-පළමු කොටස-

සංවාදය සඳහා!!!!!!!!!!!!!!!!!!!

 ලංකාවේ දේශපාලන පක්ෂ කතා කරනවා මිස අසන්නේ නැත. නමුත් අප ඔබට යෝජනා කරන්නේ අප කියන දෙය අසන්න!  කියා ය. දේශපාලනය සහ යථාර්ථය අතරමැද ”අද” පවතින්නේ  දේශපාලන පක්ෂ නොව විවිධ මාධ්‍යයි. (උදා- රූපවාහිනි, FM නාලිකා, අන්තර්ජාලය, කටකතා) මෙම තත්වාරෝපිතය නිසා මිනිස්සුන්ට හමුවන්නේ යථාර්ථය නොව යථාර්ථය පිළිබඳව ප්‍රතිරූපය (Images). උදාහරණයක් ලෙස අප කිසිවෙකු උතුරු කොරියාව ගැන දන්නේ නැත. ඒ ගැන අපට ඇත්තේ මාධ්‍ය ප්‍රතිරූප පමණි

 

           මෙම තත්වය අපගේ පක්ෂය සම්බන්ධයෙන්ද සත්‍ය ය. පක්ෂය සහ එහි නායකත්වය ගැන බහුතරයට ඇත්තේ යථාර්ථවාදී අදහසක් නොව තනි තනි පුද්ලයන්ගේ රොමැන්තික පාරභෞතිකයන් ය. 2004 වර්ෂයේදී පක්ෂයෙන් ඉවත්වූ රොමැන්තිකයන් සහ 2014 වර්ෂයේදී පක්ෂයෙන් ඉවත්වූ නෝමන් බේට්ස්ලා (සයිකෝ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය) විසින් අර්ථකථනය කරන ලද ද්විත්ව යථාර්ථයක සිරවීමට අසන්නියට සිදුවෙයි.

            අනෙකාගේ දැක්මෙන් ගැලවීමට හෝ අනෙකාගේ දැක්මේ බියකරු බවින් මිදීමට බොහෝ මිනිසුන් නවකථා කියවන අතර, චිත්‍රපට නරඹයි. ෆ්‍රොයිඩ් ට වෙනස්ව ලැකාන් කියන්නෙ කලාව යනු අනෙකාගේ දැක්මේ ප්‍රහෙලිකාව මඟහැරීමට අප දරණ ප්‍රයත්නය බවයි.  (ෆ්‍රොයිඩ්ගේ අදහස අනුව කලාව යනු ලිංගික ලුබ්ධිය අවරෝධනය කොට එය සංස්කෘතිය තුළ ස්ථාපනය කිරීම  බවයි.)  එසේ නම් මිනිසුන් දේශපාලනයට ආශා කරන්නේ මන්ද? එය මිනිසෙක් තම ප්‍රේමවන්තියට කරන ආලයට තුල්‍ය කළ හැකිද?

 

            මේ මෑතකදී කොළඹ පැවති දේශනයකදී මහේෂ් හපුගොඩ සහෝදරයා ආශාව සහ ආදරය පිළිබඳ සහ- සම්බන්ධය ගැන අපූර්ව දේශනයක් කළේ ය. මහේෂ් ට අනුව මාක්ස්වාදයේ ලැකැනියානු මොහොත යනු , ක්‍රිස්තියානි ආගමේ ‘දෙවියන් ඔබ අතහැර දමා ඇත’ යන විරෝධාකල්පයයි. දෙවියන් හෝ පරමාදර්ශ විරහිත සමාජ මාදිලියක ජීවත්වන අපට ෆ්‍රෑන්ක් රූඩා නම් රැඩිකල් ජර්මානු දාර්ශනිකයා මෙසේ කියයි. “ අද අපට අවශ්‍ය වන්නේ නිදහස නොව නිදහස අහෝසි කිරීමටය”. ඔහු අපට පෙන්වා දෙන්නේ ‘නිදහස’( Freedom) නම් සංකල්පයේ පවතින විරුද්ධාභාස යයි. ලිබරල් ධනවාදී සමාජයක ඔහුට අනුව ඇත්තේ නිදහස නොව නිදහසේ තෝරා ගැනීමට ඇති අයිතියයි. නිදහස යනු හුදු විභවතාවයකි.

