පසුගිය දිනෙක අනුරාධපුරයේ ගුරුවරියක් සහ අරගලයේ වීරවරියක් ලෙස හඳුන්වන ලද කෙනෙකු විසින් රවටන ලද තැනැත්තෙක් Youtube වෙත වීඩියෝවක් මුදා හැර ඇත. එහිදී, ඔහු පවසන දෙය සාරාංශගත කොට කියන්නේ නම්, එය මෙසේ ය: “ මේ තැනැත්තිය විසින් යථාර්ථයේ ඇත්තටම සිදු නොවූ දේවල් ප්‍රබන්ධගත කරයි. තමන්ගේ සැමියා නොකරපු දේවල් ඇත්තටම සිදු වූ දේවල් ලෙස ප්‍රබන්ධගත කරයි. මිනිසුන්ගෙන් සල්ලි ගන්න විවිධ බොරු කියයි. මගේ ඔළුවත් විකාර වෙනවා මේවා හින්දා. මගේ සල්ලිත් ඉවර වුනා මේ විකාරයට අහුවෙලා. ඇත්තටම මෙතන වෙන්නේ මොකක්ද? මේකේ භයානක පැත්ත මෙයා පාසැල් ගුරුවරියක් වීමයි. ඇගේ සැමියාත් පාසැල් ගුරුවරයෙකි. ඇත්තටම, මේ ලෝකෙට මොකක්ද මේ වේගෙන යන්නේ? ”

 

             ඉහත වීඩියෝවේ සඳහන් වන ගුරුවරියගේ ක්‍රියා කලාපය නිසා අපට මතක් වූයේ, 2004  x සිදුවීමයි. 2004 සිදුවීමට පාදක වූ ප්‍රධාන චරිතය ද එකල හැසිරුනේ මේ වීඩියෝවේ සඳහන් වන ගුරුවරිය ලෙසිනි.

              අප කතා නායකවරිය තම ප්‍රබන්ධ කලාව ආරම්භ කරන ලද්දේ, තම මවගෙනි. ඇය සංවිධානය තුළ එවකට සිටි ප්‍රධාන චරිත දෙකකට තම මව තමන්ට කරන ලද අකටයුතුකම් වලින් තම ප්‍රබන්ධ කලාව පටන් ගන්නා ලදී. ඇය කීවේ තමන්ට තම මව කන්න නොදෙන බවයි. මේ නිසා, ඉහත කී චරිත දෙක කොට කලිසම් පිටින්ම කඩේ ගොස් ඇයට අවශ්‍ය කෙටි ආහාර මල්ලක් ඇය වෙතට රැගෙන එන ලදී. ඇගේ මේ ප්‍රබන්ධ කලාව නිසා ගම්බද ප්‍රදේශවලින් කොළඹ පැමිණි පිරිමින් දෙදෙනා හොඳටම ඇන්ඳෙන ලදී. මින්, එක පිරිමියෙකු ඇගේ පෙම්වතා බවට පවා පසුව පත් විය. අපගේ කතාවට සම්බන්ධ චරිතය ද ගුරුවරියක් විය. වසර දෙකක් පුරා ඉහත ගම්බද ගොයියන් දෙදෙනාව තම ප්‍රබන්ධ කලාව හරහා හොඳටම රැවටීමට මෙම ගුරුවරියට හැකි විය. 2004 වර්ෂය වන විට දී, යථාර්ථය සහ තමන්ගේ අහම[ego] අතර වෙනස පවා වෙන් කර ගත නොහැකි මට්ටමට ඉහත ගොයියන් දෙදෙනාගේ මනස විකාරසහගත විය. අවසාන කාලයේ දී, ඇය විසින් ගොතන ලද ප්‍රබන්ධ ඉතාම ආකර්ෂණීය ඒවා විය.

