සුමිත්‍රා රාහුබද්ධ දිගැසිය නමින් මොරාවියා ගේ The Woman of Rome පරිවර්තනය කරන්නේ තුන්වන වරටය. මීට පෙර මෙම නවකතාව ලීලා අනුරුද්ධිකා කුලතිලක විසින් ‘පුරඟන’ නමින් ද මුනිදාස සෙනරත් යාපා විසින් ‘රෝම ලලනායනය’ යනුවෙන් ද සිංහලට නගා ඇත. එසේ තිබියදී සුමිත්‍රා එයම යළි පරිවර්තනය කිරීම සඳහා ‍තෝරාගත්තේ මක්නිසාද?

සුමිත්‍රා මේ පොත පළ කළ ආසන්නයේම තවත් පොතක් ලියුවාය. ‘දැක නෙක විලස’ නම් වූ එම කෘතිය ඇගේම චරිත කතාවයි. දිගැසිය ද එක්තරා විදියකින් කල්පිත චරිතයක් වුව එක්තරා ගැහැනියකගේ චරිත කතාවකි.

මොරාවියාගේ The Woman of Rome නවකතාව නූතන වාදී සාහිත්‍ය ප්‍රවණතා අතර අතිශය දේශපාලනික කියවීමක් සම්ප්‍රදානය කරන නිර්මාණයකි. එය දේශපාලනික වන්නේ එහි සන්දර්භය මුසෝලිනී ගේ ෆැසිස්ට් පාලනය තුළ පිහිටන නිසා නොව ඉන් මිනිසාගේ සාංදෘෂ්ටික (existancial) පැවැත්ම තොරොම්බල් කරන බැවිනි. සුමිත්‍රා රාහුබද්ධ තම පරිවර්තනයේ ලා ප්‍රකාශයට පත්කර නැතත් මොරාවියා ලියා ඇති පරිදි ඔහු මෙම නවකතාව ලිවීමට තෝරා ගත්තේ ව්‍යක්ත ශෛලියකි. එහෙත් නූගත් සාමාන්‍ය ගැහැනියක උත්තම පුරුෂයෙන් කියන කතාවක් සඳහා එබඳු ව්‍යක්ත බස් වහරක් උචිත වේද යන්න පිළිබඳ මොරවියා තුළම කුකුසක් තිබිණි.

මොරාවියා පරසක්වල ගසන කරුණක් නම් කටවහරට වඩා ලියන බස වාගාලංකාරයෙන් (poetical) බර වන්නාසේම වඩාත් සත්‍යයට ළං වන බවයි. මෙම නවකතාවේ එන වෙසඟනක වූ ඇඩ්‍රියානා බඳු ස්ත්‍රීන් ඇය තම කතාව කියාගෙන යන ආකාරයෙන්ම කතා නොකරන බව මොරාවියා පිළිගනී. ඇගේ පන්තියේ ස්ත්‍රීන් තම හැඟීම් ඇය මෙහිලා ප්‍රකාශ කරන ආකාරයෙන්ම එළිදක්වන්නේ නැත. මොරාවියා මෙහිදී කරන අත්හදාබැලීම නම් ඇඩ්‍රියානාට එබඳු වාගීශ්වර ශක්තියක් (verbal power) තිබුණේ නම් ඇය තම කතාව කියනු ඇත්තේ තමා මෙහිලා අනුදත් ශෛලියෙන් විය හැකි බවය.

මෙම නවකතාව තෙවරක්ම සිංහලට නැඟී තිබුණත් මොරාවියා ගේ සද්භාව වාදී (ontological) ලෝක දෘෂ්ටිය පරිවර්තකයින් ගේ ඇඟිලි අතරින් රූරා ගොස් ඇත. මොරාවියාට අනුව ඔහුගේ ප්‍රයත්නය වී ඇත්තේ ඇඩ්‍රියානා ගේ සදාචාර ලෝකය ඇ‍ෙග් කථනය මඟින් නියෝජනය කිරීමය. මෙම ලිවීමේදී මොරාවියා තමාගේ කාලයට ඉදිරියෙන් සිටී. ඇල්බර්ටෝ මොරාවියාගේ The Woman of Rome හි ප්‍රථම ඉංග්‍රීසි පරිවර්තනය පළ වන්නේ 1949 දීය. ඔහු තමාගේ කාලය අතික්‍රමණය කරමින් ලැකාන් සහ ජිජැක් කල් තබා කියවා තිබුණාක් මෙනි.