            දෙවියන් නොමැති නම් අප කදිම ලෙස නිදහස් ලෙස නිදහස් යයි අපට කිව්වේ නීට්ෂේ සහ දොස්තයෙව්ස්කි ය. ලැකැන් මෙම ජනප්‍රිය උධෘතය මෙසේ කණපිට හැරවූයේ ය. දෙවියන් හෝ පරමාදර්ශ නැති සමාජයකදී සිදුවන්නේ දෙවියන් හෝ පරමාදර්ශ මිය යාම නොව, ඒවා අවිඥානය තුළට ගමන් කිරීමයි. ඉන් අදහස් වන්නේ දෙවියන් හෝ පරමාදර්ශ අප සිහිබුද්ධිය ඇතුළත ප්‍රතික්ෂේප කළත් අප ඒවා රහසේ අවිඥානකව විශ්වාස කරන බවයි.  අපගේ පක්ෂයට කෙනෙක් සවන් දෙනවා යනු, මෙම දෙවෙනි අදහස සංස්ලේෂණය කිරීමයි. වරක් අප පක්ෂයේ සමාජිකයෙකු ස්ත්‍රිය යනුවෙන් කෙනෙකු නොමැති බව පිළිගත් අතර, ඔහුම රහසින් අවිඥානකව ස්ත්‍රිය යනුවෙන් කෙනෙක් පවතින බව විශ්වාස කළේ ය. “දේශපාලනයට මගේ ඇති ලැබැඳියාව ප්‍රමුඛයි. නමුත් ඇය කියනවා මට ඇය පණවගේ ආදරෙයි කියල.” මෙම වාක්‍ය අවිඥානික භාෂාවට පරිවර්තනය කළ විට උත්තරයක් ගොනු කළ හැක. “මට දේශපාලනය තුළදී ස්ත්‍රිය පරමාදර්ශයක් නොවේ. නමුත් රහස් කවුළුවෙන් ස්ත්‍රියක් දෙස බලන විට ඇය තරම් පරමාදර්ශක් මට නැත.” සත්‍ය පරමාදර්ශයක් වෙනුවට ව්‍යාජ පරමාදර්ශයක් අර්චනය කිරීම මෙහිදී ස්ථාපිත වේ.

      ෆ්‍රොයිඩ් ජර්මන් භාෂාවට අවිඥානය හඳුන්වා දුන්නේ ය. ලැකාන් ප්‍රංශ භාෂාවට අවිඥානය හඳුන්වා දුන්නේ ය. මම සිංහල භාෂාවට අවිඥානය හඳුන්වා දුන්නෙමි. මෙය තරමක පෙරළිකාර අදහසකි. මෙම පෙරළිකාර අදහස අප ක්‍රියාවේ යොදවා වටහා ගමු. මහේෂ් ක්‍රිස්තියානි ආගම ගැන තම දේශනය කරන විට ඔහු සහ මා අතරමැද ලංකාවේ මේ දක්වා ලියා ඇති වඩාත්ම විපරිත නවකතාව ලියා ඇති පුද්ගලයා තම අසුන මත මහත් අසහනයෙන් දඟලමින් වික්ෂිප්තව හැසිරුනේ ය. සමහරවිට මහේෂ්ගෙන් සුරක්ෂිත කතාවක් අසන්නට ඔහු පැමිණ සිටින්නට ඇත. නමුත් මහේෂ්ගේ ආශාව පිළිබඳ අර්ථකතන විද්‍යාව ඔහු සිතනවාට වඩා විචාරාත්මක විය. මහේෂ් අතින් පැහැදිලි ලෙස විචාරය වූයේ විපරිතයාගේ ආශාවය. විපරිතයා ආදරය කරන්නෙකු හෝ ආදරය ලබන්නේකු නොව අනෙකාගේ අනේකත්වය තමාට අවශ්‍ය අයුරින් ඝාතනය කරන රාක්ෂයෙකු බව මහේෂ් අතින් සඳහන් විය. මහේෂ් යනු ද විශ්ව විද්‍යාල ගුරුවරයෙකි. ඔහුගේ මෙම විපරිත අසන්නාද විශ්ව විද්‍යාල ගුරුවරයෙකි.  ඉගැන්වීමේදී ගුරුවරයා සහ ශිෂ්‍යාව අතරමැද පවතින්නේ අවිඥානයයි. අවිඥානය සත්‍ය ඉගන ගැනීමට ශිෂ්‍යාවට ඉඩ දෙන්නේ නැත. මේ හේතුව නිසා ඉගැන්වීම බුරනවාට වැඩි දෙයක් කරනේ නැත. මෙය ලැකැන්ගේ අදහසයි.

