අජිත් ධර්මකීර්ති සහෝදරයා විසින් අපගේ සංවිධානයේ ඉතිහාසයට අදාළව අසන ලද ගැටලුවලට විධිමත්ව පිළිතුරු දිය යුතුය. කොවිඩ් එන්නත විද ගත් පසු ඇති වූ සංකූලතාවයන් නිසා පසුගිය සතිය තුළ මේ සඳහා දරණ ලද වෑයම් අසාර්ථක විය.

              සමකාලීන ලංකාවේ ගැන්ගම් ගීතය බවට පත්වී ඇති ‘ආලෝක උපාලි’ යූටියුබ් නාටකය අසනීප සමයේ නින්ද අඩ නින්ද අතරේ දෝංකාර දුන්නේ ය. අප ජීවත්වන යුගය එනම්, ඉතිහාසය අහිමි වර්තමානයේ මුඛ්‍ය ලක්ෂණය වන්නේ, කිසිම තේරුමක් නැති දේවල් හිස තුළ යළි යළිත් දෝංකාර දීමයි. එක්වරම, මට යම් සත්‍යයක් අවබෝධ විය. එනම්, ශරීරයට වේදනා දෙන තත්වයක් යටතේ ‘ලයිට් උපාලි’ යළි යළිත් නැරඹිය හැකි බවයි. කුවේට් කුමාරි අක්කා සමඟ Techno Music සැලඩය, මා විසින් ලංකාවට හඳුන්වා දුන් නුතනවාදී ව්‍යාපෘතියට කදිමට ගැලපෙයි. ‘ලයිට් උපාලි’ කෙටි නාටකයට රුවන් ෆර්ඩිනන්ස් සහ මගේ චරිතය ද ඇතුළත් වූයේ නම්, නාටකයේ උමතුභාවය අධික වී වස්ති අනුරාධට වස්තියක් කිරීමට අනිවාර්යයෙන් සිදුවනු ඇත. 

        ‘කුවේට් කුමාරි අක්කා’ කොහොමද ලංකාවේ ජනප්‍රිය තරුවක් වුනේ? ලංකාවේ වාමාංශික පක්ෂවල විවිධ පුටු පෙරලීම් සහ කොමඩි නාටක අතර සම්බන්ධයක් ගොඩ නැඟිය නො හැකි ද? ‘සම සමාජ’ පක්ෂයේ සිට ලංකාවේ විවිධ විමුක්ති ව්‍යාපාර පිළිබඳව කතන්දරයක් නිර්මාණය කරන විට අදාළ වන ආකෘතිය වන්නේ, ශෝකාන්ත කලාවයි. නමුත් අප ව්‍යාපාරයට අදාළ වන්නේ, කොමඩි නැතහොත් ප්‍රහසන කලාවයි. X ඉතිහාසයට අදාළ වන්නේ, කොමඩි සිදුවීම් විශාල ගණනකි. ඒවා, රටේ විවිධ ජන කණ්ඩායම්වල ජනශ්‍රැතිය විද්‍යාමාණ කරයි. අපි හිමිහිට ආරම්භයක් ගමු.

        මගේ අසනීප තත්වයට පෙර අජිත්ගේ ප්‍රශ්න සඳහා ලබා දෙන උත්තර සඳහා විධිමත් ආකාරයක් සකස් කර තිබූ මුත් මිනිසුන් එක තැන නතර වී සිටින මොහොතක ඉල්ලා සිටින්නේ නව ආකෘතියකි. මේ නව ආකෘතිය නිදහස් එකක් වනු ඇත.

        අපි මෙහෙම පටන් ගනිමු. අපි මොන තරම් පරිණත වෙන්න උත්සාහ කළත් ”අපේ කතාව” බොළඳ සහ ළමා එකකි. දැනට ජීවත් වන සහ ජීවත් වූ දියුණුම චින්තකයන්ගේ චින්තනයන් අප ව්‍යාපාරය පෝෂණය කිරීමට යොදා ගත් මුත් අවසන් වශයෙන් ඒවා ද කොමඩි මට්ටමට ඇද වැටුණි. ජිජැක්ගේ නම සම්බන්ධ විකාරය කොමඩියේ උපරිම තලය යි.