          ඇයගේ නිවසට සහ කාමරයට හදිසියේ සොරුන් කඩා වැදී ඇති බව ඒ අසළ තිබූ අප සංවිධානයට දන්වන ලදී. එවිට, සංවිධානයේ පිරිස විසින් ඇගේ ප්‍රබන්ධ සත්‍යයක් ලෙස බාර ගත් පිරිමින් දෙදෙනා ද ඇතුළත්ව ඇගේ නිවසට සොරුන් අල්ලන්නට ගිය අතර කිසිදු සොරෙකු හමු වූයේ නැත. මන්ද, මේ සොරුන්ගේ කතාව ඇගේම ප්‍රබන්ධයක් වන නිසා ය. වසර දෙකක ඇගේ මෙම ප්‍රබන්ධ මෙහෙයුම නිසා, අපගේ සංවිධානයේ ව්‍යුහය තුළ කාඩර් මට්ටමේ සිටි බහුතර දෙනෙකුගේ අහම සහ යථාර්ථය අතර වෙනස මැකී යන ලදී. යම් කෙනෙකුගේ ඊගෝව නැතහොත්, අහම සහ බාහිර යථාර්ථය අතර ඉර මැකී ගිය විට දී, ඉබේටම මතිභ්‍රමවාදියෙකු (Paranoiac) බවට පත් වෙයි. එවිට, ඒ කෙනාගේ සුපිරි- අහම[superego] සහ අවිඥාණය අතර සම්බන්ධය ලුහු වෙයි.

 

         පැපොල වෛරසය, තරමක සුවිශේෂී වෛරසයකි. එම රෝගය වැළඳුණ කෙනෙකුගේ ප්‍රතිශක්තිය විසින් රෝගය උත්සන්න වන විට දී, වෛරසය පරාජය කරයි. ඉන්පසු, රෝගය සුව වෙයි. රෝගය සුව වූවාට පසු ද රෝගියාගේ ඇට මිදුළු තුළ වෛරසය සැඟවෙයි. ජීවිතයේ ඉදිරි දිනෙක වෙනත් හේතුවක් නිසා රෝගයක් වැළඳුණහොත්, රෝගියාගේ ප්‍රතිශක්තිය දුර්වල වී නැවත පැපොල වෛරසය ශරීරය තුළ ක්‍රියාකාරී වීමට පටන් ගනියි. ‘ජස්ටින් බීබර්’ නම් ජනප්‍රිය ගායකයාගේ පාර්ශවීය අංශභාගය හටගත්තේ ද, ඉහත ආකාරයේ වෛරස ක්‍රියාකාරීත්වයක් හරහා ය.

          අපි දැන් නැවතත්, අපගේ පළමු උදාහරණය වෙතට යමු. 90 දශකය අග භාගයේ සිට අපගේ සංවිධානයට ද හිටපු පරණ වමේ අය සහ ජවිපෙන් ඉවත් වූ පුද්ගලයන් ද එකතු විය. දේශපාලනය සහ ධනවාදය පිළිබඳ මෙම පුද්ගලයන්ගේ ඥාණ-විභාගය (දැනුම පිළිබඳ ගැටලුව) සහ X ඥාණ-විභාගය අතර කවදත් පැවතියේ පෑස්සිය නොහැකි පරතරයකි නැතහොත්, පසමිතුරුභාවයකි. සරලව කිවහොත්, පරණ වමේ අය සහ ජවිපෙ අය දේශපාලනය සහ ධනවාදය පිළිබඳ ගැටලුව සෑම විටම සලකා බැලුවේ ‘සංවේදන’ (Senses) වලට අදාළ අඩවි තුළ දී පමණි. එතනින් එපිට ‘තර්කයට’ අදාළ අනුභූති උත්තර ක්ෂේත්‍රය (අත්දැකීමට එපිට ප්‍රදේශය) යනු, කිසිසේත්ම පරණ ජවිපෙට දිරවන්නේම නැති දැනුමේ කලාපයකි. එම නිසාම, X සංවිධානය තුළ සිටි පරණ වම්මුන් කිහිපදෙනා සහ ජේවීපීකාරයන් දෙතුන්දෙනා සහ සංවිධානයේ ව්‍යුහවාදී චින්තනය අතර පැවතියේ, මාරාන්තික පසමිතුරුභාවයකි.[Antagonism] ඒ නිසාම මෙම පුද්ගලයන්ගේ ‘පුද්ගල නාමමාත්‍රවාදය’ සහ බාහිර යථාර්ථය අතර X සම්බන්ධයෙන් පැවතියේ, මතිභ්‍රමවාදයකි. මතිභ්‍රමවාදය යනු, යථාර්ථය පිළිබඳව පුද්ගලයන් විසින් ගොඩනඟන පුද්ගලික අර්ථයන් ය. උදාහරණයක් ලෙස, සිංහල ජාතිවාදියා තමන්ට බාහිරින් සිටින දෙමළාගේ තර්ජනය පිළිබඳව හදන ප්‍රබන්ධ සලකා බලන්න. ඒවාට වාස්තවික පැවැත්මක් නොමැති අතර ඒවා පුද්ගල විඥාණයේ ප්‍රබන්ධයන් ය.