                  මහේෂ්ගේ දේශනය සම්බන්ධයෙන් ගතහොත් අප ඉහත කී අසන්නා මහේෂ් ගෙන් කිසිවක් ඉගන ගන්නේ නැත. තත්වය තරමක් ගොරහැඬි වන්නේ මෙම අසන්නා ඇලන් බදියු නම් දාර්ශනිකයාගේ ප්‍රේමය පිළිබඳව පොතක් ද සිංහලට පරිවර්තනය කර ඇති නිසා ය. පොතට සැපයූ උධෘතයක් මගින් පරිවර්තකයා තමන්ගේ ආත්ම මූලික සාරය ගැන ඉඟියක් ලබා දෙයි. “  අප දන්නා පරිදි ප්‍රේමය යළි නිපදවීම අවැසිව ඇත.” ප්‍රේමය යළි නිපදවිය නොහැකිබව බොහෝ කවියන් අපට කියා දී ඇත. මන්ද නිපදවා ඇති ප්‍රේමයට අප ලක්වනවා මිස, අප විසින් අලුතින් ප්‍රේමයක් නිපදවන්නේ නැති නිසාය. බොහෝ විට විපරිතයන් දේවල් අලුතින් නිර්මාණය කරන්නෝ  වෙති. නමුත් එය ආදරය නොව වේදනාවයි.

            මහේෂ්ගේ මාතෘකාවේ හරයට යළි අප ගමන් කරන්නේ නම් ආශාව පිළිබඳ  රැඩිකල් නිර්වචනයකට අප යා යුතුය. ආශාව (Desire) බිහිවුයේ ධනවාදය බිහිවීමට පෙර බව අප මතක තබා ගත යුතුය. එබැවින් ආශාව පිළිබඳ අර්ථකථනවේදය අප පූර්ව ධනවාදය වෙත රැගෙන යා යුතුය. එවිට ආශාව යනු ස්වාමීත්වයක් හෝ බාහිර පිළිගැනීමක් උදෙසා පවතින සත්තාවක් බව අපට අවබෝධ වේ. ආශාවේ පරම ස්වරූපය (සත්‍ය ) වන්නේ එහි වූ ස්වපීඩක්වයයි. (කුරුසිය මත විඳවිම) ඉන් අදහස් වන්නේ ආශාව නිෂ්ඨාවක් ලෙස ගවේෂණය කරන්නේ අහිමි වූ වස්තුව නොව එම වස්තුව වෙත ලගාවීමට ඇති පරම බාධාවයි. මේ අන්තයෙන් කල්පනා කරන විට නියුරෝසික ආශාව යනු ස්වපීඩාවෙන් විනෝදවීමයි. සිනමා මෙහෙයුම් තාක්ෂණයේ කතුවරයා පුරුෂයෙක් නොවන්නේ මේ නිසාය.

            එක පැත්තකින් මහෙෂ් විසින් නියුරෝසික ආශාව සහ එහි දයලෙක්තික උඩු යටිකුරුවීම (Subversion) විග්‍රහ කරන විට ඔහුගේ කදිම අසන්නාගේ ආශාව විපරිත එකකි. විපරිතයාගේ ආශාව එල්ල වන්නේ අනෙකෙකුට හිරිහැර කිරීමටය. එනම් පරපීඩාවයි. විපරිතයා විනෝද වන්නේ තම අනෙකාට තාඩන-පීඩන කිරීමෙන් ය. මේ හේතුව නිසා මහේෂ්ගේ දේශනය විපරිත ආත්මය දෙසින් බලන විට පෙනෙන්නේ තර්ජනයක් ලෙසින් ය. මන්ද යත් විපරිතයා තම විශ්ලේෂිකයාව තබන්නේ තම රහස අනුමාන කරන්නෙක් ලෙසින් ය. විපරිතයාට තමන්ගේ ආශාව ගැන ඇත්තේ අවිනිශ්චිත අදහසක් නිසා එහි ස්ථිරත්වය   ඔහු තමාගෙන් පිටත සොයයි. නමුත් විනෝදය ගැන අඩමාන අදහසක් ඔහුට නැත. එය ලබා ගන්නා ආකාරය ගැන ඔහු හොදින් සබුද්ධිකය. විපරිත ක්‍රියාවන් හරහා අපට අවිඥානය වෙතට වූ මාර්ගයක් නැත. විපරිත භාවය ගොඩ නැගෙන්නේ සමාජ ආකල්ප හරහාය.  මේ අර්ථයෙන් ගත්විට විපරිතයෙක් රැඩිකල් නැත. ඔහු පවතින සාදාචාරයේ ගුප්ත ප්‍රකාශනයකි. මෙවැන්නෙකුට රහසිගත අවිඥානයක් නොමැති අතර, (එනයින් ආගමක්ද නැත) බාහිර සාමාජ බලවේග සමග සෘජු ලෙස සම්මුඛවේ. ඔහුගේ ආකෘතිය වන්නේ අනෙකාගේ ආශාව අර්ථකථනය කිරීම නොව අනෙකා වෙතට විනෝදය එන්නත් කිරීමයි. සංකේත පියාගෙ නාමික ආධිපත්‍යය දස අතින් තර්ජනයට ලක්වන යුගයකදී බහුදිශානත විපරිතයා ඊඩිපල් කප්පාදු තර්ජනයෙන් ගැලවේ. නූතන දෘෂ්ටිවාදයේ සමකලීන ස්වරූපය වන “ මම දන්නවා, නමුත් ” යන උධෘතය ඉතා කදිමට විපරිතයාට ගැලපේ. එනම් යථර්ථය ගැන ඇති දැනුම හෙලා දකින විපරිතයා යථාර්ථය තුළ සොයන්නේ විනෝදවිය හැකි ගොදුරක් බවට පත්විය හැකි ස්ත්‍රී ශරීරයක් ය. ඇලන් බදියුගේ පොත යනු මෙම ගොදුරු සොයා යාමේ ස්නයිපර් අවියයි. ඇලන් බදියු, ස්ලේවෝ ජිජැක්, ක්වීන්ටීන් මියාසු වැනි දාර්ශනිකයන්ට විපරිත ආත්මයක් මුණ ගැසුණු වහාම සිදුවන්නේ දුර සිටින මුවෙකුට (ස්ත්‍රී ශරීරය) වෙඩි තැබීමේ ස්නයිපර් තාක්ෂණ යයි.