        ෆ්‍රොයිඩ් පොතක් ම ලියා ඇති පරිදි විහිලු යනු, අපගේ අවිඥාණයට සම්බන්ධ දෙයකි. ඒ අනුව, ජිජැක්ගේ නම තමන්ට අවශ්‍ය විදිහට වහරණ සංසිද්ධිය තම තමන්ගේ අවිඥාණක ඉතිහාසයට සම්බන්ධ ය. තම නමෙහි සංකේතීය ඌනතාවයක් සහිත අමරකීර්තිට මහාචාර්ය පදවිය නිසා වූවත් ඒ අඩුව සැපරී නැත. ඒ නිසා, ඔහු ද ජිජැක්ගේ නම වහරන්නේ වැරදියට ය. මෙය පාසල් ගුරුවරයෙකු දුව දුවා වැරැද්දුවාට තම ඇකඩමික් නිලයට අනුව චින්තකයෙකුගේ නම වැරදියට උච්චාරණය කිරීමේ බලය තමන්ට ආවේ ඇමරිකාවේ තමන්ගේ ගුරුවරුන්ගෙන් කීම මුසාවකි. ලියනගේ අමරකීර්ති යනු, කුලියාපිටියේ ගැමියෙක් ඇමරිකාවට ගොස් යළි එම ගැමියාගේම ස්වරූපයෙන්ම ලංකාවට යලි පැමිණීමකි. ඔහු වැනි කෙනෙකු සමකාලීන පොත පත කියෙව්වාට ඒවායේ නූතන සන්දර්භ ඔහුට වැටහෙන්නේ නැත. ඔහු තවමත් ජවිපෙ හිතවාදියෙකු වන්නේ ඒ නිසා ය. මේ සියල්ල ඒ අර්ථයෙන්, ළමා කතා ය. අනුර දයාරත්න  සමඟ ඉංග්‍රීසි භාෂාවෙන් අමරකීර්ති කළ යූටියුබ් වැඩසටහන මොන්ටිසෝරි ළමයින්ට සාහිත්‍යය උගන්වන්නට දරණ ලද වෑයමකි.  අමරකීර්තිලා නොදන්නේ, තමන්ගෙන් ඉගෙන ගන්නට මධ්‍යම පන්තික තරුණ ළමයින් නොඑන බවයි. ඒ අනුව, පැණි මුට්ටි හළාගෙන ලෙව කෑමට වන්නේ පිෂ්ටය, ප්‍රෝටීන්, කෙරටීන් අඩු නොදියුණු පළාත්වල ළමයින්ට ය.

The Hunt

        අපි දැන්  2012 වර්ෂයේ දී ඩෙන්මාර්ක් ජාතික තෝමස් වින්ටර්බර්ග් නිර්මාණය කළ ‘The HUNT’ නම් චිත්‍රපටියට යමු. X දේශපාලනයේ දශක දෙකක කාලය මෙම චිත්‍රපටයේ ආකෘතියට ඌනනය කළ හැකි ය. කතාව කෙටියෙන් මෙසේ ය.

        වයස 40ක් වන ලුකාස් යනු, තිත්ත  දික්කසාදයකින් හෙම්බත් වී අලුත් ජීවිතයක රිද්මය සොයන පුද්ගලයෙකි. කතාවේ මුල් කොටස තුළ ඇත්තේ, ඔහු අලුත් ජීවිතය පිළිසකර කර ගන්නා ආකාරය යි. එහිදී, ඔහුට තව පෙම්වතියක් හමු වන අතර තම පළමු විවාහයෙන් ලැබුණ පුතා වූ මාකස් සමඟ ද සබඳතා අලුත් කරමින් සිටියි.

        චිත්‍රපටයේ පසුබිම ලෙස අප දකින්නේ, ඩෙන්මාර්කයේ දඩයම් සමාජයකි. එය ඉතාම සාමකාමී, සාමූහික අනන්‍යතා පිළිගන්නා එකකි. ඩෙන්මාර්කය යනු, ලෝකයේ ජීවත් වීමට වඩාත්ම සුදුසු රටක් ලෙස හැදින්වෙයි. ලුකාස්ගේ නව රැකියාව වන්නේ, බාලාංශ පාසැලක උදව්කාරයෙකු ලෙස ක්‍රියා කිරීමයි. ලුකාස් තම ජීවිතයේ ආතතියෙන් ගැලවීමට බාලාංශ පන්තියේ දරුවන් සමඟ වඩාත් සහයෝගයෙන් බැඳෙයි. මෙම බාලාංශ පන්තියේ ”ක්ලාරා” නම් කුඩා ගැහැණු දරුවෙක් ලුකාස්ට ඉතා සමීප වෙයි. ඇය ඔහුගේ හොඳම මිතුරෙකු වන තියෝගේ දුවණියක් ය. ක්ලාරා ඇගේම හේතුවකට ලුකාස්ට සමීප වන අතර දිනක් ඇය ඔහුගේ තොල් සිප ගැනීමට උත්සාහ කරයි. ලුකාස් එයට ඉඩ නො දී, ඇයට විශාල දේශන මාලාවක් කරයි. එවැනි දේවල් සිදුවිය යුත්තේ කා වැනි අය අතර ද යන්න ලුකාස් විසින් ක්ලාරාට කියා දෙයි. නමුත් මේ සිදුවීම නිසා ක්ලාරා අභ්‍යන්තරයෙන් කිපෙන අතර ලුකාස්ට යමක් කළ යුතු යැයි ඇය සිතයි. මෙතැන දී ළමයා/ වැඩිහිටියා යන භේදය දිය වෙයි.