          ඉහත සංසිද්ධි දෙක අතර වෙනස තාර්කික මනසකට අනුව පවතින්නේ, අසම්පාතයක් (Parallax) ලෙසිනි. එක සංසිද්ධියක් වන්නේ, ගුරුවරියට තම මව සමඟ පැවති පුද්ගලික ආතතිය යි. අනෙක් සංසිද්ධිය වන්නේ, සංවිධානයේ ව්‍යුහවාදී ඥාණ-විභාගය (මෙය, ලංකාවේ වාමාංශයට ඉතාම නුහුරු දැනුම් පද්ධතියකි) සහ පරණ වාමාංශික චින්තනය අතර පැවති පසමිතුරුභාවය යි. මේ ප්‍රවණතා දෙක අතර වාස්තවික තලයේ මුණ ගැසීමක් නැත. ඇත්තේ, සදාතනික ගැටුමක් පමණි.

            නමුත්, 2004 වර්ෂයේ අග දී මෙම පරස්පර සිදුවීම් දෙක අර ගුරුවරිය හරහා එකට සම්මුඛ වූ විට දී සිදු වූයේ, පුපුරා යාමකි. බාහිරින් සිටින අයට මෙම සංසිද්ධිය ඒත්තු ගන්වනු ලැබුවේ, නායකත්වය ඒකාධිපති යැයි යන නිබන්ධනය හරහා ය. මෙවැන්නක් සිදු වූ විට ඉතිහාසයේ ඊට පෙර මෙවැන්නක් ගැන පූර්වාදර්ශයක් නැති නිසා, නිකන් සිටීම හැර වෙන කරන්නට දෙයක් නැත. මින් විපුල ප්‍රයෝජන ගත්තේ පරණ වමට සම්බන්ධ වමෙක් ය. එයට දොස් කිව නොහැක්කේ, තාර්කික පුද්ගලයෙකු අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම ලංකාවේ සම්මතයට විරුද්ධ නැති නිසා ය.

           ලංකාවේ දේශපාලන පක්ෂ සහ බාහිර සමාජ යථාර්ථය අතර පවතින්නේ, පෑස්සිය නොහැකි පරතරයකි. විශේෂයෙන්, 1989 අරගලයේ පරාජයට පසුවත් මෙම පරතරය ක්‍රම ක්‍රමයෙන් තීරණාත්මක ලෙසින් වැඩි විය. දේශපාලනය සහ යථාර්ථය අතර පරතරය සම්බන්ධ අවධි ලක්ෂය ලෙස අප ගත යුත්තේ, 89 වර්ෂය යි. විජේවීර අත්අඩංගුවට ගැනීමට පෙර තම නිවසින් පිට නොවී එතැනම සිටීමට පිටුබලය ආවේ D.M. ආනන්ද ගැන තිබූ භක්තිය යි. නමුත්, විජේවීර නොදැන D.M ට වයස 17 ක තරුණියක් සමඟ අනුරාගික සම්බන්ධයක් තිබූ අතර ඔහු RDF දැලට අසු වන්නේ, එම සම්බන්ධය නිසා ය. මෙය කියවන කෙනෙකු මෙම සිද්ධිය ඉතා ක්ෂුද්‍ර ආත්ම මූලික දෙයක් ලෙසින් පුරුද්දට සලකුණු කරනු ඇත. නමුත්, දේශපාලන නිලය ඇත්තේ ද මෙතැන ය. ලතින්-ඇමරිකානු අත්දැකීම් හරහා ඇමරිකානු හමුදා ඇකඩමිය ලංකාවේ හමුදාව පුහුණු කරන්නේ, ගම- නගරය අතර පසමිතුරුතාවය නිසා හට ගන්නා මානසික අගතීන් සමතික්‍රමණය කිරීම සඳහා ය.