මෙම නවකතාවේ එක්තරා අවස්ථාවක මිනෝ නමැති විප්ලවවාදී තරුණයා සහ ඇඩ්‍රියානා අතර වන සංවාදයක දී තරුණයා පවසන්නේ දේවල් පවතින්නේ අප ඒවා පවතින බව විශ්වාස කරන බැවින් බවයි. එබැවින් ලෝකය වූ කලී නියෝජනයන් ගේ (representations) ලෝකයකි. මිනෝ එය පවසන්නේ මෙසේය. “Don’t you know this is the world of as if?” ඒ අනුව හිඟන්නාගේ සිට රජු දක්වා සැවොම කරන්නේ තම තමාගේ චරිත රඟපෑමයි.

මොරාවියාගේ මෙම ලිවීම් පසුබිමෙහි ඇති දේශපාලනය සහ දාර්ශනික ගැඹුර පරිවර්තනයේ දී ලිස්සා ගොස් තිබෙන බව කීමට මට සිදුවේ. මොරාවියා මෙහි එන ඇස්ටරිටා (Astarita) නමැති පොලිස් නිලධාරියාගේ චරිතය ගොඩ නඟා ඇති ආකාරය විමසන විට මට නැවත කියවා බැලීමට සිත් දෙවූ ස්ලැවෝජ් ජිජැක් ගේ රචනාවක් නම් The Perverse Subject of Politcs Lacan as a Reader of Mohammed Bouyeri නම් ලියවිල්ලයි.

ජිජැක් කියන්නාක් මෙන් ඇස්ටරිටා වූ කලී මහා අනෙකාගේ (Big other) අපේක්ෂාව ඉටුකරනා ශුද්ධ වූ හස්තයකි. මේ නිසා මෙම විපරිත මිනිසා (pervert) පවසන්නේ තමා කිසිවකු කූඩුවට (goal) නොයවන බවත් තමා කළේ තමා විසින් කළ යුතුව තිබූ රාජකාරිය බවත්ය. යුදෙව්වන් සමූල ඝාතනය කළ හිට්ලර් ගේ නාසි හමුදාවේ ප්‍රධානියා වූ හෙන්රිච් හිම්ලර් (Henrich Himmler) පැවසුවේත් එවැන්නකි. ඔහුට අනුව එය කිසිවකු විසින් කළ යුතුව තිබූ අවලස්සන රාජකාරියකි. සාමාන්‍ය ජනතාව වෙත තුවක්කු එල්ල කරන ඕනෑම සෙබළකු පවසනු ඇත්තේ ද එයමය.

තෙවරක් සිංහලට නැඟුණත් මොරාවියා නිවැරදිව ග්‍රහණය කර ගැනීමට පරිවර්තකයින් අසමත්ව ඇත. රෝම ලලනායනය ලියන මුනිදාස සෙනරත් යාපලාට නම් මෙලෝ මළදානයක් තේරී නැත. සුමිත්‍රා මෙහි ලා යම් උත්සාහයක් ගෙන ඇති බව කිව යුතුය. පරිවර්තනයේ දී අනවශ්‍ය ලෙස තමා වෙත පනවාගන්නා සදාචාර තහංචි නිසා අ‍ැගේ කියවීම පටුවෙයි. පරිවර්තනවලදී අප මුහුණ දෙන ප්‍රශ්නය නම් ඒවා පසු සංස්කරණය කිරීමකට ලක් නොකොට එළියට දැමීමය. එසේ වන්නේ නම් මෙබඳු ගැටලු බොහෝ කොට මඟහරවා ගත හැක.

සමන් වික්‍රමාරච්චි

ඔබේ අදහස කියන්න...