නෙ නැහැ. ඒ ෆැන්ටසිය දීම ඔහු ප්‍රතික්ෂේප කරන නිසා ම යි ඔහු තව තවත් වැදගත් වෙන්නෙ. නමුත් ලංකාවෙ වෙන්නෙ එය නොවෙයි. ජිජැක් පැහැදිලිව ම මේ අදහස ප්‍රකාශ කරනවා. ‘මේ මොහොතේ වැදගත් ම දේ ක්‍රියාත්මක භාවය නොව සිතීම ය.’ කියා ඔහු පවසනවා. මේ මොහොතේ අපිට ලැබිය හැකි ලොකුම ජයග්‍රහණය වෙන්නෙ සිතීම බව ඔහු වැඩිදුරටත් පවසනවා. ඇත්තට ම මේ මොහොතෙ කවුරුන් හෝ සමාජවාදය ගැන කතාකරනවා නම් ඔහු උම්මත්තකයෙක්. 

|මතු සම්බන්ධයි
සාකච්ඡා සටහන – ජයසිරි අලවත්ත

ජිජැක් පිළිබඳ දේශපාලන අධ්‍යනය 01 මෙතනින් කියවන්න

සත්හඬ ලිපිය මෙතනින් බලන්න

 

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

Comments are closed.