            මහෙෂ්ගේ දේශනය විසින් මතු කරන දේශපාලන අධ්‍යාපනයේ උභතෝකෝටිකය වන්නේ ආශාව සම්බන්ධ නියුරෝසික අවිඥානය සහ විපරිත අවිඥානය අතර ප්‍රතිවිරෝධයයි. මෙම දේශනයට සහභාගී වන නියුරෝසිකයෙකු සහ විපරිතයෙකු ඉගන ගැනීමට දක්වන ප්‍රතිරෝධය ආකෘති දෙකක හිර වේ. අවිඥානය යනු මිනිසෙකුගේ රහස් තැන්පත් වූ අශ්ලීල ජලය සහිත බේසමක් නොවේ.  අනෙක් අතට මිනිසෙක් යනු මනෝ විද්‍යාත්මක අන්තර්ගතයක් සහිත චෝදනා කළ හැකි ගුප්ත සත්වයෙකු ද නොවේ.

            විපරිතයෙකු සායනයට පැමිණෙන්නේ නැති තරමට ඔහු දේශපාලන සංවිධානයකට ද පැමිණෙන්නේ නැත. අප මේ ජීවත්වන සමකාලීන යුගයේදී ආශාවේ අර්බුදය විසදා ගැනීමට දේශපාලනයට එන පුද්ගලයන් විරලය.  එය අන්තර්ජාලය මඟින් විසදිය හැකි ගැටළුවකි.  Face book මානව හිමිකම් ලේඛණයට ඇතුළත් විය යුතු යයි සමහරුන් ප්‍රකාශ කිරීම ගැන කිසිවෙකු  කළබල විය යුතු නැත. විපරිත භාවය සමාජ විපර්යාසය සමඟ එතරම් පැටලී ඇත. අවිඥානය විපරිතයෙකු සහ හිස්ටෙරිකයෙකු නිෂ්පාදනය කරන්නේ ආකාර දෙකකටය.

            අපගේ දේශපාලන සංවිධානයට අනාගතයක් ඇතැයි සිතන සුළුතරය අතරින් එක් අයෙකු වන්නේ වසන්ත ප්‍රේමරත්න සහෝදරයා ය. ඔහු විවිධ අවස්ථාවල අසන ප්‍රශ්න වලට අප විධිමත්ව පිළිතුරු දිය යුතුය. විශේෂයෙන් 20 සියවස තුළ අවසන්වී ඇති ඵෙතිහාසික මාක්ස්වාදයට පසු  වාමාංශය ධනවාදයට එරෙහිව සංවිධානය කිරීමේ දුෂ්කර කටයුත්ත අප වෙත පැවරී ඇත. ප්‍රේමරත්න සහෝදරයාට පිළිතුරු දීමට යාමේදී අප පැරණි වමෙන් සහ නූතන වමෙන් වෙනස්වන අයුරු විදාරණය කළ යුතුය. අප මේ පළමුවෙන් පැහැදිලි කරන ලද්දේ අපව ඇසිය යුතු බවය.  එහිදී අප ක්‍රියාකාරී වීමට ගියහොත් අප ගමන් කරන්නේ දෘෂ්ටිවාදය දෙසටය. වෘත්තීය සමිති දේශපාලනයෙන් සහ කාඩර්වරයා මත පදනම් වන දේශපාලනයෙන් අප වියෝ වන තැන විග්‍රහයට ආරම්භක ලක්ෂයක් වනු ඇත.

-දීප්ති කුමාර ගුණරත්න-

 

ඔබේ අදහස කියන්න...