             2004 සිදුවීමට පසුව පන්තිය මත පදනම් වූ ඥාණ- විභාගයන් වෙනුවට පසමිතුරුභාවය මත පදනම් වූ දැනුම් පද්ධති අධ්‍යයනය කරා අප නාභිගත වූයේ, ඉහත ඓතිහාසික සංවේදීතාවය අපට අවබෝධ වූ නිසා ය. විශේෂයෙන්ම, සමාජ මාධ්‍යවල පැතිරීම අධික වූ යුගයක ‘සමාජ සබඳතා’ යන්න අධික ලෙස ප්‍රබන්ධකරණයට ලක් වීම අනිවාර්ය ය. ”යථාර්ථය” [Reality] යන්න වඩ වඩාත් ප්‍රබන්ධ බවට පත් වීම දැන් කිසිවෙකුට වැළැක්විය නොහැකි ය. කෙනෙකු කොතරම් ප්‍රායෝගික [practical] දැයි කිරා මැණ බලන්නේ, Like සහ Share වල ප්‍රමාණාත්මක අංක වලිනි.

            අපි මෙතෙක් කී දේවල් දැන් මෙලෙස සාරාංශගත කරමු. අනුරාධපුරයේ ගුරුවරියගේ සිට අප සංවිධානයේ පිපිරීමට අදාළ ගුරුවරිය දක්වා අය ගොතන ප්‍රබන්ධ බොරු බවත්, ඒ වෙනුවට සමාජ යථාර්ථය යනුවෙන් ඊට බාහිරින් සත්‍යයක් පවතින බවත් අප සිතනවා යැයි ඔබ කියන්නේ නම්, ඔබට අප කියන දේ වැටහී නැත. මිනිස්සු බොරු කියන්නේ මුදල් ගරා ගැනීමට යැයි කෙනෙකු සිතනවා නම්, ඒ තැනැත්තා ඇතුළ් වී ඇත්තේ, වංකගිරියකට ය. දැන්, අපි ගැටලුව කණපිට හරවමු.

සමකාලීන යුගයේ දී, මිනිසුන් බොරු නොකියනවා නම් සහ මානසික රෝගී තත්ත්වයන් හදාගෙන නොමැති නම්, ඔවුන්ට බාහිර යථාර්ථය සමඟ සම්බන්ධ වීමට නොහැකි ය. අනුරාධපුරයේ ගුරුවරියට අන්තර්ජාලය හරහා හමුවන කල්පිත පෙම්වතා වසඟය සහ යථාර්ථය අතර වෙනස නැතහොත්, පිටපත සහ අනු පිටපත අතර වෙනස නො වටහා ගන්නා නිසා, පෙම්වතා පැරණි ලෝකයේ හර පද්ධතිය සමඟ හුවමාරු වටිනාකම් ලෝකයක හර පද්ධතිය පටලවා ගනියි. සමකාලීන ධනවාදී නූතනත්වය තුළ ‘බොරු කීමෙන්’ මිස සත්‍යය පැවසීමෙන් මිනිස් සම්බන්ධයක් පටන් ගැනීමටවත් නොහැකි ය. අනුරාධපුරයේ ගුරුවරිය සහ X හී ගුරුවරිය යන දෙදෙනාම මිනිස් සබඳතා පටන් ගන්නේ, ”බොරුවෙනි”. එසේ වන්නේ, මේ දෙදෙනාටම අදාළ සත්‍යය නැතහොත්, ක්ෂතිමය මොහොත උදා වන්නේ බාහිර යථාර්ථයෙන් නොව අභ්‍යන්තර මානසික ලෝකයෙන් වන නිසා ය. සරලව කිවහොත්, ඔවුන්ගේ ෆැන්ටසිකරණයට අදාළ ‘කාලයේ මොහොත’ උදා වන්නේ, සමාජ යථාර්ථයෙන් නොව ආත්මීයත්වයේ [sujectivity] අභ්‍යන්තරයෙනි.