සංවේදී මනස

        ක්ලාරා විසින් බාලාංශ පාසැලේ අධ්‍යක්ෂකවරියට තමන්ට තම සහෝදරයා පෙන්වන ලද නිල් ඡායාරූපයක් පාදක කොටගෙන අපැහැදිලි අදහස් සමූහයක් පවසයි. අධ්‍යක්ෂවරියට ඒත්තු යන්නේ, ලුකාස් විසින් යම් අසභ්‍ය දෙයක් ක්ලාරාට පෙන්වා ඇති බවයි. නිශ්චිත මොහොතක දී ලුකාස්ට විරුද්ධව ක්ලාරා සාක්ෂි ලබා දෙන අතර මුළු සමාජයම උඩුයටිකුරු වෙයි. ලුකාස් සාමාජිකයෙක් වන ඩෙන්මාර්කයේ මේ කුඩා ගැමි ප්‍රජාව ඔහුව ඉන්පසු සලකා බලන්නේ, ළමා දූෂකයෙකු (Pedophile sexual predator) ලෙසිනි. තියෝ සමඟ ඔහුගේ මිත්‍ර සම්බන්ධය බිඳ වැටෙයි. ඔහුගේ නව පෙම්වතිය ද ඔහුගෙන් දුරස් වෙයි. බාලාංශ පන්තියේ අනෙක් දරුවන් ද පවසන්නේ, ඔවුන්ව ද ලුකාස් අපචාරයට පත් කළ බවයි. නමුත් උසාවිය තුළ දී ළමයින් බහුතරයක් කියන්නේ, ලුකාස්ගේ නිවසේ යටිබිම්ගත මහලක තමන්ට අපචාරය සිදු වූ බවයි. නමුත් ලුකාස්ගේ නිවසට ඇත්තටම එවැනි යටි මහලක් නැත. උසාවිය පසුව ලුකාස්ගේ අහිංසක බව පිළිගන්නා අතර ඔහුව චෝදනාවලින් නිදහස් කරයි.

        නමුත් ‘ප්‍රජාව’ සිදු වූ දේ ගැන දරන්නේ, පැරණි මතයම ය. ඔහුගේ බල්ලා වන ෆැනීව කිසිවෙකු මරා දමයි. ඔහුගේ නිවසේ ජනේලයට කිසිවෙකු ගලකින් දමා ගසයි. සමාජයේ විවිධ තැන්වල ලුකාස් සමඟ විවිධ පිරිස් රණ්ඩු කරයි. නමුත් එක්තරා මොහොතක දී, ක්ලාරා බොරු කී බව ඇගේ පියා තියෝ සොයා ගනියි. ඇගේ බොරුව ගමන් කළ දුර පිළිබඳව සියලු දෙනා මවිත වෙයි. නමුත් කාලයක් ගතවන විට, සමාජයේ පැවති ආතතිය අඩු විය. නමුත් අවසානයේ අප දකින දඩයම් චාරිකාවක් අවසානයේ දී කිසිවකු ලුකාස් දෙසට වෙඩි තබයි. ඔහු නූලෙන් බේරෙයි. වෙඩි තැබූ පුද්ගලයා හඳුනා ගැනීමට නො හැකි වෙයි.

            ‘Hunt’ යනු, ලැකාන්ගේ ආප්තයක් වන ‘අවිඥාණය ව්‍යුහගත වන්නේ භාෂාවක් මෙනි’ යන්න පාසැල් පොත් නිදර්ශනයක් ලෙසින් සපථ කරන්නකි. රටකදී අලුත් ක්ෂේත්‍රයක් බිහි වීමට දශක දෙකක පමණ කාලයක් ගත වෙයි. දැන් අප එම කාලය ගතකර ඇත. අජිත්ගේ ගැටලුවලට ආරම්භක ප්‍රවේශයක් ලෙස ‘Hunt’ චිත්‍රපටය ගත හැකි ය. කෙනෙක් භාෂාවක් ව්‍යුහගත කළ පසු ඉන් ගැලවීමට පහසු මාර්ග නැත. 

Deepthi kumara Gunarathne.

අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

අයදුම් කිරීමට මෙතන Click කරන්න

සමබිම පක්ෂය

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. මහාචාර්ය අමරකීර්ති ගේ අදාලත්වය වැඩිය තේරුනේ නැහැ. චෝදනාවක් එන්න පුළුවන් පෞද්ගලික විවේචනයක් කළා කියල. අමරකීර්ති ලා වගේ අය තමන්ගේ සර්කල් එකක් ඇතුලේ විතරයි භ්‍රමණය වෙන්නේ කියල නම් තේරෙනවා

Comments are closed.