           කෙනෙකුගේ ෆැන්ටසියේ උත්පාද ලක්ෂය බාහිර සමාජ යථාර්ථයේ නැතහොත්, බාහිර බාධාවෙන් අභ්‍යන්තරික ලෝකයකට මාරු වීම (නැතහොත්, ආත්මීය ස්වභාවයට මාරු වීම) රැඩිකල් වෙනසකි. මන්දයත්, එවැන්නෙකුට බාහිරින් පවතින ‘සමාජ බල ආධිපත්‍යය’ පෙනෙන්නේ, ගැලවුමක් ලැබිය යුතු විමුක්තියක් ලෙසින් නොව ගැලවුමක් ලෙසිනි. අනුරාධපුරයේ ගුරුතුමියට ඇයගේ අන්තර්ජාල පෙම්වතාට එරෙහිව ‘අරගලය’ පෙනෙන්නේ, බාහිර මර්දනයට, දූෂණයට, වංචාවට එරෙහි දෙයක් ලෙසින් නොව තමන්ගේ ආත්මීය ආශාවන් ඉෂ්ට කර ගැනීමට ඇති නිදහස් වැඩ බිමක් සහ ආශාවේ විකුණුම් මධ්‍යස්ථානයක් ලෙසිනි. මන්ද, ඇගේ ආත්මීය තලයේ දෘෂ්ටිකෝණයට අනුව, බාහිර සමාජ යථාර්ථය යනු පලා යෑමට ඇති නිදහසක් මිස යථාර්ථය වෙනස් කිරීමට අදාළ වැඩ බිමක් නොවන නිසා ය. අවසන් වශයෙන්, ඇගේ අන්තර්ජාල පෙම්වතා යනු, ඇගේ ආශාවේ පැටලුණු කුරුමිණියෙකි. ඔහු, ඔහු ගැන ඒ දක්වා නොදත් දේ ඇය ඔහුට කියා දෙයි. මේ අන්තර්ජාල පෙම්වතා සෑම විටම තම ඔළුවට අතින් ගසා ගැනීම මඟින් සංඥා වන්නේ, ඔහුගේ ආශාව ඔහුටම කෙතරම් ප්‍රහේලිකාවක් වී ඇති ද යන්න ය. ඔහු මුදල් වියදම් කොට ඇත්තේ, ඔහුට ඔහුව තේරුම් කර ගැනීමට මිස අසරණ දරුවන්ට යන බාහිර යථාර්ථය වෙනුවෙන් නොවේ. ඒ අර්ථයෙන්, අනුරාධපුරයේ ගුරුවරිය අතෘප්තියේ දෙවඟනයි. අරගල භූමිය තුළ සැරිසරන ලද බොහෝ දෙනා ද අයත් වන්නේ, මේ රැඩිකල් අන්තයට ය. පැරණි වම්මුන්ගේ අර්ථයෙන් කිවහොත්, ‘අරගලය’ මෙහෙය වූ බහුතරයක් දෙනාට පිස්සු ය. මෙය මතක් කරන සෑම වාරයක් පාසාම ඔක්කාරයට ඒම වැළැක්වීම අපහසු ය. මේ උමතුවට ලෝකය වෙනස් කළ නොහැකි අතර කළ හැක්කේ, මෙරිගෝ රවුමක මෙන් එක තැන කරකැවීමට පමණි. එකම දේ යළි යළිත් පෙනීමේ භීතිය හැර වෙනත් අත්දැකීමක් ඉන් නොලැබේ. ‘යථාර්ථය’ අපට හමු වී ඇත්තේ, අපගේ ම භීතියකින් පලා යාමට මිස බාහිර යථාර්ථය වෙනස් කිරීමට නොවේ. 

Deepthi Kumara Gunarathne.

ඔබේ අදහස කියන්න...